ජනමාධ්‍ය මකුණන් මෙන්ම දේශපාලන හිසත් වගකිව යුතුය

විශේෂාංග
Typography

ලංකාවේ ජනමාධ්‍ය භාවිතය පිළිබඳ ප‍්‍රශ්නයක් තිබේ. පළමුව කිව යුත්තේ  ජනමාධ්‍යය ද රටේ දේශපාලනය තරමටම කුණු වී ඇති  බවය. දේශපාලන ක‍්‍රමය කෙතරම් ෂිත වී ඇත්ද ඒ තරමටම දේශපාලනයේ හා දේශපාලකයන්ගේ අවභාවිත සෝදිසි මාදිසි කිරීමට සිටින ජනමාධ්‍ය නරක අතට හැරී ඇත. රටේ සියල්ල වැරදි පාරේ ගමන් කරන විට ජනමාධ්‍ය පමණක් හරි පාරේ යන්නට විදියක් ද නැත.

අද වන විට ජනමාධ්‍ය ආයතන ඇරඹෙන්නේ එක්කෝ ලාභ ඉපැයීමටය.නැතහොත් කිසියම් දේශපාලන කණ්ඩායමක් හෝ පුද්ගලයන් කිහිප දෙනකු ඔසවා තැබීම පිණිසය. එම චෝදනාවෙන් ගැලවෙන ජනමාධ්‍ය ආයතන එකක් නැත්නම් දෙකක් තිබිය හැකිය. එහෙත් සාපේක්ෂව ගත් කල ජනමාධ්‍යයේ තත්ත්වය හොඳ නැත. නිදර්ශනයක් ලෙස පසුගිය සමයේ මහා ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරුණු පුවත්පතක් දැක්විය හැකිය. ඔවුන් එය පටන්ගත්තේ සාධාරණ යැයි පෙනෙන මට්ටමේ ප‍්‍රාග්ධනයකින් නොව රටේ මහත් අපකීර්තියක් අත්කරගත් සිදුවීමකින් හරි හම්බ කරගත් ධනයෙනි. එවිට කොහොමටත් ජනමාධ්‍යයේ අරමුණ අඳුරු වෙයි. එම ජනමාධ්‍යවේදීන්ට මිලියනයේ සිට පහළට වැටුප් ලැබුණු බව දැනගන්නට ලැබිණි. සාධාරණ මූල්‍ය සංචිතයකින් කරන පුවත්පතක නම් එවැනි වැටුප් ලබා දිය නොහැකිය. එම පිරිස් එක් පුවත්පතකින් නොනැවතී පුවත්පත් කිහිපයක් ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකාවක් පටන් ගැනීමට නියමිතව තිබුණි. එහෙත් හදිසියේම එම ඉලක්ක පුපුරා යාම නිසා එම මහා ප‍්‍රයත්නය ලොප් විය. මෙම වර්ගයේ ජනමාධ්‍ය කොහොමටත් හොඳ වන්නට විදියක් නැත. ජනමාධ්‍ය ගැන අපගේ  නිරීක්ෂණ යළිත් ලියන්නට සිදුවී තිබෙන්නේ අග‍්‍රාමාත්‍යවරයා දෙසැම්බර් 04 දා මාධ්‍යවේදීන්ට එල්ල වන ප‍්‍රචණ්ඩත්වයට එරෙහි අන්තර්ජාතික සමුළුවේ දී කරන්නට යෙදුණු මත පළකිරීමක් සමඟය.

