කඩුව අත දැරිය යුත්තේ වඳුරන්ට එරෙහිවය

විශේෂාංග
Typography

පෙබරවාරි 10 වැනිදායින් පසු එළඹෙන කාලය වැදගත් වන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ පළාත් පාලන ඡන්දයෙන් පසුව බල හුවමාරුවක් සිදු කරන බවට ඉඟි පළ කර තිබෙන නිසාය. ලියුම්කරු පුද්ගලිකව දරන මතය නම් සම්මුතිවාදී දේශපාලනය තවත් යම් කාලයක් පැවතිය යුතු බවය. එසේ පවත්වාගත යුත්තේ ජනපති සහ අගමැති යන දෙදෙනාම ‘එපා වාහෙට හොදි බෙදන’ ආකාරයෙන් නොව පරිසමාප්ත යැයි කිව හැකි

සම්භෝගයක් සහිත දිවියක් පවත්වාගෙන යන ආකාරයෙනි. එහෙත් ජනපතිට එම ධුරයට පත්වීමට උපකාර කළ සිවිල් සමාජය කට කැඩෙනතුරු කිව්වත් හැට දෙලක්ෂයේ සිටින තවදුරටත් අවංක භාවිතයක් සහිත සම්මුතිවාදී දේශපාලන ගමනක් ගැන අපේක්ෂා වඩවන අය කෙතරම් එපා කිව්වත් මේ පක්ෂ දෙකට එම සම්මුතිය රැකගත නොහැකි නම් දීගය බලහත්කාරයෙන් පවත්වාගෙන යා හැකි ද යන ප්‍රශ්නය මතුවනු ඇත.

දේශපාලන දරුවෝ

ලංකාවේ සමාජය තුළ විවාහක දෙපළකට දරුවෝ සිටී නම් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය අතර කෙබඳු නොපෑහීම් තිබුණත් දරුවන් වෙනුවෙන් අසීරුවෙන් හෝ විවාහ සංස්ථාව රැක ගන්නා සිරිතක් පවතී. සම්මුතිවාදය නම් වූ දීගයට දරුවෝ නැත්තේම නැත. එහෙත් හරියකට ඇත්තේ ද නැති ගාණය. රාජපක්ෂ පාලනයෙන් බැටකමින් සිටි ජනයා යහපාලනය විසින් ප්‍රසූත කළ සාපේක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය නමැති දරුවා නිසා හුස්මක් කටක් ගත්තේය. අන්තර්ජාතිකව සැනසිලිදායක තත්ත්වයක් උදා වූයේ ද මේ දරුවා නිසාය. එහෙත් මේ පවුලේ ද වියදම් අධික නිසා ජනතාවට ලොකු සහනයක් ලැබුණේ යැයි කිව නොහැකිය. ව්‍යවස්ථාව නමැති දරුවා බිහි කිරීමට නම් අවංකවම මේ පවුලට වුවමනාවක් ඇති බවක් නොපෙනේ. සමහර අවස්ථාවල බොරුවට විලිරුදා පාන බවක්ද දිසේ. ආණ්ඩුවට තව වසර දෙකක් තිබෙන නිසා ව්‍යවස්ථාව නමැති දරුවා බිහි කරන්නට 2018 දීවත් සම්මුතිවාදයට විළිරුදා නොසෑදුනහොත් ඒ දරුවා ගැන බලාපොරොත්තු තැබීමට නොහැකි වනු ඇත. දරුවා මරන්නට හෙරොදියන් අධිරාජ්‍යය :යැරදාස්බ ණසබටාදප* අවි අමෝරාගෙන සිටියත් මරියා, ජේසු බිහි කළාය. උන්මාද චිත්‍රාගේ දරු ප්‍රසූතියට ඇගේ සොහොයුරන් දස දෙනකු එරෙහි වුවත් ඇය පණ්ඩුකාභය බිහි කළාය. එහෙත් සම්මුතිවාදී අම්මා ව්‍යවස්ථාව නමැති දරුවා බිහි නොකරන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ජාතිවාදී ආගම්වාදී ජනයා හා සංඝ සමාජය හෙරෝද්ලාටත් වඩා බලවත් නිසාද, වඩා යථාර්ථවාදීව සහ නිර්භයව ක්‍රියාකිරීමෙන් මෙම පුහු විරෝධය යටපත් කළ හැකි බව යහපාලන දෙමාපියෝ කල්පනා කළ යුත්තෝය. එමෙන්ම ව්‍යවස්ථාව නමැති දරුවා බිහිකර ගතහොත් තවත් බොහෝ දරුවන් පහසුවෙන් උපද්දවා ගැනීමට ද හැකිවනු ඇත. සම්මුතිය රැකෙන්නට ද දරු සම්පත ඉවහල් වෙයි.

