හොර දෙටුවා කුණකටුවා දේශපාලනයෙන් බැහැර වෙමු

විශේෂාංග
Typography

හුණුවටයේ කතාව නම් නාට්‍යය නැරඹු ඔබට  “අප්පා උඹේ හොර දෙටුවා අම්මා හරිම කුණකටුවා” වූ නිසා ළමයාට සිදුවූ දේ මතක ඇතුවා නොඅනුමානය. මතකය නිවැරදි නම් කාටත් ඒ ගැටුමෙන් පසුව දරුවා අමතක විය. ගෘෂා නොහිටින්න ළමයාට කුමකින් කුමක්වේ දැයි හිතන්නවත් බැරිය.

 

ප්‍රිය පාඨකය දැන් හුණුවටයේ කතාව සමඟ මේ පුර්විකාව තබා දාර්ශනික නොවන්න. ඒ වෙනුවට මේ වචන දෙස බලා ඔබේ දෛනික ජීවිතය දෙසට හැරෙන්න. විශේෂයෙන් ඔබ දේශපාලනයට උනන්දු නොවූවත් බලහත්කාරයෙන් ඔබ වෙත කඩා වැදුණු,  දේශපාලන පොරපිටිය උණුසුම් කළ සහ මේ වන විටත් ඒ උණුසුම පහව නොගිය කාරණා සිහිකරන්න.   

මීතොටමුල්ල කුණු ප්‍රශ්නයේ සිට පැමිණියත් උමා ඔය, සයිටම් ප්‍රශ්නය, හම්බන්තොට වරාය, ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඇතුළු මාතෘකා ගණනාවක් එකවිට පැමිණ දේශපාලන පොරපිටිය උණුසුම් කර ඇත. බැලූ බැල්මට ඒවා දේශපාලන පොරපිටියේ න්‍යාය පත්‍ර කළමනාකරණය කිරීමේ ප්‍රයත්න ලෙස පෙනී ගියත් ඒ සියල්ලේ මුල් ඇත්තේ මෙරට ආර්ථිකය මුහුණ දී සිටින බහුවිධ සහ බරපතළ ආර්ථික අභියෝගය තුළය. නමුත් ගැටලුව වී ඇත්තේ “අප්පා උඹේ හොර දෙටුවා” ලෙස පැවති පාලනය වෙතත්,  “අම්මා හරිම කුණකටුවා” ලෙස පවතින පාලනය වෙතත් එල්ලකර ගන්නා සරල හා ග්‍රාම්‍ය දේශපාලන විවේචනයන්වලට ජන මනස  සීමා වී පැවතීමය.

ඒ පසුබිමේ අපේ මේ සුදානම වාමාංශික, දක්ෂිනාංශික, ජාතිකවාදී,  ආදී ආර්ථික ප්‍රතිපත්ති ගැන දේශපාලකයින් කොතරම් පාරම් බෑවත් රට අතිශය දරුණු ආර්ථික අභියෝගයක් හමුවේ ඇති බව පෙන්වා දීමටය.

2015 වසරේ ආණ්ඩු පෙරළිය සිදුවන විටත් මෙරට ආර්ථිකය පැවතියේ අතිශය දුෂ්කර තත්ත්වයකය. රාජ්‍ය මූල්‍ය අංශය සැලකීමේ දී රාජ්‍ය ආදායම පැවතියේ අඛණ්ඩව පහළ අගයක් වාර්තා කරමින්ය. එනම් රටේ ආදායමට සාපේක්ෂව රජයේ ආදායම 1990 වර්ෂයේ දී 21%ක් වූ නමුත් 2014 වන විට එම තත්ත්වය 11.4% දක්වා අඩුවී ඇත. එහි වාර්ෂික වැඩිවීම ද ප්‍රතිශතාත්මකව සැලකිය යුතු මට්ටමකින් අඩුව තිබේ. ඒ අනුව රාජ්‍ය ආදායම 2006 වසරේ රුපියල් බිලියන 478ක් ලෙස 25.8%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති නමුත් 2014 වසරේ රුපියල් බිලියන 1195ක් සහිතව එහි වාර්ෂික වර්ධනය සටහන් වූයේ 5.1%ක් වශයෙන්ය. එසේම මේ කලාපයේ රාජ්‍යයන් අතර අඩු ආදායමක් ලබන රට බවට ද මෙරට පත්ව ඇත. රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගෙන සැලකීමේ දී මාලදිවයින 2000 වසරේ දී 25.1%ක්, 2005 දී 31.9%ක්, 2010 දී 21.7%ක්, 2014 දී 32.3% ලෙස අත්කර ගෙන ඇත. ඉන්දියාව    2000 වසරේ දී 17.4%ක්, 2005 දී 19.1%ක්, 2010 දී 18.8%ක්, 2014 දී 19.4% ලෙස අත්කර ගෙන ඇත. බංග්ලාදේශය 2000 වසරේ දී 8.5%ක්, 2005 දී 9.4%ක්, 2010 දී 10.0%ක්, 2014 දී 10.9% ලෙස අත්කර ගෙන ඇත. නමුත් ඊට සාපේක්ෂව ලංකාව ලබා ගෙන තිබෙන්නේ 2000 වසරේ දී 14.5%, 2005 දී 13.7%ක්, 2010 දී 11.3%ක්, 2014 දී 10.1% ක් වශයෙනි. ඒ අනුව රාජ්‍ය බදු ආදායම පවා අප රට අඩුකරගෙන ඇති බව ඉතා පැහැදිලිය.

