චිත්‍රාල් හෙවත් චිටී සෝමපාලගේ සිට සිංහ ලේ දක්වා

මගේ ලෝකයෙන් පසු ලෝකය
Typography

මහේෂ් හපුගොඩ සමග පවත්වන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ: මේ යුගයේ ධනවාදයේ පවතින නපුන්සකභාවය සහ බුර්ෂුවා ධනේශ්වර පාලකයන්ගේ නපුන්සකභාවය පිළිබඳ නිදර්ශනයක් ඉදිරිපත් කරමිනි. ඒ, ඇමරිකානු හිලරි ක්ලින්ටන් පාලනයට පවා ඩොනල්ඩ් ට්‍රම්ප් නමැති ‘ලාබ ප්‍රතිවාදියා’ (cheap opponent) ඉවත් කරගැනීමට නොහැකි වීම පිළිබඳ විමසීමට ලක් කරමිනි. එහි වාස්තවික විසුළුසහගතභාවය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝග කළ හැකි පුද්ගලයකු සිටි බව පසුව CNN මාධ්‍යය මගින් පසුව විකාශනය කරනු ලැබීම ය. එය වර්තමාන ලාංකීය දේශපාලනය සමග සමපාත කළේ ය.

අද එතැන් සිට

යුරෝපය සහ ඇමෙරිකානු සාමාන්‍ය ප්‍රජාව ජාතිකවාදය වැලඳගනු දුටු ලාංකික ජාතිවාදීන් අමුතුම කිති කැවීමක් ඇතිවිය. මීළඟ ජනාධිපතිවරණය ගැන සිහින දකිමින් ඩොනල්ඩ් ට්රම්ප් මෙන්ම කුමන හෝ අවස්ථාවාදයක් පාවිච්චි කිරීමට සැදී පැහැදී ඇති මෙම සුදු රෙදි නඩය අමුතු කස්තිරමක් ඇල්ලීමට සරම වලාපට ගසයි. අපව තව වරක් රැවටීමට, අපේ ආත්මය තව වරක් සුරාකෑමට, අපව තව වරක් ඉතිහාසය තුළ ම්ලේච්ඡයන් බවට පත් කිරීමට,  ඔවුන් මෙසේ කියනු ඇසේ. ‘අන්න බලපල්ලා බටහිර මිනිස්සුත් දැන් අපි වගේ. අයත් ජාතිකවාදය කරා නැවත ගිහිල්ලා. ඉතින් බලපල්ලා අපි කොච්චර නිවැරැදි ද?’ ඉතිහාසය අපව තව වරක් නිදොස් කරලා. උන් ජාතිකවාදයට යනවා නම් අපට ජාතිවාදයට යෑමට ඇති සදාචාරාත්මක බාදාව මොකක්ද?”

තමාට වාසිදායක අවස්ථාවක් ලද විට ඔවුන් බටහිර උදාහරණයට ගනී.   බටහිර පිස්සු කෙළින විට ඔවුන්ට එය හොඳ උදාහරණයකි. උන් අත්තනෝමතික වන විට අපට ආතල් යයි. එවිට අපි සැනසුම් සුසුම් හෙළමු. ‘උනුත් අපි වගේමයි’. නමුත් එම අත්තනෝමතික උමතුවට එරෙහිව ඇමෙරිකානුවන් කොතරම් අරගල කරනවාද යන්න අපි අමතක කරමු. අප ඉහත සදහන් කල බර්නි සැන්ඩර්ස් (වගේම ඇන්ජෙලා මර්කල්) අයිති වන්නේ එම සටන්කරුවන්ගේ කඳවුරට .

නමුත් අපේ උරුමය පුනරුද ප්‍රබුද්ධත්වය නම් අප කිව යුත්තේ කුමක්ද? ‘තක්කඩියනි උඹලා පිස්සු කෙළියට අපි පිස්සු කෙළින්නේ නෑ. අපේ අධ්‍යාත්මය උඹලට වඩා ශක්තිමත්. අපි උඹලට වඩා තාර්කික පැවැත්මක් සතුයි. අපේ ආත්මය සැදී ඇත්තේ මොකෙක් හරි සතුරෙක් බහිෂ්කරණය කිරීමෙන් නෙවෙයි. අපේ වටේ මුස්ලිම් දෙමළ මිනිස්සු හිටිය කියල අපිට ඇති මඟුලක් නෑ. සියවස් ගාණක් උන් අපිත් එක්ක ඉඳල තියෙනවා. උන්ට බලය ලැබුනට අපි බයත් නෑ. බය කියන එක අපි දන්නෙවත් නෑ.’

