පරම්පරාවක මතකය කතන්දරකරුවෙකුගේ ඇසින්: ඇරැව්වල නන්දිමිත‍්‍රගේ කතන්දරකරුවෙකුගේ සටහන්

කලා
Typography

රාජ්‍ය සම්මානලාභී නවකතාකරු ප්‍රවීණ සාහිත්‍යධර ඇරැව්වල නන්දිමිත්‍ර මහතා ඊයේ(2018-03-04) අභාවප්‍රාප්ත වූ අතර අවසන් කටයුතු බදාදා (7) පස්වරුවේ පන්නිපිටිය ඇරැව්වලදී සිදුකෙරේ. 1939 වස‍රේ ජූනි 5 වැනිදා උපත ලැබූ ඒ මහතා මියයන විට 79 හැවිරිදි වියෙහි පසුවිය.මේ නන්දිමිත්‍රයන් පිලිබඳ ආචාර්ය ලියනගේ අමරකීර්ති විසින් ලියන ලද සටහනකි.

   ඇරැව්වල නන්දිමිත‍්‍ර ඉතා නිහතමානී ලේඛකයෙකි. ඔහුගේ ජීවිතයේත් කලාවේත් බොරු ඇ`ගවුම්කාරකම් නැත. ලේඛකයෙකු ලෙස ඔහුගේ දිවි ගමන සැකෙවින් ඉදිරිපත් කරන කතන්දරකරුවෙකුගේ සටහන් (2007)පොත වෙතින් පළ වන්නේද ඔහුගේ නිහතමානයමයි. එම පොතේ නම පවා ඒ නිහතමානය ප‍්‍රකාශ කරයි. ඔහු තමා නවකතාකරුවෙකු ලෙස හඳුන්වා ගන්නේ නැත. සිංහල සාහිත්‍ය විචාරය තුළ කතන්දරය හා නවකතාව තෙල් හා වතුරමෙන් විය යුතු යැයි සලකන විචාරකයෝ සිටිති. හුදු කතන්දරයක් පමණක් නවකතාවක් නොවන බවත් එම කතන්දරය නවකතාව නම් සුවිශේෂ කලා මාධ්‍යය තුළ ඊටම ආවේනික ලෙස ව්‍යුහනය කර තිබිය යුතු බවත් ඇත්තය. එහෙත් කතන්දරයද නවකතාවේ අවශ්‍ය අංගයකි.

නවකතාකරුවා රසික මිනිස් සමාජය තුළ සහෝදර මිනිසෙකු ලෙස ස්ථානගත වන්නේ කතන්දරය ඔස්සේය. පුරාණ කතන්දරකරුවා ගිනි ගොඩක් අසල හෝ ගහක් යට හෝ දේවස්ථානයේ හෝ සිට ර`ගපෑ ඓතිහාසික සේම අත්‍යවශ්‍යක භූමිකාවට නවකතාකරුවා එළඹෙන්නේ කතන්දරය ඔස්සේය. ඉතිහාසය ඔස්සේ කතන්දරය ඉටු කළ කාර්ය භාරය වෙත නවකතා රසියකයා එළඹෙන්නේද කතන්දරය ඔස්සේය. ලෝකයේ වසන හොඳම කතන්දරකරුවෙකු වන ගේබ්රියෙල් ගාර්සියා මාර්කේස් සිය ස්වයං-චරිතාපදානය කතන්දරේ කීම සඳහා ජීවත්වීම යන නමින් හැඳින් වීය.
ඇරැව්වල නන්දිමිත‍්‍ර ගාර්සියා මාර්කේස් හෝ මිගෙල් අන්හෙල් අස්තුරියාස් මෙන් නවකතා කලාවේ ස්වරූපය පවා වෙනස් කළ නවකතාකරුවෙකු යැයි මම නොකියමි. එහෙත් නන්දිමිත‍්‍ර අප අතර වසන හොඳම කතා කියන්නෙකු බව නොකියා බැරිය. ඔහුගේ කෙටිකතා මාලාව අතර මා රස විඳි කතා කොතෙකුත් ඇත. ඔහුගේ කෘති කියවන කල අපට නිතැතින් දැනී යන දෙයක් නම් ඒ කතාවල එන චරිත රචකයා තම ජීවිතයෙන්ම දන්නා චරිත බවයි. එය එසේ වන්නේ මන්දැයි යන්න දැන ගැනීමට කතන්දරකරුවෙකුගේ සටහන් පොත ඉතා ප‍්‍රයෝජනවත් වේ. සාමාන්‍ය ගැමි පවුලක ඉපිද හැදී, වැඞී ලිපිකරුවෙකු ලෙස ලංකාවේ විවිධ පලාත්වල වැඩ කරමින් සාමාන්‍ය මිනිසුන් සමග ගැටෙමින් ජීවත් වූ ලේඛකයෙකුගේ ජීවන චාරිකාව සමග මේ කෘතිය ඔස්සේ අපටද යා හැකිය. නන්දිමිත‍්‍ර ඒ චාරිකාව සමග අප එක්ක යන්නේ සරල මිහිරි බසින් අප අමතමිනි.
