වෙසක් සඳ යට කුණු කන්ද

විශේෂාංග
Typography

මචං... මෝඩි ඇවිත් එළියෙ වෙසක් සමරනවා නේද?’

තාම නෑ බං. හෙට එන්නෙ. (වෙසක් දවසට පසු දින)

කවුරු ආවත්-මොනවා කළත් අපිට වැඩක් නෑ. ඒවා එළියෙ සිද්ධ වෙන දේවල්.

එළියෙ...?’

ඔව් මචං. අපි ඇතුළෙ, උඹලා එළියෙ.

මොකක්ද ඒ බෙදන විදිය. මොන දේ වුණත් අපි උඹලා එක්ක ඉන්නවා.

නෑ බං, උඹලට අපිත් එක්ක ඉන්න බෑ. මේ යුනිෆෝම් සීයක් විතර අපිව වටකරගෙන ඉන්නවා. උඹලයි, අපියි බෙදන්නෙ එතැනින්.

වෙසක් දවසේ අපි හිටියේ මීතොටමුල්ලේ ය. අලුත් අවුරුදු දවසේ සමූහ ඝාතනයක් සිද්ධ වූ ඒ කුණු කන්ද යට ය. ඔහු කියන කතාව පිළිනොගන්නා බවක් පෙන්වුවද, ඇත්ත ඒක ය. මීතොටමුල්ලේ කුණු කන්ද නාය ගිය බවත්, පනහකට වැඩිය මැරිලා කියලත් අලුත් අවුරුදු දවසේ දහවලේ ප්‍රවෘත්ති වලින් රටට කිව්වේය. ඒත් මීතොටමුල්ලට සහ ඒ අවට ට හැරෙන්නට අනෙක් අයට එහි විශේෂත්වයක් තිබුණේ නැත.

ඒත් ඉන්පසු මරණ ගාණ ගැන කියන විට, මළ මිනී පෙන්වන විට, එක ම පවුලේ සියල්ලන් මියගිය ඇඬෙන කතා මාධ්‍යවල දිගහැරෙන විට එළියෙන් මෙහෙම කිව්වේය.

මේ පාර අපි දන්සැල් කරන්නෙ නෑ. දන්සැල් වලට වියදම් කරන සල්ලි මීතොටමුල්ලෙ මිනිස්සුන්ට දෙනවා.

තොරණ නවත්තන්න විදියක් නෑ. ඒත් අමතර කිසිම වියදමක් කරන්නෙ නෑ. තොරණෙන් එකතු වෙන සල්ලිත් පුළුවන් තරම් මීතොටමුල්ලට දෙනවා.

ඒත් එහෙම සිද්ධ වූයේ නැත. මළ මිනී පාර දිගේ එක පෙළට තබා තිබෙනු දුටු මිනිසුන් කී දේ මළ මිනී වැළලූ පසු අමතක කර දමා තිබිණි. ආණ්ඩුව හමුදාව ලවා මීතොටමුල්ල ලස්සන කිරීමේ මෙහෙයුම කරමින් සිටී. දැන් ඔවුන් සෑහෙන තරම් සාර්ථක ය. තවත් අවදානම් නිවාස රැසකට බෝඞ් ගසා තිබේ. උපන් දා සිට ඒවායේ ජීවත් වූ මිනිසුන් ද මළ මිනිස්සු ගාණට වැටෙමින් සිටිති.

අප සමඟ කතා කළේ එවන් අයෙකි. එවන් තරුණයෙකි.

මීතොටමුල්ලේ කුණු කන්ද නායගිය කතාවේ පශ්චාත් කතාව දිගහැරෙන්නේ මෙහෙම ය. කුණු කන්ද නායගිය වෙලාවේ එකාවන්ව සිටි මිනිසුන් එළිය සහ ඇතුළ ලෙස දෙකට බෙදන්නේ ඒ පශ්චාත් තත්ත්වය විසින් ය. ආණ්ඩුවේ පශ්චාත් කළමනාකරණය සිද්ධවන්නේ මේ විදියට ය.

මීතොටමුල්ල කුණු කන්ද සහ ඒ අවට පොලිස් නිලධාරීහු සීයකට ආසන්න පිරිසක් විසිරී සිටිති. මීතොටමුල්ල රාහුල විද්‍යාලයේ යුද හමුදාව නවාතැන් ගෙන සිටී. යුද හමුදා පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද ඉඳහිට දකින්නට හැකිය. බොන්නට පිරිසිදු වතුර ඉල්ලූ ජනතාවට උණ්ඩ වලින් උත්තර දීමෙන් පසු රතුපස්වල ප්‍රදේශය ද තිබුණේ මෙහෙම ය. ගමේ අය හැරුණත් පොලීසියෙන් ඒ දිහා බැලුවේය. ගමට අමුත්තකු ඇතුළු වුවහොත් පොලීසිය ඔහු පස්සේ ආවේය.

