පණ්ඩාරම්වරුන්ගේ පුෂ්පමාල විජිතය

විශේෂාංග
Typography

දෑඟිලි අතර යුහුසුළුව දිවෙන නූලකි. සැණකින් එතෙන ගැටයක සිරවෙන මලකි. මලින් මල අමුණා ගෙත්තම් කරන විසිතුරු මල්මාලාවකි. පැහැයෙන් පියකරු සුවඳින් පිරුණු මල් සහ නූල් අත ගැටුණත් මේ මාලාකාරයන් ගෙත්තම් කරන්නේ ජීවිතයයි.

තමන් කරන රැකියාව ප‍්‍රබෝධමත් ලෙස තෘප්තිමත්ව කරන්නට ලැබෙන්නේ කීයෙන් කීදෙනාට ද එහෙත් මාලාකාරයන් නම් සිටින්නේ මල් මෙන් ප‍්‍රබෝධමත්වය. අසතුටක් පෙනෙන්නටවත් නැත. මේ මල් මාලා ගොතන්නන් අපට මුණ ගැසෙන්නේ  කොළඹ කොච්චිකඬේ  වරකාහන්දියට නුදුරෙනි. පිච්ච, ගැට පිච්ච, කපුරු, දාස්, රෝස මල් සුවඳින් පිරුණු මේ කඩපිල්වලට ගොඩ වැදීම පවා මහත් සැනසිල්ලක් උපදවන්නේය.

කෝවිලේ දේවප‍්‍රතිමාවටත් දේවස්ථානයේ සුරුවමටත් පන්සලේ පූජාවටත් හින්දු චාරිත‍්‍ර අනුව මඟුලටත් මරණයටත් මල් මාලා නිපදවන්නෝ නම් කොච්චිකඬේ වීදිය සුවඳ කරන හා හැඩ කරන මේ මාලාකාරයෝය. මල් මාලා ගෙත්තම් කරන වැඩි පිරිස පිරිමිය. කාන්තාවන් සිටින්නේ අතළොස්සකි. අනෙකුත් ගෙත්තම් කෙසේ වෙතත් මේ වීදියේ මල් මාලා ගොතන පිරිමින්ට තරගයක් දීමට කාන්තාවන්ට නොහැකිවා සේය. ඔවුන්ගේ දෑත් ක‍්‍රියාකරන්නේ මැෂිමකටත් වඩා වේගයනි. බැලූ බැල්මට

ඔවුන් ගෙත්තම් කළ මල් මාලා පවා යන්ත‍්‍රාණුසාරයෙන් කරන ලද්දක් දැයි සැක හිතේ. එහෙත් ස්වභාවික මලින් මල් මාලා ගෙත්තම් කරන්නන්ට යන්තර නැත. සියලූ රටා මැවෙන්නේ තනි තනි මලට හැඩයක් උපදවන්නෙත් කොච්චිකඬේ වීදි දෙපස සිටින එක්කෝ තරුණ නැතිනම් මහලූ මල්මාලාකාරයන්ගේ කඩිසර දෑත්වලිනි.

පණ්ඩාරම් වැඩකාරයෝ

කලාකාරයන්ගේ ආගමනය සහ ඉතිහාසය පිළිබඳව ජනප‍්‍රවාද මෙන්ම ඓතිහාසික සටහන් ඉතිහාසය පිළිබඳ ලියවුණු පොතපතේ තිබේ. ශ‍්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාව රැගෙන සංඝමිත්තා තෙරණිය මෙරටට සපැමිණි දිනයේ තෙරණිය සමඟ සිව් සැට කලාවේ නිපුණ ශිල්පීන් මෙරටට පැමිණි බව කියැවේ. පොළොන්නරු යුගයේ කෝවිල්වල පූජා කටයුතු සඳහා දකුණු ඉන්දියාවෙන් පිරිස් පැමිණි බව ද සඳහන්ය. එමෙන්ම මෙරට වතු ආර්ථිකය පවත්වා ගැනීම සඳහා දකුණු ඉන්දියාවෙන් වතු කම්කරුවන් රැුගෙන ඒමත් සමඟ හින්දු ආගමික චාරිත‍්‍රවල නියැළුණු පිරිසක් ද පැමිණි බව සඳහන්ය. තමන්ගේ මුතුන් මිත්තන් මෙරටට පැමිණියේ කවදා දැයි ඉලංකෝන් දන්නේ නැත. ඉලංකෝන් සිටින්නේ කොච්චිකඬේ දේවස්ථානය අසළ වීදි කෙළවරක පුෂ්පමාලා අලෙවිසැලේය. තමන්ගේ ඉතිහාසය පිළිබඳව ඔහු අපට කීවේ මෙවැනි කතාවකි.

