කල්‍යාණියේ ඔබ නෑසූ කතාවක් කියන්නම්

ව්‍යාපාර
Typography

කල්‍යාණියේ ඔබ නෑසූ කතාවක් කියන්නම්...මේ පද පේළි ගයන්නේ මිල්ටන් පෙරේරාය. එම ගීතය මේ ලිපියට පදනම් කර ගන්නේ හේතු ඇතුවය. දිනය 2016 මැයි 06 වනදාය. ස්ථානය බොරලැස්ගමුවේ පිහිටි Fingara Town & Country Club ය.

එදින එහි පැවැත්වෙමින් තිබුණේ පැදුරු සාජ්ජයක්ය. ඉහත ගී පද ඒ අවස්ථාවේ ගායනය කළේ එෆ් ඇන්ඩ් ජී අධ්‍යක්ෂවරයකු වන උපාලි රාජපක්ෂය. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යාණි දසනායකට ඒ ගී හඬ ඇසුණාද? මින් එහාට අප ඒ ගැන මොකුත් ලියන්නේ නැත. 

පසුගිය සතියේ අප පළ කළ දේශීය ආදායම් ලොකු නෝනා කොතලාවලගේ කොටස්කාරියක්ද?” යන පුවත කියවූ අයකුට ගීතය ආගන්තුක වුවත් උපාලි සහ කල්‍යාණි සම්බන්ධය ආගන්තුක විය නොහැකිය. එහෙත් එම පුවත ඇස නොගැටුණු අයකුට මේ මොන අන්ඩර දෙමළයක්ද යන ප‍්‍රශ්නය මතු විය හැකිය. එනිසා ඒ ප‍්‍රශ්නය විසඳාගෙනම කාරණයට බහින්නට අපිට සිදුව ඇත.

පසුගිය සතියේ අප පළ කළ පුවතට පදනම් වන්නේ ලලිත් කොතලාවල මහතා සතුව තිබූ එෆ් ඇන්ඩ් ජී පෞද්ගලික සමාගමේඅධ්‍යක්ෂ මණ්ඩලයට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යාණි දසනායක මහත්මිය පත්කර ගැනීම සඳහා රහසිගත මෙහෙයුමක් ක‍්‍රියාත්මක වෙමින් ඇති බව හෙළි වීමය. එෆ් ඇන්ඩ් ජී පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන උපාලි රාජපක්ෂ විසින් පසුගිය ජූලි 06 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මෝසම ජූලි  (27)  කැඳවූ අවස්ථාවේ දී එය හෙළි වූ බව ද අපි එහි දී වාර්තා කළෙමු.

එම පුවත අප පළ කිරීමට පෙර ඒ පිළිබඳ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යාණි දසනායකගෙන් විමසීමක් කළ ද ඇය සඳහන් කර සිටියේ එෆ් ඇන්ඩ් ජී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට තමන්ව යෝජනා කළ බව නොදන්නා බවත් උසාවියේ ඇති කරුණක් ගැන කිසිවක් තමන් ප‍්‍රකාශ නොකරන බවත්ය. කොමසාරිස් ජනරාල්වරියගේ මේ ප‍්‍රකාශය කොතරම් වගකීම්සහගතද? අපට අනුව නම් ඇයගේ පෞද්ගලික ජීවිතයට අදාළව කෙසේ වුවත් සිය නිල ධුරයේ සදාචාරයවත් රැකගන්නට උත්සාහ කර නැත. එවැනි තත්ත්වයක් වූවා නම් ඒ සම්බන්ධව සොයා බලා නෛතික ක‍්‍රියාමාර්ග ගන්නා බව වචනයෙන්වත් කියන්නට ඇයට අවස්ථාව තිබුණි. ඉතින් ඇගේ පිළිතුර අපට ගෙනෙන පණිවිඩය වන්නේ ඇය අවම සදාචාරයක්වත් වෘත්තීයමය ගෞරවය ගැනවත් කිසිදු සැලකිල්ලක් දක්වා නොමැති බවය.

