දමිළ දේශපාලන පක්ෂ අතර කලක පටන් ඇති බල අරගලය මේ වන විට තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇත. දකුණේ සමාජය අසංවේදී නමුත් මේ මොහොත යනු දමිළ දේශපාලනය තුළ භූමිකම්පාවක් සිදු වෙමින් ඇති සමයක්ය.


අපගේ මේ සූදානම ඒ ගැන ලියන්නටය. දමිළ-දමිළ නායක ගැටුම් සිංහල අපිට මොන කෙහෙල් මලකට දැයි මේ පසුබිමේ යමෙකුට ප‍්‍රශ්නයක් මතු විය හැකිය. දශක කිහිපයක පටන් දකුණේ දිනපතා ගැඹුරු වෙමින් ඇති ජාතිවාදී ජලාශයේ ගිලී සිටින සිංහල අන්තවාදයට පිං සිද්ධ වෙන්න ඕනම අයකුට මේ පැනය මතුවීම සාධාරණය. එහෙත් අප අමතක නොකළ යුත්තේ මේ කෙහෙල් මල අතීතයේ පටන් අප අවශ්‍ය බරින් යුතුව නොගැනීම අද අප අත්විඳින බොහෝ සමාජ, ආර්ථික, දේශපාලන ගැටලූවලට මුල්ව තිබෙන බවය. නැතිනම් දෙමළාගේ ප‍්‍රශ්නය යනු තවදුරටත් හුදු එම ජාතිකත්වයට අදාළ ගැටලූවක් නොව එය මේ වන විටත් අපේ දේශසීමාවන්ගෙන් එපිට පිළිතුරු සම්පාදනය වෙමින් ඇති මොහොතක අප ජීවත් වන අතර මේ ඉරණම විසඳා ගන්නට නම් දකුණ උතුරෙන් සහ සිංහලයා දෙමළාගෙන් ඈත්වීම පිළිතුරක් නොව ප‍්‍රශ්නය උග‍්‍ර කරවන්නක්ය.

එහෙයින් දමිළ - දමිළ නායක කෝන්තරය ගැන සහ එහි ඇති අවදානම පිළිබඳ සංවේදී වීම කිසිසේත්ම කෙහෙල් මලක් වන්නේ නැත.

මේ වන විට දමිළ - දමිළ නායකයන් අතර මතුව ඇති දේශපාලන ආතතිය දකුණට දැනෙන මට්ටමක් වෙත පිවිසුණේ පසුගිය මහ මැතිවරණ අවස්ථාවේදීය. එහි දී උතුරේ මහ ඇමැතිවරයා මැතිවරණය තුළ ද්‍රවිඩ සන්ධානය වෙනුවෙන් මැදිහත් නොවුණු අතර ඒ වෙනුවට ඔහු විශේෂ ප‍්‍රකාශයක් පමණක් සිදු කළේය. 
එයින් කියවුණේ මහ මැතිවරණයේ දී තමන් කිසිවකුටවත් සහාය නොදෙන බවත් දෙමළ ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින සහ ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව කටයුතු කරන පාර්ශ්වයක් තෝරාගෙන ඡුන්දය දීමට දමිළ ජනතාව තේරුම්ගත යුතු බවත්ය.

කෙසේ වුවත් මේ ප‍්‍රකාශය එකල උතුර හෙල්ලූම් කෑ ප‍්‍රකාශයක් විය. මන්ද ඒ වන විට ඩග්ලස් දේවානන්ද ඇතුළු ඊපීඞීපී ය මහින්ද සමඟ දීගයක සිටියෙන් උතුරේ ජනතාවගේ එකම දේශපාලන ගැලවුම්කරුවාගේ වරම හිමිව තිබුණේ ද්‍රවිඩ සන්ධානයටය.

අනෙක් අතට විග්නේශ්වරන් මහතාව දේශපාලනය තුළ භෞතීස්ම කළෙත් උතුරේ මහ ඇමැති කළෙත් ද්‍රවිඩ සන්ධානය විසින් වීමත් ඒ වෙනුවෙන් තීරණාත්මක වැඩ කොටසක් ද්‍රවිඩ සන්ධානයේ නායකයා වූ සම්පන්දන් මහතා ඇතුළු පාර්ශ්වය සිදු කළ පසුබිමය. එහි දී නැගුණු පැනය වූයේ විග්නේශ්වරන් කියන ලෙසට ද්‍රවිඩ සන්ධානය උතුරේ සහ දමිළ ප‍්‍රශ්නය වෙනුවෙන් මැදිහත් නොවේද යන්නය.