”අපි ‘පණ්ඩාරම්’ කුලේ කට්ටිය. අපේ සීයාගේ සීයා දකුණු ඉන්දියාවෙන් ආපු කෙනෙක්. පණ්ඩාරම් කුලේ කට්ටිය තමයි කෝවිල්වල වැඩ කළේ. මම මේ රස්සාව ඉගෙනගත්තේ තාත්තගෙන්. මගේ අයියත් මේ රස්සාවම තමයි කරන්නේ. අපේ පරම්පරාවම කළේ මල්මාලා ගොතපු එක. ඒකෙන් තමයි අපි ජීවත් වුණේ. අවුරුදු දහයේ දී තාත්තා මට මල් මාලා ගොතන හැටි කියා දුන්නා. සීයා රස්සාව කරලා තිබුණේ හෙට්ටිවීදියේ කෝවිල ළඟ.”

ඉලංකෝන්ගේ දැන් වයස අවුරුදු 61 කි. දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. උදේ හයට විවෘත වන ඉලංකෝන්ගේ මල් කඩය වැසෙන්නේ ? හතට අටටය. කෝවිලේ හෝ දේවස්ථානයේ පූජා  සමයන්හි දී නම් ඒ වෙලාවල් තවත් දිගු වේ. මුළු දවස තිස්සේම හිටගෙනය. දෑතටත් දෙපයටත්  විවේකයක් ලැබෙන්නේ රාත‍්‍රියටය. දවසේ වෙහෙස මුදාහරින්නේ හීනියට ගන්නා මධුවිතෙනි. ඉලංකෝන්ගේ ඊළඟ පරම්පරාව මල් ගෙත්තම් කිරීමට පැමිණෙන්නේ දැයි තවමත් ඔහුට කියන්නට බැරිය.

සේරුවෙන් සීරුවට

කොච්චිකඬේ මල් කඩ ඇරෙන්නෙත් වැසෙන්නෙත් එකම වෙලාවකය. කඩ ඇරෙන වැහෙන වෙලාවත් ගොතන මල්මාලාවලත් වැඩි වෙනසක් පෙනෙන්නට නැත. මේ මාලාකාරයන්ට මල් සපයන්නේ බදුල්ල, මාතලේ, කල්පිටිය, පුත්තලම, නුවරඑළිය, මරදන්කුලිය යන ප‍්‍රදේශවල සැපයුම්කරුවන්ය. මල් වෙළඳාම කරන්නේ සේරුවලිනි. මල් සේරු පහක් ග‍්‍රෑම් 350කි. සේරුවක මිල රුපියල් සියයකි. එම මිල අදාළ වන්නේ මල් වර්ගය අනුවය. ඉද්ද මල් සේරුවක මිල රුපියල් සියයකි. සෙසු මල්වර්ගවලට වෙන වෙනම මිල ගණන් තිබේ. සාමාන්‍යයෙන් සැපැයුම්කරුවන් මල් සපයන්නේ සේරු දහය බැගිනි. සේරු දහයේ බෑග් අවශ්‍ය තරම් සැපයීමට සැපයුම්කරුවෝ සිටිති. මල්වලට අමතරව කොළ වර්ගවලින් ද මාලා ගෙත්තම් කෙරේ. කොහොඹ, මදුරුතලා (තුල්සි) ඊතණ, බුලත් ඒ සඳහා යොදා ගැනේ. ගෙඩිවලින් කරන මාල සඳහා යොදාගන්නේ දෙහිය. මංගල අවස්ථා සඳහා ගොතන මල් මාලාවලට ඇපල් ගෙඩි එකතු කිරීම මෑත කාලයේ ආරම්භ වූවකි. කුමකින් ගෙතූවද මේ හස්ත කර්මාන්තකරුවෝ ඒවා ගැටගසන විදිය පරම්පරා උරුමයෙන් දනී.

