මිලියන 500ක අත යට ගනුදෙනුවට කටුනායක තීරු බදු සාප්පු සංකීර්ණයේ ඒකාධිකාරය ඉන්දියාවට

විශේෂාංග
Typography

රුපියල් මිලියන 500 ක අතයට ගනුදෙනුවක් හරහා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ ඒකාධිකාරය ෆ්ලෙමින්ගෝ (Flemingo) නම් ඉන්දීය සමාගමට පැවරීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වෙයි.

විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම අවදානම මතුව තිබෙන්නේ කටුනායක තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ දෙවන කොටසට අදාළව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් කැඳවනු ලැබූ ටෙන්ඩරය ද ෆ්ලෙමින්ගෝ සමාගමේ හිමිකාරීත්වයට අයත් තවත් සමාගමක්

වෙත පිරිනැමීම සඳහා වගකිවයුතු පාර්ශ්ව මේ වන විට කටයුතු සූදානම් කරමින් සිටින නිසාය.

දෙවන ටෙන්ඩරයේ සඳහන් කොන්දේසි මෙන්ම මේ වන විට කැබිනට් තීරණයක් මඟින් සම්මත කර ගෙන ඇති කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ 1(space 1) හා 2(space 2) යන කොටස් දෙකම එකම සමාගමකට ලබා නොදිය යුතුය යන තීන්දුව ද මේ හමුවේ උල්ලංඝනය වන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය බදු දීමේ පළමු ටෙන්ඩරය කැඳවූ අවස්ථාවේ පටන් එහි සැක කටයුතු සහ දූෂිත ගනුදෙනුවක් සිදු වන බව සත්හඬ පුවත්පත හෙළිකර සිටියේ 2017 මාර්තු 12 වන දා තවත් ටෙන්ඩර් මගඩියක් - කටුනායක ඩියුටි ෆ්‍රීය අතයට ගනුදෙනුවකට තීන්දු වේයන සිරස්තලය යටතේ ය.

ඒ වන විට අප ආරංචි මාර්ග සඳහන් කර සිටියේ අදාළ ටෙන්ඩර් මගඩිය රුපියල් ලක්ෂ 500 ක අතයට ගනුදෙනුවක් මත සිදු වන බවය. එහෙත් මේ වන විට අනාවරණය වී ඇති ආකාරයට මෙම තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ ඒකාධිකාරය ෆෙලෙමින්ගෝ සමාගමට ලබා දීම තුළ රුපියල් මිලියන 500 කට ආසන්න අතයට ගනුදෙනුවක් සිදුව ඇත.

එසේම මේ වන විට මෙම ටෙන්ඩර් මගඩියට අදාළ නිශ්චිත තොරතුරු රාශියක් අප වෙත ලැබී ඇති අතර පහත දැක්වෙන්නේ යහපාලන ආණ්ඩුව යටතේ මහ දවාලේ සිදුවන්නට යන කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ෆ්ලෙමින්ගෝ සමාගමට පැවරීමේ සේප්පඩවිජ්ජාව ය. ඒ ද මේ ගැන දැන නොදන්නා මෙන් ඉන්න අයට කෙසේ වෙතත් නොදන්නා අයගේ දැනගැනීමටත් මුල සිටය.

ආරම්භක ජවනිකාව

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රධාන තීරු බදු රහිත වෙළෙඳ ස්ථාන දෙක බදු දීම සඳහා වන ටෙන්ඩරය ප්‍රසිද්ධ කරන්නේ 2016 මැයි මස 08 වන දිනය. ඒ සඳහා ඉල්ලුම් කරන අවසන් දිනය වූ 2016 ජූලි මස 07 වන දා වන විට සමාගම් 6 ක් ඊට ඉදිරිපත්ව තිබුණි. එහෙත් එම ටෙන්ඩරය සඳහා ලංසු තබා තිබුණේ සමාගම් 5ක් පමණක් වූ අතර එක් සමාගමක් වූ හොංකොං හි DFS සමාගම අදාළ ටෙන්ඩරයට ලංසු තබා තිබුණේ නැත. ඒ වෙනුවට එම සමාගම ටෙන්ඩර් මණ්ඩලයට දැනුම් දී තිබුණේ තමන් ටෙන්ඩරයට විරෝධය පෑම සඳහා ඉදිරිපත් වූ බවය.

