සුනීතලාට පිටුපා ඉදිවන කහපොල ශාක්‍ය ජනපදය

විශේෂාංග
Typography

ඒ ගිනි පූටකේ අප ගමන් කරමින් සිටියේ කපිලවස්තුපුර මාලිගා පරිශ්‍රයට යන මාවත දිගේය. පාර තලන යන්ත්‍රය ඉදිරියටත් පසුපසටත් ධාවනය කරමින් සිටි පුද්ගලයා අප දෙස නුරුස්නා බැල්මක් හෙළනු පෙනුණි. ඒ කිසිදු වගවිභාගයකින් හෝ අවසර පදයකින් තොරව කපිලවස්තු පුරයට ඇතුල් වී සුදොවුන් රජ මාලිගය දෙසට අඩිකඩමින් සිටි නිසා වන්නට පුළුවන.

ඔය හදන්නෙ සුද්දෝදනගෙ මාලිගාව නෙමෙයි, සිදුහත් කුමාරයාගෙ මාලිගා තුනෙක් එකක්

අපේ වැරැදි සිතුවිල්ල නිවැරැදි කළේ කපිලවස්තු පුරයේ කම්කරුවෙකි.

තාම මාලිගා තුනෙන් එකයි හදලා තියෙන්නේ. ඒකෙත් වැඩ ඉවර නැහැඑසේ කීවේ මාලිගාවේ පියස්සෙහි වැඩ සැලසුම් කරමින් සිටි වඩුවෙකි.

එක මාලිගාවකවත් වැඩ ඉවර නැතුවද ජනාධිපතිතුමා එකොළොස් වැනිදාට මේක විවෘත කරන්න එන්නෙ

ජනාධිපතිතුමා එන්න පැයක් තියලා හරි මාලිගාවෙ වැඩ ඉවර කරනවා

අපේ ප්‍රශ්නයට පියස්සට නගිමින් සිටි ලී වැඩ ශිල්පියා පිළිතුරු දුන්නේ වෘත්තීය පළපුරුද්ද පෙරදැරි අධිෂ්ඨානයෙනි.

අප මේ කියන්නට යන කපිලවස්තු පුරය ඒ පැත්ත බලා මේ පැත්ත බලනවිට රම්‍ය, සුරම්‍ය, සුභ මාලිගා, ලුම්බිණි සල් උයන මනරම් පොකුණු ප්‍රාසාද, ප්‍රාකාර ඉදිකැරෙන භූමියකි.

ලුම්බිණියේ නම් වැඩ ඉවරයි. අර පේන වැටෙන් එහා පැත්තෙ ලුම්බිණි සල් උයන, ගිනි ගහන අව්වේ දුහුවිලි අංශු රැල්ලේ කාන්තාරයක් සදිසි කපිලවස්තුපුරය දෙස බලාගෙන සිටි අපට එසේ මඟ පෙන්නූයේ කොටු දොරකඩ විසල් නගර ද්වාරය ඉදිකරමින් සිටි පෑස්සුම්කරුවෙකි.