ඔයගොල්ලො කොහෙන්ද?’

අපි සත්හඬ පත්තරෙන්.

කතා කළාට කමක් නෑ. පොටෝ ගන්න එපා.

ඇයි?’

පොටෝ ගන්න එක තහනම් කරලා තියෙන්නෙ.

කවුද?’

අපේ ප්‍රශ්නයට උත්තර දෙන්නට එහි සිටි පොලිස් නිලධාරීන්ට හැකියාවක් තිබුණේ නැත. එනම්, එය නොනිල අණකි. කොස්ගම, සාලාව ප්‍රදේශයේ පිහිටි යුද හමුදා අවි ගබඩාවක් පුපුරායාමෙන් පසුව ද, ඒ ප්‍රදේශයේ තත්ත්වය මෙයාකාර විය. කොස්ගම ගිය මටත්, මගේ මිතුරකුටත් එහි තිබූ හමුදා මුරපොළින් කැඳවීමක් ලැබිණි.

ඔයාලා මීඩියා ද?’

ඔව්.

කෝ අයිඩින්ටි?’

අපි මාධ්‍ය හැඳුනුම්පත් දුන්නෙමු.

හරි. කතා කළාට කමක් නෑ. කෑම්ප් එක පැත්ත මොකුත් පොටෝ ගන්න එපා.

අපිට කෑම්ප් එක ඇතුළට යන්න අවශ්‍ය නෑ.

ඈත ඉඳලා වත් කෑම්ප් එක පැත්ත පොටෝ ගන්න තහනම්. එහෙම ඕනෙ නම් ආරක්ෂක අමාත්‍යංශයෙන් අවසරයක් ගන්න ඕනෙ.

ඒ කියන්නේ මීතොටමුල්ලේ පශ්චාත් තත්ත්වයේ කිසි වෙනසක් නැත. ආණ්ඩුව විසින් කරන ලද සමූහ ඝාතනයක සියලු තතු වසා දමන්නට පරණ, පුරුදු සැලසුම් කරළියට ගෙනැවිත් තිබේ. ආණ්ඩුව විසින් කී විට ඇතැම් පාර්ශ්ව කලබල වේ.

අපි නෙමෙයි, මේකට වගකියන්න ඕනෙ ගිය ආණ්ඩුව.

එහෙම කියන්නට නොහැක. ගිය ආණ්ඩුව කළ මහත්තුරුනුත්, මේ ආණ්ඩුව කරන මහත්තුරුනුත් මේ වැඬේට සමාන ව වගකිව යුතුය. ගිය ආණ්ඩුව කළ වැරදි නිවැරදි කරන්නට ය, මේ ආණ්ඩුව පත්කර ගත්තේ. ඒත් මේ ආණ්ඩුවත් මුළු කොළඹ දිස්ත්‍රික්කයේ ම කුණු මීතොටමුල්ලට දැමිය හැකිය යන ස්ථාවරයේ සිට ය, කුණු කන්ද නායයන තුරු කටයුතු කළේ.

මෙච්චර කාලයක් කළෙත් ඒක. දැන් කරන්නෙත් ඒක.

පොටෝ ගන්නට එපා කී පොලිස් නිලධාරියාට මීතොටමුල්ලේ ගම්වාසියෙක් අභියෝග කළේය.

ඒ කියන්නෙ මොකක්ද?’

හංගන එක. හංගගෙන මේ විනාශය වෙන්ඩ ඉඩ දීපු එක.

අපිට ඕවා කියන්න එන්න එපා. අපි කරන්නෙ ඩියුටි එක.

පොලිස් නිලධාරියා වාදයට එයි.

අප ගැලවිය යුත්තේ ද එතැනින් ය. ඔවුන්ට අවශ්‍ය ව ඇත්තේ මේ ගම්වාසීන් මොනවා හෝ දෙයකට වැරදිකරුවන් කරන්නට ය. එවිට රාජකාරියට බාධා කළා කියා ඔවුන්ට එරෙහිව නඩු දානු ඇත. ඉන්පසු ආණ්ඩුවේ මාධ්‍ය මගින් කතාවක් හදනු ඇත.

