ගොඩෝ වෙනුවට ගෝඨා සොයා ගැනීම

විශේෂාංග
Typography

පසුගිය දිනක ගෝඨාභය රාජපක්ෂ ජනමාධ්‍යවේදියෙක් කළ විමසුමකට පිළිතුරු වශයෙන් කීවේ තමා දේශපාලනයට ඒමට ලොකු සැලසුමක් සකස් කරමින් නොසිටියත් ඉදිරියේදී උද්ගතවිය හැකි අවශ්‍යතාවන් අනුව ඒ පිළිබඳව සැලකිල්ල දක්වන්නට අපේක්ෂා කරන බවය.

. මේ වනවිට සමාජයේ කතිකාවට ලක්වෙමින් තිබෙන කාරණයක් වන්නේ ගෝඨාභය මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතිය යන්නය. ලංකාවේ ජන සමාජයේ ගති ස්වභාවය පිළිබිඹු කරන වැකි දෙකක් මෙහිදී සිහිපත් වෙයි. එකක් වන්නේ මඩ සෝදා ගත් කල ගොවියා රජකමට සුදුසුය යන්නය. අනෙක වන්නේ නාවලා ගෙට ගත් විට පිරිමියෙකුගේ ඕනෑම ගඳ ගහන වැඩක් අකා මකා දැමිය හැකිය යන්නය. ලංකාවේ සමාජය මේවා රුවන් වැකි ලෙස භාවිත කළත් මේ තරම් තුට්ටු දෙකේ, ආත්ම වංචනික වැකි ලෝකයේ තවත් තිබිය නොහැකිය. මඩසෝදා ගත් විට ඕනෑම ගොවියකු රජකමට සුදුසු නොවනවා සේ ම ගෝඨාභය අපුල්ලා රජකමෙහි තිබ්බත් ඔහු මහින්ද පරයා යන අත්තනෝමතික පාලකයකු බවට පත් වනවා විනා ඉන් මෙහා තැනක නම් නොනවතිනු නියතය. බන්දුල ගුණවර්ධනට චීන විශ්වවිද්‍යාලයකින් උපාධියක් පිරිනැමුණු උත්සවයට පැමිණි ගෝඨාභය එහිදී “අවශ්‍ය වුණොත් එනවා” යන උත්තරය දුන්නේ අතිශයින්ම ජයග්‍රාහී ඉරියව්වක් පළකරමිනි. මෙවර සිදුවන්නට යන්නේ ඛේදවාචකය විගඩමක් ලෙස නොවේ. මේ තත්ත්වයට ඊට වඩා වෙනස් යෙදුමක් සොයාගත යුතු වෙයි.

ගොඩෝ එනකං

2015 ජනවාරි 08 පටන් මේ දක්වා ගෙවී ගිය වසර තුනක කාලය තුළ ආශ්චර්යමත් තත්ත්වයකට පත්ව ඇත්තේ රාජපක්ෂලා බව ඔවුන් අත්කර ගනිමින් සිටින බල ව්‍යාප්තියෙන් පෙනෙයි. එසේ වූයේ කෙසේද? සැමුවෙල් බෙකට් නම් නාට්‍යකරුවාගේ Waiting for Godot යනුවෙන් නාට්‍යයක් තිබේ. ‘ගොඩෝ එනකං යන්න’ එහි තේරුම වන අතර ගොඩෝ යනුවෙන් සංඥා වනුයේ කිසියම් ගැලවුම්කරුවකු පිළිබඳවය. එහෙත් මේ කියන ගැලවුම්කරුවාණෝ කිසි දිනක නොඑති. මෙම නාට්‍යයේ ප්‍රධාන චරිත දෙකකි. එකක් ඊස්ට්‍රජන්ය. දෙවැන්නා වැල්ඩිමීර්ය. මෙම චරිත දෙක ආශ්‍රයෙන් ගොඩනගන නාට්‍යය ගැන බෙකට් මෙසේ පවසයි. “මට අවශ්‍ය ප්‍රේක්ෂකාගාරය තෘප්තිමත්ව ගෙදර යවන්න නෙවෙයි. කනස්සල්ලෙන් ගෙදර යවන්න.” යහපාලනය කනස්සල්ල වර්ධනය කරන විට රාජපක්ෂලාට එහි වාසිය අත්වී තිබෙන බව පැහැදිලිය.
සැබැවින්ම යහපාලන ආණ්ඩුව වසර තුනක් ගතවන තුරුම ගොඩනැගුවේ කණස්සල්ල මිස අන් යමක් නොවේ. ඊස්ට්‍රජන් හා වැල්ඩිමීර් යන චරිතයෝ කුමක් හෝ සිදුවනතුරු බලා සිටිති. කොටින්ම තම තමා වෙනුවෙන් ගැලවුම්කරුවකු එනතුරු කිසිවක්ම නොකර කල් මරති. ජනාධිපතිත් අගමැතිත් ගතහොත් ගොඩෝ එනකං නාට්‍යයේ කිසිවක්ම නොකර කල් මරන ඊස්ට්‍රජන් හා වැල්ඩිමීර් සේ නොවෙතිද? ප්‍රශ්නය වන්නේ ඔවුන් දෙදෙනා කල් මරන ලද වසර තුන තුළ සමාජයේ ඉස්මත්තට පැමිණි මහජන කණස්සල්ල මගින් ගොඩෝ වෙනුවට ගෝඨා සොයා ගැනීමය. බෙකට්ගේ ගොඩෝ එනකං නාට්‍යය අරාජිකත්වයේ කෙළවර ලෙස ඇතැම්හු සලකති. ජනපතිත්, අගමැතිත් ඉකුත් වසර තුන තුළ රඟදක්වා ඇත්තේ එවැනි අරාජික නාට්‍යයක් බව පෙනීයන්නේ රටේ ජනයා විකල්පය ලෙස සක්‍රීය හිට්ලර් කෙනෙකු වුව ඉල්ලා සිටින තත්ත්වය සලකා බැලීමේදීය.

