ඔත්තුකරුවා සතුරු කඳවුරට පැමිණෙයි

විශේෂාංග
Typography

පතිරණගේ මනස නොඉවසිලිමත්ය. දැන් දැන් ජයසේකර ජවිපෙ කඳවුර කරා යන ගමන පිටත් වේදැයි පතිරණගේ ගතට වඩා අසන්නේ සිතය. පතිරණට ඊශ්‍රායලයේ දී ලද පුහුණුව සිහි වේ.

ඔත්තුකරුවකු යනු මිනිස් පවුලට වඩා බළල් පවුලට නෑදෑකම් කියන්නෙකි. බළල් පවුලේ කිසිවකු හොඳින්  සිතා නොබලා... කුරුමානම් නොඅල්ලා... තම ගොදුර වෙත නොපනී... ඔවුන් තමා හා ගොදුර අතර දුර ප්‍රමාණය.... ළඟා විය හැකි කාලය... ගොදුරේ ජවය හා ශක්තිය... එහි විශාලත්වය වැනි කරුණු අධ්‍යයනය කොට  තම ආත්ම ශක්තිය ද පිරික්සා බලා පමණක්  ගොදුර මත පතිත වේ...

පතිරණගේ නොඉවසිලිමත් මනස සන්සුන් විය. තමන් ඔත්තුකරුවෙකි... තමා බළල් පවුලේ සාමාජිකයෙකි...

ජයසේකර වාඩිය වටා රවුමක් ගසා යම් කිසි  ස්ථානය දෙකක් පමණ පරීක්ෂා කරනවා පතීගේ උකුසු ඇසට ගැටිණි. යම් විටක මෙහි අවි ආයුධ වළ දමා තිබෙනවා විය හැකිය. ඉන්පසු හේ නැවත පතිරණත් රාජාත් සිටි තැනට සෙමින් ඇවිද ආවේය.

සරත් මලය... උඹ ඉතින් ... පතලෙ වැඩට ආවට මේවයේ හවුල් හෙම බෙදෙන හැටි දන්නවද?...”

“... නෑ ජයසේකර අයියේ... මං ඉතින් එහෙමට ඒ ගැන හිතුවෙ නෑ... මට ගෙදරට ගෙනියන්න සල්ලි කීයක් හරි තිබුණ නං....

“... එහෙම කියන්න එපා.. මලයා.. දැන් බලපං මේක විජේ අයියගෙ ඉඩම... එතකොට විජේ අයියට බිං පංගුව අයිතියි... එක ගලක් හමුවුණොත් දෙයිහාන්දුරුවන්ගේ පිහිටෙන් ගලේ වටිනාකමෙන් පහෙන් පංගුවයි... ඒ කියන්නේ සීයෙට විස්සයි...

ඊට පස්සේ මලය තියෙන්නෙ ලයිසන් පංගුව... ඒකත් ඉතින් අයිති විජේ මුදලාලිටම තමා... ඒක ගලේ වටිනාකමෙන් සීයෙට දහයයි.. ඕං ඉතින් එතකොට සීයෙට තිහක්ම විජේ අයියට ඊට පස්සේ මැසින් හවුල... ඒක ඉතින්..... ගලේ ගාණෙන් අර තිහ අඩු කරල ඉතිරි සීයෙට හැත්තෑවෙන් දහයෙන් පංගුවයි.. ඒකත් ඉතින් විජේටම තමයි... ඔන්න ඔය ඉතිරි වෙන සොච්චමෙන් වියදං හවුල කියලා භාගයක්ම විජේ අයියටම තමා. ඉතිරි බාගෙ තමා මලේ අපි ඔක්කොටම... ඔන්න ඔයාකාරෙට තමා අපිට සල්ලි හම්බෙන්නෙ.. හොහ්... හොහ්...ඉඩං තියෙන එකා සල්ලි  තියෙන එකා ගොඩ යනවා.... සරත් මලේ... ඒක මේ විසම සමාජ ක්‍රමයේ වරද...ජයසේකර එවර වඩා ආක්‍රමණශීලී කලබල ස්වභාවයෙන් යුතුව කතා කරයි.... ඔහුගේ දෑස් රතු ගොරක මද දෙකක් මෙනි...

සරත් මල්ලි.... මේ සමාජ ක්‍රමය සම්පූර්ණයෙන් උඩුයටිකුරු කරල... කොමියුනිස්ට්වාදයේ නියාය ධර්මවලට අනුකූලව රට ගෙන යන්න ඕන මල්ලි.. හෙහ්... හෙහ්... සමූහ ගොවිපළවල්.... ජනතා ව්‍යාපාර... සමාන පඩිනඩි... ජයසේකර ගුගුරයි...

