කතුවැකිය: තෝ මිටියයි මං මිටියයි න්‍යාය සහ වැඩවර්ජන

කතුවැකිය
Typography

ඉදිරි කාලය තුළ වැඩවර්ජන රැල්ලක් ඒමට නියමිත බව ආණ්ඩුව කියයි. වැඩවර්ජන එන විට සෑම රජයක්ම කළේ පළමුව ඒවාට බය නැති බව පැවසීමය. අනතුරුව බොහෝ විට සිදු වූයේ වැඩවර්ජන මර්දනය කරන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමය. ඒ අර්ථයෙන් ගත් විට වැඩ වර්ජනවලට ආණ්ඩුව කිසිදු බියක් ඇති කරගත යුතු නැත.

මර්දනයෙන් වැඩවර්ජන තාවකාලිකව අඩපණ කළ හැකිය. සමහර විට කිසියම් ආණ්ඩුවක් බරපතළ ලෙස මර්දන යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන අවස්ථාවක වැඩවර්ජන දිගු කාලයකට ඇන හිටිය හැකිය. එහෙත් වැඩවර්ජනයට තුඩු දුන් හේතූන් මර්දනය නිසා කිසි විටෙකවත් සමනය වන්නේ නැත.

චම්පික රණවක ඇමැතිවරයා ජනමාධ්‍යයට කියා තිබුණේ රට ප්‍රාණ ඇපයට ගන්නා සමිතිකාරයන්ට යටත් වීමට ආණ්ඩුව සූදානම් නැති බවය. ඇමැති රාජිත සේනාරත්න කියා තිබුණේ පාදඩ වැඩවර්ජනවලට බිය නැති බවය. එහෙත් මෙම ප්‍රකාශවලින් උද්ගත වීමට නියමිත ප්‍රශ්න විසඳිය හැකි යැයි සිතිය නොහැකිය. සමහර වැඩවර්ජන මඟින් ඒකාබද්ධ විපක්ෂයේ ද සහාය ඇතුව ආණ්ඩුව පෙරළන්නට තැත්කරන බවට ආණ්ඩුවේ ඇතැමුන් කරන චෝදනාව බරපතළ ය. එවැනි උත්සාහයන් පළමු නිමේෂයේ දීම පැරදවිය යුතුය. එය වැඩවර්ජකයන්ට ආණ්ඩුවේ ඇතැමුන් කරන බොරු චෝදනාවක් නම් එයත් අතිශයින්ම සාහසික බවත් කිව යුතුය.

මෑත අවධියේ රජයට හිසරදයක් වුණු ප්‍රධාන වර්ජන දෙකක් වූයේ තෙල් සේවක වැඩවර්ජනය හා සයිටම් පිළිබඳ ප්‍රශ්නයේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහෙයවන්නට යෙදුණු වර්ජන අවස්ථාය. තෙල් වර්ජනය මුළු රටම අක්‍රිය කරන මට්ටමට පත් වුණු අතර වෘත්තීය සමිතිවලට ඒ පිළිබඳ පොරොන්දුවක් දීමෙන් පසු වර්ජනය නතර කෙරිණි. එහි දී අගමැතිවරයා වෘත්තීය සමිතිවලට දුන් වැදගත් පොරොන්දු තුනකි. ප්‍රශ්නයට තුඩු දුන් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 ඉන්දියාවට නොපැවරීම, හම්බන්තොට වරායේ තෙල් පහසුකම් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පැවරීම හා සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීම එම ප්‍රධාන පොරොන්දු තුන ලෙස දැක්විය හැකිය. ඒවා කළ හැකි බවට අගමැතිවරයා පොරොන්දු වූ දේවල්ය. මේ වන විට වෘත්තීය සමිති ඒ සම්බන්ධයෙන් කියන්නේ අගමැතිවරයා සමඟ සාකච්ඡාවේ දී අත්කරගත් ඇතැම් එකඟතා කඩවන අයුරින් හා බරපතළ ලෙස පරස්පර විරෝධතා ඇති වන අයුරින් රජය ක්‍රියා කරමින් සිටින බවය. මේ ගැන එම වෘත්තීය සමිති අගමැතිවරයා යළි දැනුවත් කර තිබෙන බව ද දැනගන්නට ඇත.

