වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි

විශේෂාංග
Typography

2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු වූ සිරකරුවන් ඝාතනය කිරීමට අදාලව 2016 නොවැම්බර් 9 දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ ලියුම්කරු විසින් පැමිණිල්ලක් ගොනු කරන ලදී.

2ඒ අනුව HRC/4304/16 යන යොමු අංකය යටතේ 2016දෙසැම්බර් 6 වැනිදා පළමු කැඳවීම ලද අතර එහිදී ලියුම්කරු එම සිදුවීම වූ දින සිට වාර්තා කරන ලද පුවත්පත් වාර්තා, ඊට අදාල ජායාරූප සහ ලියුම්කරු හමුවේ තොරතුරු ලබාදුන් අයගේ සාක්ෂි මානව හිමිකම් කොමිසම වෙත ලබාදෙන ලදී. ඉන්පසුව නැවතත් 2017 ජනවාරි 10 වැනිදා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දෙවන වරට ලියුම්කරුට දන්වන ලදී. එදිනෙන් පසුව කොමිසමේ පරීක්ෂණ කටයුතු පිළිබඳව දීර්ඝ කාළයක් තුළ ප්‍රගති තොරතුරු නොලද බැවින් 2017 ජූලි 19වැනිදා ලියුම්කරු එම කොමිසම වෙත ලිපියක් යොමු කරමින් පරීක්ෂණවල ප්‍රගතිය විමසන ලදී. එහිදී ඊට පිළිතුරු වශයෙන් 2017අගෝස්තු 15 වැනිදා පිළිතුරු ලිපියක් එවමින් තම කොමිසම 2017 ජූලි 24වැනිදා නීතිපතිවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් වැලිකඩ ඝාතන සිදුවීමට අදාලව පත්කරන ලද දෙවන කමිටු වාර්තාවේ පිටපතක් ඉල්ලා යවා ඇති බව ලියුම්කරුට දැන් වූ අතර එම වාර්තාව ලැබීමෙන් අනතුරුව ඉදිරි පරීක්ෂණ සිදුකරන බව දන්වා තිබිණි.

දීර්ඝ කාළයක පටන් සිදු වූ පරීක්ෂණ ක්‍රියාවලියකට පසුව ඉකුත් සතියේදී මානව හිමිකම් කොමිසම ලියුම්කරු වෙත සිතාසි එවමින් ඊයේ දින (09) එම කොමිසම හමුවේ පැමිණිලි පාර්ශ්වය ලෙස පෙනී සිටින ලෙස දන්වන ලදී. ශ්‍රී ලංකා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ල අනුව වගඋත්තරකාර පාර්ශ්වය ලෙස පොලිස්පති, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, ආරක්ෂක ලේකම් සහ යුද හමුදාපති නම් කර තිබිණි. පොලිස්පති වෙනුවෙන් පොලිස් නිලධාරී ඩබ්.ඩබ් සෝමසිරි සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පොලිස් අධිකාරී නුවන් අසංක, උප පොලිස් පරීක්ෂක ඩ්බ්. ඒ. එස් තිලංක සහ ඩ්බ්. එම්. එම් යසරත්න සහභාගී විය. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වෙනුවට ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක, බන්ධනාගාර නියාමක චමින්ද පෙරේරා සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහභාගී විය. අනෙකුත් පාර්ශව වෙනුවෙන් කිසිවෙකුත් සහභාගී නොවීය.

