දේශීය ආදායම ඔසවා පොළොවෙ ගසන්නට - කළ්‍යානිට කොහෙන්ද හයියක් මෙතරම්?

විශේෂාංග
Typography

පසුගිය සත්හඬ කලාප කිහිපයක් හරහා අප මුදල් අමාත්‍යවරයාගේ යහපාලන දූෂිත ක්‍රියා සාධක සහිතව හෙළි කළා ඔබට මතක ඇත. බලය යුතු ලෙස භාවිතයේ යොදවමින් සිදු කළ ඒ දූෂිත ක්‍රියා ගැන කතාවට විරාමයක් දෙමින් මේ සූදානම් වන්නේ එම අමාත්‍යාංශයට අයත් තවත් දෙපාර්තමේන්තුවක් ගැන හෙළි කිරීම් කිහිපයක් සිදු කරන්නටය.

ඒ මුදල් අමාත්‍යාංශයට අයත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දූෂණ කිහිපයක් හෙළිකර සිටින්නටය. එහි ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය වන කල්‍යාණි දසනායකගේ දූෂණ කිහිපයක් හෙළිකර සිටින්නටය. එයින් අප මෙවර ඔබ වෙත ගෙන එන්නේ ස්ථානමාරු සහ පත්වීම් ගැන පමණය.

ඇත්තටම නම් මීට පෙර ද අපි මේ කල්‍යාණි නමට දේවල් ලියා ඇති බව ඔබට මතක ඇතුවා නොඅනුමානය. 2016.08.08 වන දා කල්‍යාණියේ ඔබ නෑසූ කතාවක් කියන්නම්සහ දේශීය ආදායමේ බදු මගඩි ගොඩයි මෙන්ම කල්‍යාණියේ... ඔබට දැන් මේ ටිකාත් කියන්නම්යන ලිපි ඊට නිදර්ශනය. එහෙත් වගකිවයුත්තන් නිහඬය. අක්‍රියය.  කොහොඹ ගහේ කරවිල වැල ගියා වැනි ඒ පසුබිමේ පනින රිලවුන්ට ඉණිමං කමක් නැත ලෙසින්  එතුමියගේ දූෂිත ක්‍රියා ද නිමක් නැති ගාණය. එයින් පළමු අංගය වන්නේ මේ වන විට රාජ්‍ය සේවා කොමිසමේ බලතල පවා නොසලකා හැර කල්‍යාණිය පෙළහර පාමින් සිටින ආකාරය ගැනය.

ලොවෙත් නැති පත්වීම්

2013 අප්‍රේල් මස 05 වන දා නිකුත් කර ඇති අංක 1804/50 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වන ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවා ව්‍යවස්ථාව තුළ දෙපාර්තමේන්තුවේ සේවා ගණය මෙන්ම අදාළ තනතුරු වෙනුවෙන් පත්කිරීම් සිදු විය යුතු ආකාරය දක්වා ඇත. එහි 6.1 සඳහන් වන ආකාරයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අනුමත තනතුරු නාම සහ තනතුරු සංඛ්‍යා මෙසේය. එනම් කොමසාරිස් ජනරාල්/ විශේෂ ශ්‍රේණිය (1), නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්/ විශේෂ ශ්‍රේණිය (07), ජ්‍යේෂ්ඨ  කොමසාරිස්/ විශේෂ ශ්‍රේණිය (22), කොමසාරිස්/ 1 ශ්‍රේණිය (90), ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්, නියෝජ්‍ය කොමසාරිස්, සහකාර කොමසාරිස් / 1 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය, 111 ශ්‍රේණිය (1107) වශයෙන්ය.

