කතුවැකිය: බිත්තියට හේත්තු කර පිළිතුරු ලබා ගත නොහැකිය

කතුවැකිය
Typography

මිනිසකු බිත්තියට හේත්තු කිරීම භයානක ක්‍රියාවකි. හේත්තු වන්නා මෙන්ම හේත්තු කරන්නාට ද ඉන් එහාට අවස්ථාවක් ලැබීමේ ඉඩ මුළුමනින් ඇහිරෙන බැවිනි. බිත්තියට හේත්තු වූ විට පුද්ගලයාගේ නියම දක්ෂතාව සහ විචක්ෂණශීලීත්වය මතුවන්නට විදිහක් ද නැත. මන්ද පිටුපස ඇත්තේ බිත්තියකි. බිත්තියේ සිදුරක් හෝ පළා යා හැකි කවුළුවක් තිබිය යුතුය. ප්‍රත්‍යනීකයා ශූරයකු නම් සහ ඇත්තටම පිළිතුරක් බලාපොරොත්තු වන්නකු නම් බිත්තියට හේත්තු වන්නාටත් අවස්ථාවක් ලබා දිය යුතුය.

දැන් බිත්තියට හේත්තු වෙමින් සිටින්නේ ලංකාවේ ජනාධිපතිවරයාය. බිත්තියට හේත්තු කරන්නා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතාය. ජනාධිපතිවරයා පස්සෙන් පස්සට ගොස් හේත්තු වන්නට  නියමිත බිත්තියේ කපාටයක් නැත.

අප ශිවාජිලිංගම් වෙනුවෙන් ඕනෑ තරම් මත පළ කර ඇත්තෙමු. ඔහු සහ ඔහු කැපවූ දෙමළ ජනයා වෙනුවෙන් සහෝදරත්වයෙන් යුතුව ලියා ඇත්තෙමු. ජාතික ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුවලට බළ කර ඇත්තෙමු. එහෙත් මෙවර ලියන්නට සිදුවන්නේ රාජ්‍ය නායකයා බිත්තියට හේත්තු කිරීමට විරුද්ධවය.

ශිවාජිලිංගම් පසුගිය දවසක පැවැති මාධ්‍ය හමුවක දී කියා තිබුණේ මැයි 18 වනදාට යෙදෙන සතිය ජන සංහාර සතියක් (Genocide week) ලෙස නම් කරන බවය. 2009 මැයි 18 දායින් ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශ මුඛයට ගොස් අවසන් වු ප්‍රශ්නය පිළිබඳව ශිවාජිට දැක්මක් තිබිය යුතුය. ස්වාධීන දැක්මකට අපිත් ගරු කරමු. එළඹෙන මැයි 18ට ආසන්න දිනක වත්මන් ජනපති මුලතිව්, කච්චේරියට යාමට නියමිතව තිබෙන බවත් ඔහු එහි පැමිණියහොත් කළුකොඩි ඔසවා විරෝධය පළ කරන බවත් මාධ්‍ය හමුවේදී ශිවාජි කීවේය. එය බරපතළව සැලකිය යුතු කාරණයකි. වත්මන් ජනාධිපතිවරයා 2009 මැයි වන විට රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධානියකු බව සැබෑය. එහෙත් ඒ වන විට  රාජපක්ෂලාගෙන් තොර කිසිදු ප්‍රධානියකුට තීරක බලයක් නොතිබුණු බව රටම දන්නා කරුණකි. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන සියලු වගකීම්වලින් නිදහස් කරන්නට අප නොකියමු. එහෙත් වත්මන් ජනපතිවරයා යනු සිංහල ජාතිකත්ව පදනමකින් දේශපාලනය කළත් අරමුණුසහගතව ජාතිවාදය අවුස්සා දමා ඉන් දේශපාලන වාසියක් ලබා ගත් පුද්ගලයකු නොවේ. ඔහුගේ ඇතැම් ප්‍රකාශවල ජාතිකත්වය නම් වු විභවය අන්තර්ගත විය. ඉන් ඇතැම් විට විවාදාපන්න තත්ත්වයක් මතු වූ අවස්ථා ද තිබුණි. එහෙත් මහින්ද, ගෝඨාභය සහ ෆොන්සේකා එකතුවේ මෛත්‍රීපාල සිරිසේන සිටියේ නැත. ඔහු බලයට පත් වූ පසු කීවෙත් උතුරේ ජනයා ඉඩම් ප්‍රශ්නය නිසා වසර 27ක් කඳුළු හෙළමින් සිටින ජාතියක් බවය; අප ඔවුන්ගේ දුකඳුර දුරු කළ යුතු බවය. ඔහු උතුරේ ඉඩම් ප්‍රශ්නය ගැන සඳහන් කළේ  දකුණේ ද සිංහල ජනයාගේ ඇතැම් සරල ඉඩම් කඩම් ප්‍රශ්න ගැන උපහාසයෙන් යුතු විවේචනයක් ද කරමිනි.