ඉදිරිපත් වූ ලංසු මාස 07 කට අධික කාලයක් අධ්‍යයනය කළ ටෙන්ඩර් තාක්ෂණික කමිටුව, ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම (AASL) ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ටෙන්ඩරයේ අංක 1 (space1) කොටස නැතහොත් වෙළෙඳපොළ අවස්ථා අතින් වැදගත්ම ස්ථානය, ඊට වැඩිම ලංසු තබා තිබූ ෆ්ලෙමින්ගෝ ඉන්දියානු සමාගමට තීරණය කරනු ලැබූ අතර ඒ 2017 මාර්තු මාසයේය.

අදාළ ටෙන්ඩරය වෙනුවෙන් දෙවන වැඩිම ලංසුව ඉදිරිපත් කර තිබුණේ එතෙක් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ 1 කොටස බදු ගෙන සිටි ස්විට්සර්ලන්තයේ වර්ල්ඞ් ඩියුටි ෆ්‍රී (World Duty Free /WDF & Dufry සමාගමය. ටෙන්ඩර් කොන්දේසි අනුව දෙවන වැඩිම ලංසුව තබා තිබූ WDF සමාගමට තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ දෙවන කොටස (space 2) ලබා දිය යුතු වුව ද එම සමාගම ටෙන්ඩරයට ඉදිරිපත් වූ ආකාරයේ තාක්ෂණික දෝෂ ඇති බව දක්වමින් ඔවුන්ව ටෙන්ඩරයෙන් ඉවත් කරනු ලැබිණ. එහෙත් මෙහි දී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ තාක්ෂණික දෝෂ හේතුවෙන් ටෙන්ඩරයෙන් ඉවත් කළ බවට දැනුම් දෙන මෙම WDF සමාගම රටවල් 62ක තීරුබදු රහිත වෙළෙඳාමේ නිරත ලොව අංක එකේ සමාගම වන බවය.

කෙසේ වුවත් 2017 මාර්තු 17 වන විට එවකට WDF පවත්වාගෙන ගිය තීරු බදු රහිත වෙළෙඳසල් වසා දමන ලෙසත් හිස් කරන ලද වෙළෙඳසල් 2017 මාර්තු 31 වන විට ගුවන්තොටුපළ පරිපාලනය වෙත භාරදෙන ලෙසත් වගකිවයුත්තන් දැනුම් දෙන්නේ ඉහත ක්‍රියාවලිය අවසානයේය. එම තීන්දුවත් සමඟ WDF හි 300 ආසන්න සේවකයන්ට රැකියාව අහිමි වන තත්ත්වයක් උදාවන අතර රුපියල් මිලියන ගණනක් වටිනා භාණ්ඩ

තොගයක් සමඟ අදාළ ස්ථානයෙන් ඉවත්වීමට එම සමාගමට සිදු විය. එහෙත් තම සමාගමට ටෙන්ඩරයේ දෙවන කොටස ලබා නොදීමේ තීරණයට අභියෝග කරන WDF සමාගම ඒ සම්බන්ධව අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනුකරන අතර එය තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතී.

ඉහත ටෙන්ඩරය වෙනුවෙන් තුන්වන වැඩිම ලංසුව තැබූ සමාගම වන්නේ B&S නම් නෙදර්ලන්ත සමාගමය. එම සමාගම ටෙන්ඩර් කොන්දේසි සැපිරීමට අසමත් බව දන්වා ටෙන්ඩර් මණ්ඩලය ඔවුන්ව ටෙන්ඩරයෙන් ඉවත් කරන අතර ඒ අනුව අදාළ ටෙන්ඩරය වෙනුවෙන් හතරවන වැඩිම ලංසුව තබා සිටි Shila නම් කොරියානු සමාගම ටෙන්ඩරයේ දෙවන ස්ථානයට පත්විය. නියමිත ආකාරයට නම් එම ටෙන්ඩරයේ space 2 කොටස එම සමාගමට හිමි විය යුතුව තිබුණත් එහි දී වගකිවයුත්තන් අපූරු කොන්දේසියක් මෙම සමාගමට ඉදිරිපත් කරයි. එනම් space 2 කොටස Shila සමාගමට බදු දීමට නම් ෆ්ලෙමින්ගෝ සමාගම ඉදිරිපත් කර ඇති ලන්සුවම ලබා දිය යුතු බවය.

