යමක් පැවතීම යනු තව යමක් නො-පැවතීම පිළිබද රෝගී දර්ශකයකි

මගේ ලෝකයෙන් පසු ලෝකය
Typography

වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන ආස්ථානය යනු අප දෙස කිසිවෙක් දිව්‍යමය නිරික්ෂයක් (celestial eye) තුළින් බලා නොසිටින බව අවබෝධ නොකර ගැනීම තුළින් යම් අයෙක් පත්වන එක්තරා අතිමූලික සදාචාරාත්මක සිරගත වීමක් සම්බන්ධයෙන් උදාහරණ ලෙස දැක්විය හැකි මහඟු අවස්ථාවකි.

ඒ තුළින් මගේ ලෝකයෙන් පසු ලෝකය ලිපි මාලාවේ මීළඟ පියවර ලෙස හැඳින්විය හැකි ‘නිරික්ෂය’ (Gaze) නම් ප්‍රපංචයට සමාන්තර ලෙස, ගුප්තමය ලෙස අතීතයෙන් පිළිරැව් දෙන මිථ්‍යාමතික ‘හඩ’ (Voice) යන්න සාකච්ජා කිරීමට පෙර තමාගේ ම අතීතයේ නිරීක්ෂය තුළ අවිඥානික ගොදුරක් වී ඇති මෛත්‍රිපාල මහතාගේ පැවැත්ම සාකච්ජා කිරීම මේ මොහොතේ තත්ත්ව තුළ ඉතා කලෝචිත යැයි හඟමි.  විශේෂයෙන් මෙම සාකච්ඡාව තවත් පියවරකට යාමට පෙර ඉහත කරුණ සාකච්ජා කිරීම විශාල දේශපාලන අදාළත්වයක් ඇති දාර්ශනික කරුණක් ලෙස මේ මොහොතේ පෙනී යයි.  එහිදී ‘මේ මොහොත යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න තවදුරටත් මෙසේ තේරුම් ගනිමු. මේ මොහොත යනුවෙන් අදහස් වන්නේ පවත්නා ගෝලීය ආර්ථික අවපාතය තුළ ගෝලීය ජනප්‍රිය ජාතිකවාදයක නැගීම පෙන්නුම් කිරීමට සමපාතව ලාංකික තලයක ද යම් යම් ප්‍රවණතා ඉස්මතු වීමයි.

ජිජැක් සඳහන් කරන පරිදි ඕනෑම ෆැසිස්ට්වාදයක හෝ සමස්තතාවාදයක ඉස්මතු වීම යනු තවත් ප්‍රබුද්ධ දේශපාලන ව්‍යාපෘතියක අසාර්ථක බව පෙන්නුම් කරන දර්ශකයකි (index).  උදාහරණ ලෙස ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අසාර්ථක බුර්ෂුවා  දේශපාලන ව්‍යාපෘතියේ ජයග්‍රහණය නම් ජනප්‍රිය ජාතිකවාදී ඩොනල්ඩ් ට්‍රම්ප්ය. නෝම් චොම්ස්කිට අනුව ට්‍රම්ප්ගේ දේශපාලනය  පුරෝකථනය කළ නොහැක්කේ ඔහුගේ සමස්ත පැවැත්ම ම සකස් වී ඇත්තේ පුරෝකථනය කිරීමට නොහැකි බව (unpredictability) තුළ වීම නිසාය.  ජර්මානු නාසිවාදය යනු සමකාලීන වාම ව්‍යාපාරයේ අසාර්ථක බවේ රෝග ලක්ෂණයකි.  වෝල්ටර් බෙන්ජමින් පවසන පරිදි ‘සෑම නාසිවාදයකම පිටුපස අසාර්ථක වාමවාදයක් ඇත’ යන්න මෙ’තුළින් මොනවට පසක් වේ.  මෙයට සමාන්තර ලෙස වර්තමාන ලාංකික දේශපාලන සන්දර්භය තුළ මහින්ද රාජපක්ෂ ප්‍රපංචය යම් ආකාරයකින් නැවත ඉස්මතු වීම සත්‍යයක් නම් එම ඉස්මතු වීම සදහා මූලික වන්නාවූ කරුණ වන්නේ කුමක් ද?  මහින්ද රාජපක්ෂ සතු යම් වාසනා ගුණයක් ද? අලුත් වශි බෝලයක් වැනි ගුප්ත යමක් ද? නක්‍ෂත්‍රකරුවන් වැනි යම් බලවේගයක් ද? ඔහු සෑම තැනම වඳිමින් යන දේවාල පන්සල්වල ඇති යම් ගුප්ත අන්තර්ගතයක ප්‍රාදුර්භූතවීමක් ද? මා සිතන අයුරින් යම් අයුරකින් මහින්ද ප්‍රපංචය  එසේ ඉස්මතු  වන්නේ නම් එයට අවශ්‍ය මූලික අඩිතාලම දමන්නේ වර්තමාන මෛත්‍රි-රනිල් පාලනය විසින්ම බව අකමැත්තෙන් හෝ ඔවුන් දෙපළට පිළිගැනීමට සිදුවනු ඇත.  මෙම ලිබරල් පාලකයන්ගේ බැලුබැල්මට පෙනෙන ව්‍යාකුල දේශපාලනික ස්ථානගත වීම, කතිකා කලාපය තුළ මතුපිට සංකේතිය බව (appearance) විනාශ කර ගැනීම, සැබෑ ජනතා ප්‍රශ්න මග හැරීම මෙන්ම දේශපාලනික-ආර්ථික අසමත්භාවය ඊට ප්‍රධානම හේතු බවට පත්වේ.  මෙම විපරිත ස්ථානගතවීමේ සමාරම්භක අභිනය කොතැනද යන්න අප ප්‍රථමයෙන් අවබෝධ කර ගැනීමට උත්සාහ ගනිමු.

