නව නිවාස හදන්නේ නැතුව, කිසිවෙකුත් ගෙවල්වලින් ඉවත් කරන්නෙ නෑ - අමාත්‍ය රවී කියයි

Typography

කොළඹ නගරයේ ජනතාවට නව නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන්නට පියවර ගන්නා අතර නව නිවාස ලබාදීමෙන් මිස කොළඹ නගරයේ කිසිවකු දැනට පදිංචි ස්ථානවලින් ඉවත් නොකරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශකර සිටියේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පැවති තරුණ හමුවකදීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් රවී කරුණානායක අමාත්‍යවරයා මෙසේද පවසා සිටියේය.

"රටෙ රටේ නිවාස අවශ්‍යතාවය ලක්ෂ 12ක් පමණ තියෙනවා. ඒ අතරින් නිවාස ලක්ෂ 5ක් අවශ්‍ය වන්නේ කොළඹ දිස්ත්‍රීක්කයේ ජනතාවට. නිවාස ලක්ෂ දෙකහමාරක හදන්න අපි මුදල් වෙන් කරලා තියෙන්නේ. මේ වැඩේට අවුරුදු 3ක් විතර යනවා. ඒ කටයුත්ත අවුරුදු එක හමාරකින් විතර අවසන් කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. එතකොට ඒ ජනතාවගේ ප්‍රශ්න වලින් 80% ක් විතර ඉවරයි.

හම්බන්තොට වරාය හදන්න කෝටී 19,800ක් වියදම් වුණා. ඔය වරාය හදන්න ගිය ගාණින් 10%ක් වියදම් කළා නම් මේ රටේ නිවාස ප්‍රශ්නය සෑහෙන දුරට විසඳන්න තිබුණා. ඒකෙන් තේරෙන්නේ මුදල් නොමැතිකම නෙමෙයි ඒවා නිසි කලමනාකරණයකින් තොරව වියදම් කිරිමේ ප්‍රතිඵල තමයි අද මේ ජනතාවට භුක්ති විඳින්න වෙලා තියෙන්නෙ.

යහපාලන ආණ්ඩුවේ වෙනස මෙන්න මේකයි. අප වැය කරන හැම සතයක් ගැනම වගකීමක් අපට තිබෙනවා. ඒ නිසා කොළඹ ජනාතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීම අපහසු කාරණාවක් නෙවෙයි කියන එක සඳහන් කළ යුතුයි.

ඒ වගේම එක පොරොන්දුවක් දෙන්න කැමැතියි. ඒ තමයි නිවාස හදන්නේ නැතුව කිසිවෙකුත් දැනට පදිංචි ස්ථානවලින් ඉවත් නොකරන බව වගකීමකින් යුතුව සඳහන් කරනවා."

ravi 3

Ravi 1