කල්‍යානිගේ කල්ක්‍රියාවෙන් බිලියන 2ක් අවදානමේ

විශේෂාංග
Typography

කුප්‍රකට අශ්ව රේස්සූදුවේ නිරත වන්නා තිරිසනාට පරදින අතර අමාරුවෙන් උපයාගත් සොච්චම පුදා එන්නේ බුකීයේ මුදලාලිටය. මේවා වත්මන් සමාජ ක්‍රමය තුළ තහනම් නැත. ඒ නිසා එයින් බුකී මුදලාලිලා කොපමණ ඉපයුවාද යන්න අප ද ප්‍රශ්න කරගන්නේ නැත. එහෙත් ඒ බුකී මුදලාලිලාගෙන් රජයට අය විය යුතු බදු මුදල් නිසිපරිදි අයකර ගැනීම සිදු වන්නේ නැතිනම් එතැන ගැටලුවක් ඇත. තත්ත්වය නරක අතට හැරෙන්නේ පනින රිලවුන්ට ඉණිමං තබන ලෙස බදු වංචා කරන බුකී හිමියන්ට පක්ෂපාතී වන ලෙස බදු නිලධාරීන් කටයුතු කරන විටය. ඊටත් වඩා තත්ත්වය බරපතළ වන්නේ ඒ බදු නිලධාරීන් සිය රාජකාරිය අකුරට ඉටු කරන විට එම නිලධාරීන්ගේ ප්‍රධානියා කොහේවත් නැති සත්ව කරුණාවකින් මේ කෝටිපති බදු වංචාකරුවන්ට සලකන්න ගත්විටය. ඒ හරහා තට්ටු වෙන්නේ රාජ්‍ය ආදායමටය. ඒ නිසා ඒ කවුද කොහොමද කියන දේ හෙළි කිරීම වගකිවයුතු මාධ්‍යයක යුතුකමය. ඉතින් මේ සූදානම ඒ යුතුකම ඉටු කරන්නය.

තවත් අටුවා ටීකා සපයන්නේ නැතිව කෙළින්ම මාතෘකාවට එනවා නම් ඒ මෙසේය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කල්‍යාණි දසනායක 2014-2015 තක්සේරු වර්ෂයේ  ඇස්තමේන්තු තක්සේරු නිකුත් කිරීම අත්හිටුවන ලෙස නියෝගයක් නිකුත් කර ඇත. 2017 ජනවාරි 16 වනදා  CGR /2017/3- 1දරන එම නියෝගය නිකුත් කර තිබෙන්නේ  දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයටය. එකී අත්හිටුවීමේ නියෝගයට අදාළ ආදායම් බදු ලිපිගොනුවේ අංකය වන්නේ 86/9002-03 ය. නැතහොත් කෝටිපති ව්‍යාපාරික ලක්ෂ්මන් බාලසූරියගේ නමට (Sporting Times Turf Accountants and Kandy Lake Club) ස්පෝර්ටින් ටයිම්ස් හී ආදායම් බදු එකතු කිරීම වෙනුවෙන් වන ලිපිගොනුවය.

කෙසේ වුවත් අප මේ ගැන විශේෂයෙන් හෙළි කිරීමට තීරණය කර සිටියේ එක් තක්සේරු වර්ෂයක් සඳහා  රුපියල් බිලියන 2 කට ආසන්න බදු මුදලක් රටට අහිමිව යන අවදානමක් මේ හමුවේ තිබීමය. 2016 -12-29 වනදා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලක්ෂ්මන් බාලසූරිය වෙත දන්වා ඇති ආකාරයට එම මුදල සඳහන් කරනවා නම් 2014/2015 තක්සේරු වර්ෂයට අදාළව ස්පෝර්ටින් ටයිම්ස් මෙරට රජයට රුපියල් 1,996, 861,210.00 ක මුදලක් ගෙවිය යුතු බවට තක්සේරු කර ඇත. එසේම මේ වන විට බදු ගෙවීම නියමිත පරිදි සිදු නොකිරීම හේතුවෙන් ගෙවීමට ඇති දඩ මුදල් ද ඇතුළුව 2014/15 වසරට අදාළව ගෙවීමට ඇති ඉතිරි ආදායම් බදු ප්‍රමාණය රුපියල් 2,993,291,815.00 ට ආසන්නය. එම තොරතුරු ඇතුළත් සමස්ත  ලිපිගොනුව මේ වන විට ඇස්තමේන්තු තක්සේරු නිකුත් කිරීම අත්හිටුවන ලෙස නියෝගයක් සහිතව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරිය විසින් කොළඹ ගෙන්වා ඇත. 