ඊට සාපේක්ෂව මෙරට රාජ්‍ය වියදම් ද රාජ්‍ය ආදායමට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් ගෙන ඇති අතර එය රටට නොගැළපෙන වර්ධනයක් සහිතව පවතින බව  ද සංඛ්‍යා දත්ත නිරීක්ෂණයේ දී පෙනී යයි. මෙරට ආදායම් සහ වියදම් අතර පරතරය හරහා ඒ බව ඉතා පහසුවෙන් තේරුම්ගත හැකිය. ඊට අනුව 2000 වසරෙ දී මෙරට රාජ්‍ය ආදායම් සහ වියදම් අතර පරතරය රුපියල් බිලියන 125ක් වූ අතර එය 2004 වසරේ දී රුපියල් බිලියන 165ක් වී ඇත. එසේම 2007 දී රුපියල් බිලියන 277ක්, 2009 දී රුපියල් බිලියන 502ක්, 2012 දී රුපියල් බිලියන 505ක්, 2013 දී රුපියල් බිලියන 532ක් සහ 2014 දී රුපියල් බිලියන 601ක් ලෙස එය වර්ධනය වී ඇත.

මෙසේ රාජ්‍ය ආදායම සහ වියදම අතර පරතරය වැඩිවන අතර මෙරට ආර්ථිකයට කොහෙත්ම දරාගත නොහැකි තත්ත්වයක් ඇති කළේ රාජ්‍ය ආදායම මුළුමණින්ම පාහේ ණය ආපසු ගෙවීම් සඳහා වැයකරන්නට සිදුවීමය. දත්තමය වශයෙන් ඒ වැඩිවීම මෙසේ දක්වන්නට පුළුවන. එනම් 2006 වසරේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 478ක් වන විට මුළු ණය ආපසු ගෙවීම් වෙනුවෙන් රුපියල් බිලියන 345ක් ගෙවන්නට රජයට සිදු විය. එම තත්ත්වය පසුව 2008 දී රාජ්‍ය ආදායම රුපියල් බිලියන 655ක් වන විට මුළු ණය ආපසු ගෙවීම් වෙනුවෙන් රුපියල් බිලියන 593ක්, 2010 දී රාජ්‍ය ආදායම රුපියල් බිලියන 817ක් වන විට මුළු ණය ආපසු ගෙවීම් වෙනුවෙන් රුපියල් බිලියන 820ක්, 2012 දී රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1051ක් වන විට මුළු ණය ආපසු ගෙවීම් වෙනුවෙන් රුපියල් බිලියන 1017ක්, 2014 දී රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1195ක් වන විට මුළු ණය ආපසු ගෙවීම් වෙනුවෙන් රුපියල් බිලියන 1069ක් වශයෙන් ඉතා විශාල වර්ධනයක් සිදු විය.