සරත් මල්ලි... දාගනිං කමිසයක්... වරෙන් මාත් එක්ක යන්න. මං උඹව අපේ ව්‍යාපාරෙට බන්දන්නං... යමං...කියමින් වාඩිය තුළට ගිය ජයසේකර සුදු පාට කමිසයක් ද ඇඟලා ගනිමින් නැවත එළියට ආවේය...

යමං සරත්... යමං...

සරත් හෙවත් පතිරණ පුල පුලා බලා සිටි නැකත උදා විය... දියතලාව කඳවුරේ සුවපහසු යහනක සැතපෙන බ්‍රිගේඩියර් චමින්ද පතිරණ මඳක් ඉස්සී... දකුණු ඇලයේ සිට නැවත උඩුබැලි අතටත් ඉන්පසු වම් ඇලයටත් හැරුණේය. තමා මැරෙනවානං මැරෙන්න තිබුණේ එකලය. ඔත්තුකරුවකු ලෙස ගතකළ එම කාලය අතිශය භයානකය. ඔත්තුකරුවා බොහෝවිට සටන් කරන්නේ තනිවමය. ඒ මුළුමහත් සතුරු දේශයක් හෝ හමුදාවක්ම සමඟ විය හැකිය.

ඔත්තුකරුවාගේ අණ දෙන නිලධාරියා සිටින්නේ ඔහුගේම ගෙලනමැති අවයවයට ඉහළින්ය. එය මොළයලෙස හඳුන්වයි.

බ්‍රිගේඩියර් පතිරණට තම මොළය නිසා ජීවිතය බේරුණ අවස්ථා කීපයක්ම සිහියට නැඟේ.

බිග් බෙන් ඔරලෝසුවේ නාද වූයේ කීයදැයි පැහැදිලි නැත. බ්‍රිගේඩියර්වරයා නැවත එක් ඇලයකට හැරුණේය. කල්පනා ලෝකයේ කිඳා බැස ගත්තේය. කල්පනා මං පෙත සිසාරා ගොස් බලන්ගොඩ, රජවක, වදවුලේ පතල් පොළට සේන්දු වූයේය...

....ඔත්තුකරු, ලුතිනන් පතිරණ හෙවත් සරත් පූස් පැටවකු මෙන් කීකරුව ජයසේකර පසුපසින් පිටත් විය.. දෙදෙනා නැවත පෙරදා රාත්‍රියේ දිය නෑ කොට්ටරආරට සේන්දු විය. තමා උපන් ගම වූ දඹදෙණිය ප්‍රදේශයේ ඇළලෙස හඳුන්වන දියපාර බලන්ගොඩ වැසියෝ ආරලෙස හඳුන්වයි. ජයසේකර කටහඬ අවදි කළේය.

සරා මලය... මේ වගේ ගමන් යනකොට අපේ පා ලකුණු තියල යන්න හොඳ නෑ. බැහැපං මලය ආරට අපි ආර දිගේ යං. දිය පාරේ පාරවල් හිටින එකක් යෑ...ජයසේකරගේ විප්ලවීය හඬ නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වී ඇත.

ආර දිගේ මඳක් දුර ගිය ඔවුහු ආර හරහා වැටී ඇති කුඹුක් කඳකට ගොඩ වූහ. කුඹුක් කඳ උඩ අව්ව තපිමින් සිටි කබර පැටියකු නැවත ආරටම පැන්නේය. ජයසේකර කුඹුක් කඳ උඩ සිට වටපිට බැලීය. කෝටුවක් කැඩෙන හඬක්වත් පිට වූයේ නැත. ටී පනස්හය රයිපලයක් ද, රිපීටරක්ද සමඟ දෙදෙනෙක් කුඹුක් කොටේ මෙහා පැත්තෙන් මතු විය. රිපීටරයේ බැරලයට පතිත වූ ළාහිරු රැස් දහරක් පතිරණගේ ඇස මඳකට වැසීය..

හාහ්.... ජයසේකර සහෝදරය... එන්න. ඉස්සරහට එන්න.ඉදිරියෙන් සිටි කළු රැවුලා ජයසේකර ඇමතුවේය. මේ අනෙක් සහෝදරයා කවුද?”

