සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ

විශේෂාංග
Typography

ජනවාරි 9 දා ජනවාරි 08 පිළිබඳව ජනමාධ්‍ය වාර්තා කළ කතා බහ ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් වැදගත් ප‍්‍රවේශයක් ගනු ඇතිද යන්න සලකා බැලිය යුත්තකි. ජනවාරි 08 විප්ලවයක් සිදු නොවුණත් රටෙහි අත්‍යවශ්‍ය බල හුවමාරුවක් සිදු වූ දිනයකි.

එම දිනය සමරන එක වසරින් වසර අර්ථවත් කර ගැනීම ජනවාරි අට නියෝජනය කරන නායකයන්ගේ වගකීමය. ජනයාගේ වගකීම වන්නේ තමා ජනවාරි අටෙහි හුදු නරඹන්නකු නොවී ජනවාරි අට විසින් අපේක්ෂා කළ සාමාජීය ජයග‍්‍රහණ අත්පත් කර ගැනීම සඳහා නායකයන්ට බලපෑම් කිරීමය. ජනමාධ්‍යයට මෙම ක‍්‍රියාවලියේ දී ලොකු වැඩ කොටසක් කළ හැකිව තිබෙන නමුත් ඔවුන් ජනවාරි අට ගැන මතුපිටවාදීව ක‍්‍රියා කරනවා විනා එහි ක‍්‍රියාකාරී ශරීරයට සාධනීය බලපෑමක් කරන බවක් නොපෙනේ.

ජනවාරි අට බලවත්ව පැවැති ආණ්ඩුවක් පෙරළා දැමීම සිදු වූ බවක් සනිටුහන් වූ දිනයකි. එහෙත් අනෙක් අතට ආණ්ඩුවක් බලවත් නම් ඒ ආකාරයට පෙරළෙන්නට විදියක්ද නැත. එයින් පෙනෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව බලවත් යැයි මතුපිටින් පෙනුණද අභ්‍යන්තරයෙන් භින්න වූ ශරීරයක් සහිත වූවක් බවය.

එහි මර්මස්ථානයට තරමක් හෝ තද පහරක් වැදුණු විට ඇදවැටීම අනෙක් පාර්ශ්වයට විප්ලවයක් විය යුතු නැත. ඒ අනුව මහින්ද රාජපක්ෂ තමා මෙහෙය වූ ආණ්ඩුව කෙතරම් දුබලදැයි දැන් තේරුම් ගෙන සිටිනවා වන්නට පුළුවන. ගෝඨාභය වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ අවම අභ්‍යන්තර ක‍්‍රියාධරයකුටත් දැන් එසේ සිතෙනවා වන්නට පුළුවන.

සම්මුතිවාදී ආණ්ඩුව පිහිටවූයේ මහජන අරමුණු කිහිපයක් මුල්කරගෙනය. 94 දී චන්ද්‍රිකා ආණ්ඩුව පිහිටවූයේත් 17 වසරක පීඩාකාරී පාලනයක ලෙන්දොර විවර කරමිනි. එදාත් 2015 ජනවාරි අට මෙන්ම ලෙන්දොර බිඳීම පසුපස මහජන අරමුණු රැසක් තිබුණි. පළමුව අද මෙන්ම සාපේක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නිදහසක් සමාජයට අත්පත් විය. එදා නම් වසර දෙක තුනක් ඇවෑමෙන් එය අහෝසි වී ගිය අතර ජනතා අරමුණු ඉටු කිරීම කිසි දිනක පාලනයේ ඉස්මත්තට නොපැමිණියේය. දුප්පත්කම නැති කිරීමට ජනසවිය වෙනුවට සමෘද්ධි වැඩසටහන ඇරඹිණි. ජාතික ප‍්‍රශ්නය විසඳීම සඳහා යාපනයේ දී සාකච්ඡා පැවැත්වුණි. චන්ද්‍රිකා ආණ්ඩුව ගත් එම ප‍්‍රධාන ක‍්‍රියාමාර්ග දෙක මෙන්ම ඊට මෙහා ඇති අන් බොහෝ ඒවා අසාර්ථක වූයේය. ජනතාවටත් ඒ ගැන කිරීමට කිසිවක් නොතිබුණි. වැදගත් අරමුණු පෙරදැරිව ආණ්ඩු පිිහිට වුවත් ලංකාවේ හැමවිටම සිදුවූයේ එම අරමුණු බිංදුවටම වැටී ක්ෂය වී යාමය. 2015 ජනවාරි අටත් එසේම වේද? 94 ඛේදවාචකයක් වී 2015 විගඩමක් බවට පත්වීමෙන් 2015 ජනවාරි අට නම් වූ දිනයවත් ගලවා ගැනීමට යහපාලන වෙනසට වසර තුනක් පිරෙන මොහොතේ දී අධිෂ්ඨාන කර ගැනීම වැදගත්ය.

