නෑනාගේ සංස්කෘතියට වහල් වීම හා සම්භාව්‍ය දේශපාලනය අතහැරීම

විශේෂාංග
Typography

සම්මුතිවාදී ආණ්ඩුවේ නායක දෙපළ මුහුණ දී සිටින ජය ගැනීමට අසීරු ප‍්‍රධාන ප‍්‍රශ්න දෙකක් තිබේ. එකක් වන්නේ රටෙහි විපක්ෂ බලවේගවලින් එල්ල වන ජාති ආගම්වාදී ප‍්‍රවණතාවයි. දෙවැන්න ඊට අනුබද්ධව මතුව තිබෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමේ ගැටලූවයි.

මෙම ප‍්‍රශ්න දෙක අනුලෝමව එකිනෙකට සමපාත බවක් උසුලයි. මේ ප‍්‍රශ්න දෙක විසඳා ගත හැක්කේ රටේ නායකයන් මෙන්ම ජනයා ජාති - ආගම්වාදී නොවීමෙනි. අනෙක් අතට ඔවුන් දෙපිරිසම නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව තේරුම් ගත යුතුව ඇත. මෙම තේරුම් ගැනීම සඳහා නායකයන් මෙන්ම ජනතාව සංස්කෘතික කරණය විය යුතුය.

ලංකාව සංස්කෘතික අභිලාෂයන් නැති රටක් ලෙස පෙනෙන අතර අවවර්ධිත කලා සංස්කෘතික පදනමක රටේ නායකයන් මෙන්ම ජනයා ද පිහිටා සිටිනු පෙනේ. ලංකාවේ සමස්ත රාජාවලියම ගතහොත් රජුගේ රසවින්දනය හා සංස්කෘතික වපසරිය වූයේ ප‍්‍රශස්ති කාව්‍යයය. ඒ හැරුණු විට සටන් කාව්‍යයය. සීගිරිය නම් වූ මහා කලා මණ්ඩපය කේන්ද්‍රීය පාලන තන්ත‍්‍රයට ලංකාවේ පැවැත්මක් නොලැබුණි. සංදේශ කාව්‍ය උසස් කාව්‍යෝක්ති, පද සංඝටනා, අනුප‍්‍රාස රස ඈ සියල්ලෙන් සුසැදි වූවත් ඒවා බොහෝ දුරට ලියවුණේ රජ පවුලේ හා පරිවාරයේ පටු සංසිද්ධීන් මුල් කරගෙනය. මේ තත්ත්වය තුළ උසස් කලා රස වින්දනයක් මුල පටන් ලංකාවේ රාජ්‍ය පාලකයන්ට නොලැබුණි. ජනතාවට පෙරී ආවේද රජුගේ ආස්වාදයේම කොටසකි. මේ තත්ත්වය අද වන විට වෙනස්ද?

නායකයෝ කැමැති දේ

වත්මන් ජනපතිවරයාගේ හා අගමැතිවරයාගේ කතා අප  ඕනෑ තරම් අසා ඇතත් ඔවුන් දෙදෙනා උසස් කලා කෘතියක් ගැන අදහසක් පළ කරනු අප අසා නැති බව කනගාටුවෙන් වුවද කිව යුතුය.

අගමැතිගේ කතාවලින් ඔහු දකුණු ආසියානු දේශපාලන හා ආර්ථික ඉතිහාසය ගැන මනා අවබෝධයකින් පසුවන්නකු බව පෙනේ. එහෙත් ඔහු කෙතරම් පරිසමාප්ත සංස්කෘතික ලෝකයකට ඇතුළු වූ මිනිසකු දැයි ඉන් හෙළි නොවේ. ඒ සඳහා දැනුමක් ලබා ගැනීමට ඔහුගේ සංස්කෘතික පරිශීලනය කෙතෙක් දැයි විවරණය විය යුතුය. ජේ.ආර්. ජයවර්ධන ඉඳහිට හෝ ශේක්ෂ්පියර්ගේ හැම්ලට්, ඔතෙලෝ, මැක්බත් වැනි සිංහල ඉංග‍්‍රීසි නාට්‍ය නිෂ්පාදන නැරඹුවේය. පේ‍්‍රමදාස මහතා ආරාධනා ලද විටෙක එවැනි නාට්‍ය බැලූවේය. ඒවා තබා ‘වීරයා මැරිලා’, ‘ආපසු හැරෙන්න බෑ’ වැනි නාට්‍යයක්වත් බලන්නට වත්මන් ජනපති හා අගමැති පැමිණ සිටිනු අප දැක නැත. දැන් ඔවුන්ට ඒ සඳහා කාල වේලාව නැතත් විපක්ෂයේ සිටින කාලයේ කරු පරණවිතාන සේ හෝ මේවා බලන්නට ඔවුන්ට ඉඩ තිබුණි. තරුණ විප්ලවවාදී ව්‍යාපාරයක් ලෙස පැන නැගුණු ජවිපෙ මෙම කාරණයේදී ඉන්නේ කොතැනද? ඔවුන් කලා රස වින්දනයේ දී සේරටම වඩා පසුගාමීය. ළඟදී බැලූවේ කුමක්ද යනුවෙන් ජනමාධ්‍යයකින් ප‍්‍රශ්නයක් ඇසූ විට ලාල් කාන්ත කියා තිබුණේ ස්පාටකස් කියාය. අඩුම තරමින් ග්ලැඩියේටර් බැලූවා කියන්නට ඔහුට තිබුණි. නැතහොත් සුපර් ශිවා ළමා කාටූනය යැයි කීමට තිබුණි. ඔවුහු 71 සිටම ව්‍යාජ ජනතාවාදයකින් නිර්වින්දය වී සිටියහ.