Kalyani2

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මහතැන ගැන අප මීට පෙර සිදුකර ඇති හෙළිදරව් කිරීම් මෙන්ම මෙම සිදුවීමට අදාළව කොමසාරිස් ජනරාල්වරියගේ සැකකටයුතු හැසිරීමත් හේතුවෙන් මේ ගැන රටේ ජනතාව දැනගත යුතු බව අපේ අදහසය.

නොදන්නා අයගේ දැනගැනීම පිණිස කියනවා නම්  ස්පෝර්ටින් ටයිම්ස් හී ව්‍යාපාර ස්වභාවය වන්නේ සජීවී රුපවාහිනී පහසුකම් සහිත ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යාමය. එම ව්‍යාපාරයේ බදු ගෙවන්නා ලෙස ඊ. ඩබ්ලිව්. බාලසූරිය මහතා නම් කර ඇතත් ඔහු 2010 අප්‍රේල් මස 06 වනදා මියගොස් ඇත. අනතුරුව එම ව්‍යාපාරයේ හිමිකාරීත්වය බාලසූරිය පවුලට හිමි වන අතර පෙර නම සඳහන් ලක්ෂ්මන් බාලසූරිය මහතා ස්පෝර්ටින් ටයිම්ස් ආයතනයේ බදු කටයුතු සම්බන්ධව මැදිහත් වී ඇති අතර ඊට අදාළ ලිඛිත සාක්ෂි අප සතුව ඇත.

කෙසේ හෝ වේවා ස්පෝර්ටින් ටයිම්ස් සම්බන්ධව විශේෂ විමර්ශනයක් සිදු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඔට්ටු සහ සූදු බදු අංශය ක්‍රියාත්මක වන්නේ එම ආයතනය දිගින් දිගටම බදු ගෙවීම් සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ ප්‍රශ්න ඇති කරගැනීම මූලික

කරගෙනය. එසේම බදු ගෙවීම්වලට අදාළ ලබාදෙන වත්කම් ප්‍රකාශ සැක සහිත වීම ඇතුළු කාරණා රැසක් ද  ඊට ඇතුළත්ය. අප විසින් මේ වන විට හෙළි කරගෙන ඇති ආකාරයට නම් 2013-12-07 වනදා මේ සම්බන්ධව විමර්ශනය කිරීමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිදුකර ඇති අතර එහි දී  ස්පෝර්ටින් ටයිම්ස් වෙත ඔට්ටු මධ්‍යස්ථාන 100ක් සහ තෑගි මුදල් අඩු කළ පසු දෛනික ආදායම රුපියල් ලක්ෂයක් බවට වාර්තා වී ඇත. ඒ අනුව එම තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මහනුවර ශාඛාවට යවා නියමිත ආදායම් බදු අයකර ගැනීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇති අතර ඒ 2013-12-17 වනදා ය. ඒ සඳහා මහනුවර ශාඛාවේ නිලධාරීන් මැදිහත් වීමේ දී ස්පෝර්ටින් ටයිම්ස් ආයතනය එම නිලධාරීන්ට පවසා ඇත්තේ බදු ගණනය කිරීමට අදාළ ව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන දත්ත නිවැරැදි නොවන බවය.

ඒ අනුව නැවතත් ස්පෝර්ටින් ටයිම්ස් හී ආදායම් විමර්ශනය කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර ඇති අතර එහි දී අනාවරණය වී ඇති ආකාරයටත් අප තොරතුරු මූලාශ්‍ර දක්වා ඇති ආකාරයටත් අනුව ස්පෝර්ටින් ටයිම්ස් සතුව ඔට්ටු මධ්‍යස්ථාන 175 කට අධික ප්‍රමාණයක් ඇති අතර පෝය දිනය හැර සෑම දිනකම එම ආයතන ක්‍රියාත්මකය. එසේම තෑගි මුදල් අඩු කළ පසුව මෙම එක් මධ්‍යස්ථානයක දෛනික ආදායම රුපියල් ලක්ෂ 2 ඉක්මවයි. අනතුරුව සේවක පඩිනඩි, මධ්‍යස්ථාන කුලී මුදල්, විදුලි බිල් ඇතුළු අනෙකුත් වියදම් ඇතුළත් කොට ස්පෝර්ටින් ටයිම්ස් හී ආදායම් ගණනය කර එහි වාර්තාවක් යළි සකස් කිරීමට දේශීය ආදායම් නිලධාරීන් කටයුතු කර ඇති අතර ඒ සියලු‍ විස්තර 2014-12-30 දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත ලබා දීමට ද එම නිලධාරීන් කටයුතු කර ඇත.

