කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය

කතුවැකිය
Typography

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය හිමිකරගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් විෂය පිළිබඳ මහ කොමසාරිස්වරයා ලංකාව ගැන සඳහනක්කර තිබුණි. එම සඳහනෙන් නැවතත් ඔප්පු වූයේ ලංකාවේ අවසන් යුද්ධයේ දී සිදුවූ බරපතළ සිදුවීම් මඟ හැර ලංකාවට අන්තර්ජාතික වශයෙන් පැහැදිලි ගමනක් නැති බවය. ‘අප රණවිරුවන්ට අත තැබීමට නොදෙමු’ කියා ඕනෑම නායකයකුට දකුණේදී ජාතිවාදී ජනමනස ප්‍රමෝදයට පත් කළ හැකිය. එහෙත් අන්තර්ජාතිකව ලංකාව මුහුණ දී සිටින්නේ එවැනි වදන් හරඹවලින් තෘප්තියට පත් විය හැකි තත්ත්වයක නොවේ.

 

පසුගිය කාලයේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වන අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය කඩිනම්ව ක්‍රියාත්මක කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා කරන ලද සඳහන උක්ත යථාර්ථය ලංකාවට සිහිපත් කරදෙයි.

ඉකුත් මාර්තුවේ පැවැති ජිනීවා සැසියේ දී එවකට විදේශ ඇමැති ධුරය දැරූ මංගල සමරවීර මහතා සැසියට සහභාගී වෙමින් කීවේ යුද්ධයේ දී වූ සිදුවීම් විමර්ශනය කිරීම සඳහා සත්‍ය කොමිසමක් සහ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ඉක්මනින් පිහිටුවන බවය. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ එකඟතාව පළ වී ඇති බවත් පාර්ලිමේන්තුව ඒ සඳහා ක්‍රියාත්මක වෙමින් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය. එහෙත් ඒ වන විට එවැනි සූදානමක් ඇති බවත් ලංකාව තුළ දිස් නොවීය. සූදානමක් තිබුණි නම් රට තුළ ඒ පිළිබඳ බරපතළ සාකච්ඡාවක් හෝ ඇති විය යුතුය. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය යනු දේශපාලන වැඩක් නොවේ. එය සමස්ත සමාජයේම කාර්යභාරයක් ලෙස සැලකිය යුතු දෙයකි. කෙසේ වෙතත් ඉකුත් මාර්තු ජිනීවා සැසිය වනවිට එවැනි සාකච්ඡාවක් ලංකාවේ නොතිබුණත් මේ ප්‍රශ්නය සෑම සැසියකදීම සාකච්ඡා වීමට නියමිත එකක් වන නිසා එම සැසියෙන් පසුව හෝ මේ ගැන පුළුල් ලෙස සාකච්ඡා කර තීරණයක් ගැනීමට ලංකාණ්ඩුවට තිබුණි. සමරවීර ඇමැතිවරයා සැසියේ දී කවර දෙයක් කීවත් අතුරුදන් වූවන්ගේ කාර්යාලයක් ස්ථාපිත කිරීම වැනි ප්‍රයත්නයක දී එල්ලවිය හැකි විරෝධතා ගැන ඔහුට/ රජයට හොඳ අවබෝධයක් නොමැති විය නොහැකිය. ඒ කවර විරෝධයක් ආවත් මෙම කටයුත්ත මඟ හැර යා නොහැකි එකක් වී තිබෙන බව ද ආණ්ඩුව කල්පනා කළ යුතුය. එබැවින් තරමක් ප්‍රමාද වී හෝ 12 වෙනිදා ජනාධිපතිවරයා අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීමට අනුමැතිය දී තිබීම වැදගත් තීරණයකි.

සත්‍ය කොමිසම පිහිටුවීමට ආණ්ඩුවට නොහැකි ඇයි?