අගමැතිගේ චෝදනා

අගමැතිවරයාගේ පළමු චෝදනාව වූයේ උක්ත සමුළුවට මාධ්‍ය ප‍්‍රධානීන් සහභාගි නොවීම පිළිබඳවය. රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකක ප‍්‍රධානීන් හා පුද්ගලික මාධ්‍ය ආයතනයක කතුවරයෙකු පමණක් සමුළුවට සහභාගී වී සිටින බව අගමැති එහි දී කීවේය. එමෙන්ම රාජපක්ෂ ආණ්ඩුව කාලයේ මිය ගිය මාධ්‍යවේදීන් වෙනුවෙන් අද වැඩ කරන මාධ්‍යවේදීන් පෙනී නොසිටින බව එම සහභාගී නොවීමෙන් අදහස් වන බව ද ඔහු කීවේය. මාධ්‍ය තමාගේ රැස්වීම්වලට සහභාගී නොවන බවත් ඔවුන්ට  ඕනෑ රාජපක්ෂ රෙජීමය යළි බලවත් කර ලාභ ඉපැයීම බවත් හෙතෙම කීවේය. එමෙන්ම ඔබට  ඕනෑ යළි මාධ්‍ය මර්දනය ද යන ප‍්‍රශ්නය ද හෙතෙම එහි දී විමසුවේය. අගමැතිගේ චෝදනා හා ප‍්‍රශ්න කිරීම් සපුරාම ඇත්තකි. එපමණකුත් නොවේ. ජනමාධ්‍ය පිළිබඳ තවත් විවේචන රැසක්

තිබේ. රටේ වැඩි හරියක් තිබෙන්නේ තම මතය නොලියන පුවත්පත් බවත් ඔහු නොකීවේය. රටේ වැඩිහරියක් ජනමාධ්‍ය මහජන සේවා ජනමාධ්‍ය යන තේමාවෙන් ඈත් වී ඇති  බව ඔහු නොකීවේය. බොහෝ මාධ්‍ය මහජනයාගේ ජීවිතවලට අදාළ ජනමාධ්‍ය කලාවක නිරත නොවන බව ඔහු නොකීවේය. මුදලාලිලා හා දේශපාලනඥයන්  මාධ්‍ය අයිතිකරගෙන සිටින තත්ත්වය තුළ මාධ්‍ය වේදීන් වැටී සිටින අර්බුදය ගැන ඔහු නොකීවේය. ඒ නිසාම ජනමාධ්‍ය ආචාරධර්ම බල්ලාට ගොස් ඇති බව ඔහු කීවේ නැත. දේශපාලනඥයන් ජනමාධ්‍ය හැසිරවීමේ බලය අනියමින් අත්පත් කරගෙන සිටින බව ඔහු නොකීවේය. මේ සියල්ල කියන අතර අගමැති කළ චෝදනා ද ජනමාධ්‍ය පිළිගත යුතුය. එක මකුණයි ළමයෝ කන්නේ ඇයි ඔක්කොම මකුණො මරන්නේ යන ගීත කණ්ඩය අගමැතිට මතක් කර දීමට ජනමාධ්‍යවේදීන්ට මේ මොහොතේ අයිතියක් නැතිවී තිබෙන්නේ මකුණන් රැුසක් කෑමෙහි නිරත නිසාය. එහෙත් එසේ නොකන කිහිප දෙනා අගමැතිගේ අවධානයට ලක් විය යුතුමය. නැතහොත් අගමැතිගේ චප්ප කිරීමට ලක් වන්නේ සේරමය.

අගමැති කියන පරිදි මාධ්‍යයේ කරඬුව ගෙන ගිය ඇතා මරා දැමූ පසු මාධ්‍යවේදීහු නිහඬ නොවූහ. ඒ ගැන වසර අටක් එක දිගටම ප‍්‍රශ්න කරන හා ඒ පිළිබඳව දිගටම සොයා බැලූ මාධ්‍ය තිබුණි. දැනුත් තිබේ. ඔහු කියන පරිදි කරඬුව ගෙන ගිය ඇතා ලසන්ත වික‍්‍රමතුංග නම් අප කිව යුත්තේ වික‍්‍රමතුංග මහතාත් එක්තරා දේශපාලන දැළක සිරවී සිටි බවය. ඊයේ පෙරේදා ඝාතනයට ලක් වූ දළ පූට්ටුවා කෙතරම් මිනිසුන්ට හිතවත් ඇතකු වුවත් ඒ ඇතාට කිසිදාක කරඬුවක් වඩම්මන්න ඉඩ ලැබුණේ නැත. එසේ කරඬුව වඩම්මන්නට අවස්ථාව නොලැබුණු නියම ඇත්තු සිටියහ. සිටිති. ඒ ඇතුන් වැඩි කලබලයකින් තොරව වැඬේ පමණක් හරියට කරගෙන සිටි නිසා කිසිවෙක් ඒ සා ගණන් ගත්තේ නැති බව ද අගමැතිට කිව යුතුය.