ලංකාවේ ශාක්‍ය රාජධානිය

අපි එකල මෙකල වෙමින් සිටියේ නේපාලයේ නොවේ. පිළියන්දල මඩපාත මාර්ගයෙහි කෙළවරෙහිම පිහිටි ගම වන කහපොළ ආසන්නයේය. කපිලවස්තුපුරය ඉදිකැරෙමින් තිබුණේ කහපොළ රෙජිඬේල් වත්තේ අක්කර 78 ක් පුරා විහිදුණු දැවැන්ත භූමි භාගයකය. මේ ඉදිකෙරෙමින් තිබෙන්නේ ශාක්‍ය ජනපදයයි. ඉදිකිරීම් සිදු කෙරෙන්නේ ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන නවීන් ගුණරත්න මහතාගේ මැදිහත්වීමෙනි. ගුණරත්න මහතා සාම ජාත්‍යන්තර භාරයේ සභාපති, මහත්මා ගාන්ධි පදනමේ අනුශාසකත්වය Light of Asia Foundation හි සභාපතීත්වය ආදී වශයෙන් තනතුරු ගණනාවක් හොබවයි. ඉසිපතනය, කුසිනාරාව, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුද්ධත්වය, බුද්ධ පරිනිර්වාණය, පළමු ධර්ම දේශනය පැවැත්වූ ස්ථානය ආදී සියල්ලෙන් සමන්විත ශාකය ජනපද ව්‍යාපෘතියේ වියදම ගුණරත්න මහතා පවසන පරිදි රු. මිලියන 500 කි. මෙය ශාක්‍ය රාජධානිය අනුරූ කොට ගත්තක් බව ප්‍රකාශ වන අතර මෙහි නිර්මාතෘවරුන් කියන්නේ දැන් ඉතින් ලොව පුරා සිටින බෞද්ධ බැතිමතුන්ට ශාක්‍ය රාජධානිය දැක බලා ගැනීමට නේපාලයට යා යුතු නැති බවකි. එනම් ශාක්‍ය ජනපදය මෙතැන් සිට පිළියන්දල කහපොළ රෙජිඬේල් වත්තේ ස්ථාපිත කර තිබේ. නේපාලයේ ඇත්ත ශාක්‍ය ජනපදයේ තිබුණු ඉදිකිරීම් සමරු ඵලක මේ වන විට ගරා වැටී තිබේ. බොහෝ ගොඩනැඟිලි ගඩොල් ගොඩවල් ලෙස දිස්වේ. ඒ සැමරුම් ද තවත් කාලයක් ගතවෙද්දි බුද්ධ වචනය පරිදීම පොළොවට පස්වන හෙයින් ඒ වෙනුවට ලංකාවේ හදන අනුරූ අප දැන් ඉතින් බදා වැලඳ ගත යුතුද? අනුරූ අනුවේ අනිත්‍යට පසමිතුරු විය යුතුද?

Sakya02

මුදලි සයිමන් සමරකෝන්

මුදලි සයිමන් සමරකෝන් පිළියන්දල ප්‍රදේශයේ මීට සිය වසකට පමණ පෙර උපන් ඉඩම් හිමි ප්‍රභූවරයෙකි. සයිමන් සමරකෝන් නමින් යුත් වතු පිළියන්දල ප්‍රදේශයේ ගහණය. අක්කර 78 කින් සමන්විත කහපොළ රෙජිඬේල් වත්ත සමරකෝන් මහතාගේ පවුලේ අභ්‍යන්තර ප්‍රශ්නයක් හේතුවෙන් ඔහු විසින් මහා භාරකාර දෙපාර්තමේන්තුවට භාර කෙරුණු ඉඩමකි. මෙම අක්කර 78 න් වැඩි ප්‍රමාණයක දම් පඳුරු වැවී තිබුණු අතර එක් මායිමක් කහපොළ ගංගාවෙන් කෙළවර වෙයි. මුදලි සමරකෝන් මෙම ඉඩම මහා භාරකාර දෙපාර්තමේන්තුවට ලබා දෙන විට අදාළ ගිවිසුමෙහි වැදගත් වගන්ති කිහිපයක් අන්තර්ගත කරන්නට යෙදුණි. මෙම අතීත විත්ති කතාව අපට හෙළි කළ කහපොළ නන්දරතන හිමියන් පැවසුවේ රෙජිඬේල් වත්ත ආදායම් ලබන තත්ත්වයට පත්කර ප්‍රදේශයේ දුප්පතුන්ගේ ජීවන තත්ත්වය, අධ්‍යාපනය, ආගමික පුනරුදය වැනි කටයුතුවලට පූර්න අනුග්‍රහය දැක්විය යුතුය යන වගන්ති ගිවිසුම් ප්‍රකාරව තිබුණු බවය.