මෙම රැඩිකල් නිර්භීත බව වෙනුවට අද ඇත්තේ අවුල් සහගත බවකි. එක එකා තම තමන්ට කැමති කැමති දේ කියයි. අවම වශයෙන් මතුපිට තලයේ සංකේතීය පිළිවෙළ අවුල් වී ඇති ආකාරය පමණක් ගත්විට වුවද  ‘අම්මෝ මහින්ද සිටියා නම් මිට වඩා හොඳයි’ යැයි ලංකාවේ මිනිසුන්ට මේ මොහොතේ සිතේ නම් එහි වරද පවතින්නේ මහින්ද අත ද එසේත් නොමැති නම් වර්තමාන පාලකයන් අත ද යන්න නැවත නැවතත් සිතිය යුතු නොවේද? රාජපක්ෂ සමයේ පැවති ජාතිවාදයට, මූලධර්මවාදයට සහ ඒ මර්දනකාරි දේශපාලනය දිශාවට යළි මාර්ගය තැනෙන්නේ ‘මහින්ද’ ‘මහින්ද’ වීම හේතුවෙන් ද මහින්දගේ ප්‍රතිපක්ෂයේ නපුන්සකභාවය නිසා ද යන්න නමැති ප්‍රශ්නයට වහ වහා පිළිතුරු සෙවීමට අපි පෙළ ගැසිය යුතු නොවේ ද? අනෙක් පසෙන් බැලූ විට මේ මමත්, ඔබත් නියෝජනය කරන වාමවාදය සතුව මේ සඳහා පිළිතුරක් පවති ද? විශේෂයෙන් ම ජනතා විමුක්ති පෙරමුණ: මහින්ද නැවත පැමිණීම වැළැක්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සතුව මේ සඳහා පිළිතුරක් පවතී ද?  වර්තමානයේ පවතින නොහැකියාව (Impotency) නම් රික්තය දිගින් දිගට ම පැවතුනහොත් සිදුවන්නේ ජාතිකවාදී හඬ සඳහා නෛතික බවක් ලැබීම පමණි. මහින්ද නම් ෆැන්ටාස්මතික හඬ වඩ වඩාත් තිව්‍රව ඇසීම පමණි. එම ගුප්ත අතිරික්තය සඳහා මිනිසුන් සවන් දීමට තව තවත් යොමුවීම පමණි. පවත්නා අවිනිශ්චිත බව තුළ නව පීතෘත්වයක් සොයා යාම පමණි.

සමාජ  ආර්ථික ප්‍රශ්න දැන් තව තවත් ගොඩගැහෙමින් පවතී. ඊට සමාන්තරව මහින්දගේ හඬට; ඒ ඉතිහාසයේ හඬට සවන් දීමට කැමති පිරිමින් සහ ගැහැනුන් කොපමණ වර්ධනය වෙමින් පවතින්නේ ද? එය කෙතෙරම් බිය ජනක ද යත් මේ ආකාරයට ඉතිහාසයේ හඬට වශී වෙන්නෝ යන්ත්‍ර මගින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ ලෙස වර්ධනය වෙමින් සිටිති. ‘නෑ...නෑ... මීට වඩා හොඳ සම්භාව්‍යය දේශපාලනයක් පවතිනවා, මීට වඩා හොඳ වැඩපිළිවෙලවල් තිබෙනවා, අපි මීට වඩා සම්භාව්‍යය ලෙස හැසිරිය යුතුයි’  යැයි මම හෝ ඔබ ගොස් ඔවුන්ට වටහා දෙන්නට උත්සාහ කළ හොත් සිදුවන්නේ ද යන්න සිතා බලන්න. අවම වශයෙන් එය මෙතරම් අධ්‍යාපනයක් තිබෙන, උගත්, විද්වත් මහාචාර්ය නලින්ද සිල්වා මහතා ද ඉවසා වදාරන්නේ නැත. පුනරුදමය උසස් කථිකාවක් පැමිණෙතැයි ඔහු ද ඉවසන්නේ නැති බව සක් සුදක් සේ පැහැදිලි ය. මේ නිමේෂය අපි ගෙවා දමන්නේ එවන් තත්ත්වයක් යටතේ ය.

