වමට වැඩක් දීම : රම්පෙ කරපිංචා වීම ඔස්සේ පැමිණි ගමනක නිමාව

විශේෂාංග
Typography

වමට වැඩක් දුන්නේ කවුද යනුවෙන් ප්‍රශ්නයක් පසුගිය සති අන්තයේ කවුරු හෝ ඇසුවා නම් ලැබෙන්නට නියමිත පිළිතුර වූයේ රනිල් යන්නය. ඒ අගමැතිවරයා පසුගිය සතියේ වමට වැඩක් පවරා තිබුණු නිසාය. පවරා තිබුණු වැඬේ ඉතා වැදගත්ය. එය නම් මෙරට සංහිඳියාවට බාධා කරන ජාතිවාදී, ආගම්වාදී බලවේග මතවාදි තලයේ මැඩලීමය. නැතහොත් පරාජය කිරීමය. තම කැබිනට්ටුවේ වුව ජාතිවාදී බලවේග මතුවුවහොත් ඒවා නොපැකිලව මැඩලන ලෙස අගමැති වමේ නායකයන්ගෙන් ඉල්ලා තිබුණි. වම වෙනුවෙන් ආචාර්ය වික්‍රමබාහු එම ඉල්ලීම පිළිගෙන තිබුණි.

 

ඇත්තටම රනිල් වමට වැඩක් භාර දුන්නේ වම කිසිම වැඩක් නොකර උසස් පෙළින් එෆ් තුනක් ගත් කොල්ලෙක් වගේ ඉගෙන ගන්නේත් නැතුව රස්සාවක් කරන්නේත් නැතිව රස්තියාදු ගසමින් සිටි නිසාද? 1930 දශකයේ සිට මේ දක්වා වමට වැඩක් තිබුණේ නැද්ද? ලංකා සමසමාජ පක්ෂය ඇරඹුණේ 1935 දීය. කොමියුනිස්ට් පක්ෂය ඇරඹුණේ 1943 දීය. මේ දෙපිරිසම 1977 වනතුරුම ලංකා දේශපාලනයේ කෙරුම්කාරයෝ වී සිටියහ. එස්.ඒ. වික්‍රමසිංහ, ඇන්.ඇම්, කොල්වින්, ලෙස්ලි ආදීන්ට ධනපති පන්තියේ නායකයෝ වැඩ පවරන්නට නොගියහ. ඍජුවම වැඩ නොපැවරුවත් 70 දක්වාම මැතිවරණවලින් පසුව ධනපති නායකයෝ වමෙන් සූක්ෂ්මව වැඩ ගත්හ. ප්‍රධාන නිදර්ශන දෙකක් මෙබඳුය. සභාග ආණ්ඩුවලට පොලඹවා ගැනීම ඉන් එකකි. එමඟින් විශේෂයෙන්ම ශ්‍රීලනිපය (අමරසේකරට අනුව කවන්ධයට) තමාට නැති සුපිරි ඔළු ගෙඩි විටින් විට හයිකර ගත්තේය. ඒ හැරුණු විට ශ්‍රීලනිපයත් කෝෂ අර්ථයක් රහිත වමේ පක්ෂයක් ලෙස සමාජගත වුණේය. වමෙන් ගත් දෙවැනි වැඬේ ධනපති පංතියට ඕනෑ කරන ව්‍යවස්ථාවක් ජනරජ ව්‍යවස්ථාව නමින් සම්පාදනය කරවා ගැනීමය. භාෂා දෙකක් නම් එක් රටක් සහ භාෂා එකක් නම් රටවල් දෙකක් යන අදහස දැරූ ඉදිරිගාමී වමේ නායකයා සිංහලත් බුද්ධාගමත් අධිනිශ්චය කෙරුණු රට බෙදන ජාතිවාදී ව්‍යවස්ථාවක් ධනපති පංතියට සම්පාදනය කර දුන්නේය.

47 ප්‍රථම මැතිවරණයේ දී වමේ බලවේග කණ්ඩායම්වාදය හැරපියා බරපතළ ලෙස වමේ දේශපාලනයෙහි ප්‍රකාශිත අරුත් යථාර්ථයක් කිරීම ගැන සිතුවා නම් මෙරට ප්‍රථම ආණ්ඩුව පිහිටුවීමට වමට හැකියාව තිබුණි. එහෙත් යමුනා සාකච්ඡාව නමින් ප්‍රසිද්ධ වූ එච්. ශ්‍රී නිශ්ශංකගේ නිවසේ පැවති වමේ ආණ්ඩුවක් පිහිටුවීමේ සාකච්ඡාව ඉතා කනගාටුදායක ලෙස බිඳ වැටුණි. එම සාකච්ඡාව බිඳවැටුණේ රට පිළිබඳව හෝ දේශපාලන අනන්‍යතාව පිළිබඳ තීරණාත්මක හා ශුද්ධ වූ හේතු මත නොවේ. එජාපය ආණ්ඩුවක් හදනවාට එරෙහිව නොව ඔවුන් අභ්‍යාස කළ වමේ දේශපාලනයෙන් ජනයාට ලැබිය හැකි වෙතැයි උපකල්පනය කළ සුපුෂ්පිත ජීවිතය ගැන අදහසක් ඇති පිරිසක් යමුනා සාකච්ඡාවට එකතු වූවා නම් ආරම්භයේදීම ධනවාදයට වැඩක් දෙන්නට තිබුණි. මේ අවස්ථාව අතහැරීමෙන් පසු වමට සිදු වූයේ සභාග ආණ්ඩුවල ඇමැති ධුර දෙක තුනකින් සෑහීමකට පත්වන්නටය. රෙද්ද අස්සේ හැංගුණා, සාරි පොටේ එල්ලුනා යනාදී අවර ගණයේ විවේචනවලට ලක් වන්නටය. එමෙන්ම ඔවුහු සභාග ආණ්ඩුවේ නොසලකා හැරීමට ඉක්මනින් ලක් වන පිරිසක් බවට ද පත්වූහ. 70 ආණ්ඩුවේ දී ඒ තත්ත්වය හොඳින්ම අත්විඳීමට ලැබුණු අතර පරිවාස ආණ්ඩුව මෙන්ම රාජපක්ෂගේ ආණ්ඩුවේදී ද ඒ අමිහිරි අත්දැකීම මෙරට වාමාංශිකයන්ට නොඅඩුව ලැබුණි. පරිවාස හා රාජපක්ෂගේ ආණ්ඩු කාලය වන විට සමසමාජ කොමියුනිස්ට් දෙකේ කොළේට වැටී සිටි අතර ජවාධික ජවිපෙ සභාගවාදයේ වම නියෝජනය කරන කරපිංචා ගානට පත්ව තිබුණි. මේ සභාග නාඩගමෙන් වමේ පක්ෂ ‘බල්ලා මාක්’ වූ අතර අගමැතිගෙන් වැඩක් ඉල්ලා ගන්නා මට්ටමට ඔවුන් පත්ව ඇත්තේ වමේ නයුවන් තම තමා පෞද්ගලිකව හා පොදුවේ කරන ලද ඓතිහාසික වැරදි ගණනාවක් හේතුවෙනි.