ආ... ඒ අපේ සරත් සහෝදරය. රාජ සහෝදරය දන්නව අපි යනව පස්වන මට්ටමේ සහෝදරයන්ට සපෝට් එකක් දෙන්න.

හා හා... අද නං රහට කෑව හැකි..... ජයසේකර සහෝනෙ උයන්නෙ...දෙදෙනා එකවර කීවෝය.

යන්න යන්න සහෝදරයා...

ජයසේකරටත් පතිරණටත් මුරකපොල්ලේ සහෝදරවරුන්ගේ අවසරය ලැබිණ.

වනලැහැබක් මැදින් ගොස් දෙදෙනා එළිමහනකට පිවිසුණි. ඉන්පසුව සුදු පාට ගල් වර්ගයක් කැඩූ බවට සාක්ෂි සහිත ගල් වළකි.  ගල් වළේ පාර දිගේ පොඩි කඳු ගැටයක් නැග බැසගත්තේ ගොරකවුල රාජාගේ නිවසටයි.

ජයසේකර කෙළින්ම ගෙය තුළට ගියේය. ඉන්පසු පතිරණ ගෙතුළට පිවිසුණි. ඉන්පසු නාටු බල්ලෙක් ගෙට පැමිණ කැඩුණු වේ වැල් පුටුවක් මත අසුන් ගත්තේය. පෙරදා රෑ පතිරණ පොලු කැබැල්ලකින් සැලකූ බල්ලා මූ විය යුතුය.

මිලදී ගත් කාලයේ තිබූ කිසිදු වර්ණයක් සොයා ගැනීමට අපහසු දැලි, කහට හා වෙනත් විවිධ දේ ගෑවුණු ගවුමක් හැඳගත් ගැහැනියක් මඳක් නැවී තම දෙ අත ගවුමේ කොනක පිසිමින්ම ඉදිරියට ආවාය... පතිරණගේත් ජයසේකරගේත් දෑස් එක්වරම යොමු වූයේ ඇගේ නිරාවරණය වූ දණහිසටයි. ඉන්පසු ඇය විරිත්තා ඔවුන් දෙස බැලූ හෙයින් බුලත් විටකට කළ හැකි හදිය පතිරණට තේරුම් ගියේය...

“...අම්මේ ඇති, මේන් බොලේ ජයසේකර අයියා ආව. මං මේ බයෙන් හිටියේ...

ඉතින් කියපංකො නංගියේ... මොකද අපි කරන්නෙ?”

ඒ ජයසේකර හහ්... මේ අර දඹරෙ කරකැව්වා කියපු කොල්ලද? එන්න එන්න සහෝදරයා...ගැහැනිය පතිරණට ඇරයුම් කරයි. අයියේ... උඹ ඔතනින් හාල් සේරු දෙක හමාරක් අරං ළිපේ තියහං. මතක ඇතිව ගරල ගනිං හොඳේ...

දියවින්නෙ වික්ටරය මාළු වැල් දෙකක් ගෙනාව ආං... රාජා ඒක කපල දීල මං ළිප තිව්ව. ජයරත්නගේ ගහේ හෙරළි ගෙඩිය කපං එනකං උඹ හාල් ටික ළිප තියහං එහෙනං...

පතිරණට ගාන්නට පොල් ගෙඩියක් ලැබුණි.

ජයසේකරත් පතිරණත් උයා නිම කළහ.

මලේ වරෙං...ජයසේකර නැවත නිවස පැත්තකින් ගොස් වන රොදට ඇතුළු  විය. ඉන්පසු මඩුවක් අසලින් පැමිණ එළිමහනකට ඇතුළු විය. එළිමහනේ සිටි පිරිස පහළොවක් විය යුතුය. ඒ සමඟම රාජා කොහේදෝ සිට පැමිණ නැවතුණේ වතුර කළයක් ළඟය. ආ... ජයසේකර සහෝදරය... උයල පිහල ඉවරද?”

ඔව් රාජා මලය.... හහ්... සහෝදරය...

අර දේශක සහෝදරයට වතුර පිපාසේ ඇවිල්ල. හිටිං මං වතුර එකක් ගෙනිහිල්ල දෙනකං.රාජා ලොකු වීදුරුවකට මැටි කළෙන් වතුර එකක් ගත්තේය. එවිටම තරමක් මිටි ටිකක් ජැණ්ඩියට හැඳගත් අයෙක් පතිරණ රාජා හා ජයසේකර සිටි මඩුව පැත්තට එන්නට පටන් ගත්තේය.