ටෙන්ඩර් දැන්වීමෙහි සඳහන් නොවූ නව නීති පසුව හඳුන්වාදීම හේතුවෙන් ඊට විරෝධය දක්වා Shila සමාගම බලධාරීන්ගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් මෙරට ආයෝජනය කිරීම කොතරම් ප්‍රතික්ෂේප කළේද යත් තමන්ට සිදු වූ අසාධාරණය සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග වෙත යොමුවීම පවා එම සමාගම අත්හැර දමයි. එය මෙවැනි අවස්ථාවක දී සාමාන්‍යයෙන් සමාගමක් කටයුතු කරන ස්වභාවය නොවූවත් අතයට ගනුදෙනුවක් සම්බන්ධ යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තමන්ට මෙම අවස්ථාව කොහොමටත් නොලැබෙන බවට වන තක්සේරුව මත Shila සමාගම මෙරටින් පිටව ගිය බවට කතාවක් ද ඇත. ඒ සියල්ල කතා විතරයි- සාක්ෂි නෑපදනමින් ඉවත දමන්නට හැකිය.

එහෙත් ගැටලුව වන්නේ ජාත්‍යන්තරව සිදුකළ ටෙන්ඩර් කැඳවීමක දී තබා දේශීයව සිදුකරන ටෙන්ඩර් කැඳවීමක දී වුවත් රටට වැඩි ආදායම් ලබා දීම නම් ලේබලය අලවාගෙන ටෙන්ඩරයේ ඇතුළත් නොවූ නව කොන්දේසි ඉදිරිපත් කිරීමය. එසේම ටෙන්ඩරය ප්‍රසිද්ධ කරන අවස්ථාවේ සඳහන් නොකළ කොන්දේසි පසුව ඇතුළත් කිරීම තුළ ටෙන්ඩරයේ පළමු කොටස ලබාගත් ෆ්ලෙමින්ගෝ සමාගමට වාසියක් සිදු වන ආකාරය අමුතුවෙන් පෙන්වා දිය යුතුද නැත. තීරු බදු සංකීර්ණයේ space 1 කොටස space 2 කොටසට වඩා ආර්ථික වශයෙන් වාසිසහගත බව දැනගැනීම පමණක්ම ඊට ප්‍රමාණවත්ය. එනම් දෙවන කොටස හිමිවන සමාගම පළමු කොටස ගත් සමාගමේ ලංසුවම තැබිය යුතු බව දැනුම් දුන් විට ඔවුන් ව්‍යාපාරය වෙත යොමු වන්නේම වඩාත් අවාසිසහගත තත්ත්වයන් ඇතිව බවත් තරගකාරී වෙළෙඳපොළ තුළ සිය අවස්ථාව සම්බන්ධව ඍණ අදහසක් ඔවුන්ට ඇතිවීමත් මෙහි දී ප්‍රතික්ෂේප කළ නොහැකි නිසාය.

ඒ අනුව තීරු බදු රහිත වෙළෙඳපොළේ ෆ්ලෙමින්ගෝ හි තරගකරුවාට ස්ථානීය වටිනාකම මත පමණක් නොව ආදායම් සම්බන්ධව ද ව්‍යාපාරයට අතගැස්සවීමට කටයුතු සකස්කර දී ඇති බව ඉතා පැහැදිලිය. අනෙක් අතට ටෙන්ඩරයේ දෙවන ස්ථානය ගනු ලබන සමාගම ද ඔවුන් විසින් තබන ලංසුව නොව පළමු ස්ථානය ලබා ගන්නා ලංසුවම තැබිය යුතු බවට ටෙන්ඩරයේ අභ්‍යන්තර තොරතුරු කලින් එළියට ගොස් ඇති බවට සැකයක් මතුවීම ද මෙහි දී ප්‍රතික්ෂේප කළ නොහැකිය. මන්ද ඉහත ටෙන්ඩරයට අදාළව ෆ්ලෙමින්ගෝ වෙත මේ වන විටත් එම චෝදනාව එල්ල වී ඇති නිසාය.