සිංහල ලේඛකයෙකුගේ හැදීම වැඞීම පිළිබඳ නන්දිමිත‍්‍ර සපයන විස්තරය හුදෙක් ඔහුගේ කතාව ලෙස නොව එක් පරම්පරාවක කතාව ලෙසද කියවිය හැකිය. සැබවින්ම ස්වයං-චරිතාපදාන සාහිත්‍යයේ වැදගත්කමද එයයි. කතුවරයා තමන්ගේ වීර වික‍්‍රම වර්ණනා නොකර තම යුගය ගැන කීමට වැඩි අවධානයක් යොමු කිරීම නිසා මෙම කෘතිය පරම්පරාවක සමාජ ඉතිහාසයක් ලෙස මා වැනි ආධුනිකයෙකුට බොහෝ ප‍්‍රයෝජනවත් වේ. එවැනිම සරළ බසකින් ලියනු ලැබුවද සෝමවීර සේනානායකගේ අපි තවමත් සංසාරේ කෘතියට සාපෙක්ෂව නන්දිමිත‍්‍රගේ කෘතිය අතිශයින් විශිෂ්ටය. සේනානායකගේ කෘතිය යුගයක් හෝ පරම්පරාවක් පිළිබඳ චිත‍්‍රයක් මවන්නට අසමත් අතිසරලද පුද්ගල කේන්ද්‍රීයද වූ රචනයක් වන අතර එය සිංහලෙන් ලියන ලද දුර්වලම ස්වයං-චරිතාපදානයකි. සිරිලාල් කොඩිකාරද ඉතා නිහතමානී ස්වයං-චරිතාපදානයක් ලිව්වේය. කලින් පැවිදි ජීවිතයක්ද ගත කළ කොඩිකාර ඒ ජීවිතය ගැන ලියන්නේ මා දන්නා කිසිම උපවැදියෙකු තුළ නොදක්නා ලැබෙන අවංකකමකිනි; නිහතමානයකිනි. කෙතරම් නිහතමානී වුවත් කොඩිකාරගේ පොත අපේ රට හා සංස්කෘතිය ගැන විචාරාත්මක නිරීක්ෂණවලින් යුතුය. නන්දිමිත‍්‍ර යනු සිරිලාල් කොඩිකාර වැනි ප‍්‍රති-සංස්කෘතික චින්තකයෙකු නොවන නිසා කොඩිකාරගේ වැනි විචාරාත්මක බවක් ඔහුගෙන් බලාපොරොත්තු වීම වැරදිය. එහෙත් මේ කෘති දෙක තුලනාත්මකව කියවීම ප‍්‍රයෝජනවත්ය.
නන්දිමිත‍්‍ර ස්වභාෂාවෙන් අධ්‍යාපනය ලද, පනස් හයේ පෙරළිය අත්දැකීමෙන් දුටු ඒ පෙරළිය මගින් අපේක්ෂිත වෙනස්කම්වල පල ලැබූ, පරිවර්තන මගින් ලෝක සාහිත්‍ය කිය වූ ලේඛකයෙකි. තමන් වැන්නෙකුට ලිපිකාර සේවයට පවා යාමට හැකි වූයේ පනස් හයේ පෙරළිය නිසා බව අවධාරණයෙන් කියන නන්දිමිත‍්‍ර තමන් වැනි ග‍්‍රාමීය පසුබිමක කෙනෙකු ලේඛකයෙකු බවට පත් කරන්නටද 1956 ආශි‍්‍රත සමාජ සංවාදය දායක වූ බවද පෙන්වා දෙයි. සිංහල පමණක් දන්නා පිරිසකට පනස් හය පෙරළිය විසින් ඇති කළ නව අවස්ථා ගැන හැ`ගීමක් දෙන මේ කෘතිය ඒ නිසා සිංහල නොදන්නා පිරිසකට ඒ නිසාම ඇති වන්නට ඇති ”අවස්ථා අහිමිවීම” ගැනද පරිකල්පනය කරන්නට අපට ඉඩ දෙයි.