දේශක සහෝදරය මෙහාට එනව. තිබහ වැඩි ඇති.

පතිරණ දේශක සහෝදරයා හඳුනා ගත්තේය. ඉන්පසු විස්මයට පත්ව ඔහු දෙස බලා සිටියේය.

හත්දෙයියනේ... රිචඞ් ද සොයිසා. ප්‍රවෘත්ති නිවේදකයා.

රිචඞ් සොයිසා පතිරණ අසලටම පැමිණුණේය. ඒ සමඟම උසට සරිලන මහතක් ද සොඳුරු මුහුණක් ද සහිත තරුණ පහේ අයෙක් පැත්තකින් මතුව එතැනට ප්‍රවිෂ්ඨව සිටගත්තේ පතීත් ජයසේකරත් රිචඞ් සොයිසාත් අලුතින් පැමිණි පුද්ගලයාත් අතර චතුරස්‍රයක හැඩයක් තනමිනි.

ශිල්පියා සහෝදරය මාර තිබහක් එන්නෙ... හැබැයි ඉතින්... මෙහෙ වතුර මාර රහයි.

අලුතින් පහළ වූ තැනැත්තා ශිල්පියා සහෝදරයා ය. ඔහු ඉදිරියට නැවී මඩුවේ තිබූ සුදු පාට බෙලෙක් කෝප්පයක් ගත්තේය.

රාජා විසින් ගෞරව සම්ප්‍රයුක්තව පිළිගැන්වූ වතුර වීදුරුව දේශකයා හෙවත් රිචඞ් සොයිසා විසින් එක හුස්මටම හිස් කළේය. ඉන්පසු ගොරෝස්යන අනුකරණයෙන් ශබ්දයක් පිට කළ හේ ශිල්පියා දෙස බැලීය. එවිට ශිල්පියා ද බෙලෙක් කෝප්පයට ගත් වතුර සියල්ල බී නිම කොට රිචඞ් සොයිසා කළාක් මෙන්ම ගරෝස්හඬක් පිට කළේය.

එක විටම කැලය දෙසින් මොනරුන් දෙදෙනකු හෝ තිදෙනකු කෑ ගැසූයෙන් පිරිස කලබල වූහ.

රාජා පිරිස සන්සුන් කළේය...

ඔය අපේ බල්ලා ඔහෙං යන්න ඇති. නැතුව මේ රාජා ඉන්නකං මෙහෙට කවුරුත් එනවා බොරු. සර්ලා... නැහැ නැහැ සහෝදරවරු කලබල වෙන්න එපා.

රාජා අපේ ආරක්ෂක වැඩපිළිවෙළ හරියටම ක්‍රියාත්මකනෙ.

ශිල්පියා ඇසීය...

ඔව්. පී.එච්.අයි. සහෝදරය...රාජා පිළිවදන් දිනි.

ලුතිනන් පතිරණ හෙවත් ඔත්තුකරුගේ මොළය වේගයෙන් ක්‍රියා කරයි. ශිල්පියා යනු පී.එච්.අයි.වරයෙකි. තමාට ජයසේකර පැවසූ ජවිපෙ නායකයා ඔහු විය යුතුය.

කෝ රාජා සහෝ... අපේ ආගිරිස් මහත්තයා.ශිල්පියා කටහඬ අවදි කළේය.

අන්න අර පරණ ගල් වළ ළඟ මොනවදෝ ලියනවා. කෑවද කියලවත් මට අහන්න බැරි වුණා...

රාජා හේ නං... අපේ පුහුණු වන සහෝදරයන්ට පැය භාගයක් විතර රෙස්ට් එකක් දෙමු. කහට ටිකක් ඒ පැත්තට ගෙනිහුං දීල ගල් වළ පැත්තට එන්න. අපි ආගිරිස් සහෝව මුණගැහෙන්න යනවා.ශිල්පියා පෙරමුණ ගත්තේය. රිචඞ් සොයිසා පසුපසින් ගමන් ගති. ජයසේකර පතිරණ දෙස කෙළින් හා ප්‍රෞඪව බැලීය. ඉන්පසු සෙමින් මිමිණීය. සරත් මලය බලපං අපේ ව්‍යාපාරෙ... රූපවාහිනී ලොකු ලොකු කට්ටියත් ඔය ඉන්නෙ. අපි මලය තව මාස තුනයි හතරයි. රාජ්ජ බලය අල්ලනව සිකුරුයි. ඕං... බලහං...ජයසේකර ඇඟ මැළි කැඩීය...