වම යනු අනන්‍ය දේශපාලන ව්‍යාපෘතියක් තිබිය යුතු ව්‍යාපාරයකි. එහෙත් ලෝකයේ ඇති හොඳම පාලන ක්‍රමය සමාජවාදය නොවේ. සමාජවාදය හෝ කොමියුනිස්ට් තත්ත්වය කෘත්‍රිමව කිසියම් බලයක් යොදා අල්ලාගෙන සිටිය යුතු වේදිකාවකි. එසේ පැවැත්ම සඳහා බලයක් යොදාගෙන අල්ලාගෙන නොසිටිය යුත්තේ ස්වභාවවාදයයි. ඒ අනුව ධනවාදය ලෝකයේ ඕනෑම අසීරු තත්ත්වයක් යටතේ ස්වභාවවාදය ලෙස ක්‍රියා කරනු ඇත. සාමාන්‍ය ජනයා කැමැති දේවල් ඔවුන්ගේ ආශා, අභිලාෂ ධනවාදයෙහි පවතී. රුසියානු සමූහ ගොවිපළේ අතිරික්ත අස්වැන්න සමූහාණ්ඩුවට දෙන එක නරක නැත. එමඟින් රාජ්‍යය ධනවත් කළ හැකිය. එහෙත් සමාජවාදය තුළ දිගටම මේ වැඬේ කරන්නට නිෂ්පාදන ක්‍රියාවලියෙහි නිමග්න ප්‍රජාව කැමැති වන්නට විදියක් නැත. එහෙත් ධනවාදය බදු අයකරනවාට ජනයා යම් මැසිවිල්ලක් නැගුවත් එය ඔවුහු නීත්‍යානුකූල තත්ත්වයක් ලෙස සලකති. සමාජවාදය මෙන් ඉවර නොවී ධනවාදය පවතින්නේ එම ව්‍යුහයේ ඇති ස්වභාවවාදී ලක්ෂණ නිසාය. එහෙත් ධනවාදයත් ලොව හොඳම පාලන ක්‍රමය නොවේ. ලොව හොඳම පාලන ක්‍රමය බිහි කරගත හැක්කේ ධනවාදය ප්‍රජාතන්ත්‍රීයකරණයට ලක් කිරීමෙනි. රනිල් වමෙන් ඉල්ලා සිටින්නේ මේ වැඬේ කර දෙන ලෙසය. ඔහුගේ කැබිනට්ටුවේ අය ජාතිවාදී වනවා නම් රනිල් අනුදක්නා ධනවාදය තුළ ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නට විදියක් නැත. ආගම්වාදී වනවා නම් ඒත් එසේමය. ජාතිවාදයට එරෙහි වන ලෙස රනිල් බාහුලාට කියන්නේ ඒ අරුතිනි.

ඇත්තටම දැන් වමට කරන්නට වැඩක් ඉතුරු වී නැති නිසා, වමේ බලයක් ගොඩනගනවා කියන විට ජනයා සිනාසෙන නිසා වමට රනිල්ගේ යෝජනාව ගැන සිතා බැලිය හැකිය. ජවිපෙ තවමත් ඒ කියන තැනට මුළුමනින් නොපැමිණියත් තිස්ස විතාරණලා, වාසුලා ජාතිවාදයට දක්වන සහායට විකල්පව බාහුට ජාතීන් අතර සමගියට කපන පාරෙහි ගලක්, මුලක් උදුරා සහාය දැක්විය හැකිය.

විමලනාත් වීරරත්න

Latest Posts

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? 2017-10-09 - 1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්...
දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...

කතුවැකිය

කතුවැකිය-ඇත්තටම උරණ වියයුත්තේ කවුද?  කතුවැකිය-ඇත්තටම උරණ වියයුත්තේ කවුද? 2017-10-16 -  නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පක්ෂව අත ඔසවන්නේ...
කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! 2017-09-25 - ශිල්පීය නිපුණත්වය සහිත ශ්‍රම බළකායක් නැතිකමෙහි...
කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය 2017-09-19 - ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය ...

Face Book Setup 01