ඊට අනුව මෙකී තනතරු පත්කිරීම් වෙනුවෙන් වන පත්කිරීම් බලධාරියා වන්නේ ද රාජ්‍ය සේවා කොමිෂන් සභාවය. එහෙත් කල්‍යාණිය එකී විධිවිධාන අනුව නොයමින් කටයුතු කර ඇත. 2013 .01 .03 දින සිදු කර ඇති එකී පත්වීමට අනුව එන්. ඩබ්ලිව්. පී. ඒ. එස්. නානායක්කාර (4476) යන අය අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයේ වැඩබලන කාර්යභාර නියෝජ්‍ය කොමසාරිස් ලෙස පත්කර ඇති අතර එය දෙපාර්තමේන්තුවේ සේවා ව්‍යවස්ථාවේ සඳහන් නොවන තනතුරකි. ඉතා පැහැදිලිව සේවා ව්‍යවස්ථාව තුළ වැඩබලන කාර්යභාර නියෝජ්‍ය කොමසාරිස් යනුවෙන් ධුරයක් නැති අතර ඒ තුළ ඉතා පැහැදිලිව දේශීය ආදායම් දෙපාර්තමේන්තු පනතේ 208 වගන්තිය ද පැහැදිලිව කඩ කිරීමක් සිදුව ඇත. ඒ අදාළ නිලධාරියා වැඩබලන පදනමින් අනුයුක්ත කළත් ඔහු කොමසාරිස් තනතුරට අදාළ රාජකාරි ද සිදුකර ඇති බවට වාර්තා වන නිසාය. ඒ බව තහවුරු කෙරෙන සාක්ෂි කිහිපයක් අප වෙත ලැබී ඇති අතර එයින් එක් සිදුවීමක් මෙහි පළකර ද ඇත.

එන්. ඩබ්ලිව්. පී. ඒ. එස්. නානායක්කාර (4476) යන නියෝජ්‍ය කොමසාරිස්වරයා අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයේ වැඩබලන පදනමින් අනුයුක්ත කර ඇත්තේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයේ කොමසාරිස්වරයා රෝගාතුර වී ඇති පදනමින් වන අතර ඒ වෙනුවෙන් සති දෙකකට වරක් දඹුල්ල ප්‍රාදේශීය කාර්යාලයේ කොමසාරිස්වරයා අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයේ රාජකාරි කරනු ඇති බව ද අදාළ ලිපියේ සඳහන්ව ඇත.

මෙහි දී පැනනඟින තවත් ගැටලු‍වක් වන්නේ එන්. ඩබ්ලිව්. පී. ඒ. එස්. නානායක්කාර (4476) යන නියෝජ්‍ය කොමසාරිස්වරයා, කොමසාරිස්ගේ රාජකාරි කිරීම පමණක් නොව ඔහු කොළඹ ජාවත්ත ශාඛාවේ සේවය කරන අතරතුර ඉහත කටයුත්තට යොදා ගැනීමය. ඒ අනුව ඉතා පැහැදිලිව දේශීය ආදායමේ කල්‍යාණිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බලය ඉක්මවා කටයුතු කර ඇතුවා පමණක් නොව සේවා ව්‍යවස්ථාව සහ දේශීය ආදායම් පනත ද උල්ලංඝනය කර ඇත.

එහෙත් කල්‍යාණියට අදටත් කිසිම ගැටලුවක් නොමැත. පරීක්ෂණයක් හෝ අවවාද ලිපියක්වත් නිකුත් වන්නේ නැත. එනිසා ඇගේ දූෂිත වැඩවල නිමාවක් ද නොමැත. මේ අයුරින් නිමක් නොමැතිව දූෂිත වැඩවල යෙදෙන්න කල්‍යාණියට හයිය ලැබුණේ කෙසේද යන්න ගැන අප දන්නා නමුත් ඒ ගැන අප දැනට සඳහන් කර සිටින්නේ කොහොඹ ගසට කරවිල වැල බරක් නොවේ කියා පමණය.

මාරක ස්ථානමාරු

අනතුරුව අප ඔබේ අවධානයට ගෙන එන්නේ කල්‍යාණිය සිය දූෂිත ක්‍රියා වෙනුවෙන් සේවක ස්ථාන මාරුවීම් සඳහා බලපෑම් කරමින් සිටින ආකාරය ය. ඒ වෙනුවෙන් නිදර්ශන ඕනෑතරම් අප වෙත ලැබී ඇත. ඒවා පෞද්ගලික කාරණා ලෙස සලකා බැහැර කරන්නට හැකි වුවත් ඒ ද සිදු කළ නොහැකි වන්නේ මේ වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සියලු‍ වෘත්තීය සමිති මේ වන විට කල්‍යාණියගේ අසීමිත ස්ථානමාරුවලට එරෙහිව හඬ නඟන්නට ගෙන ඇති නිසාය.