මා දකින හැටියට මෙය ආරම්භ වන්නේ මෛත්‍රීපාල මහතා බහුතර ඡන්ද දායකයන්ගේ ඡන්දයෙන් ජනාධිපති වුවාට පසුවය.  ජිජැකියානු-බදිවුයානු ආකෘතියක් තුළ පැහැදිලි කරන්නේ නම් ‘සිද්ධියට පසු’ (after the event) යනුවෙන් ඔවුන් හඳුනාගන්නා දාර්ශනික නිමේෂය මෙතනට හොඳින් අදාළ වේ.  ඔවුන්ට අනුව සත්‍යයම අරගලය පටන් ගන්නේ යම් අරගලයක ජයග්‍රහණයට පසුය.  ජයග්‍රහණයට පුර්වයෙන් නොවේ ය.  අප වඩාත් දුෂ්කර යැයි සිතුවේ මහින්ද පරාජය කිරීම නම් මොහොතයි.  නමුත් එම පරාජයෙන් පසු ශ්‍රිලනිප සහ එජාප නම් බලවේග දෙක එකට වැඩ කිරීම නම් තත්ත්වය සම්බන්ධයෙන් වූ මානසික සුදානම (සත්භාවී සුදානම) ඇති කර ගැනීම මෙම මහින්ද පරාජය කිරීම නම් සිද්ධිය සමග සත්‍යය ලෙස සිදුවුවා ද යන්න හොඳින් කල්පනාකර බැලිය යුතුය.  තම සතුරා පරාජය කළ ද එම ජයග්‍රහණයෙන් පසු කරන්නේ කුමක් ද යන්න පිළිබද වු ගැඹුරු ‘නො-සුදානම’ විසින් අද්‍යතන රනිල්-මෛත්‍රි ආණ්ඩුවේ එකතැන පල්වීම සහ පරාජය නිර්මාණය කරන ලද බව මාගේ පිළිගැනීමයි.

