විෂය ප්‍රදේශ ඉක්මවා රාජ්‍ය පාලනයට අකුල් හෙළීම

කතුවැකිය
Typography

බුද්ධාගමට ප්‍රමුඛ තැන ලැබිය යුතුය යන වගන්තිය මුල්වරට ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් වූයේ 1972 ව්‍යවස්ථා සම්පාදනයේදීය. පෙඩරල් පක්ෂය එහි දී මෙම යෝජනාවට විකල්පව වැදගත් යෝජනාවක් ගෙනාවේය. එය නම් ලංකාව නම් වූ රාජ්‍යය සියලු ආගම්වලට සමානව සලකන ලෝකායත රාජ්‍යයක් විය යුතුය යන සංශෝධනය ය. එහි දී පෙඩරල් පක්ෂය ඉදිරිපත් කළ යෝජනා ප්‍රතික්ෂේප කෙරිණි. විශේෂයෙන්ම සිංහලෙන් නීති පැනවිය යුතුය. එම නීති දෙමළ බසට පරිවර්තනය විය යුතුය යන යෝජනාව මෙන්ම දෙමළ භාෂා භාවිතය 1954 අංක 28 දරන දෙමළ භාෂා (විශේෂ විධි විධාන) පනතට අනුව විය යුතුය යන යෝජනා පිළිබඳ පෙඩරල් පක්ෂය ගෙන ආ විකල්ප යෝජනාද එහි දී ප්‍රතික්ෂේප වූයේය. 78 ව්‍යවස්ථාවට ද බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමි විය යුතුය යන යෝජනාව කිසිදු වෙනස් කිරීමකින් තොරව අන්තර්ගත කෙරිණි. සිංහල බෞද්ධයන් ලෙස මතුපිටිවාදී තලයක සිංහලකමට සහ බෞද්ධකමට වරප්‍රසාද ලැබීම පිළිබඳ සතුටු විය හැකිය. එහෙත් දැනුවත් සිංහල බෞද්ධයාට මෙම යෝජනා කෙතරම් බිහිසුණු ද යන්න එදා වැටහෙන්නට ඇත.

 

අද ලංකාවේ තිබෙන බරපතළම ප්‍රශ්නය කුමක්ද? ඩෙංගු සහ සයිටම් එකටත් වඩා රටේ තිබෙන ප්‍රශ්න පැටලුණු නූල් බෝලයක් බවට පත් කරනු ලැබ ඇත්තේ ගෞරවණීය මහා සංඝරත්නය විසින් යැයි කිව හැකිය. නව ව්‍යවස්ථාවක් එපා යනුවෙන් උන්වහන්සේලා රටේ දේශපාලන නායකයන්ට අනිසි ලෙස මෙන්ම ව්‍යවස්ථා විරෝධී ලෙස බලපෑම් කරති. ව්‍යවස්ථාව යනු රටේ මූලික නීතිය බැවින් උන්වහන්සේලා විරුද්ධ වෙමින් සිටින්නේ රටේ මූලික නීතිය යථාරූපී කරනවාටය. ත්‍රෛනිකායික මහ නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය මේ ආකාරයට තමන්ගේ විෂයෙන් බැහැරව වදාරන ප්‍රකාශවලින් අවුලට පත් වන්නේ රාජ්‍ය නායකයාය. ඊළඟට රාජ්‍ය පාලන ව්‍යුහයයි.

