"සමුගනිමු ගුල්සාරි..!."හද සසල කතාවක්... (Farewell, Gulsary !

කලා
Typography

මේ නවකතා පොත KBOOK හරහා මං ගෙන්වාගත්තේ කාරණා දෙකක් නිසා. එකක් එදා මෙදා තුර සදාතනික එහෙත් අසන්තක ආදරයක් මෙන්ම ආදරණීය ගුරුතුමෙක් ගැන "ගුරු ගීතය" ලියපු කීර්තිමත් කිර්ගීස් ජාතික චිංගීස් අයිත්මාතොව් ගේ තවත් නොකියවූ කතාවක් නිසා.

අනික ගුල්සාරි නමැති නව යොවුන් 'පෙම්වතියකගේ සමුගැනීමක්' ගැන කියවන්න ආසා හිතුන නිසා. හැබැයි ගුල්සාරි කියන්නේ තනබායි නම් කතා නායකයා සිය පෙම්වතියට වඩා තම ජීවිතේම කොටසක් වෙලා සිටිය අශ්වයාට කියල පස්සෙයි දැනගත්තේ.

අපි පොඩ්ඩක් ආපහු චිංගීස් ආයිත්මානොව් දිහා බලමු. ඔහු ඉපදුනේ 1928 දී ස්ටෙප්ස් තනබිමේ කුර්ස්ගිස්ථානය නම් රටේ ඈත කෙළවර දුෂ්කර ගමක. ඔහුගේ පියා සිය පුතුට දස වසරක් වෙද්දී 'ජාතිවාදියෙකු' ලෙස හංවඩු ගසා එවකට රජය මගින් මරණයට පත් කරනවා. කුරිරු සාර් පාලනය පරාජය කොට සමාජවාදී සෝවියට් පාලනයක් බිහි වෙද්දී තරුණ චිංගීස් තම නිජ බිමේ කොමියුනිස්ට් වාදියෙකු වෙනවා විතරක් නෙවි ග්‍රාමීය සෝවියට් සභාවේ සහකාර ලේකම් වරයෙකු, බදු හා තිරිඟු එකතු කරන්නෙකු හා සහකාර ඉංජිනේරුවෙකු ලෙස සේවය කරනවා. එහිදී ඔහු පශු විද්‍යාව ගැනත් ඇකඩමියේ හදාරනවා. සෝවියට් සභා සහ පශු විද්‍යා කටයුතු වලදීද, තිරිඟු අස්වනු නෙලන්නෙකු ලෙසද තමා ලැබූ අත්දැකීම් හා දැනුම මෙම කෘතියට පාදක වෙන්න ඇති. චිංගීස් 2008 දී නියුමෝනියාව සෑදී මිය ගියේ ලෝ ප්‍රකට ග්‍රන්ථ රාශියක් අපට දායාද කරලයි.

ආපහු අපි ස්ටෙප්ස් තණබිමට, සිය බිරිඳට, මිනිසුන්ට, අශ්වයන් හා බැටලුවන්ට, මහපොළොවට මෙන්ම කොමියුනිස්ට් වාදයට ආදරය කළ, මුළු ජීවිතයම කැප කළ, තනබායි බකාසොව් වෙත හැරෙමු. ඔහුගේ කැපවීම හා උනන්දුව නිසා කොමියුනිස්ට් පාලනය විසින් ඔහුට වගකීම් රැසක් පැවරෙනවා. ඒ අතරේ ගුල්සාරි නමැති අශ්වයා ඔහුට තෑගී ලැබෙන්නේ තම හොඳම මිතුරා වන චෝරෝ වෙතින්. මේ තනබායි හා ගුල්සාරි අතර ඇති සම්බන්ධය තිබිය යුතු මිනිස්- සත්ත්ව සහජීවනය ගැන ලොවට පෙන්වූ අගනාම මිතුරු දමක් බව පොත කියවන ඔබ තේරුම් ගනු ඇති. තුරඟ තරඟ වල ජයග්‍රහණ මෙන්ම තනබායි සිය පෙම්වතිය සොයා යන ගමන් සිදු වන්නේ ද ලස්සන වෙළඹුන් බැල්ම හෙලන ගුල්සාරිගේ භද්‍ර යව්වන වයසේය.

