ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවට ගිය අනාථ දරුවා -රෝමන් අබ‍්‍රමොවිච්

ව්‍යාපාර
Typography

පුද්ගලයකුගේ ජීවිතය තත්පර ගණනකින් වෙනස් වෙන්න පුළුවන්. විනාඩි ගණනකින් වෙනස් වෙන්නත් පුළුවන්. පැය  ගණනකින්, දවස් ගණනකින් නැතිනම් වසර ගණනාවකින් වෙනස් වෙන්නත් පුළුවන්.

ඒ වෙනස හොඳ හෝ නරක වෙන්නත් පුළුවන්. කොහොමත් කාලය ජීවිත වෙනස් කරනවා. මේ ජීවිත කතාවේ අයිතිකාරයා රෝමන් අබ‍්‍රාමොවිච් ^Roman Abramovich). අනාථ දරුවෙක් ලෙස  හැදී වැඩෙන රෝමන්ගේ ජීවිත කතාව ලෝකයට විවර වෙන්නේ ඔහු ලෝකයේ ධනවතුන්ගේ ලැයිස්තුවට එකතු වීම නිසා. අද ඔහු සෙල්ලම් බඩු නිෂ්පාදන සමාගමක හිමිකරුවෙක් වගේම චෙල්සි පාපන්දු සමාජයේ සහ පෞද්ගලික ආයෝජන

සමාගමක් වන මිල්හවුස් එල්එල්සී හි හිමිකරුවා. ඒ වගේම මේ වන විට ඔහු රුසියාවේ තෙල් කර්මාන්තයට ද සම්බන්ධ වී සිටිනවා. මේ ඔහුගේ කතාව.

Roman Arkadyevich Abramovich එහෙමත් නැතිනම් රෝමන් 1966 ඔක්තෝබර් මාසයේ 24 වන දා රුසියාවේ සරාටෝව්වල දී උපත ලබනවා.  රෝමන්ගේ මව මිය යන විට ඔහුට අවුරුදු එක හමාරක්. රෝමන්ට යාන්තම් අවුරුදු හතරක් වෙන විට ඔහුගේ පියා හදිසි අනතුරකින් මිය යනවා. එතැන් සිට මවුපියන්ගේ රැකවරණය නොලැබෙන රෝමන් හැදී වැඩෙන්නේ අත්තම්මා සහ ඔහුගේ මාමා කෙනෙකු ළඟ. රෝමන්ගේ ළමා කාලය ශීතල, අඳුරු සහ පාළු පරිසරයක ගත වෙනවා. මොස්කව් නගරයේ සිය මාමාගේ රැකවරණය යටතේ හැදී වැඩෙන රෝමන් වැඩිදුර අධ්‍යාපනය නොලබාම පාසල් කාලය නිමා කරනවා. පසුව ඔහු  හමුදාවට එක් වී එහි වසර දෙකක් සේවය කරනවා.

හමුදාවෙන් ඉවත් වන රෝමන් සෝවියට් රුසියාවේ දේශීය කම්හල්වල කාර්මික ශිල්පියකු  ලෙස කටයුතු කරනවා. ඉන්පසුව කළු කඩ වෙළෙන්දෙක් විදිහට සුවඳ විලවුන්, දන්තාලේප සහ රේසර් විකුණන්නට රෝමන් යොමු වෙනවා. කළු කඩ වෙළෙඳාමෙන් ඉවත් වන රෝමන් ඊට වඩා විධිමත් ආකාරයකට මුදල් සොයන්න කල්පනා කරනවා. ඒ අනුව 1987 වසරේ දී ඔහු කුඩා ප්ලාස්ටික් සෙල්ලම් බඩු නිෂ්පාදන ආයතනයක් ආරම්භ කරනවා. රෝමන් ජීවත් වූ නිවසේම කුඩා පරිමාණයෙන්. එම ව්‍යාපාරයෙන් ඉතා කුඩා ලාබයක් තබා ගනිමින් විකිණීම ආරම්භ කරනවා. ඉදිරි වසර කිහිපය සෙමින් සෙමින් එම ආයතනය පුළුල් කරන්න රෝමන් කටයුතු කරනවා. ඔහු ඒ සඳහා කුඩා සහ මධ්‍ය ප‍්‍රමාණයේ සමාගම් මිලදී ගැනීම සහ විකිණීම සිදු කරනවා. බෝනික්කන් සමාගමෙන් ඔහු ලැබූ ආදායම මසකට රූබල් රුපියල් 3,000 සිට 4,000 දක්වා වැඩි කරගන්නට රෝමන්ට හැකි වෙනවා.

