මේ ආණ්ඩුවට එක මොළයක් නෑ - සුනන්ද දේශප්‍රිය

කතාබහ
Typography

71 අරගලයේ ක‍්‍රියාකාරිකයකුව සිටි ඔහු ඉන් අනතුරුව ජවිපෙන් ඉවත්ව විකල්ප දහරාවේ මාධ්‍යවේදියකු, මාධ්‍ය සංවිධාන ක‍්‍රියාකාරිකයකු හා මානව හිමිකම් ක‍්‍රියාකාරිකයකුව කටයුතු කරමින් සිටී. ලංකාවේ වත්මන් දේශපාලනය සහ ආණ්ඩුවේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ අප ඔහු සමඟ සම්මුඛ විය. මේ එහි සංක්ෂිප්ත සටහනයි.

x නවසිය හැත්තෑ එකේ දී කැරළිකාරයෙක් පසුව විකල්ප මාධ්‍යකරුවෙක් වගේම මානව හිමිකම් ක‍්‍රියාකාරිකයෙක් ලෙස පවතින තත්ත්වයන්ට එරෙහිව අභියෝගාත්මක චරිතයක් ලෙස ඔබ ඉස්මතු වෙනවා. මොකක්ද මේ තෝරාගැනීම?

එකක් මම හිතන්නේ පවුල් පරිසරය. අපේ පවුලෙ ලොකු වාමාංශික නැඹුරුවක් තිබුණා. අනිත් එක සමාජ සාධාරණත්වය පිළිබඳ මුල් බැහැගත්ත හැඟීම. ඒක පවුලෙන්ම කියන්න බෑ. මොකද පවුලේ පස් දෙනෙක් හිටියා හැමෝම එහෙම කළේ නෑ. සමහර විට සහජයෙන්ම එන දෙයක් වෙන්න ඇති අධ්‍යාපනය, සමාජ ඇසුර බලපෑවා. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ මගේ ජීවිතේ හැඩගස්වන්නට ගොඩක් බලපෑවා. ඊට කලින් මම කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සංගමයෙත් හිටියා. නමුත් ජවිපෙන් තමයි සමාජ සාධාරණත්වය වෙනුවෙන් කැපවීම කියන එක හැඩගස්වා ගත්තේ. සමාජ සාධාරණත්වය වෙනුවෙන් විවිධ භූමිකාවල ගමන් කරමින් අරමුණ කරා යන්න ක‍්‍රම හොයපු එක තමයි කළේ. තාමත් ඒක තමයි කරන්නේ.


x ජවිපෙට සම්බන්ධ වීම ගැන දැන් මොකක්ද හිතන්නේ?

ජවිපෙට සම්බන්ධ වීම ඒ කාලයේ හැටියට අපෙන් විය යුතුව තිබුණා. එහෙම වුණේ නැත්නම් ඒක අහම්බයක්. ජවිපෙ ක‍්‍රියාකාරිත්වය නොවුණා නම් අපි වෙනත් වැඩකට නැති කි‍්‍රයාකාරිත්ව සමඟ හෝ සම්බන්ධ වීම සිදු වෙන්න තිබුණා. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වීම ගැන ඒ නිසා මම අද කනගාටු වෙන්නෙ නෑ. ඒ අවදි වීම සමාජය සම්පූර්ණයෙන්ම පොලඹවන ක‍්‍රියාදාමයක්. ඇත්තටම එදා සමාජය අවදි කළා. නමුත් අපිට ඒක අවසානයක් කරා ගෙන යන්න බැරි වුණා ඒ ගැන නම් කනගාටුවක් තියෙනවා. රෝහණ විජේවීර අපේ ගෙදර නිතර ආව ගිය කෙනෙක්. ජවිපෙට සම්බන්ධ වීමට ඔහුගේ ඇසුර, කැපවීම, වුවමනාව ගොඩක් මට බලපෑව. ඒ වෙලාවේ සමාජ සාධාරණත්වය උදෙසා තිබුණු පුළුල්ම ව්‍යාපාරය ජවිපෙ. ඒ වෙලාවේ අපි වගේ අය ඒකට ඇදිලා යන ඒක වළක්වන්න බෑ.

 

x නමුත් පසුව ඔබ පක්ෂ දේශපාලනයෙන් ඉවත් වෙනවා?