තීරණ ගැනීමේ හැකියාව

මාර්තු 20 වැනිදා දිනපතා පුවත්පතක සිරස්තලයක් වූයේ ජනපතිගේ නියෝගයට පිටින් වයඹ පොල් ඉඩම් කට්ටි කර ඇති බවකි. ජනපති මෙම නියෝගය 2018 මාර්තු 07දා ප්‍රකාශයට පත්කර ඇති අතර ඊට පෙර දින යොදා ව්‍යාජ ලෙස සකස් කළ ලියකියවිලි උපයෝගී කරගෙන වයඹ පළාත් සභාවේද සහයෝගය ඇතිව මෙම ක්‍රියාව සිදුකර ඇති බව පුවත්පත් වාර්තාව දක්වයි. ජනපති වැරදි කරන අය කඩුවෙන් කපනවා කීවාට එම කඩුවෙන් වඳ පීදුණු කෙසෙල් කඳක්වත් නොකැපූ එකේ පාඩුව පොල් ඉඩම් කට්ටි කිරීමේ සිද්ධියෙන්ද පැහැදිලි වෙයි. ඊට සාපේක්ෂව බලන කල ගෝඨාභය තීරණ ගැනීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී ආපසු නොහැරෙන බව ජනමතයයි. එහෙත් නාගරික ජනයාගේ නිවාස මතින් ඩෝසරය ගමන් කරවන විටත් ගෝඨාභය ආපසු හැරී නොබැලූ බව ජනතාවට තැන් අමතකද යන්න විමසිය යුතුය. ඒ තත්ත්වය තුළ රාජපක්ෂගේ කාලයේ පොල් ඉඩම් කට්ටි කරන්නට එපා යනුවෙන් නියෝගයක් දී තිබෙන විටක යම් කිසිවකු කට්ටි කළා නම් ඒ පුද්ගලයාට කට්ටි වන්නට සිදුවන බවත් සැබෑවකි. එසේ නම් මේ රටේ ජනයාගේ අපේක්ෂාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට තද පාලනයක්ද? මහින්දටත් වඩා දැන් දැන් ගෝඨාභයට පාර කපා දෙන්නට දත කන තත්ත්වයක් දක්නට ලැබෙන්නේ ඒ නිසාද? මේ සිදුවන්නට යන ව්‍යසනකාරී තත්ත්වයට තිබෙන පිළිතුර කුමක්ද?
පොදු අපේක්ෂකයෙක්