මෙම අනාවරණය කරගැනීමෙන් පසුව නියමිත බදු මුදල් අයකර ගැනීම වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුම්දෙන නමුත් තම ව්‍යාපාරය නිතර ලාභ නොලබන බවත් එසේම බදු මුදල් අයකර ගැනීම වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකිවයුතු නිලධාරීන් සිදුකර ඇති තක්සේරු නිවැරැදි නොවන බවත් දන්වමින්  ස්පෝර්ටින් ටයිම්ස් ආයතනය නියමිත බදු ගෙවීම් පැහැරහැර ඇත. මෙහි දී සිය රාජකාරිය අකුරට ඉටු කිරීම වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොපමණ කැපකිරීමක් කළාද කියනවා නම් ඔවුන් ඒ වෙනුවෙන් ස්පෝර්ටින් ටයිම්ස් පාර්ශ්වය කැඳවා සිදු කළ සම්මුඛ සාකච්ඡා ඊට සාක්ෂි දරයි.

අප විසින් හෙළි කරගෙන ඇති ආකාරයට 2014-11-20 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලයේ දී 2014-12-05 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලයේ දී 2014-12-10 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලයේ දී 2014-12-29 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලයේ දී 2015-07-06 කොළඹ ප්‍රධාන කාර්යාලයේ දී 2015-07-20 කොළඹ ප්‍රධාන කාර්යාලයේ දී 2015-09-23 කොළඹ ප්‍රධාන කාර්යාලයේ දී 2015-10-13 කොළඹ ප්‍රධාන කාර්යාලයේ දී 2015-10-21 කොළඹ ප්‍රධාන කාර්යාලයේ දී 2015-10-29 කොළඹ ප්‍රධාන කාර්යාලයේ දී 2015-11-04 කොළඹ ප්‍රධාන කාර්යාලයේ දී මේ වෙනුවෙන් සාකච්ඡා පැවැත්වී ඇති අතර ඒ සෑම අවස්ථාවක් වෙනුවෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මහනුවර ශාඛාවේ නිලධාරීන් සහභාගී වී ඇත. එහෙත් මේ සෑම අවස්ථාවකදීම ස්පෝර්ටින් ටයිම්ස් ආයතනය ඉතා වගකීම් විරහිතව විවිධ තර්ක මතුකර නියමිත බදු මුදල් ගෙවීම වළක්වා ගැනීමට උත්සාහ දරා තිබේ.

කෙසේ වුවත් 2015-10-29 වනදා පැවති සම්මුඛ සාකච්ඡාවේ දී ස්පෝර්ටින් ටයිම්ස් පාර්ශ්වයෙන් ආදායම් සහ වියදම් විස්තරයක් ලබා ගැනීමට දේශීය අදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් වී ඇත. එහෙත් ඒ ආදායම් විස්තරය ද පිළිගත් මට්ටමක නොමැති අතර ඒ ද ලබා දී තිබෙන්නේ 2013/2014 තක්සේරු වර්ෂයට අදාළව 2013 අප්‍රේල් මස සිට 2013 අගෝස්තු මාසය දක්වා වන ලේඛනයකි. ඊට අනුව අප්‍රේල් මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා තෑගි මුදල් අඩු කළ පසුව ස්පෝර්ටින් ටයිම්ස් තැන්පතුව රුපියල් 1,187,880,535.00 ක් ලෙස වන අතර තෑගි මුදල් හැර ස්පෝර්ටින් ටයිම්ස් හී වියදම රුපියල් 1,028,768,434.00 ක් ලෙස දක්වා ඇත. ඊට අනුව ස්පෝර්ටින් ටයිම්ස් ශුද්ධ ලාභය රුපියල් 159,112,101.00 කි.