පෙබ. 10න් පසු

සම්මුතිවාදී දේශපාලනයේ වැදගත්කම නොතේරුම්කම නිසා වැඩිපුරම ඊට එරෙහි වූයේ ශ්‍රීලනිපයේ මධ්‍යම මට්ටමේ සහ පරිදියේ සිටින ඇතැම් මහජන නියෝජිතයෝය. එළඹෙන ඡන්දය ප්‍රකාශයට පත්වන තුරුම එජාපයේ බොහෝ දෙනෙකු සම්මුතිවාදී අදහස වෙනුවෙන් ඉවසීමෙන් ක්‍රියා කරන බවක් පෙනුණි. ශ්‍රිලනිපයේ සමහරු දිගින් දිගටම සම්මුතිය කඩා බිඳ දැමිය යුතුය යන්න ප්‍රකාශ කිරීමත් සමඟ එජාපයේ ඇතැමුන්ගේ ඉවසීම ද දෙදරා ගියේය. දැන් මතුව තිබෙන ප්‍රශ්නය වන්නේ ප්‍රයත්නය අසාර්ථක වීම නිසා බලපෙරළියක් සිදුවේද යන්නය. ඒ සඳහා එක්තරා ඉඩකුත් පවතී. ශ්‍රීලනිපයටත් සම්මුතිවාදයෙන් ඉවත් වී ආණ්ඩුවක් හදන්නට පුළුවන. එජාපයටත් එම ඉඩ තිබේ. පොදු ජන පෙරමුණ කියා සිටින්නේ දීගය අත්හැර එනවා නම් ආණ්ඩුවක් හදන්නට තම සහාය දෙන බවය. ශ්‍රීලනිපය එසේ එනවා නම් එන්නට සිදුවන්නේ ඉහත කී දරුවන් අතහැර දමාය. එහෙත් එජාපය ඔවුන්ගේ ආණ්ඩුවක් හදනවා නම් වත්මන් තත්ත්වය තුළ ශ්‍රීලනිපය තනියම ආණ්ඩුවක් හදනවාට වඩා අර්ථයක් තිබේ. ශ්‍රීලනිපයට ආණ්ඩුවක් හැදීමට එකතු කර ගැනීමට සිදුවන්නේ මහින්ද සමඟ සිටින ජාතිවාදී රොත්තකි. ඔවුන්ගෙන්

ප්‍රජාතන්ත්‍රවාදයක්, අන්තර්ජාතික සහයෝගිතා දේශපාලනයක්, ජාතික ප්‍රශ්නයට විසඳුමක් හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය බලාපොරොත්තු විය නොහැකිය. මහින්ද පාර්ශ්වය ඒ කී සියල්ලට විරුද්ධව ක්‍රියා කළ හා අදත් ශ්‍රීලනිපය එම අන්තගාමී ස්ථාවරයට කැඳවමින් සිටින දේශපාලන කල්ලියකි. එහෙත් එජාපය එසේ නොවේ. ඔවුන්ට මෙම කාලය තුළ වැදුණු ලොකුම කළු පැල්ලම වන බැඳුම්කර චෝදනාව හැර ජාතිවාදී හෝ ආගම්වාදී චෝදනා නැත. එජාපය මේ වන විට නොවෙනස් ප්‍රතිපත්තීන් ලෙසට විවෘත භාවය සහ ජාතීන් අතර සහයෝගිතාව පිළිගන්නා පක්ෂයක් බව පෙනේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද එජාප තනි ආණ්ඩුවකට යම් පමණකට හෝ ගොඩ දමා ගත හැකිය. එහෙත් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබා දීම කෙරෙහි ඔවුන්ගේ පුළුල් අවධානය තවම යොමු වී නැත. එය ඔවුන්ගේ බහුජන දේශපාලන මතවාදය විටින් විට පලුදු කරන්නකි. එමෙන්ම ආර්ථිකය ගොඩනැංවීම විෂයෙහි ද එජාපය බොහෝ පසුගාමීය.