Economic crisis table

එසේම රජයේ පුනරාවර්තන වියදම් අඛණ්ඩව ඉහළ යාමක් ද පසුගිය කාලයක පටන් පෙන්නුම් කර ඇත. ඒ 2000 වසරේ රුපියල් බිලියන 254ක්, 2002 දී රුපියල් බිලියන 331ක්, 2004 දී රුපියල් බිලියන 390ක්, 2008 දී රුපියල් බිලියන 744ක්, 2010 දී රුපියල් බිලියන 937ක්, 2012 දී රුපියල් බිලියන 1131ක්, 2014 දී රුපියල් බිලියන 1323ක් වශයෙනි. මුදල් අමාත්‍යාංශයේ ආරංචිමාර්ග අනුව නම් 2000 සිට 2014 දක්වා කාලය තුළ පුනරාවර්තන වියදම් වාර්ෂිකව 13% කින් පමණ වර්ධනය වී ඇති අතර ඒ තුළ සිදුවූ වඩාත් සුවිශේෂී තත්ත්වයක් නම් වැටුප්, සහ ණය පොලී ගෙවීම සඳහා පමණක් පුනරාවර්තන වියදම්වලින් 66%ක් වෙන් කරන්නට සිදුවී ඇත.

එසේම රාජ්‍ය වියදම් වැඩිවීම කෙරෙහි සුභසාධන සහ සහනාධාර අංශයන්ගේ සිදුවූ වර්ධනය ද හේතුවී ඇත. 2000 වසරේ දී විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 22ක්, 2007 දී එය රුපියල් බිලියන 69ක් හා 2014 වන විට එය රුපියල් බිලියන 127 දක්වා වර්ධනය වී ඇත. සමෘද්ධිය සඳහා 2000 වසරේ රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති අතර එය 2014 වන විට රුපියල් බිලියන 15ක් දක්වා වර්ධනය වී ඇත. පොහොර සහනාධාරය සඳහා 2000 වසරේ රුපියල් බිලියන 2ක් වෙන් කරන විට එය 2007 දී රුපියල් බිලියන 11ක් සහ 2014 දී එය රුපියල් බිලියන 32ක් දක්වා වර්ධනය වී ඇත. මේ ආකාරයෙන් සහනාධාර සහ පැවරුම් වෙනුවෙන් 2000 වසරේ දී රජය රුපියල් බිලියන 52ක් වය කරන අතර එය 2007 දී රුපියල් බිලියන 147 ක් දක්වාත් 2014 වන විට රුපියල් බිලියන 318ක් දක්වාත් වර්ධනය වී ඇත.

මේ ආකාරයෙන් එක් පසෙකින් රාජ්‍ය ආදායම ක්‍රමිකව පහළ වැටෙන පසුබිමේ සමස්ත රාජ්‍ය ආදායමට සාපේක්ෂව පුනරාවර්තන වියදම් අධික ලෙස ඉහළ යාම පෙරළා ආර්ථිකයට කරන බලපෑම සුළුපටු නැත.

ඒ පසුබිමේ මෙරට ආර්ථිකය අරඹයා තවදුරටත් අහිතකර තත්ත්වයක් මතු කළේ රාජ්‍ය ප්‍රාග්ධන වියදම් අඩු වීමය. රටේ සමස්ත වියදම් හා සැසඳීමේ දී 2000 වසරේ දී රාජ්‍ය ප්‍රාග්ධන වියදම 6.4%ක් ව ඇති නමුත් එය 2014 වසරේ දී 4.7%ක් දක්වා පහළ වැටී ඇත. එම දත්ත කියාපාන්නේ රාජ්‍ය වියදම්වලින් ප්‍රාග්ධන වියදම් සඳහා රජයට වෙන් කරන්නට හැකිව තිබෙන්නේ කාලක් පමණ වන ප්‍රමාණයක් පමණක් වන බවය. දළ දේශීය නිෂ්පාදිතයට අනුව ප්‍රතිශතයක් ලෙස දැක්වුවොත් ආර්ථික සහ සේවා අංශයට 2009 වසරේ 5.3%ක් වෙන් කර ඇති නමුත් 2014 වන විට එය 3.2%ක් දක්වා අඩුවී ඇත.

