පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද?

විශේෂාංග
Typography

දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට නැමුණු අත්තක් කපමින් සිටියේ එම අත්තේම වාඩිලාගෙනය. ඒ දුටු තවත් ගැමියෙකු ඔහුව ඇමතීය.

“ඒයි, මනුස්සයෝ, ඔහොම අත්ත කපන්න එපා. ඔය අත්ත ඔහොම කපපු ගමන් අත්ත එක්ක ඔහෙත් බිම”

ඒ ඇසුණු ගස කපමින් සිටි මිනිසා කළේ හැඳ සිටි අමුඩය ගලවා එය අත්තට තබා තදකොට ගැටගසාගෙන ගහේ අත්ත කැපීමට ගැනීමය.

එතැනින් ගිය තවත් ගැමියකු එම දසුන දැක නැවතත් ගස කපමින් සිටි ගැමියා ඇමතීය.

“ඔය බලනවා, ඔහොම අමුඩයත් ගහගෙන අත්ත කැපුවොත් දෙයියන්ටවත් ඔහේව බේරන්න වෙන්නෙ නෑ”

ගසේ අත්ත කපමින් සිටි ගැමියාට මේ කතාව ඇසීමෙන් හොඳටම කේන්ති ගියේය. “තමුසෙලා කියන කියන විදිහට මේ අත්ත කපන්න ගියොත් මං මැරෙනකල් අත්ත කපන්න වෙන්නෙ නෑ. මං අත්ත කපා ගන්නම්, තමුන් යන දිහාක ගියානම් තමයි වටින්නේ” කී ගැමියා දිගටම අත්ත කපන්නට විය.

ඊට ගස අසලින් ගිය ගැමියා පිළිවදන් දී ගියත් ගසේ සිටි ගැමියාට එය ඇසුණේ නැත.

මේ ලියන්න යන්නේ එවැනිම සිදුවීමක් ගැනය. කියන්න යන කතාව ද ඉහත කතාව මෙන්ය. එහෙත් ඉහත කතාව ශෝකාන්තයකින් අවසන් වුවත් ලියන්න යන කතාව අවසන් නැත. නැතිනම් මේ ඉහත කතාවම වෙනස් සන්දර්භයක ආරම්භ වෙන්නට යනවා පමණය. ඒ අනුව මේ ලිවීමේ අපේක්ෂාව අන් කිසිවක් නොව අවසානය ශෝකාන්තයක් වීම වළක්වා ගැනීමය.

වත්මන් කතාවට නිමිත්ත වන්නේ සත්හඬ පසුගිය සතියේ ද අනාවරණය කළ පුවතක්ය. එය අප අනාවරණය කර සිටියේ “දේශීය ආදායමේ කල්‍යාණි ආර්ථිකයේ බෝඞ් එකට ගේන තැතක්” යන ශීර්ෂයෙන් යුතුවය. එම ප්‍රවෘත්තිය හරහා අපි අනාවරණය කර සිටියේ මහා පරිමාණ බදු අක්‍රමිකතා සිදු කිරීමට සහාය දීම සම්බන්ධව චෝදනා රැසක් ඇති දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් කල්‍යාණි දසනායක ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ උපදේශක ආර්. පාස්කරලිංගම් මහතාගේ සහාය සඳහා උපදේශකවරියක ලෙස පත්කර ගැනීමේ සූදානමක් ඇති බවය. එසේම පත්වීම ලැබීමෙන් අනතුරුව ඇය පාස්කරලිංගම් මහතා නියෝජනය කර මුදල් අමාත්‍යාංශය ඇතුළු ආර්ථිකයට බලපාන අමාත්‍යාංශ සම්බන්ධීකරණය කිරීමට නියමිතව ඇති බවය.