දෙවැනි ටෙන්ඩර් විගඩම

කෙසේ වුවත් Shila සමාගම ටෙන්ඩර් මණ්ඩලයේ අභූත නව නීති ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ටෙන්ඩරයේ දෙවන කොටස එනම් space 2 සඳහා නව ටෙන්ඩරයක් කැඳවීමට බලධාරීන් තීන්දු කරයි. ඒ අනුව 2017 මාර්තු 4 වන දා එය ප්‍රසිද්ධ කෙරිණ. නමුත් ඒ සාමාන්‍ය ටෙන්ඩර් කැඳවීමක පමණක් නොව වත්මන් ආණ්ඩුවේ වූ යහපාලන මූලධර්ම පවා අභියෝගයට ලක් වන ප්‍රශ්න කිහිපයක් ඉතිරි කරමින්ය. එහිලා නැගෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ කොටස් දෙකකින් සමන්විතව එකට ඉදිරිපත් කළ ටෙන්ඩරයක එක් කොටසක් වලංගු කර තවත් කොටසක් අවලංගු කිරීම සාධාරණද යන්නය. මන්ද දෙවන කොටස අවලංගු කරන තැනට නව කොන්දේසි පනවා වටපිටාව සකස් කළේම ටෙන්ඩර් මණ්ඩලය වන නිසාය.

එහි දී අනෙක් අතට මතුවන දෙවන ප්‍රශ්නය වන්නේ ටෙන්ඩරයේ දෙවන කොටසට නව නීති සහ කොන්දේසි පැනවූයේ රටට ලැබෙන ආදායම වැඩි කර ගැනීමේ අපේක්ෂාවෙන් නම්  සම්පූර්ණ ටෙන්ඩරය අවලංගු කර නව ටෙන්ඩරයක් නොකැඳවීමට කටයුතු කළේ මන්ද යන්නය.

මේ ප්‍රශ්න වෙත පැහැදිලි පිළිතුරු ලැබෙන්න ගන්නේ දෙවැනි ටෙන්ඩර් විගඩම නිරීක්ෂණය කරන විටය. space 1 සහ space 2 ඇතුළත් පළමු ටෙන්ඩරයේ අවම ලංසුව සඳහන්ව තිබුණේ (ආදායමින්) 25%ක් ලෙස වුවත් පසුව space 2 සඳහා ඉදිරිපත් කරන  ටෙන්ඩරයේ එම අවම ලංසුව සඳහන් වන්නේ 40% ක් ලෙසය. එම ලංසුව නම් space 1 සඳහා ෆ්ලෙමින්ගෝ පළමුවර ඉදිරිපත් කළ ලංසුවම ය. පළමු ටෙන්ඩරයේ දී බලධාරීන් ටෙන්ඩරය සඳහා නව කොන්දේසියක් ලෙස ඉදිරිපත් කළ ලංසුව වූයේ ද මේ ප්‍රමාණයය. එසේම Shila සමාගම එහිදී ප්‍රතික්ෂේප කර සිටියේ ද space 2 ලබා ගැනීම වෙනුවෙන් මේ ප්‍රතිශතය ලබා දීමය.

වඩාත් සරලව නම් නව ටෙන්ඩරයේ විගඩම මෙසේය. නව ටෙන්ඩරයේ අවම ලංසුව ලෙස 40%ක් සඳහන් කළ පසු තරගකාරී ජාත්‍යන්තර ටෙන්ඩරයකින් එම අවස්ථාව ලබා ගැනීමට නම් ඒ සඳහා එන ඕනෑම සමාගමකට 40%ට වැඩි ලංසුවක් තැබීමට සිදුවේ. ඒ අනුව ගුවන්තොටුපොළ තුළ හොඳම වෙළෙඳපොළ අවස්ථා ඇති එමෙන්ම ප්‍රමාණයෙන්ද විශාල “space 1“ බදු ගත් පාර්ශ්වය සිය ආදායමෙන් 40%ක් රජයට ලබා දෙන විට සාපේක්ෂව අවාසි ස්ථානයේ පිහිටි කුඩා ප්‍රමාණයේ ස්ථානය හිමි “space 2“ පාර්ශ්වයට ඊට වඩා වැඩි එනම් ආදායමින් 40% ට වැඩි ප්‍රතිශතයක් ගෙවීමට නියම වෙයි. ඒ තුළ මේ තීන්දු තීරණ ඉදිරිපත් කරන බලධාරීන්ගේ සිහිමොළ විකල්ව නැත්නම් තමන්ගේ මේ නව කොන්දේසි සේවය කරණුයේ පැහැදිලිවම ෆ්ලෙමින්ගෝ වෙත වාසි සැලසෙන ලෙසින් බව තේරුම් ගැනීම දුෂ්කර නැත.