එමෙන්ම මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස බලකර වෛද්‍ය නිලධාරී සංගමය සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට නියමිතව තිබුණි. ඊට අමතරව එට්කා ගිවිසුමට විරෝධය පළ කිරීමත් එම සංකේත වැඩවර්ජනයට අන්තර්ගතය. ආණ්ඩුවේ ආරම්භයේ සිටම අග්‍රාමාත්‍යවරයා සහ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සටනක් නොවන ආරෝවක් හටගෙන තිබිණි. සයිටම් පිළිබඳ ප්‍රශ්නයේ දී ආණ්ඩුව සමඟ බරපතළ ප්‍රතිවිරෝධතාවක් ඇති කර ගත්තේය. රටේ ප්‍රධාන පෙළේ වෘත්තිකයන් පිරිසක් සමඟ එබඳු දිගු කාලීන ප්‍රශ්නයක් ඇති කර ගැනීම අග්‍රාමාත්‍යවරයාගේ පැත්තෙන් යහපත් කටයුත්තක් නොවන අතර එබඳු ප්‍රශ්නයක් රටේ නායකයා විෂයෙහි නඩත්තු කරමින් සිටීම වෛද්‍ය වෘත්තිකයන්ගේ පැත්තෙන් යහපත් වන්නේ ද නැත.

සයිටම් පිළිබඳව රජය පාර්ශ්වයෙන් විසඳුමක් ලැබුණි. එහි අවසන් පරීක්ෂණය සමත් සිසුන්ට හෝමාගම හෝ අවිස්සාවේල්ල රෝහල්වල සායනික පුහුණුව ලබා දීම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පවත්වන ලබන පරීක්ෂණයකට එම සිසුන් පෙනී සිටීම අනිවාර්ය කිරීම, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම මෙන්ම වෛද්‍ය අධ්‍යාපනයට අවම ප්‍රමිතීන් නීතිගත කිරීම යනා දී කාරණා මෙහි දී රජයේ පාර්ශ්වයේ විසඳුම් විය. එහි මුල් කාරණා පිළිගත හැකිමුත් වෛද්‍ය අධ්‍යාපනයට අවම ප්‍රමිතීන් නීතිගත කිරීම යන්න අපැහැදිලිය. සයිටම් ආයතනයට බඳවා ගනු ලබන සිසු සිසුවියන් සම්බන්ධයෙන් උසස් පෙළ ජීවවිද්‍යා ධාරාවේ කවර මට්ටමක් සලකා බලනවාද යන්න මෙහි පැහැදිලි නැත. සාමාන්‍ය සාමාර්ථ තුනට හෝ ඉන් උඩට ගොස් සම්මාන සාමාර්ථ දෙකකට හා සාමාන්‍ය සමාර්ථයකට සයිටම් වෛද්‍ය විද්‍යාලයේ දොර හැර දීම නොකළ යුත්තකි. එම අවම සුදුසුකම්වලින් වෛද්‍ය වෘත්තියට ඇතුළු වීමට හැකි නම් එය විවාදාපන්න ප්‍රශ්නයකි. අඩුම තරමින් රජයේ වෛද්‍ය විද්‍යාලයට යා හැකි මට්ටමට 60%කින්වත් ළඟා වූ පිරිසකට මෙම ඉඩ විවර කරදීම උචිතය. එසේ නොවීමෙන් සමස්ත වෛද්‍ය වෘත්තියම හෑල්ලුවට ලක් විය හැකි බව කිව යුතුය.

කෙසේ වෙතත් සයිටම් සම්බන්ධයෙන් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට වඩා නම්‍යශීලී විය යුතුය. දැන්වත් එම වෘත්තියේ ගුණාත්මක තත්ත්වය රැක ගැනීම ගැන සිතා නියමිත ප්‍රමිතිකරණයට එම වෛද්‍ය උපාධිය ලක් කළ යුතුය. එසේ නොමැතිව අන්ත දෙකක සිට වාද කරගැනීමෙන් මෙම ප්‍රශ්නය විසඳිය නොහැකිය.

