ආණ්ඩුව, සිවිල් සංවිධාන සහ මොළය අමාරුකාරයෝ - කතුවැකිය ජුලි 02

කතුවැකිය
Typography

ලංකාවේ සිවිල් සංවිධාන නියෝජිතයෝ, ආණ්ඩු බලයට පත් කරන්නට හැම කාලයකම වෙහෙසෙති. සිවිල් සංවිධාන හා බලයට පත්වීමට පෙර මඟ බලන විපක්ෂය අතර මැතිවරණයට අදාළ තීරණාත්මක සමය තුළ ගොඩනැගෙන්නේ දිවෙන් දිව ගාගෙන සිටින ආකාරයේ මිත්‍රකමකි. වැටෙන්නට නියමිත බලයේ සිටින දේශපාලන පක්ෂයට මේ කාලය තුළ සිවිල් සංවිධාන අරහංය.

විපක්ෂ බලවේගය ආණ්ඩුව පිහිටුවුවාට පසු සිවිල් සංවිධානවල මිත්‍රත්වය අපේක්ෂා කළත් සීමාන්තික උපදෙස් සහ මඟ පෙන්වීම් තවදුරටත් අපේක්ෂා නොකරයි. ඇත්තටම එය ආණ්ඩුව සහ සිවිල් සංවිධාන අතර ආලය අවසන් කෙරෙන කාලයයි. ආලය අවසන් වූවත් දීගය පවත්වාගෙන යා හැකි ක්‍රමයක් තිබේ. බලයට පත් ආණ්ඩු පක්ෂය බලාපොරොත්තු වන්නේ සිවිල් සංවිධාන අපට උදව් කළ නිසා ක්‍රියාකාරිකයන් කිහිප දෙනෙකුට තනතුරු වරප්‍රසාද ද ලබා දී සිවිල් සංවිධාන තමාට ඉදිරියෙන් සිටි කාලය නිමා කර ඔවුන් තත් දේශපාලන ව්‍යාපෘතිය තුළ  දියකර දැමීමය. සිවිල් සංවිධාන සහ ආණ්ඩුව අතර දීගය වැඩවසම් ආකාරයකින් පවත්වාගෙන යා හැක්කේ ඒ ආකාරයටය.