DFS නළුවා

මේ දෙවන ටෙන්ඩරය 2017 මාර්තු 4 වන දා ප්‍රකාශයට පත්කළ අතර එහි අවසාන දිනය වූයේ 2017 අප්‍රේල් 26 වනදා ය. ඒ වන විට මෙම නව ටෙන්ඩරය සඳහා ලංසු තබා තිබුණේ සමාගම් දෙකක් පමණය. ඒ සමාගම් දෙක නම්, 1. DUFRY AG  ස්විට්සර්ලන්ත සමාගම (WDFහි මව් සමාගම), 2. DFS ඉන්දියා සමාගම සහ B&S සමාගම (ඒකාබද්ධව)ය. විගඩමෙන් මගඩිය හෙළිවීම ඇරඹෙන්නේ මෙතැන් පටන්ය. DFS සමාගම යනු තීරුබදු වෙළෙඳ සංකීර්ණය බදු දීමේ පළමු ටෙන්ඩරයට ලංසු නොතබා විරෝධතාව පළකිරීම සඳහා යන පදනමින් තමන් ඉදිරිපත් වූ බව සඳහන් කළ සමාගමය. පළමු වර ටෙන්ඩරයට තමන් ඉදිරිපත් වූයේ විරෝධය දක්වන්න බව පවසා ඒ බව ටෙන්ඩර් මණ්ඩලය හමුවේ මුරගා කියූ ඉන්දීය ජාතිකයා අපට වාර්තා වන ආකාරයට සිය විරෝධයේ පදනම කිසිම අවස්ථාවක සඳහන් කර නැත. අවම වශයෙන් ටෙන්ඩර් මණ්ඩලය ද එම විරෝධයේ පදනම කුමක්ද යන්න ප්‍රශ්න කර නොමැත. කෙසේ වුවත් මේ වන විට අනාවරණය වී ඇති ආකාරයට ඒ DFS හි විරෝධයේ පදනම වූයේ යම් ලෙසකින් ෆ්ලෙමින්ගෝ හැර වෙනත් සමාගමකට පළමු ටෙන්ඩරයේ space 1 හිමිවූවා නම් විරෝධතා දක්වා එම අවස්ථාව කඩාකප්පල් කිරීමය. ඒ බව තවදුරටත් තහවුරු කරන්නේ පළමු ටෙන්ඩරයේ space 1 ෆ්ලෙමින්ගෝ වෙත හිමි වූ අවස්ථාවේ DFS විරෝධය ඉස්මතු නොවීමය. අනෙක් අතට පළමු වර 25% අවම ලංසුවට විරෝධය දැක්වීම ඔවුන්ගේ අපේක්ෂාව වූවා නම් දෙවන ටෙන්ඩරයේ දී 40% අවම ලංසුව වෙත කිසිදු විරෝධයකින් තොරව ලංසු තැබීමය. ඒ ද පළමු ටෙන්ඩරයේ කොන්දේසි සැපිරීමට අසමත් බවට විනිශ්චය වූ B&S සමාගම සමඟ එකතුව ටෙන්ඩරයට ඉදිරිපත් වීමය.  

විගඩමේ මගඩිය එළියට

දෙවන ටෙන්ඩරයේ විගඩම දැන් කොතරම්ද යන්න ඔබට පැහැදිලිව ඇතුවා නොඅනුමානය. එහෙත් ඒ විගඩම වසාගත් මගඩිය එන්නේ DFS සමාගමේ පළමු ගිවිසුමේ දී මෙන්ම දෙවන ගිවිසුමේ දී අමුතුම රංගනයක නිරත වූ DFS සමාගම නම් නළුවා ගැන විමර්ශනය කිරීමේදීය.

