දේශීය ආදායමේ බදු මගඩි ගොඩයි

විශේෂාංග
Typography

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වත්මන් කොමසාරිස් ජනරාල් කල්‍යාණි දසනායක මෙරට දැවැන්තම ව්‍යාපාරිකයන් සනසමින් ඔවුන්ගෙන් රජයට අය විය යුතු රුපියල් බිලියන ගණනක බදු ආදායම් මුදල් කපා හැර ඇති බව අනාවරණය වෙමින් තිබේ.

විශේෂයෙන්ම රාජපක්ෂ රෙජීමය සමයේ දී ඇය විශාල බදු ගෙවන්නන්ගේ අංශය භාරව සිටි ජ්‍යේෂ්ඨ කොමසාරිස්වරිය ලෙස සේවය කරමින් විශාල අක‍්‍රමිකතා රැසකට හවුල් වී ඇති බව අනාවරණය වෙමින් පවතී.

ඒ අතර ප‍්‍රකට කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ එම කැසිනෝ සමාජ ශාලාවලට අදාළව 2010 වසරේ ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු වැට් බදු මුළුමනින්ම අත්හිටුවීමට තීරණය කිරීම සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට අප වෙත අනාවරණයව තිබේ. ඒ අනුව TIN - 409235220-7000 බදු ලිපි ගොනු අංකය යටතේ, අංක 6492075 යටතේ පළමු කාර්තුව, අංක 6492076 යටතේ දෙවන කාර්තුව සහ අංක 6492731 යටතේ තෙවන කාර්තුව සඳහා වන ලිපි ගොනු ප‍්‍රකාරව ගෙවිය යුතු වැට් මුදල් කපා හැරීම සිදු කර තිබේ.

‘2002 අංක 14 එකතු කළ අගය මත බදු පනත’ යටතේ යම් ව්‍යාපාරිකයකුට එම ව්‍යාපාරයේ බදු තක්සේරුව සම්බන්ධයෙන් යළි අභියාචනයක් කළ හැකි අතර ඒ සලකා බලා, කොමසාරිස් ජනරාල්වරයාට ඒ තක්සේරුව ස්ථිර කිරීම, අඩු කිරීම, වැඩි කිරීම හෝ අවලංගු කිරීම කළ හැකි ලෙස ප‍්‍රතිපාදන පනවා ඇත. එහෙත් එම පනත ප‍්‍රකාරව ඊට සාධාරණ යුක්තිසහගත හේතු තිබිය යුතුය. ලංකාවේ ප‍්‍රමුඛතම කැසිනෝ ව්‍යාපාරිකයා මෙන්ම ජාත්‍යන්තර ෆොබර්ස් සඟරාවට අනුව ලංකාවේ අංක එකේ ධනවතාට අයත් ව්‍යාපාරයක වැට් බද්ද මුළුමනින්ම ඉවත් කිරීමට කවරාකාරයක දුක්ගැනවිල්ලක් මේ කොමසාරිස්තුමියට ඉදිරිපත් කළාද යන්න ගැන අප වෙත අනාවරණය නොවෙතත් ඔහුගේ ඉල්ලීම හෝ තවත් යෝජනා හෝ එකඟතා හෝ අනුව මේ සිදුව තිබේ. එහෙත් කොමසාරිස් ජනරාල්වරියට ඉහත කී බලතල ඇතත් එම පනත අනුව කැසිනෝ සේවා පහසුකම් සලස්වන්නෝ අනිවාර්යයෙන්ම වැට් බදු ගෙවිය යුතුය.