අපි යමං සරත... රාජා මලයගෙ ගේ දිහෑවෙ.එවර ජයසේකර ඉස්සර විය.

පතිරණ ජයසේකර ද සමඟ රාජාගේ නිවසට පිවිසෙන විටම නැවත තම ඇඳුමේ අත පිසදමමින් පැමිණි රාජාගේ භාර්යාව අයියේ උඹල මෙහෙංම කාලා යනවද?... නැත්නං බත් ඩිංගක් බැඳං යනව දැයිඇසීය. හෙහ්... නංගී... අර පතලෙන් ගෙනාපු ප්ලාස්ටික් භාජනයක් මිරිස් ගල ළඟ ඇති... ඒකට බත් ඩිංගක් දාපං... අර දෙමළ කොල්ලත් පතල්පළේනෙ... අපි ගෙහුං ඌත් එක්ක කන්නං...

හිටපං අයියේ මං බත් ටික දාලා මාළු ටික වෙනම බැඳල දෙන්නං...

ඉන්පසු ස්වල්ප වේලාවකින් බත් බඳුන පතීගේ අතට ලැබිණි. තවත් ෂොපිං කවරයකට දැමූ මුල් බැඳි කීපයක් ද පොඩි හෝර්ලික්ස් බෝතලයක භාගයක් පමණ වන්නට හොදි ද දමා රාජාගේ ඇඹණිය විසින් ජයසේකරගේ අත තැබීය.

ජයසේකරත් පතිරණත් නැවත පතල්පළට එන විට මුලින්ම ඇසුණේ පතල්පළේ රාජාගේ ගෙරවුම් හඬයි. දෙවනුව දෙපා දෙපසට යොමා එක් අතක් අංශක අනූවට දිග හැර තද නින්දේ පසුවන රාජාගේ දේහය දක්නට ලැබුණි. මේක කාලකණ්ණිය.. ඔක්කොම බුරුත්ත එළිය දාගෙන බුදි...ජයසේකර රාජාගේ සරම නිසි ලෙස සකසයි. රාජා ඉද්ද ගැසුවාක් මෙන් නැගී සිටියේය.

පතිරණ දහදිය කරණ කොටගෙන තෙත් වූ තම කමිසය ගලවාලීය. ඉන්පසු වාඩියේ ඉදිරියට ගොස් තම නිරාවරණය වූ උඩුකය සුළං පහරට අල්ලා ගෙන ඉමහත් ආස්වාදයක් ලැබුවේය. හෝටන් තැන්න දෙසින් හමන්නා වූ සිසිල් සුළං ධාරාවෝ පතිරණගේ ගත මෙන්ම සිත ද කුල්මත් කළේය.

මලේ උඹේ ඇඟේ හැටියට නං එහෙමට දුක් වින්ද එකෙක් කියල කියන්න බෑ...ජයසේකර එසේ කියමින්ම වාඩිය තුළ සිට එළියට පැමිණුණි. හොඳ සනීපෙට හැදුණු ඇඟක්නේ බං....

පතිරණට හීන්දාඩිය දැම්මේය....

ජයසේකර මාව සැක කරයිද...?” පතිරණ කලබලෙන් ඈත මෑත බැලීය... ජයසේකර තවම තමා දෙස බලා සිටී....

ඔත්තුකරුවකු සතු එකම අවිය ඔහුගේ මොළය පමණි. මේජර් හයින් හෙවත් තම ඊශ්‍රායල ඔත්තු පුහුණුකරු මොළය අවියක් ලෙස යොදාගන්නා ආකාරය ද ලොව ප්‍රබල ඔත්තුකරුවන් තම මොළයෙන් වැඩගත් අයුරුත් හොඳින් උගන්වා ඇත. ඔත්තුකරුවා මුවෙකුනොවේ. ඔහු ඉබ්බෙකි. අවට පරිසරය කලබල වන විට ඔහු මුවකුමෙන් අවිචාරවත්ව හිස හැරුණු අතේ පැන නොදුවයි. ඔහු ඉබ්බකුමෙන් අතපය කට්ට ඇතුළට දමා කලබලයටදෑස හා දෙකන් පමණක් යොමා ගනී.