නායකයන් නිර්මාණ රස නොවිඳීම රාජ්‍ය පාලනයට ප‍්‍රශ්නයක් වන්නේ කෙසේ දැයි යන්න ගැන දැන් ප‍්‍රශ්නයක් මතු විය හැකිය. එහෙත් යම් කිසි ව්‍යායාමයක් ආයාසයෙන් යුතුව තාර්කික අවසානයක් කරා ළඟා කිරීමට මෙම සංස්කෘතික අධ්‍යාපනය නායකයන්ට මෙන්ම ජනතාවට වැදගත්ය.

ව්‍යවස්ථා නිදර්ශනය

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය ගැන ඉකුත් 11 වනදා පවත්වන්නට නියමිතව තිබුණු විවාදය කල් ගියේය. මේ වන විට ව්‍යවස්ථාව යනු එසේ කල් යන වැඩක් බවට පත්ව තිබේ. රටේ නායක දෙපළට ඒ සඳහා යම් වුවමනාවක් තිබුණත් බාහිරින් එල්ල කෙරුණු ජාතිවාදී හා ආගම්වාදී බලපෑම, විශේෂයෙන්ම සිංහල බෞද්ධ අන්තවාදය නිසා ඔවුන් දෙදෙනාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය පසුපසට තල්ලූ කර දැමීමට සිදුව තිබේ. බුදු දහම උත්තර පැවතුම් සංස්කෘතියකි. එහි හරය සංස්කෘතිකය. අන්‍ය මත බෙහෙවින්ම ඉවසන සුළුය. බෞද්ධ දර්ශනයෙන් සුපෝෂිත සංස්කෘතිය තුළ එසේ තිබුණත් ලංකාවේ කි‍්‍රයාත්මක බුදු දහම තුළ අන්‍ය මත ඉවසන්නේ නැත. ලංකාවේ සංඝයා වහන්සේලා දෙමළුන් ඝාතනයට බෝධි පූජා පවත්වති. ඉකුත් මාසයේ බොහෝ කඨින පූජා පිංකම්වලට සමාන්තරව කෙරුණු ධර්ම දේශනා නව ව්‍යවස්ථා විරෝධී ධර්ම දේශනා බවට පත් විය. නව ව්‍යවස්ථා යෝජනා නිසා රට බෙදෙනවා පිංවත්නි කියා දෙසූ විට සිංහල ජාතිමාමකත්වයෙන් ඔද වැඩුණු පිංවත්හු සාධු කීහ. මෙය බෞද්ධ සංස්කෘතියද! බෞද්ධ අසංස්කෘතියද යන ප‍්‍රශ්නය අප අපගෙන්ම විමසිය යුතුය.