1956 ආශි‍්‍රත සමාජ සංවාදය නන්දිමිත‍්‍රගේ සාහිත්‍ය ජීවිතයට බලපාන්නේ එකක් විසින් අනික නිර්ණය කරන සරල රේඛීය ආකාරයකට නොවේ. ඔහුගේ චින්තනය සකස්වන්නේ ඒ සංවාදය ඇසුරිනි. යම් කාලයක වසන සාහිත්‍යකරුවා එකල පවතින සමාජ සංවාදය හා සම්බන්ධ වන්නේ ඊට එක`ගවෙමින් හෝ විරුද්ධ වෙමින්, එය සංකීර්ණ කරමින් හෝ ඊට පදනම් වූ දෘෂ්ටිවාද විචාරය කරමින් යනාදී වශයෙනි. එනම් සාරවත් සාහිත්‍ය සංස්කෘතියක් ඇති කලෙක සජීවී සමාජ සංවාදයක් පවතී. අලූත් වචනයකින් කියන්නේ නම් නොයෙක් කතිකා අතර තරගයක් පැවතීම සාරවත් සාහිත්‍ය සංස්කෘතියක ලක්ෂණයකි. මෙවන් කතිකා විසින්ම තවත් ආධුනික ලේඛකයෝද හැඩගස්වනු ලබති. නන්දිමිත‍්‍රගේ පොතෙන් කියවෙන්නේ 1956න් පසු ඇති වූ සිංහල ජාතිකවාදී සංස්කෘතික ප‍්‍රබෝධය හා ජාතික-සමාජවාදී දේශපාලන ප‍්‍රබෝධය ඇසුරේ හැදුන වැඩුන ලේඛකයෙකුගේ කතාවය. එක් පුද්ගලයෙකුගේ අත්දැකීම නිවැරදි ඉතිහාසය ලෙස ගැනීම වැරදිය. එසේම ඒකපුද්ගල අත්දැකීම සපුරා නොසලකා හරින සාම්ප‍්‍රදායික ඉතිහාස රචනයද වැරදිය. සාමාන්‍යයෙන් ප‍්‍රබන්ධ කතාව තැත් කරන්නේ ඉතිහාස රචනය වෙතින් වෙන මේ අඩුව පිරවීමටය. ඉතිහාසය හා පුද්ගල ජීවිතය අතර සන්නිවේදන නහර පද්ධතියක් ගොඩ නැගීමටය. හොඳින් ලියන ලද ජීවිත කතාවද මතක සටහනද එවන් සන්නිවේදන නහර පද්ධතියක් ගොඩ නගයි.
නන්දිමිත‍්‍රගේ කෘතිය එවන් වැදගත්කමක් දරයි. පනස් හයේ පෙරළිය ආශි‍්‍රත සමාජ සංවාදය ගැන නන්දිමිත‍්‍ර කරන නිරීක්ෂණ ආංශිකද, අසම්පූර්ණද, විචාරශීලීත්වයෙන් තොරද වන්නට පුළුවන. ඊට හේතුව ඔහු ඒ ඓතිහාසික සිද්ධිය වෙත තාමත් දක්වන ආකර්ෂනයයි. පනස් හය ගැන විග‍්‍රහයක් කරන්නට තමන් අසමත් බව ඔහු ඉතා නිහතමානීව කියයි. මෙම පොත පනස් හය සම්බන්ධ න්‍යායික විග‍්‍රහවලට වැඩි අන්තර්දෘෂ්ටියක් අපට සපයන්නේද ඒ නිසාය. අවංක ලේඛකයන්ගේ සුහද හා නිහතමානී නිරීක්ෂණයන් පොහොසත් ඉ`ගි සපයයි. ග‍්‍රාමීය උගත් තරුණයෙකුට පනස් හය කාලය දැනුණ සැටි ගැන ප‍්‍රයෝජනවත් විස්තර නන්දිමිත‍්‍රගේ පොතේ එයි. ඔහු පනස් හය විස්තර කරන්නේ න්‍යායික විග‍්‍රහයක් ලෙස නොව ජීවන අත්දැකීමක් ලෙසය. මේ හොඳ නවකතාව හා අවංක චරිතාපදානයට කළ හැකි වැදගත් කාර්යකි.