මේ ආකාරයට මේ ‘හඬ’ වෙත අවනත වීම රෝග ලක්ෂණයක් ලෙස මෙම සමාජයේ පවතිනවා නම්, අපගේ දේශපාලන ව්‍යාපෘතිය සකස් විය යුත්තේ කුමනාකාරයකින් ද යන්න අපි නැවත නැවතත් සිතා බැලිය යුතු ය. මම එසේ පවසන්නේ ඇයි ද යන්න දැන් ඔබට සිතෙනවා නොඅනුමාන ය. මේ හිස්ටරික හඬ; නැතිනම් මේ ගුප්ත හඬ; ගල්ලෙන තුළ සිට පැනනැගෙන මේ හඬට කළ හැකි වන්නේ කුමක් ද?  හුදු ආත්ම මූලික හිස්ටරික හඬක් හැර  එහි අන් යමක් පවතී ද? කියා කිසිවකු විමසන්නේ නැත. එනම් නව වසරක් පුරා කිසිවක් කළ නොහැකි වූ මහින්ද දැන් කුමක් කරන්න ද යනුවෙන් කිසිවකු නොවිමසයි.  මෙහි දී වැදගත් වන්නේ අධිවේගී මාර්ග ඉදිකරනවා ද නැද්ද? මහා මාර්ග කාර්පට් කරනවාද නැද්ද යන්න නොවේ. වැදගත් වන්නේ ඉහළ ශිෂ්ටාචාර ලක්ෂණ ඔහුට හඳුන්වා දිය හැකිද යන්නය. නව වසරක් පුරා කිරීමට තබා ඇරඹීමටවත් නොහැකි වූ දේ දැන් කළ හැකි ද යන්න අපි විමසිය යුතු ය. එහෙත් කිසිවකු එය විමසන්නේ නැත.

‘යටත් විජිත ස්වාමියාගේ හඬත්, රජවරුන්ගේ හඬත් දෙක ම එක සමානය. එනම්, ‘මගේ එම්බල පුරවැසියනි, තෙපි මගේ අණසකට යටත් විය යුතු ය’  යන හඩත් යටත් විජිත ස්වාමියාගේ හඬත් යන දෙහඬ ම සමපාත ය. ඔවුන් ඉල්ලා සිටින්නේ ‘යාන්ත්‍රිකව යටත් වෙයව්’ යන්න ය. මේ ආකාරයට යාන්ත්‍රිකව යටත් වීම තුළ සිදුවන්නේ කුමක් ද? එහි දී සිදුවන්නේ පෙර සදහන් කළ අත්තනෝමතිකත්වය; අත්තනෝමතික පාලනය නැවත වාරයක් ඉස්මතු වීම ය. ඒ හරහා මා ගම්‍ය කරන්නට උත්සාහ කරන්නේ මේ ‘හඬ’ නමැති කාරණය බරපතළ ලෙස පැහැදිලි කරගත යුතුය යන්නය.

මා එසේ පවසන්නේ මෙම කරුණ හේතුවෙනි. එනම්, බෙහෝ දෑ එකට සම්බන්ධ කළ නොහැකි අවස්ථා පැවතිය ද එකී පරස්පරතා එකට තබා මසන මැස්මක් (quilt) ලෙස මෙම ගුප්ත ‘හඬ’ හඳුන්වා දිය හැකිය. ඒ සදහා උදාහරණ කිහිපයකට යොමු වෙමු.  එක්වරම අප ධනවාදයෙන් වික්ෂිප්තව එහි ද්‍රව්‍යමය උත්කර්ෂයෙන් අකර්මන්‍යව සිටින විට අප ට ගුප්ත හඬකින් ‘සෝරත පොඩි හාමුදුරුවෝ’ කතා කරයි. ඒ: ‘සරණ ඔයා කොහේද?’, ‘ලොකු හාමුදුරුවනේ’, ‘නරක වැඩ කරන්න එපා’ ආදි වශයෙනි. පක්ෂ, ප්‍රාදේශීය වාද, පන්ති භේද පසෙකලා අප එම ප්‍රතිජීවනය වූ ෆැන්ටාස්මතිකය සමඟ අනන්‍ය වෙමු. අපගේ මියගිය අධ්‍යාත්මය සහ වරදකාරී බව උන්වහන්සේ හරහා අප නැවත පසක් කරගමු. මියගිය අතීතයේ වටිනාකම් නැවත සොයා යමු. වර්තමාන වෙළෙඳපළ ජීවිතයේ නිස්සාර බව නැවත පසක් කරගමු. සෝරත පොඩි හාමුදුරුවන් පෙන්වා දෙන්නේ ලොකු අයගේ කතිකාවේ(discourse of the adults) අසමත් භාවයයි.

