සිඳී ගොසිනි ඇළ දොළ ගංගා -දනෝ යදිති දිය බිඳු ඉල්ලා

විශේෂාංග
Typography

සූර්යයා සිය ආධිපත්‍ය පතුරවමින් නැවතත් මුළු දෙරණතම ගිනියම් කරමින් සිටී. හිරුගේ අණසකට යටත් වෙමින් වැව්, පොකුණු, ගංගා ජලය සිඳී ගොස් ඇත. ජලය හිඟකමින් අක්කර දහස් ගණනින් ගොවිතැන් පාළු වී ගොස් තිබේ. සිය ජීවනෝපාය අහිමි වීම නිසා කරකියා ගත හැකි දෙයක් නොමැතිව දහස් ගණන් ගොවීන් අසරණ වී සිටිති. ඒ, මේ මොහොත වන විට අප රටේ තත්ත්වය එයයි.

මේ වන විට ලංකාවේ දිස්ත්‍රික්ක 17කට පමණ නියඟයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් එය හේතුවෙන් දිවයින පුරා පවුල් තුන් ලක්ෂයක සාමාජිකයන් මිලියනයකට වැඩි පිරිසක් (1222,872) පීඩාවට පත්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ. වසර මැද දී මෙවන් තත්ත්වයකට අපට මුහුණ දීමට සිදු වූයේ ඊසානදිග මෝසම් මාසයේ දී නිසි වර්ෂාව නොලැබී යාම නිසාවෙනි. එය හේතුවෙන් වියළි කලාපයෙන් නියඟය ආරම්භ විය. මෙවර ඇති වූ නියඟයෙන් වැඩි බලපෑමක් එල්ල වූයේ උතුරු පළාතටය. උතුරු පළාතෙන් පසුව නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලට නියඟයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ. අනෙක් කාරණය වන්නේ පවත්නා වියළි කාලගුණික තත්ත්වයත් සමඟ මෙම දිස් ත්‍රික් කවල බොහෝ ජල මූලාශ්‍ර සිඳී ගොස් ඇති නිසා පීඩාවට පත් ජනතාවට පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීම දැඩි අභියෝගයක් වී තිබෙන බවට පත්ව තිබීමයි.

පුත්තලමට උග්‍ර ජල හිඟයක්

පුත්තලම දිස්ත්‍රික්කයට මේ වන විට නියඟය ඇති වී මාස 6කට වැඩි කාලයකි. මෙම කාලය තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක බොහොමයක් වැව් සහ ළිං ඇතුළු ජල මූලාශ්‍ර සිඳී ගොස් ඇති අතර ජල බවුසර් යොදා ගනිමින් ජලය බෙදාහැරීමට සිදු වී ඇත. එහෙත් එලෙස ජලය ලබා ගන්නා ළිං තුළ ද ජල මට්ටම තවදුරටත් අඩු වුවහොත් ප්‍රදේශයේ ජනතාවට බරපතළ තත්ත්වයකට මුහුණ දීමට සිදු වනු ඇත. මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 16න් 13ක් ග්‍රාම නිලධාරී වසම් 132ක් පවුල් 46,531ක පුද්ගලයන් 164,463ක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 59,632ක පුද්ගලයන් 200,703දෙනෙක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

වැඩිම හානි උතුරට

පවතින නියං කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුරු පළාතේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 670ක පවුල් 145,802 අයත් පුද්ගලයන් 503,183ක පමණ පිරිසක් ජලය නොමැතිව පීඩාවට පත්ව ඇති බව දිස්තක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙවර නියඟයෙන් උතුරු පළාතේ වැඩිම බලපෑමකට ලක් වී ඇති දිස්ත්‍රික්කය වන්නේ යාපනය දිස්ත්‍රික්කයයි. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 267ක පවුල් 35,476ක පුද්ගලයන් 128,652 දෙනෙකු පීඩාවට පත්ව සිටිති.

එසේම උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 134ක පවුල් 35,730ක් පුද්ගලයන් 115,308 දෙනෙකු පීඩාවට පත්ව සිටිති. මුලතිව් දිස්ත්‍රික්කයේ නියඟයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටයි. උතුරු පළාතේ වවුනියා දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 102ක පවුල් 24,844 ක් පුද්ගලයන් 86,998 දෙනෙක් පීඩාවට පත්ව සිටිති. වවුනියාව දිස්ත්‍රික්කයේ නියඟය නිසා වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටයි. කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 95ක පවුල් 24,848 ක පුද්ගලයන් 87,124 දෙනෙක් පීඩාවට පත්ව සිටිති. මන්නාරම දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 77 ක් පවුල් 24,904 ක පුද්ගලයන් 87,124 දෙනෙක් පීඩාවට පත්ව සිටිති. කිලිනොච්චිය දිස් ත්‍රික් කයේ ග්‍රාම නිලධාරී වසම් 95 ක පවුල් 24,848 ක් පුද්ගලයන් 85,101 දෙනෙක් පීඩාවට පත්ව සිටිති. කිලිනොච්චියේ වැඩිම බලපෑම කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට් ඨාසයටය.