වර්තමාන රාජ්‍ය නායකයා බලයට පත් වීමට පෙර ජනතාවට පොරොන්දුවක් දුන්නේය. එම පොරොන්දුව නම් රටේ දැවෙන ප්‍රශ්න විසඳන, විශේෂයෙන්ම ජාතික අර්බුදය සමහන් කිරීමට උපස්ථම්බක වන ප්‍රතිපාදන සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව කීමය. එය ආණ්ඩුවේ සෙසු වැඩකටයුතුවලට සමාන්තර තලයක තබා කරන්නට ජනපති සහ අගමැති පියවර ගත්හ. කෙටුම්පත්වල ඇතුළත් යැයි සඳහන් ප්‍රතිපාදන විටින් විට එළියට ආවේය. තවමත් පරිපූර්ණ ව්‍යවස්ථාවකට යා හැකි අංගවලින් සමන්විතව එක පෙළට තබා පියවරෙන් පියවර සාකච්ඡා කළ හැකි දළ ලියවිල්ලක් ඒ පිළිබඳව ප්‍රසිද්ධ කර නැත. දැන් ත්‍රෛනිකායික නාහිමිවරුන් නව ව්‍යවස්ථාවක් එපා කියන්නේ මන්ද යන්න ප්‍රශ්නයකි. එමඟින් දෙමළ අන්තවාදීන්ගේ වුවමනාව ඉටු වෙනවා. බුද්ධාගමට තැන නැතිවෙනවා ආදී වශයෙන් තවත් සමහරු කියන්නේ කොහොමද යන්න ප්‍රශ්නයකි. මෙසේ විවේචනය කරන කිසිවකුත් ව්‍යවස්ථාවේ දළ සටහනක් දැක නැත. ඇත්තටම ව්‍යවස්ථාව මෙය යැයි කියන පිළිවෙළක් සහිත කෙටුම්පතක් තවම ඉදිරිපත් කර නැත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ යෝජනාව ද අනවශ්‍ය බව මහ නාහිමිවරු කියති. අතුරුදන්වූවන් ගැන සෙවීමට කාර්යාලයක් අනවශ්‍ය බව ද උන්වහන්සේලා කියති. මේ ආකාරයට මහ නාහිමිවරු රටේ හැම කටයුත්තකටම අනුශාසන ඉක්මවා යන මට්ටමින් අත පොවන්නට ගියහොත් මෛත්‍රීපාල සිරිසේන මහතාට නොව කවර නායකයකුටවත් රාජ්‍ය තාන්ත්‍රික න්‍යායන්ට අනුකූලව රට පාලනය කරන්නට නොහැකි වනු ඇත. මෙසේ රාජ්‍ය පාලනයට අදාළ වැඩසටහන් සහ තාන්ත්‍රික කටයුතුවල ආවේණික මාර්ග සිතියම වෙනස් කරන්නට මහ නාහිමිවරුන්ට තිබෙන අතාර්කික බලය කුමක්ද? 72 හා 78 ව්‍යවස්ථාවල බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් හිමි තැන අධිනිශ්චය වීම නම් වූ ප්‍රතිපාදනයද?

උක්ත ව්‍යවස්ථාවලින් බුද්ධාගම අධිනිශ්චය කරනවා වෙනුවට රාජ්‍යය අනාගමික රාජ්‍යයක් බවට පත් කිරීම පිළිබඳ වගන්තියක් ඊට ඇතුළත් වූවා නම් රටේ ප්‍රශ්න මේ තරම් ඔඩුදුවන්නේ නැත. රාජ්‍ය පාලනයෙන් ආගම දුරස් කර තැබීම රටේ සංස්කෘතියක් බවට පත් විය යුතු තත්ත්වයකි. එහෙත් මුල සිටම එසේ නොවීමෙන් සංඝයා වහන්සේලා සිය විෂය ප්‍රදේශ ඉක්මවා තාන්ත්‍රික කටයුතුවලට අතපොවන තත්ත්වයක් උදා වී තිබීම ජාතියේම ඛේදයට හේතුවකි.

ව්‍යවස්ථාව හා ආගම අතර සම්බන්ධය අහෝසි කිරීමට රටට ආකල්පමය වෙනසක් අවශ්‍යය. මීට ආරම්භයේ දී ජාතිවාදී හා ආගම්වාදී කොටස් විරුද්ධ වන්නට පුළුවන. විශේෂයෙන්ම ඒ උපකරණ දෙකෙන් ගොඩ යන්නට මාන බලන රාජපක්ෂ කල්ලිය මහා සංඝ රත්නය සමඟ මේ යෝජනාවට එරෙහිව අවි අමෝරා ගැනීම ඉර හඳ සේ විශ්වාසය. මේ නොකල්පනාවට විකල්පව කල්පනාවෙන් දිවි ගෙවන ජනයා කළ යුත්තේ ආගම සහ රාජ්‍ය පාලනය වෙන වෙනම පැවතීම වඩා ප්‍රායෝගික බව තේරුම් ගැනීමය. නැතහොත් සිදුවන්නේ ආගමික නායකයන් රටේ හැම දේකටම අත පොවා ජනයාගේ ලෞකික ලෝකය විනාශ මුඛයට යැවීමය. යම් හෙයකින් සිංහල බෞද්ධයන් රටේ සුළුතරය වී, හින්දු හෝ මුස්ලිම් බහුතරය වී එම ආගම් විසින් ව්‍යවස්ථාවට අනපනත් පටවනවාට බෞද්ධයන්ට එකඟ විය හැකිද? නොහැකිය. කිසිදු ආගමක් ඒ කාර්යය කළ යුතු නැත. ව්‍යවස්ථාව අද නොවේ හෙට ගෙනෙන්නට කියන්නට කිසිම ආගමකට හෝ ආගමික නායකයන්ට අයිතියක් නැත. මන්ද එය ජනතාවගේ හා ඔවුන්ගේ නියෝජිතයන්ගේ වැඩකි. ලෝකායත රාජ්‍යයේ වැඩකි.

