බරපතළ නඩු යට ගසමින් මේ ආණ්ඩුවත් ජනතා මතය නොසලකා හරිනවා

මතවාද
Typography

ජාතික ජනතා පක්ෂයේ සභාපති හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා

 නීතිපති දෙපාර්තමේන්තුව යනු පසුගිය කාලයේ බරපතළ දෝෂ දර්ශනයට ලක් වූ ආයතනයකි. ඊට නීතිපති දෙපාර්තමේන්තුව යම් සැලකිය යුතු ප්‍රතිශතයකින් වගකිව යුතුය. එසේම තවත් ආයතන ද ඊට යම් ප්‍රතිශතවලින් වගකිව යුතුය. රාජ්‍ය ආයතනවල පහසුකම් සපයන්නා වන ආණ්ඩුව ද ඒ අතර වේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයන් තිබේ. එය පිළිගත යුතුය. දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියකු ලෙස මා දකින්නේ මීට හේතු ගණනාවක් බලපාන බවයි. ඒ අතරින් මූලික ම කාරණය වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින නිලධාරීන්ගේ හිඟයයි. අද වන විට දෙපාර්තමේන්තුවට ලැබෙන ලිපිගොනු ප්‍රමාණය සැලකිය යුතු ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ. එහෙත් ඊට සාපේක්ෂව නිලධාරීන් සංඛ්‍යාව වැඩි වී නැත. මේ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු සමඟ සාකච්ඡා කිරීමේ දී ඔහු පැවසුවේ නිලධාරි හිඟය මේ ප්‍රමාදයට මූලික හේතුව බවයි. එවිට මා පැවසුවේ නිශ්චිත ක්‍රමවේදවලට අනුව නිලධාරී සංඛ්‍යාව වැඩි කර ගැනීමට කටයුතු නොකරන්නේ මක්නිසාද යන්න ය. ඔහුගේ පිළිතුර වූයේ දෙපාර්තමේන්තුවේ පවතින භෞතික පහසුකම් ඒ සඳහා ප්‍රමාණවත් නොවන බවයි. අලුත් ගොඩනැගිල්ලක් අවශ්‍ය බවයි. දැනටත් ඇතැම් රජයේ නීතීඥවරුන්ට දෙපාර්තමේන්තුව තුළ වාඩි වී වැඩ කරන්නට පවා ඉඩ නොමැති බව ද ඔහු කීය. මේ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ සේවය කරන රජයේ නීතිඥවරුන් කිහිප දෙනකුගෙන් විමසීමේ දී ඔවුන් ද පැවසුවේ අදාළ කරුණ සත්‍යයක් බවයි.

මෙය අදාළ ප්‍රමාදයට මූලික හේතුවකි. එහෙත් එසේ කියා වගකීමෙන් ගැලවිය නොහැකිය. ඒ පහසුකම් සහ නිලධාරී ප්‍රමාණය වැඩි කරගන්නට අවශ්‍ය කටයුතු කඩිනමින් කළ යුතුය.

තවත් කරුණක් තිබේ. පොලීසියේ ඇතැම් නිලධාරීන් ද ඇතැම් නඩු කටයුතුවලට අදාළ දිනය පන්නා ගැනීමට ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව පවසන අවස්ථා ඇත. එහෙත් ඒවා සත්‍යය වශයෙන්ම යොමු වන්නේ තරමක් ප්‍රමාද වීය. එවිට ද චෝදනාව එල්ල වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව පැත්තට ය.

මා උත්සාහ කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට සුදු ඇඳුම් ඇන්දවීමට නොවේ. ඇතැම් නඩු ලිපිගොනුවලට අදාළ නීති උපදෙස් ලබා දීමට ඇතැම් විට වසර ගණන් වැය කරන්නට දෙපාර්තමේන්තුව කටයුතු කරයි. එය බරපතළ වරදකි. එමඟින් රටේ ජනතාවට බරපතළ අසාධාරණයක් සිදු වේ. උදාහරණයක් ලෙස මගේ නීතිඥ සහාය ලබාගන්නා නඩුවක මහේස්ත්‍රාත් උසාවියේ ලඝු නොවන පරීක්ෂණය අවසන් කිරීමට පමණක් අවුරුදු අටක් ගත විය. එහි දී මගේ මතය වූයේ ඔහු නිදහස් කළ යුතුය යන්න ය. එහෙත් නීතිපති දෙපාර්තමේන්තුවට අධිචෝදනා පත්‍ර ගොනු කිරීමට යවා දැන් වසර දෙකකට වැඩි කාලයක් ගත වී තිබේ. මෙතෙක් ඊට අදාළ කටයුතු සිදු වූයේ නැත. මා මේ උදාහරණය පෙන්වූයේ ඇතැම් දේශපාලනඥයන්ට අදාළ නඩු චෝදනා එල්ල වන ආකාරයට හිතාමතා මෙන්ම සාමාන්‍ය ජනතාවට අදාළ නඩුවලට අවශ්‍ය නීති උපදෙස් ලබාදීම ද බරපතළ ලෙස කල් දමමින් සිටින බව පෙන්වීමට ය.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බරපතළ ලෙස අකාර්යක්ෂම බවක් පැවසීමට මෙමඟින් මම උත්සාහ නොදරමි. මට අවශ්‍ය වන්නේ මේ නිලධාරී හිඟය යන මූලික ගැටලුව විසඳා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරවීම ය.

