භාෂණයේ නිදහස පිළිබඳ යුනෙස්කෝ සමුළුව සහ සිංහල බෞද්ධ මාධ්‍ය සංස්කෘතිය

විශේෂාංග
Typography

සුගිය දෙසැම්බර් 4 වන දා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී ‘භාෂණයේ නිදහස’ පිළිබඳ යුනෙස්කෝ සමුළුව පවත්වන ලදි. සමුළුවේ තේමාව පිළිබඳ පුළුල් විවාදයක් බිහි වූ අතර බොහෝ දෙනා දැඩි අවධානයක් යොමු කරන ලද්දේ මාධ්‍යවේදීන්ට එරෙහිව හිංසනය ක‍්‍රියාත්මක කරන පුද්ගලයන්ට මුක්තිය ලැබෙන්නේ කෙසේද යන ගැටලූව පිළිබඳවය

. සමුළුව සඳහා ශ‍්‍රී ලංකා පොලීසිය මෙන්ම මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ආචාර්ය දීපිකා උඩුගම ද සහභාගී වූවාය. ශ‍්‍රී ලංකාව පිළිබඳ තත්ත්ව වාර්තාව මෙන්ම කලාපීය ගැටලූ සැසි වාර 4කින් ද යුතුව සමුළුව පැවැත්විණ. මෙම සමුළුවට සහභාගි වූ පිරිස අඩුවීමට එක හේතුවක් ලෙස මට හැඟී ගියේ එය ඉංග‍්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමයි. ලංකාවේ ජනමාධ්‍යකරුවන්ගේ

90%ක් පමණ දෙවැනි භාෂාවක් ලෙස ඉංග‍්‍රීසි දන්නේ නැත. රසවත් කෑම වේලක් ලබා දුන්නත් භාෂාව ඉංග‍්‍රීසි නිසා දහවලට නිදා ගැනීමට හෝ ඔවුන් මෙවැනි සමුළුවලට එන්නේ නැත. සහභාගීත්වය අඩුවීමට තවත් හේතුවක් වන්නේ සමුළුව මතට තිත තබා තිබීමයි.

 Donble Black ශිවාස්, බකාඩි, ඇබ්සලයුට් වොඞ්කා වැනි මිහිරි පානයන් සහිත රාත‍්‍රී කෑම වේලක් ලබා දෙන බව කලින් ජනමාධ්‍ය අමාත්‍යාංශය නිල නොවන ආකාරයට හෝ ප‍්‍රචාරයක් ලබා දුන්නේ නම් උතුරා යන සෙනඟක් සමුළුවට එක් වනු ඇත. එතැන දී රැඩිකල්  සිංහල NGO චින්තකයකු වූ සංජන හත්තොටුව වැරැදිය. ඔහුට අනුව අපට ලැබුණේ තරු හෝටලයක සරු ආහාර වේලකි. නමුත් සමුළුව සංවිධානය කළ සංවිධායකයන් විසින් මාධ්‍යවේදීන්ට ලබා දී තිබුණේ සකසුරුවම් සහිත අල්පේච්ඡ ආහාර වේල් 3කි. වර්තමාන ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ද අල්පේච්ඡයකු නිසා ඒ ගැන අප පුදුම විය යුතු නැත.

ඇත්තටම සමුළුව සංවිධානය කොට තිබුණේ ටාජ් හෝටලය තුළ නොව ඊට වම් පසින් පැවති අරාබි කූඩාරමක් තුළය. මෙය රාජපක්ෂ යුගයේ දී සංවිධානය කෙරුණේ නම් චරිත හේරත් මහතා මෙය සංවිධානය කරනු ඇත්තේ සිනමන්ඞ් ග‍්‍රෑන්ඞ් හෝටලයේ බවට විවාදයක් නැත. මට මෙම කරුණුවලින් විදහා දැක්වීමට අවශ්‍ය වන්නේ ලිබරල් කුහකත්වයයි. සාම්ප‍්‍රදායික ලිබරල්වාදීන් අනුන්ට සැලකීමේදී සකසුරුවම්වාදීය. නමුත් ජාතිකවාදීන් නම් නියම විනෝදකාමීන්ය.