ඒ පිළිබඳ සාකච්ඡාව කරළිය උණුසුම් වන තැනකට පිවිසියේ උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන් මහතා ප‍්‍රධාන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බව වාර්තා වීමත් සමඟය. එහි දී මහ ඇමැති තනතුරින් ඉල්ලා අස්වන ලෙස ද්‍රවිඩ සන්ධානය විග්නේශ්වරන් මහතාට දැනුම් දී ඇති බව ද වාර්තා විය. ඊට හේතු ලෙස එවකට පැතිර ගියේ පසුගිය මහ මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයට සහාය නොදී අන්තවාදීන්ට සහාය දීමත්, පක්ෂයේ තීරණයට පටහැනිව යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටීමත් නිසා දෙමළ ජාතික සන්ධානය එම තීරණය ගෙන ඇති බවටය.

අනතුරුව මාවෙයි සේනාධිරාජා මන්ත‍්‍රීවරයා ද විග්නේශ්වරන් මහ ඇමැතිට එරෙහිව මාධ්‍ය සටනක් ඇරඹීය. ඒ මහ මැතිවරණය අවසාන වීමත් සමඟය. එහි දී ඔහු සිය අවිය ලෙස ගත්තේ උතුරේ යුද අපරාධ පිළිබඳ දේශීය යාන්ත‍්‍රණය ප‍්‍රතික්ෂේප කරමින් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට විග්නේශ්වරන් මහතා කළ ප‍්‍රකාශය ය. එහි දී සේනාධිරාජා මතු කළ තර්කය වූයේ අන්තර්ජාතික මානව හිමිකම් කවුන්සිලය හා මැදිහත් වීමක් මත යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇති අවස්ථාවක අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්වීමට උතුරේ මහ ඇමැති විග්නේශ්වරන් නැවත ඉල්ලා සිටීම විහිළුවක් වන බවය. එසේම නවනීදන් පිල්ලේ මහත්මිය අන්තර්ජාතික මානව හිමිකම් කවුන්සිලයේ සේවය කරන අවස්ථාවේ යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් පවත්වන ලෙස තම පක්ෂයේ ඉල්ලීම අනුව අන්තර්ජාතික රාජ්‍යයන්ගේ මැදිහත් වීම මත එය සම්බන්ධයෙන් වන වාර්තාවක් සකස් කිරීම සිදු කොට අදාළ වාර්තාව ඉදිරි මානව හිමිකම් සැසි වාරයන් හි දී අන්තර්ජාතික මානව හිමිකම් කවුන්සිලයේ දී එළිදැක්වීමට නියමිත මොහොතක, නැවත යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් පවත්වන ලෙසට ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීම විග්නේශ්වරන් මහතා අවබෝධයක් නොමැතිව සිදු කළ ක‍්‍රියාවක් වන බව සේනාධිරාජා මහතා පවසයි.

යුද අපරාධ සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීම් කිරීමට ජනතා අත්සන් ලබා ගැනීමට සමස්ත ලංකා දෙමළ කොංග‍්‍රස් පක්ෂයේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් කටයුතු කරමින් සිටීම ද අනවශ්‍ය ක‍්‍රියාවක් බවත් දෙමළ ජාතික සන්ධානය අදාළ වැඩපිළිවෙළ මීට පෙර ක‍්‍රියාත්මක කර අවසන් බැව් ද සේනාධිරාජා එහි දී දිගින් දිගටම අවධාරණය කර සිටියේය.

මේ බොහෝ අවස්ථාවල වත්මන් විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක සම්පන්දන් මහතා සිටියේ නිහඬ ස්ථාවරයකය. ඔහු සිය ස්වරය අවදි කළේ දෙමළ අයිතිවාසිකම් දිනා ගැනීම අරමුණු කරගෙන කියමින් දෙමළ දේශපාලකයන් සහ බහුජන සංවිධාන සාමාජිකයන්ගෙන් සැදුම් ලත් නව සංවිධානයක් උතුරේ පිහිටුවා ගැනීමත් සමඟය.