ඊළඟ කාරණය වන්නේ දේශපාලන බලපෑම් ය. 2015 ට පෙර මෑත අතීතයේ දී නීතිපති දෙපාර්තමේන්තුවට අතිවිශාල දේශපාලන බලපෑමක් තිබිණි. හිටපු නීතිපතිවරයෙක් හිටපු පාලකයන්ට වඩාත් සමීප ව කටයුතු කළ බව අපි දන්නෙමු. ඒ කාලයේ දී දෙපාර්තමේන්තුව පැවතියේ ජනාධිපතිවරයා යටතේ ය. නීතිපති දෙපාර්තමේන්තුවේ බහුතරයක් නිලධාරීහු ස්වාධීනව කටයුතු කරති. එහෙත් සුළුතරයක් එසේ නොකරති. අදත් දේශපාලන බලපෑම් නැතැයි කියන්නට බැරි ය. එහෙත් සාපේක්ෂව එදාට වඩා අද යම් තරමක සාධනීය තත්ත්වයක් දකින්නට හැකිය.

පොදු දේපොළ සම්බන්ධ යම් නඩුවකට අදාළ චෝදනා එල්ල වුවහොත් අනිවාර්යයෙන්ම රිමාන්ඞ් කළ යුතුය. නීතිමය තත්ත්වය එයයි. එහෙත් මෑත කාලයේ දී පසුග ිය ආණ්ඩුවේ ප්‍රබලයකුට අදාළ එවැනි නඩුවක දී ඔහුට අධිචෝදනා පත්‍ර ගොනු කර තිබියදීත් යන්නට ඉඩ ලැබිණි. ඒවා අපි අත්දකිමින් සිටිමු. එනම් අදත් ඔවුන් සුදු රෙදි ඇඳගන්නට සූදානම් නැත.

මා විශ්වාස කරන්නේ අධිකරණය මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව ද ශුද්ධ විය යුතු බවයි. ඊට හේතුව නීතිපති දෙපාර්තමේන්තුවත් පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම ය. ඒ අයිතිවාසිකම් තහවුරු කිරීමට කටයුතු කිරීම ය. නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය ගැන කියන්නට හොඳ උදාහරණයක් මා සතු ය.

මා නීතිපති දෙපාර්තමේන්තුවේ තරමක් කනිෂ්ඨ නිලධාරියකු ලෙස සේවය කරන කාලයේ අත්දුටු දෙයකි, මේ. එවකට නීතිපතිවරයා වූයේ ශිවා පසුපති මහතා ය. යම් සිද්ධියකට අදාළ ව ඇමැතිවරයකු සම්බන්ධ වූ අවස්ථාවක දී මා එවකට නීතිපතිවරයාගෙන් විමසා සිටියේ මා අදාළ දේශපාලනඥයාගෙන් මේ පිළිබඳව විමසන්නද යනුවෙනි. එහි දී එතුමා උපදෙස් දුන්නේ හැකිතාක් දුරට දේශපාලනඥයන්ගෙන් ඈත් වී සිටින්න යන්න ය. ඒ වචන මට තවම මතක ය. එතුමා පැවසුවේ දුරින් සිට රාජකාරිය හරියට කරන්න යන්න ය. මෙය මා පැවසුවේ නීතිපතිවරුන් දේශපාලනඥයන්ට වඩාත් ළංවීම නිසා පසුගිය කාලයේ සිදු වූ ඇතැම් සිදුවීම් නිසා ය. බැලමෙහෙවරකම් කිරීම නිසා සිදු වූ සිදුවීම් නිසා ය.

මා අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කාලයේ දී කිසිදු දේශපාලනඥයකු මට බලපෑම් කරන්නට ආවේ නැත. ඊට හේතු වන්නට ඇත්තේ මට තිබූ නරක නාමයයි. ඒ නරක නාමය වූයේ මට බලපෑම් කිරීමෙන් වැඩක් නැති බවට මතයක් තිබීම ය. අනෙක් අතට නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරන්නට අවශ්‍ය අයකුට මට වඩා ඉහළ නිලධාරියකු ලවා ඒ දේ කරගන්නට හැකියාව ද තිබිණි. කෙසේ වෙතත් නීතිපතිවරයකුට එසේ බලපෑම්වලින් මිදී සිටින්නට ඇති හැකියාව ඉතා අඩු ය. අවසාන වගකිවයුත්තා ඔහු ය. අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස මට වඩා ස්වාධීන ව කටයුතු කළ හැකි වුව ද නීතිපතිගේ තත්ත්වය ඊට වෙනස් ය. කෙසේ වෙතත් මා නීතිපති කරන්නට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක යෝජනා කළද, මම එය ප්‍රතික්ෂේප කළේ මට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටි නිසා ය.