සමුළුව පැවති අරාබි කූඩාරම තුළ අගමැතිවරයා වැදගත් ගැටලූවක් මතු කළේය. ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ප‍්‍රධාන ශාඛාවක් සංවිධානය කරන සමුළුවකට සිංහල මාධ්‍යවේදීන්ගේ ප‍්‍රධානීන් සහභාගී නොවන්නේ මන්ද යන්නය. තම අදහස් තවදුරටත් විකාශය කරමින් අගමැතිවරයා කීවේ සිංහල මාධ්‍ය ප‍්‍රධානීන්ට සහ කතුවරුන්ට අවශ්‍ය වන්නේ රාජපක්ෂ රෙජීමය නැවත බලයට ගෙන ඒමට බවයි. නමුත් ගැටලූව වන්නේ එකම ආර්ථික ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන පක්ෂ දෙකක් අතරින් රාජපක්ෂට පමණක් සිංහල - බෞද්ධ මාධ්‍යවේදීන් කඬේ යන්නේ ඇයි ද යන්නය.

ලංකාවේ මාධ්‍ය ක්ෂේත‍්‍රය අරබයා විශාල ප‍්‍රතිසංස්කරණයක් සහ නියාමනයක් අවශ්‍ය බව අවිවාදිතය. ලංකාවේ පවතින මාධ්‍ය ප්‍රොබ්ලමැතිකය සහ කලාපීය (අවම වශයෙන් දකුණු ආසියානු කලාපය) ප්‍රොබ්ලමැතිකය අතර පෑස්සිය නොහැකි තරම් පරතරයක් ඇත. ආයතනයක් ලෙස යුනෙස්කෝවටත්, ඊට මතවාදී වශයෙන් ආධාර කරන International Media Support නම් සංවිධානයටත්, ජනමාධ්‍ය අමාත්‍යාංශයටත් ලංකාවේ මාධ්‍ය ප්‍රොබ්ලමැතිකය පිළිබඳ න්‍යායික පර්යාවලෝකනයක් නොමැත.

ලංකාවේ මාධ්‍ය ප්‍රොබ්ලමැතිකය

 (Media Problematigne) වශයෙන් අප හඳුනා ගන්නේ කුමක්ද?

”ශ‍්‍රී ලංකාව යනු දෙමළ සුළු ජාතියේ දේශපාලන ප‍්‍රශ්න ප‍්‍රජාතන්ත‍්‍රිකව විසඳා නොගත් රටකි. එනිසා ලංකාවේ දෙමළ ප‍්‍රශ්නය දික් ගැස්සී ගිය ගරිල්ලා සටනක් බවට පසුගිය දශක 3 තුළ දී පත් විය. 2005 වසරේදී උතුරේ ගැටලූවට දේශපාලන විසඳුමක් ලබා දෙන බව කියා බලයට පත් වූ රාජපක්ෂ රෙජීමය පසුව එම ප‍්‍රශ්නය අධිරාජ්‍යවාදීන්ගේ ද සහය සහිතව මිලිටරි වශයෙන් පරාජය කරන ලදී. එමඟින් සිංහල ජාතියේ වීරයා බවට මහින්ද රාජපක්ෂ පත් විය. දකුණේ සිංහල මාධ්‍යවේදීන්ගේ අතිබහුතරය යනු මේ මිලිටරි සටනට සිතින් කයින් ආත්මයෙන් උදව් කළ අයයි. 80 දශකය අවසානය වන තෙක් ලංකාවේ මාධ්‍ය චින්තනය සකස් වූයේ ධනවාදයට එකඟ ලිබරල්වාදීන් සහ සමාජවාදයට එකඟ වාමාංශිකයන් ලෙසින්ය. මේ දෙක සහසම්බන්ධ ප‍්‍රතිපක්ෂයන්ය. නමුත් ද්‍රවිඩ අරගලය ගරිල්ලා සටනක් සහ අලූත් රාජ්‍යයක් වෙනුවෙන් සටන් වදින විට ඉහත කි සහසම්බන්ධ ප‍්‍රතිපක්ෂය විනාශ වී ගොස් මාධ්‍යවේදීන්, දේශපේ‍්‍රමීන් සහ දේශද්‍රෝහීන් (කොටින්ට කඬේ යන) ලෙස භේද විණි. ඉන්පසු සිංහල රාජ්‍ය මර්දන උපකරණවල නියෝජිතයන් දේශද්‍රෝහී මාධ්‍යවේදීන් දඩයම් කිරීම ආරම්භ කරන ලදී. එනිසා ලංකාවේ මාධ්‍ය ප්‍රොබ්ලමැතිකය යනු ධනවාදයේ අසහනයන් තුළින් මතු වූ මාධ්‍ය හිංසනයක් නොව ජාතිවාදය නිසා බිහි වූ මාධ්‍ය හිංසනයක්ය.”