සැබැවින්ම මේ තොරතුර නියමිත පරිදි අයකර ගත යුතු බදු මුදල ගණනය කිරීම සඳහා ප්‍රමාණවත් නොවුවත් අදාළ ආයතනය සම්බන්ධව විගණන පදනමක් ලබා ගැනීමට සහ බදු ගෙවන්නා බදු නීතිය පිළිගැනීමක් සිදු කරගෙන ඇති බවට වන පිළිගැනීම මත අදාළ තොරතුරු මත 2013/2014 සඳහා බදු මුදල් ගණනය කිරීමට නිලධාරීන් කටයුතු කර තිබේ.

ඒ අනුව තෑගි මුදල් අඩු කිරීමෙන් පසුව ස්පෝර්ටින් ටයිම්ස් හී මූල්‍ය තැන්පතුව රුපියල් 2,375,761,070.00 ක් ලෙස ගණනය වෙයි. එසේම ඊට අනුව තෑගි මුදල් හැර ආයතනයේ වියදම් රුපියල් 2,057,536,868.00 ක් ලෙසත් ආයතනයේ ශුද්ධ ලාභය රුපියල් 318,224,202.00 ක් ලෙසත් ගණනය වී ඇත.

එහෙත් ස්පෝර්ටින් ටයිම්ස් ආයතනය එහි දී දැනුම් දී ඇත්තේ අදාළ ලේඛනයේ ඇති වියදම් ඊට වඩා වැඩි අගයක් වන නිසා ආයතනයේ ලාභය රුපියල් 250,000,000.00 ක් වන ලෙස සලකා බදු ගණනය සඳහා යොදා ගන්නට කටයුතු කරන ලෙසය. එසේම ඒ මත 2013/2014 තක්සේරු වර්ෂයට අදාළව රුපියල් 100,000,000.00 ක මුදලක් බදු වශයෙන් ගෙවීමට ද ඔවුන් එකඟතාව පළ කර ඇත.

එහෙත් එහි දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඔට්ටු සහ සූදු බදු අංශයේ ජ්‍යෙෂ්ඨ කොමසාරිස් වරයා ස්පෝර්ටින් ටයිම්ස් හී එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර එහි දී ඔහු පෙන්වා දී ඇත්තේ ආදායම් බදු ගණනය සඳහා ලාභය ගණනය කිරීමේ දී දේශීය ආදායම් පනතේ ඉඩ දෙන වියදම්වලට හැර වෙනත් වියදම් සලකා කටයුතු කරන්නට තමන්ට හැකියාවක් නැති බවය. එසේම සවිස්තරාත්මක ආදායම් වියදම් විස්තරයක් හෝ ලාභ අලාභ ගිණුමක් ඉදිරිපත් නොකර ස්පෝර්ටින් ටයිම්ස් ඉදිරිපත් කරන තර්ක අර්ථ විරහිත බව ද එහි දී ඔහු පෙන්වා දී ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තු පාර්ශ්වයේ එකී විරෝධය හේතුවෙන් 2015-11-04 දින නැවත දෙපාර්ශ්වය අතර සම්මුඛ සාකච්ඡාවක් සිදුව ඇති අතර එහි දී ස්පෝර්ටින් ටයිම්ස් වෙනුවෙන් ඊට සහභාගී වී ඇති ලක්ෂ්මන් බාලසූරිය තවත් මාරාන්තික විහිළුසහගත යෝජනාවක් සමඟ එම සාකච්ඡාවට එකතු වී ඇත. ඒ මාරාන්තික විහිළු සහගත යෝජනාව වන්නේ  2013/2014 සහ 2014/2015 යන තක්සේරු වර්ෂ දෙක වෙනුවෙන් රුපියල් 120,000,000.00 ක මුදලක් ගෙවීමට තමන් සූදානම් බව දැනුම්දීමය. මෙහි දී මේ යෝජනාව මාරාන්තික විහිළුවක් බව ඔබට නොවැටහුණා නම් සිදු කළ යුතුව ඇත්තේ 2015-10-29 වන දා පැවති සම්මුඛ සාකච්ඡාවේ දී ස්පෝර්ටින් ටයිම්ස් ඉදිරිපත් කළ ලාභයට හෝ එහි දී ගෙවීමට එකඟ වූ බදු මුදලට වඩා අඩු අගයක්  2015-11-04 දින යෝජනා කර ඇති බව පරිස්සමෙන් කියවා ගැනීමය.