එම පුවත පළකර සිටියත් තවදුරටත් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ කල්‍යාණි දසනායකට ඇති චෝදනා සියල්ල ‘මඩ’ ලෙස සලකා අදාළ පත්වීම සිදු කරන්නට යන බවය. එහෙයින් කරන්න යන කාර්යයේ අවධානම ගැන සවිස්තරව සාක්ෂි සහිතව ලියා වගකිව යුත්තන්ට දන්වන්නට අප තීරණය කළෙමු.

සැබවින්ම හිටපු දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියට අදාළව ඇති ප්‍රබලතම චෝදනාව වන්නේ මෙරට දැවැන්තම ව්‍යාපාරිකයන් සනසමින් ඔවුන්ගෙන් රජයට අය විය යුතු රුපියල් බිලියන ගණනක බදු ආදායම් මුදල් කපා හැර දැමීම සඳහා සිය බලතල යුතු ලෙස යොදා ගැනීමය. ඇය එම කාර්යයේ නිරතව ඇත්තේ කොමසාරිස් ජනරාල් ධුරයට පත්වීමට ද පෙර සිටය. අප පළමු හෙළිදරව් කිරීම ද ඒ ගැනය.

කැසිනෝ බදු සහනය

ප්‍රකට කැසිනෝ ව්‍යාපාරිකයකුගේ සමාජ ශාලාවලට අදාළව 2010 වසරේ ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු වැට් බදු මුළුමනින්ම අත්හිටුවීමට තීරණය කිරීම සම්බන්ධව කල්‍යාණිය චෝදනා ලබන්නේ විශාල බදු ගෙවන්නන්ගේ අංශ ප ්‍රධානී ලෙස කටයුතු කරන සමයේ දීය. ඒ සම්බන්ධව ඇය විසින් නිකුත් කළ ලිපිය අප සතුව ඇති අතර ඊට අනුව TIN - 409235220-7000 බදු ලිපි ගොනු අංකය යටතේ, අංක 6492075 යටතේ පළමු කාර්තුව, අංක 6492076 යටතේ දෙවන කාර්තුව සහ අංක 6492731 යටතේ තෙවන කාර්තුව සඳහා වන ලිපි ගොනු ප ්‍රකාරව ගෙවිය යුතු වැට් මුදල් කපා හැරීම සිදු කර ඇත. ඒ අදාළ ව්‍යාපාරිකයාගේ පාර්ශ්වයෙන් සිදු කළ ඉල්ලීමකට අනුවය.

‘2002 අංක 14 එකතු කළ අගය මත බදු පනත’ යටතේ යම් ව්‍යාපාරිකයකුට එම ව්‍යාපාරයේ බදු තක්සේරුව සම්බන්ධයෙන් යළි අභියාචනයක් කළ හැකිය. ඒ අර්ථයෙන් ව්‍යාපාරිකයාගේ ඉල්ලීම සිදුව ඇත්තේ ද පනත තුළ ඇති ප්‍රතිපාදන අනුව යමින්ය.

එසේම එවැනි ඉල්ලීමක දී ඒ පිළිබඳ සලකා බලා, කොමසාරිස් ජනරාල්වරයාට අදාළ බදු තක්සේරුව ස්ථිර කිරීම, අඩු කිරීම, වැඩි කිරීම හෝ අවලංගු කිරීම කළ හැකිය. එයද පනත ප්‍රකාරව සිදුවන්නකි. ප්‍රශ්නය ඇත්තේ එවැනි සහනයක් ලබා දිය හැකි වන්නේ ඊට සාධාරණ හේතු තිබේනම් පමණය. පනත ප ්‍රකාරව නම් එසේය. ඒ අනුව දැන් ප්‍රශ්නය වන්නේ ලංකාවේ ප්‍රමුඛතම කැසිනෝ ව්‍යාපාරිකයා මෙන්ම ජාත්‍යන්තර ෆොබර්ස් සඟරාවට අනුව ලංකාවේ අංක එකේ ධනවතාට අයත් ව්‍යාපාරයක වැට් බද්ද මුළුමනින්ම ඉවත් කිරීමට කවරාකාරයක දුක්ගැනවිල්ලක් මේ කොමසාරිස්තුමියට ඉදිරිපත් කළාද යන්න ගැනය. මේ පිළිබඳ පළමු වරට සත්හඬ අනාවරණය සිදුකරන විටත් වාර්තා වූ ආකාරයට නම් අදාළ ව්‍යාපාරිකයාගේ ඉල්ලීම හෝ තවත් යෝජනා හෝ එකඟතා හෝ අනුව මෙය සිදුව තිබේ. එහෙත් කොමසාරිස් ජනරාල්වරියට ඉහත කී බලතල ඇතත් එම පනත අනුව කැසිනෝ සේවා සපයන්නන් අනිවාර්යයෙන්ම වැට් බදු ගෙවිය යුතුය.

