තේ වගේද ඇස්බැස්ටෝස්

විශේෂාංග
Typography

2017 වසරේ දී ද ශී‍්‍ර ලංකා තේ කර්මාන්තයට වසර 150 ක් සපිරේ. ශ‍්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන ප‍්‍රධාන මාර්ගවලින් එකක් වන තේ කර්මාන්තය මෙරට ව්‍යාප්ත කරනු ලැබුවේ සුදු පාලකයන්ගේ සමයේදීයි. ශ‍්‍රී ලංකාවට මුල්ම තේ බීජ 1824 දී හා 1839 දීත් ගෙන ආ අතර ඒ පර්යේෂණ කිරීම සඳහා පමණි.

පෙර රටේ ප‍්‍රධාන ආර්ථික භෝගය වූ කෝපි වගාව කොළ අංගමාරය රෝගයට ගොදුරු වීමත් සමඟ ඒ වෙනුවට 1867 දී වාණිජභෝගයක් ලෙස තේ වගා කිරීම ඇරඹිණ. ඒ ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ටේලර් විසින් පළමු වාණිජ තේ වගාව සහ තේ නිෂ්පාදනය හේවාහැට ලූල්කඳුර වතුයායේ දී අරඹනු ලැබීමත් සමඟමය. මේ හේතුවෙන් ලංකාවේ වාණිජ තේ වගාවේ පියා ඔහු ලෙස සැලකේ. එලෙස ආරම්භ වූ තේ කර්මාන්තය ශ‍්‍රී ලංකාව ලෝකයේ අංක එකේ තේ නිෂ්පාදකයා බවට කාලයක් ඔසවා තබා තිබුණි. නමුත් ඇතිවූ තරගකාරීත්වයත් සමඟ ලංකාව මේ වන විට ලෝකයේ සිව්වන ස්ථානයට පත්ව තිබේ.

මේ සියල්ල අතර ශ‍්‍රී ලංකාවෙන් පිටත් කරන ලද තේ පෙට්ටියක කැප්රා කුරුමිණියෙකු (Khapra beetle) සොයා ගැනීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකාවෙන් තේ මිලදී ගැනීම සඳුදා (දෙසැම්බර් 18) සිට තාවකාලිකව අත්හිටුවන බව රුසියාව තීරණය කර තිබුණි. මේ සමඟම තේ තහනම ඉවත්කර ගැනීම වෙනුවෙන් විවිධ රාජ්‍යතාන්ත‍්‍රික සාකච්ඡුා පවත්වමින් සිටින බව ජනාධිපතිවරයා නිවේදනය කර තිබුණි.

ප‍්‍රධාන ගැනුම්කරු

2017 වසර වන විට ද ලංකා තේ සඳහා ප‍්‍රධාන ගැනුම්කරුවන් ලෙස සිටියේ රුසියාව, ඉරානය, ඉරාකය සහ ඩුබායි යනාදි රටවල් ය. මේ අතරින් රුසියාව වසරකට තේ කිලෝග‍්‍රෑම් මිලියන 34 ක් ආනයනය කරන අතර අනෙක් රටවල් අතරින් ඉරානය කිලෝග‍්‍රෑම් මිලියන 33ක්ද, ඉරාකය කිලෝග‍්‍රෑම් මිලියන 32ක්ද, තුර්කිය කිලෝග‍්‍රෑම් මිලියන 27ක්ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යය කිලෝග‍්‍රෑම් මිලියන 18ක්ද, ලිබියාව කිලෝග‍්‍රෑම් මිලියන 12ක්ද, සිරියාව කිලෝග‍්‍රෑම් මිලියන 12ක්ද, අසර්බයිජානය කිලෝග‍්‍රෑම් මිලියන 10ක්ද ආනයනය කරන බව පැවසේ. රුසියාව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන තේ ගැනුම්කරුවකු ලෙස මුළු තේ අපනයනයෙන් 25%ක් මිලදී ගනියි. පසුගිය මාස කිහිපය තුළ මෙරටින් තේ කිලෝග‍්‍රෑම් මිලියන විසිපහක් රුසියාවට අපනයනය කර ඇති අතර එමඟින් රුපියල් බිලියන දහනවයක පමණ විදේශ ආදායමක් මෙරටට ලැබී තිබේ. මේ අනුව බලන කල රුසියාව තේ මිලදී ගැනීම අඩාළ වීම යනු අපේ රටේ තේ කර්මාන්තය බරපතළ ලෙස කඩා වැටීමට හේතුවකි.