මේ නව සංවිධානය දෙසැම්බර් මස 19 වන දා යාපනය මහජන පුස්තකාලයේ රැස්වී දෙමළ ජනතා සභාව නමින් පිහිටුවා ගනු ලැබිණ. එම සංවිධානයේ සම සභාපතිවරුන් ලෙස යාපනය රෝහලේ දොස්තර පූපාලන් ලක්ෂ්මන් සහ මඩකලපුව පුරවැසි සමාජයේ ලේකම් ටී. වසන්තරාජා යන මහත්වරු පත් කරගෙන තිබූ අතර එහි නායකත්වය උතුරේ මහ ඇමැති විග්නේශ්වරන් මහතා හට පවරා තිබුණි.

එතෙක් පැවති ආතතිසහගත පසුබිම හමුවේ දෙමළ ජාතික සන්ධානයට විකල්පයක් සේ මේ නව එකමුතුව පෙනී ගිය අතර එය තවදුරටත් තහවුරු කළේ ඊට එක් වූ අනෙක් දමිළ දේශපාලන පක්ෂ සහ සංවිධාන සලකන විටය. දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මන්ත‍්‍රීවරයා, ඊපීආර්එල්එෆ් සංවිධානයේ සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් හිටපු මන්ත‍්‍රීවරයා මෙන්ම උතුරු නැගෙනහිර ආගමික නායකයන්, බුද්ධිමතුන්, කෘෂිකාර්මිකයන්, ව්‍යවසායකයන් සහ ධීවරයන් ආදී ලෙසින් පළල් බහුජන ස්වරූපයක් එන ලෙස දෙමළ ජනතා සභාවේ ක‍්‍රියාකාරී මණ්ඩලය සකස් කර තිබිණ.

අනතුරුව මේ නව එකමුතුව වෙනුවෙන් ආනන්ද සංගරී මහතා ද සහයෝගය පළ කළ අතර එහි දී ඔහු විග්නේශ්වරන් මහතාගේ වත්මන් හැසිරීම පිළිබඳ විශේෂ සැලකිල්ලකින් කතා කොට තිබිණ. දමිළ දේශපාලනය උඳුවප් සීතල පරයා උණුසුම් කළේ මේ සංගරී මහතාගේ හඬ අවදි කිරීමට සම්පන්දන් මහතා ක‍්‍රියා කිරීමත් සමඟින්ය.

සංගරීට මෙන්ම විග්නේශ්වරන්ට ද පිළිතුරු දෙන්නට මඩකලපුවට ගිය සම්පන්දන් මහතා එහි දී පැවති පක්ෂ රැස්වීමක දී පවසා සිටියේ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන්ට සහයෝගීව කුණු කූඩයට දැමූ ආනන්දසංගරී සහ ගජේන්ද්‍ර කුමාර් ආදීන් සිටින බව තමන් දන්නා බවය. සංගරී මහතා ද ඊට ප‍්‍රතිචාර දැක්වූයේ, ”කුණු කූඩයට දැමුව ද සීනුව සීනුවමය. ජනතාව වීසි කළේ සීනුවයි. නමුත් ඔබගේ අතෙහි තිබෙන්නේ කුණු බව තේරුම් ගන්න” යනුවෙන් නිවේදනය කරමින්ය.

එසේම ”සිංහ කොඩිය මහා කාලිගේ කොඩිය ලෙස වෙනස් කළ පුද්ගලයා ඔබ නොවේද? 1965 වසරේ කරච්චි ගම් සභාවේ සභාපති ලෙස තේරී පත් වූ කාලයේ සිට මේ දක්වා වසර 50 කට වැඩි කාලයක් කිසිදු වැඩසටහනක දී මා සිංහ කොඩිය ඔසවා නැත” යනුවෙන් ද සිය නිවේදනය හරහා සංගරී මහතා සම්පන්දන් මහතාගේ දේශපාලන සුජාතභාවය ප‍්‍රශ්න කරන්නට ද අමතක නොකළේය.