මේ වන විටත් ඇති නීතිය අනුව නම්, කැසිනෝ සමාජ ශාලාවක් පවත්වාගෙන යාම සඳහා වාර්ෂිකව මිලියන 400ක බද්දක් ද (පැවැතියේ මිලියන 100කි) පෞද්ගලික ආදායමෙන් 25% ක බද්දක් ඇත. එමෙන්ම එක්වරක් පමණක් ගන්නා රුපියල් බිලියනයක (කෝටි 100 ක) බද්දක් ද ඇත. ඊට අමතරව ආදායම මත වැට් බදු අය කිරීමක් ද සිදු වේ.

 ඒ අනුව මෙහි දී කපා හැරුණ බදු මුදලේ වටිනාකම කෙතරම් විය හැකිද යන්න ගැන සිතා ගත හැකිය.

එහෙත් මේ පිළිබඳ අප පළමු වරට අනාවරණය කරන විටත් හෙළිව පැවතියේ මෙම ගනුදෙනුවලට අදාළ වාර්තා මකා දමා ඇති බවය. ඒ අනුව මෙය සුළු පටු බදු සහනයක් නොවන බවත් ඊට අදාළව විමර්ශනයක් අවශ්‍ය බවටත් නැගෙන යෝජනාව ප්‍රතික්ෂේප කළ නොහැකිය. එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ධුරය ලැබීමෙන් අනතුරුව මේ පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට කල්‍යාණියට ඉඩ තිබිණ. එහෙත් ඇය එවැන්නකට කටයුතු කර නැත. ඒ අනුව මේ චෝදනාව අදටත් ඇගේ ගිණුමට බැර කිරීම අසාධාරණ නැත.

වීල්ස් ලංකා චෝදනාව

මේ අතර 2013 වසරේ දී රුපියල් මිලියන 50 ක අයථා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ද කල්‍යාණි දසනායක මහත්මියට චෝදනා එල්ලවී ඇත. එයද අප විසින් මීට පෙරත් හෙළිදරව් කර ඇත්තකි. එහි දී සිදුව තිබෙන්නේ ප ්‍රකට මෝටර් රථ ව්‍යාපාරික ආයතනයක් වන විල්ස් ලංකා ආයතනයෙන් අයකර ගත යුතුව තිබූ වැට් බදු සහනයක් සැපයීමට කල්‍යාණියගේ මැදිහත්වීමක්ය. මේ සම්බන්ධයෙන් එවකට දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ හිටපු ලේකම් කේ.ජී.ජේ.එන්. දේශප ්‍රිය මහතා එවකට සිටි කොමසාරිස් ජනරාල් වසන්ති මංචනායකට ලිඛිතව පැමිණිලි කළ නමුත් එය යටපත් කෙරිණි.