ඇත්තටම මහා භාරකාර දෙපාර්තමේන්තුව ඒ ගිවිසුම් ප්‍රකාරව වැඩ කටයුතු කෙරුවා. සමරකෝන් මුදලිගෙ ඇවෑමෙන් මේ ඉඩමේ රබර් වගා කළා. ප්‍රදේශයේ අඩු පහසුකම් දියුණු කරන්නත්, ජනයාගේ ජීවන තත්ත්වය නගා සිටුවන්නත්, ආගමික, සමාජීය ප්‍රබෝධය වෙනුවෙනුත් එම මුදල් වැය කෙරුණා. කොටින්ම ගමේ ගෑනු ළමයෙක් මල්වර වුණත් ඒ ළමයාගේ අනාගත සුබ සිද්ධියට ප්‍රතිපාදනයක් වෙන්විය යුතුයි කියලා සමරකෝන් මුදලිතුමා ගිවිසුමේ සඳහන් කරලා තිබුණා. වත්තේ ආදායමෙන් මහා භාරකාර අරමුදලටත් ලොකු මුදලක් බැර වුණා.

94 දි චන්ද්‍රිකා ජනාධිපතිනියගෙ කාලෙ ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් යටතේ මේ ඉඩම ලලිත් කොතලාවලට දුන්නා නිවාස ව්‍යාපෘතියකට. රාජපක්ෂ මහත්මයා ජනාධිපති වුණාට පස්සෙ ඒ පැරණි ගිවිසුම අපැහැදිලියි කියලා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථායක් හදන්න සැලසුම් කළා. කෝටි අටක් වියදම් කරලා බෝධි ප්‍රාකාරයක් හැදුවා. ඒකත් අතරමඟ ඇණ හිටියාඅනතුරුව ක්‍රීඩා හා විනෝද කටයුතු ඇමැතිවරයා ලෙස ගාමිණි ලොකුගේ මහතා මෙම ස්ථානයේ විවෘත සතුන් වත්තක් දැමීමට යෝජනා කර තිබුණා.

ඊටත් පසු ඇමැති එස්.එම්. චන්ද්‍රසේන පැළ රෝපණ ව්‍යාපෘතියෙක් අරඹන්නට යෙදුණි. මේ එක ව්‍යාපෘතියකවත් ඉදිරි සැලසුමක් හා දර්ශනයක් නොතිබුණු බව පැවසූ නන්දරතන හිමියෝ ඒවායින් ආදායම් උපයන ආකාරය ගැන විමසූ සෑම විටකම බලවතුන් නිරුත්තර වූ බව ද කීහ.

කහපොළ ගමේ යෝජනා

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වූ පසු නන්දරතන හිමියන් ප්‍රමුඛව ගම්වාසීහු ජනපතිගෙන් මෙම ඉඩම සම්බන්ධව ප්‍රායෝගික ඉල්ලීම් දෙකක් කළහ. ඉහත අක්කර 78 න් අක්කර 50 ක් ඉඩම් අහිමි ගම්වාසීන්ට ලබා දීම ඉන් පළමුවැන්නය. දෙවැන්න ඉතිරි අක්කර 28 හි කර්මාන්ත ව්‍යාපෘතියක් ඇරඹීමය. රජයේ සේවකයන්ට ගෙවීමේ පදනම මත නිවාස දහයක් ඉදිකර දෙන ලෙසට ද එහි අතුරු යෝජනාවක් තිබුණි. නන්දරතන හිමියන් කීවේ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දත්ත අනුව කිසිදු භූමි හිමිකමක් නැති පවුලේ 15,000 ක් සිටින බවය. එබැවින් ඉහත යෝජනාව මඟින් ඉන් කොටසක හෝ ඉඩම් ප්‍රශ්නයට විසඳුම් ලබා දිය හැකිය යන්න උන්වහන්සේගේ අදහසය.

