රාජපක්ෂලා සහ රාජ+පක්ෂලා තවදුරටත් බේරන්නේ ඇයි?

විශේෂාංග
Typography

සියල්ල සිදුවෙමින් පවතින්නේ මන්දගාමීව ය. අලුත් ආණ්ඩුව බලයට පත්වන කාලයේ තිබූ උනන්දුව වෙනුවට දැන් දූෂණ විරෝධී ලේකම් කාර්යාලය අහෝසි කරන තැනට වැඩ හැදී අවසන් ය. එහෙත් වින්දිතයන්ට බලාපොරොත්තු අත්හළ හැකිද?

 

පැහැරගෙන ගොස් අතුරුදන් කළ ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ කියන්නේ ඒ කතාව ය. බොන්නට පිරිසිදු වතුර ඉල්ලූ නිසා හමුදාව ලවා වෙඩි තබා මැරූ දරුවන්ගේ අම්මලාගේ ඇස් කියන්නේ ඒ කතාව ය. නාවික හමුදාවෙන් කප්පම් ගැනීමට පැහැරගත් තරුණයන්ගේ අම්මලා සතිපතා උසාවි ගාණේ හූල්ලන්නේ අඩු තරමේ තමන්ගේ දරුවන්ගේ මළමිනී දැකගන්නට ය.

ඒත් මේ ආණ්ඩුවේ ඇමැතිවරුන් මෙන් ම පොලීසියේ ඇතැම් ඉහළ නිලධාරීන් ද ඒ අම්මලාගේ ගිනි නිවන්නට සූදානම් නැත. මරා දැමූ මිනිසුන්ට පණ දිය නොහැකිය. එහෙත් අඩු තරමේ ඔවුන් මිය ගිය බව ඒත්තු ගන්වන්නට මේ පරීක්ෂණ කරන පිරිස් අසමත් ය. අසූ අට - අසූ නවය කාලයේ අතුරුදන් වූ තරුණයන් සොයන අම්මලා තවමත් සිටිති. තාත්තලා තවමත් ඔවුන් එන පෙරමඟ බලති.

ප්‍රගීත් එක්නැළිගොඩ නඩුවේ දී යුද හමුදාව තවදුරටත් අධිකරණයෙන් ඇතැම් කරුණු වසන් කරන්නට උත්සාහ ගනිමින් සිටී. පසුගිය සතියේ අධිකරණයට පැමිණි යුද හමුදාවේ විනය ආරක්ෂක ප්‍රධානියා වගකීම් විරහිත ප්‍රකාශ රැසක් කර තිබිණි. ඔවුන් මීට පෙර ද ගිරිතලේ යුද හමුදා බුද්ධි කඳවුරේ වාහන පිළිබඳ තොරතුරු ලබා දීම පවා මඟහැරියේය. ඊට උල්පන්දම් දුන් බවට චෝදනා එල්ල වූ එවකට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වාට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය හිමි විය. ඒ සේනාධිනායකතුමන්ගේ සැලකුම් ය.

එක්නැළිගොඩ මාධ්‍යවේදියා එල්ටීටීඊ ත්‍රස්තවාදියකු කරන්නට යුද හමුදා බුද්ධි අංශය දන්නා දහංගැට සියල්ල දැම්මේය. ඒත් අන්තිමේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් තහවුරු කළේ ඔහු කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ නැති බවයි. 2010 ජනවාරි 24 වන දා පැහැරගෙන ගොස් අතුරුදන් කළ ප්‍රගීත් පිළිබඳ පරීක්ෂණ ‘දේශප්‍රේමයේ’ සහ ‘රණවිරු’ කඩතුරාවලට වැසී යන්නට ඉඩ දිය හැකිද?

මේ ප්‍රශ්නය ම රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් ද ඇසිය යුතු ම ය. ලංකාවේ අංක එකේ කෝටිපති ව්‍යාපාරිකයාගේ පැත්ත ගත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බොන්නට පිරිසිදු වතුර ඉල්ලූ ජනතාවට හමුදාව ලවා වෙඩි තිබ්බේය. මේ සිද්ධියට අණ දුන් බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන අත්අඩංගුවට ගත්තේ මාධ්‍යවලින් සහ සමාජයෙන් ආ බලපෑම තීව්‍ර වීමත් සමඟ ය. රාජ්‍යතාන්ත්‍රික සේවයේ සිටි බ්‍රිගේඩියර්වරයා ලංකාවට ගෙන්වන්නට තරම්වත් උනන්දු නොවූ ආණ්ඩුව ඔහුගේ වසර දෙකක සේවා කාලය අවසන්ව මෙරට ට එනතුරුම බලා සිටියේය.