එම ලිපි ගොනු අංකය 114146889 වන අතර ඒ භාරව තිබුණේ ද එවකට විශාල බදු ගෙවන්නන්ගේ අංශයේ ප්‍රධානී කල්‍යාණි දසනායක සතුවය. වීල්ස් ලංකා සමාගම වසර 7 ක් තිස්සේ බදු මුදල් ගෙවීම පැහැර හැර තිබිය දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එම ආයතනයට එරෙහිව තක්සේරු දැන්වීමක් පිළියෙල කර හිඟ බදු අත්පත් කර ගැනීමට කටයුතු සම්පාදනය කළ ද දිසානායක මහත්මිය විසින් මිලියන 50 ක සන්තෝසමක් ගෙන එය වැළැක්වූ බවට එහි දී චෝදනාව ඉදිරිපත් විය. විල්ස් සමාගම තමන්ට ව්‍යාපාරයෙන් පාඩු බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මෙසේ බදු මුදල් ගෙවීම පැහැර හැර තිබිණ. නමුත් එම සමාගම මිලියන දහස් ගණනින් ව්‍යාපාර කටයුතු සිදු කර තිබූ බව ද හෙළි කර ගැනීමට දේශීය ආදායම් නිලධාරීන් සමත්ව තිබිණි. මෙලෙස රටට අහිමි වූ බදු මුදල කීයද යන්න අමුතුවෙන් කිව යුතු නැත. එය කල්‍යාණියට එරෙහිව නැගුනු සන්තෝසම් ගණනින් සනාථ කරන නමුත් ප්‍රශ්නය වන්නේ මීට පෙර දක්වන ආකාරයෙන්ම එල්ල වූ චෝදනාව සම්බන්ධව පිළිගත හැකි විමර්ශනයක් සිදු නොවීමය. වඩාත් අවාසනාවන්ත කාරණය වන්නේ යහපාලන සමයේ ද මේවා ගැන විමර්ශනය නොවීමය. ඒ නිසා ලැබුණු අස්වැන්න කෙසේද යන්න හෙළිවන්නේ කල්‍යාණිය දේශීය ආදායමේ ලොකු පුටුවට පත්වූ පසුවද එල්ලවූ චෝදනා සලකා බැලීමේදීය.

අශ්ව හාදකම

ඉතින් ඒ චෝදනා හෙළිකරන්නට වැඩි දුර යා යුතු නැත. කල්‍යාණිය කෝටිපති ව්‍යාපාරික ලක්ෂ්මන් බාලසූරියගේ ස්පෝර්ටින් ටයිම්ස් වෙත ලබා දෙන්නට ගිය බදු සහනය දැක්වීම ඊට ප්‍රමාණවත්ය. කල්‍යාණිය ඒ සඳහා මැදිහත් වූයේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වශයෙන් කටයුතු කරන විට අදාළ ආයතනයේ 2014-2015 තක්සේරු වර්ෂයේ ඇස්තමේන්තු තක්සේරු නිකුත් කිරීම අත්හිටුවන ලෙස නියෝග කරමින්ය. 2017 ජනවාරි 16 වන දා CGR /2017/3-1 දරන එම නියෝගය නිකුත් කර තිබෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයටය. එකී අත්හිටුවීමේ නියෝගයට අදාළ ආදායම් බදු ලිපිගොනුවේ අංකය වන්නේ 86/9002-03 ය. නැතහොත් කෝටිපති ව්‍යාපාරික ලක්ෂ්මන් බාලසූරියගේ (Sporting Times Turf Accountants and Kandy Lake Club) ස්පෝර්ටින් ටයිම්ස් හි ආදායම් බදු එකතු කිරීම වෙනුවෙන් වන ලිපිගොනුවය.

එම පුවත එදා ලද විගස අප පුවත්පත විසින් හෙළි කිරීමට කටයුතු යෙදුයේ ඒ හරහා රුපියල් බිලියන 2 කට ආසන්න බදු මුදලක් රටට අහිමිව යන අවදානමක් තිබූ නිසාය. 2016-12-29 වන දා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලක්ෂ්මන් බාලසූරිය වෙත දන්වා ඇති ආකාරයට එම මුදල සඳහන් කරනවා නම් 2014/2015 තක්සේරු වර්ෂයට අදාළව ස්පෝර්ටින් ටයිම්ස් රජයට රුපියල් 1,996, 861,210.00 ක මුදලක් ගෙවිය යුතු බවට තක්සේරු කර ඇත. එසේම මේ වන විට බදු ගෙවීම නියමිත පරිදි සිදු නොකිරීම හේතුවෙන් ගෙවීමට ඇති දඩ මුදල් ද ඇතුළුව 2014/15 වසරට අදාළව ගෙවීමට ඇති ඉතිරි ආදායම් බදු ප්‍රමාණය රුපියල් 2,993,291,815.00 ට ආසන්නය. එම තොරතුරු ඇතුළත් සමස්ත ලිපිගොනුව අදාළ ඇස්තමේන්තු තක්සේරු නිකුත් කිරීම අත්හිටුවන ලෙස නියෝගය සහිතව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරිය විසින් කොළඹ ගෙන්වා තිබිණ.

