අම්මලා උසාවි ගානේ හූල්ලද්දී දවසින් දවස යට යන නාවික හමුදාවේ ගන්සයිඞ් මිනී මැරිල්ල

විශේෂාංග
Typography

ලෝකය සෑදී ඇත්තේ අම්මාගේ කිරිවලින් කියන්නේ බොරුවකි. එහෙම නම් ඒ අම්මලාට මේ විදියට උසාවි ගානේ රස්තියාදු වෙන්නට සිද්ධ වන්නේ නැත. ඒ අම්මලාට තමන් කිරි දී හැදූ දරුවන් ගෙදර එනතෙක් හූල්ලන්නට සිද්ධ වන්නේ නැත. අඩු තරමේ මැරූ බව දැන දැනත්, ඒ මිනීවලට අවසන් ගෞරව දක්වන්නටවත් නොහැකිව අඬන්නට සිද්ධ වන්නේ නැත.

 

ඔය කියන විදියට ලෝකය සෑදී ඇත්තේ අම්මාගේ කිරිවලින් නම්, ලෝකයට ඒ අම්මලාගේ දුක දැනෙන්නට ඕනෑ ය. ඒත් එහෙම නැත. අවුරුදු නවයක් තිස්සේ ඒ අම්මලා උසාවි ගානේ ගාටති. ආණ්ඩු මාරුව සිද්ධ වෙන කාලයේ ලසන්ත වික්‍රමතුංගලා, ප්‍රගීත් එක්නැළිගොඩලා, වසීම් තාජුඩීන්ලා වගේ ම මේ අම්මලා ද ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනු ලැබිණි. අලුත් ආණ්ඩුව ආ පසු ද ටික දවසක් ඒ අම්මලාගේ ඇස් අග බලාපොරොත්තුවේ කඳුළු දිලිසෙමින් තිබිණි. ඒ රාජ්‍ය මාධ්‍යවලින් මේ අම්මලාගේ කතාවලට ලෝබ නැතුව ඉඩ දීම නිසා ය.

ඒත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අවුරුදු හතක් තිස්සේ වින්ද දුක ම, ඔවුන්ට යළිත් විඳින්නට සිදු ව තිබේ. ඒ හිස් බලාපොරොත්තුවකින් ජීවත් වීමේ ඛේදවාචකය නිසාය.

මේ ලියන්නේ ඒ අම්මලාට දරුවන් නැති කළ මිනීමරුවන්ගේ කතා ය, ඒ අම්මලාගේ කතා ය.

නාවික හමුදා බුද්ධි අංශය මඟින් කොළඹ, චෛත්‍ය පාරේ පිට්ටු බම්බුව සහ ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ ගන්සයිඞ් නම් ස්ථානයේ ඒ අම්මලාගේ දරුවන් රඳවාගෙන සිට ඇත. ඉන්පසු ව මරා දමා ඇත.

TrincoArt02බහුතර සමාජයට ඔවුහු දෙමළුන් වූහ, එල්ටීටීඊයට සහාය දුන් අය වූහ. ඒත් කිසිවක් ඔප්පු වී තිබුණේ නැත. ඔප්පු වුණත් ඔවුන් අතුරුදන් කරන්නට, මරා දමන්නට නාවික හමුදාවට අයිතියක් ලැබුණේ කෙසේද? එසේ අතුරුදන් කළ බවත්, මරා දැමූ බවත් ඔප්පු වෙමින් තිබියදීත් තවමත් ඒ අම්මලා උසාවි ගානේ රස්තියාදු වෙති. නීතිපති දෙපාර්තමේන්තුව මේ නඩුව හතර අතේ අදින්නේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉස්සරහට යන්නේය. නැවතත් පස්සට යන්නේය. නාවික හමුදාව තමන්ගේ ගෞරවය බේරාගැනීම සඳහා මිනීමරුවන් රකින්නට උත්සාහ කරමින් සිටින්නේය. හරියටම මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමට අදාළ ව අධිකරණය මඟින් යුද හමුදාවෙන් ඉල්ලූ තොරතුරු දීම මඟහැරියා වගේ ය.

රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, මොහොමඞ් ඩිලාන්, මොහොමඞ් සාජිත්, තලකේශ්වරන් රාමලිංගම්, ත්‍යාගරාජා ජෙගන්, සූසෙයිපිල්ලෙයි අමලන් ලියෝන්, සූසෙයිපිල්ලෙයි රොෂාන් ලියෝන්, ජෝන් රීට්, කස්තුරිආරච්චිගේ ඇන්ටනී සහ අලි අන්වර් මේ විදියට උසාවි ගානේ රස්තියාදු වන අම්මලාගේ දරුවන් ය. මේ පිරිස ඇතුළු විසි හත් දෙනකු මේ ආකාරයට නාවික හමුදාව විසින් අතුරුදන් කළ බව මූලික පරීක්ෂණවල දී හෙළි වී තිබේ. ඒ ගන්සයිඞ් සහ පිට්ටු බම්බුවේ පමණකි. ඒත් දැනට ඇති තොරතුරු පමණි. ඒ නිසා එය එතෙකින් නැවතුණා වන්නට බැරි ය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම, වසීම් තාජුඩීන් ඝාතනය, වැලිකඩ බන්ධනාගාරයේ ලැයිස්තුගත සමූහ ඝාතනය, රතුපස්වල නිරායුධ සිවිල් ජනතාව මරා දැමීම වැනි අපරාධවලට වගේම මේ අපරාධයට අදාළවත් යුක්තිය ඉටු විය යුතුය. මෙය මඟහරින්නට කිසිවකුට සාධාරණ හේතු නැත. ඒ අම්මලා තනි කිරීම ඔවුන්ගේ දරුවන් අතුරුදන් කළා වැනි ම අපරාධයකි.

TrincoArt03එවැනි තත්ත්වයක් යටතේ ය, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් වළක්වන පනත ඉදිරිපත් කිරීම කල් යන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට දුන් පොරොන්දුවට අනුව මෙතෙක් ලංකාවේ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවා නැත්තේ.

මේ දරුවන් එකොළොස් දෙනා අතුරුදන් කිරීමට අදාළ ව මේ වන විට නාවික හමුදාවේ පස්දෙනෙක් අත්අඩංගුවේ සිටිති. ඒ නාවික හමුදා බුද්ධි අංශ කොමදෝරු සුමිත් රණසිංහ, නාවික නැවි ලක්ෂ්මන් උදය කුමාර, නලින් ප්‍රසන්න වික්‍රමසූරිය, තම්මිට ඉහළගෙදර ධර්මදාස සහ රාජපක්ෂ පතිරණලාගේ කිත්සිරි ය. මෙහි ප්‍රධාන සැකකාරයා වන ලුතිනන් කර්නල් නිලන්ත සම්පත් මුණසිංහට ඇප ලබා දී තිබේ. ඒ ඇප ලබා දීම විවාදපන්නය.

අදාළ එකොළොස්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ 2008 අවුරුද්දේ ය. ඒ නිසා සිද්ධිය නැවත මතක් කරගත යුතුය. එය නාවික හමුදා නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති කට උත්තර හරහා ම මතක් කර ගැනීම වටී. මේ ඔවුන් රෙදි ගලවා ගන්නා හැටි ය.

ඔවුන් රණවිරුවන් ද, මිනීමරුවන් ද කියා ඔබට තීරණය කළ හැකිය. මේ දැනට අධිකරණයේ පවතින කරුණු ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කර ඇති කරුණු ය.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ

“..... කමාන්ඩර් සම්පත් මුණසිංහ දක්ෂ නිලධාරියකු නිසා තමන්ගේ ආරක්ෂාවට තබා ගත් බවත්, පසුව සම්පත් මුණසිංහ කඳවුරෙන් පැන ගොස් තිබූ බවත්, පුද්ගලයන් පස්දෙනකු පැහැරගෙන යාමට සම්බන්ධ බවට සැක කළ හැකි බවත් ....”

සම්පත් මුණසිංහ යනු දැනට ඇප මත සිටින මේ සිද්ධියේ පළමු විත්තිකරු ය. ඔහුට අදාළ චෝදනාව එල්ල කරන්නේ ඒ කාලයේ හිටපු නාවික හමුදාපතිවරයා ය. එයින්ම චෝදනාවේ බරපතළකම සහ රාජකාරි කර ඇති ආකාරය පැහැදිලි ය. හිටපු නාවික හමුදාපතිවරයාට ද මේවාගෙන් ගැලවිය නොහැකිය. ඔහුට සම්පත් මුණසිංහ හෙවත් නේවි සම්පත් මේවා කළා කියා ඇඟ බේරාගත නොහැකිය. එසේ නම් නාවික හමුදාපතිවරයකු සිටියේ ගෙදර ගිය පසු කඳුළු හළන්නද?