මහා සංඝරත්නය කැපවී සිටින්නේ ලෞකිකත්වයේ අරගල වෙනුවෙන් නොවේ. උන්වහන්සේලා ජීවිත කවුළු හැරගත යුත්තේ ලෝකෝත්තර සුවය දෙසටය. මේ යථාව කනපිට හරවා පෙර ව්‍යස්ථා සම්පාදකයන් කළ මුග්ධ විපරිතය නව ව්‍යවස්ථා සම්පාදකයන් නොකළ යුතුය. නව ව්‍යවස්ථා සම්පාදකයන් රට පත්වෙමින් තිබෙන ආගමිකකරණය පිළිබඳ අවුලෙන් රටත් ජනතාවත් ගලවා ගැනීමට ධෛර්ය සම්පන්න විය යුතුය.

Latest Posts

කතාබහ

සියලු අවුල් ‘ඒකීය’ මනෝභාවය නිසා - පා. ම. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සියලු අවුල් ‘ඒකීය’ මනෝභාවය නිසා - පා. ම. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න 2017-07-19 - වසර දෙකකට විතර පසුවත් ව්‍යවස්ථා සම්පාදන ක්‍...
මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ, මූලධර්මවාදී ලිබරල් ක්‍රමයක් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ, මූලධර්මවාදී ලිබරල් ක්‍රමයක් 2017-07-19 - වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ...

විශේෂාංග

සයිබර් අවකාශය තුළ තාරුණ්‍යයේ නිදහස සීමා නොකළ යුතුයි සයිබර් අවකාශය තුළ තාරුණ්‍යයේ නිදහස සීමා නොකළ යුතුයි 2017-07-20 - සයිබර් අවකාශය තුළ තාරුණ්‍යයේ අදහස් ප්‍රකාශ ක...
රාජපක්ෂලා සහ රාජ+පක්ෂලා තවදුරටත් බේරන්නේ ඇයි? රාජපක්ෂලා සහ රාජ+පක්ෂලා තවදුරටත් බේරන්නේ ඇයි? 2017-07-17 - සියල්ල සිදුවෙමින් පවතින්නේ මන්දගාමීව ය. අලුත්...
විද්‍යා, සාමයත් බිහිසුණුයි! අපි කුමක් කරමුද? විද්‍යා, සාමයත් බිහිසුණුයි! අපි කුමක් කරමුද? 2017-07-12 - යාපනයේ විද්‍යා සිසුවිය ඝාතනය රටේ බහුලව අසන්නට...

කතුවැකිය

විකල්ප නැතුව ආකල්ප ඉදිරිපත් කිරීමේ විපාක විකල්ප නැතුව ආකල්ප ඉදිරිපත් කිරීමේ විපාක 2017-07-17 - පොලිතින් සහ ප්ලාස්ටික් තහනම සැප් 01 දා සිට ක්‍...
විෂය ප්‍රදේශ ඉක්මවා රාජ්‍ය පාලනයට අකුල් හෙළීම විෂය ප්‍රදේශ ඉක්මවා රාජ්‍ය පාලනයට අකුල් හෙළීම 2017-07-10 - බුද්ධාගමට ප්‍රමුඛ තැන ලැබිය යුතුය යන වගන්තිය...
ආණ්ඩුව, සිවිල් සංවිධාන සහ මොළය අමාරුකාරයෝ - කතුවැකිය ජුලි 02 ආණ්ඩුව, සිවිල් සංවිධාන සහ මොළය අමාරුකාරයෝ - කතුවැකිය ජුලි 02 2017-07-05 - ලංකාවේ සිවිල් සංවිධාන නියෝජිතයෝ, ආණ්ඩු බලයට පත්...

දේශපාලන

කූඹි යන පාර වසා අලි පාර විවෘතව තැබීම කූඹි යන පාර වසා අලි පාර විවෘතව තැබීම 2017-07-17 - ඇමැති විජයමුනි සොයිසා ගැන ඔබට සිතෙන්නේ කුමක්ද?...
ග්ලයිෆෝසේට්වාදීහු මේ අභියෝගය බාර ගන්නෙහිද? ග්ලයිෆෝසේට්වාදීහු මේ අභියෝගය බාර ගන්නෙහිද? 2017-06-26 - 2015 ජුනි 15 දා ආනයන හා අපනයන පනතට අනුව තහනමට ලක් කළ...
ගෝඨාභයට වචනයක් ගෝඨාභයට වචනයක් 2017-06-12 - “මම කියන්නෙ මේ රටේ ඕනෑම රජයකට සාර්ථක වෙන්න ඕනෙ...
“සයිටම්“ කළුත් ඇති සුදුත් ඇති විසඳුමක් සොයා ගැනීම “සයිටම්“ කළුත් ඇති සුදුත් ඇති විසඳුමක් සොයා ගැනීම 2017-06-05 - රටේ පවතින ප්‍රශ්නවලින් විසඳුමක් නැතිම ප්‍ර...

Face Book Setup 01