ඔවුන්ට ඒ සඳහා නව අදහස් යෝජනා සහ වැඩසටහන් ඇති බවක් නොපෙනේ. ඒවා තිබුණා නම් වරාය, ඛණිජ තෙල් යනාදී වෘත්තීය සමිති මඟින් ඔවුන්ට එරෙහිව නැගෙන සම්පත් විකිණීමේ චෝදනාව මේ සා මතුවන්නට විදියක් නැත. රටක ඇතැම් සම්පත් විකිණීම කළ හැකිය. නැතහොත් බදුදීම කළ හැකිය. එහෙත් එසේ කළ යුත්තේ ඉලක්කගත ආර්ථික වැඩපිළිවෙළක් වෙනුවෙනි. හුදෙක් නිවසක් කුලියට දෙන ආකාරයට හෝ විකුණන ආකාරයට රටේ සම්පත් ගැන කල්පනා කිරීම ප්‍රශස්ත උපායමාර්ගයක් වන්නේ නැත.

තවත් ප්‍රශ්නයක්

ඇතැම් එජනිස ප්‍රධානීන්ගේ අදහස පළාත් පාලන ඡන්දයෙන් පසුව පළාත් පාලන ආයතන තුළ බලය ලබා ගැනීම සඳහා පොදු ජන පෙරමුණ සමඟ හවුලකට යාම ගැන අවධානය යොමු වී තිබෙන බවය. මේ ගැන වැඩිදුර නොසිතන ගමේ  ශ්‍රීලනිප සාමාජිකයා ත්‍රිල් වන්නට පුළුවන. එහෙත් තවමත් සම්මුතිවාදී ආණ්ඩුව පවතින බැවින් මෙවැනි තීරණයක් මුළුමනින්ම අදූරදර්ශී බව පෙනී යා යුතුය. උපරි ව්‍යුහයේ එක් දේශපාලන ස්ථාවරයකුත් පරිධියෙහි ඊට සපුරා වෙනස් දේශපාලන ස්ථාවරයකුත් පක්ෂයකට දැරිය හැකිද යන්න ගැන ශ්‍රීලනිපයේ පහළ මට්ටමේ සාමාජිකයෝ නොසිතති. එහෙත් නායකයන් ඒ ගැන බරපතළව සිතීම වැදගත්ය. පොදු ජන පෙරමුණ සමඟ සන්ධාන ගත වීමට කල්පනා කරන ඇතැම් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ ප්‍රකාශ අනුව නම් පෙනී යන්නේ පෙබ. 10න් පසු නිසැකවම සම්මුතිය බිඳ දමා යළි පැරණි නිවසේ කල් බඳින්නට අර අඳින බවය. ඉකුත් දෙසැ.31 වන විට සම්මුතිවාදී ආණ්ඩුවේ ද්විපාර්ශ්වික ගිවිසුමට අදාළ අතිරේක කාලයක් නිමා වී තිබීම නිසා මේ ගැන බරපතළ ලෙස හිතන්නට දැන් කාලය පැමිණ ඇත.