වාර්ෂිකව එම තත්වයන් පවතින විට ආර්ථිකයේ  වර්ධනය වූ බරපතළ ගැටලුවක් වූයේ රාජ්‍ය ණය ඉතා සීග්‍රයෙන් වැඩිවීමය. විශේෂයෙන්ම 2005 - 2014 කාලය තුළ මුළු ණය බරතාවය 233%කින් ඉහළ ගොස් ඇත.  එසේම 2005 - 2010 කාලය තුළ තත්ත්වය ඉතා බරපතළ වී ඇත. ඒ 1980 සිට 2004 දක්වා සමස්ත ණය රුපියල් බිලියන 2140ක් වූ නමුත් 2005 දී එය රුපියල් බිලියන 2222ක් වී 2010 වන විට එම ප්‍රමාණය රුපියල් බිලියන 4590ක් දක්වා වර්ධනය වීමය. 2014 වසර අවසානයේ එය සටහන් වූයේ රුපියල් බිලියන 7391ක් වශයෙන්ය.

විශේෂයෙන්ම මේ කාලය තුළ රටේ ආර්ථිකයට අදාළ ක්ෂේත්‍රයන් හී සංදර්ශනාත්මක ගොඩනැඟීම් පෙනෙන්නට ඇත. හිටපු ආණ්ඩුව අදටත් පාරම්බාන්නේ ඒ ගැන සිහිකරමින්ය. රටේ මිනිස්සු පේන්න තිබුණ සංවර්ධනය කියන්නේ ද ඒකටය. සැබවින්ම ඒ තුළ විශාල  ව්‍යාපෘති තිබූ බව ඇත්තය. එහෙත් ගැටලුව වන්නේ ඒවා පෙරළා ආර්ථිකයට දායක වන්නට ගතවන කාලය සහ ඒ සමහර ව්‍යාපෘති කොතරම් ඵලදායී කාර්යයයක් ආර්ථිකයට ඉටුකලා ද යන්නය. මේ සියල්ල මහා පරිමාණ විදෙස් ණය ගැනීම් හරහා සිදුකර ඇත. නිදර්ශන ලෙස සලකනවා නම් හම්බන්තොට වරාය  2016 වසර වන විට  වාර්තා කර ඇති සමුච්ජිත අලාභය රුපියල් බිලියන 46.0කි. මත්තල ගුවන්තොටුපළ 2016 වසර අග වන විට රුපියල් බිලියන 8.3ක සමුච්ජිත අලාභයක් වාර්තා කර ඇති අතර මිහින් ලංකා සමාගම 2016 වසර අග වන විට රුපියල් බිලියන 17.3ක සමුච්චිත අලාභයක් වාර්තා කොට ඇත. එසේම 2017 මාර්තු වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ද රුපියල් බිලියන 169ක සමුච්චිත අලාභයක් වාර්තා කොට තිබේ. මෙවැනි ඌන ඵලදායී ආයෝජන  සැබවින්ම ආර්ථිකය නැංවීමට හේතු ලෙස පවතින්නේ නැත. එය සේවය කළේ  රාජ්‍ය මූල්‍ය සම්පාදනයේ ආවස්ථික පිරිවැය ඉහළ දමන්නටය.

ඒ තුළ තවත් සඳහන් කරන්නට තවත් බොහෝ ව්‍යාපෘති ඇතත් මේ ඊට අවස්ථාව නොවේ.

ඒ ඊට වඩා වැදගත් දෙයක් මේ තුළ කතා කරන්නට ඇති නිසාය. එනම් මේ සියලු තත්ත්වයන්ගේ පෙළ ගැස්ම විසින් මේ වන විට ඉදිරි වසර කිහිපය තුළ මෙරට ලබා ගෙන ඇති  විදේශ ණය සඳහා පොලී සහ වාරික ගෙවීම  මෙරටට දැරිය නොහැකි අතිශය දුෂ්කර මට්ටමකට පත්ව තිබීමය. මුදල් අමාත්‍යාංශයේ නිකුත්ව ඇති අභ්‍යන්තර වාර්තාවක් අනුව නම් වත්මන් ණය ගෙවීම් සමඟ සංසන්දනය කරන විට 2019 - 2022 කාල සීමාව තුළ වාර්ෂික විදේශ ණය ගෙවීම්  දෙගුණයකින් වර්ධනය වී ඇත. දත්ත වශයෙන් දක්වනවා නම් 2015 ට පෙර ලබා ගෙන ඇති විදෙස් ණය සඳහා වාරික සහ ණය පොළී ගෙවීම් සඳහා 2017 වසරේ දී ඇමරිකන් ඩොලර් මිලියන 2417ක්, 2018 වසරේ දී ඇමරිකන් ඩොලර් මිලියන 2564ක්, 2019 දී ඇමරිකන් ඩොලර් මිලියන 3992ක්, 2020 දී ඇමරිකන් ඩොලර් මිලියන 3463ක්, 2021 දී ඇමරිකන් ඩොලර් මිලියන 3453 ක්, 2022 දී ඇමරිකන් ඩොලර් මිලියන 3842ක් ගෙවීමට මෙරටට සිදුව ඇත.

