උඩප්පුවෙන් නැගෙන පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය

විශේෂාංග
Typography

පාඩුකාරයෝ

ගල්පර රහිත නොගැඹුරු මුහුදත්, පළල් වෙරළ තීරයත් පාඩුකාරයන්ගේ වැඩ බිමයි. මයියම මුහුදට දැමීමෙන් පසුව දැල් පාඩුව මුහුදට දමන්නේ කෙසේදැයි පරම්පරාවේ පාඩම් පොතින් ඔවුන් හදාරා ඇත.

ශිල්පයේ කෙළ පැමිණි පැරැන්නෝ මුහුදට බැස එහි ඇති උෂ්ණත්වය අනුව ලාබය පාඩුව ගොඩ සිට වේලාසනින් කියන්නට සමතුන් වූහ. ඒ කෙසේ වෙතත් දැල වට කරන්නේ උදයේද සවසද යන්න තීරණය වන්නේ මුහුදේ වර්ණ වෙනස්වීම අනුවය. එය අපට නම් හඳුනා ගන්නට බැරිය. එනමුදු මන්ඩැල්ලෝ සහ තන්ඩුකාරයෝ එය හොඳින්ම දැන සිටිති. රත ගැහීම, මාළු කෙළිය තේරුම් බේරුම් කරගන්නා මීටර්කාරයෝ මාදැල වටකර මඩි තරකර ගැනීමේ උපාය හොඳින් දනිති.

පාඩුකාරයා කියන්නේ මාදැල් රස්සාව කරන්නාටය. ශ‍්‍රී ලංකාව වටා වෙරළ තීරයේ වැඩිම පාඩුකාරයන් සිටින්නේ හලාවත මුතු පංන්තිය සිට තුඩුව දක්වා කොටසේය. මුතු පන්තිය ගම්මානයේ සිට තුඩුව දක්වා පාඩුකාරයන්ගේ වාඩි

18 ක් පමණ තිබේ. අක්කර හයක පමණ මුහුදත් අක්කර තුනක පමණ වෙරළත් එක වාඩියකට අයත්ය. එක වාඩියක පාඩුකාරයෝ සියයකට ආසන්න පිරිසක්

රැකියා කරති. මාදැල් රස්සාව වැල්ලෙන් අතුරුදන් වූයේ යාන්ත‍්‍රික ඔරු, බෝට්ටු, ට්‍රෝලර් යාත‍්‍රා පැමිණීමත් සමඟ වුවත් මුතු පන්තිය සිට උඩප්පුව දක්වා තවමත් මාදැල් පන්නකාරයෝ මේ පැරණි රස්සාව අතහැර නැත.

මාදැල් රස්සාව හෙවත් පාඩුකාරයාගේ වෘත්තිය උඩප්පුවේ පවතින්නට හේතු වී ඇත්තේ ඊට කදිමට ගැළපෙන වෙරළත් මුහුදත් නොවෙනස්ව පැවතීමය. මාදැල් පාඩුව යනු අතිශයින්ම සාමූහික ක‍්‍රියාවලියකි. තනි පුද්ගලයකු හෝ කිහිප දෙනෙකුට මේ රස්සාව කරන්නට බැරිය. එක මාදැලක් එළීම, ගොඩ දැමීම ගෙතීම සඳහා සියයක පිරිසක්වත් සිටිය යුතුය. වාසනාවකට මෙන් උඩප්පුවේ හේවායෝ  ඕනෑතරම් සිටිති.

වැල්ලට යන එන වෙලාව පාඩුකාරයන්ට අමුතුවෙන් කියා දිය යුතු නැත. ඔවුහු සියල්ලෝම වාඩියේ දී හමුවන්නේ

නැගෙනහිර අහස යාන්තම් එළිය වූ විටය. සියල්ලෝම ඒ හෝරාවන් කඩ නොකර වාඩියට රැුස් වෙති. මන්ඩැල්ලකාරයෝ හය දෙනෙකුත්, තන්ඩුකාරයෝ හය දෙනෙකුත් වල්ලමේ ගොස් මාදැල එළීමේ කාර්යය සඳහා මණ්ඩාඩිගේ උපදෙස් පතති.

‘මණ්ඩාඩි’ කියන්නේ මාදැලට නායකත්වය දෙන්නාය. ‘මයියම’ මුහුදට දමා දියත්ත පරීක්ෂා කරන්නේ මණ්ඩාඩියාය. දියත්ත පරීක්ෂා කරනවා යනු දියවැල් පරීක්ෂා කිරීමය. උතුරු දියර ද උලම්බ දියර ද යන්න මණ්ඩාඩියා කියන්නේ මයියම පාවෙන අයුරු නිරීක්ෂණය කිරීමෙන්ය.