විපක්ෂයේ හෝ රාජ්‍ය නොවන සංවිධාන හෝ වෙනත් බලවේගයක වුවමනාවට පොලීසියට බාධා කළා.

රතුපස්වල සිදු වූයේ ද මේ විදියට ය. හමුදාව ලවා නිරායුධ මිනිසුන්ට වෙඩි තබා මරා දමා, ඉන්පසුව කීවේ කුමක්ද?

දේශපාලන බලවේගයක් විසින් ජනතාව උසිගැන්වූ නිසා ආරක්ෂාව පතා අහසට වෙඩි තියන්නට සිදු වූ බවකි. මේ පරණ උපක්‍රමය ම අලුත් වටයකින් මීතොටමුල්ලේ දී දිගහරින්නට අවශ්‍ය පසුබිම සකස් කරමින් තිබේ. ඒ නිසා ජනතාව මේ උගුලේ නොවැටිය යුතුය.

ආයෙමත් වෙසක්...

අවුරුද්දටත් වැඩිය මේ දවසට තමයි අපි ඔක්කොම එකතු වෙන්නෙ. ගමේ කොල්ලො ටික මේ වටේට ම බල්බ් දානවා. අනිවාර්යෙන් දන්සැලක් දෙනවා. බණක් කියනවා.

වතුරෙන් යට වුණු, අවදානම් නිවාස ලෙස සඳහන් බෝඞ් ගසා ඇති තම දහඩිය-මහන්සිය දෙස බලාගෙන ඔවුහු සුසුම් හෙළති.

කොහෙද දැන් ඉන්නෙ?’

කොලොන්නාවෙ, සාලමුල්ලෙ ෆ්ලැට් වල.

ඔවුන්ට තවත් කතා කරන්නට අවශ්‍ය ය.

අද උදේ ඉඳලා කුකුල් කූඩුව වගේ ඒ ගේ ඇතුළට වෙලා හිටියා. හවස් වෙනකොට ඉන්න බෑ. වටේ අය එක්ක සම්බන්ධකම් පවත්වන්න බෑ. වැඩිපුර කතා කළොත් මොනවාහරි ඉල්ලන්න එයි කියලා බයක් ඇති. ඒගොල්ලො අපි ව අතේ දුරින් තියාගෙන ඉන්නෙ.

මේ, ඒ සමූහ ඝාතනයේ අතුරු ඵල ය. ඔවුන්ගේ දාඩිය-මහන්සිය කුණු කන්දේ විපත්තියට යට කොට දැමූ ආණ්ඩුව දැන් ඉවත බලාගෙන සිටී. විඳවිය යුත්තේ මේ මිනිසුන් තනිවම ය. කුණු කන්දේ විපත්තියෙන් පසු දේශපාලනඥයෝ ටොන් ගණන් පොරොන්දු දුන්නහ. ඒත් ඒවායින් ග්‍රෑම් ගණනක් වත් මෙතෙක් ඉටු වී නැත. ඒ වෙනුවට මේ ඝාතනයට එරෙහිව සටන් කරන පිරිස් බා ගැනීමේ කුජීත මෙහෙයුමක් ක්‍රියාත්මක ය.

ඔයාට ගෙයක් දෙන්නම්, කොහෙන්ද ඕනෙ කියලා විතරක් කියන්න. ගෙට ලී බඩුත් අරන් දෙන්නම්. මේක අත්හැරලා හොඳ ගේකට ගිහින් පාඩුවෙ ජීවත් වෙන්න.

ඒ ඩීල් එක සිද්ධ වෙන ආකාරය ය. කුණු කන්දේ සටන ආරම්භ වූ 2012 අවුරුද්දේ සිට ම මේ බා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක විය. දැනට රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටින, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයන් පෞද්ගලිකව මුණ ගැසී කියා තිබුණේ ද මේ ටික ම ය. ඒ කියන්නේ ජනතා ප්‍රශ්නවලට මේ ආණ්ඩු සියල්ල විසඳුම් හොයන්නේ එක ම ට්‍රැක් එකක සිට ය. එනම්, හොඳින් හෝ නරකින් ඇත්ත යටගහන ට්‍රැක් එක ය.

ආයෙමත් වෙසක් දවසේ හැන්දෑවට...