වර්තමානයෙහි කැසිනෝ සමාජ ශාලාවක් පවත්වාගෙන යාම සඳහා වාර්ෂිකව මිලියන 400ක බද්දක් ද (පැවැතියේ මිලියන 100කි) පෞද්ගලික ආදායමෙන් සියයට 25 ක බද්දක් ද පනවා ඇත. එමෙන්ම එක්වරක් පමණක් ගන්නා රුපියල් බිලියනයක (කෝටි 100 ක) බද්දක් අය කෙරේ. ඊට අමතරව ආදායම මත වැට් බදු අය කිරීම සිදු වේ. ඒ අනුව මෙහි දී කපා හැරුණ බදු මුදලේ වටිනාකම කෙතරම් විය හැකිද යන්න ගැන සිතා ගත හැකිය. එහෙත් මේ සම්බන්ධ තොරතුරු අතිශය රහසිගතව පවත්වාගෙන යන අතර ඇතැම් මූලාශ‍්‍ර සඳහන් කරන්නේ එම ලිපිගොනු ද විනාශ කොට ඇති බවය. ධම්මික පෙරේරාගේ වැට් බදු මුදල් මුළුමනින්ම කපා හැරි බවට දසනායක මහත්මිය ඔහුට යොමු කළ ලිපිය මේ සමඟ දැක්වේ. කොමසාරිස් ජනරාල්වරියට පසුව එම දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යේෂ්ඨතම නිලධාරිනිය හා විශාල බදු ගෙවන්නන්ගේ අංශ ප‍්‍රධානී ලෙස කල්‍යාණි දසනායක, ජනරාල්වරිය වෙනුවෙන් මෙම බදු කපා හැරීමේ ලියැවිල්ලට අත්සන් කර තිබේ.

කෙසේ නමුත් මේ සටහන් කළේ එක් ව්‍යාපාරිකයකුගේ 2010 වසරේ දී බදු මුදල් කපා හැරීම ගැන පමණි. මේ කටයුතු දසනායක මහත්මියගේ හිතුමතේ නිකම්ම සිදු වූ දේ නොවේ. එවකට කොමසාරිස් ජනරාල්වරිය ලෙස සිටි වසන්ති මංචනායක මුදල් ඇමැතිව සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඔහුගේ කාර්යමණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු කණ්ඩායමක අනුදැනුම යටතේ මේ සිදු වූ බවට සැක නැත. රාජපක්ෂලා කැසිනෝ ව්‍යාපාර ප‍්‍රවර්ධනය කිරීම සඳහා එකල්හි දැඩි වෙහෙසක් ද ගත්තේය. ඒ පමණක් නොව ඒ ගජ මිතුරන්ව පොහොසත් කරන්නට ද මෙලෙස කටයුතු කර තිබේ. ඒ වෙනුවෙන් කළ සෙල්ලම කෙටියෙන් මෙසේය.

Income Taxදේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධුරයේ කටයුතු කළ මල්ලිකා සමරසේකර මහත්මිය 2014 ජූලි 28 වන දා විශ‍්‍රාම ගත් අතර එහි දී ජ්‍යේෂ්ඨත්වය අනුව පහළින් සිටින වසන්ති මංචනායක මහත්මිය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ධුරයට පත් කිරීම ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත්ගේ මැදිහත් වීම මත සිදු විය.

එහෙත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ධුරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යෝජනා කළේ කල්‍යාණි දසනායක මහත්මියයි. ඇය ගාල්ලේ පදිංචිකාරියක වන අතර ජනාධිපතිවරයාගේ ද ඥාතියකු බව ද එවකට වාර්තා වේ. වසන්ති මංචනායක මහත්මියගේ සැමියා ගාමිණී සෙනරත්ගේ විශ්වවිද්‍යාල කණ්ඩායමේ කෙනකු වීම හා ව්‍යාපාරික සගයකු වීම මත ඒ අවස්ථාව මංචනායක මහත්මියට හිමි විය. අනෙක එකල්හි රාජපක්ෂලාගේ ඞීල් සියල්ල ගැහුවේ ගාමිණී සෙනරත්ලා නිසා ඊට ඉඩ දීම සිදු වුණා විය හැකිය. ඒ අනුව කට්ටියම එකට බෙදාහදාගෙන කෑම සිදු කර තිබෙන බව පැහැදිලිය.

වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුවත් මංචනායක මහත්මිය එම තනතුරේ කාලයක් කටයුතු කළ අතර ඇයව ඉවත් කරන ලෙස එම දෙපාර්තමේන්තුව තුළින්ම ආ බලපෑම හමුවේ ඇයව ඉවත් කළ නමුත් එම තනතුරට පත් කරන ලද්දේ කල්‍යාණි දසනායක මහත්මියයි. ආයතනයේ ජ්‍යේෂ්ඨත්ව අනුපිළිවෙළින් එම තනතුර දසනායක මහත්මියට ලැබීම ගැන තර්කයක් නැත. එහෙත් ඊට වඩා මේ නෝනාගේ ළඟම හිතවතියක් යහපාලන ආණ්ඩුවේ ටයිකෝට් දාන ඇමැතිවරයකුගේ බිරිඳක් වීම මේ පත්වීම කෙරෙහි බලපා තිබේ. අද මෙම දෙපාර්තමේන්තුව පාලනය කරන්නේ ඒ ඇමැති බිරින්දෑ විසින් බවත් පෙනෙන්නට තිබේ.