පාර කියන මයියම

‘මයියම’ නමැති මාපකය හරි අපූරු එකකි. පොල්කටු දෙකක් දෙපැත්තට හැරවෙන සේ ගැට ගසා ඊට අඩි දෙකක් තුනක් පමණ දිග නූලක් ගැට ගසති. නූලෙහි අග ඇත්තේ ලී පතුරකි. නැතිනම් දියෙහි පහසුවෙන් පාවෙන දණ්ඩකි. මයියම මුහුදට දැමූ පසුව පාවෙන දිසාව අනුව මණ්ඩඩියා මාදැල වටකරන ඉසව්ව මණ්ඩැල්ලන්ට සහ තණ්ඩුකාරයන්ට කියති. මෙහෙයුම පටන්ගන්නේ එතැනිනි. ඉත්තෝ ගොඩ සිට මාදැල ගොඩට ඇදගන්නේ සීරුවෙනි. මණ්ඩැල්ලන් සහ තණ්ඩුකාරයන් මුහුදේ අක්කර හයක් වට කරති. දැල එළීම පිණිස වල්ලමට අමතරව ඔරුකාරයන් සිවු දෙනෙකු සහාය දක්වති. මේ සියල්ලම සිදු වන්නේ වෙරළේ සිට කිලෝමීටර් පහක් හයක් ඈත මුහුදේ සිටය. ගොඩ සිටින ඉත්තන්ට දැල එළන්නන් පෙනෙන්නේ යාන්තමිනි. ඉත්තන් යැයි කීවේ මාදැල ගොඩට ඇදීමට සැදී පැහැදී සිටින පිරිසටය. තමන්ටත් හොරෙන් මේ කරන මෙහෙයුම මුහුදේ සිටින මාළු ?න් දන්නේ නැත. දැල එළනතුරු පරීක්ෂාවෙන් බලා සිටින මණ්ඩාඩියා දැල එළා අවසන් වූ පසුව ඉත්තන්ට සිය කාර්ය පවරති. එය නම් අපූරු කටයුත්තකි. දැල එළා අවසන් වූ බව ගොඩ සිටින ඉත්තන්ට පෙනෙන්නේ නැත. එනමුදු  සංඥාව ලැබේ. මණ්ඩාඩියා දැල එළා අවසන් බව තීන්දු කරන්නේ මුහුදේ ඇති ඔරු දෙකේ හැසිරීම නිරීක්ෂණයෙනි. එය නම් අතිශයින්ම පරම්පරාවෙන් ලැබුණු ශිල්පයකි.

යටමන්දෝ සහ අනියමන්දෝ

මාදැල එළා අවසන් වූ පසුව එහි දෙකෙළවර කඹ යටමන්දෝ සහ අනියමන්දෝ යනුවෙන් කණ්ඩායම් දෙකකට බෙදී මඩිය තර කිරීම් ආරම්භ කරති. මුහුදේ සිටින ඔරුකාරයෝත් වල්ලම්කාරයෝත් පාඩු දමති. පාඩු දමනවා කියන්නේ මාළු ?න් දැල වෙත රැුස් කිරීම පිණිස කුපිත කිරීමය. අතින් සහ හබලෙන් මුහුදු ජලයට පහර දීම, ශබ්ද නැගීම, වතුරට පැනීම, පිහිනීම මේ සියල්ලම පාඩු දැමීමට අයත්ය. දැල තුළට මාළු රැුස්වෙමින් ඇති බව ලිහිනියන් විසින් පෙන්වා දෙනු ලැබේ. ඔවුහු ඔබ මොබ ලහිලහියේ පියාඹති. මේ සංඥාව ලබා දීම වෙනුවෙන් ලිහිනියෝ මාළු කූරියකු දෙන්නෙකු පැහැර ගනිති. සාවධාන වෙරළ අම්බා ගීතිකාවෙන් දෙවනත් වෙයි. අම්බා කියනවා යනු දැල ගොඩට අදින පිරිස ගයන අපූරු සාමූහික ගීතිකාවන්ය. දැල ඇදීමේ සූත‍්‍රය ගීතිකාවෙන් කියැවෙයි. ගැම්මට පය තබා දැල අදින්නේත් පියවර තබන්නේත් වෙහෙස මගහරවන්නේත් අම්බා කියැවීමෙනි.

Udappu 2

 

හේලඩි හේලෙයි

ඉත්තෝ සියල්ලම මේ ගායනා ප‍්‍රගුණ කළවුන්ය. එක ඉත්තෙකු ‘හේලාවලෙයි’ කී විට ඉත්තෝ සියල්ලෝම ‘වසාවාරි වාරන්’ යැයි කියති. තවත් විටෙක ‘හේලඩි’ කී විට පිරිස ‘හේල හෙලෙයි’ කියති. වෙහෙස වැඩි වන්න වැඩිවන්න ගායනා වේගයත් ගායනා විලාසයත් වෙනස්ය.