සාමාන්‍යයෙන් පොදු අපේක්ෂකයෙක් මතුවන්නේ විපක්ෂයේ පක්ෂවල පොදු එකඟතාවක් ඔස්සේය. එහෙත් 2020 ජනාධිපතිවරණය වනවිට එම යථාර්ථයෙහි වෙනසක් සිදුවිය හැකිය. ඉකුත් පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයෙන් පසුව ඒ පිළිබඳ ඉඟියක් ලැබුණි. පළාත් පාලන ඡන්දයේ වැඩි වාසි පොදු ජන පෙරමුණ අත්පත් කරගත් අවස්ථාවේ ආණ්ඩු බලය තිබෙන පක්ෂ දෙකට සහාය දෙන පිරිස් ගමේ ඡන්දයේදී පිළිමල්ව තරග වැදී සීසීකඩව සිටි පක්ෂ ලබාගත් ඡන්ද එකතු කර ඒ ගොඩ පොහොට්ටුවේ ඡන්ද ගොඩට වඩා ලොකු බව පෙන්වන්නට වෙර දැරූහ. සාමාන්‍යයෙන් වෙනදාට සිදුවන්නේ ආණ්ඩු බලය ඇති පිරිසට විපක්ෂයේ එකමුතුවක බලය පෙන්වීමට යත්න දැරීමය. මේ ආකාරයට ආණ්ඩු බලය ඇති පිරිස යළිත් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ ඉඩක් 2020දීත් දැකගත හැකිවනු ඇත. ගෝඨාභය වැනි නායකයකුට ඔටුනු පළඳනවාට වඩා පතෝල පොදු අපේක්ෂකයකු හෝ දිනවීම යෙහෙකැයි මධ්‍යස්ථ මතධාරීන් කල්පනා කරන්නට පුළුවන. ප්‍රශ්නය වන්නේ මේ ක්‍රමයට ගියහොත් රටේ ප්‍රගතියට කිසිම වැඩක් සිදු නොවී රට අරාජිකත්වයට පත්වීම බව අමුතුවෙන් කිවයුතු නැත. 2015දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවන වැඩපිළිවෙළ තුළ සමාජ ප්‍රතිසංස්කරණ රැසක් ඉලක්ක කැරිණි. යහපාලන වැඩපිළිවෙළ තුළ රටට සාපේක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතිවුණි. එහෙත් සමස්තයක් ලෙස රට වැඩ නොකෙරෙන අකර්මණ්‍ය රටක් බවට පත්වීම සිරිසේන මහතාට හෝ වික්‍රමසිංහ මහතාට වැළැක්විය නොහැකි විය. ඔවුන් දෙදෙනාට වැඩ කිරීමට ඉඩ නොදෙන බලවේග රට තුළ හිස එසවූ බවද අප අමතක නොකළ යුතුය. නිදසුනක් ලෙස අඩුපාඩුකම් සහිතව වුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට නොහැකි විය. යෝජනාවලිය පවා සංඝ සමාජයේ විරෝධයට ලක්විය. නව ව්‍යවස්ථාවේ දැන්ම අනවශ්‍ය බවද ඔවුහු කීහ. ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට එරෙහිව සංඝ සමාජය විරෝධය පෑහ. කෙළින්ම ජනපති හමුවූ ඔවුහු ගෝඨා අත්අඩංගුවට නොගන්නා ලෙස ජනපතිට බලපෑම් කළහ. ජනපති සඟවාගෙන සිටින බව කියන කඩුව ඒ වේලාවේදී හෝ එළියට ගත්තා නම් ඔහුට බුදුන්ගෙන් නම් සමාවක් මිස අවුලක් නොවන බව සහතිකය. ජනපති මෛත්‍රීගේ ප්‍රධාන දුබලකමක් වන්නේ සංඝ සමාජයට ඕනෑවට වඩා බයපක්ෂපාතවීමය. මහින්ද සංඝ සමාජයට පක්ෂපාතය. එහෙත් බිය නැත. ඔහුට අවශ්‍ය දේට ඔහුට සංඝ සමාජයත් පාවිච්චි කිරීමට තරම් සූක්ෂ්ම වූයේය. මෛත්‍රී රට ගැන සිතා, සමාජ යුක්තිය පතා තීරණ ගන්නා නායකයෙකු බවට පත්වූවා නම් සංඝ සමාජයේ අන්තවාදීන්ගේ ව්‍යාජ සහාය නැතත් රටේ පොදු ජනයාගේ සහයෝගය ලබන නායකයකු වන්නට තිබිණි. හොරුන්ට පැනයන්නට ඉඩදෙන රාජපක්ෂලාගේ දූෂණ නොසොයන ඒ පිටට යහපාලනයේ ඇතැම් දූෂණත්, වියදමත් පටවන ආණ්ඩුවක නායකයන් ලෙස මෛත්‍රීට හා රනිල්ට තම තමාගේ ඉදිරි දේශපාලනය වෙනුවෙන්වත් කිසිවක් කරගත නොහැකි විය. ගොඩෝ එනකං නාට්‍යයේ පරිදිම මෙම නායක දෙපළ ප්‍රේක්ෂක සමාජය කණස්සල්ලට පත් කළේ එලෙසය.