දිනපතා ‘ලංකාදීප’ පත‍්‍රයේ කතුවරයා වන සිරි රණසිංහ හෝ ඉරිදා ලංකාදීපයේ ප‍්‍රධාන කතුවරයා වන ආරියරත්න දොඹගහවත්ත හෝ මෙම සමුළුවට සහභාගී නොවන්නේ මෙම සමුළුව දේශද්‍රෝහී එකක් වන නිසාත්, ඔවුන් දේශපේ‍්‍රමී හොඳ සිංහල බෞද්ධයන් නිසාත්ය. පසුගිය සතියේ ඉරිදා ලංකාදීපයේ කතුවැකිය හොඳ සිහියෙන් කෙනෙක් කියෙව්වා නම් දොඹගහවත්ත මෙවැනි සමුළු පළාතකවත් නොඑන වග සහතිකය.

අගමැතිවරයා මතු කළ යුතුව තිබුණේ යම් යම් මාධ්‍යකරුවන් සමුළුවට සහභාගි නොවීම ගැන හෝ රාජපක්ෂට කඬේ යාම ගැන නොවේ. ඔහු මතු කළ යුතුව තිබුණේ මාධ්‍යවේදීන්ගේ ජාතිවාදී ස්ථාවරය ගැනය. නමුත් ලිබරල් චින්තනය තුළ ජාතිවාදය රැඩිකල් ලෙස ප‍්‍රශ්න කිරීමට ඉඩක් නැත. (සමහරවිට ඡුන්ද ක‍්‍රමය ද විය හැකිය*

අනෙක් අතට අගමැතිතුමාත්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රතිපත්ති සම්පාදකයනුත් කල්පනා කළ යුතු වන්නේ දේශපාලන දෘෂ්ටියක් ලෙස ලිබරල්වාදයට වඩා ජාතිවාදයට මිනිසුන් ඇදී යන්නේ මන්ද යන කාරණයයි.

 The Island  පත‍්‍රයේ කතුවරයා වන ප‍්‍රභාත් සහබන්ධු එතරම් විශාල වැටුපක් නැතිව සිංහල - බෞද්ධ මතවාදය වෙනුවෙන් කැප වී වැඩ කරයි. සංජන හත්තොටුව කල්පනා කළ යුත්තේ තරු පහේ හෝටල්වල රසවත් ආහාර ගැන නොව (මේ ගැන විශේෂ උනන්දුවක් දක්වන්නේ උවිඳු කුරුකුලසූරිය බව සිහියේ තබාගෙන) ප‍්‍රභාත් සහබන්ධු, ශර්මින්දු ෆර්ඩිනන්ඞ්ස්, මාලින්ද සෙනවිරත්න වැනි ඉංග‍්‍රීසියෙන් ලියන මාධ්‍යවේදීන් පවා සිංහල ජාතිකවාදීන් බවට පත් වන්නේ මන්ද යන කාරණයයි. මෙම තත්ත්වය යුනෙස්කෝවට අදාළ කාරණයක් නොව සිංහල ජාතියට අදාළ ප‍්‍රශ්නයකි. මෙවැන්නක් සුත‍්‍රගත කිරීමට නොහැකි වීම ගැන අප ටෝබි මැන්ඩල්ට දෝෂාරෝපණය කළ යුතු නැත. ඔහු ඉතා නිවැරැදි ලෙස ප‍්‍රකාශ කරන ලද්දේ ප‍්‍රකාශනයට එරෙහි අපරාධ සාමාන්‍ය අපරාධවලින් වෙන් කර ගත යුතු බවයි. ලංකාවේ බොහෝ මාධ්‍යවේදීන් සතු මරණයට ඇති ආශාව වටහා ගැනීමට ඔහු බොහෝ කාලයක් ලංකාවේ ජීවත් විය යුතුය.

දැන් අපට මුඛ්‍ය ප‍්‍රශ්නය ඇසිය හැකිය.

ඇයි ලිබරල් දෘෂ්ටිවාදයට වඩා සිංහල සහ දෙමළ මාධ්‍යවේදීන් ජාතිකත්ව මතවාදයට රුචි කරන්නේ? මේ සඳහා පිළිතුරක් රටේ අගමැතිවරයාට නැත. ‘ලංකාදීපය’ ජාතිවාදයට කඬේ යන්නේ හුදෙක් ලාබ අපේක්ෂාවෙන් පමණද?