මාක්ස්වාදීන් ලෙස ප්‍රථමයෙන් එරෙහිවිය යුතු දෙය නම් සමාජ පරිණාමයේ අර්ථයෙන් ගත්විට යම් සමාජයක් එකතැන පල්වීමයි.  ස්ලෙවොයි ජිජැක් මෑතකදී මියගිය ෆිදෙල් ක්‍රස්තෝ සම්බන්ධයෙන් ගෙන එන ප්‍රධානම විවේචනය වන්නේ ‘ජයග්‍රහණය’ නම් සිද්ධියෙන් පසුව සිදු වූ කියුබන් සමාජයේ එකතැන පල්වෙන ආර්ථික දේශපාලන ක්‍රියාවලියයි.  ඇමෙරිකානු විරෝධීන් ලෙස ඔවුන්ගේ ප්‍රතිරෝධය (resistance) ලෝකය පුරා ඇමෙරිකානු විරෝධීන් ගේ සිහිනය විය. කියුබානුවන් එම සිහින දකින්නන්ගේ සිහිනයේ හිරකරුවන් වූ බව ජිජැක් විශිෂ්ට ප්‍රංශ දාර්ශනිකයෙක් වූ ගිලි දෙලුස් (Gille Deleuze) උපුටමින් ප්‍රකාශ කරයි.  මෙම සිහින උගුලේ චීනය සිර වූවේ නැත. වාමාංශික අරුතකින් චීනය තුළ මෙම එකතැන පල්වීම දුටු චීන කොමියුනිස්ට් පක්‍ෂය කළේ ශේෂව තිබූ එකම විකල්පය වූ ධනවාදය තුළට ඇද වැටීමයි.  ජිජැක් සඳහන් කරන අන්දමට මාවෝ ගේ සංස්කෘතික විප්ලවයේ සැබෑම නිර්මාණය බවට පත්වන්නේ චීනයට ධනේෂ්වර ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන් ඩෙං ෂියාවෝ පෙං ය.  එකතැන පල්වෙන ලාංකික සුබසාධක රාජ්‍යයේ අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ප්‍රවාහණ ගැටලු යනාදී තත්ත්ව සම්බන්ධයෙන් දක්ෂිණාශිකයන් මෙන්ම වාමවාදීන් ද ඉතාම රැඩිකල් අයුරින් මැදිහත් විය යුත්තේ ඒවායේ යටත්-විජිත, පශ්චාත් යටත් විජිත සුබසාධක තත්ත්ව කිසිඳු ශේෂයක් ඉතිරි නොවන පරිදි වෙනස් කරනු පිණිස ය.

උදාහරණ ලෙස දියුණු රටවල පවතින පරිදි රථවාහන වැරදි සම්බන්ධ දඩය ‘රැඩිකල්’ ලෙස වැඩි කළ විට මාර්ගවල සාපේක්ෂ ලෙස ඇතිවූ විනය සලකා බලන්න. ලංකාවේ නොදියුණු තක්කඩි රියදුරන් මිනීමැරීම සඳහා අවසර ඉල්ලා උද්ගෝෂණ කළත් ඇත්ත වශයෙන් රටක් විනයගත කිරීමට මෙවන් නොසිතු විරූ උපක්‍රම අවශ්‍ය වේ.  නැතිනම් දක්නට තිබුණේ ලංකාවේ සුළු දනේශ්වර පන්තිය ඉන්දියන් වාහන අතට ගෙන ඇතිකර තිබු ව්‍යාජ චන්ඩි පිබිදීමකි. නමුත් ගැටලුව සම්පුර්ණයෙන් අවසන් නැත.

 

මීළඟ කරුණ වඩා දාර්ශනික ය.  එය අප මෙතෙක් මෙම සාකච්ඡාව තුළ හඳුන්වා දුන් මුලික සංකල්පයක් සමඟ බැදේ.  එනම් ‘ශුන්‍යතාවය’ (nothingness) නැත්නම් ‘හිස්බව’ (void) නැත්නම් මුලික නිවහනක් නැති තත්වය (homelessness) වඩා ‘රැඩිකල් නිදහසක්’ රැගෙන එන්නා වූ ධෛර්යයෙන් තරණය කළ යුතු තත්ත්වයක් ලෙස පිළිගැනීමයි;  තරණය කිරීම ඔස්සේ ම නව අර්ථයක් සොයා ගත යුතු පෙර නොසිතූ විරූ විසන්ධිවීමක් ලෙස මුහුණදිය යුතු තත්ත්වයක් ලෙස හඳුනා ගැනීමයි.  මෙම තත්ත්වය මුලින්ම බරපතළ ලෙස වරද්දා ගන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා යි.