94 දී චන්ද්‍රිකා ආණ්ඩුව බලයට පත් කරන්නට දර දිය ඇදපු නිදහස් කලා සන්ධානයට සහ 2005 දී රාජපක්ෂ බලයට පත් කරන්නට දරදිය ඇද්ද පිරිස් මුහුණ පෑවේ එම දියවීමටය. ඒවායේ නිලතල හෙබවූවෝ තමා උදව් කළ ආණ්ඩු බලයට පත් වූ සැණින් විවිධ තනතුරු වරප්‍රසාද ගෙන තමන්ට අත් කර ගත හැකිව තිබුණු අදීනත්වය වළලා ගත්හ. තනතුරු ලබා ගත හොත් තමා පත් කළ ආණ්ඩුව වුව විවේචනය කරන්නට ඉඩක් නැති වන වග එම ක්‍රියාධරයෝ දැනුවත්වම නොසලකා හළහ. එහෙත් 2015 දී ආණ්ඩුව පත් කරන්නට වෙහෙසුණු සිවිල් ක්‍රියාධරයෝ එම තත්ත්වය සැලකිය යුතු මට්ටමකින් වෙනස් කළහ. එනම් වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව පත් කරන්නට කැපවූවෝ සහයෝගයෙන් අනතුරුව දීන වීම නම් වූ බේදය මුළුමනින් අත් කර නොගත්හ. විශේෂයෙන්ම එම නියෝජිතයෝ ආණ්ඩුවෙන් තනතුරු ඉල්ලා නොසිටියා පමණක් නොව ප්‍රදානය කෙරුණු සමහර තනතුරු පවා කාරුණිකව ප්‍රතික්ෂේප කළහ. තනතුරු වරප්‍රසාද බලාපොරොත්තුවෙන්ම සිටි දෙතුන් දෙනෙකු පමණක් එම තනතුරුවලට පත් වූ නමුත් සමස්තයක් ලෙස පුරවැසිබලය සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප්‍රමුඛයෝ කිසිදු තනතුරක් නොගත්හ. එම ශික්ෂාව මේ දක්වාම රැකගනිමින් සිටින අතර තවදුරටත් යහපාලන ගමන් මඟේ වැරැදි ප්‍රවේශ විවේචනය කිරීමට ඔවුහු එමඟින් සිය ශුද්ධ වූ අයිතිය ද තහවුරු කර ගත්හ. එම නොබැඳි පිළිවෙත තවදුරටත් රැක ගත යුතු බවට කිසිදු විවාදයක් නැත.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයත් පුරවැසි බලය සංවිධානයත් යහපාලන ආණ්ඩුවේ වැදගත්ම පියවරක් බවට පත්වීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා මේ මොහොතේදීත් මතවාදී තලයේ අරගල කරමින් සිටීම ප්‍රශංසනීය කාරණයකි. එමෙන්ම ඔවුහු පැරණි ආණ්ඩුවේ වංචා දූෂණ හෙළිදරව් කළ යුතු බවත් මිනිස් ඝාතන පිළිබඳ චූදිතයන් සම්බන්ධයෙන් නොපමාව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් කීහ. එපමණකින් නොනැවතී වත්මන් ආණ්ඩුව තුළ යහපාලනයට මුවා වී සිටින දූෂිතයන් පිටු දැකිය යුතු බවත් අවධාරණය කළහ. මූල්‍ය විනිවිදභාවය, අධිකරණයේ ස්වාධීනත්වය ඇති කිරීම මෙන්ම ජනයාට සහනශීලී ආර්ථික ප්‍රතිපත්තියකට රට අප්‍රමාදව මාරු විය යුතු බව ද කීහ. උක්ත සංවිධාන දෙක ඇතැම් විෂයයික කරුණු එල්ලයේ ආණ්ඩුවේ ඇතැම් පුද්ගලයන් විවේචනය කරන්නට ද පසුබට නොවුණි. ඇමැති විජේදාස රාජපක්ෂ ඔවුන්ගේ විවේචනයට ලක් වූ එක් අයෙකි. ඔහු පසුගිය දවසක මෙම සංවිධානවල වත්මන් ක්‍රියාකාරිත්වය ගර්භාවට ලක් කරමින් කතා කළේය. විජේදාස රාජපක්ෂ රූපවාහිනී සංවාදයක දී කියා තිබුණේ පුරවැසි බලය නියෝජිතයන්ගේ මොළය පරීක්ෂා කළ යුතු බවත් ඔවුන් අංගොඩ

මානසික රෝහලට යැවිය යුතු බවත්ය. විජේදාස රාජපක්ෂගේ එම ප්‍රකාශය සපුරාම හෙළා දැකිය යුත්තකි. ඒ මන්ද යත් විජේදාසලා අද ආණ්ඩු කරන්නේ සහ තනතුරු හොබවන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ පැහැරගෙන යන සහ මිනීමරු දේශපාලනයට එරෙහිව සිවිල් සංවිධාන, ජනමාධ්‍ය හා රටේ බුද්ධිමත් කොටස් අභිමුඛ බරපතළ අනතුර නොසලකා ක්‍රියාකරමින් ලත් සමාජීය ජයග්‍රහණයක් මත්තෙහිය. ආණ්ඩු පෙරළන්නට තබා මතයක් පළ කරන්නට පොකට්

රැස්වීමක් තියන්නට විපක්ෂයට ශක්තියක් නැති අවධියක රාජපක්ෂ රජයට එරෙහිව පළමු වෙඩි මුරය පත්තු කරන ලද්දේ අතළොස්සක් වූ ජනමාධ්‍ය විසිනි. ඒ රාජපක්ෂට මුළුමනින් ජනමාධ්‍ය යටත්ව තිබුණු යුගයකදීය. පුරවැසි බලය ප්‍රමුඛ සිවිල් ව්‍යාපාර ගොඩනැඟුණේ රටෙහි පුනරුදයක් අපේක්ෂා කළ පත්තර අකුරු ඔස්සේය. එමෙන්ම රාජපක්ෂගේ අත්තනෝමතික පාලනය නොබියව විවේචනය කළ මිනිසුන් අතළොස්සක් මඟිනි. අනෙක් පැත්තෙන් සෝභිත හිමියන්ගේ ධෛර්යසම්පන්න සමාජ මැදිහත්වීම සිවිල් ව්‍යාපාරවලට ගාමක බලය සැපයුවේය. විජේදාස රාජපක්ෂලා මේවා නොදැන සිටියා නොවේ. දැන සිටියත් ඒ කිසිවකුටත් මහින්දගේ හා ගෝඨාභයගේ රැස්වළලු බිඳින්නට තියා ඒ ගැන සිතන්නටත් හයියක් නොතිබුණි. ඒ කාටත් සිදුව තිබුණේ රාජපක්ෂ කම්මුලට ගැසුවත් එහෙම දෙයක් නොවුණා සේ බිම බලාගෙන සිටින්නටය. මේ තත්ත්වය තුළ රාජපක්ෂ පළවා හරින කාර්යභාරය ඉටු කරන ලද්දේ සිවිල් සංවිධාන හා ජනමාධ්‍ය විසිනි. ඇමැති විජේදාස මොළය පරීක්ෂා කරවිය යුතු බව වසර දෙකහමාරකට පසු කියන්නේ එවැනි අසීරු මාවතක ගොස් විජේදාසලා ඇතුළත් ආණ්ඩුව බලයේ රඳවන්නට කැපකිරීම් කළ පිරිසකගේය.