වගඋත්තරකරුවන් සිය සාක්ෂි සහ පිළිතුරු මානව හිමිකම් කොමසාරිස් සුලාරි ලියනගම ඉදිරියේ ප්‍රකාශ කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව එහිදී දන්වා සිටියේ බන්ධනාගාර සිදුවීමට අදාලව මේ වනවිට සැකකරුවන් ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක මොසෙස් නියෝමාල් රංගජීව සහ බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් ළමාහේවගේ එමිල් රන්ජන් යන දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි. එමෙන්ම ඉදිරියෙදී තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් එහිදී ප්‍රකාශ කරන ලදී.
එම ඝාතන සිදුවීම වූ දින සෝදිසි කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරයට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇත්තේ එවක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වූ පී.ඩබ්. කොඩිප්පිලි බවත් ඒ අනුව පොලිස්පතිවරයා විසින් විශේෂ කාර්ය බලකා සෙබලුන් බන්ධනාගාරයට යවා ඇති බවත් ප්‍රකාශ කළ අතර, ඇති වූ නොසන්සුන්තාව සමනය කිරීම සඳහා පසුව යුද හමුදාව පැමිණ ඇති බවත් තවදුරටත් දන්වන ලදී.

එහිදී කොමසාරිස්වරිය ප්‍රශ්න කිහිපයක් විමසූ අතර දැනට අත්අඩංගුවට ගෙන ඇති අය හා එම සෝදිසිය අතර සම්බන්ධයට පිළිතුරු ලබාදෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කර සිටියේ එම සෝදිසිය සහ කළබලය අවසන් වූ පසුව සිරකරුවන් 27ක් බන්ධනාගාරය තුළ හා ඉන් පිටත ඝාතනය වී ඇති බවත්, බන්ධනාගාරය තුළ ඝාතනය වූ සිරකරුවන් 9දෙනෙකු සම්බන්ධව සිදුකළ දීර්ඝ විමර්ශන වලට පසුව ඊට සැකකරුවන් ලෙස රංගජීව සහ ළමාහේවගේ දැනට අත්අඩංගුවට ගත් බවයි. එහිදී කොමසාරිස්වරිය නියෝග කළේ ඉදිරි දින 14ක කාළය තුළ ඊට අදාල බී6540/2/12 යන අධිකරණ ලේඛන සියල්ල තම කොමිසම වෙත ලබා දියයුතු බවයි.


බන්ධනාගාර නිලධාරීන්ගෙන් ද කොමසාරිස්වරිය ප්‍රශ්න කීපයක් විමසන ලද අතර එහිදී පළමුව විමසා සිටියේ පොලිස් විශේෂ කාර්ය බලකාය සෝදිසියක් සඳහා බන්ධනාගාරයට කැඳවීමට ඉල්ලා සිටියේ කවුද යන්නයි. බන්ධනාගාරය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් ප්‍රකාශ කළේ මෙම ක්‍රියාන්විතයට අදාල ලිපි ලේඛන රහාස්‍ය ඒවා ලෙස ඇති බවයි. එමෙන්ම එලෙස ඉල්ලා ඇත්තේ එවක බන්ධනාගාර කොමසාරිස් පී.ඩබ්. කොඩිප්පිලි බවද, වැලිකඩ බන්ධනාගාරය තුළ එම ලේඛන කිසිවක් නොමැති බවද ප්‍රකාශ කරන ලදී. එදින රාජකාරි කළ බන්ධනාගාර නිලධාරීන්ගේ නම් ලැයිස්තුව සහ සිරකරුවන් සම්බන්ධ සියලුම ලිපි ලේඛන දින 14ක් තුළ තම කොමිසම වෙත ලැබීමට සලස්වන ලෙස කොමසාරිස්වරිය නියෝග කරන ලදී. එමෙන්ම ඊට සම්බන්ධ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු සාක්ෂිකරුවන්ද ඉදිරියේදී කොමිසම හමුවට කැඳවන බව ප්‍රකාශ කරන ලදී.