Sakya03

ඉඩම් ප්‍රශ්නය

ශාක්‍ය ජනපදය ඉදිකරන්නට මුල්ගල තබන්නේ 2017 මාර්තු 16 වැනිදාය. ඒ බුද්ධ ශාසන අමාත්‍යවරයාගේ හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙනි. නන්දරතන හිමියන් ගමේ පන්සලේ නායක හිමියන් වුවත් මෙම උත්සවයට ඒ හිමියන්ට ආරාධනා කරන්නේ නැත. මැයි 11 වැනිදා ජනාධිපතිවරයා සහභාගි වුණු විවෘත කිරීමේ උත්සවයට ද උන්වහන්සේට ආරාධනා කර නැත. මීට හේතුව විය හැක්කේ උන්වහන්සේ ගමේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්නය ඒ සෑම විටකදීම සාකච්ඡාවට ගන්නා නිසා විය හැකිය. ඒ ඇත්ත ප්‍රශ්නය යනු කුමක්ද? ඒ ගමේ ඉඩම් අහිමි ජනයාගේ ප්‍රශ්නය මිස අනෙකක් නොවේ. බොරලැස්ගමුව අයත් වන්නේත් කැස්බෑව මැතිවරණ කොට්ඨාසයටය. දැල්තර, දම්පේ මඩපාත, ජඹුරලිය, කහපොළ, කටුවාවල,බෝකුන්දර, කරදියාන ආදී කැස්බෑව ඡන්ද කොට්ඨාසය අයත් මේ සෑම ප්‍රදේශයකම ඉඩම් නැති ජනයාගේ ප්‍රශ්නය බරපතළය. එබඳු දැවෙන ප්‍රශ්නයක් තිබිය දී අක්කර 78 ක් වැනි විශාල ඉඩමක් ශාක්‍ය ජනපදය ඉදිකරන්නට භාවිතා කිරීම කෙතරම් උචිතද යන්න කල්පනා කර බැලිය යුතුය. රම්‍ය, සුරම්‍ය, සුභ ආදී මාලිගා හා කපිලවස්තු පුරයේ බහුවිධ ඉදිකිරීම් බලා චිත්ත ප්‍රීතියක් අත්කර ගත හැක්කේ පොදු ජනයාගේ දැවෙන දෛනික ප්‍රශ්න විසඳී තිබෙනවා නම් පමණි. වඳින්නට පුදන්නට පෙර ජනයාට ජීවත් වීමට පරිසරයක් සැකසී තිබිය යුතුය. ධර්ම ශ්‍රවණයට පෙර බඩගින්න නිවී තිබිය යුතුය. සාමාජීය වශයෙන් ධම්මකාමී දිවි පෙවෙත ඇත්තේ මතුපිටින් පමණක් නම් අභ්‍යන්තරයෙන් ගිලා බසින සමාජයක් ඩුප්ලිකේට් ශාක්‍ය ජනපදයකට තබා ගැට ගසා බේරාගත නොහැකිය. බෞද්ධයන්ට හා රටට අවශ්‍ය අභ්‍යන්තරය සුවපත් කරගත හැකි දේවල්ය. සැබැවින්ම කහපොළ ඉදිකරන ශාක්‍ය ජනපදය බෞද්ධ ජනයාට ආධ්‍යාත්මික අර්ථයක් ශේෂ කර දෙයිද? නැතහොත් ඊට තිබෙන්නේ හුදු ව්‍යාපාරික අරමුණක්ද? මෙය බෞද්ධ ජනයා අවදි මනසින් යුතුව කිරා මැන බැලිය යුතු ප්‍රශ්නයක් නොවේද? බුදුහු සුනීත සෝපාකලාගේ දුක දුටහ. ඔවුනට විමුක්ති මාර්ගය පෙන්වා දුන්හ. එහෙත් ශාක්‍ය රාජධාණිය සුනීතලාගේ දුක නොදුටු පරිදීම කහපල ඩුප්ලිකේට් ශාක්‍ය ජනපදයත් එගම්වාසී සුනිතලාගේ දුක දැක නැත.

..............................................................

