තවත් දිගු කලක් දිවි ගෙවන්නට ඇවැසි දිරිය ලද "සඳ කිනිති නැමී"

කලා
Typography

ලක්ෂ්මන් විජේසේකරගෙ "සඳ කිනිති නැමී" ප්‍රසංගය ඔහුගෙ නිහතමානී බවත්, චාම් බවත් මූර්තිමත් කළ සන්ධ්‍යාවක්. එය සාර්ථක වන්නෙ ඔහුගෙ මිනිසත්කමට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය නිසා විතරක්ම නෙවෙයි. සංවිධාන කටයුතුවල සාර්ථකත්වය නිසා.

වෙනදා ප්‍රසංග පවත්වන ගායකයො සමහර ගීත රචකයො, සංගීතවේදියො තමන්ගෙ පුරාජේරැව ගැන එක පැත්තකින් දෙසා බාන කොට නිවේදකයො අනිත් පැත්තෙන් අඬබෙර ගැහුව. ඒ හිරිහැරය මේ ප්‍රසංගයෙ නෑ. පොර ටෝක් නෑ. වැඩේ චාම්. ගීයට තමයි ප්‍රමුඛත්වය දුන්නෙ.
නිවේදන කටයුත්ත සීමාසහිත වීමත් ඒ සඳහා අලුත්ම ආදේශක තෝරා ගැනීමත් අති සාර්ථකයි. පූර්විකා සටහන් වුණත් ප්‍රාමාණිකයි.

සිනා පිපෙනා, සමාව ඉල්ලා, දැල්වූ පහන්, ඇති දේ ඇති සැටියෙන්, ඔබ මට තරැවකි, සුපෙම් හැඟුම්, මේ ප්‍රේම සීමා මාලකේ, දෑත දෙපාලන, සඳ කිනිති වැනි මියුරැ ගී ප්‍රසංගය ආලෝකවත් කළා. අප තුළ සිටින ශිෂ්ට සම්පන්න මිනිසා අවදි කරලන්නට ඔහුගෙ ගී හොඳටම පොහොසත්.

ඊට අමතරව, ඔහු සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස වේදිකාව සහ ටෙලිනාට්‍යය වර්ණවත් කළ අවස්ථාවනුත් මෙනෙහි කළා නම් එය මෙවන් අවස්ථාවක අගය තවත් ඔසවා තබන්නට හේතුවක් වන්නට ඉඩ තිබුණා. 1984 සිහින සාප්පුව සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් ලක්ෂ්මන් රාජ්‍ය සම්මානයටත් පාත්‍ර වූ බව අපට අමතක කරන්නට බැහැ..ඔහු නළුවකු බවත් සහෘදයන්ට තවම මතකයි.

අනිත් අතින් "සඳ කිනිති නැමී" පසුතලය වෙනස්. විසිතුර වගේම ගැඹුරත් තිබුණා. ඇතැම් ග්‍රැෆික් සිතුවම්වල අනෞචිත්‍යයක් තිබ්බත් සමස්තය අගෙයි.නාද තුලනය ඉස්තරම්. රෝහණ වීරසිංහත් සිය මිතුරා වෙනුවෙන් උපරිමය කළා. ලකි අයියගෙ කට හඬ එදා වගෙම තරැණයි. හැත්තෑවක් කියල හිතන්නවත් බෑ. ඔහුට තවත් දිගු කලක් දිවි ගෙවන්නට ඇවැසි දිරිය මෙයින් ලැබුණා. නෙළුම් පොකුණ පිරී ඉතිරී ගිය ආනන්දයම ඔහුට ඇති. සුබ පැතුම්
-නිලාර් එන් කාසිම් FB

Latest Posts