මිත්‍යා උගුලක් වූ මල්වර මඟුල

විශේෂාංග
Typography

දැරියක යොවුන් වියට පත් වීම නැතහොත් ‘මල්වර වීම’ හේතු කොටගෙන ජ්‍යෝතිෂ්‍යය සමඟ පටලවාගත් මිථ්‍යා විශ්වාස රැසකි. දැරියක වැඩිවියට පත්වීම උත්කර්ෂයට නැංවීමේ සංස්කෘතික මෙහෙයුම හේතුවෙන් කාන්තාව සහ පිරිමියා සම්බන්ධ වෙනස් කොට සැලකීමේ සමාජ මනෝභාවයක්ද පෝෂණය වන්නේය.

දියුණු සමාජයක අත්හැර දැමිය යුතු දෑ කරපින්නාගෙන යාමෙන් සමාජ දේහයේ තැනින් තැන තුවාල හටගත්තේය. ඒවා මනුෂ්‍ය සමාජයේ යහපත් පැවැත්මට මෙන්ම සමාජ සංවර්ධනයට බාධා කරන්නේය. 

ස්ත‍්‍රී පුරුෂ හඳුනාගැන්ම සඳහා පළමු සිදුර විදින්නේ කන්පෙත්තෙහිය. එතැන් සිට කාන්තාවක වීම හේතුවෙන් වන පිළිගැනීම් සහ ආකල්ප සමඟ හැදීවැඩෙන්නට ඇයට සිදුවන්නීය. දැරියක නවයොවුන් වියට පැමිණීමේදී ඉටුකරන චාරිත‍්‍ර වාරිත‍්‍ර මල්වර මංගල්‍යය ලෙස ජන ජීවිතයට හා සංස්කෘතියට බැඳී පවතින්නේය. ඇතැම් ආකල්ප අප‍්‍රසන්නය. අශිෂ්ටය.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 11ත් 16ත් අතර වයසේ පසුවන දැරියන් නව යොවුන් වියට පැමිණ ඇති බව පිළිගන්නේ මල්වර වීමත් සමඟය. ඇය එසේ මල්වර වීම කිල්ලක් ලෙස (කොටහළු කිල්ල) තවමත් පිළිගන්නා පිරිස් සිටිති. 

කිල්ල සම්බන්ධ විශ්වාසය තහවුරු කරන්නට ඇතැම් බ‍්‍රාහ්මණ පඬිවරු කටයුතු කර ඇත. 

ප‍්‍රත්‍ය ශතකය එවැන්නකි. සංස්කෘතයේ උපදේශ සාහිත්‍යයට අයත් මේ ග‍්‍රන්ථය කෝට්ටේ යුගයේදී ශ‍්‍රී රාම නම් බ‍්‍රාහ්මණයකු විසින් රචනා කරන ලද්දකි. හොඳ උපදේශයන් මෙන්ම බැහැර කළ යුතු ආකල්ප රැසක්ද එහි අන්තර්ගතය. කිල්ල සම්බන්ධයෙන් වන විශ්වාසයට කාල නිර්ණය කර ඇත්තේ එහිය. එහි ඇතුළත් 67 වන ශ්ලෝකයෙන් මේ බව පෙන්වා දී ඇත. 

ප‍්‍රථමාර්ත වමර්ධමාසං - ප‍්‍රසුතේ ත‍්‍රිංශ ඒ වච
මෘත්‍යු දෝෂඃ ති‍්‍රමාසං - ස්‍යාදන්‍යස්තු ස්නානමේව ච

එහි සිංහල තේරුම මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ පොතේ පෙන්වා දී ඇත්තේ මෙසේය.

‘ප‍්‍රථම ආර්ථව කිල්ල තුදුස් දිනක්ද වැදූ කිල්ල තිස් දිනක්ද මැරුණු කිල්ල තුන් ‘මසක්ද මසින් මස ආර්තව කිල්ල ඉස සේදූ කලද නැතැයි දත යුත්තේය.’අවිද්‍යාව ග‍්‍රන්ථාරූඪ කර තිබුණද එය පිළිගත යුතු නැත. බමුණු සංස්කෘතියේ පුරුෂාධිපත්‍ය තහවුරු කිරීම සඳහා කාන්තාව පහත්කොට සැලකීමට මෙවැනි බොරු නිර්ණායකයන් අටවාගත් බව අමුතුවෙන් කිවයුතු නැත. ප‍්‍රත්‍ය ශතකය විමසුම් ඇසින් විවරණය කළ සුචරිත ගම්ලත් මහතාගේ විවේචනයද එයයි. අද දවසේ ඛේදවාචකය වන්නේ විමසුම් ඇසින් මේවා කිරාමැන බලා සත්‍යයට ළංවීමට ප‍්‍රයත්න නොදැරීමය.

දැරියක මල්වර වීමෙන් පසුව ඇය නිවසේ වෙනම ස්ථානයක රඳවා තබන්නේය. ආහාර පාන ලබාදෙන්නේ වට්ටෝරුවකට අනුවය. එසෙත් නැත්නම් මිරිස් හොදිය. නැතිනම් දිය කිරි යෙදූ ආහාරය. මස්, මාළු පිළී ජාති ඇයට තහනම්ය. නාවා ගෙට ගන්නාතුරු පිරිමියකු ඇස ගැටෙන්නට දෙන්නේ නැත. මේවා සියල්ලම පරම්පරාවෙන් ලැබුණු මිථ්‍යා විශ්වාසයන් නිසා සිදුකරන දේවල්ය.