මා. ආරච්චිගේ සරෝජනී පෙරේරා

“...... 2008 සැප්තැම්බර් 17 වන දින දෙහිවල දී පැහැර ගැනීමට ලක්වූ තරුණයන් පස්දෙනා අතර සිටි රජීව් නාගනාදන්ගේ මව වේ. රජිව් නාගනාදන් කොළඹ, චෛත්‍ය පාරේ නාවික කඳවුරේ සිටිය දී හා ත්‍රිකුණාමලය කඳවුරේ සිටිය දී විවිධ අංකවලින් අවස්ථා කිහිපයක දී මැය සමඟ සම්බන්ධකම් පවත්වා ඇත. එසේ ලබා දුන් තොරතුරු අතර වත්තල ප්‍රදේශයේ දී වෑන් රථයකින් ගමන් කරමින් සිටිය දී පැහැර ගැනීමට ලක්වූ ජෝන් ද චෛත්‍ය පාරේ නාවික කඳවුරේ තම පුත්‍රයා සමඟ සිටි බව පවසා ඇත .....”

එනම් ඔවුන් නාවික හමුදාව භාරයේ සිට ඇත. දැන් ඔවුන් අතුරුදන් ය. යම් පොලිස් ස්ථානයකින් සැකකරුවකු අත්අඩංගුවට ගතහොත්, අත්අඩංගුවට ගත් මොහොතේ පටන් ඒ සැකකරු සම්බන්ධ පූර්ණ වගකීම අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සතු වේ. පසුගිය කාලයේ එසේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් මරා දමනු ලැබිණි. ඉන්පසු ඔවුන් මාංචු පිටින් ගංගාවලට පැන්නා, පොලීසියට වෙඩි තියන්නට හැදුවා වැනි බොරු ගෙතුවේය. ඒවා බොරු බව දැන දැනත් කිසිදු අධිකරණයකින් හරස් ප්‍රශ්න ඇසුවේ නැත. ඒ බොරු පිළිගත්තේය. පොලිස් ස්ථානාධිපතිවරයා වගකීම ඉටු නොකිරීම පිළිබඳව ප්‍රශ්න කළේ නැත.

මෙතැනද ඇත්තේ ඒ ජාතියේ ම සිදුවීම් රැසකි. නාවික හමුදා අත්අඩංගුවට ගත් පිරිසක් අතුරුදන් ය. ඔවුන් කොළඹ, චෛත්‍ය පාරේ කඳවුරේ සහ ත්‍රිකුණාමල කඳවුරේ සිටි බවට සාක්ෂි තිබේ. ඒ කියන්නේ අදාළ කඳවුරු දෙක භාර ව සිටි ඉහළ නිලධාරීන්ට ද මේ අපරාධවල වගකීමෙන් බේරෙන්නට බැරි ය.

කොමදෝරු රොහාන් නලින් දේවේන්ද්‍ර

“..... විවිධ නාවික කඳවුරුවල සේවය කිරීමෙන් පසු ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේ විධායක නිලධාරි ලෙස රාජකාරි භාරගත් බවත්, එම කඳවුර පරිශ්‍රයේ ගන්සයිඞ් නමින් ස්ථානයක් තිබූ බවත්, තමන් රාජකාරි භාරගන්නා අවස්ථාව වනවිටත් එම ස්ථානය නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයන් විසින් පරිහරණය කළ බවත්, ඔවුන්ගේ සියලු පරිපාලන කටයුතු නාවික හමුදාපතිගේ පූර්ණ අනුදැනුම මත සහ අධ්‍යක්ෂ නාවික බුද්ධිගේ අධීක්ෂණය යටතේ සිදු වූ බවත්, මේ කටයුතු සඳහා එවකට විධායක නිලධාරි ලෙස සිටි තමාත්, නැගෙනහිර ආඥාපතිවරුන් ලෙස සිටි සමරතුංග සහ වීරසේකර සම්බන්ධ නොවූ බවත්, ගන්සයිඞ් නමැති ප්‍රදේශය ආවරණය කර තිබූ අතර, ඒ තුළට බුද්ධි සාමාජිකයන්ට අමතරව වෙනත් කිසිදු නාවිකයකුට ඇතුළු වීමට අවසරය නොතිබූ බවත්....”