නවසිය හැත්ත එකේ කැරැල්ලෙන් පස්සේ අපි හිරගෙදර දි නැවත හැරිලා බලනවා. ඒකත් එක්ක තමයි ජවිපෙන් බිඳීම සිද්ධ වුණේ. මොකද තරුණයො විතරයි පක්ෂය තුළ ඉන්නේ. කම්කරු ගොවි ව්‍යාපාරයක් වුණේ නෑ. බලය අල්ල ගන්න අපි පොලීසි 300 කට පහර දුන්නා. අල්ල ගත්තේ දහයයි දොළහයි එතන ලොකු මූලික වැරැද්දක් තිබුණා. යුද උපක‍්‍රම සහ දේශපාලන න්‍යාය තුළ. ලොකු ගැටලූවක් තිබුණ බව අපට තේරුණා. අපි එතැන ඉඳලා බැලූවෙ මේක හොයාගන්න. විප්ලවවාදී දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉඳිමින් මේක කරන්න. හිර ගෙදර ඉන්න කාලේ දි අපි ගොඩක් වෙලාවට චීන ලයින් එකට ඇදිලා ගියා. මාවෝ වාදයට ඇදිලා ගියා. මේ වෙනුවෙන් අපි ඇතුළේ දි ගොඩක් වැඩ කළා. එළියට ඇවිල්ල අපි ජනතා සංගමය කියලා සංවිධානයක් හදා ගත්තා. අපි නවසිය අසූ නවය විතර වෙනකම් ඒකත් එක්ක වැඩ කළා.

නමුත් අසූ නවයේ දි තමයි මම පෞද්ගලිකව තීරණයක් ගත්තේ ආයුධවලට ආයුබෝවන් කියන්න ඕනේ කියලා. එතකම් මම ආයුධ කෙරෙහි විශ්වාස කළා. ආයුධ දේශපාලනය විශාල විනාශයක් කරන්නේ කියන එක මම තේරුම් ගත්තා. ඒක විප්ලවවාදී මාවතෙන් බැහැර වෙලා තිබුණේ. ඊට පස්සේ තමයි මානව හිමිකම් ක්ෂේත‍්‍රයට, ලේඛන කලාවට යොමු වුණේ. පක්ෂ දේශපාලනය වෙනුවට නව සමාජ ව්‍යාපාර එක්ක වැඩ කරන්න පටන් ගත්තා. එමඟින් සමාජ වෙනසක් කරන්න පුළුවන් කියලා හිතුවා. පක්ෂ දේශපාලනයෙන් හා අයුධ දේශපාලනයෙන් දෙකෙන්ම මා ඉවත් වුණා.

 

x පසුගිය කාලයේ මානව හිමිකම් ක‍්‍රියාකාරිකයකු ලෙස වැඩ කරද්දි එල්ටීටීඊ හිතවාදී එන්ජී ඕකාරයෙක් ත‍්‍රස්තවාදියෙක් ආදී ලෙස චෝදනා රැසකට ගොදුරු වෙනවා ඒ චෝදනාවල සත්‍යයක් නැතුවම නෑ නේද?

ඔව් අපිට ගොඩක් චෝදනා තිබුණා. නමුත් මේ චෝදනා ගොඩක් එන්නේ අපි දැරූ අදහස සමාජයේ තිබුණු ආධිපත්‍යධාරී අදහසට විරුද්ධ නිසයි. අපි ඒ ආධිපත්‍යයික අදහස සමඟ හිටියා නම් අපි එන්ජී ඕ කළත් කොටි සමඟ හිටිය කිව්වත් ඒක ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා කොටි එක්ක වැඩ කළා කිව්වත් ඒක එදා ප‍්‍රශ්නයක් වෙන් නෑ කාටවත්. එයා සිංහල කොටියෙක් වෙන් නෑ කවදාවත්. මේ මතවාද ඇතුළේ හිටිය නම් අපිව සාධාරණීයකරණය වෙනවා.