අප මේ සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමේ දී හෙළි කරගත් ආකාරයට ස්පෝර්ටින් ටයිම්ස් හී ආදායම් බදු ගණනය කළ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ සහකාර කොමසාරිස්වරයා සහ මහනුවර ප්‍රාදේශීය කොමසාරිස් හමුවේ දිගින් දිගටම සිදුවූ කේවල් කරගැනීමකින් අනතුරුව ඔවුන් ගෙවීමට එකඟ වන බදු මුදල වී ඇත්තේ රුපියල් 25,000,000.00 පමණය. නමුත් ඔට්ටු සහ සූදු බදු අංශයේ ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරයා සිය රාජකාරීමය බලතල සහිතව මෙම කටයුත්තට මැදිහත් වීම තුළ එම මුදල රුපියල් 150,000,000.00 දක්වා වැඩිකර ගැනීමට හැකිව ඇත. ඒ බව අදාළ විමර්ශනයට එක් වූ කොමසාරිස්වරු ලිඛිතව දන්වා ඇතුවා පමණක් නොව කෝටි ගණනක බදු ගෙවීම් පැහැර හරිමින් නීතිය සමඟත් සූදු කෙළින ස්පෝර්ටින් ටයිම්ස් සම්බන්ධව වෙනත් නිලධාරීන් යොදා විමර්ශනයක් සිදු කළහොත් මීටත් වඩා බදු මුදලක් අයකර ගැනීමට අවස්ථාව තිබිණ. එහෙත් කල්‍යාණිය විශ්‍රාම යනතෙක් එවැන්නක් සිදුවූයේ නැත.

කෝටිපති බදු වංචාකාරයන්ගේ බාධා මධ්‍යයේ නිලධාරීන් කොතරම් වෙහෙසීමෙන් සහ අවදානම් මධ්‍යයේ කටයුතු කළත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යාණි දසනායක ඒ ගැන තීරණය කර ඇත්තේ ස්පෝර්ටින් ටයිම්ස් හී මේ කෝටි ගණනක බදු වංචාව සම්බන්ධව නැවත විගණනයක් අවශ්‍ය නැති බවය. සැබවින්ම එවැනි තීරණයක් ගැනීම සහ අදාළ ලිපිගෙනුවල කටයුතු වළක්වන නියෝග කල්‍යාණිය නිකුත් කර ඇත්තේ කුමන පදනමකින්ද යන ප්‍රශ්නය මෙහි දී තීරණාත්මකව යොමු කළ යුතු බව අපේ හැඟීමය. එහෙත් කනගාටුව නම් ඒ ගැන යහපාලනය යටතේ කිසිඳු විභාග යකින් තොරව විශ්‍රාම යාමට තරම් කල්‍යාණිය වාසනාවන්ත වීමය. ඇත්තටම ඒ කනගාටු විය යුත්තකට වඩා රටේම අවාසනාවය.

F&G නාඩගම

ඒ අවාසනාව තවත් තහවුරු කරනුයේ ලලිත් කොතලාවල මහතා සතුව තිබූ ‘එෆ් ඇන්ඞ් ජී. පෞද්ගලික සමාගමේ’ අධ්‍යක්ෂ මණ්ඩලයට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යාණි දසනායක පත්වීමට සිදුකළ කූට උපක්‍රමය යි. මේ බව එවකට අප හෙළිකර සිටියේ 2016 වසරේ දී ‘එෆ් ඇන්ඞ් ජී. පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන උපාලි රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ ගොනු කළ මෝසමක් පදනම් කරගනිමින්ය.