මේ වන විට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හමුදා සෙබළුන් තිදෙනකු සහ බ්‍රිගේඩියර්වරයා රිමාන්ඞ් කර ඇත. මේ හමුදා සෙබළුන් අනාවරණය කරන්නේ තමන් අහසට වෙඩි තැබූ බවකි. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත යුතු තවත් පිරිස් සිටින බවත්, ඔවුන් සම්බන්ධයෙන් ඉදිරියේ දී අධිකරණයට හෙළිදරව් කරන බවත් මේ සෙබළු හෙළි කරති. මිනිසුන් සිටින දෙසට වෙඩි තැබුවා කියන්නේ ඒ කියන පිරිස් ය. එහෙත් අපට විනිශ්චයක් ලබා දිය නොහැක.මේ අතර බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනට අණ දුන් ඉහළ නිලධාරියා වන බ්‍රිගේඩියර් ශාන්ත දිසානායක ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු රැසක් හෙළි කර ඇත. ඒ අතර රතුපස්වල ඝාතනයට අණ දුන්නේ කවුද, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඊට මැදිහත් වුණේ කෙසේද යන කරුණු ද අන්තර්ගත බව හෙළි වේ. මේ කරුණු දන්නා තවත් පිරිසකගෙන් ප්‍රශ්න කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවසර ඉල්ලා තිබිණි.

වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ ලැයිස්තුගත සමූහ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් සාක්ෂි-සාධක සහිතව මේ වන විට හෙළිදරව් වී තිබේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ අතිශය මන්දගාමී තත්ත්වයක පැවතීම නිසා අභියාචනාධිකරණයේ පෙත්සමක් ද ගොනු කෙරිණි. සිද්ධියේ ඇසින් දුටු සාක්කිකරුවකු වන සුදේශ් නන්දිමාල් විසින් අදාළ පරීක්ෂණ කඩිනම් කරන්නැයි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මේ පෙත්සම ගොනු කර ඇත. මේ පෙත්සම ගොනු කිරීමත් සමඟ කලබල වී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුන් වන වරටත් ඔහුව දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ මේ පිළිබඳව ප්‍රකාශයක් සටහන් කරගන්නට ය.

එසේ ම මේ සිද්ධිය සම්බන්ධයෙන් හමුදාවේ ඉහළ ම නිලධාරියකු ඉදිරි සති කිහිපය තුළ දී අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද හෙළි වේ. එසේ ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට පත්වීමට නියමිත බව එම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි. මේ කොන්ත්‍රාත් ඉටු කළ ඇච්චන් ය. ඒ ඇච්චන්ට කොන්ත්‍රාත් දුන් ලොක්කා කවුද?

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ නොදැනුවත්ව මෙවැනි සමූහ ඝාතනයක් සිදු විය හැකිද? 2012 නොවැම්බර් 09 වන දා මේ සිද්ධිය සිදුවීමෙන් පසු ඒ ආණ්ඩුව යටතේ ගත වූ අවුරුදු තුනක කාලය තුළ මීට අදාළ ව කිසිවක් සිදු වූයේ නැත. ඒ වෙනුවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක රංගජීව වැන්නන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණේ තමන් ඔවුන්ට වැඬේ දුන් බවයි. මේ සම්බන්ධයෙන් අදාළ ඇසින් දුටු සාක්කිකරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවස්ථා තුනක දී ප්‍රකාශ ලබා දී තිබේ.