බොස්නියානු යුද්ධයේ දී මුස්ලිම් ජාතියට එරෙහි වර්ග සංහාරයට සහභාගි වූ සෙබළෙකුගෙන් බටහිර දාර්ශනිකයකු විසින් මෙලෙස වහරණ ලදී.

”ඇයි ඔබ මේ කෲර අපරාධවලට සහය දක්වන්නේ?”

ඔහුගේ පිළිතුර අපව රැගෙන යන්නේ නව මනුෂ්‍යත්වයක් දෙසටය. මේ ඔහුගේ පිළිතුරයි. ”බලන්න මේ අපි ජීවත් වන ලිබරල් ධනවාදී සමාජයේ හැටි. මේක ඇතුළේ තියෙන්නෙ එක නිදහසයි. භාණ්ඩ මිලට ගන්න පුළුවන්. විකුණන්න පුළුවන්. හිතුණ වෙලාවක ගැහැනියක් ¥ෂණය කරන්න බැහැ. හිතෙන තැන්වල බොන්න බැහැ. නටන්න බැහැ, කාට හරි ගහන්න බැහැ, හිතන්න බැහැ, හැමදෙයක්ම තහනම්, කොටින්ම කුණුහරුපයක්වත් කියන්න නිදහස නැහැ, ස්ත‍්‍රියකට පාරේ විහිළුවක්වත් කරන්න බැහැ.”

බොස්නියාවේ යුද අපරාධකාරයා ලිබරල් දේශපාලනික නිවැරැුදි සමාජය ගැන කියන ඉහත චෝදනාව ජීවිතය පැත්තෙන් සත්‍ය නොවේද? ලිබරල් සමාජයක ජීවත් වීම අලස, නීරස, උදාසීන පැවැත්මකි. එහි කිසිදු සාංදෘෂ්ටික පැවැත්මකට ඉඩක් නැත. සිරි රණසිංහලා, සහබන්ධුලා, සී.ඒ. චන්ද්‍රාපේමලා,

දොඹගහවත්තලා, නලීන් ද සිල්වලා මේ ඉල්ලන්නේ ලිබරල් උදාසීනත්වයට එරෙහි උණුසුම්, වඩා - මානුෂික (More Human) සමාජ සබඳතාය. ජාතික දේපාලනය සපුරන්නේ මෙම අධ්‍යාත්මික ඉල්ලීමයි. අවාසනාවකට ලිබරල්වාදයට මේ උණුසුම් සාංදෘෂ්ටික වෙරිය ලබාදිය නොහැක. රනිල් වික‍්‍රමසිංහට නැති මහින්ද රාජපක්ෂට ඇති ආලය මතු වන්නේ එමඟිනි. මහින්ද රාජපක්ෂ ප‍්‍රභාකරන්ට සස්පෙන්ඩරය අන්දවා අපට පෙන්නූ නිසා අපගේ ජීවිත විකසිත වී ඇත. වික‍්‍රමසිංහ මහතා කිසිදු දෙමළකුට එවැන්නක් කරනු ඇතැයි දොඹගහවත්ත සිතන්නේ නැත. සියල්ල සිදු වන්නේ රහසිනි. එළිපිට අප ඇඳගෙන සිටින්නේ සුදු ස්වාමියාගේ කලිසමය. ඒ තුළ සිටින මිනිසා ජීවත් වන්නේ පැලියෝලිතික යුගයකය. යුනෙස්කෝවට සිංහල - බෞද්ධයාව (විමල් වීරවංශව) නූතනවාදියකු කළ හැකි ද?

-දීප්ති කුමාර ගුණරත්න 

Latest Posts

කතාබහ

අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ-පොලිස්පති අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ-පොලිස්පති 2018-01-17 - ලංකාවේ කිසිදු ස්ථානයක තමන් දැනුවත්ව දුරකථන ටැප්...
අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි 2017-12-22 - ජාමියා නලීමියා උසස් අධ්‍යාපන ආයතනයේ හිටපු ජ්...
මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා 2017-12-20 - උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න&...

විශේෂාංග

අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය 2018-01-15 - ශ්‍රී ලංකාව තරම් ජීවත් වීමට සුදුසු  පරිසරයක් ...
උඩප්පුවෙන් නැගෙන පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය උඩප්පුවෙන් නැගෙන  පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය 2018-01-15 - පාඩුකාරයෝ ගල්පර රහිත නොගැඹුරු මුහුදත්, පළල් ...
සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ 2018-01-11 - ජනවාරි 9 දා ජනවාරි 08 පිළිබඳව ජනමාධ්‍ය වාර්තා කළ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

Face Book Setup 01