 එම වාර්තාව සැකසීම සඳහා 1980 වර්ෂයේ සිට මේ දක්වා ඇති විදේශීය ණය වාර්තා පදනම් කරගෙන ඇති අතර 2024 දක්වා සිදුකළ පුරෝකථනයක් ලෙස එය ඉදිරිපත් කර ඇත.

එසේම 2015 වසරට පෙර ලබාගත් විදේශ ණය පියවීමේ දී එය මෙරට විදේශ සංචිත කෙරෙහී බරපතළ  පීඩනයක් එල්ල කරනු ඇති බව ද එම වාර්තාවේ සඳහන්ය. ඊට අනුව  විදේශ සංචිතවලට සාපේක්ෂව මෙරට විදේශ ණය ගෙවීම් ප්‍රතිශතය 2014 වසරේ දී 17%ක අගයක් ගත් නමුත්  2019 දී  එය 37%ක් දක්වා ඉහළ යන තත්ත්වයක් ඇත.

මෙසේ විදෙස් සංචිත තර්ජනයට ලක් වීම වෙනුවෙන් ලංකාවේ අපනයනය දිගින් දිගටම පහළ යාම බලපා ඇත. 2000 වසරේ අපනයනය මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 33%ක ප්‍රතිශතයක් පෙන්වූ නමුත් 2005 වසර වන විට එය 26%ක ප්‍රතිශතයක් දක්වාත් 2014 වන විට 14%ක් දක්වාත් පහත වැටී ඇත. දැන් යුරෝපා ඨීඡ ¤ සහනය නැති වීම ආර්ථිකයට බලපෑමක් කළාද නොකළා ද යන්න අමුතුවෙන් කිවයුතු නැත. කර ඇති වාර්තාවට අනුව 2010 - 2012 කාලය තුළ පැවති ආර්ථික වර්ධනය  2013 - 2014 යන වර්ෂවල දී සීඝ්‍රයෙන් පහළ ගොස් ඇත. ඒ තුළ නව රජය පාලනය බාරගන්න අවස්ථාව වන විට මෙරට  ආර්ථිකය රාජ්‍ය මූල්‍ය අංශයෙන් පමණක් නොව සෑම අංශයකම පැහැදිලි කඩා වැටීමක් නිරීක්ෂණය කරන්නට පුළුවන.

සාරාංශයක් ලෙස දක්වනවා නම් රාජ්‍ය මූල්‍ය තුළ ආදායම් පහළගොස් රාජ්‍ය ණය බර දැරිය නොහැකි තැනකට පැමිණ ඇත. ඊට ඵලදායී නොවූ රාජ්‍ය ආයෝජනයන් සහ අකාර්යක්ෂම සුබසාධන වැඩසටහන් විශාල දායකත්වයක් සපයා ඇත. එසේම පරිභෝජනයක් මුල්කරගත් ආර්ථිකයකට සීමාවීම, පෞද්ගලික අංශයේ ආයෝජන අඩුවීම, ණය නිකුත් කිරීම් ඵලදායී නොවීම, අවිධිමත් විනිමය පාලනය, අපනයන පහළ යාම, ආනයන ඉහළයාම, කෙටිකාලීන ආයෝජන ප්‍රවාහයන් මත සිටීම්, ජාත්‍යන්තර සංචිත ණය මත පවත්වා ගැනීම විශේෂ මෙහෙයක් කර ඇත.

ඒ අනුව නම් 2015 ආණ්ඩු පෙරළියට මේ කිසිවක් එක් සැණින් වෙනස් කළ නොහැකි බව ඇත්තය. 2015 වසර අවසානයේ ඇමරිකන් ඩොලර් මිලියන 5029ක් පමණ වූ මෙරට විදේශ සංචිතය 2016 වන විට පවතින්නේ ඇමරිකන් ඩොලර් මිලියන 4529ක ය.