මේ ආණ්ඩුව යටතේ ගත වූ අවුරුදු දෙකක කාලය තුළ දී ද වැලිකඩ ලැයිස්තුගත සමූහ ඝාතනය සම්බන්ධයෙන් පත් කළ කොමිසමේ වාර්තාව පවා යට ගැසීය. එවැනි තත්ත්වයක් තුළ මේ හදිසි ඇහැරීම වැදගත් ය. එහෙත් මේ පිරිස් ඩීල්වලින් තොරව දිගටම ඇහැරවාගෙන සිටීම අභියෝගයකි. ඒ අභියෝගයට මුහුණ දෙමින් සිටියදීය, හදිසියේම අදාළ ඇසින් දුටු සාක්කිකරුවාට සහ ඔහුගේ නීතීඥවරයාට මරණ තර්ජන එල්ල කරන්නේ. පසුගිය 11 වන දා පස්වරු 7.45 ට පමණ නාඳුනන පුද්ගලයන් මෙසේ දුරකථනයෙන් මරණ තර්ජන එල්ල කරමින් පවසා ඇත්තේ වහාම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කතා කිරීම සහ සාක්කි දීම නවත්වන ලෙස ය. ඊට අදාළ ව තිස්සමහාරාම පොලීසියේ සහ නිට්ටඹුව පොලීසියේ පැමිණිලි දෙකක් දමා තිබේ. ඒ පැමිණිලිවලට අදාළව ද මෙතෙක් කිසිවක් සිදු වී නැත. මතක තබාගන්න, මේ ආණ්ඩුව යටතේත් ඔවුහු තර්ජනය කරමින් සිටිති.

කප්පම් ගන්නට තරුණයන් 11 දෙනකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළ ව නාවික හමුදාවේ කොමදෝරු ඩී.කේ.පී.දසනායක ද අත්අඩංගුවට ගැනිණි. මේ සම්බන්ධයෙන් ‘සත්හඬ’ පසුගිය සතියේ සම්පූර්ණ හෙළිදරව්වක් කළ අතර, ඉන්පසුව ද නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී.දසනායක මේ සිද්ධියෙන් ගැලවෙන්නට දහංගැට රැසක් දැම්මේය. ඔහු තමන්ගේ හිතවත් ආණ්ඩුවේ ප්‍රධානීන්ට, මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ට කතා කරමින් තමන් බේරාගන්නා ලෙස ඉල්ලා තිබිණි. කෙසේ වෙතත් අවසානයේ දී මේ සියල්ල සිදු වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් පස්සේ සිටින බව දැනගත් ඔහු වැලිසර නාවික රෝහලේ ඇඞ්මිට් විය. එහෙත් කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නියෝග ලබා දුන්නාය.

කොමදෝරුවරයා දිගින් දිගටම මේ සිද්ධිය තම පහළ නිලධාරීන් පිටින් යවා අත පිසදා ගැනීමේ තියරියක නිරත වී සිටියේය. එහෙත් බුද්ධි නිලධාරීන් කළ බවට චෝදනා එල්ල වී ඇති මේ අපරාධය තමන් නොදන්නා බව බුද්ධි ඒකකය භාර ව සිටි ප්‍රධානියාට පැවසිය හැකිද?

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මල්වතු-අස්ගිරි මහනාහිමියන් මුණගැසී පවසා තිබුණේ මාසයක් තුළ තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවයි. ඒ නම් වැළපිල්ලකි. එහෙත් අපරාධ කළ හෝ අපරාධවලට නියෝග දුන් හෝ අපරාධකරුවන් ආරක්ෂා කළ හෝ අයකු එසේ වැළපුණු පළියට බේරා ගෙදර යැවිය හැකිද?

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර නම් කියා තිබුණේ රාජපක්ෂලාට සමාව දෙන්නට හැකි කතාවකි. ඒ ආණ්ඩුවේ ඉන්න කාලයේ සියල්ලට හිස නමාගෙන සිට මේ ආණ්ඩුවෙත් ඇමැතිකම් කරමින් සිටින අමරවීරලාට එසේ සමාව දෙන්නට හැකි වුවද, මේ රටේ සිටින ලක්ෂ ගණනක් වන වින්දිතයන්ට එසේ කළ හැකිද?

ඒ වැරදි පූර්වාදර්ශය දෙන්නට ගෝඨාභයලාගේ ආණ්ඩුවේ අපරාධවල වින්දිතයන් සූදානම් නැත.

...............................

මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අධිකරණයට වාර්තා කර ඇති කරුණු ය. කීත් නොයාර් මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් දරුණු ලෙස පහර දෙන්නේ ඔහු තම ‘සෙන්පති’ ආරක්ෂක ලිපිය මඟින් ඇත්ත ලියූ නිසා ය. යුද්ධයේ ඇතැම් ව්‍යාජ තැන් ගැන හෙළිදරව් කළ නිසා ය. එක් නිශ්චිත දුරකථන ඇමතුමක් ඒ මොහොතේ නොපැමිණියේ නම්, ඒ ඇමතුම එන්නට ප්‍රමාද වූයේ නම් කීත් තවදුරටත් ජීවතුන් අතර නොසිටින්නට ද ඉඩ තිබිණි. ඔවුන් කළ කොන්ත්‍රාත්වල තරම එයාකාර ය. මේ කොන්ත්‍රාත් ඉටු කළ පිරිස්වලට කීත් සමඟ කිසිදු තරහක් තිබුණේ නැත. ඔවුන් කීත් ලියූ කරුණු ගැන ඇතැම් විට දැන සිටින්නට ද නැත. එහෙත් ඔවුහු නියෝග ඉටු කරන්නට බැඳී සිටියහ. නියෝග ඉටු කරන්නට බැඳී සිටියා කියනවාට වඩා, අපරාධ බව දැන දැනම ඔවුහු තමන්ට ලැබෙන වරප්‍රසාද ගැන සිතමින් ඒවා කළහ. ඒ නිසා කොන්ත්‍රාත් දුන් සහ කොන්ත්‍රාත් ඉටු කළ දෙපිරිසටම එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය.

අප අමතර කිසිවක් ලියන්නේ නැත. මේ කරුණු එකින් එක විග්‍රහ කරගැනීමේ දී ඔබට සැබෑ අපරාධකරුවන් මුණගැසේ. යහපාලන ආණ්ඩුව ද ඔවුන් ව රකී. මේ ඩීල් සංස්කෘතිය පරාජයට පත් කළ යුත්තේ ඒ නිසා ය.