ඒ මහතාගේ නිවේදනයේ කොටස් අප මෙසේ උපුටා ගත්තේ ”සම්පන්දන්” සාධකය වෙනුවට මේ මොහොතේ විග්නේශ්වරන් සාධකය මුල්කර ගත් නව දේශපාලන ප‍්‍රවේශයක් ගැනීමේ පැහැදිලි සූදානමක් පෙනෙන්නට තිබෙන නිසාය.

කෙසේ වුවත් එය ශුද්ධ වූ දේශපාලන ප‍්‍රවේශයක් කියන්නට අප හදිසි වන්නේ නැත. ඒ හේතු ඇතිවය. මෙතෙක් සම්පන්දන් පාර්ශ්වය ලැබූ ප‍්‍රධාන චෝදනාවක් වූයේ ඔවුන් ඉන්දීය බලපෑම් මත දෙමළ ජනතාවගේ ඉරණම සංස්කරණය කරන බවටය. ඒ හමුවේ විග්නේශ්වරන් මහතාව අනෙකුත් පාර්ශ්වයන් ඉහළට ඔසවා තැබුවේ ඔහු යම් ප‍්‍රමාණයක ඉන්දියන් විරෝධයක් සහිතව බටහිරට (ඩයස්පෝරා) නැඹුරු ප‍්‍රතිපත්තියක සිටින බව තක්සේරු කරමින්ය.

මේ අතර ද්‍රවිඩ සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක සුමන්තිරන් මහතා ද පසුගිය සමයේ යාපනයට ගොස් මාධ්‍ය අමතා ප‍්‍රකාශ කළේ ”පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී පරාජයට පත් වූ පුද්ගලයන් පිටුපස දොරෙන් පැමිණ, ජනතාව ලබා දුන් ජනවරමට එරෙහිව කටයුතු කිරීමට උත්සාහ කරනවා” කියාය. ඔහු මෙසේ වටින් ගොඩින් කියන්නේ කවුරුවත් නොව පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත් වූ සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් සහ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඉලක්ක කරගෙනය. මේ මොහොතේ ඔවුන් සිටිනුයේ විග්නේශ්වරන් පෙරමුණේ තබා ඇති කරගෙන සිටින නව සංවිධානයේය.

කෙසේ වුවත් දෙසැම්බර් අවසන් සතියේ විග්නේශ්වරන් මහතා හා සම්පන්දන් මහතා හමුවක් සිදු වූ අතර එහි දී කවර එකඟතා හෝ වාද විවාද සිදු වූවාදැයි වාර්තා වූයේ නැත. මේ අතර දෙසැම්බර් 29 දා පැවති දෙමළ ජනතා සංසදයේ දෙවන සභා වාරයට විග්නේශ්වරන් මහතා සහභාගි වූ අතර ඊට දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකත්වය ලබා ඇති ප්ලොට් සංවිධානයේ නායක ටී. සිද්ධාර්ථන් සහ ඊපීආර්එල්එෆ් සංවිධානයේ නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් යන දෙදෙනා ද සහභාගි වූහ. මේ අයුරින් දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකත්වය ලබා ඇති දේශපාලන පක්ෂ 04 න් 02 ක් දෙමළ ජනතා සංසදයට සම්බන්ධ වීම හේතුවෙන්, දෙමළ ජාතික සන්ධානය තුළ මතභේදකාරී තත්ත්වයක් ඇති වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

එසේම මේ නව සංවිධානය වීම මේ වන විට රාජ තාන්ත‍්‍රික අවධානය ද යොමුකර ගැනීමට සමත් වී ඇත. දමිළ මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙරට ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා මේ වන විටත් විග්නේශ්වරන් මහතා හමුවී සම්පන්දන් පාර්ශ්වය සමඟ සංහිඳියාවකින් කටයුතු කරන ලෙස දැනුම් දී ඇත. එසේම බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් සහ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිවරයා නුදුරේදීම යාපනයට ගොස් ප‍්‍රධාන අමාත්‍යවරයා මුණගැසීමටද නියමිතව තිබේ.