ආණ්ඩු පෙරළියට තීරණාත්මක කාර්යභාරයක් කළ නිසා සිවිල් සංවිධාන ඉදිරියේ ඔබ සදා දණ්ඩ නමස්කාරය කළ යුතුය කියා අප ඇමැතිවරුන්ට නොකියමු. එහෙත් මෙරට ගොඩනැගෙමින් පැවැති ඒකාධිපති වියරුව පරාජය කර සාපේක්ෂව හෝ සංහිඳියා දේශපාලනයක් රටෙහි ගොඩනගන්නට තීරණාත්මක වැඩකොටසක් කළ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, ජනමාධ්‍ය බුද්ධිමතුන් සහ ඊට දායක වූ පිරිස් ගැන අප කාටත් තුලනාත්මක අදහසක් තිබිය යුතුය. විශේෂයෙන්ම ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් තොරව රටෙහි වෙනසක් ඇති කිරීමේ අරමුණ පෙරදැරිව කටයුතු කළ සිවිල් සංවිධාන හා ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය කෙසේවත් අඩුවෙන්  තක්සේරු කළ යුතු නැත.

ආණ්ඩු බලය ලැබුණු විට සිවිල් සංවිධානවලට විවේචනවලින් තීරණාත්මක බැලපෑමක් කළ නොහැකි බව සත්‍යයකි. විශේෂයෙන්ම විධායකය ගතහොත් එහි ඇතැම් නැමියාවන් හා ලැදියාවන් වෙනස් කරන්නට සිවිල් සමාජයට නොහැකිය. සිවිල් සංවිධානවල අනුග්‍රහය ලත් ආණ්ඩුව තවත් වැදගත් දෙයක් පැහැදිලිව දනී. එය නම් දැනට ආණ්ඩුව කවර වරදක් කළත් විවේචනයක් කරනවා හැර සැලකිය යුතු කාලයකට ආණ්ඩු මාරුවක්  කිරීමට තීරණයක් ගත නොහැකි තැනකට මෙරට සිවිල් ව්‍යාපාරය සිරවී සිටින බවය. සිවිල් සංවිධාන සිටින්නේ 2020දීවත් එවැනි තීරණයක් ගත නොහැකි තැනකය. සාපේක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය පිටුදැක සිවිල් සංවිධාන කිසි ලෙසකින්වත් රාජපක්ෂලාගේ ජාතිවාදය වැළඳගන්නේ නැත. එය ආයුධයක් ලෙස භාවිත කරමින් සිවිල් සංවිධාන අංගොඩ යවන කතාව කියූ ඇමැති විජේදාස අනිවාර්යෙන් එම කතාව ඉල්ලා අස්කර ගත යුතු යැයි අපි කල්පනා කරන්නේ එනිසාය. ඇමැති විජේදාස පැවසුවේ ආණ්ඩුවේ සමස්ත අදහස නොවේ. ඉදිරි කාලය තුළ යම්හෙයකින් ආණ්ඩුව එම අදහස දැරූවත් සමාජ යුක්තිය වෙනුවෙන් හඬනැඟූ මෙරට පුරවැසි හා සිවිල් සංවිධාන සැලිය යුතු නැත. ආණ්ඩු පිහිටුවනවා සේම එම ආණ්ඩුවට ඉදිරියෙන් යන ගමනක් මෙරට සිවිල් ව්‍යාපාරයට ඇත. එය දුෂ්කර ගමනකි. එහෙත් ඔබ ඒ ගමන යා යුතුය.