  •  ‘ද නේෂන්’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ව සිටි මාධ්‍යවේදී කීත් ලෙරෝයි නොයාර් මහතා ව, ඔහු පදිංචි ව සිටි අංක 52, වෛද්‍ය පාර, දෙහිවල නිවස ඉදිරිපිට දී 2008 මැයි 22 වන දින පැහැරගෙන යාම සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී..... නිවසට පැමිණ කාර් රථයෙන් බැස ගේට්ටුව විවෘත කරන අවස්ථාවේ දී සුදු පාට වෑන් රථයකින් බැස පැමිණි අය පිස්තෝල සහ පොලුවලින් පහර දුන් බවත්..... ඔවුන් ඔහු ව වෑන් රථයකට දමාගත් බවත්, එහි දී ඇස් බැඳ දෑත් පිටුපසට තබා හෑන්ඞ්කප් දැමූ බවත්, රුපියල් 2,000 ක් තිබූ පර්ස් එක ද ලබාගත් බවත්, රන් පවුමක පමණ මුද්ද පිස්තෝලයෙන් ගැසූ කෙනා ගත් බවත් ..... වෑන් රථය තුළ දී ද පහර දී ඇති අතර, පැයක පමණ කාලයක් ගමන් කර නැවත බැස්සවූ බවත්, අත් විලංගුවලට හරහට පොල්ලක් දමා පොල්ලෙන් උස්සාගෙන ගිය බවත්, ලොකු කාමර සහිත නිවසකට ගෙන ගොස් ඇඳුම් ගලවා පහර දුන් බවත්..... එල්ටීටීඊ එකත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියා විමසූ බවත්, උඹට පත්තරේ දමන්න තොරතුරු දෙන්නේ කවුද යනුවෙන් විමසූ බවත්, ඉන්පසුව එතැනට කෝල් එකක් ලැබුණු බවත්, ඉන්පසුව දුරකථනයට කතා කළ කෙනා තමන් ළඟට ඇවිත් ඇඳුම් ඇඳගන්නා ලෙසත්, මඩ හෝදාගන්නා ලෙසත් පැවසූ බවත්..... ඉන්පසුව නැවත වෑන් රථයක නංවාගෙන ඇස් බැඳ රැගෙන ඇවිත් තැනකට දමා මේක කාට හරි කියලා තිබුණොත් මරනවා යනුවෙන් තර්ජනය කර මුදාහැර ඇත.
  •  ‘ද නේෂන්’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලලිත් අලහකෝන් මහතා හා රිවිර මීඩියා කෝපරේෂන්සමාගමේ සභාපති වූ ක්‍රිෂාන්ත කුරේ විසින් ..... දරන දුරකථනයෙන් එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතා වෙත ඇමතුම් ලබාගත්තත්, එතුමා සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ නිසා එවකට ආරක්ෂක ලේකම් ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ..... දරන දුරකථනයට කතාකොට “මම ලලිත් අලහකෝන් කතා කරන්නෙ. නේෂන් පුවත්පතේ කීත් නොයාර්ව පැහැරගෙන ගිහින් තියෙනවා. පැහැරගැනීම කරලා තියෙන්නෙ ආමි කොමාන්ඩෝ එකෙන්” බව පවසා ඇත. එහි දී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් “මගේ ආමි කොමාන්ඩෝට ඇඟිල්ල දික්කරන්න එපා. ඕක ගෑනු කේස් එකක්” යනුවෙන් පවසා ඇත. පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් පවසා ඇත්තේ “ඔතැනට දැන් සීසීඩී එකේ ඩිරෙක්ටර් (කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ) එනවා. එයා ඕක බලයි” යනුවෙන් දැනුම් දී තිබේ.
  • ..... එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානායක මහතා කීත් නොයාර්ගේ නිවසට පැමිණ ලලිත් අලහකෝන් මහතාගෙන් විස්තර විමසා ඇති අතර, එහි දී අනුර සේනානායක මහතා විසින් පවසා ඇත්තේ “ඔය මනුෂ්‍යයා පැය දෙකකින් විතර එයි. මම ඕකට ටීම් එකක් දාලා ඉන්වෙස්ටිගේෂන් කරනවා” යනුවෙනි.
  • ලලිත් අලහකෝන් මහතා විසින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට දුරකථනයෙන් අමතා මේ පිළිබඳව දැනුම් දීමෙන් පසු සිදු වූ දුරකථන සංවාදයන් පිළිබඳව විමර්ශන පවත්වන ලදී.
  1. එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ භාවිතා කළ අංක ..... දරන දුරකථනයෙන් එවකට පොලිස්පති ජයන්ත වික්‍රමරත්න භාවිතා කළ ..... අංක දරන දුරකථනයට රාත්‍රී 11.36 ට ඇමතුමක් ලබාගෙන ඇත. ඉන්පසුව ආරක්ෂක ලේකම්වරයා භාවිතා කළ දුරකථනයෙන් රාත්‍රී 11.39 ට ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ භාවිතා කළ ..... අංක දරන දුරකථනයට ඇමතුමක් ලබාගෙන ඇත.
  2. ආරක්ෂක ලේකම්වරයා විසින් පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා වෙත මේ ගැන දැනුම් දීමෙන් පසු පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානායකගේ නිවසේ අංක ..... දරන දුරකථනයට රාත්‍රී 11.51 ට දුරකථනයෙන් සම්බන්ධ වී ඇති බවත්.
  3. ඉන්පසුව ජාතික බුද්ධි ප්‍රධානී භාවිතා කළ ..... දරන දුරකථනයෙන් රාත්‍රී 11.41 ට එවකට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂව සිටි එවකට බ්‍රිගේඩියර් අමල් කරුණාසේකරට යුද හමුදාව මඟින් ලබා දී ඇති ..... අංක දරන දුරකථනයට ඇමතුමක් ලබා දී ඇත.
  4. යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ අමල් කරුණාසේකර විසින් ඔහු භාවිතා කරන ලද ..... අංක දරන  දුරකථනයෙන් ත්‍රිපෝලි කඳවුරේ පිහිටුවා තිබූ යුද හමුදා බුද්ධි අනුඛණ්ඩයට යුද හමුදාව මඟින් නිකුත් කර තිබූ ..... දරන දුරකථනයට රාත්‍රී 11.47 ට ඇමතුමක් ලබාගෙන ඇත. මේ වන විට අමල් කරුණාසේකරගේ දුරකථනය ජාවත්ත ප්‍රදේශයේ තිබී ඇති අතර, ත්‍රිපොලි කඳවුරට ලබා දී තිබූ දුරකථනය මල්වාන ප්‍රදේශයේ තිබී ඇත. (කීත් නොයාර්ව රැගෙන ගොස් ඇත්තේ මල්වාන ප්‍රදේශයට බව හෙළි වී තිබේ.)
  5. බුද්ධි අධ්‍යක්ෂ අමල් කරුණාසේකර විසින් ඔහුට ලබා දී තිබූ දුරකථනයෙන් ත්‍රිපොලි කඳවුරේ පිහිටුවා තිබූ බුද්ධි අනුඛණ්ඩයේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කළ මේජර් බුලත්වත්ත (දැනට රිමාන්ඞ්භාරයේ සිටින) විසින් ඔහුගේ නමින් ලබාගෙන තිබූ ..... අංක දරන දුරකථනයට රාත්‍රී 11.48 ට ඇමතුමක් ලබාගෙන ඇත. ඒ වන විට මේජර් බුලත්වත්තගේ දුරකථනය තිබී ඇත්තේ මල්වාන, දෙකටන ප්‍රදේශයේ ය. (එනම් කීත් නොයාර් පැහැරගෙන ගිය බවට හෙළි වී ඇති ප්‍රදේශයයි.)