ඒ අනුව එළඹෙන 2016 දමිළ දේශපාලනයේ බෙදීමක් සිදු වීමේ අවදානමක් ඇති බව පෙනෙන්නට ඇත. තවමත් විග්නේශ්වරන් මහතා පවසන්නේ දෙමළ ජනතා සභාව යනු දේශපාලන පක්ෂයක් නොව දෙමළ ජනතා අයිතීන් වෙනුවෙන් වන බහුජන පෙරමුණක් බවය. එහෙත් මෙරට දේශපාලන පක්ෂවල විශේෂයෙන් විමුක්ති අරගල පහස ලත් පක්ෂ අත්දැකීමට අනුව නම් ඉලක්කගත වැඩපිළිවෙළක් නොමැතිව විවිධ පාර්ශ්ව එක්කර ගන්නට තනන බහුජන පෙරමුණු අවසානයේ අන්ත පසුගාමී සහ විකෘති දේශපාලන කාඩරයන් වදන ගර්භාශය ය. ඊට දකුණේ ඇති හොඳම නිදසුන නම් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයයි. දමිළ ජනතා සභාව එවැනි විකෘතියක් නොවීමට ඇති ඉඩ ගැන අපට විශ්වාසයක් නැත. මන්ද ‘බලය නැති’ සහ ‘බලය ඇති’ කල බලපෑම් කළ හැකි සහ නොහැකි ප‍්‍රමාණය පිළිබඳ හොඳම පාඩම අප මහින්දගෙන් ඉගෙන තිබෙන නිසාය.

කෙසේ හෝ වේවා දැනට දක්නට ඇති ආකාරයට අනුව මතුපිටින් නම් සංගරී - විග්නේශ්වරන් - සම්පන්දන් යන පාර්ශ්ව ගැටුම ආරම්භව තිබෙනුයේ දමිළ ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් එක් එක් පාර්ශ්වය පෙනී සිටින ප‍්‍රමාණයේ පංගුව සම්බන්ධයෙන්ය. නමුත් අප අවධාරණය වර්තමානයේ ඇති කලාතුරකින් ලැබෙන මේ අවස්ථාව නිසි ලෙස ප‍්‍රයෝජනයට නොගෙන තම තමන්ගේ අම්බලන්වල වළං බිඳින කාර්යය අවසන් කර දමිළ ජනතාව මුල් කරගෙන ඇති මෙරට ජාතික ගැටලූව විසඳා ගන්න වැඩපිළිවෙළක් සහිතව දමිළ දේශපාලනය පියවර ගත යුතුය. නැතිනම් මේ අවස්ථාව මඟහැරී ඉතිහාසයේ වරදකාරී හෘද සාක්ෂියේ කොටසක් වත්මන් දමිළ දේශපාලන නායකයන්ට වෙන් වීම වළක්වන්නට නොහැකිය.

අනාගතය ගොඩනගන්නටත් වර්තමානය සකස් කරගන්නටත් අපට අත්දැකීම් එකතු කරනුයේ ඉතිහාසය විසින්ය. එනිසාම අදාළ කාරණාවට පෙර ඊට අදාළ ඉතිහාසය සිදුවීම් ලෙස හෝ යළි සිහි කරන්නට අපට සිත් විය. අනෙක් අතට ප‍්‍රතිපත්ති කාරණා කෙසේ වුවත් පොදු සටනක් තුළ විමුක්තිය ලබනු වෙනුවට පොදු විමුක්තිය වෙනුවෙන් සටන පෞද්ගලික දේපළක් බවට පත් කර ගත් විට අත්වන ඉරණම ගැන ද ඉතිහාසය ඕනෑවටත් වඩා පාඩම් එකතු කර ගෙන ඇත. එහෙයින් අප මේ කටයුත්ත ආරම්භ කරනුයේම ඉතිහාසයෙන් ය. ඉතිහාසයේ දමිළ විමුක්ති දේශපාලන අරගලයේ නොමැකෙන සටහන් තබා ඇති පුද්ගල පෞරුෂයකින්ය.
ඒ 70 දශකයේ අවසන් භාගයයි. නැතිනම් 80 දශකයේ ආරම්භක මොහොතයි. එල්ටීටීඊ සංවිධානයේ නායකත්වය විසින් එහි සන්නද්ධ අංශය වෙත නියෝගයක් නිකුත් කරනු ලැබූ අතර එයින් කියවුණේ ”ප‍්‍රධාන ස්විචය නිවා දමනු” යන්නයි. නියෝගය අකුරටම ක‍්‍රියාත්මක විය. ඒ අනුව එවකට ප්ලොට් සංවිධානයේ නායකයා වූ සුන්දරම් ව ඝාතනය කෙරිණ. සැබැවින්ම දමිළ සමාජයේ ද බහුතරයකට අනුව එදා ප්ලොට් නායකයාව ඝාතනය කෙරුණේ අන් කිසිදු හේතුවක් නිසා නොව සුන්දරම් දේශපාලන කටයුතුවල දී මෙන්ම යුද්ධයේ දී ද දක්ෂයකු වීම ප‍්‍රභාකරන් හට දරාගත නොහැකි වීමය.