ස්වභාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා රාජ්‍ය සේවයට එක්වූ ප‍්‍රථම පරම්පරාව ඒ ඒ ආයතන තුළදී පිළිගැනුණ ආකාරය ගැන කතුවරයා මෙසේ විස්තර කරයි: ”ඒ වන විට කාර්යාලය තුළ සේවයේ නියුක්තව සිටි සෑම දෙනාම පාහේ ඉංගි‍්‍රසි මාධ්‍යයෙන් සේවයට පැමිණියෝ වූහ. ඔවුන් අප දෙස බැලූවේ කොහෙන්දෝ පාත් වූ ගොඩයන් රැුලක් දෙස බලන්නා සේ ය. රජයේ වැඩ දෙපාර්තනමේන්තුවේ උසස් තනතුරු දැරූ බොහෝ අය දෙමළ නිලධාරීහු වූහ. ඔවුන් අප දෙස බැලූවේද අප‍්‍රසන්න හැ`ගීමෙනි. දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනී සිට පත් වීම් ලද දෙදෙනෙක්ද එ දින වැඩ බාර ගැනීමට පැමිණ සිටියහ. පැරැණි දෙමළ නිලධාරීහු ඔවුන්ට සුහදකම් පෑහ. එහෙත් සිංහල නිලධාරීහු වැඩි දෙනෙක් එසේ නොකළහ. අපට සුහදව සලකා සහයෝගය දැක් වූ පැරණි සිංහල නිලධාරීන් ස්වල්ප පිරිසක්ද වූ බව ඔවුන් ගැන ගෞරවයෙන් සිහිපත් කරමින් සඳහන් කළ යුතුය. අලූතින් දෙමළ මාධ්‍යයෙන් පැමිණි ලිපිකරුවෝ අපේ හොඳ මිතුරන් බවට පත් වූහ.”
ස්වභාෂා අධ්‍යාපනය හා පනස් හයේ පෙරළිය නිසා ඇති වූ සංකීර්ණ මානව සම්බන්ධතා හා සමාජ ධුරාවලිගතවීම් ගැන ප‍්‍රයෝජනවත් නිරීක්ෂණ මෙම පොතෙහි එයි. නිදහස් අධ්‍යාපන වරප‍්‍රසාද රට පුරා ව්‍යාප්ත කරන අතර ස්වභාෂා අධ්‍යාපනය වෙනුවට ද්විභාෂා හෝ ත‍්‍රීභාෂා අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම පනස් හයේදී කළ යුතුව තිබුණ දෙයක්ද? නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන අතරම පනස් හය දෙස විචාරාත්මකව බැලිය යුතුද? සිංහල හෝ දෙමළ පමණක් උගත් එහෙත් අතිශය බුද්ධිමත් හා දක්ෂ තරුණයෝ විවිධ ක්ෂේත‍්‍රවල සේවයේ යෙදී සිටිති. ඔවුන්ට හොඳට ඉංග‍්‍රීසිය ඉගෙන ගන්නට අවස්ථාව තිබුණා නම් ඒ ඒ ක්ෂේත‍්‍රවල ඉන්නා දැනට ඉංගී‍්‍රසි දන්නා නිසාම ප‍්‍රවීනත්වයට පත් සමහර අයට වඩා බොහෝ වැදගත් සේවයක් ඒ ක්ෂේත‍්‍රවලට කරන්නට මේ තරුණයන්ට හැකියාව තිබිණ. ස්වභාෂා අධ්‍යාපනයේ වැදගත්කම අවධාරණය කරමින් 56 න් පසු ඉංග‍්‍රීසිය ඉගැන්වීමේ වැඩපිළිවෙලක් සකස් නොකිරීම ගැන විවේචනාත්මකව බැලීමටද නන්දිමිත‍්‍ර මෙම කෘතියේදී තැත් කරයි. පනස් හය දෙස ආපසු හැරී බලන මෙවන් යුගයක නන්දිමිත‍්‍රගේ කෘතියද ප‍්‍රයෝජනවත් මැදිහත් වීමක් කරයි.