උතුරේ ප්‍රශ්නය විසඳීම කෙරෙහි තවම වත්මන් රජයට හරි වැඩසටහනක් නැති බව ද සැබෑය. එහෙත් ඔවුන් එය මුළුමනින් අතහැර දමා ඇති ප්‍රශ්නයක් නොවේ. ආණ්ඩුව මුහුණ දී තිබෙන අර්බුදය වන්නේ වෙනත් දේශපාලන ආර්ථික සහ කණ්ඩායම්වාදීන්ගේ ප්‍රශ්නවල පැටලී සිටීමය.

අප යළි ශිවාජි මතු කළ ප්‍රශ්නය දෙසට හැරුණහොත් ඉන් සිදු වන්නේ ආණ්ඩුව පැටලී සිටින අර්බුදය තවත් උත්සන්න වීමය. විශේෂයෙන් ජනාධිපතිවරයා බරපතළ ගැටලුවකට මුහුණ පෑමය. රාජ්‍ය නායකයකු රටේ කිසියම් ස්ථානයකට රාජකාරීමය වශයෙන් වූ ගමනක් යාම වැළැක්වීම අනුචිත ක්‍රියාවකි. පළමුව සිදු විය යුත්තේ මූලික ප්‍රශ්නය විවෘත තලයක සාකච්ඡාවට ගැනීමය. උද්ඝෝෂණ ක්‍රියාමාර්ග තිබෙන්නේ ප්‍රශ්නයේ අග හරියේය. යම් හෙයකින් ජනාධිපතිවරයා නියමිත පරිදි මුලතිව් කච්චේරියට ගියහොත් ඔහු දෙමළ ජනයා සමඟ වගාදිගා කරගෙන තිබෙන හොඳ හිත තරමක් පළුදු වන්නට පුළුවන. එවිට ජනපතිට එරෙහිව කළු කොඩි එසවේ. අන්තර්ජාතිකවත් ඉන් ලැබෙන සංඥාව හොඳ එකක් නොවේ. අනෙක් අතට ජනාධිපතිවරයා හොඳ හිත වගාදිගා කර ගැනීම වෙනුවෙන් මුලිතිව් නොගියහොත් මහින්ද රාජපක්ෂගේ  අන්තවාදී විවේචනයට ලක් වන්නට සිදු වේ. ත්‍රස්තවාදයට බිය වීම, රට පාවාදීම, දිනූ දේශය පාවාදීම, ආදී අන්තවාදී සහ වැරදි විවේචන රැසක් ජනපතිට එරෙහිව

නැගෙන්නට පුළුවන. ජනපතිවරයා බිත්තියට හේත්තු වන තත්ත්වයක් උදා වන්නේ එහිදීය. එය තනිකරම ගෙදර ගියොත් අඹු නසී මඟ හිටියොත් තෝ නසී වැනි තත්ත්වයකි. එය මැද මාවතක ගමන් කරන්නට තැත් කරන කිසිදු නායකයකුට අත්  කර නොදිය යුතු තත්ත්වයකි.