”මුරුක ලිලිය වාහලෙයි සෙල්ලූ ලිලිය වාහලෙයි වෝ වෝ වෝ ලාලාලා... හේලඩි හෙල්ලෙයි හේලඩි හෙල්ලෙයි” යනුවෙන් උස් හඬින් කියැවෙන විට මෙතැන උද්ඝෝෂණයක් සිදුවන්නේදැයි කෙනෙකුට සැක මතු විය හැකිය. මෙතෙක් වේලා නිදහසේ පිහිනා ගිය මත්ස්‍යයන්ගේ සීමාව සීමා සහිත වෙමින් ඇති බව උන් දන්නේ නැත. ඉංග‍්‍රීසි ඪ අක්ෂරයේ හැඩයට ගොඩට අදින දැල කණ්ඩායම් දෙකක් විසින් අදිනු ලැබූවත් මේ කණ්ඩායම් දෙක සිටින්නේ ළඟ පාතක නොවේ. ඇතැම්විට කිලෝමීටර් භාගයක් තරම් දුරකිනි. එනමුදු කණ්ඩායම් දෙකම සාමූහික ගායනාවල යෙදෙති. අතීතයේ දී මේ දැල ඇදීම සඳහා විශාල පිරිසක් සිටියත් අද එතරම් පිරිසක් නැති නිසා ට‍්‍රැක්ටරයක ආධාරයෙන් මා දැල් කඹයේ එක් කෙළවරක් (අනියමන්ද* ගොඩට ඇද දෙයි. එනමුදු කඹය ඇදීමට සිටින පිරිස් ද ඊට සහාය දක්වමින් කඹයේ එල්ලී ගොඩට අදිමින් අම්බා කියති.

දැල අදින ඉත්තෝ ඉස්සර මාරුව කරති. මුලින් දැලේ සිටින්නා කෙළවරට ගිය පසු ඔහු නැවත ඉදිරියට ආ යුතුය. අදින කඹ පිළිවෙළකට සකසන්නා ගොඩට එන කඹය පිළිවෙළකට වළලූ ගසති. සෑම ඉත්තෙකුම බඳ පටියක් පැලඳ සිටියි. කඹයට හෝ දැලට බඳපටිය වෙලා ගැම්මට ගොඩට අදියි. දැල ගොඩට එන මොහොත අතිශයින්ම යුහුසුළු මොහොතකි. මඩිය තර වී ඇති බව කියන ලිහිනියෝ දැන් දැන් ගොඩ බිමට පියඹා එති. අක්කර හයක එළුෑ දැල අක්කරයකට සීමා වෙද්දී යටමන්ද අදින කණ්ඩායමත් අනියමන්ද අදින කණ්ඩායමත් මීටර් සියයක තරම් දුරකට ළං වෙති.

ගොඩනැගෙන හසරැලි

Udappu 4

දැල ගොඩට අදින මොහොතේ ට‍්‍රැක්ටරය ඉවත් වෙයි. එය අතිශයින්ම මිනිස් අතින් කළ යුතු කාර්යයක් බව මේ පාඩුකාරයෝ දනිති. ගායනා උග‍්‍ර වෙයි. හඬ උස්ව නැගෙයි. මඩියේ සීමාව ළං වෙයි. කණ්ඩායම් දෙක සමීප වෙයි. වහාම කඩිසර වෙන පිරිස මඩිය ගොඩට

ඇදගැනීම පිණිස ගායනා විලාසය වෙනස් කරති. අවසානයේ මහා දැවැන්ත මාළු රංචුව ගොඩට ඇදගැනීමට

සියල්ලෝම මුහුදට පැන මඩිය ගොඩට අදිති. මඩියෙන් නැගෙන්නේ සිලි සිලි නාදයකි. ගොඩට ඇදගත් මඩියෙන් නැගෙන්නේ ඒ ශබ්දයම පමණි. එය හරියටම කාසි ගැටෙන හඬ බඳුය. පාඩුකාරයන්ගේ වෙහෙසකර මුහුණේ සිනා රැලි මුහුදේ රැුල්ලටත් වඩා විචිත‍්‍රය. පාඩුකාරයන්ගේ වික‍්‍රමය අවසන් වෙන්නේ මේ මාළු ට‍්‍රැක්ටරයට පැටවූ පසුවය. එතැන් සිට වෙනත් කණ්ඩායමක් අතරට මේ මඩි මාළු යයි.