ව්‍යාපාරික අරමුණක් සහිත ව්‍යාපෘතියක් - කහපොළ නන්දරතන හිමි

Sakya04ගමේ කිසිම කෙනෙක් සමඟ සාකච්ඡා නොකර මේ අය හිතුවක්කාර විදියටයි වැඩ කරන්නෙ. කහපොළ ලුම්බිණිය හැදුවට සිදුහත් කුමරු මෙහේ උපන්නෙ නැහැනෙ. මෙතන ධර්මය පෙරදැරි කරගත් අදහසක් නැහැ. මෙතන ක්‍රියාත්මක වෙන්නෙ ව්‍යාපාරික අරමුණක්. ආරංචියේ හැටියට මෙතන බෞද්ධ රටවල් දොළහකට අදාළව පන්සල් දොළහක් හදන්න යනවා. අපි උදාහරණයකට තායිලන්තයට අක්කරයක් සමඟ පන්සලක් වෙන් කළොත් සල්ලි ලැබෙන්නෙ නැද්ද. එතකොට 1000 කට බණ අහන්න පුළුවන් ධර්ම ශාලාවක් හදනවා. මේවාට පිටරටින් එන අය දින ගණන් නවතින්න විශාල වශයෙන් වියදම් කරන්න බලාගෙනයි එන්නෙ. ඒ සල්ලි යන්නෙ ව්‍යාපාරිකයාට මිසක් වෙන කාටවත් නෙවෙයි. ඊළඟට මේ ඉඩම වටේම තියෙන ඉඩම්, විශේෂයෙන් කහපොළ ගඟට යාබද ඉඩම් ටික දැනටම දේශපාලකයො අරගෙන. අනාගතයේ දී ඒවායේ හෝටල් හදයි. දැන් ශාක්‍ය පනපදය එක්ක එන දීර්ඝකාලීන සැලැස්ම පැහැදිලියිනෙ. මේකෙන් රටේ ආර්ථිකය නෙවෙයි පුද්ගලයො කීප දෙනෙකුගෙ ආර්ථිකය දියුණු වෙයි. ඉතින් මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ ගැන අවබෝධයෙන් බලලා සීරුවෙන් ක්‍රියාමාර්ගයක් ගන්න කියා.

..............................................................

මම කරන්නේ පුණ්‍ය කර්මයක් නවීන් ගුණරත්න - Shakya Foundation of Sri Lanka

Sakya05මට මේ ඉඩම ලැබෙන්නෙ බුද්ධ ශාසන අමාත්‍යාංශය හරහායි. මේ ව්‍යාපෘතියට වැය වන මුදල රු. මිලියන 500 යි. දැනට අපි කපිලවස්තුපුරේ කොටසකුයි, ලුම්බිණි සල් උයනයි ඉදිකරලා තියෙන්නෙ. මෙතන කිසිම ව්‍යාපාරික අරමුණක් නැහැ. මේක පුණ්‍ය කර්මයක් විදියටයි මම කරන්නෙ. මේ ව්‍යාපෘතියෙහි ප්‍රධානියා නේපාලයේ වසන්ත බිදාරි මහතායි. ඔහු ගෘහ නිර්මාණ ශිල්පියෙක් වගේම පුරාවිද්‍යාඥයෙක්. මේක හැදුවට පස්සේ ශාක්‍ය ජනපදය බලන්න නේපාලයට යන්න ඕන නැහැ. මෙහෙදි ඒක නරඹන්න පුළුවන්.

..............................................................

ජනතාවගේ ප්‍රශ්නයක් මෙතන නැහැ - විජයදාස රාජපක්ෂ

ශාක්‍ය ජනපදය පිළිබඳ අදහස කාගේද?

Sakya06මෙය ලොස් ඇන්ජලීස්වල හදන්න ගිය  ව්‍යාපෘතියක්. එය සංස්කෘතික කටයුත්තක්. ඒ වගේම 10,000ක් වගේ ප්‍රමාණයකට භාවනා කරන්න ඉඩකඩ මෙතන හදනවා. එය ලොකු ව්‍යාපෘතියක්. ඒක නිසා එය දැනගත් වෙලාවෙම මම ඒක ලංකාවේ කරන්න ඉල්ලා ගත්තා. Light of Asia පදනම සමඟ එකතු වෙලා අපි මෙය ඉදි කරනවා.

දැන් එහි ඉදිකිරීම් තත්ත්වය කුමක්ද?

දැනට ලුම්බිණි උයන සහ සුරම්‍ය මාලිගාව පමණක් හදලා අවසන් කර තිබෙනවා. අනෙත් කටයුතු ලබන වෙසක් පොහොයට පෙර නිම කරන්න බලාපොරොත්තු වෙනවා.