මල් එන පාර

කොච්චිකඬේ මාලාකාරයන්ට මල් සැපයෙන්නේ විවිධාකාරයෙනි. බදුල්ල සහ මාතලේ ප‍්‍රදේශවලින්  වැඩිපුරම ලැබෙන්නේ පිච්ච, රාජ පොහොට්ටු, දාස්පෙතියා මල් ය. මාදම්පේ කල්පිටිය, පුත්තලම, මදුරන්කුලිය, ප‍්‍රදේශවලින් ඉද්ද මල් සැපයේ. නුවරඑළියෙන් ලැබෙන්නේ කපුරු, බාබන්ඬේසියා,  ඕකිඞ් යන මල්ය. දියතලාවෙන් කපුරු මල්ය ඉක්සෝරා, අසෝක මල් වැඩිපුර සැපයෙන්නේ හලාවතිනි. මාලාකාරයන්ට අනුව මල්මාලා පිදීමේ විශේෂත්වයක් තිබේ. ඊතණවලින් ගොතන මලා ගණ දෙවියන්ට ය. කොහොඹපත‍්‍රවලින් ගොතන මාලා කාලි මාතාවටයි. තුල්සි පත‍්‍රවලින් මාලා ගොතන්නේ අයියප්පන් දෙවියන්ටය. රතුමල් මාලා කෝවිලේ තිබෙන කාලි මාතා පිළිමයටත් කතෝලික දේවස්ථානයේ ඇති ශාන්ත සෙබස්තියන් උන්්නාන්සේගේ පිළිරුවටත් පිදේ. ඇදහිල්ල කවර ස්වරූපයක් දැරූවද මේ දෙවිවරුන්ගේද උන්නාන්සේලාගේ ද නිමැයුම්කරුවෝ මිනිසුන්ම ය. මිනිසුන් තැනූ ප‍්‍රතිමාවලට මිනිසුන් විසින් ම මල්දම් පැළඳවීමකි. හින්දු චාරිත‍්‍රවලට අනුව මනමාලය විසින් මනාලියටත්, මනමාලිය විසින් මනාලයාටත් මල්මාලා පැළඳවීම සිදු කෙරේ. කොච්චිකඬේ වැඩකාරයන් ලවා තමන් කැමති මිල ගණන්වලට කැමති ආකාරයට එවා ගෙත්තම් කර ගත හැකිය. ඔවුන් සතුව ඊට අදාළ කැට්ලොක් එකක්ද තිබේ. අවමංගල්‍ය චාරිත‍්‍ර ඉටුකිරීමේ දී පළඳවන මල්දම් අතරත් මංගල චාරිත‍්‍ර ඉටුකිරීමේ දි පළඳවන මල්දම් අතරත් දෙවියන්ට පුදන මල්මාලා අතරත් විශේෂත්වයක් නම් ඇත්තේ නැත. ඇතැම් එ්වා වත්කම් අනුව තීරණය කෙරේ. ඉතා මෑතක් වන තුරුම මේ මල්දම් විකිණීම සඳහා භාවිත කළේ කෙසෙල් පතුරු වියළා සකස් කළ පට්ට ය. සැපැයුම්කරුවන් දුලබවීමෙන් පොලිතින් පටි හෝ නූල්වලට මාරුවෙන්නට මාලාකාරයන්ට සිදුවිය. ඇතැම් කෝවිල් සහ දේවස්ථාන පොලිතින් භාවිතයෙන් ඉවත්ව ඇති නිසා කෙසෙල් පට්ට හෝ ගෝනි නූල් භාවිතකරන මාලාකාරයන් නැතුවා නොවේ. පැරණි පරම්පරාව පොලිතින් භාවිත කළේ නැත. භාවිත කළේ කෙසෙල් පට්ටය. කෙසෙල් පට්ටයෙන් ගෙතූ මල්මාලාවක් ලෙහෙසියෙන් පරවෙන්නේ නැත. පොලිතින් නූලෙන් වැඩකරන්ට මේ මාලාකාරයන්ට පහසු වුවත් ස්වභාවික මලට පොලිතින් නූල නොගැළපෙන බව ඔවුන් නොදන්නවා නොවේ.