හය මසක වික‍්‍රමය

Udappu 3

Udappuwa1

ඒ වෙනත් කණ්ඩායම නම් ඊටම සැදීපැහැදී සිටින කාන්තාවන්ය. රේන්දපොළ හෙවත් මාළු ශාලාවේ ගොඩගසන මාළු වර්ගීකරණය කරන්නේ මේ අම්මණ්ඩිලාය. තෝරු, පරව්, ඉස්සෝ, පැන්නෝ, තෙලියෝ, හාල්මැස්සෝ, දැල්ලෝ, මඩුවෝ පණගැහෙද්දි වෙන වෙනම කූඩවලට තෝරා දමනවාට ඔවුන්ට වෙනම කුලියක් ලැබේ. පාඩුකාරයෝ දැන් ඊළඟ දිනයට සැරසෙති. ඉරුණු දැල් ගෙතීමත්, පැදවූ වල්ලම ඔරු අලූත්වැඩියාවත් ඊළඟ අදියරය. දහවල් කෑම පිණිස අලූත් මාළු හොද්දක් බතක් වාඩියේ ඉදේ. ඒ සඳහා ඉන්නේ වෙනම පුද්ගලයෙකි. මේ වැල්ලේ ඔහු හඳුන්වන්නේ ලාමික් කියාය. ලාමික් සියදෙනෙකුට දහවල් ආහාරය පිළියෙල කළ යුතුය. මාළු හොද්ද, කිරි හොද්ද, බත හැරුණුකොට වෙනත් දෙයක් නම් පිළියෙල කෙරෙන්නේ නැත. මුහුදේ රත ගැහුවොත් හවස් වරුවේ පන්න කිරීමට පාඩුකාරයන් අමතර දැලක් සූදානමින් තබති. එය නම් තීරණය කරන්නේ මණ්ඩාඩියා විසිනි. හවස පන්නේ නොකෙරෙන්නේ නම් පාඩුකාරයෝ හවස ගෙදර යා යුතුය. දැල් ආම්පන්න සහ වාඩිය බලාගන්නේ ‘මුරයාය’ මුර කරන්නාට වැල්ලේ කියන්නේ මුරයා කියාය. පාඩුකාරයෝ සියල්ලෝම පරම්පරාවෙන් මාදැල් රස්සාව කරන්නන්ය. මුහුදේ ස්වභාවය මාළු අහින, දියවැල්, ගල්පර, කුණාටුව ආදී මේ සියල්ලම හඳුනාගත හැකි ඉවක් ඔවුන්ට තිබේ. උඩප්පුවේ මාදැල් රස්සාව කෙරෙන්නේ මාස හයක කාලයක් පමණි. අනෙක් මාස හයේ පාඩුකාරයෝ යාපනේ, මුලතිව්, ත‍්‍රිකුණාමලය වැනි ප‍්‍රදේශවල මාදැල් පාඩුවට යති. ඔක්තෝබර් මාසයේ පහළොස් වෙනිදාට ඇරඹෙන උඩප්පුවේ මාදැල් පන්න අපේ‍්‍රල් මාසයේ පහළොස් වෙනිදායින් අවසන්ය. මේ මහා වෙහෙසකර ව්‍යායාමයෙන් නිදහසක් ලැබෙන්නේ ඉන්පසුවය. පාඩුකාරයන්ට සෑම සිකුරාදාවකම නිවාඩුවකි. මාදැල් පන්නකාරයෝ දෙයාකාරයෙන් සිය ව්‍යායාමයට හවුල් වෙති. පංගු රස්සාව යනු ආදායමෙන් තුනෙන් දෙකක හිමිකරුවාය. පඩි රස්සාව යනු මාසික පඩියකට වැඩ කරන්නන්ය. උඩප්පුවේ මේ දෙපිරිසම සිටිති. මෝගන්, සමන්සිරි, අබ්දුල් ලාමික් මේ සියල්ලෝම එකම මාදැලක සේවය කරන විවිධ ජාතිකත්වයන්ට අයත් වූවෝය. රාජා, කාලිදාස, මුනිස්ස්වාමි, මුරුකානන්දන් පරම්පරා වැඩකාරයෝය. මේ වැල්ලේ ජාති ආගම් කුලමල භේද ද නැත. වාඩිකාරයන් අතර විහිළු තහළු සෙල්ලම් නැතිවා නොවේ. රණ්ඩු සරුවල් මුහුදු රළ මෙන් නැගී බැස යන්නේය. ඒවා ලෙල්ලමෙන් කෙළවර වන්නේ නැත.

දයා නෙත්තසිංහ

ඡයාරූප - අජිත් සෙනෙවිරත්න

Latest Posts

විශේෂාංග

ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...
එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට 2018-04-25 - දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ දිවයිනේ ප්‍රධාන...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...