මෙම නිදහස ජනාධිපතිවරයාට සම්මුඛ වන මූලික නිමේෂය නම් 2015 ජනාධිපතිවරණයට පෙර ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව පොදු අපේක්ෂකයෙක් බවට පත්වෙන අවස්ථාවයි.  එහි දී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඵෙතිහාසික අගතිවලින් (ආරම්භයේ සිට පැවති ජාතිවාදි සංකල්පවලින්) සංකේතීයව මිදෙන අතර වාරයේ ම එක්සත් ජාතික පක්ෂයේ අගති සමඟ පුර්ණ වශයෙන් සහභාගී (participate) වන්නේ ද නැත.  එය සම්පුර්ණ හෛඩගරියානු ‘නිවහනක් නැති’ පුර්ණ නිදහස් රැඩිකල් නිමේෂයකි.  ලාංකිකයින් ඔහුව විශ්වාස කළේ ද මෙම කුමන ඓතිහාසික අගතිගාමී පාර්ශවයකටවත් සහභාගී නොවු (සෘජුව සංසේචනය නොවූ) මෛත්‍රිපාල නම් සාධකයයි.  මා සිතන පරිදි සුළු ජන කොටස් ඔහුව විශ්වාස කිරීමට මුලික හේතුවක් වුවේ මෙම මුල්වලින් ඉදිරුණු (uprooted) ඔහුගේ නව ස්වභාවයයි.  එහෙයින් මෛත්‍රිපාල මහතාට තිබුණේ මෙලොවට විසිකර දැමූ-නිවහනක් නැති එහෙත් දේශපාලන වගකීම විසින් සාර්වත්‍රික ලෙස සීමා පනවන ලද නව විශ්වීය අවකාශයකි.  මීට පෙර කිසිඳු ජනාධිපතිවරයකුට මෙම තත්ත්වය ලාංකිකයා අත්කර දී නොතිබුණි.  නමුත් මෙම ‘නිදහස’ වෙනුවට ඔහුට අවශ්‍ය වූවේ කුමක් ද?

magelokaya16 1

නිදහස වෙනුවට ඔහු නැවත තම අතීත ශ්‍රිලනිප උරුමය සොයා පසුගමන් ඇරඹීම ජනාධිපතිවරණයෙන් පසු සිදුවිය.  ඒ ඔහුට ඡන්දය දුන් අතිවිශාල ශ්‍රී ලාංකිකයන් ඔහු වෙත පිරිනැමූ සාර්වත්‍රික නිදහස වෙනුවට පුද්ගල නාසිස්මික කේවලත්වයක් හඹා යෑමක් ලෙසය.  සාර්වත්‍රික බව සමඟ සංසේචනය  වූ රැඩිකල් සුවිශේෂයක්  වනවා  වෙනුවට  ඔහු අතීත උරුමය සම්බන්ධ  කේවලත්වයට ආශා කළේය.  මෙම කේවලත්වය (Individualism) පදනම් කරගනිමින් ඉන්පසු එජාප ය ද අඬන්නට හිටි මිනිහාට ඇඟිල්ලෙන් ඇන්නා සේ තම පක්‍ෂය කේන්ද්‍ර කරගත් බල ව්‍යාපෘතියකට කළ එළියේම විතැන් විය.  බැඳුම්කර ගැටලුව ඉස්මත්තට එන්නේ මෙහිදී ය.  මේ තත්ත්වය මුල්වරට විග්‍රහ කරන ලද්දේ ගාමිණි වියන්ගොඩ මහතා ය.  මෙම අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තම අතීත උරුමයේ නිරීක්ෂයට (gaze) සහ එම උරුමයෙන් කැඩීයාම පිළිබඳ ‘වරදකාරිත්වයේ’ හැඟීම විසින් නැවත අතීතයට සංසේචනය කරනු ලබයි.  නැත්නම් රූප සටහනේ පරිදි  අතීතයේ ස්වාමිත්වය (subject) තමා දෙස බලා සිටින බවට වන වස්තුව (object) බවට පත්වේ. මෙය ඔහුගේ බරපතළ පරාජයකි.

  