ඇස්බැස්ටෝස් තහනම

ඇස්බැස්ටෝස් සහ තේ යනු එකිනෙකට කිසිදු ලෙසක නොපෑහෙන දෙයක් වුවත් තේ අර්බුදය අවසානයේ නැවතී ඇත්තේ ඇස්බැස්ටෝස් තහනම අසල ය. රුසියාවෙන් තේ තහනම් කිරීමත් සමඟ එයට හේතුව බහාලූමක කුරුමිණියෙක් සිටීමේ සිදුවීම නොව අපේ රට විසින් 2024 දී ක‍්‍රියාත්මක කිරීමට නියමිත ඇස්බැස්ටෝස් තහනම බවට මත පළ විය. ඇස්බැස්ටෝස් තහනම් කිරීමට හේතුව ලෙස සඳහන් වූවේ එය පිළිකාකාරකයක් බව තහවුරු වීමයි. ශ‍්‍රී ලංකාව ප‍්‍රධාන වශයෙන් ඇස්බැස්ටෝස්  මිලදී ගන්නේ රුසියාවෙනි. තේ සහ ඇස්බැස්ටෝස් එකිනෙකට නොපෑහුනද අවසානයේ ආණ්ඩුව ඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීමට තීරණය කර තිබුණි. එසේම රුසියාවේ  ඇස්බැස්ටෝස් සෞඛ්‍යාරක්ෂිත ද යන්න පිළිබඳ සොයා බලා වාර්තාවක් ලබා ගැනීමට ද නියමිත බව ඇමැතිවරයා පවසා තිබුණි.

තේ වගාවේ අර්බුද

ලොව වැඩි වශයෙන්ම තේ නිෂ්පාදනය කරන රටවල් අතරින් ශ‍්‍රී ලංකාවට 4 වන ස්ථානය හිමි වී ඇත. මෙම ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින චීනය වසරකට තේ කිලෝග‍්‍රෑම් බිලියන 2.2ක් නිපදවන අතර ඉන්දියාව කිලෝග‍්‍රෑම් බිලියන 1.2ක්ද, කෙන්යාව කිලෝග‍්‍රෑම් මිලියන 400 ක්ද නිපදවයි. ශ‍්‍රී ලංකාව සාමාන්‍යයෙන් වසරකට නිපදවන තේ ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් මිලියන 330 කි. අනෙක් අතට ලොව වැඩි වශයෙන්ම තේ අපනයනය කරන රටවල් අතරින් 3 වන ස්ථානය ශ‍්‍රී ලංකාවට හිමි වී ඇත. කෙන්යාව වසරකට තේ කිලෝග‍්‍රෑම් මිලියන 380ක්ද, චීනය කිලෝග‍්‍රෑම් මිලියන 320ක්ද, ශ‍්‍රී ලංකාව කිලෝග‍්‍රෑම් මිලියන 300ක්ද අපනයනය කරයි. තේ අපනයනකරුවන්ගේ සංගමය මීට පෙර හෙළිකරන ලද දත්ත අනුව පසුගිය

වසරේ තේ අපනයනය පෙර වසරට සාපේක්ෂව 11% ක පහළ යාමකි. 2015 වසරේ දී තේ නිෂ්පාදනය කිලෝග‍්‍රෑම් මිලියන 328ක් වූ අතර ඉන් කිලෝග‍්‍රෑම් මිලියන 306.9ක් අපනයනය කෙරිණි. 2017 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ නිෂ්පාදනය වූ තේ ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් මිලියන 206.9 ක් වන අතර එය 2016 වසරේ එම කාල සීමාව තුළ දැක්වෙනුයේ කිලෝග‍්‍රෑම් මිලියන 199.0ක් වශයෙනි. ඒ අනුව එය කිලෝග‍්‍රෑම් මිලියන 7.9ක ඉහළ යාමකි. එහෙත් 2017 ජනවාරි සිට අගෝස්තු දක්වා කාල සීමාව තුළ අපනයනය කෙරුණු තේ ප‍්‍රමාණය (කිලෝග‍්‍රෑම් මිලියන 190.1) ඊට පෙර වසරේ මෙම කාල සීමාවේ අපනයනය කෙරුණු තේ ප‍්‍රමාණයට (කිලෝග‍්‍රෑම් මිලියන 197.3) වඩා කිලෝග‍්‍රෑම් මිලියන 7.2 ක පහළ යාමක් පෙන්නුම් කරයි. මෙයට එක හේතුවක් ලෙස අපනයනකරුවන්ගේ සංගමය සඳහන් කර තිබුණේ රුසියාව වැනි රටවල ආර්ථික තත්ත්වයයි. එසේම වතු සමාගම් පවසන්නේ ලංකාවේ තේ අනිත් රටවල මිල සමඟ සංසන්දනය කිරීමේ දී වැඩි අගයක් ගැනීම ද අපනයන තේ කර්මාන්තයට බලපා ඇති බවයි. එයට හේතුව තේ කිලෝ එකක් නිෂ්පාදනය කිරීම සඳහා දැරීමට සිදු වන පිරිවැය අධික වීමයි. අධික මිලක් ඇති වීමට හේතුව තේ සමාගම් සඳහන් කරන ප‍්‍රධාන හේතුවක් වන්නේ  තේ අස්වැන්න පහළ අගයක් ගැනීම සහ සේවක වියදම් ඉහළ යාමයි. ඊට අමතරව තේ කර්මාන්තය අශ‍්‍රිතව මේ වන විට ශ‍්‍රම හිඟයක් ද පවතියි.