කෙසේ වුවත්  විශේෂයෙන්ම රටක ණය ජාතික ආදායම ඉක්මවූ පමණින් එරටේ ආර්ථිකය කඩා වැටෙන්නේ නැත. එය ජාතික සමාජවාදීන් කියන ප්‍රලාපයක්ය. නැතිනම් ජාතිකවාදයෙන් සමාජවාදය වෙන් කරගන්නට නොහැකිවීමේ බුද්ධිමය සීමාවක්ය. ඇත්තටම ධනවාදී ජපානයේ පමණක් නොව ඇමරිකා එක්සත් ජනපදයේ සහ සිංගප්පුරුවේ පවා ජාතික ණය එරට ආදායමට වඩා ඇති බවට වාර්තා පලව තිබේ. මෙසේ වූ විට එම රාජ්‍යයන් අනුගමනය කරන සාමාන්‍ය පිළිවෙත නම් බදු ආදායම් වැඩිකර ගැනීමය. එහෙත් ඊට සීමාවක් ඇත.  එසේම එහි දී අලුතින් මුදල් නෝට්ටු මුද්‍රණය වැනි  සහ බැඳුම්කර හරහා ආර්ථික අර්බුදයෙන් පියමන් කරන්නට රාජ්‍යයන් උත්සාහ කරයි. මෙහි ද සීමා පවතී. මීට තවත් විකල්පයක් නම් රජයේ සුරැකුම්පත් විකිණීමය. එහි දී ද අනිවාර්යයක් වන  අධි - උද්ධමනය හමුවේ එය ද සීමා කරන්නට අදාළ රාජ්‍යයට සිදුවේ.