2017 .01.04 වනදා ලිපියක් යොමු කරමින්  මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එස්. එච්. සමරතුංග වෙත ඒ බව දන්වා ඇති අතර එහි පිටපත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්, දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරුන්ට ද යොමු කර ඇත.

ඒ හරහා ඔවුන් දැනුම් දෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2017 වර්ෂයට අදාළ කොමසාරිස්, ජ්‍යේෂ්ඨ කොමසාරිස්, නියෝජ්‍ය කොමසාරිස් සහ සහකාර කොමසාරිස් යන තනතුරුවල වාර්ෂික ස්ථානමාරුවීම් සිදු කිරීමේ දී රාජ්‍ය සේවයේ පිළිගත් නීති රීති බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති බවය.

ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු තැන එම වෘත්තීය සමිති 2017-01-08 රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරන අතර එහි පිටපත් ජනාධිපති ලේකම් - පී. බී. අබේකෝන්, අග්‍රාමාත්‍ය ලේකම්- සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත යොමු කර ඇත.

එහි දී වෘත්තීය සමිති නියෝජිතයන් අදාළ ස්ථාන මාරුවීම් හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වයන් කරුණු 7ක් ලෙස පෙළගස්සවා ඇති අතර ඉන් 6ක් මෙසේය.

1. කොමසාරිස් පිට පළාත් මාරුවීම් සිදු කිරීමේ දී රාජ්‍ය සේවා කොමිෂන් සභාව අනුමත කරන ලද මාරුවීම් පටිපාටියේ විධිවිධාන බරපතළ ලෙස උල්ලංඝනය කිරීම (දෙපාර්තමේන්තු සටහන් 21/2016, 21 /2016 (1), 21 /2016 (11).

2. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් සිදු කරන ලද අත්තනෝමතික ස්ථාන මාරුවීම් හේතුවෙන් මේ වන විට ප්‍රාදේශීය කාර්යාල ගණනාවක පරිපාලන කටයුතු දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබීම.

3. කොමසාරිස්වරුන්ගේ පිට පළාත් මාරුවීම් පටිපාටියේ අනිවාර්ය පදනම මත මාරුවීම් විධිවිධාන එක් කොටසකට පමණක් ක්‍රියාත්මක කිරීම තුළින් එකම ශ්‍රේණියේ නිලධාරීන් වෙනස් කොට සැලකීමකට ලක් කර තිබීම.

4. ස්ථානමාරු මණ්ඩලවල නිර්දේශයන්ට අනුකූලව සිදු කරනු ලැබූ ලෙස සාවද්‍ය කරුණු ඇතුළත් කරමින් මාරු වීම් සිදු කර තිබීම.

5. නියෝජ්‍ය කොමසාරිස්, සහකාර කොමසාරිස් ශ්‍රේණියේ ස්ථානමාරුවීම් සිදු කිරීමේ දී අදාළ මාරු මණ්ඩලයේ තීරණයන්ට පටහැනිව මාරුවීම් සිදු කිරීම.

6. දේශීය ආදායම් සේවයේ 1 වන ශ්‍රේණියේ කොමසාරිස් තනතුරේ අනුමත සේවක සංඛ්‍යාව තුළ පුරප්පාඩු නොමැති අවස්ථාවක ප්‍රාදේශීය කාර්යාල 4 කට වැඩ බැලීමේ පත්වීම් සිදු කර තිබීම.

මෙහි 7 වන කාරණය අප කල්‍යාණිගේ දූෂිත වැඩ ගැන ලියූ මේ සටහනේ ආරම්භයේ දක්වා ඇති හෙයින් යළිත් ලියන්නේ නැත. කෙසේ වුවත් අපට ලැබී ඇති ආරංචි මාර්ගවලට අනුව මේ වෘත්තීය සමිති පැමිණිලි සම්බන්ධව තවමත් ක්‍රියාමාර්ගයක් ගැනීමට වගකිවයුතු අංශ කටයුතු කර නොමැත. එහෙත් සාක්ෂි රැසක් සහිතව අප දක්වා සිටින්නේ මේ චෝදනා සියල්ලට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරිය වගකිවයුතු බවය. එසේ නොවන බව පවසනවා නම් අප අභියෝග කර සිටින්නේ නෝනේ මේ චෝදනාවලට ඔබ වගකිවයුතු නැත්නම් වගකිවයුත්තේ කවුද ලෙසයයන්න හෙළි කරන ලෙසය.