දේශපාලනඥයන් සහ මාධ්‍ය

රටේ බොහෝ දේශපාලන නායකයෝ තමාට හිතවත් ජනමාධ්‍ය කල්ලි නඩත්තු කරති. ඒ ගැන අප කාටත් වඩා අග‍්‍රාමාත්‍යවරයා දනී. ජනමාධ්‍යවේදියකු වීමට පැමිණි සමහරු පුවත්පත මගින් කිසියම් නායකයකු ආවරණය කිරීමට පත්කළ විට ටික දවසකින් නායකයා හා මාධ්‍යකරුවා සීමාව ඉක්මවා මිතුරු වෙති. එසේ මිතුරු වීම නරක දෙයක් නොවේ. එහෙත් ඒ සමගම මාධ්‍යකරුවා ජනමාධ්‍යයේ මූලික ආචාරධර්මවලට සතුරු වෙයි. නායකයාගේ මාධ්‍ය කල්ලියේ එකකු බවට පත්වී පත්තරේ වැටුප මෙන්ම නායකයාගේ වරදාන ලබයි. මේ ගැන හොඳටම දන්නේ අගමැතිවරයා බව නැවත කිව යුතුය. මහින්ද රාජපක්ෂ මහතා ද ඒ තරමටම දනී. දේශපාලනඥයන් එසේ ජනමාධ්‍යවේදීන්ගේ කල්ලි හදාගැනීම සමාන වන්නේ ඇතැම් දේශපාලකයන් පාතාල කල්ලි නඩත්තු කිරීමේ වැඩපිළිවළටමය. පාතාල කල්ලිය නායකයාගේ සතුරකු භෞතිකව විනාශ කර දමයි. එසේ ඉවත් කළ නොහැකි එහෙත් අපකීර්තියට ලක් කළ යුතු අයට ඒ වැඬේ දෙන්නේ ජනමාධ්‍ය කල්ලිය විසිනි. ඒ හැරුණු විට ඔවුන්ගේ ප‍්‍රධාන රාජකාරිය වන්නේ මොන මොන ජිල්මාට් දමා හෝ නායකයා ඔසවා තැබීමය. ඒවා ජනමාධ්‍යවලට අදාළ කටයුතු නොව දේශපාලනඥයන් හා ජනමාධ්‍යවේදීන් (?) එකිනෙකා ගෙන් යැපීමට හදාගත් ක‍්‍රමෝපායන්ය.

දේශපාලකයන් සමඟ සිටින ජනමාධ්‍ය කල්ලි වල සාමාජිකයන් ගෙවන්නේ සුපිරි දිවියකි. අවංකව  ජනමාධ්‍ය කරන සාමාන්‍ය ජනමාධ්‍යවේදියකුට ගෙයක් හදා ගැනීමට අවස්ථා තුනකදීවත් බැංකුවලට ණය වී ඒ සඳහා මුළු ජීවිත කාලයෙන් බාගයකට වඩා කාලය ගත කිරීමට සිදු වෙයි. ඒ බොහෝ මාධ්‍යවේදීන්ගේ වැටුපෙන් ලොකුම කොටස බැංකු ණය වෙනුවෙන් කැපේ. අඩුම මිලට ඇති වාහනයක් ගැනීමට වයස අවුරුදු පනහට ආසන්න වනතුරුම කල් බැලීමට සිදු වෙයි. සමහරවිට පනහේදීත් එය ඉටුකර ගත නොහැකිවී හැට ගණන් පසුවී වළ කජ්ජ ගසන තෙක්ම පයින් යයි. හම්බ කළ දෙයක ඉතිරියක් නම් නොදකියි. එහෙත් දේශපාලකයන් සමඟ කල්ලි ගැසුණු ජනමාධ්‍යවේදියකුට තිඹිරිගස්යායෙන්