‘බිඳුණු තල් රුක’ කෘතිය ලියූ රාජිනී තිරාණගම ඝාතනය ද මීට සමාන මනෝභාවයකින් සිදු කළ එකක්ය. මානව හිමිකම් සහ නව දේශපාලන සංවේදීත්වයකින් යුතුව යාපනය විශ්වවිද්‍යාලය ආශ‍්‍රිතව ඇති වූ නිදහස් කණ්ඩායම එල්ටීටීඊ ය හඳුනා ගත්තේ දමිළ දේශපාලනය තුළ තම පංගුව සීමා කරන තර්ජනයක් ලෙසින්ය. 1989 සැප්තැම්බර් 21 රාජිනීව ඝාතනය කිරීමේ තීන්දුව ගැනෙන්නේ ඒ අනුවය.

බාහිර සතුරන් පමණක් නොව මේ මනෝභාවය විසින් අභ්‍යන්තර සතුරු තර්ජන ද සැලකිල්ලට ගත් අතර පත්කුනම් සහ මයිකල් නම් එල්ටීටීඊ සාමාජිකයන්ගේ ඝාතන හරහා එය ආරම්භ විය.

සහෝදර දේශපාලන කණ්ඩායම්වලින් ආරම්භව සංවිධාන අභ්‍යන්තරය දක්වා ඔඩු දිවූ මේ අධිකාරිවාදී ෆැසිස්ට් හැසිරීම වරෙක හමුදාව යාපනය ආක‍්‍රමණය කළ අවස්ථාවක එල්ටීටීඊ සංවිධානයේ මධ්‍යම කාරක සභාව තුළ විවේචනය වූ නමුත් යළි එවැන්නක්වත් ඇති නොවන තරමට අභ්‍යන්තරය ෆැසිස්ට් ස්වභාවයක් ගත්තේය.

එහි අවසානය සනිටුහන් වූයේ උපදේශකයන් නැති, විශ්වාසයක් නොමැති පසුබිමක දමිළ ජනතාවගේ අරගලය එල්ටීටීඊ උර මත හුදෙකලා වීමය. ඔවුන් ඉන්දීය හමුදා ආක‍්‍රමණයේ පටන් සටන අත් නොහැරි බව සත්‍යය නමුත් එකී හුදෙකලා අරගලය නන්දිකඩාල් කලපුව මත අවසන් වීම දක්වා සමස්ත දමිළ සමාජයට තදබල වන්දියක් ගෙවන්නට සිදු වූ බව ද සත්‍යයක් ය. එසේම එකී දේශපාලන පරාජය 21 වන සියවසේ රජුන් තනන්න තරම් පසුගාමී සමාජයක් නිර්මාණය කරන්නට යම් ප‍්‍රමාණයකට දායක වූ බව ද සත්‍යය ය. රාජපක්ෂ පාලනය බිඳ නොවැටෙන්න අදටත් දමිළ සමාජයේ ප‍්‍රශ්නය එම ජනතාවගේ සිත්වලින් මෙහාට එන්නේ නැත.

කෙසේ වුවත් දමිළ ජනතාවගේ විමුක්තිය අරබයා කොන්දේසි විරහිත සන්නද්ධ අරගලයක් සිදු කළ ඉතිහාසයේ ලිට්මස් පරීක්ෂාවෙන් එල්ටීටීඊ ය ඉහළින් සමත්ය. එදා අරගලය පෞද්ගලික කරගෙන එල්ටීටීඊ ය සන්නද්ධ සංවිධානයක් ගොඩනැගූ නමුත් ශක්තිමත් දේශපාලන පෙරමුණක් ගොඩනගන්නට සමත් වූයේ නැත. ඒ වෙනුවට සියලූ විමුක්ති දේශපාලන ක‍්‍රියා දමිළ ජනතාවගේ ගැටලූව සමඟ ගොනු කළා නම් සහ ඒ වෙනුවෙන් එල්ටීටීඊ ය තම කාර්ය කොටස ඉටු කළා නම් තත්ත්වය මීට වඩා බොහෝ වෙනස් වන්නට ඉඩ තිබිණ. ඉතිහාසය අපට කියා දෙන පාඩම එබඳුය.