විශේෂයෙන්ම ජාතික ගැටලූව පිළිබඳ ප‍්‍රශ්නයේ දී රැල්ලට විරුද්ධව කටයුතු කළා. ඒ හින්ද තමයි අපිට මේ චෝදනා එල්ල වෙන්නේ. සමහර විට මේ චෝදනාවල ඇත්ත ටිකකුත් තියෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම අපි කවුරුත් සුදුවත් කළුවත් චරිත නෙවෙයි නේ. නමුත් එල්ටීටීඊ සංවිධානය සමඟ මගේ සම්බන්ධතාවක් තිබිලා නෑ. ඒ වුණාට දෙමළ ජනතාවට සන්නද්ධ අරගලයක් කිරීමේ අයිතිය තියෙනව කියන එක ගැන මම දිගින් දිගටම පෙනී හිටියා. ඒක ත‍්‍රස්තවාදය කරා ගමන් කරන තුරුම මම ඒ මතයේ හිටියා. දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් කිසිදෙයක් දුන්නේ නෑනේ. ඒ නිසා සන්නද්ධ අරගලයකට යාමේ අයිතිය තිබුණා. නමුත් සන්නද්ධ අරගලයයි ත‍්‍රස්තවාදී ව්‍යාපාරයි අතර වෙනසක් තියෙනවා. ඒක සියුම් තැනකින් බෙදෙන්නේ. අසූ නවය විතර වෙන කොට ඒ අයත් ත‍්‍රස්තවාදයට ගියා. රජයත් ත‍්‍රස්තවාදයට ගියා. ඊට පස්සේ තමයි මේකෙන් අයින් වෙන්න ඕනෙ කියලා හිතුවේ. අපි සියයට සියයක් හරියි කියන එක කවදාවත් පිළිගන්නේ නෑ.

 

x ඒක ඔබේ ස්ථාවරය වුණාට රටින් පැන යන්න සිදු වුණා. කාගෙන්ද තර්ජනය ආවේ?

දෙදහස් පහේ දී රාජපක්ෂලා බලයට ආවට පස්සේ ඒ ආණ්ඩුව ක‍්‍රියා මාර්ග දෙකක් ගත්තා. එකක් එල්ටීටීඊයට එරෙහි යුද්ධය. අනෙක එම යුද ක‍්‍රියාවලිය ජයග‍්‍රහණය සඳහා මතවාදී යුද්ධය. ඒ මතවාදී යුද්ධයේ දි ජනමාධ්‍ය ප‍්‍රධාන ගොදුරක් බවට පත් වුණා. ජනමාධ්‍යයට විරුද්ධව විශාල යුද්ධයක් දියත් කළා.

කොහොමටත් ඒ යුද්ධයට අපි එකඟ වුණේ නෑ. නමුත් හැම මාසයක් පාසාම ජනමාධ්‍යයට දරුණු ප‍්‍රහාර එල්ල වුණා. දෙදහස් පහේ අපේ‍්‍රල් සිවරාම්ව මැරුවා. ඊට පස්සේ අපි ඒ උද්ඝෝෂණය දිගටම කළා. ඒ කි‍්‍රයාවලියෙ දි මම ටිකක් ඉස්සරහින් හිටියා. අපි මාධ්‍ය සංවිධාන වශයෙන් එකතුවෙලා හිටියා. ඒ කාලයේ අපිට විශාල බලයක් තිබුණා. ආණ්ඩුවත් අපිට සවන් දෙන තත්ත්වයක් තිබුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂත් එක්ක දෙදහස් අටේ අගෝස්තු මාසයේ දි අපි නිල වශයෙන් සාකච්ඡුා කළා. අපි එහෙම කළේ අපේ අයට ගහල මරද්දිත්, ඊට එරෙහිව පිකට් කරන ගමන්. නමුත් එල්ල වෙච්ච තර්ජන එක්ක හැමෝම කිව්වා රට යන්න කියලා. නමුත් මගේ කිසි දවසක අදහසක් තිබුණේ නෑ රට යන්න. මම ගියේ දෙදහස් නවයේ ජුනි මාසයේ දි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට මැදිහත් වීමක් කරන්න. යුද්ධය ඉවර වෙලා සතියකට දෙකකට විතර පස්සේ. ඒක විශේෂ රැස්වීමක්. නමුත් එතනට ගිහිල්ලා කතාවක් කරන්න කිසි කෙනෙක් හිටියේ නෑ. මම විතරයි ඉදිරිපත් වුණේ. නමුත් මං දැන ගත්තා මේ කතාව කරල ඉවර වෙලා මට ආයේ මේ රටට එන්න ලැබෙන්නේ නෑ කියලා. ගියේ මාස තුනක් එහෙ ඉඳලා එන්න. ඒ වෙලාවේ මෙහේ යුද්ධයක් දිනලා කිරිබත් කනවා. මම අරහේ ගිහිල්ල යුද්ධයට විරුද්ධව කතා කළාම මම ජාති ද්‍රෝහියෙක් බවට පත් වුණා.