DFS ඉන්දීය සමාගම 2007 වසරේ දෙසැම්බර් මාසයේ ඉන්දියාව තුළ පිහිටුවන්නේ හවුල් ව්‍යාපාරයක් ලෙසින්ය. ඒ එහි කොටස්වලින් 51%ක් DFS සිංගප්පූරු සමාගමට (DFS Venture Singapore) සහ කොටස් 49%ක් ෆ්ලෙමින්ගෝ සමාගමට අයත් වන ලෙසය. ඒ අර්ථයෙන් ෆ්ලෙමින්ගෝ සමාගමේ හිමිකරු වන අතුල් අහුජා (්එයමක ්යමව්) ට මෙම සමාගම් දෙකෙහිම අධ්‍යක්ෂ මණ්ඩල බලතල ඇති බව ද පැහැදිලිය. එසේ අරඹන මෙම බද්ධ සමාගම (DFS) 2008 වසරේ සිට ඉන්දියාවේ මුම්බායි හි එකට ව්‍යාපාර කටයුතුවල නිරතව ඇත.

නමුත් ඉන්දීය ණය ඇගයීම් සමාගමක් වන ICRA ltd  වාර්තාවලට අනුව DFS සිංගප්පූරු සමාගමේ 51%ක කොටස් අයිතිය ෆ්ලෙමින්ගෝ සමාගම විසින් මිලදී ගෙන ඇති අතර ඒ සඳහා ෆ්ලෙමින්ගෝ සමාගම ඉන්දීය රුපියල් කෝටි 310ක ණයක් ද ලබාගෙන ඇත. ඒ අනුව 2017 පෙබරවාරි මාස 27 වන දා සිට DFS ඉන්දීය සමාගම යනු අන් කිසිවක් නොව ෆ්ලෙමින්ගෝ සමාගමේ අනු සමාගමක් බව පැහැදිලිය.

ඒ නිසාම පැහැදිලි වන අනෙක් කරුණ වන්නේ ෆ්ලෙමින්ගෝ සමාගම වෙත  කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ space 1 බදු දෙන මොහොත වන විට එම සමාගම DFS ඉන්දීය සමාගමේ ද හිමිකාරීත්වය ලබාගෙන තිබූ බවය. එසේම පළමු වර ටෙන්ඩරය සඳහා ලංසු තැබීමේ දී විරෝධතාකරුවකු ලෙස ඉදිරිපත් වූ  DFS නළුසමාගම දෙවන ටෙන්ඩරයට ඉදිරිපත් වන්නේ ෆ්ලෙමින්ගෝ සමාගමේ අනු සමාගමක් වශයෙන් සහ එකම හිමිකරුවකුට අයත් සමාගමක් වශයෙන්ය.

දෙකොන විලක්කුව

ඒ අනුව දැන් අමුතුවෙන් කිවයුතු නැතත් ඉතා පැහැදිලි ප්‍රශ්නාවලියක් අප හමුවේ ඇත. එයින් පළමු ප්‍රශ්නය නම් 2017 මාර්තු 4 වන දා සිදු වූ නව ටෙන්ඩර් කැඳවීම වන විට දෙවන වර ඉදිරිපත්වූ නව ටෙන්ඩරයේ 4.2.1.ට අනුව මේ වන විට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ ෆ්ලෙමින්ගෝ සමාගම තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ space 1 ට අයත් නිසා ඊට අනුබද්ධ DFS ඉන්දීය සමාගමට space 2 සඳහා වන ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් කළ හැකිද?

එසේ ඉදිරිපත් විය හැකි නම් ඔවුන් හා ෆ්ලෙමින්ගෝ අතර ඇති ඍජු ව්‍යාපාරික සම්බන්ධය මත කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ තීරු බදු රහිත වෙළෙඳාමේ ඒකාධිකාරිය ෆ්ලෙමින්ගෝ සමාගම වෙත පැවරෙනවා නොවේද?

