උතුරේ ගිනි නිවීමට දේශපාලන විසඳුම ඉක්මන් කළ යුතුයි

කතුවැකිය
Typography

යාපනයේ දී ළඟ ළඟම බරපතළ සිදුවීම් දෙකක් වූයේය. එකක් විනිසුරු ඉලංවේලියන්ගේ ආරක්ෂක නිලධාරි පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර නල්ලූර් හිදී පුද්ගලයකු විසින් වෙඩි තබා මරා දැමීමය. ඒ ළඟින්ම සිදු වූ දෙවැන්න කෝපායි පොලීසියේ නිලධාරීන් දෙදෙනකු පැමිණිල්ලක් විභාග කිරීමට යමින් සිටිය දී ආවා නමැති කල්ලියේ කඩු ප්‍රහාරයකට බඳුන් වී තිබීමය. පළමු සිද්ධිය වූ ගමන් රට ගිනි වදින තුරු බලා සිටින දකුණේ නායකයකු කීවේ එල්ටීටීඊ සංවිධානය ආරම්භ වන්නට ආසන්න අවදියේදීත් උතුරේ තැනින් තැන මෙවැනි සිදුවීම් උද්ගත වූ බවය.

එම ප්‍රකාශයෙන් ඔහු උත්සාහ කළේ නැවත උතුර ගිනි ගැනීමට නියමිත බවට දකුණට සංඥා කිරීමය. උතුරේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් නොදෙනතුරු උක්ත උපකල්පනය සියයට දෙසීයක් නිවැරැදි වූවත් එම ප්‍රකාශයේ අරමුණ රට දේශපාලනිකව ව්‍යාකූල කර දැමීම මිස අනෙකක් නොවේ. කෝපායි සිදුවූ දෙවැනි සිදුවීමත් සමඟ දකුණේ ඕනෑම සාමකාමී වැසියෙක් තුළ යම් තැති ගැනීමක් ඇති වීම නොවැළැක්විය හැකිය. එහෙත් පොලීසිය ඉලක්ක කර සිදු වූ මෙම ප්‍රහාර දෙකෙහිම දේශපාලන අරමුණක් තිබිණැයි එක් විටම කිව නොහැකිය. පළමු වැන්න විද්‍යා සිසුවිය අපයෝජනය හා ඝාතනය පිළිබඳ නඩු විභාගයට බාධා පැමිණවීමට දැරූ තැතක්දැයි යන සැකය මතු කරයි. දෙවැනි ප්‍රහාරය ‘ආවා’ කල්ලියේ ක්‍රියාවක් බවට වාර්තා පළ විය.

‘ආවා’ යනු කොල්ල කල්ලියක් මිස දේශපාලන ව්‍යාපාරයක් නොවන බවට තොරතුරු වාර්තා වීම දැනට යම් සැනසීමක් ලැබිය හැකි කාරණය බව කිව හැකිය. සන්නද්ධ ක්‍රියාවන්හි නිරත වන්නේ දේශපාලන කණ්ඩායමක් නම් එය දකුණේ පාලනයට තර්ජනයක් පමණක් නොවේ. ජාතික අර්බුදය විසඳීම පිළිබඳ තම වගකීම පැහැර හැරී ඇති බවට බලවත් සාක්ෂියකුත් වෙයි.

‘ආවා’ කල්ලියේ ඉතිහාසය ගැන විපරම් කිරීමේදී ඔවුන් අතරින් බොහෝ දෙනෙකු එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධව සිටි ළාබාල තරුණයන් බව කියැවේ. ඉතාම අඩු වයසින් ළමා සොල්දාදුවන් ලෙස එල්ටීටීඊයට බැඳුණු ඔවුහු එම ව්‍යාපාරය අහෝසි වී උතුර සන්නද්ධ දේශපාලනයෙන් විතැන් වූ විට වෙන ස්වරූපයකින් කල්ලි ගැසුනාහ. ඔවුන් ඊළාම් අරමුණ හරියටම බද්ධ කරගැනීමට අසමත් වූ ළමා වියක සිට පශ්චාත් යුද අවදියක තරුණ විය ගත කිරීමට පැමිණි හුදු සන්නද්ධ ක්‍රියාකාරකම්වලට ඇබ්බැහි වූවෝය. එම සන්නද්ධ වීමේ අරමුණ පහසු ක්‍රමවලින් මුදල් සොයා ගැනීමය. ඒ සඳහා මංකොල්ලකෑම් කළ යුතුය. පොලීසිය ඔවුන් හැසිරෙන කලාප තුළ නීතිය හා සාමය අරක්ෂා කරන කටයුතුවල නියැළුණහොත් සන්නද්ධ ක්‍රියාවන්හි නිරත වීමට ඉඩ නොලැබේ. කෝපායි ප්‍රහාරයට එවැනි සීමිත අරමුණක් හේතු වන්නට පුළුවන.

ඇත්තටම ‘ආවා’ නමැති කල්ලියෙන් මෙතෙක් වැඩිපුරම හිරිහැර සිදු වී ඇත්තේ පොලීසියට නොවේ. දෙමළ ජනයාටමය. කොල්ලකෑම හා දෙමළ ප්‍රජාව බියපත් කර තබා ගැනීම ‘ආවා’ කල්ලියේ අරමුණ විය හැකිය.