මේ අනුව දිස් ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ජලය බෙදාහැරීමේ කටයුතු සිදු කරයි. එසේම මේ වන විට නියඟය හේතුවෙන් උතුරු පළාතේ මහ කන්නයේ මෙන්ම යල කන්නයේ ගොවිතැන් කටයුතු අඩාල වී ඇති අතර අපේක්ෂිත අස්වැන්න ලබා ගැනීමට ද ගොවීන්ට අවස්ථාව අහිමි වී ගියේය.

නියඟයට හසු වූ උතුරු මැද

පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි නියං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරකට අයත් පවුල් 6,414 කට අයත් පුද්ගලයන් 23,337 ක පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටිති. මේ අතර පාසල් 11 ක සිසුන් 5,000කට අධික පිරිසක් ද පානීය ජලය නොමැතිකමින් පීඩා විඳින බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා 2017 ජූලි 22 දා නිකුත් කළ නිවේදනයට අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩිම ආපදාවට ලක්ව ඇත්තේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයි. එහි පවුල් 4336 කට අයත් පුද්ගලයන් 14935ක් නියඟයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. දිඹුලාගල, ඇළහැර සහ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ද නියඟයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව තිබේ. මේ වන විට දිස්ත්‍රික්කය පුරා පානීය ජල අවශ්‍යතා සැපිරීම සඳහා ජල බවුසර් 10ක් යොදාගෙන දිනකට ගමන් වාර දෙක බැගින් පානීය ජලය ලීටර් 110,000 ක් පමණ බෙදාහැරීමට කටයුතු කරන බවත් වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පමණක් පානීය ජල බවුසර් හයක් දෛනිකව සේවා සැපයීම සඳහා යොදවා ඇති බවත් සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පැවසීය.

උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 25,788ක පුද්ගලයන් 87,184 දෙනකු නියඟයෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්. එම්. වන්නිනායක මහතා සඳහන් කළේ මේ වන විට සමහර ප්‍රදේශවල මතුව ඇති පානීය ජල ගැටලුව විසඳීම සඳහා ජල බවුසර් යොදා ගනිමින් ජලය බෙදාහැරීමට කටයුතු කර ඇති බවයි. එසේම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් වගා හානි සිදු වූ ගොවීන් සහ වගා කිරීමට නොහැකි වූ ගොවීන් හට රුපියල් 10,000ක වන්දි මුදලක් ලබා දීමට කටයුතු කර ඇති බව ද ඔහු සඳහන් කළේය. එසේම මේ වන විට රජයේ දීමනාවක් ලබා දීම සඳහා ඉදිරියේ දී කටයුතු කරනු ඇති බව ඔහු පැවසුවේය. තවද නියඟය නිසා පසුගිය කන්න දෙකම මඟහැරී ගිය බව පැවසීය. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ වාරිමාර්ග ආශ්‍රිතව පසුගිය මාස් කන්නයේ දී සියයට 33 ක ප්‍රමාණයක් වගා කළ ද එයින් යම් ප්‍රමාණයක් ජලය නොමැති වීම නිසා විනාශ වී ගිය බවය. එසේම වගා කටයුතු සඳහා සූදානම් වීමේ දී හේන් ගිනි තැබීම ආදිය පදනම් කරගෙන මේ දිනවල නිතර කැලෑ ගිනි ගැනීම් පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් මේ කිසිවක් ඉබේ හට ගන්නා ගිනි නොව ජනතාව සිදුකරන ගිනි තැබීම් බව අනුරාධපුර ආපදා සහකාර අධ්‍යක්ෂවරයා පවසයි.

මේ අතර පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය යාල ජාතික වනෝද්‍යානයට ද බලපා තිබේ. මේ නිසා යාල කලාප අංක එක සහ දෙකේ පිහිටි වැව් මෙන්ම ආරවල් ද සිඳී ගොස් ඇති නිසා වන සතුන් දිය සොයා වැඩි වශයෙන් මැණික් ගඟට සහ කුඹුක්කන් ඔයට යාමට පටන්ගෙන ඇත. යාල කලාප අංක දෙකේ පිහිටි ජලය රැඳී පවතින, දිවුල්ගස්වැව, නබඩගස්වැව, බැද්දේතිරව වැව, තිරව වැව, මිල්ලන් වැව, ආගරගදුනේ වැව, ආගරවැව, ඉහළ මහ පිළින්නාව වැව, ඉහළ කුඩා පිළින්නාව වැව, කඩිය වැව, කොටමත්තේ පහළ වැව, තලන්තොට වැව, දිගනේ වැව, වඩුකන්බුදුම වැව, බෝගහවැව, රදාවැව, රුගම්වැව ආදී වැව් බොහොමයක් මේ වනවිට සිඳී ගොස් තිබේ.