එෆ් ඇන්ඩ් ජී පෞද්ගලික සමාගමේ සභාපති ලෙස පෙනී සිටින උපාලි රාජපක්ෂ සමඟ හෝ කල්‍යාණි දසනායක සමඟ අපට පෞද්ගලික අමනාපයක් නැත. ගැටලූ‍ව වන්නේ කල්‍යාණි දසනායක දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරිය ලෙස කටයුතු කරන අතරතුර මෙලෙස හැසිරීමය. අනෙක් අතට මෙරට බදු ගෙවන කොයි කාගේත් ලිපිගොනු භාරව කටයුතු කරන අංශයේ ප‍්‍රධානියා මෙලෙස එහි විශ්වසනීයත්වය කෙලෙසෙන ලෙස හැසිරීමය. එසේම එෆ් ඇන්ඩ් ජී යනු මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මත එහි වත්කම් විකුණා තැන්පත්කරුවන්ට මුදල් යළි ලබා දීමට සිදුව ඇති සමාගමක්ය. ඒ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව තැන්පත්කාර පාර්ශ්ව නියෝජනය කර අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර ඇති අතර එෆ් ඇන්ඩ් ජී හි ආයෝජනය කළ 4500 කට ආසන්න පිරිසකගේ රුපියල් බිලියන 07 කට ආසන්න මුදල් නැවත ලබා දීමේ වගකීම ඇත්තේ ඔවුන්ටය. එවැනි පසුබිමක ඇති ආයතනය දුර්වල කොට එය සොච්චම් මුදලකට හිතවතකුගේ මාර්ගයෙන් මිලදී ගැනීමේ නින්දිත උත්සාහයක උපාලි රාජපක්ෂ නිරත වෙන අතර ඒ බව ද අපි පසුගිය පුවතින් හෙළි කළෙමු. මේ එහි තවත් දිගහැරුමක්ය. එසේත් නැතිනම් මේ සූදානම කල්‍යාණියේ ඔබ නෑසූ කතාවක් කියන්නය.

උපාලි රාජපක්ෂ එෆ් ඇන්ඩ් ජී පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වන්නේ 2009 වසරේ දී එෆ් ඇන්ඩ් ජී පෞද්ගලික සමාගමේ ආයෝජනය කර සිටි පිරිස් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අනුවය. පෙත්සම ගොනු කර  වසර 7කට පසුව එහි තීන්දුව ලබා දුන් අතර ඒ ප‍්‍රියසාත් ඩෙප්, උපාලි අබේරත්න හා අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ ත‍්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය විසින්ය. ඊට අනුව ලලිත් කොතලාවල මහතාගේ ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි රියල් ස්ටේට්හා ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි ප්‍රොපටි ඩිවෙලොපර්ස් ප‍්‍රයිවට් ලිමිටඩ්ආයතන දෙකේ තැන්පත්කරුවනට ඔවුන්ගේ තැන්පතු ගෙවීම් සඳහා කටයුතු කරන්නට මැදිහත්වීම සඳහා තැන්පත්කරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සිවුදෙනකු අධ්‍යක්ෂවරුන් ලෙස පත් කරන්නට නියම කෙරිණ. එම නියමයට උපාලි රාජපක්ෂ සහ ඈෂ්ලි විලත්ගමුව තැන්පත්කරුවන්ගේ සංගමය නියෝජනය කරමිනුත් ස්වාධීන තැන්පත්කරුවන්ගේ සංගමය නියෝජනය කළ සී. කල්දේරා හා මහින්ද විජේසූරිය  සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වූහ. එසේම බැංකු ගිණුම් පවත්වාගෙන යාම සඳහා නව අධ්‍යක්ෂවරුනට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය එම අධ්‍යක්ෂවරුන් සෙලින්කෝ ෆින්ගාරා ටවුන් ඇන්ඩ් කන්ටි‍්‍ර ක්ලබ්, ෆින්ගාරා ඉන්ටනැෂනල් ක‍්‍රිකට් ඇකඩමි ප‍්‍රයිවට් ලිමිටඩ්, එෆ් ඇන්ඩ් ජී මැනේජ්මන්ට් සර්විසස් ප‍්‍රයිවට් ලිමිටඩ් හා එෆ් ඇන්ඩ් ජී හවුසින් ප‍්‍රයිවට් ලිමිටඩ් යන අනු සමාගම්හි අධ්‍යක්ෂවරුන් ලෙස ද පත් කරනු ලැබිණ.

උපාලි තනියම Fingara Town &Country Clubඅත්පත් කර ගන්නට සැලසුම් කරන්නේ එයින් අනතුරුවය. මෙහි දී මතක තබාගත යුතු කරුණක් වන්නේ සෙලින්කෝ සමූහය ගෝල්ඩන් කී සිදුවීම හමුවේ පාඩු ලබන විට Fingara Town &Country Club ලාභ ලැබූ ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට එහි කාර්යමණ්ඩලය සමත් වීමය. සමාගමේ ගිණුම් පරීක්ෂා කරන්නකුට ඒ බව තහවුරු කරගත හැකිය. ඒ අනුව Fingara Town &Country Club සොච්චමකට අත්පත් කර ගන්නට නම් එය පාඩු ලබන තැනට ගෙන ආ යුතු අතර ඒ වෙනුවෙන් සේවක මණ්ඩලය දුර්වල කරන්නට කටයුතු යෙදීම උපාලිගේ සැලැස්ම වී ඇත. මේ බව ආයතනයේ සේවක මණ්ඩලයේ මැදිහත් වීමෙන් 2016 ජුනි 03 පොලිස්පතිවරයාට යොමු කළ ලිපියේ පැහැදිලිව දක්වා ඇත.