මලට බඹරෙකු සේ

මේ මාලාකාරයෝ සිය රැකියාව වෙනුවෙන් අපමණ බැඳීමකින් සිටිති. ඔවුන් නිවාඩු ගන්නේ ඉතා කලාතුරකිනි. විසිහතර හැවිරිදි ජීවා තරුණ මාලාකාරයෙකි. ජීවා මල්මාලා ගොතන්නේ කොච්චිකඬේ වුණත් ඔහුගේ උපන්ගම බදුල්ලය. මව්පියන් සිටින්නේ එහි ය. ජීවා නිවාඩු ගන්නේ අවුරුද්දකට එක් වතාවකි. ඒ සිංහල අවුරුදු දින කීපයේය. නිවාඩුව දින තුනකට වඩා නම් දිගු වන්නේ නැත. ජීවා රස්සාව ඉගෙනගත්තේ ඔහුගේ අයියාගෙනි. මල් කඩය පවත්වාගෙන යන්නේ මේ අයියා මලෝ දෙන්නාය.

වෙල්ලසාමි යෝගේෂ්වරම් විසිඅට හැවිරිදිය. ඔහු මල්මාලා ගොතන්නට පටන්ගත්තේ වයස අවුරුදු පහළොවේදීය. මහනුවර හේවාහැට ඔහුගේ ගමය. ඔහුගේ නැගණිය ද මල් මාලා ගොතන්නියකි. සහයකයන් සිටින නිසා මාස දෙකතුනකට වරක් නිවාඩුවක් ගැනීමට ඔහුට බාධාවක් නැත. වරින් වර විවිධ

රැුකියා කරන්නට පෙලඹුනත් අවසානයේ ඔහු ඔහුට හුරු දෑත කෙරෙහි විශ්වාසය තැබුවේය. දැන් ප‍්‍රධාන ජීවනෝපාය මල්දම් ගෙතීමය. පනස් හත් හැවිරිදි ඬේසිගර් වීරපුත‍්‍රන් රස්සාව ඉගෙනගත්තේ සීයාගෙනි. ඔහුගේ ගම් පළාත හැටන් සාමිමලේ ය. කොච්චිකඬේ රස්සාව පටන්අරගෙන විසි වසරකි. ඔහුගේ බිරිඳ මල්ලිකා දේවි ද දක්ෂ මාලාකාරියෙකි. මල් එකට තියා අමුණන ගැට මලින් මලට වෙනස් බව කීවේ වීර පුත‍්‍රන්ය.