ඔත්තුකරුවකුට ලොව අනර්ඝතම වස්තුව වන්නේ සතුරාය’. ඔත්තුකරුවා තම ජීවිතයේ ළඟා වන ගෞරවණීයම ස්ථානය වන්නේ සතුරාගේ කඳවුරයි. තමා මේ වන විට තම අනර්ඝතම වස්තුව වන සතුරාසමඟ ගෞරවණීයම ස්ථානය වන සතුරු කඳවුරකට පැමිණ තිබේ. ජයසේකර තමාව සැක කළහොත් මේ සියල්ල අහිමි වේ. කැලෑ සත්තු බඳු ජයසේකර අනිවාර්යයෙන් කීතු කීතුවලට ඉරා තමා මරාදමනු නිසැකය. පතිරණ සන්සුන් විය. හේ ජයසේකර දෙස බැලීය....

ජයසේකර අයියේ.. තරහ නැතුව මට ඔයාගෙ පරණ සරමක් දෙන්නකො... මේ සරං කඩමාල්ල හෝදල දාන්න ඕනි...පතිරණ ජයසේකරගෙන් ඉල්ලීමක් කරයි.

ඇයි සරත් මලය.. උඹ නාගෙනම කන්ඩද කල්පනාව...? නැත්නං ඔහේ බත් ටික ගෙනාපු එක දැං කාල... හවස් මණ්ඩියේ නාමු... හිටිං මං උඹට සරමක් දෙන්නං...

ජයසේකර නැවත වාඩිය ඇතුළට ගොස් තරමක් පැරැණි සරං කඩමාල්ලක් රැගෙන එයි... ඉඳා සරත් මලය... එහෙනං අපි නාගෙනම එමු... රාජො.... බල්ලන්ට පයින්ඩ බැරි වෙන්ඩ ඔය අපි ගෙනාපු බත් එකයි අනෙක් සකලමනාවයි හොඳට වහල වර යං නාන්ඩ...ජයසේකර අණ දෙයි.

නාගෙන පැමිණ දිවා ආහාරය ගත් ඔවුහු නැවත නින්දට වැටුණහ. හවස තිදෙනාම එක්ව රොටී පුච්චා අනුභව කළහ. ඉන්පසු විවිධ කතා කියමින් ජයසේකර රාත්‍රී නවය පමණ වන තෙක් කල් මැරුවේය.

රජවත විජේ අයියාගේ ගමේ සිදු වූ පුනර්භවය පිළිබඳ ජයසේකර කියූ කතාවක් පතිරණගේ සිත් ගත්තේය.

ගිය ආත්මයේ ඇති වූ පෙම් පළහිලව්වක ප්‍රතිඵලයක් ලෙස තරුණියගේ අයියා විසින් පිහියෙන් ඇන මරා දැමූ අයෙක් හා එම ශෝකයට වස බී නැසීගිය එම තරුණයාගේ පෙම්වතිය නැවත රජවක ගමේ ඉපැදී ඇති සැටිත්... එම තරුණයාගේ පිහි පහර වැදුණ ස්ථානයේම විශාල ලප කැළලක් සහිතව ඔහුගේ ඊළඟ ආත්මය ඉපැදී ඇති සැටි හා දැන් ඔහු ගුරුවරයකු බවත් ජයසේකර පැවසුවේ පතිරණ විස්මයෙන් මුසපත් කරමිනි.

රෑ නවයට පමණ ජයසේකර කතා කළේය...

සරා මලය... මම රෑ පොඩි ගමනක් යනවා... මේවා ඉතින් උඹට නොකියත් බෑ... බං... ව්‍යාපාරෙ රෙගුලාසිවලට නං ඉතින් පටහැනී තමයි... ඒත් බං අපිත් ජීවත් වෙන්න එපායෑ... උඹත් එනවද කොල්ලො මාත් එක්ක යන්න...?”

පතිරණ එක පයින්ම ඊට කැමැති විය....

අනේ අයියේ... මේකෙ ඇතුළට වෙලා බුදියනවට වඩා නියමයි... කැලේ ඇවිදින එක... යං යං මාත් එන්නං...

ස්වල්ප වේලාවකින් සරම ඇඳ ගත් ජයසේකරත් ෂෝටක් හා ටීෂර්ටය හැඳගත් පතිරණත් පතල් වාඩියෙන් නික්මුණාහ.

                                                        - මතුසම්බන්ධයි -

- කාශ්‍යප වීරක්කොඩි ලියයි

සංහාරයකුගේ පාපොච්චාරණය - 12

සංහාරයකුගේ පාපොච්චාරණය - 11

සංහාරයකුගේ පාපොච්චාරණය - 10

Latest Posts

කතාබහ

විශේෂාංග

ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...
එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට 2018-04-25 - දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ දිවයිනේ ප්‍රධාන...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...