සැබැවින්ම මෙවැනි කටයුතු රාජපක්ෂ රෙජීම සමයේ සිදු වූවා නම් ඒකාධිපති සහ දූෂිත රෙජීමයක් කියා කෙනෙකුට හිත හදා ගන්නට අවස්ථාව තිබිණ. එහෙත් මේ යහපාලනය ය. මේ දූෂිත ක්‍රියා සිදු වන්නේ පාසලක හෝ වෙනත් රාජ්‍ය කාර්යාලයක නම් ගැටලුවක් නැත. එහෙත් මේ දූෂිත ක්‍රියා සිදු වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ය. දේශීය ආදායම් පනත වඩාත් ශක්තිමත් කර ඇත්තේ ද එහි වැටුප් දීමනා අනෙක් රාජ්‍ය සේවකයන්ට සාපේක්ෂව ඉහළ තලයක තබා ඇත්තේ ද රාජ්‍ය බදු ආදායම එකතු කර දීමේ මහා භාරධූර කර්තව්‍යය සිදු කරන්නේ ඒ හරහා වන නිසා සහ බදු වංචා අවම මට්ටමක පවත්වා ගැනීම වෙනුවෙන්ය. ඉතින් එවැනි ආයතනයක් තුළ සේවක ආචාරධර්ම සහ නීතිය අකුරට ක්‍රියාත්මක වීම සිදු නොවුණහොත් සිදු විය හැකි දේ අමුතුවෙන් ලිවිය යුතු ද නැත. එසේම පත්වීම් සහ ස්ථානමාරු සඳහා විධිමත් ක්‍රමවේද සකසා ඇත්තේ ද මේ ආයතනය විධිමත්ව පවත්වා ගෙන යාමේ අභිලාෂය නිසාය. මේවා නැති වුවහොත් මේ තුළ සිදු වන්නේ බදු වංචා ඉහළ යාමය. දූෂණය ඉහවහා ගොස් රාජ්‍ය බදු ආදායම් අහිමිව යාමය. ඒ හේතුවෙන් කල්‍යාණිගේ මේ පත්වීම් සහ ස්ථාන මාරු ගැන බලධාරීන් මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුය. මන්ද කල්‍යාණි එතරම්ම හොඳ පැටිකිරියක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වීමට පෙරත් තබාගෙන ඇති නිසාය.

මළමිනී පවා තිගැස්සිය හැකි ඒ ගැන අප ඉදිරි කලාපයක හෙළි කරන අතර එවිටත් වගකිවයුතු පාර්ශ්ව මේ හමුවේ අන්ධභූත ලෙස කටයුතු කරයි නම්, ප්‍රිය පාඨකය අප කළ යුත්තේ කුමක්ද යන්න ඔබම යෝජනා කළ යුතුව ඇත.

- සංජය ලියනගේ

Latest Posts

කතාබහ

අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ-පොලිස්පති අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ-පොලිස්පති 2018-01-17 - ලංකාවේ කිසිදු ස්ථානයක තමන් දැනුවත්ව දුරකථන ටැප්...
අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි 2017-12-22 - ජාමියා නලීමියා උසස් අධ්‍යාපන ආයතනයේ හිටපු ජ්...
මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා 2017-12-20 - උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න&...

විශේෂාංග

අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය 2018-01-15 - ශ්‍රී ලංකාව තරම් ජීවත් වීමට සුදුසු  පරිසරයක් ...
උඩප්පුවෙන් නැගෙන පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය උඩප්පුවෙන් නැගෙන  පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය 2018-01-15 - පාඩුකාරයෝ ගල්පර රහිත නොගැඹුරු මුහුදත්, පළල් ...
සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ 2018-01-11 - ජනවාරි 9 දා ජනවාරි 08 පිළිබඳව ජනමාධ්‍ය වාර්තා කළ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

Face Book Setup 01