සුන්දර මිනිහෙක්

ක්වින්ස්ටන් කැමිලස් සිල්වා මාලාකාරයන්ගේ පරම්පරාවේ අයකු නොවේ. ඔහු රැුකියාවට යොමු වූ ආකාරය සුන්දර අත්දැකීමකි. ”මම සිංහල. අපේ ගෙවල් කිට්ටුව හිටිය රාමසාමි සුන්දරම් කියල වැඩකාරයෙක්. එයා තමයි මට මල් මාලා ගොතන්න කියා දුන්නේ. මම මුලින් කරේ කාර්යාලයක පියන් වැඩක්. 1980 තමයි කොච්චිකඬේ මාලා ගොතන්න ආවේ. එදා සිට අද වෙනතුරුත් පවුල ජීවත් වෙන්නේ මේ රැකියාවෙන්. මට මේ හස්ත කර්මාන්තෙ කියා දීපු සුන්දරම් සුන්දර මිනිහෙක්. 1972 විතර එයාට ලංකාවෙන් යන්න වුණා ඉන්දියාවට. ඒ මනුස්සයා ලංකාවෙන් ගියේ මට මේ කර්මාන්තය කියා දීලා. මල් මාලා ගොතන හැම වෙලාවකම මට මිනිහ මතක් වෙනව. හින්දු කෝවිලටත් දේවස්ථානයටත් මම ගොතන මල් මාලා ගෙනියනවා. පන්සලේ බෝධිපූජාවටත් ගෙනියන්නෙත් ඒවාම තමයි.”

හතළිස් හැවිරිදි වසන්ත ගුණතිලක මල් මාලා ගොතන්නේ  සිල්වාගේ මල් කඩයේමය. සිල්වා සහ වසන්ත දෙමස්සිනෝය. වසන්ත මල් මාලා ගෙතීම රැකියාව කරගත්තේ අවුරුදු විස්සේදීය. දරුවන් සිව්දෙනෙකු ඇතුළු පවුලේ බර සැහැල්ලූ වෙන්නේ වසන්ත ගොතන මල්මාලාවල අනුහසිනි. දිනකට මල්මාලා හැත්තෑපහක් සීයක් විතර ගොතන්නට පුළුවන් යැයි ඔහු කීවේ වේගයෙන් දෑතේ මල්වලට නූල් පැටලෙමින් තිබියදීය.

මේ මාලාකාරයන්ගේ ජීවිතයේ අපූර්වත්වයක් තිබේ. දිවයිනේ සතරදිග්බාගයේ පිපෙන මල්වලට අලංකාරයක් එකතු කරන්නේ ඔවුන්ය. හලාවත පිපෙන ඉද්ද මල් කොළඹට ආ පසුව මාලාකාරයන්ට ලැබෙන්නේ සේරුවලිනි. ඔවුන් ඒවායේ ජීවය පවත්වා ගැනීමට සීතකරණය භාවිත කරති. එකින් එක අමුණා තනන මල් වැල් එක්කෝ දේවස්ථානයටය, කෝවිලටය. නැති නම් පන්සලටය. හින්දු චාරිත‍්‍ර අනුව මළකඳට ද පළඳවති. මාලාකාරයන්ගේ ගෙලට වුවද මල් දමක් පැළඳෙන්නේ අවසන් හුස්ම හෙළු පසුවය. මේ සියල්ලම කරන මලේ ජීවය පවතින්නේ දවස් තුනකි. සියල්ල කෙරී අවසන් වෙන්නේ ද දවස් තුනක් ඇතුළතය.

දයා නෙත්තසිංහ

ඡායාරුප.අජිත් සෙනෙවිරත්න

mal 3Mal 2

Mal 1

mal 4

mal 5

mal 6

Latest Posts

කතාබහ

අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ-පොලිස්පති අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ-පොලිස්පති 2018-01-17 - ලංකාවේ කිසිදු ස්ථානයක තමන් දැනුවත්ව දුරකථන ටැප්...
අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි 2017-12-22 - ජාමියා නලීමියා උසස් අධ්‍යාපන ආයතනයේ හිටපු ජ්...
මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා 2017-12-20 - උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න&...

විශේෂාංග

අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය 2018-01-15 - ශ්‍රී ලංකාව තරම් ජීවත් වීමට සුදුසු  පරිසරයක් ...
උඩප්පුවෙන් නැගෙන පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය උඩප්පුවෙන් නැගෙන  පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය 2018-01-15 - පාඩුකාරයෝ ගල්පර රහිත නොගැඹුරු මුහුදත්, පළල් ...
සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ 2018-01-11 - ජනවාරි 9 දා ජනවාරි 08 පිළිබඳව ජනමාධ්‍ය වාර්තා කළ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

Face Book Setup 01