තේ අපනයන ක‍්‍රියාවලිය 

තේ අපනයන ක‍්‍රියාවලියේ දී ප‍්‍රධාන ලෙස සිදු වන්නේ තේ කර්මාන්තශාලාවලින් තැරැුව්කරුවන් තේ මිලදී ගැනීමයි. මේ තැරැුව්කරුවන් හරහා ගැනුම්කරුවන් තේ මිලදී ගැනීම සිදු කරයි. එම ගැනුම්කරුවන් විසින් තේ අපනයන කිරීම සාමාන්‍ය ක‍්‍රියාවලියයි. අපේ රටේ තේ ප‍්‍රමිතිය සැකසෙන්නේ යුරෝපා සංගමයේ ප‍්‍රමිතිවලට අනුවයි. ඒ අනුව ප‍්‍රමිතිය අනුව ජාත්‍යන්තර ප‍්‍රමිති සහතික පිරිනැමීම සිදුවේ. ලංකාවේ බොහෝ නිෂ්පාදකයන්ට මෙම සහතික හිමිව තිබේ. එම සහතික ලබා දීමේ දී  කෘමි සතුන් ඇතුළු නොවන පරිදි තම නිෂ්පාදන සිදු කිරීම ප‍්‍රධාන තැනක් ගනියි.

රුසියාවට යැවෙන තේ

ලංකාවේ නිෂ්පාදනය වෙන තේ විවිධ තත්ත්වයෙන් යුක්තය. තේ කර්මාන්තයේ විශේෂඥයන් පවසන ආකාරයට රුසියාවට අපේ රටේ ඉහළම ප‍්‍රමිතියේ තේ මිලදී ගැනීමට හැකියාවක් නැත. අපේ රටේ නිපදවෙන ඉහළම තත්ත්වයේ තේ මිලදී ගන්නේ ජපානය, එංගලන්තය, ජර්මනිය යනාදි රටවල් පමණි. රුසියාව  වැඩිපුර ප‍්‍රමාණයක් මිලදී ගන්නේ බාල තත්ත්වයේ තේ ය. එවැනි තේ ඉහළ ප‍්‍රමිතියෙන් යුතු තේ සමඟ කවලම් කර තම වෙළෙඳපොළට දැමීම සාමාන්‍යයෙන් සිදුවන්නක් බව පැවසේ. එහිදී මෙවැනි ප‍්‍රමිතියේ ගැටලූ ඇති විය හැකි බව ඔවුන්ගේ අදහසයි. ඊට අමතරව අපනයන වෙළෙඳපොළ ගනුදෙනුවල දී සිදු වන සාමාන්‍ය ස්වභාවය වන්නේ මෙවැනි ගැටලූවක් මතුවූ විට එය නිපදවූ සමාගමට විරුද්ධව පියවර ගැනීමයි. නමුත් රුසියාව සම්පූර්ණයෙන් තේ මිලදී ගැනීම නැවතීමට පියවර ගැනීම වෙනත් දේශපාලනික හේතුවක් මත සිදුවන්නට ඇති දෙයක් බව ඔවුන්ගේ අදහසයි. එසේම ඇමති නවීන් දිසානායක මහතා මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් පැවසුවේ තේ ඇසුරුමක හමුවූ කෘමියා ශ‍්‍රී ලංකාවේ ඉතා අඩුවෙන් දක්නට ලැබෙන කෘමියෙක් බවයි. එසේම එම කෘමින් ධාන්‍ය ආශ‍්‍රිතව දක්නට ලැබෙන සත්ව විශේෂයක් බවත් දැනට ලංකාවේ එම සතුන්ගෙන් එකෙක් කොළඹ ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ පමණක් දක්නට ලැබෙන බව ඔහු පවසා තිබුණි. මේ අනුව මෙරට නිපදවෙන තේ නිෂ්පාදනවලට මෙම කෘමියෙකු ඇතුළු වීමේ ඉඩ ඉතා අවම මට්ටමක පවතින බව ඇමැතිවරයා පවසා තිබුණි. ඔහුගේ අදහස වූවේ අපනයනය අතරතුර මෙම කෘමියා ඇතුළු වීමට ඉඩ ඇති බවයි.