යම් ආකාරයකින් DFS ඉන්දීය සමාගමට space 2 හී බදුකරුවා වීමට ලැබුණහොත් ඒ තුළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ආශ්‍රිතව ඒකාධිකාරියක් ගොඩනැඟීමේ අවධානම පෙන්වා දෙමින් ඊට අදාළව ගෙන ඇති කැබිනට් තීරණය අභියෝගයට ලක්වනවා නොවේද?

එම කැබිනට් තීන්දුව අභියෝගයට ලක්වීම ගැටලුවක් නොවන්නේ නම් 2011 වසරේ එම කැබිනට් තීන්දුව ගැනීමට අදාළ වූ තත්ත්වයන් අද වෙනස් වී තිබේද? ඒ මොනවාද?

එසේම මේ වන විටත් කල් ඉකුත්වූ භාණ්ඩ අලෙවිය සහ ලංකාවට ආනයනය කළ භාණ්ඩ නීති විරෝධී අයුරින් ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීම සම්බන්ධයෙන් ෆ්ලෙමින්ගෝ සමාගමට එරෙහිව රේගු පරීක්ෂණ සම්බන්ධව ගුවන්තොටුපොළ පරිපාලනය දැනුවත්ද?

එවැනි පරීක්ෂණයක් සිදු වන පසුබිමේ ෆ්ලෙමින්ගෝ සමාගමේ අනු සමාගමකට තීරු බදු රහිත සාප්පු සංකීර්ණය බදු දීම යහපාලන මූලධර්ම හරහා පැහැදිලි කළ හැකිද?

මේ ආකාරයෙන් ප්‍රශ්නාවලියක් අපට ඉදිරිපත් කළ හැකිය. එහෙත් මේ සීමිත මුද්‍රිත අවකාශය තුළ ඊට ඉඩක් නොමැත. එහෙයින් අප අවසාන වශයෙන් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා මූලික කොට යහපාලන ආණ්ඩුව වෙතින් මෙසේ අසමු. මහත්වරුනි, කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය බදු දීම මේ වන විට දෙකොන විලක්කුවක් බවට පත්ව ඇත. ඒ එක් පසෙකින් මේ බදු දීම පිටුපස රුපියල් මිලියන 500 ක අතයට ගනුදෙනුවක් සිදුව ඇති බවට ඇති චෝදනාවය. අනෙක් පසින් ෆ්ලෙමින්ගෝ සහ DFS ඉන්දීය සමාගම සම්බන්ධව පැනනැඟී ඇති මූලික ප්‍රශ්නය. එහෙත් ඒ මාධ්‍යයේ පෙනෙන්නට ඇත්තේ අදාළ ටෙන්ඩරයේ ආරම්භක අවස්ථාවේ පටන් වගකිවයුතු පාර්ශ්ව හිතාගත නොහැකි ෆ්ලෙමින්ගෝ අනුරාගයකින් කටයුතු කර ඇති බවය. තවමත් කල් ඇති නිසා මේ ප්‍රශ්න යහපාලන මූලධර්ම අනුව විසඳා ගන්නට අවස්ථාව ඇති අතර ඒ සතු යතුර ඇත්තේ ආණ්ඩු කරවන ඔබලා අත මිස අප අත නොවේය. ඒ හමුවේ අප අවධාරණය කරන්නේ  ටෙන්ඩර් විගඩම්වලින් මගඩිය වසන්නට තැත්කිරීමට වඩා මගඩිය දැක විගඩම අකුළා ගැනීම අපට කෙසේ වෙතත් යහපාලන පිරුවටයට වැදගත් වනු ඇති බවය.

සංජය ලියනගේ

Latest Posts

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? 2017-10-09 - 1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්...
දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...

කතුවැකිය

කතුවැකිය-ඇත්තටම උරණ වියයුත්තේ කවුද?  කතුවැකිය-ඇත්තටම උරණ වියයුත්තේ කවුද? 2017-10-16 -  නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පක්ෂව අත ඔසවන්නේ...
කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! 2017-09-25 - ශිල්පීය නිපුණත්වය සහිත ශ්‍රම බළකායක් නැතිකමෙහි...
කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය 2017-09-19 - ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය ...

Face Book Setup 01