2015 මැතිවරණයේ දී බොහෝ ශ්‍රිලනිප පාක්ෂිකයින් මෛත්‍රිපාල මහතා දෙස බලා සිටියේ නැත.  නොඑසේනම් ඔවුන් බලා සිටියේ මහින්ද රාජපක්ෂ දෙස ය.  එනයින් ශ්‍රිලනිප සාතිශය බහුතරයකගේ නිරික්ෂයෙන් ඔහු නිදහස් වී සිටියේ ය.  නමුත් ඔහු හසුවී සිටියේ බණ්ඩාරණායක පවුලේ අවතාරමය නිරීක්ෂණයට (gaze of the spectre) යැයි කිය හැකිය. (මෙම බණ්ඩාරනායක නිරික්ෂණයෙන් මිදිමට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රෙජිමය සමත් විය.)  ඒ ඔහු තම පක්ෂයේ ඉතිහාසයට ඇති භක්තිය නිසා ය.  නමුත් එයම ඔහුගේ දේශපාලනයේ සීමාව සලකුණු කරයි.  රැඩිකල් ලෙස ලාංකික දේශපාලන ආර්ථිකය-යටත්විජිත සුබසාධක රාජ්‍යය- ගොවි ආර්ථිකය- වැඩවසම් ක්‍රමය සමඟ බැඳුණු වික්ටෝරියානු සදාචාරය කුඩු පට්ටම් කර නව සමාජ ව්‍යුහයක් (හා පරමාදර්ශ) ගොඩනැගීම සඳහා; සුවිශේෂයෙන් සුළු ජාතින්ගේ ගැටලුව රැඩිකල් ලෙස විසඳීම සඳහා තම බලය පාවිච්චි කිරීමය. නමුඳු ඒ සඳහා තිබූ ඉතාම රැඩිකල් අවකාශය ඔහු නාස්ති කරගනිමින් සිටින බව මගේ විශ්වාසය යි.

මේ මොහොතේ වඩාත්ම විශිෂ්ට යුරෝපීය නායිකාව ලෙස ස්ලවොයි ජිජැක් අර්ථකතනය කරන්නේ ජර්මන් චාන්සලර් ඇන්ජේලා මර්ක(ර්)ය.  මන්ද අන් සියලු රටවල් ප්‍රතික්ෂේප කළ සංක්‍රමණිකයන් ලක්ෂ ගණනක් තම රටට ඇතුල්කර ගැනීමට තරම් ඇය රැඩිකල් වූ නිසාය.  අද වනවිට මුලින්  ඇයට විරුද්ධ වූ බොහෝ අය ඇය සමඟ එකඟ වෙමින් සිටිති.  ඕනෑම රැඩිකල් තීරණයක ස්වභාවය එයයි.  මුලින් බහුතර ‘ජනතාව’ යනු රැඩිකල් දෙයකට කොහොමත් විරුද්ධ වන නමුත් පසුව ඒ හා එකඟ වේ. එහි සාර්වත්‍රික ප්‍රඵල ඔවුන් අනාගතයේ  භුක්ති විඳිනු නියත ය. නායකයා වෙත විශාල බලයක් පැවරෙන්නේ ආපතික ලෙස පවත්නා හිරවීමෙන් සමාජයක් ගොඩගැනීමටය.  ජේ. ආර්. ජයවර්ධන මහතා කළා මෙන් සමාජයක් එකතැන පල්වීමෙන් වළකාලීමටය. කිසිවෙක් තමා දෙස බලා සිටිනවා යැයි ඔහු සිතුවේ නැත. අවම වශයෙන් මාවෝ ඇතුළු චීන කොමියුනිස්ට් අතීතය තමා දෙස බලා සිටිනවා යන වරදකාරීත්වයක් ඩොන් ෂියාවෝ පෙන් හට නොතිබුණා මෙන්ම ලාංකික අතීතය හෝ අන් කිසිවෙක් ගේ නිරීක්ෂය ජේ. ආර්. ට වැදගත් නොවීය. කුමන විවේචන තිබුණා වුවත් එය රැඩිකල් සාර්වත්‍රික ක්‍රියාවකි.  අවසානයේ එය පක්ෂ දේශපාලනය ඉක්මවා යනු ඇත.

මතු සම්බන්ධයි

සටහන : ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 

Latest Posts

කතාබහ

ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ 2018-02-22 - මේ වන විට දේශපාලන කරලියේ කැබිනට් සංශෝධනයක් ප...
මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් 2018-02-22 - තමන් කිසිම ආණ්ඩුවකට සහය නොදෙන බවත් එසේ සහය දෙන...
අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති 2018-02-05 - මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් එක් පක්ෂ ව...

විශේෂාංග

මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් 2018-02-20 - මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් ...
පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් 2018-02-20 - ‘කරදිය ලෝලියාගේ තෙතබරිත සැන්දෑව’ නම් අමුතු කවි...
කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි   කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි 2018-02-15 - ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01