ඒ පිළිබඳ හැදෑරීමට දකුණු අප්‍රිකානු විශිෂ්ට ආදර්ශයක් ද ඇත. උතුර මේ වන විට හිටි හැටියේම රත්වෙයි. අවිවලින් සන්නද්ධ වූවෝ පොලීසියට සහ සිවිල් වැසියන්ට පහර දෙති. ඒවා දේශපාලනික කාරණා පදනම් කර නොගත් ප්‍රාථමික සිදුවීම් බව ද පෙනේ. එහෙත් මේවා සමාජයක් තුළ මෝරන්නට ඉඩ දීම අනාගතයේ දී බරපතළ ප්‍රතිඵල අත්කර දීමට පුළුවන. යුද්ධය පැවැති කාලයේ එල්ටීටීඊයෙන් ප්‍රහාර එල්ල වූවා මිස නාඳුනන කල්ලිවල මෙවැනි හැසිරීම්වලට ඉඩ තිබුණේ නැත. එනම් දැනට උතුරේ සිදුවෙමින් තිබෙන ක්‍රියාකාරකම් යුද කාලයට සාපේක්ෂව බලන විට වඩා අපැහැදිලිය. එමෙන්ම ව්‍යාකූලය. මෙවැනි ක්‍රියා කාරිත්වයක් මතුවීමට එක් හේතුවක් වන්නේ උතුර අයාලේ යන තත්ත්වයක පැවතීමය. මිලිටරි ක්‍රියාකාරකම් නිමා වූවත් එම දීර්ඝ සහ බලවත් සන්නද්ධ ක්‍රියාවලියට හේතු භූත වූ කරුණුවලට පිළියම් දකුණේ සමාජයෙන් ලැබුණේ නැත. දේශපාලන ප්‍රශ්නය රහිතව මිලිටරි ක්‍රියාකාරිත්වය පමණක් නිමා වූ සමාජයක මෙවැනි අවිනිශ්චිත සන්නද්ධ ක්‍රියාකාරකම් ඇතිවිය හැකිය. එබඳු අවර ගණයේ සමාජයකට ඉඩ නොතබා උතුරේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීම රජයේ වගකීමකි. දැනට සමාජ දේශපාලන අනවධානයක් තිබෙන්නේ ඒ සා වැදගත් සහ සංකීර්ණ ප්‍රශ්නයක් සම්බන්ධයෙනි.

36වන සැසියේ දී උතුර සම්බන්ධයෙන් තවත් වැදගත් කරුණු කිහිපයක් මානව හිමිකම් කොමසාරිස්වරයා මතු කර තිබුණි. ඉන් එකක් වන්නේ සංහිඳියාව ඇතිකිරීම පිණිස ගත යුතු ක්‍රියාමාර්ග විධිමත්ව ගැනීම සහ ඒවා කඩිනම් කිරීමය. හමුදාව විසින් යුද කටයුතු සඳහා අත්පත් කරගත් ඉඩම් නිදහස් කිරීම මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින සැකකරුවන් පිළිබඳ නඩුවිභාග කඩිනම් කිරීම හා ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන ලෙස උක්ත පනත වෙනුවට නව නීති සකස් කර ගැනීම වැනි වැදගත් කරුණු රැසක් මානව හිමිකම් මහ කොමසාරිස්වරයා විසින් එහිදී අවධාරණය කෙරිණි.

ඉහත සියල්ල ප්‍රතිපත්තිමය කාරණා හැටියට වත්මන් රජය පිළිගනී. ඔවුහු බලයට පත් වන විට ලංකාවේ පශ්චාත් යුද අවධිය පිළිබඳ මහකොමසාරිස්වරයා දරන මතය ම දැරුවෝය. තවමත් ඉන් විතැන් වී නොමැත. ජනපතිවරයා ද උතුරේ ජනයාගේ ඉඩම් වහාම නිදහස් කර දිය යුතු බව කිහිප වතාවක්ම පැවසුවේය. එහෙත් මුළුමනින්ම එම අරමුණ තවම ඉටුවී නැති බව පෙනී යයි. ආණ්ඩුව සංහිඳියාවට අවශ්‍ය සමහර පියවරයන් ගෙන තිබෙන නමුත් ඒවා සාකල්‍යයෙන් පළ දරා නැති බව ද පෙනී යයි. ඊට ප්‍රධාන හේතුවක් වූයේ සම්මුතිවාදී දේශපාලන සංදර්භය පිළිබඳව එහි බහුතරයකට අදහසක් නොමැතිවීමය. එමෙන්ම එය ජය ගත යුතුය යන්න නොසිතීමය. ඊළඟට මේ දෙපාර්ශ්වයට උතුර පිළිබඳව මීට වඩා සාධාරණ අදහසක් තිබිය යුතුය. ඔවුන් උතුර පිළිබඳ උන්නතකාමී අදහසෙන් මෑත්ව උතුර පිළිබඳ සාධාරණ අදහස තමා තුළ සාධනය කරගත් දවසට සැබෑ සංහිඳියාව සාක්ෂාත්වනු ඇත. එමෙන්ම මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාට මේ ගැන යළි යළිත් කතා කිරීමට අවශ්‍ය නොවනු ඇත. ඒ සියල්ලටත් වඩා සමස්ත රටවැසියාගේ හදවත් තුළ සංහිඳියාවේ අරුණැල්ල ජීවමානව බලපවත්වනු ඇත.

Latest Posts

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? 2017-10-09 - 1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්...
දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...

කතුවැකිය

බීරවාදය බීරවාදය 2017-11-20 - 2017-11-19 සමහරු ව්‍යවස්ථාව එපා කියන ආකාරයෙන්ම බීර මිල...
පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක් පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක් 2017-11-15 - 2017-11-12 අයවැයේ ප‍්‍රධාන අරමුණක් ලෙස 2025 වන විට ලංකාව...
සයිටම්:සටන අත්හලේ යෝධයාය සයිටම්:සටන අත්හලේ යෝධයාය 2017-11-07 - 2017-11-05 සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය දුන් පිළිතුර...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01