මේ ඇත්ත බෞද්ධ විරෝධී ප‍්‍රයත්නය, වැරදි බව කියන්නට මෙරට නායකයෝ කි‍්‍රයා නොකළහ. අගමැති වික‍්‍රමසිංහ කළේ ව්‍යවස්ථා විරෝධී මත පළ කරන මාධ්‍යයට තඩි බෑමය. ඔහු කළ යුතුව තිබුණේ මාධ්‍යයට පෙරළා තඩි බෑම නොව මාධ්‍යයේ මොනර නැටුම ප‍්‍රදර්ශනය කෙරෙන ලෙස සංස්කෘතික තලයේ ප‍්‍රශ්න කිරීමක් සිදු කිරීමය. භාවිතය ප‍්‍රශ්න කිරීමය. මාධ්‍යයේ කළු ආර්ථික පදනම ප‍්‍රශ්න කිරීමය. ඒ සඳහා අගැමතිට දේශපාලන හා කලා සංස්කෘතියකින් පෝෂණය ලද ශික්ෂණයක් වුවමනාය. ඒ සඳහා කලාව සම්භාවය අර්ථයෙන් ඔහුගේ දිවි පැවැත්ම තුළ අභ්‍යාස විය යුතුය. එහෙත් එම උපකරණ උපාය මාර්ගිකව හසුරුවා ගැනීම පිළිබඳ ඔහුට ප‍්‍රශ්නයක් ඇති බව පෙනේ. නායකයන් සංස්කෘතික දේශපාලනය අභ්‍යාස නොකරන විට ජනතාවට වල් වදින්නට පහසුය. උග‍්‍ර ජාති හා ආගම්වාදීන්ට බෞද්ධ නාමයෙන් පෙනී සිටින හුදු චීවරධාරීන් පෙරමුණේ තබාගෙන මිනිසාගේ පැවැත්ම පිළිබඳ යථාර්ථයට එරෙහි වන්නට පහසුය. නායකයන් ජනමාධ්‍ය ප‍්‍රශ්න කරන අතරම විපක්ෂයේ කි‍්‍රයාවලිය ප‍්‍රශ්න කරන්නට ද හැකි දේශපාලන සංස්කෘතියකට පිළිපන්ව සිටිය යුතුය. නායකයන්ට උසස් ගුණාංග එන්නේ සම්භාව්‍ය කලාවෙනි. සාහිත්‍යයෙහි සංගීතයෙනි. ඒවා රස විඳින, සිනමාව කියවන නායකයෝ අපට සිටිතිද?

රසිකත්වය

ලංකාවේ සිටින්නේ විරිඳු අහන නායකයන්ය. හිටපු ජනපති මහින්දගේ පි‍්‍රයතම විරිඳු ගායකයා පිළියන්දල, මඩපාත එම්.වී. ගුණදාසගේ පුත‍්‍රයාය. ‘මම කැමැතියි නෑනට, නෑන කැමැති නෑ මට’ නමැති ජනප‍්‍රිය විරිඳුව කියන ජයශාන්ත නම් වු එම තරුණ විරිඳු නායකයා ලවා ජනාධිපතිවරණයට තම පැටිකිරිය ඇතුළත් දීර්ඝ රූප රචනයක් සහිත විරිඳුවක් හිටපු ජනපතිවරයා හදාගත්තේය. ‘අක්ෂරය’ චිත‍්‍රපටය නරඹා තමාගේ අදහස කීමට වරක් මහින්ද රාජපක්ෂ භාරගත්තත් අද වනතුරු ඔහු අක්ෂරය චිත‍්‍රපටය ගැන තම අදහස කියා නැත. එය ඔහු ලබන ආත්මේ හෝ කියනතුරු එහි අධ්‍යක්ෂවරයාත් ඒ ගැන උනන්දු වන අපත් බලා හිඳිමු. මහින්දගේ විරිඳු ලෝලයෙන් වත්මන් නායකයාගේ භින්න කලාරුචිය වැසී යන්නේ නැත. වත්මන් ජනපති හිටිවන කවියට කැමැති බව දැනගන්නට තිබේ. ඔහු සරල ගීයටත් කැමැතිය. අඩියක් පුඩියක් ගැසූ විට එළිසම තියලා දෙන වෙඩි වගේ බයිලා අවශ්‍යය. ඒ සරල වින්දනය සඳහාය. එහෙත් සරල වින්දනය හා සම්භාව්‍ය කලාවෙන් ලබන පෝෂණය අතර දැවැන්ත වෙනසක් තිබේ. සරල වින්දනයෙන් නව ව්‍යවස්ථාව  ඕනෑ යැයි කියන්නට ජනපතිට ධෛර්යයක් එන්නේ නැත. එහෙත් සම්භාව්‍ය කලාව ‘ගට’ උපදවයි. සංස්කෘතික පැවත්මකට මිනිසා ගැටගසයි. සම්භාව්‍ය කලාව, සංස්කෘතිය අභ්‍යාස කරන නායකයකුට බෞද්ධ සංස්කෘතියේ ජාතිවාදය තිබේ දැයි  ඕනෑම කෙනෙකුගෙන් ප‍්‍රශ්න කිරීමට අවශ්‍ය ඥාන පදනම හා ශක්තිය ලැබේ. බෞද්ධ සංස්කෘතියෙහි දෙමළා මරන්නට කියා තිබේදැයි අසන්නට හයිය ලැබේ. විරිඳුවෙන් හෝ හිටිවන කවියෙන් හෝ මෙම සංස්කෘතික ඥාන විභව ශක්තිය නොලැබෙයි. අඩියක් පුඩියක් ගන්න විට පමණක් විරිඳුව හිටිවන කවිය හෝ සරල ගීය හොඳයැයි කීමට සිදුව තිබෙන්නේ එහෙයිනි.