එෆ් ඇන්ඩ් ජී

ලලිත් කොතලාවල මහතා සතුව තිබූ ‘එෆ් ඇන්ඩ් ජී පෞද්ගලික සමාගමේ’ අධ්‍යක්ෂ මණ්ඩලයට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යාණි දසනායක මහත්මිය පත්කර ගැනීම සඳහා රහසිගත මෙහෙයුමක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව සත්හඬ පුවත්පත මඟින් පසුගිය සතියේ දී අනාවරණය කෙරිණි.

මෙම පත් වීම නීත්‍යනුකූල කරන ලෙස ඉල්ලා එෆ් ඇන්ඩ් ජී පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන උපාලි රාජපක්ෂ මහතා පසුගිය ජූලි 06 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබිණි. යළි මෙම නඩුව සැප්තැම්බර් 08 වන දින කැඳවීමට නියමිතය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරියට පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයකට පත් වීමේ හැකියාවක් නොමැත. ඒ කිසිසේත්ම සදාචාරාත්මක ද නැත. ඒ විනය විරෝධී වේ. අනෙක් කරුණ මෙම සමාගම මුදල් අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ සමාගමක් ද වීම තුළ දසනායක මහත්මියට එම සමාගමට පක්ෂපාතව කටයුතු කිරීම ද කළ නොහැක. එමෙන්ම මෙහි අධ්‍යක්ෂ තනතුරු ලබන්නට නම් ඇය මෙහි මුදල් තැන්පත් කර එහි කොටස්කාරියක වීම සිදු විය යුතුය. තවම ඒ රහසකි. මෙම සමාගම එවකට මහ බැංකුවේ ලියාපදිංචි නොකළ සමාගමක් වූ අතර වැඩි පොලී මුදල් ගෙවීමේ පදනමින් මුදල් රැස්කළ සමාගමකි.

එනම් ‘සක්විති’ පන්නයේ සමාගමක් විය. අද දසනායක මහත්මිය අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වන්නට නියමිතව ඇත්තේ එවැනි සමාගමකය.

මෙහි දී තමන් මේ ගැන කිසිවක් නොදන්නා බව කියමින් මේ මගෝඩි කටයුත්තෙන් පැන යාමට කල්‍යාණි දසනායක මහත්මිය උත්සාහ ගත්ත ද උපාලි රාජපක්ෂ මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති මෝසම මඟින් ඇයගේ කැමැත්ත මේ සඳහා ලැබී තිබෙන බවට වන සටහනක් පැහැදිලිවම දක්වා තිබේ. ඒ අනුව ඇයගේ කැමැත්ත සහිත ලියැවිල්ලක් උපාලි රාජපක්ෂ සතු විය යුතුය. ඇය මේ ගැන හාංකවිසියක දෙයක් නොදන්නවා නම් උපාලි රාජපක්ෂ සිදුකර තිබෙන්නේ අධිකරණය නොමඟ යැවීමකි. කෙසේ නමුත් ඒ ඉදිරි සතියේ දී විසඳෙනු ඇත.


විල්ස් ලංකා

මේ අතර 2013 වසරේ දී රුපියල් මිලියන 50 ක අයථා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ද කල්‍යාණි දසනායක මහත්මියට චෝදනා එල්ල විය. ඒ ප‍්‍රකට මෝටර් රථ ව්‍යාපාරික ආයතනයක් වන විල්ස් ලංකා ආයතනයෙන් අයකර ගත යුතුව තිබූ වැට් බදු සම්බන්ධයෙනි. මේ සම්බන්ධයෙන් එවකට දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ හිටපු ලේකම් කේ. ජී. ජේ. එන්. දේශප‍්‍රිය මත එවකට සිටි කොමසාරිස් ජනරාල් වසන්ති මංචනායකට ලිඛිතව පැමිණිලි කළ නමුත් ඒ යටපත් කෙරිණි.