අනෙක් අතට වෘත්තීය අරගල සම්බන්ධයෙන් තෝ මිටියයි, මං මිටියයින්‍යායෙන් ක්‍රියා කිරීමෙන් වෘත්තීය සමිතිවලට මෙන්ම ආණ්ඩුවට ද ප්‍රතිඵලයක් අත්විය නොහැකිය. වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නේ කුමකටද, එය රජයේ අත්තනෝමතික ක්‍රියාවක් නිසා හටගත්තක්ද යන්න ගැන රජය තමා දෙසටම ආපසු හැරී විමසා බැලිය යුතුය. ප්‍රශ්නයට අවංක වීමෙන් මිස සරත් ෆොන්සේකාට වෘත්තීය සමිතිවලට විනයානුකූලව වැඩ කරන හැටි උගන්වන්නට බාරදීමෙන් මෙම ප්‍රශ්නය විසඳිය නොහැකිය. මීට විසඳුමක් ළඟා කරගත හැක්කේ රජය හා වෘත්තීය සමිති අවංකව මුහුණට මුහුණ හමුව වැඩ කිරීමෙන් මිස එකිනෙකාට පස්ස හරවා ගැනීමෙන් නොවන බවත් අවධාරණය කළ යුතුය.

Latest Posts

කතාබහ

සියලු අවුල් ‘ඒකීය’ මනෝභාවය නිසා - පා. ම. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සියලු අවුල් ‘ඒකීය’ මනෝභාවය නිසා - පා. ම. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න 2017-07-19 - වසර දෙකකට විතර පසුවත් ව්‍යවස්ථා සම්පාදන ක්‍...
මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ, මූලධර්මවාදී ලිබරල් ක්‍රමයක් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ, මූලධර්මවාදී ලිබරල් ක්‍රමයක් 2017-07-19 - වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ...

විශේෂාංග

සිඳී ගොසිනි ඇළ දොළ ගංගා -දනෝ යදිති දිය බිඳු ඉල්ලා  සිඳී ගොසිනි ඇළ දොළ ගංගා -දනෝ යදිති දිය බිඳු ඉල්ලා 2017-08-16 - සූර්යයා සිය ආධිපත්‍ය පතුරවමින් නැවතත් මුළු ද...
පක්ෂය කඩා ජාතිවාදය වපුරන හැටි පක්ෂය කඩා ජාතිවාදය වපුරන හැටි 2017-08-14 - මහින්ද රාජපක්ෂ ශ්‍රීලනිපයට කොපමණ ආදරේද? ඔහු ...
ධම්මපදය හා තිරුක්කුරල් කියවූ මිනිසකුගේ ඉරණම  ධම්මපදය හා තිරුක්කුරල් කියවූ මිනිසකුගේ ඉරණම 2017-08-14 - අද තිබෙන්නේ මාක්ස් කියපුවා, කස්ත්‍රෝ කියපුවා...

කතුවැකිය

අගමැතිගේ අභියෝගය සහ ජනමාධ්‍ය අගමැතිගේ අභියෝගය සහ ජනමාධ්‍ය 2017-08-14 - “හම්බන්තොට වරායේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලු...
උතුරේ ගිනි නිවීමට දේශපාලන විසඳුම ඉක්මන් කළ යුතුයි උතුරේ ගිනි නිවීමට දේශපාලන විසඳුම ඉක්මන් කළ යුතුයි 2017-08-07 - යාපනයේ දී ළඟ ළඟම බරපතළ සිදුවීම් දෙකක් වූයේය. එකක්...
ද්වන්ධවයට මැදින් සිටගන්නට බලමු ද්වන්ධවයට මැදින් සිටගන්නට බලමු 2017-08-01 - ඉකුත් බදාදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය ...

දේශපාලන

හොරුන්ට දඬුවම් නොදුන් වරදට දඬුවම ආණ්ඩුවට හොරුන්ට දඬුවම් නොදුන් වරදට දඬුවම ආණ්ඩුවට 2017-08-14 - මේ ආණ්ඩුව තුප්පහි ආණ්ඩුවක් බව බැසිල් රාජපක්ෂ...
ලිච්ඡවී පාලනය තුන්බියට හසුවේද? ලිච්ඡවී පාලනය තුන්බියට හසුවේද? 2017-08-01 - හිටපු මුදල් ඇමැති බදු ගත් සුපිරි නිවසකට මුදල්...
ජූලියේ කළුව පරදවන ඔසුව ඇත්තේ කොතැනද? ජූලියේ කළුව පරදවන ඔසුව ඇත්තේ කොතැනද? 2017-07-24 - ජූලියේ අවසන් සතිය යනු ලංකා ඉතිහාසය අඳුරු ලෝකයකට...
කූඹි යන පාර වසා අලි පාර විවෘතව තැබීම කූඹි යන පාර වසා අලි පාර විවෘතව තැබීම 2017-07-17 - ඇමැති විජයමුනි සොයිසා ගැන ඔබට සිතෙන්නේ කුමක්ද?...

Face Book Setup 01