අද එල්ටීටීඊ ය පමණක් නොව දමිළ විමුක්ති දේශපාලනයේ සන්නද්ධ සංවිධානයක සේයාවක්වත් නොමැත. එහෙත් දමිළ ජනයාගේ ප‍්‍රශ්නය එතැනමය. සිවිල් යුද්ධය විසින් දමිළ සමාජයට දෙයක් ලැබුණා නම් ඒ අන් කිසිවක් නොව තිබූ තුවාලය වණයක් කිරීමය. ඒ අනුව මේ මොහොත යනු ඉතිහාසයේ දමිළ තුවාලය වණයක්ව එකී සමාජයම පෙළමින් සිටින මොහොතක්ය. අනෙක් අතට අද සිටින දමිළ දේශපාලන නායකයන් කිසිවකු හට එදා ප‍්‍රභාකරන් තරම් බලපෑමක් දකුණේ සමාජයට සිදු කරන්නට තබා ඊට සමීප වන්නටවත් නොහැකිය. එහෙයින් දමිළ ජනතාවගේ ප‍්‍රශ්නය කේන්ද්‍ර කරගත් මෙරට ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් සපයා ගැනීමේ දී එක් එක් දේශපාලන පක්ෂ හෝ සංවිධාන ලෙස දකුණේ පාලනයට සිදු කළ හැකි බලපෑම ද ඉතා අල්පය.

මෙය අමුතුවෙන් කිව යුත්තක් නොවන අතර දකුණේ මෙන්ම උතුරේ නායකයන් එය හොඳින්ම දන්නා කරුණක්ය. එහෙත් ගැටලූව වනුයේ වර්තමානයේ ඇති දේශපාලන විශේෂත්වයේ වාසිය දමිළ සමාජයේ ගැටලූවට විසඳුම් සපයා ගන්නා සහ අවසානයේ රටට ජයග‍්‍රහණ අත්කර ගන්නා තැනකට ගෙන යාම පසෙක තබා දමිළ නායකයන් දමිළ දේශපාලනය තුළ තම කොටස වෙනුවෙන් බල අරගලයකට අවතීර්ණව සිටින බවක් පෙනෙන්නට ඇති නිසාය.

විශේෂයෙන්ම අද වන විට මෙරට සිංහල බෞද්ධ අන්තවාදීන් තමන්ගේ ලේ, මිනිස් ලේ නොව ‘සිංහ ලේ’ බව ඔප්පු කරන්නට වලි කන මොහොතක පොදු සටන පසෙක තබා දමිළ දේශපාලන නායකත්වය කටයුතු කිරීම දමිළ ජනතාවගේ පමණක් නොව සමස්ත රටේම අවාසනාවය. මන්ද, මේ සියලූ ජල්ලි අවසානයේ ජනතා ප‍්‍රශ්න මැතිවරණ ජයග‍්‍රහණ වෙනුවෙන් පරදු තබන තක්කඩි දේශපාලනයට ඉඩ හසර විවර කර දෙන සහ ඉතා දුෂ්කර කොන්දේසි හමුවේ ලැබූ ජනතා ජයග‍්‍රහණ ආපස්සට කැඳවන්නට දායක වන නිසාය.

එහෙයින් මේ මොහොත රටේ පොදු ජනතාව අවදියෙන් සිටිය යුතු මොහොතක්ය. රටේ බාහිර සතුරා අහිමිව ගිය කල අභ්‍යන්තර සතුරකු නිර්මාණය කරගෙන දමිළ දේශපාලනය එක්තරා පීලි පැනීමක් අබිමුව ඇත. ඉන්දියානු බලපෑමේ සිට ජිනීවා අභියෝගය දක්වාත් ජීඑස්පී සහනයේ සිට තවත් බොහෝ දේ කෙරෙහිත් මේ දමිළ දේශපාලනයේ භූමිකම්පාව රටටම තීරණාත්මක බව සිහි තබා ගැනීම දැනට ප‍්‍රමාණවත්ය.