එපමණක් නොව සිය පහත් ව්‍යාපාරික අවශ්‍යතාව ඉටුකර ගැනීම වෙනුවෙන් ඔහු කළ කී දේ ඇතුළත් පැටිකිරිය අප වෙත ලැබී ඇත. අප එයින් කිහිපයක් මේ තුළ මතුකර දක්වන්නේ උපාලි රාජපක්ෂට ඊට පිළිතුරු දීමේ අයිතිය ද පිළිගනිමින්ය. අප පළ කරන කරුණුවල සත්‍ය අසත්‍ය බව ඔප්පු කරන්නට ඒ තුළ අවස්ථාව ඇත.

1. Fingara Town &Country Clubපිළිබඳ අප වෙත වාර්තා වන අන්දමට ආයතනයේ මුදල් වංචාවක් සම්බන්ධයෙන් සේවයෙන් පහකළ අය නැවත ආයතනයට කැඳවා රැකියාව ලබා දීමට කටයුතු කිරීම සහ ඒ වෙනුවෙන් පෞද්ගලිකවම මැදිහත් වීම. (මීට අදාළ පුද්ගල නම් ගම් අප සතුව ඇත)

 

2. කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සහ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් නොගෙන සේවක අත්තිකාරම් මුදල් ගෙවීම නතර කිරීමට මැදිහත් වීම. (මේ පිළිබඳ විස්තර අප පසුගිය සතියේ පුවතින් අනාවරණය කර ඇත.)

 

3. ආයතනය ගනුදෙනු කරන චෙක් පොත් පෞද්ගලිකව තමන් සන්තකයට ගැනීම.

4. ආයතනයට කිසිදු සම්බන්ධයක් නැති ඔහුගේ පුත‍්‍රයා සහ පුත‍්‍රයාගේ මිතුරන් මෙන්ම පෞද්ගලික ලේකම් පරිපාලන කටයුතු සඳහා මැදිහත් වීමට ඉඩ දීම. (මීට අදාළව සේවක මණ්ඩලයේ 90% කට ආසන්න පිරිසක් විරෝධය පළ කළ ලියවිල්ලක් අධ්‍යක්ෂ මණ්ඩලයට භාරදී ඇති අතර නෛතික ක‍්‍රියාමාර්ග ද ගෙන ඇත.)

5. සිය පුත‍්‍රයාගේ මැර කණ්ඩායම් යොදා ආයතනයේ කළමනාකරුවන්ට තර්ජන කරවීම සහ සේවකයන්ට තර්ජනය කිරීම. (මේ සම්බන්ධව නඩුවක් අධිකරණයේ විභාග වන අතර පොලිස් පැමිණිලි කිහිපයක් සිදු කළ අවස්ථා ද ඇත)

6. දේශපාලන හිතවත්කම් සහ ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ගේ සහාය අයුතු ලෙස යොදාගෙන කාර්යමණ්ඩලයට තර්ජනය කිරීම. (මේ සම්බන්ධව පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දීමට ආයතන කාර්යමණ්ඩලය කටයුතු කර ඇත)

7. ආයතනයේ සිදු වූ මූල්‍ය අක‍්‍රමිකතා සහ විවිධ සොරකම් පිළිබඳ හෙළිකර දුන් සේවකයන්ට විරුද්ධව පරීක්ෂණ පැවැත්වීමට බල කිරීම සහ චෝදනා ලැබූ පිරිස් වෙනුවෙන් ප‍්‍රසිද්ධියේ පෙනී සිටීම.

මේ පසුබිමේ පසුගිය දා සිය අධ්‍යක්ෂ මණ්ඩලයේ තමා හැර ඉතිරි තිදෙනා ඉවත් කරන ලෙස ඉල්ලා උපාලි රාජපක්ෂ මෝසමක් ඉදිරිපත් කිරීම ගැන අප පුදුම වන්නේ නැත. කොටින්ම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මේ වන විට ඔහුව සභාපති ධුරයෙන් ඉවත් කරන්නට තීන්දු කළ බව දැනුම් දී ඇතත් උපාලි රාජපක්ෂ කටයුතු කරන්නේ තවමත් ආයතනයේ සභාපති ලෙස පෙනී සිටිමින්ය. අනෙක් අතට කොහොමටත් උපාලි රාජපක්ෂ සමඟ විසඳා ගන්නට දෙයක් අපට නැත. ඒ ආයතනය තමන් වෙත නතුකර ගන්නට මේ වන විටත් උපාලි රාජපක්ෂ නටන්නට ඇති බොහෝ නැටුම් නටා ඇති බව අපට පැහැදිලි නිසාය.