පසුගිය ආණ්ඩුව කාලයේ නීතිපති දෙපාර්තමේන්තුව පැවතියේ ජනාධිපතිවරයා යටතේ බව මම මීට පෙර ද මතක් කළෙමි. එය වර්තමානය වන විට නැවත අධිකරණ ඇමැතිවරයා යටතට පත්කර තිබේ. සම්ප්‍රදාය වන්නේ ද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ ඇමැතිවරයා භාරයේ තැබීම ය. වඩා වැදගත් වන්නේ ද එය ය. ජනාධිපතිවරයා යටතේ පවතින විට යම් වරදක් නිවැරදි කරන්නට කෙනකු නැත. අධිකරණ ඇමැතිවරයාගෙන් පසු අගමැතිවරයා සහ ජනාධිපතිවරයා සිටින නිසා යම් ස්වාධීනත්වයක් අත්පත් කරගැනීමේ හැකියාව පවතී. කෙසේ වෙතත් අධිකරණ ඇමතිවරයාගේ පාර්ශ්වයට ද වර්තමාන ආණ්ඩුව කාලයේ චෝදනා රැසක් එල්ල වෙමින් පවතී. ඒ සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව මීට වඩා සැලකිලිමත් විය යුතුය යන්න මගේ අදහස ය.

තවත් විසඳාගත යුතු කරුණක් වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව මඟින් අධිචෝදනා පත්‍ර ගොනු කළ යුතුමද යන්න ය. මහේස්ත්‍රාත් උසාවියක චෝදනා පත්‍රයක් ගොනු කිරීමට පොලීසියට හෝ රාජ්‍ය නිලධාරියකුට හෝ හැකියාව ඇත. නමුත් මහාධිකරණයක එසේ කළ නොහැකිය. එය කළ හැක්කේ නීතිපති දෙපාර්තමේන්තුව හරහා පමණි. එම නිසා ඇතැම් විට පොලීසිය තමන්ගේ ගැලවිල්ලට නීතිපතිවරයා පිට පටවන ඇතැම් කරුණු සම්බන්ධයෙන් ද මීට වඩා සැලකිලිමත් විය යුතුය.

අද වන විට වැඩියෙන්ම කතාබහට ලක් වී ඇත්තේ හොරකම් නඩුය. අතිශය බරපතළ වංචා කළ සිද්ධිය. මේ ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වූයේ ද එය ය. එහෙත් මේ ආණ්ඩුව සහ ආණ්ඩුවේ යාන්ත්‍රණය එය කළේ නැත. ඔවුන් ඒ වෙනුවට පොඩි පොඩි හොරුන් පමණක් ඇල්ලීමට කටයුතු කරනු දක්නට හැකි විය. එය ඕනෑකමින් සැලසුම්සහගතව කළ එකක් බව පැහැදිලි ය. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු මේ සමස්ත යාන්ත්‍රණයට අද සහතික ලියන්නට නොහැකිය. ඔවුන් සැලසුම්සහගතව වැඩ සියල්ල අච්චාරු කර ඇත. ඒ නිසා ආණ්ඩුව කඩිනමින් හරි මඟට පැමිණිය යුතුය. එසේ නොවුණහොත් පසුගිය ආණ්ඩුව ජනතා මතය නොසලකා හැරීමෙන් සිදු කර ගත් විනාශය මේ ආණ්ඩුව ද කර ගනු ඇත.

 ශාලික විමලසේන

Latest Posts

විශේෂාංග

දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...
ශ්‍රේෂ්ඨාධිකරණයටත් උඩින් ගිය පාසල් මාෆියාවේ හිරවුණු එකේ පැටව්! ශ්‍රේෂ්ඨාධිකරණයටත් උඩින් ගිය පාසල් මාෆියාවේ හිරවුණු එකේ පැටව්! 2017-08-31 - ජනප්‍රිය පාසල්වලට ළමුන් ඇතුළත් කර ගැනීමේ මාන...

කතුවැකිය

කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! 2017-09-25 - ශිල්පීය නිපුණත්වය සහිත ශ්‍රම බළකායක් නැතිකමෙහි...
කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය 2017-09-19 - ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය ...
කතුවැකිය: V 2025ට මිෂන් එකක් අවශ්‍යයි කතුවැකිය: V 2025ට මිෂන් එකක් අවශ්‍යයි 2017-09-11 - විෂන් 2025 නමින් යුත් රජයේ ඒකාබද්ධ ආර්ථික වැඩ සටහන...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01