කෙසේ වුවත් මෙහි දී ද ස්පෝර්ටින් ටයිම්ස් පාර්ශ්වයේ මේ මාරාන්තික යෝජනාව දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර ඇත. ඉන් අනතුරුව  ස්පෝර්ටින් ටයිම්ස් ලැබූ ලාභය රුපියල් 375, 000,000.00 ක් ලෙස සලකා 2013/2014 වර්ෂයට අදාළව රුපියල් 150,000,000 ක ආදායම් බද්ද බදු වශයෙන් ගෙවීමට ඉඩ දීමට දෙපාර්තමේන්තුව එකඟතාව පළකර ඇත.

කෙසේ වුවත් දෙපාර්තමේන්තුවේ පාර්ශ්වයෙන්  මේ පළකර ඇති එකඟතාව බාලසූරිය නම් බදු වංචාකරුගෙන් අයකර ගත යුතු නියම මුදල නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් එහි දී අදාළ බදු එකඟතාව ඇතිකර ගැනීම වෙනුවෙන් කැපවූ නිලධාරීන් කිහිපදෙනා මෙතරම් හෝ මුදලක් බදු වශයෙන් ගෙවීමට ස්පෝර්ටින් ටයිම්ස් පාර්ශ්වය එකඟ කරවා ගැනීම අප කිසිදු ලෙසකින් අවතක්සේරු කරන්නේ නැත. ඊට සාක්ෂි ලෙස ස්පෝර්ටින් ටයිම්ස් පාර්ශ්වය පෙර වසරවල ගෙවා ඇති බදු මුදල් සමඟ මේ ගණන සංසන්දනය කිරීම ප්‍රමාණවත්ය. (වගුව බලන්න)

ඒ අනුව මෙතන ඇති ගැටලු‍ව එය නොවේය. මෙතන ඇති ගැටලු‍ව වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමහරක් සිය ධුරයන්ට අදාළ බලතල සමඟ මෙවැනි බදු හොරුන්ගේ විමර්ශන වෙත මැදිහත් වූවා නම් මීට වඩා වැඩි ආදායම් බදු ප්‍රමාණයක් අයකර ගැනීමට අවස්ථාව තිබීමය.

අප මේ සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමේ දී හෙළි කරගත් ආකාරයට  ස්පෝර්ටින් ටයිම්ස් හී ආදායම් බදු ගණනය කළ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ  සහකාර කොමසාරිස්වරයා සහ මහනුවර ප්‍රාදේශීය කොමසාරිස්  හමුවේ ගෙවීමට එකඟ වන බදු මුදල වී ඇත්තේ රුපියල් 25,000,000.00 පමණය. නමුත් ඔට්ටු සහ සූදු බදු අංශයේ ජ්‍යේෂ්ඨ කොමසාරිස්වරයා සිය රාජකාරීමය බලතල සහිතව මෙම කටයුත්තට මැදිහත් වීම තුළ එම මුදල රුපියල් 150,000,000.00 දක්වා වැඩිකර ගැනීමට හැකිව ඇත.

ඒ බව අදාළ විමර්ශනයට එක් වූ කොමසාරිස්වරු ලිඛිතව දන්වා ඇතුවා පමණක් නොව කෝටි ගණනක බදු ගෙවීම් පැහැර හරිමින් නීතිය සමඟත් සූදු කෙළින ස්පෝර්ටින් ටයිම්ස් සම්බන්ධව වෙනත් නිලධාරීන් යොදා විමර්ශනයක් සිදු කළහොත් මීටත් වඩා බදු මුදලක් අයකර ගැනීමට අවස්ථාව ඇති බවය.

නිලධාරීන් එතරම් වෙහෙසීමකින් මේ බව සැලකර සිටියත් මේ වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යාණි දසනායක තීරණය කර ඇත්තේ මේ කෝටි ගණනක බදු වංචාව සම්බන්ධව නැවත විගණනයක් අවශ්‍ය නැති බවය. සැබවින්ම එවැනි තීරණයක් ගැනීම සහ අදාළ ලිපිගොනුවල කටයුතු වළක්වන නියෝග මේ නෝනා නිකුත් කර ඇත්තේ කුමන පදනමකින්ද යන ප්‍රශ්නය මෙහි දී තීරණාත්මකව යොමු කළ යුතු බව අපේ හැඟීමය.