ඒ වන විටත් ලැබී තිබුණු අධිකරණ නියෝග යක කියවී තිබුණේ එෆ් ඇන්ඞ් ජී. පෞද්ගලික සමාගම සඳහා අධ්‍යක්ෂවරුන් ලෙස පත්වීම් සිදුකළ යුත්තේ එහි මුදල් තැන්පත් කර තිබූ අයට බවය. ඒ අනුව මෙවැනි පත්වීමක් ලැබීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ එවකට කොමසාරිස් ජනරාල්වරිය මුදල් තැන්පත් කර ඇති ද යන්න සහ ඇය දරන ධුරයට අදාළව මෙවැනි පත්වීමක් ලැබීම බරපතළ ආචාර ධර්ම කඩකිරීමක් වන බව අපි එදා හෙළිකර සිටියෙමු.

එම පුවත හෙළිකිරීමට සමගාමීව අදාළ තොරතුර සනාථ කරගැනීම වෙනුවෙන් අප කල්‍යාණිය අමතා ‘එෆ් ඇන්ඞ් ජී. පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඇයව යෝජනා කර ඇති බව සම්බන්ධව දැනුවත් ද යන්න විමසූ කළ ඇය සඳහන් කර සිටියේ තමා එවැන්නක් ගැන දැනුවත් නොමැති බවය. එහි දී අප උපාලි රාජපක්ෂ නම් එෆ් ඇන්ඞ් ජී. පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයා ගැන දනුවත්දැයි විමසූ කල උසාවියේ තියෙන දේවල් ගැන කතා කළ නොහැකි බව පවසා සිටියාය. එසේම තවදුරටත් ඒ ගැන කතා කිරීම ද ඇය ප්‍රතික්ෂේප කළාය.

ඒ අනුව ඉතා පැහැදිලිව කල්‍යාණිය මේ ප්‍රශ්නය මඟහැරියා පමණක් නොව සිය ධුරයට කොහෙත්ම නොගැළපෙන සම්බන්ධතාවලට මැදිහත්වූ බව ද පැහැදිලිය. කෙසේ වුවත් අප හෙළිදරව් කිරීමත් සමඟ ඒ අකටයුත්ත අත්හැර දමන්නට සිදුවූ නමුත් ඇය යටතේ දේශීය ආදායමේ සිදුවූ අකටයුතු එයින් අවසන් වූයේ නැත.

දේශීය ආදායමේ තෝරාගත් නිලධාරීන් යොදවා දියත්කර ඇති කප්පම් මාෆියාවක් පිළිබඳ හෙළි කරන්නට සහ ඊට අදාළ සාක්ෂි පවා හෙළි කරන්නට අප කටයුතු කළේ ඒ අනුවය. වගකිවයුතු නිලධාරීන් ඒ නොදුටුවත් සත්හඬ පාඨක ඔබට ඒ මතක බව අප විශ්වාසයය.

කෙසේ වුවත් මේ අයුරින් සිදුවූ කල්‍යාණියගේ අකටයුතු කම් හෙළිවන විට ඇය ප්‍රතික්‍රියා දැක්වූයේ ඉතා අශෝභන ආකාරයටය. ඇය එහි දී වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් පමණක් නොව සැක හිතෙන සියලු  නිලධාරීන් වෙත සිය බලතල යොදවා මර්දනය දියත් කළාය. එහෙත් දිය යට ගසන්නට වෙර දරන රබර් බෝලය නැවත දිය මතු පිටට එන්නා සේ සත්‍ය ඉස්මතු වෙන්නට වූයෙන් ඇය කළේ නිහඬව කල් ගෙන විශ්‍රාම ලැබීමය.