එම ලිපි ගොනු අංකය ඔෂභ 114146889 වන අතර ඒ භාරව තිබුණේ ද විශාල බදු ගෙවන්නන්ගේ අංශයේ ප‍්‍රධානී කල්‍යාණි දසනායක සතුවය. විල්ස් ලංකා සමාගම වසර 7 ක් තිස්සේ බදු මුදල් ගෙවීම පැහැර හැර තිබිය දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එම ආයතනයට එරෙහිව තක්සේරු දැන්වීමක් පිළියෙල කර හිඟ බදු අත්පත් කර ගැනීමට කටයුතු සම්පාදනය කළ ද දිසානායක මහත්මිය විසින් මිලියන 50 ක සන්තෝසමක් ගෙන ඒ වැළැක්වූ බවට මේ චෝදනාව ඉදිරිපත් විය. විල්ස් සමාගම තමන්ට ව්‍යාපාරයෙන් පාඩු බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මෙසේ බදු මුදල් ගෙවීම පැහැර හැර තිබූ නමුත් එම සමාගම මිලියන දහස් ගණනින් ව්‍යාපාර කටයුතු සිදු කර තිබූ බව ද හෙළි කර ගැනීමට දේශීය ආදායම් නිලධාරීන් සමත්ව තිබිණි. මෙලෙස රටට අහිමි වූ බදු මුදල මිලියන සිය ගණනක් දහස් ගණනක් හෝ විය හැකිය. එහෙත් ඒ ගැන වත්මන් යහපාලනයෙන් ද විමර්ශන නැත.

අප ඉහත සඳහන් කළේ මේ රටේ ක‍්‍රියාත්මක බදු හොරුන් හා ඉහළම දේශීය ආදායම් නිලධාරීන් සිදු කරන දූෂිත ගනුදෙනු ගැන උදාහරණ ත‍්‍රිත්වයක් පමණි. මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අප වෙත ලැබී තිබේ. ඒ අතර මෙරට ප‍්‍රකට බුකීකරුවකුගේ රුපියල් බිලියනයක පමණ බදු වංචාවක් ගැනත් අප වෙත තොරතුරු ලැබී ඇති අතර ඒ ඉදිරියේ දී හෙළි කිරීමට අපේක්ෂා කරමු.

මෙරට ප‍්‍රධාන ආදායම් මාර්ගය වන්නේ බදුය. ඒ රජයට එකතු කර දෙන්නේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා රේගුව හා සුරා බදු දෙපාර්තමේන්තුව යන ප‍්‍රමුඛ ආයතන ත‍්‍රිත්වය මඟිනි. මෙම ආයතන තුළ සිදු වන බිලියන ගණනින් වන වංචා දූෂණ අක‍්‍රමිකතා යනු රටේ සමස්තය කෙරෙහි දැඩිව බලපාන ඒවා වෙයි. විශේෂයෙන්ම යහපාලන ඇමැතිවරුන්ගේ නිලධාරීන්ගේ අනුමැතියෙන් මහ පරිමාණ ව්‍යාපාරිකයන්ගේ බදු මුදල් වංචාකාරී ලෙස කපා හරිමින්, පොදු ජනතාව හා සුළු ව්‍යාපාරිකයන් මත බදු බර පටවමින් සිටින කාලයක මේ ගැටලූව වඩා බරපතළය.

මේ අනුව 2020 දක්වා යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් සම්මුතිගතව සිටිය ද කවර සම්මුතියක් වුව ද ජනතාවගේ බලය හමුවේ බිඳවැටෙන බව සිහියේ තබා ගැනීම ඔවුන්ට වැදගත්ය.

- සුභාෂ් ජයවර්ධන

Latest Posts

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? 2017-10-09 - 1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්...
දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...

කතුවැකිය

බීරවාදය බීරවාදය 2017-11-20 - 2017-11-19 සමහරු ව්‍යවස්ථාව එපා කියන ආකාරයෙන්ම බීර මිල...
පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක් පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක් 2017-11-15 - 2017-11-12 අයවැයේ ප‍්‍රධාන අරමුණක් ලෙස 2025 වන විට ලංකාව...
සයිටම්:සටන අත්හලේ යෝධයාය සයිටම්:සටන අත්හලේ යෝධයාය 2017-11-07 - 2017-11-05 සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය දුන් පිළිතුර...

Face Book Setup 01