රසල් යුරෝපය සහ ලංකාව

පෘථිවි ගෝලය දුක් කම්කටොලූවලින් යුත් තැනක් බැවින්, එය මරණයෙන් පසු සැප සම්පත්වලින් ආඪ්‍ය තැනකට යා හැකි වන්දනා භූමියක් ලෙස සලකා කි‍්‍රයා කරන පුරුද්ද යුරෝපීයයන් 17 වැනි ශත වර්ෂය වන විට අත්හල බව බර්ට‍්‍රන්ඞ් රසල් පවසයි. ඒ සමගම යුරෝපය සංස්කෘතික ජීවිතයකට බර තබා කි‍්‍රයා කරන යුරෝපයක් බවට පරිවර්තනය කෙරුණි. සෞන්දර්යය කලාව නවීන විද්‍යාව එහි පදනම බවට පත් වූයේය. ඉංග‍්‍රීසි පුනරුදයේ අද්විතීය නාට්‍යකරුවා වූ විලියම් ශේක්ස්පියර්, ජර්මානු මහා සංගීතඥ ජොහාන් සෙබස්තියන් බාක් වැනි විශිෂ්ටයෝ  යුරෝපීය ජනයාගේ සංස්කෘතික ජීවිතය අර්ථවත් කළහ. කෙතරම් දේශපාලන කලකෝලාහල පැවතියත් ශේක්ස්පියර් නාට්‍ය කළ එළිසබත් යුගය වනාහී රසික ජනයාට ජීවිතය දේශපාලනය හා සංස්කෘතිකකරණය පිළිබඳ පරිසමාප්ත අවබෝධයක් ලබා දුන් අවධියකි. බාක්ගෙන් පසු අවදියේ ලූඞ්විග් වැන් බීතෝවන්ගේ සිට සංගීතය හා ජීවිතය එක සාමාජීය රේඛාවක අභ්‍යාස කළ හැකි බව ලෝකය හඳුනා ගන්නේය. යුරෝපීය උගතුන්ගේ හා ජන නායකයන්ගේ දෘෂ්ටිවාදය නවීන දෘෂ්ටිවාදයක් බවට පත් කිරීමට සම්භාව්‍ය කලාව හා කලා කෘති පරිශීලනය බලපෑ බව බර්ට‍්‍රන් රසල් පෙන්වා දී තිබේ.

‘හොඳම ඇමැතිවරයා යනු ඔහු වෙත ඉදිරිපත් කෙරෙන විවිධ ප‍්‍රශ්න පිළිබඳව සැණෙකින් හා ක‍්‍රමානුකූලව සිතීමට හැකි පුද්ගලයාය. ඔහු සතු පළමු ගුණාංගය වනුයේ සාමාන්‍ය බුද්ධිය වන අතර දෙවැන්න වනුයේ ජනතාව පිළිබඳ විනිශ්චයක් කිරීමට ඔහුට ඇති හැකියාවයි.’ (හැරල්ඞ් ලැස්කි)

ලංකාවේ නායකයන් ඔවුන්ට අභිමුඛවන ප‍්‍රශ්න ගැන ක‍්‍රමානුකූලව හිතනවාද? අනතුරුව ජනයා පිළිබඳව විනිශ්චයක් කරනවාද? අපේ නායකයෝ දෙකක් කරති. එකක් ප‍්‍රශ්න ගැන කල් මැරීමය, අනෙක මඟහැර සිටීමය. යුරෝපයෙහි ශේක්ස්පියර්ගෙන් බාක්ගෙන් හා බීතෝවන්ගෙන් කෙරුණු වැඬේ ලංකාවේදී මඩපාත නෑනාගෙන් කර ගත නොහැකිය. කොටින්ම ‘මම කැමැතියි නෑනට’ වැනි විරිඳුවලින් සංස්කෘතියක් ගොඩනැගිය නොහැකිය. සම්භාව්‍ය සංස්කෘතික අරුතකින් ප‍්‍රායෝගික දේශපාලනයට මුහුණ දෙන ප‍්‍රතිපත්තියක් නායකයන්ට මෙන්ම ජනතාවට අවශ්‍ය වන්නේ එනිසාය.

-විමලනාත් වීරරත්න

Latest Posts

කතාබහ

ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ 2018-02-22 - මේ වන විට දේශපාලන කරලියේ කැබිනට් සංශෝධනයක් ප...
මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් 2018-02-22 - තමන් කිසිම ආණ්ඩුවකට සහය නොදෙන බවත් එසේ සහය දෙන...
අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති 2018-02-05 - මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් එක් පක්ෂ ව...

විශේෂාංග

මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් 2018-02-20 - මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් ...
පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් 2018-02-20 - ‘කරදිය ලෝලියාගේ තෙතබරිත සැන්දෑව’ නම් අමුතු කවි...
කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි   කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි 2018-02-15 - ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

Face Book Setup 01