සර්වපාක්ෂික යෝජනාවලිය

ගොඩෝ එනකං කල් මරන ඊස්ට්‍රජන් හා වැල්ඩිමීර්ගේ ලෝකයට හෙවත් මෛත්‍රීගේ හා රනිල්ගේ ලෝකයට වෙනස් වැඩ විධි ක්‍රමයක් අවශ්‍යව ඇත. සමාජය තිබෙන්නේ කණස්සල්ලට පත්වය. ඒ හැරුණු විට නායකයන් සිටින්නේ ඉදිරියට යා නොහැකි ඝර්ෂණකාරී අවස්ථාවකය. මේ අවුලට විසඳුමක් ලෙස සර්වපාක්ෂික වැඩපිළිවෙළක් ඇති කරගත යුතු බව මුලින්ම ලිව්වේ රාවය උපදේශක කර්තෘවරයාය. එම යෝජනාව දුටුමනතින්ම අප තුළ මතුවූ එක් ප්‍රශ්නයක් වූයේ ඒ සඳහා මධ්‍යස්ථානයක අවශ්‍යතාව සපුරා ගන්නේ කෙසේද යන්නයි. කැඳවුම්කාර භූමිකාවද ඊට අදාළ බැවින් මෙම යෝජනාව පුළුල් තලයක සාකච්ඡාවට බඳුන් විය යුතුව තිබේ. ඉකුත් සතියේ රාවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් එජනිස ලේකම් මහින්ද අමරවීර කියා තිබුණේ එවැනි කර්තව්‍යයකට දේශපාලනඥයකුට වඩා බුද්ධිමතුන් පෙරමුණ ගත යුතු බවය. දේශපාලනඥයන් පිළිබඳ මහජන විශ්වාසය බිංදුවටම වැටී ඇති අවධියක ඔහු මෙම යෝජනාව කෙරෙහි පෙරළා දක්වන අදහස බුද්ධිමතුන්ගේ සමාජය සැලකිල්ලට බඳුන් කළ යුතුව ඇත. ඒ අනුසාරයෙන් ගතහොත් ඇතැම්විට 2020දී බහුතරයකගේ විශ්වාසය දිනාගන්නා තැනැත්තා දේශපාලනඥයෙක් නොවීමටද පුළුවන. බොහෝවිට ජවිපෙ වැනි පක්ෂයක් එවැනි අදහසකට පළමුව එකඟවීමටද පුළුවන. ජවිපෙ නායක අනුර දිසානායක පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස අනුෂාංගික කරුණුද සැලකිල්ලට ගෙන විධායකය අහෝසි කිරීමේ යෝජනාවක් ඉදිරියේදී ගෙන එන බව ප්‍රකාශ කර තිබීමද නව දේශපාලන වැඩපිළිවෙළකට සවියක් සපයන යෝජනාවකි.

බලයට කෑදර කිසියම් පිරිසක් සර්වපාක්ෂික යෝජනාවකට අකමැත්ත පළ කළ හැකිය. එහෙත් රට විනාශකාරී මාවතක ඇදගෙන යනවාට වඩා සමාජ ප්‍රතිසංස්කරණ දිනාගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නගන සර්වපාක්ෂික දේශපාලන වැඩපිළිවෙළක් ඕනෑම සමාජ ස්ථරයක ගෞරවයට හේතුවන්නකි. දේශපාලනඥයන් සේ ම රටේ බුද්ධිමත් කොටස් මේ පිළිබඳව සිතා බැලීම ගොඩෝ වෙනුවට ගෝඨා සරණ යනවාට වඩා ප්‍රශස්ත බව අවධාරණය කළ යුතුය.

විමලනාත් වීරරත්න -රාවය ට

 

Latest Posts

විශේෂාංග

වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි 2018-04-11 - 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු...
හඬ මෙන් මිහිරි නොවු කොවුලා හඬ මෙන් මිහිරි නොවු කොවුලා 2018-04-11 - ගමේත් නගරයෙත් මෙි දිනවල එකසේ රැවි පිළිරැවි දෙන...
අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය 2018-04-10 - රබාන  ගැන කිය වෙන රබන් පදයකි. ඌරන් කැකුණ තලද්දී...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...