දැනුවත් නොකිරීම

1917 රුසියානු විප්ලවයෙන් පසු අවධියේ දී ලෙනින් කීවේ තමාට රට වෙනස් කළ හැකි වුවත් එහි වෙසෙන ජනයාගේ මොළ වෙනස් කිරීමට නොහැකි වූ බවය. මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරු එක් කාරණයක් අරබයා එවැනිම අත්දැකීමකට මුහණ පා සිටිති. ලෙනින්ට සමාජවාදය තුළින් රටේ එතෙක් පැවැති ආචීර්ණ කල්පිත සැලසුම් වෙනස් කළ හැකිවිය. එය කළහැකි වූයේ සියල්ලන් නැතත් ඔහු ගත් මඟ ගිය කිසියම් පිරිසක් හෝ ලෙනින් සමඟ සිටි නිසාය. ලංකාවේ තත්ත්වය ගතහොත් ද්වි පාර්ශ්වික වැඩපිළිවෙළ ඊට පෙර පැවැති තනි පක්ෂ පාලනයට වඩා වෙනස් තත්ත්වයකි. ප්‍රශ්නය වූයේ එම වෙනස් තත්ත්වය අවබෝධ කරගෙන ඒ තුළ ව්‍යාවෘත වීමට මෛත්‍රීට සහ රනිල්ට පිරිසක් නොසිටීමය. ඇමැතිවරුන් අතරින් රාජිත හා දුමින්ද දිසානායක හැර මෙම ක්‍රියාවලියට මුල සිටම අවංකව වෙන කිසිවකුත් පෙනී නොසිටියහ. පසුව ජනපතිට සම්බන්ධ වූ සොයිසලා, එස්.බීලා, ඩිලාන්ලා, සෙනෙවිරත්නලා, සුසිල් ප්‍රේමජයන්තලා සම්මුතිවාදී දේශපාලනයක වැදගත්කම හඳුනාගෙන මෛත්‍රී වෙතට නොපැමිණි වග කවුරුත් දනිති. රනිල් වික්‍රමසිංහ සමඟ සිටි කිහිප දෙනෙකුත් සිටියේ බඩගිනි වෘක රැලක් පරිද්දෙනි. ඇතැම් ආයතනවල මූල්‍ය අක්‍රමිකතා සිදුවූයේ ඒ අනුවය. හොරා ක්‍රමයෙන් පොලිස් බවට පත්වී පොලීසිය, හොරු බවට පරිවර්තනය වූ තත්ත්වයක් උදා වූයේ ද එනිසාය. පසුව යහපාලනයට පැමිණි අයට ජනපතිත් අගමැතිත් වැඩමුළු සහ අධ්‍යයන කඳවුරු පැවැත්විය යුතුව තිබුණි. ඒ යහපාලනය අභ්‍යාස කිරීම සම්බන්ධයෙනි. උඩ දැනුවත් වුවත් මැද හා යට තට්ටුව යහපාලන දේශපාලනයත් සම්මුතිවාදී අදහසත් ගැන නොදැනුවත්ව පසුවීම ප්‍රධාන පක්ෂ දෙකටම මහත් පාඩුවක් ගෙන දුන්නේය. තමා තවමත් ගුහාවේ බව ඇතැම් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ප්‍රදර්ශනය කළ පළමු අවස්ථාවේදීම ජනපතිට ඉහත කී දැනුවත් කිරීම කරන්නට තිබුණි. එක්කෝ මේ වැඬේ, යහපාලනයට උදව් කළ සිවිල් සමාජ ක්‍රියාධරයන්ට භාර ගන්නට තිබුණි. සම්මුතිවාදී දේශපාලනයේ දී දැනුම එකිනෙකා තේරුම් ගැනීම මෙන්ම ඉවසීම වැදගත් බව කිසිවකුත් කල්පනා නොකළහ.

කළ යුත්තේ කුමක්ද?

අරමුණු යටපත් වී දේශපාලන බලය ඉලක්ක කර ගැනීම මතුපිටින් කෙසේ වෙතත් ඇතුළතින් පරිහානියකි. ජනපති වසර 50ක දේශපාලන අත්දැකීම් ඇති දේශපාලනඥයෙකි. තම පක්ෂයේ අතිධාවනකාරීන් පාලනය කර ගැනීමට ඔහුට හැකි විය යුතුය. විධායක බලය අනිසි ලෙස පාවිච්චි නොකළ යුතු බවට අප ඕනෑ තරම් කියා ඇත. එහෙත් සම්මුතිවාදය රැක ගැනීමටත් සම්මුතිවාදී ආණ්ඩුවේ වුව වරදකට එරෙහි වීමටත් විධායක බලය හොඳ අසිපතක් බව ජනපති කිහිප වතාවකදීම පෙන්වා දී තිබේ. බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ජනපති දරන මතය කිව්වා සේම කඩුව පාවිච්චි කිරීමකි. පුළුන් කොට්ටය ඉරා දැමීමට තැත් කරන දෙපාර්ශ්වයේම සිටින වඳුරන්ට එරෙහිවත් කඩුව අත දැරීමට ජනපතිට හැකි විය යුතුය. විධායක බලයට අනුගතව සිටිනවා නම් අවශ්‍ය විටෙක හෝ ඉන් වැඩක් ගත යුතුය. නැතහොත් අට පහ නොදත් වඳුරන් දේශපාලන තීන්දු ගැනීමට පෙළඹෙනු ඇත.

Latest Posts

කතාබහ

ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ 2018-02-22 - මේ වන විට දේශපාලන කරලියේ කැබිනට් සංශෝධනයක් ප...
මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් 2018-02-22 - තමන් කිසිම ආණ්ඩුවකට සහය නොදෙන බවත් එසේ සහය දෙන...
අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති 2018-02-05 - මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් එක් පක්ෂ ව...

විශේෂාංග

මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් 2018-02-20 - මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් ...
පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් 2018-02-20 - ‘කරදිය ලෝලියාගේ තෙතබරිත සැන්දෑව’ නම් අමුතු කවි...
කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි   කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි 2018-02-15 - ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

Face Book Setup 01