දෙමළ ජනයා කොන්දේසි විරහිතව වත්මන් යහපාලන රජයට සහාය දුන් බව සැබෑය. ඒ සහයෝගය නිසා නොව කොහොමටත් ආණ්ඩුව දෙමළ ජනයාගේ ප්‍රශ්නය ගැන මීට වඩා උනන්දු විය යුතු බවත් සැබෑය. උතුරේ තරුණ කැරැල්ලක් ඇති වූයේ ඇත්තටම සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්නයක් එහි තිබුණු නිසාය. යුද්ධයෙන් කැරැල්ල නතර වූවා පමණි. ඔවුන්ගේ කැරැල්ලට විභවය සැපයූ තත්ත්වයට ඉන් විසඳුමක් ලැබුණේ නැත. යුද්ධය නිම කළ නායකයා ඒ ගැන උනන්දු වූයේ නැත. එහෙත් යහපාලන ආණ්ඩුව ප්‍රතිපත්තියක් ලෙස උතුරේ ප්‍රශ්නය විසඳීම නම් වූ වැදගත්ම කාරණය තම දේශපාලන වැඩසටහනට ඇතුළත් කර ගත්තේය. ඒ වෙනුවෙන් ඇතැම් පියවර ගන්නා බවද ප්‍රකාශ කර ඇත. ජනපතිවරයා පත් වී තවම ගත වූයේ වසර දෙකකුත් මාස හතරකි. ඔවුන්ට මේ සංකීර්ණ ප්‍රශ්නය ඇතුළුවීමට තවත් කාලය අවශ්‍ය බව පෙනේ. ශිවාජිලිංගම් දෙමළ ජනයා ප්‍රකෝප නොකර තව සාධාරණ කාලයක් ආණ්ඩුවට ලබා දිය යුතුය. විශේෂයෙන් රාජ්‍ය නායකයා බිත්තියට හේත්තු කරන පිළිවෙතකට නොයා යුතුය. ප්‍රශ්න නොවිසඳා දිගටම මහ හරින බව ඔප්පු වන කාලයක් එළඹේ නම් එදිනට රාජ්‍ය නායකයා බිත්තියට හේත්තු කරන වැඩසටහනකට ශිවාජිට සාධාරණ හේතු ලැබෙනු ඇත.

Latest Posts

කතාබහ

විශේෂාංග

මහින්දගේ ගෝලයෙක් තුල්හිරිය වන්දි සටන හයිජැක් කළා - 71 ට පසු (පස්වන කොටස) මහින්දගේ ගෝලයෙක් තුල්හිරිය වන්දි සටන හයිජැක් කළා - 71 ට පසු (පස්වන කොටස) 2017-05-25 - තුල්හිරිය කම්හලේ සේවය අහිමි වෙලා, වසර විසි හයක්...
අටවැනි මැයි දහ අට අටවැනි මැයි දහ අට 2017-05-23 - සමීප රූපය යුද්ධයක දී මුලින්ම මරාදමනුයේ සත්‍...

කතුවැකිය

කතුවැකිය: මැයි 18ට අලුත් අරුතක් දෙන්න කතුවැකිය: මැයි 18ට අලුත් අරුතක් දෙන්න 2017-05-22 - යුද්ධයේ අවසානය දැක ඇත්තේ මළවුන් පමණි යනුවෙන්...
කතුවැකිය: බිත්තියට හේත්තු කර පිළිතුරු ලබා ගත නොහැකිය කතුවැකිය: බිත්තියට හේත්තු කර පිළිතුරු ලබා ගත නොහැකිය 2017-05-15 - මිනිසකු බිත්තියට හේත්තු කිරීම භයානක ක්‍රිය...
කතුවැකිය: තෝ මිටියයි මං මිටියයි න්‍යාය සහ වැඩවර්ජන කතුවැකිය: තෝ මිටියයි මං මිටියයි න්‍යාය සහ වැඩවර්ජන 2017-05-08 - ඉදිරි කාලය තුළ වැඩවර්ජන රැල්ලක් ඒමට නියමිත බව...

දේශපාලන

කැබිනට් සංශෝධනය කඩිනම් කළ යුත්තේ ඇයි? කැබිනට් සංශෝධනය කඩිනම් කළ යුත්තේ ඇයි? 2017-05-22 - සිදු වෙනවා යැයි කියන කැබිනට් සංශෝධනය ‘බාලගිරි...
මෙතැන් සිට සංහිඳියාවට පියවර කීයක් තිබේද? මෙතැන් සිට සංහිඳියාවට පියවර කීයක් තිබේද? 2017-05-15 - අමතකවීම සාමාන්‍ය දෙයක් වුවත් රාජ්‍ය තාන්ත්...
දේශපාලන සටහන: සුරුට්ටුව පත්තු වන්නේ ඇතුල් පැත්තට නම් ඔබ කුමක් කළ යුතුද? දේශපාලන සටහන: සුරුට්ටුව පත්තු වන්නේ ඇතුල් පැත්තට නම් ඔබ කුමක් කළ යුතුද? 2017-05-08 - සුරුට්ටුව ඇතුල් පැත්තට පත්තු වන විට සිදු වන්නේ...
ලංකාව ණය උගුලෙන් ගැලවෙන්නේ කොහොමද? ලංකාව ණය උගුලෙන් ගැලවෙන්නේ කොහොමද? 2017-05-03 - ලංකාව මුහුණ පා සිටින ණය උගුලෙන් ගොඩ ඒමට නම් වසරකට...

Face Book Setup 01