තේ කර්මාන්තය ආශ‍්‍රිතව ලක්ෂ ගණනක් රැකියාවන්හි නිරත වේ. රුසියාව වැනි ප‍්‍රධාන ගැනුම්කරුවෙක් අපේ තේ ප‍්‍රතික්ෂේප කිරීම යනු එම කර්මාන්තයේ යෙදෙන බොහෝ පිරිසකට බඬේ පහර එල්ල වීමකි. එය තාවකාලිකව සිදු වුණත් එය පාඩුව දැරිය හැකි එකක් නොවනු ඇත්තේ අපේ රටට වඩා අඩු මිලට තේ සැපයීමට කෙන්යාව, ඉන්දියාව සහ චීනය යන රටවල් සූදානම්ව සිටින බැවිනි. දැනටමත් කෙන්යාව රුසියාවේ තේ අවශ්‍යතාවය සැපිරීමට ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ. එම නිසා නැවත ඉතා ඉක්මනින් තහනම ඉවත් කරවාගෙන තේ අපනයනය ශක්තිමත් කිරීම පියවර ගත යුතුය. එසේම එකම රටක් මත යැපීමට වෙනුවට තේ කර්මාන්තය ආශ‍්‍රිතව දැනට උද්ගතව ඇති ගැටලූ විසඳා අපනයනය ව්‍යාප්ත කිරීම වෙනුවෙන් පියවර ගත යුතු වේ.

නමුත් තේ තහනම හේතුවෙන් ඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීම වැනි තීරණ කෙසේ ගැළපෙන්නේ ද යන්න ප‍්‍රශ්නයකි. ඉහත සඳහන් කරන ලද පරිදි ඇස්බැස්ටෝස් යනු මනුෂ්‍ය ශරීරයට අහිතකර පිළිකාකාරකයකි. එය තහනම් කිරීමට තීරණය කිරීම යනු ඉතා වැදගත් මෙන්ම නිර්භීත තීරණයකි. ජාත්‍යන්තර වෙළෙඳාම ආශ‍්‍රිතව පවතින විවිධ නීති රීති පවතියි. රුසියාව යනු අපේ රටේ දිගුකාලීන මිත‍්‍රයෙක් බව සැබෑවකි. නමුත් රටවල් දෙක අතර සිදුවන වෙළෙඳ ගනුදෙනුවක ප‍්‍රශ්නයක් වෙනුවෙන් එම නිෂ්පාදනය යවන ලද සමාගමට එරෙහිව පියවර ගැනීමට එකඟ කරවා ගැනීම වෙනුවට මෙවැනි තීරණ ගැනීම යනු එකක් කඩතොළු වසා ගැනීමට ගොස් දෙකක් කඩතොළු හදාගැනීමක් වනු ඇත.

සිතාරා කුලරත්න

Latest Posts

කතාබහ

ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ 2018-02-22 - මේ වන විට දේශපාලන කරලියේ කැබිනට් සංශෝධනයක් ප...
මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් 2018-02-22 - තමන් කිසිම ආණ්ඩුවකට සහය නොදෙන බවත් එසේ සහය දෙන...
අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති 2018-02-05 - මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් එක් පක්ෂ ව...

විශේෂාංග

මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් 2018-02-20 - මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් ...
පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් 2018-02-20 - ‘කරදිය ලෝලියාගේ තෙතබරිත සැන්දෑව’ නම් අමුතු කවි...
කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි   කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි 2018-02-15 - ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

Face Book Setup 01