නිකම් මේ පැත්තෙ කැරකෙන්න ආවෙ. ආවට පස්සෙත් ඔළුවෙ කැක්කුමයි. පොඩි කාලෙ ඉඳලා අපි මේකෙ කොච්චර දේවල් කළාද. බලෙන් කුණු කන්දක් ගොඩගහලා ඒ ඔක්කොම අපිට නැති කළා. කොටසකගෙ ජීවිත නැති කළා. තව කොටසක් හිරකාරයො කරලා.

ඔවුන්ගේ ඇතුළේ කැකෑරෙන පීඩනයේ තරම ඔබට වැටහිය යුතුය. අනුන්ගේ යුද්ධයකට මැදිව අවුරුදු තිහක්, ඉන්පසුවත් හිරගත කර සිටි කිලිනොච්චියේ දෙමළ මිනිසුන් වගේ ම මොවුනුත් එක්තරා ආකාරයක හිරකරුවෝ ය. උකුසු ඇස් නිරන්තර ව ඔවුන් දෙස බලා සිටී.

නැවතත් මීතොටමුල්ලේ අද දවසට...

තවමත් එහි ගෙවල් පුපුරයි. කුණු කන්දේ කොටසක් නැවතත් නායයන්නට ඉඩ ඇති බව ප්‍රදේශයේ ජීවත්වන්නන්ගේ අදහසයි. එහෙත් හමුදාව කියන්නේ එහෙම කිසිදු අවදානමක් නැති බව ය. ප්‍රදේශයේ ජීවත්වන්නන් කියන වචනය යෙදුවේ මේ පොළොවේ වැඩ සිද්ධ වෙන හැටි ගැන හරියටම දන්නේ ඔවුන් කියන කාරණය පැහැදිලි කරන්නට ය. අලුත් අවුරුදු දවසේ කුණු කන්ද නායගියායින් පසු මීතොටමුල්ලට ආ හමුදාව එය කියන්නේ කෙසේද?

අනෙක් අතට අලුතින් අවදානම් කලාප ලෙස බෝඞ් ගසා ඇති ප්‍රදේශයේ ඇතැම් නිවාස අනවසර ඉදිකිරීම් ලෙස ආණ්ඩුවේ බලධාරීහු හඳුන්වති. ඒත් මේවාට උදාගම් ඔප්පු තිබේ. හමුදාව කුණු කන්ද තරමක් පාත් කිරීමේ උත්සාහයක යෙදී සිටින බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි.

බන්ට් දෙකක් දාලා ටික ටික කුණු කන්ද පාත්වෙන්න ඉඩඇරලා තියෙනවා. මේක අවදානම් කියලා ගහපු ගෙවල් තියෙන හරියත් කුණු කන්දට ගන්න ගහන ප්ලෑන් එකක්ද කියලා අපිට සැකයි.

ඔවුන්ගේ නහය ළඟට ම වතුර පිරී තිබේ. මේ හුස්ම ටිකත් හිරකරන්නට ගහන ගැටයක් ද? ඔවුන්ට කිසිවක් විශ්වාස නැත.

මේ වන විට අදාළ ප්‍රදේශයේ ඇතැම් තැන් වතුරින් යට වී තිබේ. සැලකිය යුතු තරමේ වැස්සක් නොමැතිව එසේ යට වන්නේ කොලොන්නාවේ කාණු සියල්ල මේ හරහා ගලන නිසා ය.

අපි ඊයෙ (වෙසක් දවසට පෙර දින) ආපදා එකට කතා කරලා කිව්වා, මේ ඩයස්වත්ත හරිය වතුරෙන් යටවෙන එක ගැන බලන්න කියලා. ඒත් අපිට කියන්න දුකයි, ඒගොල්ලො කිව්වෙ ලබන සඳුදාට තමයි ඕක ගැන හරියට බලන්න වෙන්නෙ. මේ දවස් ටිකේ කට්ටිය නිවාඩු කියලා.

මේ කුණු කානු වලින් ඇවිත් මීතොටමුල්ලේ පිරෙන වතුර කුණු කන්දේ විපත්තියෙන් ජීවිත බේරුණු මිනිසුන් ද ලෙඩුන් කරන එක ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැත. හැදුනාට පසු වසංගත ගැන කතා කළාට වැඩක් තිබේ ද?

මේ කුණු කන්ද නායගියපු එකෙන් මැරුණු ගාණ ගණන් කරන එක විතරක් වැරදියි. 2012 ඉඳලා සීයකට වඩා මේ මරණ ගාණ වැඩියි. ඩෙංගු හැදිලා, මොළේට විෂබීජ ගිහිල්ලා ළමයි කොච්චරක් මැරුණද?’