එහෙත් උතුරේ මෙවැනි කල්ලි බිහි වීම ලංකාවේ නීති පද්ධතියට අනනුකූල තත්ත්වයක් ඇති වීමකි. එබැවින් එවැනි සන්නද්ධ කල්ලි වහාම මැඩපැවැත්විය යුතුය. යම් හෙයකින් උතුරේ එල්ටීටීඊ වැනි දේශපාලන සංවිධානයක් යළි බිහි වුවහොත් ‘ආවා’ ක්‍රියාකාරකම් කවර මඟකට හැරේදැයි යන්න කිව නොහැකිය.

උතුරේ ඊළාමයට සමාන්තර දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගෙන එක වැළැක්වීමට නම් උතුරේ මතු වූ අර්බුදය කේන්ද්‍ර කරගත් දේශපාලන විසඳුමක් ලබාදීම අත්‍යවශ්‍ය වෙයි. ඒ සඳහා ලංකාවේ ආණ්ඩුව කවර පරිමාණයේ කැපවීමක් කරනවාද යන්න හරියටම පැහැදිලි නැත. වත්මන් යහපාලන රජය ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට නම් සැලකිය යුතු පසුබිමක් නිර්මාණය කරමින් සිටිනු දක්නා ලැබෙයි. පුද්ගලිකව දේශපාලනඥයන් යම් යම් වර්ගවාදී ප්‍රකාශ කළත් ආණ්ඩුව ප්‍රතිපත්තිමය වශයෙන් ජාති හා ආගම්වාදයට විරුද්ධව වසර දෙකක් තිස්සේ කටයුතු කර තිබේ. එය ජාතීන් අතර සංහිදියාවට මනා පදනමක් නමුත් උතුරේ ඇති වූ බරපතළ ප්‍රශ්නයට හුදෙක් ඉන් පිළිතුරක් ලැබෙනු ඇතැයි සිතිය නොහැකිය.

උතුර හා නැගෙනහිර පසුබිමේ හටගත් අර්බුදයට තිර දේශපාලන විසඳුමක් අත්‍යවශ්‍යය. එය සිංහල දෙමළ දෙපාර්ශ්වයටම පිළිගත හැකි විසඳුමක් වීම වැදගත්ය. අනෙක් අතට සිංහල සමාජය මේ කටයුත්තට ආණ්ඩුවට සහාය ලබාදිය යුතුය. දකුණේ සිංහල ආණ්ඩු මුහුණ දෙන එක් ප්‍රශ්නයක් වන්නේ උතුරට දේශපාලන විසදුමක් ලබාදීමට කැමැත්තක් තිබුණත් දකුණේ සිංහල ආන්තික බලවේග හා බෞද්ධ බලවේග විසින් එම ඉඩ අහුරා දැමීමය. මෙය මුළුමහත් රටේ අනාගතය විෂයෙහි අදූරදර්ශී ක්‍රියාවකි. දකුණ, උතුරේ දේශපාලන විසඳුම වළක්වන මොහොතක් පාසා උතුර රත් වීමට නියමිත බවත් අප කල්පනාවට ගත යුතුය. වැඩි වැඩියෙන් ආතක් පාතක් අහිමි සන්නද්ධ කල්ලි බිහිවීමට එය නිමිත්තක් වන බව ද අප තේරුම් ගත යුතුය. ලංකා ආණ්ඩුවට තිබෙන හොඳම අවස්ථාව වන්නේ ගොඩනඟාගත් සංහිඳියා තත්ත්වය ප්‍රයෝජනයට ගෙන යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට උතුරේ ප්‍රශ්නය විසඳීමට අදාළ ශක්තිමත් ප්‍රතිපාදන ගෙන ඒමය. ඒ පිළිබඳව පළමුව දකුණ තුළ එකඟතාවක් ඇත්කර ගැනීමය. අනතුරුව උතුර සමඟ එම සාකච්ඡාව ඇරඹීමය. මෙවැනි වැඩපිළිවෙළකට කොන්දේසි විරහිතව දකුණේ ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ සහාය දෙනු ඇත. මේ ප්‍රශ්නය පිළිබඳ සවිඥානික ජනමාධ්‍ය සහාය දෙනු ඇත. විරුද්ධවනු ඇත්තේ රාජපක්ෂ කල්ලිය වටා රොද බැඳගත් ජාතිවාදී වර්ගවාදී බලවේග පමණි. ප්‍රගතිශීලී බලවේගවලට එය පරාජය කළ හැකිය. උතුරේ කොල්ල කල්ලි පමණක් නොව සන්නද්ධව දේශපාලන ව්‍යාපාරවලට ද තිත තැබිය හැක්කේ විනිවිද පෙනෙන දේශපාලන විසඳුමක් උතුරට ළඟා කර දීමට දකුණ සමත් වුවහොත් පමණි.

Latest Posts

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? 2017-10-09 - 1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්...
දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...

කතුවැකිය

කතුවැකිය-ඇත්තටම උරණ වියයුත්තේ කවුද?  කතුවැකිය-ඇත්තටම උරණ වියයුත්තේ කවුද? 2017-10-16 -  නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පක්ෂව අත ඔසවන්නේ...
කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! 2017-09-25 - ශිල්පීය නිපුණත්වය සහිත ශ්‍රම බළකායක් නැතිකමෙහි...
කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය 2017-09-19 - ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය ...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01