TrincoArt04එනම් කඳවුරේ ප්‍රධානීන්ට, නැගෙනහිර ආඥාපතිවරයාට පවා මේ තරුණයන් රඳවාගෙන සිටි බවට හෙළි වී ඇති ගන්සයිඞ් ප්‍රදේශයට ඇතුළුවීම තහනම් ය. නාවික හමුදාපතිවරයා එහි සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව දැනුවත් ය. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සිද්ධියේ දී ද යුද හමුදා බුද්ධි අංශය කියන්නේ එල්ටීටීඊය සම්බන්ධ මෙහෙයුමක් ගිරිතලේ කළ බව ය. ඒ මෙහෙයුම ගැන යුද හමුදාපතිවරයා ඇතුළු ඉහළ ම නිලධාරීන් දැනුවත් කළ බව ය. මේ වෙලාවේ ද කතාව ඒක ම ය. ගන්සයිඞ් කඳවුරේ සිද්ධ වෙන දේ ඉහළ නිලධාරීන් දැන සිටියේ නැද්ද? තමන් ඒ ගැන දැන නොසිටි බවක් ඔවුන්ට කිව හැකිද?

පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට හමුදාවෙන් වෙඩි තැබූ සිද්ධියේ ද මේ වගේ කතාවක් තිබේ. ඊට අණ දුන් බවට සැක පිට බන්ධනාගාරගත ව

සිටින බි්‍රගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන කියා තිබුණේ තමන් වෙඩි තියන්නට අණ නොදුන් බවකි. ඒ කියන්නේ යුද හමුදා සෙබළුන් විනය බිංදුවට දමා, නියෝගයකින් තොරව හිතූ මනාපයේ වැඩ කර තිබේ. එය යුද අපරාධ සනාථ කරන්නට බලා සිටින පිරිස්වලට ද වාසිසහගත කාරණයකි. මේ තරුණයන්ගේ අතුරුදන් කිරීම ද ඊට සමාන ය. නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගත් තරුණයන් අතුරුදන් බවක් කියයි. නැගෙනහිර ආඥාපතිවරයා සහ කඳවුරු භාර ඉහළ නිලධාරියා කියන්නේ තමන්ට පැත්ත පළාතටවත් යන්නට නොදුන් ආවරණය කළ ප්‍රදේශයක් කඳවුර ඇතුළේ ම තිබූ බවයි. මේවා ද යුද අපරාධ සනාථ කරන්නට බලා සිටින පිරිස් වලට වාසිසහගත ය. රණවිරුවන් දංගෙඩියට ගෙන යන බවට කෑමොර දෙන ව්‍යාජ දේශප්‍රේමීන් මේවා දැනගත යුතුය. එකින් එක සිදුවීම් කිරා මැන බැලිය යුතුය. යුද අපරාධ සනාථ කරන්නේ පිටින් නොව ඇතුළෙන් ම ය.

සාමාන්‍ය නැවි ප්‍රියශාන්ත හෙවත් පොඩි මල්ලි

“..... පුද්ගලයන් විශාල පිරිසක් කඳවුර තුළ සිරකරගෙන සිටි බව තමන් දුටු බවත්, එම පුද්ගලයන් සමඟ කතා කර ඇති බවටත්, එසේ සිටි පුද්ගලයන් වෙඩි තබා, ගැට ගසා බෝට්ටුවලින් මුහුදට ගොස් දැමූ බවත්....”

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එසේ කියා ඇත්තේ මේ ගන්සයිඞ් කඳවුර තුළ සේවය කළ නාවික හමුදා සෙබළෙකි. නැගෙනහිර බුද්ධි අංශය අධීක්ෂණය කළ, මේ නඩුවේ දෙවැනි විත්තිකරු වන ලුතිනන් කර්නල් රණසිංහ යටතේ සේවය කර ඇති මොහු කියන්නේ නාවික හමුදාව සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් මරා දැමූ බවයි. ඉන්පසු මුහුදට ගෙන ගොස් දැමූ බවයි. පසුගිය ආණ්ඩුව පැවැති කාලයේ සුදු වෑන්වලින් පැහැරගත් පුද්ගලයන් මරා, ගල් ගැට ගසා මුහුදට දැමූ බවට කතා තිබිණි. මේ නාවික සෙබළා එය ඇත්ත බවට පත් කර තිබේ.