ඔවුන් අහන ඒ ප්‍රශ්නයට කිසිවකු ළඟ පිළිතුරක් නැත. ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා නිලධාරීන් ඒවා හරියට රිපෝට් කළේ නැද්ද? කුණු කන්දක් ළඟ මේ විදියට මිනිසුන් මැරෙන එක ආණ්ඩු අවතක්සේරු කළේ කෙසේද?

කුණු කන්ද නායයාමෙන් විපතට පත් ජනතාවට වන්දි දීම පවා මෙතෙක් සිදු වී නැත. මේ වන්දි කතාව ලිපියේ අවසානයට එක වාක්‍යයකින් පමණක් දැක්වූයේ මේ විපත්තිය, මේ සමූහ ඝාතනය එවැනි සොච්චම් වන්දියකින් වසාදැමීමේ උත්සාහය අනුමත කළ නොහැකි නිසා ය.

ජාත්‍යන්තර වෙසක් උත්සවයට එළියේ සැරසිලි කරද්දී, කුණු කන්දට මීටර් පන්සීයක් දුරින් තොරණක බල්බ් පත්තුවෙද්දී මීතොටමුල්ල කුණු කන්ද උඩ ගැසූ සුදු කොඩිය විතරක් කුණු කන්ද යට වැළලුනු ජීවිත වලට සුබ වෙසක් මංගල්‍යයක් පතන්නට ඇත.

ඇත්තටම එළියයි, ඇතුළයි කොච්චර දුරස් ද?

ශාලික විමලසේන

ඡායා: අජිත් සෙනෙවිරත්න

Latest Posts

කතාබහ

ලොක්කො බලය ඇති කාලෙත් යාළුවො නැති කාලෙත් යාළුවො ලොක්කො බලය ඇති කාලෙත් යාළුවො නැති කාලෙත් යාළුවො 2017-06-26 - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් - කෘෂිකර්ම අමා...
විප්ලවේට මාර්ග සිතියමක් මට නැහැ - සිරිතුංග ජයසූරිය විප්ලවේට මාර්ග සිතියමක් මට නැහැ -  සිරිතුංග ජයසූරිය 2017-06-12 - එක්සත් සමාජවාදී පක්ෂයේ නායක  ■ මේ  මොහොතේ ...

විශේෂාංග

රටක් වට කළ රෙදි පටක්! හොටක් දිගු කළ ‘අධිකරණයක්’ ! රටක් වට කළ රෙදි පටක්! හොටක් දිගු කළ ‘අධිකරණයක්’ ! 2017-06-26 - මේකට සංවිධානයක් කියා නමක් තිබ්බේ විහිළුවට වගේ...
රටට හිඟන්නාගේ ජීවිතේ ගතකළ නොහැක රටට හිඟන්නාගේ ජීවිතේ ගතකළ නොහැක 2017-06-19 - කැබිනට් සංශෝධන යටතේ තනතුරු වෙනස් වූ ඇමැතිවරුන්ට...
තේ කෝප්පයට සීනි කිලෝ එකක් ! තේ කෝප්පයට සීනි කිලෝ එකක් ! 2017-06-12 - ලෝක වෙළඳ පොළේ සීනි මිල සීඝ්‍රයෙන්  අඩු වී ඇති...

කතුවැකිය

ඥානසාර හිමියනි, වඩා වැදගත් වෛරයද ? මෛත්‍රියද? - කතුවැකිය 2017 ජුනි 25 ඥානසාර හිමියනි, වඩා වැදගත් වෛරයද ? මෛත්‍රියද? - කතුවැකිය 2017 ජුනි 25 2017-06-26 - පොලිස් කණ්ඩායම් හතරක් විසින් සති දෙක තුනක් ත...
ඩෙංගු මැඬීමට සාමාජීය අරමුණකට බද්ධ වෙමු ඩෙංගු මැඬීමට සාමාජීය අරමුණකට බද්ධ වෙමු 2017-06-19 - ඩෙංගු පසු සංකූලතා තත්ත්වය උත්සන්න වී ඉකුත් සතියේ...
කඳු නාය ගියේ සාමාන්‍ය ජනයාගේ වරදකින් නොවේ: කතුවැකිය - 2017 ජුනි 11 කඳු නාය ගියේ සාමාන්‍ය ජනයාගේ වරදකින් නොවේ: කතුවැකිය - 2017 ජුනි 11 2017-06-12 - ගංවතුර බැසයාමෙන් පසුව ජනපතිවරයා කළුතර ප්‍ර...

Face Book Setup 01