ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද?

විශේෂාංග
Typography

1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගත් පෘතුගීසි ජාතිකයින් විසින් ප්‍රථම වරට ඉදිකරන ලද පෞරාණික ගාල්ල කොටුව 17 වෙනි සියවසේ පැමිණි ලන්දේසි ජාතිකයින් විසින් තවත් පුළුල් කරනු ලැබිණ.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාව අල්ලා ගත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් සුළු ආකෘතික වෙනස්කම් කර නවීකරණය කරන ලද එය දැනට ශ්‍රි ලංකාවේ ජිවමානව පවතින පැරණිම ලෝක උරුම නගරයකි.

වර්තමානයේ ඉතා ඉහළ සංචාරක ආකර්ශනයක් පවතින ගාලු කො‍ටුව මේ වන විට ශ්‍රී ලංකාවේ ඉඩම් සහ දේපළ වැඩිම මිලකට අලෙවි වන ප්‍රදේශයකි.

ගාල්ල කො‍ටුවේ ඉඩම් පර්චසයක් අලෙවි වන්නේ රුපියල් කෝටියකට අධික මුදලකටය. කො‍ටුවේ පිහිටි ඉඩම් සහ දේපළ බහුතරයක් විදේශිකයන් සතු බවට විවිධ වාර්තා පළ වන නමුත් එම වාර්තාවල සත්‍ය අසත්‍යතාවය නිල වශයෙන් තහවුරු වී නොමැත.

ගාලු කොටුව තුළ දේපළ මිලදී ගැනීම පිණිස විදේශිකයන් මුලින් අනුගමනය කළ උපාය මාර්ගය වූයේ ශ්‍රී ලාංකිකයෙකුගේ නමට එය මිලදී ගැනීමය. එහෙත් අදාළ ශ්‍රී ලාංකිකයා විසින් එම දේපළ තමන් සන්තක කර ගැනීමට උත්සාහ කිරිම හේතුවෙන් මේ වන විට විදේශිකයින් ඒ ආකාරයට දේපළ මිලදී ගැනීම නවතා දමා තිබේ.

වර්තමානයේ විදේශිකයන් විසින් ගාල්ල කොටුවෙන් නිවාස හෝ ඉඩම් මිලදී ගන්නා ප්‍රධාන ක්‍රම දෙකකි.

ඉන් පළමුවැන්න ශී‍්‍ර ලංකාවේ කොටස් වෙළෙඳපොළට සම්බන්ධ වන ආකාරයේ සමාගමක් ලියාපදිංචි කිරීමය. මේ සමාගමේ එක් කොටස්කරුවකු වන්නේ ශී‍්‍ර ලාංකිකයෙකි. පසුව ඒ සමාගම වෙනුවෙන් දේපළ මිලදී ගනී. මාස කිහිපයකට පසුව සමාගමේ සියලූම කොටස් විදේශිකයා විසින් මිලදී ගෙන දේපළ සියල්ල ද තමන් සතු කර ගනියි.

අනෙක් ක‍්‍රමය වන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ව්‍යාපාරයක් ආරම්භ කිරීමය. එමගින් බදු මුදල් අඩුකර ගැනීමේ හැකියාව ඇති අතර මෙහිදි ඔවුන්ට සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරවල නිරත විය හැකිය.

එලෙස ගාලු කොටුවේ නිවාස හෝ ඉඩම් මිලදී ගන්නා විදේශිකයෝ ඒවා පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩනගා තිබෙන අයුරු ගාලු කොටුවේ සංචාරය කරන විට දැකගත හැකි සුලබ දසුනකි.

විදේශිකයින්ට අමතරව ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින්, ක්‍රීඩකයන් ඇතුලු ධනවතුන් ද ගාලු කොටුවේ නිවාස සහ ඉඩම්වල හිමිකරුවෝය.

2013 වසරට ප්‍රථම විදේශිකයන්ට විදේශ බදු මුදල් ගෙවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ දේපොළ මිලදි ගැනීමේ හැකියාව තිබිණි.එම අවසරය ප්‍රකාර විදේශිකයින් විසින් ගාලු කො‍ටුවේ පිහිටි ඉඩම් සහ නිවාස මිලදී ගත් බව පැවසෙන නමුත් ගාල්ල දිස්ත්‍රික් ඉඩම් සහ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ පවත්වාගෙන යනු ලබන විදේශ බදු මුදල් අයකිරිමේ ලේඛනයට අනුව ගාල්ල කො‍ටුව ප්‍රදේශයේ ඉඩම් හෝ නිවාස සඳහා කිසිදු විදේශිකයෙකු එම කාර්යාලයට කිසිදු ගෙවීමක් කර නොමැති බව එම කාර්යාලය බීබීසී සිංහල සේවය කළ විමසීමකදී තහවුරු කර තිබේ.

ගාල්ල කො‍ටුව ප්‍රදේශයේ දැනට නිවාස 276 ක්, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය කාර්යාල 24 ක් සහ පාසල් දෙකක් පිහිටා තිබෙන අතර 2006 වසරේ සිට 2017 වසර මැද භාගය දක්වා ව්‍යාපාරික ස්ථාන 111 ක් සිය කාර්යාලයේ ලියාපදිංචි වී තිබෙන බව ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.