එසේම දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 2,076ක පුද්ගලයෝ 8,190ක පිරිසක් නියඟයෙන් පීඩාවට පත්ව සිටිති. එසේම ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 10,493 ක පුද්ගලයන් 38,033ක පිරිසක් නියඟයට මුහුණ පා සිටිති. මීට අමතරව නැගෙනහිර පළාතේ මඩකළපුව, ත්‍රිකුණාමලය සහ අම්පාර යන දිස්ත්‍රික්ක තුනෙහිම ජනතාව නියඟයෙන් පීඩාවට පත්ව සිටී.

නියඟයට විසඳුම්

මෙවර නියඟය රටේ තුනෙන් එකක ජනතාවගේ ජීවිතවලට බලපා තිබේ. රටේ ආර්ථිකය, කෘෂිකර්මය නියඟය නිසා අඩපණ වී තිබේ. අතීතයේ දී මෙන් අහසින් වැටෙන සෑම ජල බිඳුවක්ම රැකගැනීමේ ක්‍රම අපට දැන් නැත. රටේ බලධාරීන්ට ද එවැනි වුවමනාවක් ඇති බව දකින්නට නැත. ඒ වෙනුවට ඔවුන්ට ඇත්තේ උමා ඔය බඳු අසාර්ථක ව්‍යාපෘතිය. ඉන් සිදු වන්නේ රටේ තෙත් කලාපය ද වියළි කලාපයක් බවට පත් වීමයි. එම නිසා සිඳී ගිය වැව්, ළිංවලින් ජනතාවට හෝ සතුන්ට තවදුරටත් ජලය නොලැබෙනු ඇත.

කෙසේ වෙතත් මේ ව්‍යසනය හේතුවෙන් ඇති වී තිබෙන ප්‍රශ්න විවිධාකාර වන අතර ඒවාට විසඳුම් සෙවීම ද පහසු වන්නේ නැත. මන්ද ඒ හේතුවෙන් මූලික මිනිස් අවශ්‍යතාවක් වන ජල අර්බුදයකට මුහුණ දෙන්නට සිදුව තිබීමය. එසේම ජල හිඟතාවය සහ වාරිමාර්ග පද්ධති සිඳී යාම නිසා වගාබිම් පාළු වීම අනිවාර්යයෙන් සිදු වන්නකි. ඊට අපට මුහුණ දෙන්නට වන්නේ අද හෙට නොවේ අනාගතයේදීය. මන්ද අද ගොවිබිම් විනාශ වීම නිසා ඉදිරියේ දී අපට ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වනු නිසැකය. මෙවර නියඟයෙන් වැඩිම හානි සිදුව තිබෙන්නේ අනුරාධපුර, පොළොන්නරුව, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, කුරුණෑගල, පුත්තලම, අම්පාර ආදී ප්‍රදේශවලටය. මෙම සියලුම ප්‍රදේශවල මෙවර කන්නය නිසි ලෙස සිදුකර ගැනීමට නොහැකිය. ඊට ප්‍රධානතම හේතුව වූයේ මෙම ප්‍රදේශවල වැව්වල ජලය සිඳී යාමයි. එසේම මෙවර වගා ළිංවල ද ජලය ලබා ගැනීමට විශාල පරිශ්‍රමයක් දරන්නට ගොවියාට සිදු විය.

බොහෝ විට ලංකාවට වර්ෂාව බලාපොරොත්තු විය හැක්කේ නිරිතදිග මෝසම සක්‍රීය වන නොවැම්බර් මාසයේය. එම නිසා ඒ පිළිබඳව අපට බලාපොරොත්තුවක් පමණක් තබාගත හැකිය. ඒ අනුව මේ වන විට අනුරාධපුර, පොළොන්නරුව, මුලතිව් ආදී ප්‍රදේශවලට වැසි ඇද හැලෙන්නට පටන්ගෙන ඇත. එහෙත් නියඟය අවසන් බව එයින් කියවෙන්නේ නැත. මන්ද මාස අටක පමණ කාලයක් පුරා මහ පොළොවෙන් හිරු උරාගත් සාරය නැවත පොළොවට එන්නට ඊට වඩා කාලයක් ගත වනු ඇත.

 ප්‍රදීපා වීරසේකර

ඡායා - අජිත් සෙනෙවිරත්න

Latest Posts

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? 2017-10-09 - 1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්...
දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...

කතුවැකිය

බීරවාදය බීරවාදය 2017-11-20 - 2017-11-19 සමහරු ව්‍යවස්ථාව එපා කියන ආකාරයෙන්ම බීර මිල...
පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක් පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක් 2017-11-15 - 2017-11-12 අයවැයේ ප‍්‍රධාන අරමුණක් ලෙස 2025 වන විට ලංකාව...
සයිටම්:සටන අත්හලේ යෝධයාය සයිටම්:සටන අත්හලේ යෝධයාය 2017-11-07 - 2017-11-05 සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය දුන් පිළිතුර...

Face Book Setup 01