නන්දිමිත‍්‍ර යනු සිංහල ප‍්‍රබන්ධ කතාව ශිල්පීය හා තාක්ෂණය අංගයන්ගෙන් වර්ධනය කළ ලේඛකයෙක් නොවේ. ඔහුගේ සාහිත්‍යයෙහි ප‍්‍රධානම සද්ලක්ෂණය ඔහු කියන කතාවෙහි ප‍්‍රබලතාවයි. ඒ ප‍්‍රබලතාවේ මූලයන් මොනවාද යන්න මේ පොතෙන් හෙළිවෙයි. මෙම පොතෙන් පෙනෙන සැටියට ඔහු ලියු බොහෝ කතා ඔහුගේම ජීවිතය හා ඔහු හොඳින් දන්නා හඳුනන සාමාන්‍ය මිනිසුන්ගේ කතාවන්ය. විවිධ මිනිසුන්ගේ ජීවිතය හා නන්දිමිත‍්‍ර සම්බන්ධ වන්නේ ඒ මිනිසුන්ගේම ජීවිතයේ කොටස්කාරයෙකු සේය. ජීවිතයේ කොටස්කාරයෝ යනු ඔහුගේම පොතක නම වීම ඒ නිසා අරුමයක් නොවේ. පරාක‍්‍රම කොඩිතුවක්කුගේ කවිය, ජයතිලක කම්මැල්ලවීරගේ කෙටිකතාව, සයිමන් නවගත්තේගමගේ ඇතැම් කෘති විශිෂ්ටත්වයට පත් වන අවස්ථාවල ඊට එක් හේතුවක් වන්නේ ඒ කෘතිවල එන ජීවිතයට සහභාගිවීමට ඒ රචකයන්ට ඇති නිහතමානී හැකියාවය. ව්‍යාජ මහත්වරුන්ගේ ජීවිතය තුට්ටුවකට මායිම් නොකිරීමට නවගත්තේගමට වූ බොහිමියානු ශක්තිය නන්දිමිත‍්‍රට නැතත් තමන්ගේ බාප්පා කෙනෙකු ප‍්‍රසිද්ධ හරක් හොරෙකු වූ බව නන්දිමිත‍්‍ර කියන්නේ අව්‍යාජ ගැමියෙකුගේ නිහතමානීකමිනි. ඒ නිසා මල්දෙනියේ සිමියොන් චරිතය උපත ලබන්නේ කෙසේදැයි අපට දැන ගන්නට ලැබෙන්නේ මතු නොව එවන් චරිත වෙත නන්දිමිත‍්‍ර හෙලන උපේක්ෂා සහගත දෘෂ්ටියේ මූලයද හෙළිදරව් වෙයි.
කතන්දරකරුවෙකුගේ සටහන් කෘතිය ලංකාවේ වැඩ කරන පාන්තික පසුබිමකින් මතුව ප‍්‍රකට ලේඛකයෙකු වීමට යන ගමනේ සංකීර්ණතාද මැනවින් හෙළි කරයි.
ඇරැව්වල නන්දිමිත‍්‍ර රසවත් කතන්දර කියූ කතන්දරකරුවෙකි. එහෙත් ඔහු ඒ කතන්දර කියන ආකාරය ගැන නූතනවාදී ප‍්‍රබන්ධකතාවෙන් ආභාසය ලබන්නට තැත් නොකළේය. ප‍්‍රබන්ධකතාවේ ව්‍යුහයීය අත්හදා බැලීම් කරන අය උපහාසයට ලක් කරන ගුණදාස අමරසේකර පවා කතා කියන ආකාරය ගැන නොයෙක් වෙනස්කම් කර ඇති බව ඔහුගේ විල්තෙර මරණය කෘතියෙන් පවා පෙනේ. නන්දිමිත‍්‍ර එවැනි ප‍්‍රබන්ධ කතාවේ රූපීය අත්හදා බැලීම්වලට උත්සාහ දරනු වෙනුවට අන් කාටවත් නොකිව හැකි කතාවක් කියන්නට තැත් කරයි. අලූත් අකාරයෙන් කතා කියන සල්මාන් රුෂ්ඩි, ගේබ්රියෙල් ගාර්සියා මාර්කේස්, මයිකල් ඔන්ඩච්ජි, මිලාන් කුන්දේරා, තොමස් පින්චන් ආදීන් පි‍්‍රයතම ලේඛකයන් ලෙස සලකන රසිකයෙකුගේ ලෝකයෙහි ඇරැුව්වල නන්දිමිත‍්‍රට ඉඩක් නොතිබිය යුතුද? එවන් රසිකයෙකු වන මම නන්දිමිත‍්‍රගේ කෙටිකතා කිහිපයක්ම අපූරු කතා ලෙස සලකමි. ඔහුට තවත් කතන්දර කියන්නට ඇත් නම් මම නම් ඒවාට ආසාවෙන් සවන්දෙමි.

ආචාර්ය ලියනගේ අමරකීර්ති

 

Latest Posts