රැඩිකල් මතධාරීන් ගේ සිට ක්‍රිකට් ක්‍රීඩකයන් දක්වා කිසිදා එකට වාඩි කළ නොහැකි බොහෝ බලවේග මෙම හඬ විසින් එකට වාඩිකරවනු ලබයි. (මෙය මෙසේ පැවසුව ද මේ වන විට ඉතිහාසයේ හඬට විරුද්ධව රනිල්-මෛත්‍රි එකට වාඩි වී සිටිති.) නමුත් මෙහි දී මතු කරන්නේ වෙනත් කරුණකි. මෙය වඩාත් පැහැදිලි කරන්නේ නම්; සනත් ජයසුරිය තමන්ට සහයෝගය දිය යුත්තේ ඇයි ද යන්න පිළිබඳව මහින්ද රාජපක්ෂට අදහසක් නැත. සනත් මාතර වීම නිසාම මහින්දට සහයෝගය දෙන්නේ නම් ඊටත් වඩා සහයෝගය දිය යුත්තේ මංගල සමරවිරට නොවන්නේ ද? මෙහි පවතින්නේ ප්‍රාදේශීයවාදය යැයි වරදවා වටහා නොගන්න. එහි දී එබඳු ක්‍රිකට් ක්‍රීඩකයෝ කීදෙනකු නම් එක මේසයේ වාඩි වූවෝ ද? අනෙක් පසින් අපි චිත්‍රාල් සෝමපාල නමැති රොක් ගායකයා ගෙන බලමු. ඔහු ද ‘සිංහයා’ සහ ‘සිංහලයා’ නමැති අනන්‍යතා තුළට ඇදවැටුණා නොවේ ද? ඔහු: ජර්මනිය, අමරිකාව සහ එංගලන්තයේ සංචාරය කර එහි දී සංගීතය හැදෑරූවෙකි. අවසානයේ දී හෙතෙම ද ‘සිංහල’ පච්චය කොටා ගන්නේ ය. අනෙක් පසින් ඒ චිත්‍රාල් සමග එකට වාඩිවිය නොහැකි අශෝක හඳගම  ද එතැන ම ඔහු සමග එකට වාඩිවෙයි. මේ දෙනො සමග ම නොපැහෙන ඉරාජ් ද ‘සිංහල’ නමැති පච්චය සිය සිරුරේ කොටා ගනී. මෙනයින් බැලූ විට රැප්කරුවො, රෙගේකරුවෝ, රොක්කරුවෝ යනාදි සියල්ලෝ ම විශාල එකතුවක් ලෙස පෙර කී ගුප්ත හඬ වෙත සවන් යොමු කිරීම අරඹති. 

මීට අමතරව කැසිනෝකරුවෝ, චිත්‍රපටකරුවෝ, වාමාංශිකයෝ, දක්ෂිණාංශිකයෝ, සමලිංගිකයෝ  සහ මීටත් අමතරව රේස්කාරයො එනම් රේස් බුකිකාරයෝ මතු නොව රේස් පදින පුද්ගලයෝ ද ‘සිංහල’ නමැති පච්චය (චිහ්නය - tattoo) තුළට පිවිස ඇත. මේ හරහා ගම්‍ය කරන්නේ මේ සියලු දෙනා ම තම තමන්ගේ කාර් රථය පිටුපස ‘සිංහ ලේ’ නමැති ස්ටිකරය අලවා ඇත. (පරණ මිනි කූපර් හි සිට ලම්බෝගිනි දක්වා). එයින් හැගෙන්නේ මෙම ගුප්ත හඬ විසින් මේ සියලු දෙනා එකතු කරනු ලබන බව නොවේ ද? එහෙත් මෙම එකතු කිරීම යනු ව්‍යාජ එකතු කිරීමකි. මෙය ‘සකල ලෝකවාසි නිර්ධනයනි එකතුවව්’ නමැති සාම්ප්‍රදායික වමේ පවතින එකතු වීම නොවේ. මේ පවතින්නේ එම හැඟවුම්කරණය වෙනුවට ධනවාදයේ  ව්‍යාජය ඉදිරියට රැගෙන යන හැගවුම්කාරකයකි. මෙය ද ඩොනල්ඩ් ට්‍රම්ප්ට සමාන ව්‍යාජ හැඟවුම්කාරකයකි. ධනවාදය සියලු අනන්‍යතා අර්බුදයට යවයි. එහෙත් අනෙක් පසින් අතීතකාමය කුළු ගන්වයි. මන්ද  එවන් තත්වයක් තුළ යම් හැඟවූමක් සමග පසු ආවර්ථිතව යමෙක් අනන්‍ය නොවුව හොත් ඔහුට හෝ ඇයට පැවැත්මක් නොමැති වන බැවිණි. (රූප සටහන බලන්න)