දැරියක මල්වර වූ විගසම නැකැත්කරුවන් සොයායාම අදත් සුලබවම සිදුවන්නේය. නැකැතට අනුව දැරිය නාවා ගෙට ගැනීමේ නැකැත් වෙලාව සහ දිනය තීරණය කරන්නේ නැකැත්කරුවාය. මේ නිසා ඇතැම් විට පාසල් යන දැරියන්ට සතියක්, මාසයක්, මාස දෙකක් අතර කාලයක් පාසල් යන්නට නොහැකි වේ. හොඳම ආහාර ගත යුතු, හොඳින්ම පිරිසුදුව සිටිය යුතු දවස් ඇයට අහිමි වන්නේය. ඇතැම් ප‍්‍රදේශවල ඇයට කොණ්ඩය පීරීමට පවා ඉඩ ලැබෙන්නේත් නැත. තනිකං දෝෂ ඇති වෙනවාට යකඩ කැබැල්ලක් හෝ ආයුධයක් කොට්ටය යට තැබීමද ඇතැම් ප‍්‍රදේශවල සිරිතය. මේවායින් ඇති කරන මනෝභාවය කුමක්ද?

මේ කිසිවකට විද්‍යාත්මක පදනමක් නැත. වෛද්‍ය මතය නම් මේ සිදුවීම විශේෂත්වයක් නොකොට ඇගේ කටයුතු සාමාන්‍ය පරිදි ඉටුකරගැනීමට අවකාශය සලසා දීමය. සෞඛ්‍ය සම්පන්න පසුබිම සකස් කර දීමය.

නව යොවුන් වියට පත්වන්නේ ගැහැනු දරුවන් පමණක් නොවේ. පිරිමි දරුවන්ගේ එකී ලක්ෂණ පෙන්නුම් කරන්නේ දැලි රැවුල් වැවීම, උගුරු ඇටය නෙරා ඒම, කටහඬ වෙනස්වීම ආදී පරිවර්තනවලිනි. ඒවාට නැකැත් ඇත්තේ නැත.

විශේෂ උත්සව ගන්නේද නැත. ජ්‍යෝතිෂ්‍යයේ ඒ සම්බන්ධව ඇති බම්බුවක්ද නැත. 

වෙනස් ලෙස පිළිගැනීම සඳහා ඈත යුගයක නිර්දේශ කරන ලද වගන්තිවල තවමත් කොටුවී සිටීම ලෝකයා අත්පත් කරගත් විද්‍යාත්මක දැනුමට ගැරහීමකි. 

එමෙන්ම පසුගාමී විශ්වාස මිනිස් මනසට විදාරණය වන්නට ඉඩදෙන්නේ නැත. දැරියගේ කුදුමහත් වගකීම මව්පියන් විසින් දරනු ලබන්නේ නම් මල්වර වීමෙන් පසු ඇය නාවා ගෙට ගන්නට නැකැත්කාරයාගේ වේලාව ලැබෙන තුරු සිටීම නින්දාසහගතය. එසේම දැරියක මල්වර වීම අඬබෙර ගසා ලෝකයට කියන්නට තරම් දෙයක් නොවේ. තම දියණිය මවක වීමට සුදුසුකම් ලැබීම හද්දා මඟුල් කන්නට නිමිත්තක්ද නොවේ. පරම්පරාවෙන් පැවත ආ නිසා කිරීමත් එය මුදල් ඉපයීමේ අවස්ථාවක් කරගැනීමත් මිනිස් සමාජයට නිගා දෙන්නකි. 

දැරියක මල්වර වීම නැතහොත් කොටහළු වීමෙන් පසුව නැකැත්කාරයා නැකතට අමතරව මල්වර වීමට අදාළ ඵලාපලද කියන්නේය. මල්වර වූ නැකතට අනුව මවට අගුණයි, සහෝදරයන්ට අගුණයි, මාමලාට අගුණයි ආදී වශයෙන් රටේ නැති කෙප්ප අනාවැකි මේ අතර වේ. ඇගේ විවාහය සිදුවන අන්දම පිළිබඳවත් ඇතැම්විට අනාවැකි කියන්නේය. දරුඵල අහිමි වන බව, ස්වාමියා මිය යන බව කනවැන්දුම් ගැහැනියක වන බව, අයාලේ යන බව ආදී වශයෙන් මුහුර්තය, ලග්නය, ඒරාශ්ඨකය, ග‍්‍රහමාරුව, කේන්දරය පටලවා ගණිත මිනිත පටලවා කියන්නේය. මේවා දැරියගේ මනසට සුදුසු වන්නේ කෙසේද? මව්පියන්ගේ සහෝදරයන්ගේ ඥාතීන්ගේ හිසමතට ලැබෙන ශාන්තිය කුමක්ද?

වැඩකට නැති වැඩ කරන්නට ගොස් අන්‍යවශ්‍ය බරක් හිසමත පටවා ගන්නේ වැරැදි විශ්වාසයන් කරපින්නා ගත්ත වුන්මය. බ‍්‍රාහ්මණ යුගයේ නැතහොත් කි‍්‍ර.පූ.6 වන සියවසටත් එපිට අධිපති මතවාදවලින් පෝෂණය කළ බොරු විශ්වාසයන්, ආකල්ප හා ඇදහිලි නමැති කඩුල්ලට පයින් නොගසා ප‍්‍රඥාවේ මඟ විවර කරගන්නටත් ආලෝකය දකින්නටත් නොහැකිය.

Latest Posts

කතාබහ

විශේෂාංග

ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...
එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට 2018-04-25 - දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ දිවයිනේ ප්‍රධාන...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...