මේ අතර 2017 වසර මැද භාගය දක්වා කොටුව ප්‍රදේශය තුළ ගාල්ල මහ නගර සභාවට වරිපනම් ගෙවන්නන් අතර සමාගම් නමින් වරිපනම් ගෙවන්නන් 75 දෙනෙකු සිටින නමුත් විදේශිකයින් නමින් වරිපනම් ගෙවන්නන් ඒ අතර සොයා ගත නොහැකි බව ගාල්ල මහ නගර සභාව බීබීසී සිංහල සේවයට පැවසීය.

ගාලු උරුමය පදනම විසින් 2009 දි නිකුත් කර ඇති සමික්ෂණ වාර්තාවේ ද ගාලු කොටුව තුළ විදේශිකයින් සතු නිවාස සහ ගොඩනැගිලිවල විස්තර සඳහන් කර නොමැත.

ඒ අනුව ගාලු කො‍ටුව තුළ කිසිදු විදේශිකයෙකුට ඉඩම් හෝ නිවාස හිමි වී නැතැයි රජයේ ආයතනවල තිබෙන නිල තොරතුරු අනුව පැහැදිලිව සඳහන් වුවත්, ගාලු කොටුව තුළ විදේශිකයින් සතු සංචාරක නිවාස ඇතුළු බොහෝ ගොඩනැගිලි සහ දේපොළ තිබෙන බව කොටුවේ වාසය කරන ශ්‍රී ලාංකිකයෝ පවසති. එය සත්‍යයක් නම්, ඔවුන් එම දේපොළ ලබාගෙන තිබෙන්නේ කෙසේ දැයි පැහැදිලි නැත.

දැඩි ලෙස වාණිජකරණයට ලක් වී තිබෙන ගාලු කොටුව තුළ සංචාරක ක්ෂේත්‍රයට අයත් ව්‍යාපාර රැසක් පවතී. සංචාරක හෝටල්, සංචාරක නිවාස (Villa), අත්කම් නිමි ඇඳුම් සහ ආහාර පාන ආදිය අලෙවි කරන ආපන ශාලා බොහොමයක් ගාලු කොටුව තුළ දැකගත හැකිය.

1974 දී පුරා විද්‍යා ආරක්‍ෂිත ස්‌මාරකයක්‌ ලෙස ප්‍රකාශයට පත්කෙරුණු ගාලු කොටුවේ ඓතිහාසික වැදගත්කම හේතුවෙන් 1988 දී යුනෙස්‌කෝ සංවිධානය විසින් එය ලෝක උරුම ස්මාරකයක්‌ ලෙස ප්‍රකාශයට පත් කෙරිණ.

ඒ අනුව ගාල්ල කොටුව ලෝක උරුම නගරය තුල පිහිටි සියලුම නිවාස, ගොඩනැගිලි ඇතුළු සමස්ත ප්‍රදේශය පුරා විද්‍යා ස්මාරක වේ. එම ගොඩනැගිලි නවීකරණය කිරිම හෝ නව ඉදිකිරිම සඳහා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ගාල්ල මහ නගර සභාව යන රාජ්‍ය ආයතනවලින් පූර්ව අවසරයක් ලබාගත යුතුය.

එලෙස අවසර ලැබෙන්නේ ඉහත කී ආයතන විසින් අනුමත කරන සැලසුමකට අනුකූලව පමණි. එවැනි නවීකරණයක දී ගාලු කොටුව තුළ පවතින නිවාස හා ගොඩනැගිලි වල ඉදිරිපස මුල් ස්වරූපය වෙනස් නොවිය යුතු අතර නවීකරණය කරන නිවසක හෝ ගොඩනැගිල්ලක වහලයද ඇතුලුව උස අඩි 33 ක උපරිමයකට යටත් විය යුතුය.

එම කොන්දේසි උල්ලංඝනය කරමින් අනවසරයෙන් සිදු කළ ඉදිකිරීම් 28 කට එරෙහිව නාගරික සංවර්ධන අධිකාරිය විසින් නඩු පවරා ඇති බවත් තවත් එවැනි ඉදිකිරීම් කිහිපයක් සම්බන්ධව ලැබුණු පැමිණිලි මත විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් එහි ප්‍රකාශිකාවක් බීබීසී සිංහල සේවයට කියා සිටියාය.

BBC

Latest Posts

කතාබහ

අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ-පොලිස්පති අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ-පොලිස්පති 2018-01-17 - ලංකාවේ කිසිදු ස්ථානයක තමන් දැනුවත්ව දුරකථන ටැප්...
අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි 2017-12-22 - ජාමියා නලීමියා උසස් අධ්‍යාපන ආයතනයේ හිටපු ජ්...
මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා 2017-12-20 - උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න&...

විශේෂාංග

අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය 2018-01-15 - ශ්‍රී ලංකාව තරම් ජීවත් වීමට සුදුසු  පරිසරයක් ...
උඩප්පුවෙන් නැගෙන පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය උඩප්පුවෙන් නැගෙන  පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය 2018-01-15 - පාඩුකාරයෝ ගල්පර රහිත නොගැඹුරු මුහුදත්, පළල් ...
සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ 2018-01-11 - ජනවාරි 9 දා ජනවාරි 08 පිළිබඳව ජනමාධ්‍ය වාර්තා කළ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

Face Book Setup 01