වුව ගෙයක් හදන්නට වරම් ලැබෙයි. හොඳම වාහනයක් ගැනීම කජු කනවා වැනි වැඩකි. වැටුපෙන් විතරක් ජීවත්වන ජනමාධ්‍යවේදියාට සමහරවිට ආයතනයේ දී හෝ ගෙදර ප‍්‍රශ්නයක දී ඇතිවන පොඩි පහේ හිතේ අමාරුවක දී අරක්කු ටිකක් බීමට පවා වත්කමක් නැත. ඔවුන් හිතේ අමාරුව නිවා ගන්නට අද ? බීවොත් පසු දා දරුවන්ගේ හා ගෙදර වියහියදම් අර්බුදයට යයි. එහෙත් ඉහත දැක්වූ වර්ගයේ ජනමාධ්‍ය පමණක්ම නොකරන මාධ්‍යවේදීන්ට පසු දා එළඹෙන ආර්ථික කරදරවලින් තොරව බීමට නොව නෑමට වුව පුළුවන. ජනමාධ්‍ය සමාජය තුළ එවැනි මජර තත්ත්වයක් මෙන්ම අනෙක් අතට තව කොටසකට ඉතා දුක්ඛිත තත්ත්වයක් තිබෙන බව අගමැතිවරයා දන්නවාද? ජනමාධ්‍ය ඔහු කියන තරම්ම නරක් වීමට මේ සියල්ල බලපෑ බවත් අගමැතිවරයාට සිහිපත් කර දිය යුතුය.

නොලිවීමේ ඛේදය

දක්ෂ ජනමාධ්‍යවේදීන් යම් කලක් ඇවෑමෙන් පුවත්පත්වල කර්තෘවරුන් වූවාට පසු ලිවීම කර්තෘ මණ්ඩලයේ අනෙක් එවුන්ගේ ඇෙඟ් ගසා තමා සැපදායක ක‍්‍රමයකට හුරුපුරුදු වෙයි. කර්තෘ යනු සතියේ පුවත්පතේ සැලැස්ම දෙන පුද්ගලයා පමණක්ද? එසේ විය නොහැකිය. ලංකාවේ වැඩිපුරම විකිණෙන පුවත්පතේ කතුවරයා වරක් කියා තිබුණේ ඩමිය ඇඞ්වර්ටයිසිං ඩිපාට්මන්ට් එකෙන් එවූ පසු අපි කරන්නේ ඉතිරි ඉඩ පුරවන එක යනුවෙනි. එසේ ඇතැම් පුවත්පත්වල අන්තර්ගතය තීරණය කරන්නේ ද කර්තෘ නොවේ. අන්තර්ගතය තීරණය කිරීම කර්තෘගේ වැඩක් වන අතර සතියේ පුවත්පත සැලසුම් කිරීම ද ඔහුගේ වැඩකි. ඒ සියල්ල උප කර්තෘවරුන්ට භාර දී කර්තෘ සෙරමෝනියල් තත්වයට පත්ව සිටීම මුළුමනින් වැරදිසහගතය. එය උප කතුවරුන් කොට අදිද්දී කර්තෘ අලියා වී මනරම් ඇඳුමින් සැරසී පෙරහැරේ යන ජාතියේ වැඩකි. කර්තෘත් හරි හරියට කොට ඇදිය යුතුය. අගමැතිගේ