Latest Posts

කතාබහ

සියලු අවුල් ‘ඒකීය’ මනෝභාවය නිසා - පා. ම. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සියලු අවුල් ‘ඒකීය’ මනෝභාවය නිසා - පා. ම. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න 2017-07-19 - වසර දෙකකට විතර පසුවත් ව්‍යවස්ථා සම්පාදන ක්‍...
මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ, මූලධර්මවාදී ලිබරල් ක්‍රමයක් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ, මූලධර්මවාදී ලිබරල් ක්‍රමයක් 2017-07-19 - වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ...

විශේෂාංග

සයිබර් අවකාශය තුළ තාරුණ්‍යයේ නිදහස සීමා නොකළ යුතුයි සයිබර් අවකාශය තුළ තාරුණ්‍යයේ නිදහස සීමා නොකළ යුතුයි 2017-07-20 - සයිබර් අවකාශය තුළ තාරුණ්‍යයේ අදහස් ප්‍රකාශ ක...
රාජපක්ෂලා සහ රාජ+පක්ෂලා තවදුරටත් බේරන්නේ ඇයි? රාජපක්ෂලා සහ රාජ+පක්ෂලා තවදුරටත් බේරන්නේ ඇයි? 2017-07-17 - සියල්ල සිදුවෙමින් පවතින්නේ මන්දගාමීව ය. අලුත්...
විද්‍යා, සාමයත් බිහිසුණුයි! අපි කුමක් කරමුද? විද්‍යා, සාමයත් බිහිසුණුයි! අපි කුමක් කරමුද? 2017-07-12 - යාපනයේ විද්‍යා සිසුවිය ඝාතනය රටේ බහුලව අසන්නට...

කතුවැකිය

විකල්ප නැතුව ආකල්ප ඉදිරිපත් කිරීමේ විපාක විකල්ප නැතුව ආකල්ප ඉදිරිපත් කිරීමේ විපාක 2017-07-17 - පොලිතින් සහ ප්ලාස්ටික් තහනම සැප් 01 දා සිට ක්‍...
විෂය ප්‍රදේශ ඉක්මවා රාජ්‍ය පාලනයට අකුල් හෙළීම විෂය ප්‍රදේශ ඉක්මවා රාජ්‍ය පාලනයට අකුල් හෙළීම 2017-07-10 - බුද්ධාගමට ප්‍රමුඛ තැන ලැබිය යුතුය යන වගන්තිය...
ආණ්ඩුව, සිවිල් සංවිධාන සහ මොළය අමාරුකාරයෝ - කතුවැකිය ජුලි 02 ආණ්ඩුව, සිවිල් සංවිධාන සහ මොළය අමාරුකාරයෝ - කතුවැකිය ජුලි 02 2017-07-05 - ලංකාවේ සිවිල් සංවිධාන නියෝජිතයෝ, ආණ්ඩු බලයට පත්...

දේශපාලන

කූඹි යන පාර වසා අලි පාර විවෘතව තැබීම කූඹි යන පාර වසා අලි පාර විවෘතව තැබීම 2017-07-17 - ඇමැති විජයමුනි සොයිසා ගැන ඔබට සිතෙන්නේ කුමක්ද?...
ග්ලයිෆෝසේට්වාදීහු මේ අභියෝගය බාර ගන්නෙහිද? ග්ලයිෆෝසේට්වාදීහු මේ අභියෝගය බාර ගන්නෙහිද? 2017-06-26 - 2015 ජුනි 15 දා ආනයන හා අපනයන පනතට අනුව තහනමට ලක් කළ...
ගෝඨාභයට වචනයක් ගෝඨාභයට වචනයක් 2017-06-12 - “මම කියන්නෙ මේ රටේ ඕනෑම රජයකට සාර්ථක වෙන්න ඕනෙ...
“සයිටම්“ කළුත් ඇති සුදුත් ඇති විසඳුමක් සොයා ගැනීම “සයිටම්“ කළුත් ඇති සුදුත් ඇති විසඳුමක් සොයා ගැනීම 2017-06-05 - රටේ පවතින ප්‍රශ්නවලින් විසඳුමක් නැතිම ප්‍ර...

Face Book Setup 01