මෙම ඉඩම නවීන් ගුණරත්න මහතා මිලදී ගත්තද? එසේ නම් ඒ කොපමණ මුදලකටද?

නැහැ. මෙය සිදු කරන්නේ බුද්ධශාසන අමාත්‍යාංශයෙන්. Light of Asia පදනමෙන් හදනවා.

මෙම ප්‍රදේශයේ බිම් අඟලක හෝ අයිතියක් නැති විශාල ජනතාවක් සිටිනවා. එසේ තිබිය දී ශාක්‍ය ජනපදය හදන්න අක්කර 78 ක් භාවිත කරන එක ඔබට සාධාරණීකරණය කළ හැකිද?

මෙතන ජනතාවගේ ප්‍රශ්නයක් නැහැ. ජනතාවට ඉඩම් නැති වුණාට අපිට කරන්න දෙයක් නැහැ. මෙය බුද්ධශාසන කටයුත්තක් සඳහා පමණක් සිදු කරන්නක්. එය මෙහෙය වන්නේ බුද්ධශාසන අමාත්‍යාංශයෙන්.

මේ සඳහා වියදම් වන මුදල් නැවත ප්‍රතිපූරණය කරන ක්‍රමයක් තියෙනවද?

එහෙම ආපසු කතාවක් නැහැ. මෙය පුණ්‍ය කර්මයක්.

මීට පෙර එම ඉඩමේ අක්කර 50ක් ජනතාවටත් තවත් අක්කර 27ක් කර්මාන්ත පුරයකටත් යෝජනා කර තිබුණා. ඒ  වැඩපිළිවෙළට මොකද වෙන්නේ?

මේක එක එක්කෙනාට දීලා තිබුණා. ඒ කිසිවක් නීත්‍යානුකූලව සිදු නොවුණ නිසා මෙය බුද්ධශාසන අමාත්‍යාංශයට අයිතියි කියලා පවරා ගත්තා. දැන් වෙන කාටවත් ඒ පිළිබඳ අයිතිවාසිකම් පාන්න බැහැ.

විමලනාත් වීරරත්න

ශාන්ත විජේසූරිය

Latest Posts

කතාබහ

විශේෂාංග

මහින්දගේ ගෝලයෙක් තුල්හිරිය වන්දි සටන හයිජැක් කළා - 71 ට පසු (පස්වන කොටස) මහින්දගේ ගෝලයෙක් තුල්හිරිය වන්දි සටන හයිජැක් කළා - 71 ට පසු (පස්වන කොටස) 2017-05-25 - තුල්හිරිය කම්හලේ සේවය අහිමි වෙලා, වසර විසි හයක්...
අටවැනි මැයි දහ අට අටවැනි මැයි දහ අට 2017-05-23 - සමීප රූපය යුද්ධයක දී මුලින්ම මරාදමනුයේ සත්‍...

කතුවැකිය

කතුවැකිය: මැයි 18ට අලුත් අරුතක් දෙන්න කතුවැකිය: මැයි 18ට අලුත් අරුතක් දෙන්න 2017-05-22 - යුද්ධයේ අවසානය දැක ඇත්තේ මළවුන් පමණි යනුවෙන්...
කතුවැකිය: බිත්තියට හේත්තු කර පිළිතුරු ලබා ගත නොහැකිය කතුවැකිය: බිත්තියට හේත්තු කර පිළිතුරු ලබා ගත නොහැකිය 2017-05-15 - මිනිසකු බිත්තියට හේත්තු කිරීම භයානක ක්‍රිය...
කතුවැකිය: තෝ මිටියයි මං මිටියයි න්‍යාය සහ වැඩවර්ජන කතුවැකිය: තෝ මිටියයි මං මිටියයි න්‍යාය සහ වැඩවර්ජන 2017-05-08 - ඉදිරි කාලය තුළ වැඩවර්ජන රැල්ලක් ඒමට නියමිත බව...

Face Book Setup 01