අනුගාමිකයන්ව සිටි ඇතැම් කර්තෘවරුන් අද වන විට අඩුම වශයෙන් කතුවැකිය ලිවීමෙන් පවා වැළැකී සිටිනු පෙනෙයි. අනුන්ගේ පින්තූරයකට කාට හෝ කියා කවියක් ලියා ගන්නා, තවත් කාගේ හෝ පින්තූරයකට වාක්‍ය දෙකක් ලියා කතුවැකිය නමැති උත්තර සටහන මතයක් නැති ව්‍යාජයකට සීමා කරන කර්තෘවරුන් ලංකාවේදී හමුවෙයි. රටේ ඒ මොහොතේ වැදගත් ප‍්‍රශ්නයක් ගැන තම මතය ලිවීමෙන් වළකින ඔවුහු ජනමාධ්‍යයට චෝදනා කරන අගමැතිවරයාගේ අනුගාමිකයන් මිස වෙනත් කාගේවත් අනුගාමිකයෝ නොවෙති. අගමැතිවරයා ඉහතින් දැක්වූ චෝදනා එල්ල කරන අතරම කතුවරුන්ට ඇත්ත තත්ත්වය නොලියන්නේ මන්ද, තම මතය නොලියන්නේ මන්ද යන්න චෝදනා මුඛයෙන් ඇසුවා නම් ඉතා අගනේය. ඔහු ඇසුවේ කොන්ද පණ තිබෙන කර්තෘවරුන් ඝාතනයට ලක් වූ තම ජ්‍යෙෂ්ඨ මාධ්‍ය සගයන් ගැන නොවිමසූ ප‍්‍රශ්නයක් ගැන නොවේ. මාධ්‍යවේදීහු ලසන්තත්, එක්නැලිගොඩත් තවත් සෙසු සගයන් ගැනත් ආණ්ඩු දෙකෙන්ම පුන පුනා කරුණු විමසූහ. එහෙත් තවමත් එය තිබෙන්නේ පිළිතුරු විරහිත ප‍්‍රශ්නයක් ලෙසිනි. ඒ කෙසේ වෙනත් අගමැතිවරයා යළි ජනමාධ්‍යවේදීන්ට අගතියට ලක් වූ තම සගයන් ගැන සිහිපත් කර දීම පැසසුම් කටයුතුය. ජනමාධ්‍යවේදීන් අනවරතව ඒ පිළිබඳව සිය අවධානය යොමු කළ යුතුය.

චෝදනා සාධාරණයි

අගමැතිගේ චෝදනාවල එක් පැත්තක් ඉතා සාධාරණය. නිදසුනකට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගතහොත් ලංකාවේ ජනමාධ්‍ය නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට පක්ෂව කරන පළ කිරීම්වලට සාපේක්ෂව ඊට විරුද්ධව කරන පළ කිරීම් වැඩි බව පෙනෙන්නට තිබේ. මීට මසකට පමණ පෙර දළදා මාලිගාවේ කාරක සංඝ සභාව ව්‍යවස්ථාව ගැන ප‍්‍රකාශ කරන ලදැයි කියූ පුවතෙහි යටගියාව ඇත්තටම එසේ නොවේ. කාරක සංඝ සභාවේ ගණපූර්ණයවත් නොමැති එක් අනුනායක හිමිනමක් විසින් ප‍්‍රකාශ කරන ලද්දක් පුවත්පත්වල මුල් පිටුවල පළ විය. එය වගකීම් විරහිතව පළ කළ ප‍්‍රවෘත්තියක් බව පසුව හෙළි විය. ඒ අගමැතිවරයා කළ ප‍්‍රශ්න කිරීමෙන් පසුවය. ඒ එකක් පමණි. අපේ පුවත්පත් ජාතිවාදී හා ආගම්වාදී මත ප‍්‍රචාරණයට දෙන ඉඩ කොතෙක්ද. ඊට සමාන ඉඩක් සංහිඳියාවට හා ආගමික සහජීවනයට දෙනවාද යන්න කර්තෘවරු සිය හදවතට තට්ටුකර තමාගෙන්ම විමසා ගත යුතුය. ජාතිවාදය යනු දිදුලන අදහසකි. සංහිඳියාව දිදුලන්නේ නැත. එවිට කර්තෘවරු පුවත්පත් අලවිය සඳහා ජාතිවාදය තෝරා ගනිති. මෙය සපුරා මාධ්‍ය අවභාවිතයකි. කතුවරු තෝරාගත යුත්තේ දිදුලන දේ නොව ඇත්ත ප‍්‍රශ්නය නොවේද?