මේ හමුවේ අපට අපැහැදිලිව තිබෙන්නේ  Fingara Town &Country Clubඇතුළු එෆ් ඇන්ඩ් ජී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරිය වන කල්‍යාණි දසනායක ඇතුළත් කිරීමේ පදනම ගැනය. අප දන්නා පරිදි වත්කම් විකුණා තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ලබා දීමට ඇති ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩලයට ගොස් කොමසාරිස් ජනරාල්වරියට කරන්නට ඇති රාජකාරියක් නැත. එය මුළුමනින්ම ආචාර ධර්ම කඩ කරන කාර්යයක්ය. කොමසාරිස් ජනරාල්වරිය නොදැනුවත්ව මෙය සිදු කරන්නට උපාලි රාජපක්ෂට කොහෙත්ම ඉඩක් නැත. මන්ද මෝසම, ඉදිරිපත් කරන විට අදාළ පාර්ශ්වයේ එකඟතාව ගැන උපාලි රාජපක්ෂ සහතික කළ යුතු නිසාය. උපාලි රාජපක්ෂ වෙනුවෙන් මෝසම ගොනු කළ නීතිඥ ලිලන්තී ද සිල්වා මෝසමේ දක්වා ඇති ආකාරයට නම් යෝජනා කළ අධ්‍යක්ෂවරුන් එම ධුරය බාර ගැනීමට එකඟතාව පළ කර ඇත. මෝසම පිළිබඳ සලකා බැලෙන විට ඒ බව තහවුරු කිරීමට ඇය සූදානම්ය. ඒ අනුව අපට හැෙඟන්නේ කොමසාරිස් ජනරාල්වරිය මෝසම ගොනු කරන විටත් සියඹලා කා ඇති බවය.

අනෙක් අතට කොමසාරිස් ජනරාල්වරිය හැර අධ්‍යක්ෂ මණ්ඩලයට යෝජනා කර ඇති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වන නිමල් දිසානායක සහ ඞී. හුන්ලානි පත් කරන්නට මෝසම හරහා ඉල්ලා තිබුණත් එම තිදෙනා අතර එෆ් ඇන්ඩ් ජී තැන්පත්කරුවකුව සිටින්නේ හුන්ලානි පමණය. එසේනම් මේ අදාළ නැති පාර්ශ්ව මේ කටයුත්ත සමඟ සම්බන්ධ වන ආකාරය ද සොයා බැලිය යුතුය.

කොහොමටත් මෙවැනි සමාගම්වල එදා මුදල් ආයෝජනය කළ පිරිස් අතර බහුලව වූයේ කළු සල්ලි සුදු කර ගන්නට පැමිණි තැන්පත්කරුවන්ය. ඔවුන් අතරින් බොහෝ දෙනකුද බදු ගෙවීම් පැහැර හැරි අය ය. නැතහොත් ඍජු බදු වෙනුවෙන්

ලිපිගොනුවක් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නැති නමුත් බදු ගෙවීමට අවශ්‍ය අයය. එනමුත් උපාලි ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ කොහේවත් යන අයව අධ්‍යක්ෂවරුන් කරන්නට හෝ එක්කෙනෙකුගේ අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් එෆ් ඇන්ඩ් ජී සතු වස්තු තවදුරටත් භංග කරන්නට නොවේය. එනිසා බිලියන 07කට ආසන්න මුදලක් සමඟ මේ අය දාන්න යන වෙට්ටුව ගැන සොයා බැලිය යුතු බව අවධාරණය කළ යුතුමය.

දැන් පාලන බලය උසුලන්නේ යහපාලන ආණ්ඩුවක්ය. ඔවුන් බලයට ආවේම වංචාව, දූෂණය, නාස්තිය අවම කරන බවට දස අතේ දිවුරමින්ය. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සතු බදු ලිපිගොනු සමාගම් දඩයමේ යන්නන් අතට පත්වන අවදානම ප‍්‍රසිද්ධියේ කියා පාන මේ යෝජනා කොහෙත්ම වෙළෙඳපොළට උචිත නැත. එනිසා තැන්පත්කරුවන් 4500 කට රුපියල් බිලියන 07 කට ආසන්න වටිනාකමක් ඇති දේපළක් සමඟ සෙල්ලම් කිරීමට උපාලි රාජපක්ෂට ඉඩ නොදීමට මෙන්ම රාජපක්ෂ සමයේ පැන්න රිලවුන්ට යහපාලන සමයේ  ඉණිමං තියන අය ගැන ද සෙවිය යුතුය. ඒ බදු ගෙවන අයගේ විශ්වාසය බිඳ වැටීම කල්‍යාණිට කෙසේ වෙතත් ආණ්ඩුවට අහිතකර නිසාය.

- සංජය ලියනගේ

Latest Posts

Face Book Setup 01