යහපාලන වෙනසට මැදිහත් වූ පැවිදි නායකයකු වූ මාදුළුවාවේ සෝභිත හිමියන් මෙම වෙනසෙන් ඉල්ලා සිිටියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. එහෙත් වසර තුනකට පසු ලැබුණේ ගුවන් පාලමකි යනුවෙන් සමාජ මාධ්‍යයක සටහන් කර තිබුණි. එම අදහස සමස්ත ක‍්‍රියාවලිය විගඩමක් බවට ප‍්‍රවේශ වෙමින් සිටීද යන සැකය ජනිත කරන්නකි. ඊට පෙර එවැනි තවත් කතාවක් සමාජයේ ප‍්‍රචලිත විය. එය නම් ආණ්ඩුව හොරු අල්ලන්න ආවත් දැන් හොරු ආණ්ඩුව අල්ලාගෙන තිබේ යන්න එම කතාවයි. සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ යන්න ඉන් ප‍්‍රකාශමාන නොවේද?

පාර්ලිමේන්තු ඡන්දයෙන් පරාජය වුවත් පාර්ලිමේන්තුවට ඒම, ජයග‍්‍රාහකයන්ටත් නොලැබුණු ඇමැති ධුර ඒ සමහරුන්ට හිමි වීම ඉකුත් ආණ්ඩුවේ හොරු රජයේ සාක්ෂ්‍යකරුවත් වී මිතුරු සොරුන්ට විරුද්ධව එක සාක්ෂ්‍යයක්වත් නොදී යහතින් සිටීම, ජනාධිපතිවරයාට ජනාධිපති ධුරයට වඩා පක්ෂයක සභාපති ධුරය විශාලනය වී පෙනීම යනාදිය ඌනනය වන්නේ ඛේදවාචකයකට වඩා විගඩමක් දෙසට නොවේද?

වසර තුනක් ගත වන විට ජනතාව යහපාලන ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූ ප‍්‍රධාන වැඩ දෙකෙන් එකක්වත් සැපිරීමට නොව එම කටයුතු හරි මාර්ගයකට ප‍්‍රවේශ කරවීමටවත් වත්මන් රජය අපොහොසත් වී තිබේ. එකක් වන්නේ ඉකුත් රජයේ දූෂිතයන්ට හා ඝාතකයන්ට එරෙහිව නීති ප‍්‍රකාරව ක‍්‍රියා කිරීමය. අනෙක රටවැසියාගේ ගරා වැටුණු ජීවිත සමෘද්ධිමත් කර රට ශක්තිමත් ආර්ථික ක‍්‍රියාවලියක් වෙතට ඇතුළු කිරීමය. මහින්ද රාජපක්ෂ අටවැනිදා කලඑළි බැස කීවේ ආණ්ඩුව වසර තුන තුළ තම අසමත්කම ප‍්‍රදර්ශනය කර ඇති බවය. ඔහුගේ අන්තේවාසිකයකු වන ගම්මන්පිල කඩු ඔසවාගෙන පැමිණ කීවේ ජනවාරි අට රට කෑ අටක් බවය.

සම්මුතිවාදී දේශපාලනයෙන් නිපන් යහපාලනයේ අරමුණ වැදගත් සමාජ දේශපාලන ප‍්‍රතිෂ්ඨාපනයක් සිදුකිරීම මිස දූෂිතයන්ගේ ඒකාධිපතියන්ගේ හා ජෝකරයන්ගේ කෂඩ කතා අසා නිවට ඇම්බැට්ටයාගේ භූමිකාව රඟ දක්වමින් සිටීම නොවේ. ජනවාරි අටට අරුතක් ලබා දිය යුත්තේ එහෙයිනි. මේ ගැන ජනපතිත් අගමැතිත් කියන්නේ කුමක්ද?

විමලනාත් වීරරත්න

Latest Posts

විශේෂාංග

ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...
එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට 2018-04-25 - දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ දිවයිනේ ප්‍රධාන...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...