ඉන් අනතුරුව පොලිස්පති වෙනුවෙන් පැමිණ සිටි පොලිස් නිලධාරියාගෙන් ප්‍රශ්න කීපයක් විමසමින් කොමසාරිස්වරිය නියෝග කර සිටියේ මෙම සෝදිසියට සම්බන්ධ පොලිස් නිලධාරීන් තම දෙපාර්තුමේන්තුවෙන් පිටත්ව ගිය සහ නැවත පැමිණීමේ ලේඛන ආදී සියල්ලද ඉදිරි දින 14 තුළ කොමිසම හමුවට ලබා දියයුතු බවයි. මෙම සිදුවීමෙන් තුවාල ලැබූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රණවනට වන්ඳි ලබා දී ඇත්දැයි විමසන ලදුව එහිදී පොලිස්පති වෙනුවෙන් පෙනී සිටි නිලධාරිවරයා ඊට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කළේ තම දෙපාර්තුමේන්තුවේ සුබසාධන ගිණුම හරහා වන්ඳි මුදල් ලබා දුන් බවයි. ඊට සමගාමීව බන්ධනාගාර නිලධාරීන් සහ සිරකරුවන් සඳහා වන්ඳි ලබාදීම් පිළිබඳවද කොමිසම විමසා සිටි අතර බන්ධනාගාර නියාමක චමින්ද පෙරේරා ඊට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කළේ මේ වනවිට දෙදෙනෙකුට හැර නිර්දේශ කරන ලද සියල්ලට රජයෙන් වන්ඳි ලබා දී ඇති බවයි.

අවසාන වශයෙන් පැමිණිලිකාර පාර්ශ්වය ලෙස ලියුම්කරුගේ අදහස් කොමසාරිස්වරිය විසින් විමසා සිටින ලදී. එහිදී මෙම ලියුම්කරු ප්‍රකාශ කළේ මෙරට නීතියේ ආධිපත්‍ය පිළිබඳවත්, අපරාධ විනිර්මුක්තියට ඉඩ හැරීම පිළිබඳවත් මෙන්ම රජයේ ආරක්ෂාව ‍යටතේ සිටින පුරවැසියන් ලැයිස්තුගත කර ඝාතනය කිරීම සම්බන්ධව තමන්ට ගැටලුවක් ඇති බැවින් විනා රජයේ සමස්ථ ආරක්ෂක අංශ සමඟ හෝ පුද්ගලයන් සමඟ කිසිඳු ආරෝවක් මත මෙම පැමිණිල්ල නොකළ බව ප්‍රකාශ කරන ලදී. මේවනවිට සමාජය තුළ ව්‍යාප්ත කර ඇති රණවිරු දඩයම් ආදී ව්‍යාජ මත හරහා අපරාධ වසා ගැනීමට යත්න දරණ පිරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට එල්ල කරන පීඩනයත්, ඒ තුළ නීතිය ප්‍රමාද වී හෝ ක්‍රියාත්මක වීමත් අගය කළ යුතු බව ප්‍රකාශ කරන ලදී. නීතිගරුක බන්ධනාගාර නිලධාරීන් සියල්ලද අනීතික ක්‍රියාවන් සිදුකළ නිලධාරීන් කීපදෙනෙකු නිසා අපහසුතාවයට පත්ව ඇති බවද, නිල ඇඳුම් ඇඳ අපරාධ සිදුකිරීම සමස්ථ ‍රටේ මහජනතාව හෙළාදකින බවද ප්‍රකාශ කරමින් දෙවන ත්‍රිපුද්ගල කමිටු වාර්තාවේ පිටපතක් සහ ලියුම්කරු විසින් මෙම ඝාතන සිදුවීම අලලා රචිත '12.11.10 වැලිකඩ' කෘතිය සාක්ෂි වශයෙන් කොමිසම වෙත ලබාදෙන ලදී. මීට පෙරදී ලියුම්කරු සතු සියලුම ලිඛිත සාක්ෂි, හඬපට, වීඩියෝ සහ ජායාරූප සාක්ෂි කොමිසම වෙත ලබාදෙන ලදී.

කසුන් පුස්සෙවෙල
රැස - 2018.04.10

Latest Posts

විශේෂාංග

වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි 2018-04-11 - 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු...
හඬ මෙන් මිහිරි නොවු කොවුලා හඬ මෙන් මිහිරි නොවු කොවුලා 2018-04-11 - ගමේත් නගරයෙත් මෙි දිනවල එකසේ රැවි පිළිරැවි දෙන...
අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය 2018-04-10 - රබාන  ගැන කිය වෙන රබන් පදයකි. ඌරන් කැකුණ තලද්දී...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...