සංජය ලියනගේ

Write comment (0 Comments)

පසුගිය දා කොළඹ සෞදි තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා මාලාවක් පැවැත්විණ. එහි මූලික අරමුණ වූයේ සෞදියේ දී ගල් ගසා මැරීමට තීන්දු වී සිටි සිංහල මුස්ලිම් කාන්තාවක මරණ දඬුවමින් ගලවා ගැනීමය.

Read more ...
Write comment (0 Comments)

පසුගිය සතිය තුළ අපූරු පුද්ගලයන් දෙදෙනකු එකම නිමිත්තක් පාදක කරගෙන අපූරු කතා දෙකක් පවසනු අසන්නට ලැබුණි. එක් පුද්ගලයකු නම් කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී (හිටපු ජනාධිපති) මහින්ද රාජපක්ෂය.

Read more ...
Write comment (0 Comments)

සංවර්ධනය ආරම්භයේ සිටම ලොව උතුරේ රටවල ආකෘතිය දකුණේ රටවලට ආදේශ කිරීම පිළිබඳ කරුණක් විය. ආර්ථික වශයෙන් දුප්පත් ජාතීන්ට පොහොසත් ජාතීන්ගේ තත්ත්වයට ඉක්මනින් ළඟා වීමට හැකි වනු ඇතයන්න ආර්ථික වර්ධනය සංවර්ධනය ලෙසින් ගැනීමේ පොරොන්දුවයි.

Read more ...
Write comment (0 Comments)

දශක දෙකක් පමණ ගෝලීයකරණයට විවෘත වූ රටක් ලෙස වෛද්‍යවරු ද අන් අය සේම තම සමාජ භූමිකාව චලනය කර ගනිමින් සිටිති. එක පැත්තකින් ඔවුන් තමන්ගේ සමාජ මූලයට අයිති පන්ති තත්ත්වය තම වෘත්තියේ සමාජ - ආර්ථික බලය හරහා වෙනස් කර ගනිමින් සිටියි. අනෙක් අතට තම වෘත්තියට අදාළව ‘ප‍්‍රාග්ධනය’ විසින් පතුරුවන ලබන ආධිපත්‍යය නිසා වික්ෂිප්ත වී සිටියි.

Read more ...
Write comment (0 Comments)

බොහෝ විට විහාරස්ථානවල ප‍්‍රධානීන් වූයේ පවුල් පන්සල් දෙකම එකක් කරගත් ගණින්නාන්සේලාය. වෙහෙර විහාර ඇති බිමේ එක් පසෙක ගණින්නාන්සේගේ නිවස විය. එය ගණේ ගෙදර, ගණේ වලව්ව ආදී නම්වලින් හැඳින්විය.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

පොහොර සහනාධාරය වෙනුවෙන් මේ දිනවල දේශපේ‍්‍රමීන් හා විප්ලවවාදීන් අඛණ්ඩ අරගලයක නිරතව සිටී. වත්මන් ආණ්ඩුව මෙවර අයවැයෙන් පොහොර සහනාධාරය කප්පාදු කර ඇතැයි ද එමඟින් රටේ වී ගොවිතැනත්, වී ගොවියාත් විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බවත් මේවා අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණ බවත් බත් නොකනවුන්ගේ මෝඩ වැඩ බවත් ආදී වශයෙන් බොහෝ දෑ කියමින් සිටී.

Read more ...
Write comment (0 Comments)

විභාග දෙපාර්තමේන්තුවේ කාල සටහන් අනුව අගෝස්තු මාසය සහ දෙසැම්බර් මාසය දෙවියන්ට වැඩ අධිකම කාලයයි. පහේ ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. සා.පෙළ විභාගය, අ.පො.ස. උසස් පෙළ විභාගය ලියන දරුවන්ට ආශිර්වාද පූජාවලට සහභාගි වීමට නියමිතව ඇත්තේ මෙම මාස දෙක තුළයි.

Read more ...
Write comment (0 Comments)