මෙය වටහා ගැනීම අපට ඉතා වැදගත් වේ. මන්ද හඬ යන්න සහ නිරීක්ෂය යන්න එක සමාන රෝග ලක්ෂණ එය තව දුරටත් ඉදිරියට සාකච්ඡා කරන්නේ නම් මෙසේ පැවසිය හැකි ය. එනම් විෂයයන් ගණනාවක් ‘අතිපිහිත’ කිරීමක් ලෙස ය. ධනවාදය එක් මොහොතකට පසු ජාතිවාදය හරහා ගමන් කරයි. එවිට එය තුළට වාමවාදීන් ඇදවැටේ. නැත්නම් අපි සමාජවාදය යැයි දේශපාලන දහරාවක් දකින්නෙමු. එය ජාතිකවාදය හරහා ගමන් කිරීම අරඹයි. එවිට ඒ දහරාව දක්ෂිණාංශිකයෝ මතට ද ඇද වැටෙති. එවිට ‘වම’ සහ ‘දකුණ’ සොයාගැනීම අතිශය සංකීර්ණ කරුණක් බවට පත්වේ. එයට හොඳ ම උදාහරණ කිහිපයක් ම සඳහන් කළ හැකි ය.

  1.  ඩිව් ගුණසේකර වාමාංශිකයෙක් ද? දක්ෂිණාංශිකයෙක් ද?
  2.  වාසුදේව නානායක්කාර වාමාංශිකයෙක් ද? දක්ෂිණාංශිකයෙක් ද
  3.  තිස්ස විතාරණ වාමාංශිකයෙක් ද? දක්ෂිණාංශිකයෙක් ද?

මෙම සන්දර්භයේ දී ඒ ඒ පුද්ගලයෝ වමේ ද දකුණේ ද යන්න සොයාගැනීම අපහසු වන්නේ ඇයි? මීට ටික කලකට ඉහත දී නම් (70-80 දශකවල දී) එය පාර්ලිමේන්තුවේ දී තීරණාත්මක ප්‍රශ්නයකි. නමුත් වර්තමානයේ දී එය තීරණාත්මක ප්‍රශ්නයක් නොවේ. එම හැඟවුම්කාරකය (signifier) මකා දමුනු ලැබ ඇත්තේ කුමක් විසින් ද? ඒ මකනය නම් මහින්ද රාජපක්ෂ ය; එය මකා දමන ලද්දේ මහින්ද රාජපක්ෂ නම් මකනය (erasure) විසිනි. ඔහු එය ජ. වී. පෙ., තිස්ස, ඩිව්, වාසුදේව ප්‍රමුඛ වාමාංශිකය නම් අතිපිහිත කළේ ය.  තවත් උදාහරණයක් ගතහොත් මීට ටික කලකට ඉහත දී චම්පික රණවක යනු ජාතිවාදියෙකි. මේ මොහොතේ ඔහු ජාතිකවාදියෙකි.

මතු සම්බන්ධයි

සටහන : ජයසිරි අලවත්ත m.j.alawatta@gmail

Latest Posts

කතාබහ

ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ 2018-02-22 - මේ වන විට දේශපාලන කරලියේ කැබිනට් සංශෝධනයක් ප...
මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් 2018-02-22 - තමන් කිසිම ආණ්ඩුවකට සහය නොදෙන බවත් එසේ සහය දෙන...
අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති 2018-02-05 - මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් එක් පක්ෂ ව...

විශේෂාංග

මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් 2018-02-20 - මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් ...
පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් 2018-02-20 - ‘කරදිය ලෝලියාගේ තෙතබරිත සැන්දෑව’ නම් අමුතු කවි...
කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි   කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි 2018-02-15 - ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01