මොන උසාවියේ කොහොම පෙනී සිටින්නට සිදු වුවත් ඒ අවදානම නොතකා අප දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මහතැන වෙත ඇඟිල්ල දිගු කරන්නේ පහත දක්වන කාරණා දේශීය ආදායමේ ලොකු නෝනා නොදන්නවා ඇති බව අප විශ්වාස නොකරන නිසාය.

එහි පළමු කරුණ වන්නේ  ස්පෝර්ටින් ටයිම්ස් ආයතනය දිගින් දිගටම සිය ආදායම් සහ වියදම් සම්බන්ධව සවිස්තරාත්මක තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිකුත් නොකිරීමය. දෙවැන්න වන්නේ තම ව්‍යාපාරය පාඩු ලබන බව සහ ආදායම් නොමැති හේතුවෙන් බදු ගෙවීමට දුෂ්කර බව පවසන ස්පෝර්ටින් ටයිම්ස් පාර්ශ්වය දිගින් දිගටම සෙංකඩගල ෆිනෑන්ස් පී.එල්.සී. හි වැඩිම කොටස් ප්‍රමාණයක් ආයෝජනය කර තිබීමය. එසේම තම පිරිවැටුමට වඩා වැඩි කොටස් ප්‍රමාණයක් බාලසූරිය පවුල ආයෝජනය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් හෙළි කරගෙන තිබිය දී එම ලාභය ස්පෝර්ටින් ටයිම්ස් වෙතින් ඉපයූ සඟවන ලද ලාභය බවට සැකයක්වත් පහළ නොවන්නේ කෙසේද?

ඔබ මේ වෙනුවෙන් මැදිහත් වී ඇත්තේ සද්භාවයෙන් නම් මේ වන විට බාලසූරියලාගේ මුදල් හමුවේ වැනුණේ නැති නිලධාරීන්ට එරෙහිව අභ්‍යන්තර පරීක්ෂණ සිදු කරන බවට තර්ජනාංගුලි එවන්නේ මන්ද? එසේම මේ වන විට අදාළ ලිපිගොනුව යොමුකර ඇති නිලධාරියා අදාළ විමර්ශනය සම්බන්ධව ඔබේ නියෝග ලිඛිතව ලබා දෙන ලෙස ඉල්ලා ඇත්තේ ඇයි? එසේම ඕනෑම බදු හොරෙක් හෙට අධිකරණයට හෝ රාජ්‍ය සේවා කොමිසමට පැමිණිලි කළොත්! යන තර්ජනය හේතුවෙන් ඔවුන් කියන ගානට පමණක් බදු එකතු කිරීමට ඔබ කටයුතු කරනවාද? ඒ වෙනුවෙන් එක කඩුවක් ගොඩින් බේරනවාද?

මේ අයුරින් දේශීය ආදායමේ ලොකු නෝනා ගේ කෙරුවාව මේ සිදුවීමට අදාළව පමණක් වුවත් විමසන්නට කාරණා ඕනෑතරම් අප සතුව ඇත. එහෙත්  ප්‍රිය පාඨකය, අප ඒ තහවුරු කිරීමට දුෂ්කර සහ මේ මඩ කියා බැහැර කිරීමට ඉඩ ඇති තොරතුරු මෙහි පළ කරන්නේ නැත. එහෙත් දේශීය ආදායමේ මහතැන දිගටම යන්න හදන්නේ මේ පාරේ නම් මීට වඩා දේවල් අප වෙතින් හෙළිදරව් වනු ඇත. එතෙක් නෝනේ... අපිව එතැනට පත් කරන්න එපා යන කාරුණික ඉල්ලීමෙන් මේ ලිපියට තිත තැබෙනවාය.

සංජය ලියනගේ

Latest Posts

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? 2017-10-09 - 1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්...
දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...

කතුවැකිය

බීරවාදය බීරවාදය 2017-11-20 - 2017-11-19 සමහරු ව්‍යවස්ථාව එපා කියන ආකාරයෙන්ම බීර මිල...
පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක් පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක් 2017-11-15 - 2017-11-12 අයවැයේ ප‍්‍රධාන අරමුණක් ලෙස 2025 වන විට ලංකාව...
සයිටම්:සටන අත්හලේ යෝධයාය සයිටම්:සටන අත්හලේ යෝධයාය 2017-11-07 - 2017-11-05 සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය දුන් පිළිතුර...

Face Book Setup 01