කොමියුනිස්ට් වාදය නාමයෙන් නිලධාරී වාදය සීරුවෙන් ගමට ඇතුල් වෙනවා. තනබායි කෙතරම් කොමියුනිස්ට් පාක්ෂිකයෙක්ද කිව්වොත් එකම බඩවැල කඩාගෙන ආ තම සහෝදරයාගේ දේපල පවා ගොවිපොළට පවරා ගැන්මට කටයුතු කරනවා. මේ අතර ගණන් හිලව් හා ලාබදායී සංඛ්‍යා ලේකන වලට ගිජු ග්‍රාමීය නායකත්වය විසින් තනබායිගේ අශ්වයා ඔහුගෙන් පොදු දේපලක් හැටියට ගොවිපොළට පවරා ගැනෙනවා. තනබායි තමන්ගේම ගමේ සරණාගතයෙක් වෙනවා. අසුන් හසුරුවන්නන් ගුල්සාරි මෙල්ල කිරීම සඳහා පහර දෙනවා. වද දෙනවා. තම ගැහැණු සතුන්ට ආදර කිරීම වැලැක්වීම හා විනය රැකීම පිණිස අත පය බැඳ, කුදලා 'කර අඹනවා'. ඊටපස්සේ තනබායි ගේත් ගුල්සාරිගේත් මහලු වයස අති සංවේදී කාල පරිච්චේදයක්. මහලු තනබායිට බැටළුවන් බලා ගන්න නියම වෙනවා. එතනදී උන්ට සීතලට ගාල් වෙන්න වැස්සෙන් බේරෙන්න පහසුකමක් ලැබෙන්නේ නැතිකොට තනබායි හා බිරිඳ අමාරුවෙන් කලේ ගස් කපලා තාවකාලික මඩු හදනවා. අධික සීතල කුසගින්න හා ලෙඩ නිසා බැටළුවන් මැරෙන්න පටන් ගන්නකොට ගොවිපොළේ නිලධාරින් ඔහුට චෝදනා කරනවා. එතනදී තම සීමා රතු කට්ට පනින තනබායි උසස් නිලධාරියාට කෙවිටෙන් පහර දෙන්නට තැත් කරනවා.

තමා වැරදි කරුවකු කිරීම සඳහාම පැවැත්වූ දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී පක්ෂයේ ලොක්කා මෙහෙම අහනවා.
" තමුන්ගේ නිදහසට කියන්න තියෙන්නේ මොනවද බකාසොව් සහෝදරයා?"
"මොකුත් නෑ . ඔක්කොම ජාති කියලා අහවරයිනේ." තනබායි පිළිතුරු එහෙම පිළිතුරු දෙනවා.
"ඒකෙදි කියවුණේ මං හැමදාමත් ජන හතුරෙක්, කඩා කප්පල්කාරයෙක් වෙලා හිටියයි කියලනේ. එහෙව් එකේ කවුද මං හිතන විදිහ ගණන් ගන්නේ. ඔහෙලට ඕන දෙයක් කරන එක,අයි ඇත්තෙ. ඔහෙලනේ දන්නේ හොඳ විදිහ."
"හිතනවද තමුං නියම කොමියුනිස්ට්වාදියෙක් කියලා?"
"දැන් මට එක ඔප්පු කරන්න හැටියක් නෑ .'
"හොඳයි, තමුන්ගෙ වැරැද්ද පිළිගන්නවද?"
"නෑ ."
"එහෙනම් තමුන් හිතන්නේ හැමෝටම වැඩ තමුන් වැඩ කාරයෙක් කියලද?'
"නෑ ! අනිත් පැත්ත. හැමෝටම වඩා ගොලුවෙක් කියලා."

ඔටුන්න ගලවා බාර දෙන්නක් සේ තම පක්ෂයෙන්ම ලැබෙන දඬුවම් වලට යටත් ව ඔහු පක්ෂයේ සාමාජික කාඩ් පත නැවත කාර්යාලයට බාරදී අපහු යන්න යනවා. කතාව එතින් සමාප්ත නැහැ. ඇත්තෙන්ම නවකතාවේ පටන් ගැන්ම ඇරඹෙන්නේ එතන සිටයි.

ප්‍රවීණ ගත්කරු චූලානන්ද සමරනායක ගේ පරිවර්තනය තුල මා දුටු තවත් විශේෂයක් නම් පොත කියවන විට මෙහි කිසිදු විදේශීය හෝ නුහුරු නොපුරුදු ගතියක් නොදැනීමය. භාෂාව එතරම් හුරු පුරුදුය. අපේ ගමේ කතා කරන භාෂාවමය. එදා තනබායිට මෙන්ම එම ජනතාවට සිදුවුණ දේ ගැන චිංගීස් ලියුවේ තනබායි මෙන්ම තමාත් මැරෙන කල්ම කොමියුනිස්ට් වාදයට ආදරය කල කෙනෙක් හැටියටය.

මේ මා කියෙවූ කතාවලින් වඩාත් හද සසල කතාවක් මය.

නයනසේන වන්නිනායක(fb)

Latest Posts

Face Book Setup 01