ලසන්ත ඝාතනය

ලසන්ත ඝාතනය, සිවරාම් ඝාතනය, එක්නැලිගොඩ අතුරුදන්වීම ඇතුළු සෙසු ජනමාධ්‍යවේදීන්ට එරෙහිව කරන ලද පහරදීම් ගැන ජනමාධ්‍ය ඇති තරම් ආණ්ඩුවලින් විමසා තිබේ. ලසන්ත ඝාතනය නිදසුනකට ගතහොත් මේ වනවිට ලසන්ත ඝාතනයේ එක් සැකකරුවෙක්වත් අත්අඩංගුවේ නැත. එසේ වන්නට විදියක් නැත. එසේ විය හැක්කේ ලසන්ත අත්තිඩියේ දී තෙමේම දිවි නසා ගත්තානම්ය. අගමැතිවරයාගේ වගකීම වන්නේ මේවා ගැන කෙරෙන පරීක්ෂණ නිවැරදිව කෙරෙනවාද යන්නත් විමසා බැලීමය. ජනමාධ්‍ය මගින් විටින් විට ඒ පිළිබඳව තත්ත්වය වාර්තා කරන්නට යෙදුණි. ඒවායේ තිබෙන අඩුපාඩුකම් පෙන්වා දෙන්නට යෙදුණි. එහෙත් ඒවා පෙන්වා දෙන අවස්ථාවල දී අගමැතිවරයා ඒවා නිවැරදි කිරීමට කුමක් හෝ කර තිබේද අප දන්නා තරමින් නැත. දිගින් දිගටම ප‍්‍රශ්න කර කිසිවක් සිදු නොවන තැන ජනමාධ්‍යවේදීන් එය ඉරණම යැයි සිතා ඉරණම භාර ගැනීමට බලා සිටිනවා වන්නට පුළුවන. එය වැරදි ආකල්පයක් බව කිව යුතුය. නිවැරදි විය යුත්තේ ජනමාධ්‍යවේදීන් පමණක් නොවේ. අගමැතිත් මීට වඩා කාර්යක්ෂම විය යුතුය. රටේ සිදුවීම් කෙරෙහි ඒ ඒ වෙලාවට පමණක් නොව හැම වෙලාවේදීම මීට වඩා උනන්දු විය යුතුය. නායකයන් උනන්දු නම් රටේ ජනයාට උනන්දු නොවී සිටිය නොහැකි වනු ඇත.

විමලනාත් වීරරත්න

Latest Posts

කතාබහ

අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ-පොලිස්පති අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ-පොලිස්පති 2018-01-17 - ලංකාවේ කිසිදු ස්ථානයක තමන් දැනුවත්ව දුරකථන ටැප්...
අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි 2017-12-22 - ජාමියා නලීමියා උසස් අධ්‍යාපන ආයතනයේ හිටපු ජ්...
මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා 2017-12-20 - උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න&...

විශේෂාංග

අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය 2018-01-15 - ශ්‍රී ලංකාව තරම් ජීවත් වීමට සුදුසු  පරිසරයක් ...
උඩප්පුවෙන් නැගෙන පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය උඩප්පුවෙන් නැගෙන  පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය 2018-01-15 - පාඩුකාරයෝ ගල්පර රහිත නොගැඹුරු මුහුදත්, පළල් ...
සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ 2018-01-11 - ජනවාරි 9 දා ජනවාරි 08 පිළිබඳව ජනමාධ්‍ය වාර්තා කළ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

Face Book Setup 01