ලුතිනන් කර්නල් වෙලගෙදර

TrincoArt05“.... නැගෙනහිර බුද්ධි අංශය අධීක්ෂණය කළ නඩුවේ දෙවැනි විත්තිකරු ලුතිනන් කර්නල් රණසිංහගේ දෙවැනි නිලධාරියා ලෙස කටයුතු කර ඇත. විශේෂ බුද්ධි ඒකකය භාර ව කටයුතු කර ඇත්තේ ඩී.කේ.පී.දසනායක බව පවසා තිබේ. ........ අලි අන්වර්, රජීව් නාගනාදන්, ජෝන් රීට් කඳවුරේ සිටි බවත් ..... අලි අන්වර්ගේ හිසේ පහර දීමකින් ඇති වූ තුවාල දක්නට ලැබූ අතර, ප්‍රතිකාර කිරීම සඳහා සෙනෙවිරත්න නිලධාරියාට දැනුම් දුන් බවත් ප්‍රකාශ කර ඇත. දිනක් රාත්‍රියක ගන්සයිඞ් තුළ පුද්ගලයන් කිහිපදෙනකු මරා දමා ඇති බවට තොරතුරු ලැබුණු බවත්, එය පරීක්ෂා කිරීමට ගන්සයිඞ් තුළට පැමිණීමේ දී පොලිතින් උරවල ඔතන ලද මළ සිරුරු බවට විශ්වාස කරන සිරුරු කිහිපයක් කැබ් රථය තුළ තිබූ බවත්, ගාමිණී ඇතුළු තවත් කිහිපදෙනකු තවත් එවැනි ම පොලිතින්වලින් ආවරණය කරන ලද මළ සිරුරක් කැබ් රථයට දමමින් සිටි බවත්, මෙලෙස පෙර දින රාත්‍රියේ මරා දමා ඇත්තේ කොළඹින් පැහැරගත් පුද්ගලයන් බවට තමන් විශ්වාස කරන බවත්....”

ඒ ඉහත කී නාවික සෙබළාගේ කතාව ලුතිනන් කර්නල්වරයකු විසින් ද තහවුරු කරන අවස්ථාවකි. මේ ලුතිනන් කර්නල්වරයා අදාළ කඳවුරේ බුද්ධි අංශයේ දෙවැනියා ලෙස කටයුතු කර තිබේ. මේ අපරාධයේ තරම වැටහේද?

සමාජය අවුරුදු නවයක් තිස්සේ ගණන් නොගෙන සිටියේ මේ සා බරපතළ අපරාධයකි. ඒ අම්මලා වියළුණු බලාපොරොත්තු සහිත දෑස්වලින් වැටෙන කඳුළු අතරින් උසාවියේ විනිසුරු අසුන දෙස බලා සිටියේ යුක්තිය අපේක්ෂාවෙන් ය. එහෙත් සියල්ල හුඟක් ප්‍රමාද ය. ඒ අම්මලාගේ දරුවන් තවත් නැත. අඩු තරමේ ඔවුන්ට යුක්තිය ඉටු කර දෙන්නට මේ ආණ්ඩුව මැදිහත් විය යුතුය. නීතිපති දෙපාර්තමේන්තුවේත්, නාවික හමුදාවේත් වටවංගු ගැහිල්ල නතර කරන්නට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට හැකි විය යුතුය. ඔවුන් බලයට ආවේ මේ අම්මලාටත් යුක්තිය ඉටු කර දෙන බවට පොරොන්දු ලබා දෙමින් ය. එහෙත් තවදුරටත් ඔවුන් ඒවා ඉටු නොකරන්නේ නම්, මිනීමරුවන් රකින්නට ඍජුව හෝ වක්‍රව උදව් කරන්නේ නම් ඔවුන්ගේ ඉරණම ද යහපත් නොවනු ඇත. 2020 ඡන්ද දිනන්නට දේශප්‍රේමී කතිර අපේක්ෂාවෙන් පමණක් කටයුතු කරන්නට ගියහොත් අල්ලපු අත්තත්, පය ගහපු අත්තත් යන දෙක ම නැති වන එක සිකුරු ය.

ශාලික විමලසේන 

ඡායා - අජිත් සෙනෙවිරත්න

Latest Posts

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...
ශ්‍රේෂ්ඨාධිකරණයටත් උඩින් ගිය පාසල් මාෆියාවේ හිරවුණු එකේ පැටව්! ශ්‍රේෂ්ඨාධිකරණයටත් උඩින් ගිය පාසල් මාෆියාවේ හිරවුණු එකේ පැටව්! 2017-08-31 - ජනප්‍රිය පාසල්වලට ළමුන් ඇතුළත් කර ගැනීමේ මාන...

කතුවැකිය

කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! 2017-09-25 - ශිල්පීය නිපුණත්වය සහිත ශ්‍රම බළකායක් නැතිකමෙහි...
කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය 2017-09-19 - ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය ...
කතුවැකිය: V 2025ට මිෂන් එකක් අවශ්‍යයි කතුවැකිය: V 2025ට මිෂන් එකක් අවශ්‍යයි 2017-09-11 - විෂන් 2025 නමින් යුත් රජයේ ඒකාබද්ධ ආර්ථික වැඩ සටහන...

Face Book Setup 01