.....................................

ශාලික විමලසේන

Latest Posts

කතාබහ

සියලු අවුල් ‘ඒකීය’ මනෝභාවය නිසා - පා. ම. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සියලු අවුල් ‘ඒකීය’ මනෝභාවය නිසා - පා. ම. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න 2017-07-19 - වසර දෙකකට විතර පසුවත් ව්‍යවස්ථා සම්පාදන ක්‍...
මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ, මූලධර්මවාදී ලිබරල් ක්‍රමයක් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ, මූලධර්මවාදී ලිබරල් ක්‍රමයක් 2017-07-19 - වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ...

විශේෂාංග

සයිබර් අවකාශය තුළ තාරුණ්‍යයේ නිදහස සීමා නොකළ යුතුයි සයිබර් අවකාශය තුළ තාරුණ්‍යයේ නිදහස සීමා නොකළ යුතුයි 2017-07-20 - සයිබර් අවකාශය තුළ තාරුණ්‍යයේ අදහස් ප්‍රකාශ ක...
රාජපක්ෂලා සහ රාජ+පක්ෂලා තවදුරටත් බේරන්නේ ඇයි? රාජපක්ෂලා සහ රාජ+පක්ෂලා තවදුරටත් බේරන්නේ ඇයි? 2017-07-17 - සියල්ල සිදුවෙමින් පවතින්නේ මන්දගාමීව ය. අලුත්...
විද්‍යා, සාමයත් බිහිසුණුයි! අපි කුමක් කරමුද? විද්‍යා, සාමයත් බිහිසුණුයි! අපි කුමක් කරමුද? 2017-07-12 - යාපනයේ විද්‍යා සිසුවිය ඝාතනය රටේ බහුලව අසන්නට...

කතුවැකිය

විකල්ප නැතුව ආකල්ප ඉදිරිපත් කිරීමේ විපාක විකල්ප නැතුව ආකල්ප ඉදිරිපත් කිරීමේ විපාක 2017-07-17 - පොලිතින් සහ ප්ලාස්ටික් තහනම සැප් 01 දා සිට ක්‍...
විෂය ප්‍රදේශ ඉක්මවා රාජ්‍ය පාලනයට අකුල් හෙළීම විෂය ප්‍රදේශ ඉක්මවා රාජ්‍ය පාලනයට අකුල් හෙළීම 2017-07-10 - බුද්ධාගමට ප්‍රමුඛ තැන ලැබිය යුතුය යන වගන්තිය...
ආණ්ඩුව, සිවිල් සංවිධාන සහ මොළය අමාරුකාරයෝ - කතුවැකිය ජුලි 02 ආණ්ඩුව, සිවිල් සංවිධාන සහ මොළය අමාරුකාරයෝ - කතුවැකිය ජුලි 02 2017-07-05 - ලංකාවේ සිවිල් සංවිධාන නියෝජිතයෝ, ආණ්ඩු බලයට පත්...

Face Book Setup 01