එහෙත් විදේශ සංචිත සමඟ ඇති අභියෝගයෙන් පිටමං වෙන්නට එය ප්‍රමාණවත් නැත. ඒ සඳහා ඩොලර් අවශ්‍යය. පවතින අර්බුදය කියාපාන්නේ තවදුරටත් විදෙස් වහල් සේවයට යොදවා ඇති කාන්තා ශ්‍රමිකයන් මුලික විදෙස් ගත ශ්‍රමිකයන් එවන ඩොලර්වලින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට නොහැකි බවය. ඒ තුළ ආනයන වියදම පියවා ගන්නට නොහැකි නම් අනිවාර්යයෙන් ගෙවුම් ශේෂ අර්බුදයට මුහුණ දීමට රජයකට සිදුවේ. එහෙයින් රාජ්‍ය ණය සහ ගෙවුම් ශේෂ අර්බුදය යන්න එකක් නොව දෙකක් බවත් පළමුවැන්න තරම් දෙවැන්න සරල නොවන බවත් රජය තේරුම් ගත යුතු අතර අර්බුදයෙන් පිටමං වීමට හැකිවන්නේ එවිටය. ඇත්තටම වත්මන් ආණ්ඩුව ජනතාවෙන් කොටසකගේ විරෝධය හමුවේ වුවත්, ආණ්ඩු අභ්‍යන්තරයේ යම් විරෝධතා මධ්‍යයේ වුවත් හම්බන්තොට වරාය, ශ්‍රී ලංකන් ගුවන් සේවය, ත්‍රිකුණාමය තෙල් ටැංකි ඩොලර් සමඟ ගනුදෙනු කරන්නට යන්නේ ඒ වෙනුවෙන්ය. ඇත්ත කතාව නම් ආණ්ඩුව මෙන්ම රටත් උග්‍ර ඩොලර් පිපාසයකින් පෙළෙයි. මේ හමුවේ සම්ප්‍රදායික වම උරණ වූවාට කරන්නට දෙයක් නැත. මහින්ද පන්සල් ගොස් කියන දේශපාලන බණ ද අර්ථ විරහිතය. මන්ද ඔහු කියන්නෙ කරගෙන ආව විදිහට කරා නම් මේ අර්බුද නැති බවය. එහෙත් ඒ කරගෙන ආව හරිය ගැන ද නිදර්ශන ඉහත ඇති නිසා ඒ හිත හදාගන්න කියන සිත නිවන කතාය.  2015 ට පෙර ගත් ණය සහ එහි ණය පොලී වාරික පවා ගෙවීමේ අර්බුදය ඊට සාක්ෂි දරනවාය. සැබවින්ම මේ මොහොතේ ප්‍රශ්නය ඇත්තේ ඩොලර්වලය. ඒ වෙනුවෙන් කෙක්කෙන් හෝ කොක්කෙන් ඩොලර් සෙවීමටත් ඒ අතර තුර තරගයට ලබා දුන් රාජ්‍ය සේවක පත්වීම්, වැටුප් වැඩිකිරීම් ඇතුළු එදා වේල දේශපාලනය ද රැක ගන්නට ආණ්ඩුවට සිදුව ඇත. නව ආදායම් බදු පනත ගෙන ඒම හරහා  වක්‍ර සහ සෘජු බදු ලෙස ප්‍රමාණාත්මකව පිළිවෙළින් 20% 80% මට්ටමේ පවතින  විෂම පැවැතීම සියයට 40, සියයට 60 මට්ටමට රැගෙන ඒම ට ආණ්ඩුව උත්සාහ කරනුයේත්, හම්බන්තොට ඇතුළුව ඇතැම් ආර්ථික මර්මස්ථාන ඩොලර් වෙනුවෙන් බදු දීමටත් ආණ්ඩුව කැස කවන්නේ ඒ වෙනුවෙන්ය. එසේම දැනටත් ආණ්ඩුව තුළ ඔඩුදුවා ඇති කොමිස් සහ රාජ්‍ය මූල්‍ය දුෂණය වීම් වලකා ගන්නට ආණ්ඩුව කඩිනමින් කටයුතු කළ යුතුව ඇත. අනෙක් අතට කර්මාන්ත සහ සේවා අංශයේ ආයෝජන ඉහළ නංවා ගැනීම කෙරෙහි ද ආණ්ඩුව මීට වඩා කැපවිය යුතුය. ඉතින් දැනට ළමයා බේරා ගන්නට ගෘෂා එසේය. වෙනත් විකල්පයක් මේ යන ක්‍රමයට නැත. එහෙයින් ජනතාව තීන්දු ගත යුත්තේ “අප්පා උඹේ හොර දෙටුවා අම්මා හරිම කුණකටුවා” වූ නිසා ළමයා අතරමං කිරීමටද? ජනතාව නොදැන සිටියත් මේ මොහොතේ ළමයාගේ තැන සිටින්නේ ජනතාවය. එහෙයින් අප අදහස වන්නේ මේ පසුබිමේ දාර්ශනික වනවාට වඩා ප්‍රායෝගිකවීම මේ පසුබිමේ වැදගත් වන බවය. මන්ද කවුරුත් දාර්ශනික වන්නේ ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් පමණක් වන නිසාය. ජනතාවනි, 2018 බලශක්ති අර්බුදය ද එකතුව විදෙස් ණය ගෙවීමේ අර්බුදය රැගත් බහුවිධ ආර්ථික අර්බුදයක්  දැන් ඔබ වෙත පැමිණෙමින් ඇත. ඉහත සංඛ්‍යා දත්ත කියාපාන්නේ මේ ඵලයට හේතුව ඊට උඩින් නොව කාලාන්තරයක වූ සිදුවීම් පෙළක් විසින් උදාකර ඇති බවය, ඉතින් ඔබ තවදුරටත්  “අප්පා උඹේ හොර දෙටුවා අම්මා හරිම කුණකටුවා” දේශපාලනයේ නවතිනවාද? තීන්දුව සහ ඒ වෙනුවෙන් තීරණ ගැනීම ඔබ සතුය.

කාශ්‍යප කොතලාවල 

Latest Posts

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? 2017-10-09 - 1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්...
දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...

කතුවැකිය

කතුවැකිය-ඇත්තටම උරණ වියයුත්තේ කවුද?  කතුවැකිය-ඇත්තටම උරණ වියයුත්තේ කවුද? 2017-10-16 -  නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පක්ෂව අත ඔසවන්නේ...
කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! 2017-09-25 - ශිල්පීය නිපුණත්වය සහිත ශ්‍රම බළකායක් නැතිකමෙහි...
කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය 2017-09-19 - ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය ...

Face Book Setup 01