නූගත් පාඩම

තවදුරටත් හෙළිකරන්නට යමක් වේය. ඉතා පැහැදිලිව කල්‍යාණිය යනු චෝදනා රැසක් ඇති මුත් යහපාලනයේ උදවියගේ නූගත් පාඩම හේතුවෙන් අදටත් නිදහස භුක්ති විඳින්නියක මිස වැඩි යමක් නොවේය. එදා ඒ බදු හොරු වෙනුවෙන් සහන පිදුණේ පැවති දේශපාලන බලය මත සහ එයින් ලද ආරක්ෂාව මධ්‍යයේය. ඊට මේ බදු සහන ලැබූ ඇතැම් කෝටිපතියන් ඒ සමයේ දරන ලද තනතුරු සාක්ෂි දරනු ඇත. ප්‍රශ්නය වන්නේ මේ කිසිත් නොසලකා දේශීය ආදායමේ කීර්තිනාමය පමණක් නොව එහි මුල් පුටුවද කෙලෙසීමට සහ ඊට අදාළ විශ්වසනීයත්වය අන්තිම බින්දුවට ඇද දැමූ කල්‍යාණිය උපදේශකවරියක් බවට පත්කර ගන්නට ඇති හේතුව කුමක්ද යන්නය.

ඊට සංවර්ධනය කඩිනම් කිරීම, කාර්යක්ෂමව ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම, විශ්වාසය ඇතුළුව විවිධ යෝජනා කල්‍යාණිය ගැන ඇත්ත නොදන්නා සහ දැනුවත් නමුත් නොදන්නා සේ කටයුතු කරන්නට යන අයට තිබෙන්නට පුළුවන. වඩාත් සරලව කියනවා නම්, “පාස්කරලිංගම් මහත්තයෝ, ආර්ථිකය වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදන කරන්න. ආර්ථික කටයුතු වෙනුවෙන් මැදිහත් වෙන්න. ඒත් ඔය ඉන්න තැන සහ ගන්න අය ගැන සැලකිලිමත් වෙන්න” යන්නය. නැත්නම් සිදු වන්නේ දූෂිතයන් හෙළිකර ඔවුන් මඩින්න පැමිණි යහපාලනයට දූෂිතයන් නිසා දූෂිතයන්ගෙන් බැට කන්න වන ශෝකාන්තයට මුහුණ දෙන්නටය. ඒ ගැන තවත් දැනග න්නට අවශ්‍ය නම් කළ යුතුව ඇත්තේ හිටපු මුදල් ඇමති ඇමතීමය. එවිට කල්‍යාණිය මෙන්ම දූෂිතයන්ගෙන් බැට කෑමේ වේදනාව ඔහු පවසනු ඇත. අර අත්තේ වාඩිලා අත්තට හිරකර අමුඩය තදකරගත් ගැමියාට නොඇසුණු කතාව වන්නේ “තමුන් අත්ත කපයි, ඒක කපන්න ඕන. ඒත් ඔය අමුඩෙ තදකරගෙන ඉන්න තැනයි අවුල” යන්නය. මේ ලිපිය හරහා අප අග්‍රාමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ප්‍රධාන උපදේශක පාස්කරලිංගම් මහතාට අවධාරණය කරන්නේ ද එයය.

කාශ්‍යප කොතලාවල

Latest Posts

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? 2017-10-09 - 1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්...
දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...

කතුවැකිය

බීරවාදය බීරවාදය 2017-11-20 - 2017-11-19 සමහරු ව්‍යවස්ථාව එපා කියන ආකාරයෙන්ම බීර මිල...
පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක් පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක් 2017-11-15 - 2017-11-12 අයවැයේ ප‍්‍රධාන අරමුණක් ලෙස 2025 වන විට ලංකාව...
සයිටම්:සටන අත්හලේ යෝධයාය සයිටම්:සටන අත්හලේ යෝධයාය 2017-11-07 - 2017-11-05 සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය දුන් පිළිතුර...

Face Book Setup 01