1980 දශකය අග භාගය සහ 90 දශකයේ මුල් කාලය රුසියානු ආර්ථික ප‍්‍රතිසංස්කරණ සිදු වීමත් සමඟම තවත් ව්‍යාපාර ආරම්භ කරන්නට කාලය පැමිණ ඇති බව රෝමන් කල්පනා කරනවා. 1992-1995 කාලය තුළ  රෝමන්

උද්යෝගයකින් යුතුව වෙළඳපොළ හැසිරෙන ක‍්‍රමය අවබෝධ කරගනිමින් කර්මාන්තවල ආයෝජනය කරන්නට යොමු වෙනවා. ඉන් පසුව රෝමන් කාලයක සිට පැවති ඔහුගේ සිහිනයක ඉටු කරගනිමින් රුසියානු තෙල් කර්මාන්තයට අතගසනවා. ඒ අනුව 1995 වසරේ දී ඔහු ඩොලර් මිලියන සියයක් ආයෝජනයක් කරමින් Sibneft තෙල් සමාගමේ කොටස් මිලදී ගන්නවා.

Sibneft හි සිදු කරන සාර්ථක ආයෝජනයෙන් පසුව රෝමන් අතගසන්නේ එවකට ලාබදායීම කර්මාන්ත අංශයක් වූ ඇලූමිනියම් කර්මාන්තයට. එහෙත් ඇලූමිනියම් කර්මාන්තය තුළ තිබූ අර්බුදකාරී තත්ත්වය නිසා ඊට ඇතුළු වීම වෙනුවෙන් එකිනෙකා මරාගන්නා යුගයක රෝමන් සිය ව්‍යාපාර බුද්ධිය භාවිත කරමින් සූක්ෂ්ම ලෙස ඇලූමිනියම් ව්‍යාපාරයේ එකම ජයග‍්‍රහකයා බවට පත් වෙනවා.

ඉන්පසුව රෝමන් අතගසන්නේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට. 2003 වසරේ දී එවකට රුසියාවේ තිබූ දුර්වලතම පාපන්දු සමාජය වූ Chelsea මිලදී ගන්නා රෝමන් ඔහුගේ භාරකාරීත්වය යටතේ එය ඉහළම ස්ථානයකට ගෙන එන්න කටයුතු කරනවා.

අද කොතරම් සාර්ථකත්වයක් අත්පත් කරගත්තත් රෝමන්ගේ සාර්ථකත්වයේ කතාව බොහෝ දෙනකුගේ සැකයට බඳුන් වී තිබේ. ඒ ඔහු සිය සාර්ථකත්වය සඳහා වැරදි ක‍්‍රම යොදා ගෙන ඇති බව පවසමින්. ඒ වගේම නිතරම වංචා, අල්ලස්, දූෂණ සහ අනෙකුත් චෝදනාද රෝමන් හට එල්ල වෙනවා.

මේ සියල්ල අවසානයේ රෝමන් අද ලෝක ධනවතුන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 50 වන ස්ථානයට පැමිණෙන්නට සමත් වී තිබෙනවා. වර්තමානය වන විට ඔහුගේ වත්කම්වල දළ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 9.8ක්.

”මගේ ඉල්ලකය ජයග‍්‍රණය කිරීම මිස මුදල් ඉපයීම නොවේ. මුදල් ඉපයීමට බොහෝ අවදානම් ක‍්‍රම තිබෙනවා. එහිදී සියල්ල නැති වී යන්නත් පුළුවන්. මුදල් අපතේ යවන්නට මට අවශ්‍ය නැහැ. එය ඉතා විනෝදජනක කාර්යයක්. ඒ නිසා සැබවින්ම මම සාර්ථකයි.”

ප‍්‍රදීපා වීරසේකර

Latest Posts

Face Book Setup 01