ඒ කතාව කළේ නොකළ යුතු අවස්ථාවක කියලා මම දැන් හිතනවා. මොකද ඒ වෙලාවේ දේශපාලනය තේරුම් අරගෙන ඕනෙ වැඩ කරන්න. නමුත් අනිවාර්යයෙන්ම බෙල්ල දිය යුතු තත්ත්වයක් ඇති වෙලා තිබුණේ. කවුරු හෝ ඒක කළ යුතුව තිබුණා. ඒක මට තමයි කරන්න සිදු වුණේ. වෙන කෙනෙක් කළත් මේකම තමයි වෙන්නේ.

මේකෙන් තමයි මම ප‍්‍රධාන ද්‍රෝහියා වුණේ. නමුත් මාධ්‍යයට එල්ල වූ ප‍්‍රශ්න නිසා මේ රටින් යෑමේ අවශ්‍යතාවක් තිබුණේ නෑ. මේ රටේ ඉඳගෙන කොහොම හරි කරන්න තිබුණා. ඔළුව පහත් කරගෙන හැංගිලා ඒක කරන්න තිබුණා. එතකොට කාටවත් අපිව මරන්න බෑ. අවුරුදු දෙක තුනක් අපිව ඝාතනය කරන්න බැලූව ඒත් බැරි වුණා. ලංකාව තුළ පොඩි සම්මුතියක් දාගෙන හෝ හැංගිලාම හිටිය නම් ඉන්න තිබුණා. මම අද වුණත් හිතන්නේ, ජනමාධ්‍යවේදීන් රටින් බැහැර වීමට ගත් තීරණය උපක‍්‍රමිකව ගත්ත නම් හරි, නමුත් උපායික වශයෙන් ගත්තු තීරණය වැරැදියි. රාජපක්ෂ ආණ්ඩුවට වැඩිය අසූ නවයේ දි ජේවීපී එකෙන් අපේ අයව මැරුවා. හැත්තෑ එකේදිත් මැරුවා. අසූ තුනේ දී ප‍්‍රශ්න ඇති වුණා. නමුත් අපි කවදාවත් රට ගියේ නෑ. රට යෑම ව්‍යාධියක් වශයෙන් ආවේ රාජපක්ෂලා කාලේ. මේ කාලේ විශාල වශයෙන් දෙමළ අයත් රටින් ගිහිල්ල තිබුණා. කොහොම හරි අන්තර්ජාතික සංවිධානත් බල කළා කොහොම හරි යන්න කියලා. මම වුණත් අනිත් අය වුණත් ඒ වෙලාවේ ඒක උපායිකව කරපු වැරැද්දක්. උපක‍්‍රමිකව මාස තුන හතරක් ඉඳලා එන්න තිබුණා. එහෙ පැලපදියම් වීමට ගියපු එක ශ‍්‍රී ලංකා සමාජයේ දීර්ඝ කාලයක් තිස්සෙ ගොඩ නැගුණු නායකත්වය සමස්තයක් වශයෙන් නැති වෙලා යන තැනට පත් වුණා.

 

x මානව හිමිකම් ප‍්‍රශ්නය වෙනුවෙන් දැඩිව පෙනී සිටිය කෙනෙකු වශයෙන් දැන් මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ඔබේ ස්ථාවරය මොකක්ද?

දැන් වෙනසක් වෙලා තියෙනවා. නිදහසක් ලැබිලා තියෙනවා. දෙමළ අයට ඒ නිදහස අඩුයි. මේක සිංහල ආණ්ඩුවක් නිසා ඒ නිදහස අපිට වැඩියෙන් ලැබිලා තියෙනවා. අද මට තියෙන අයිතිය දෙමළ ජනමාධ්‍යවේදියකුට තවමත් නෑ. කොහොමත් හැම කෙනෙකුටම පිළිගත හැකි නිදහසක් තියෙනවා. අද මර්දනය නෑ. තහනම් කරන්නේ නෑ. නිදහසේ යන්න එන්න පුළුවන්. රාජපක්ෂ ආණ්ඩුව සමඟ හැප්පුණේ අපි කරුණු තුනක් උඩ. එකක් සමාජ සාධාරණත්වය පිළිබඳ ප‍්‍රශ්නය. මම හිතන්නෙ නෑ මේ ආණ්ඩුව ඒක විසඳන්න මැදිහත් වෙයි කියලා. ඊළඟ එක ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටුවීම, ඊළඟ එක, උතුරෙ යුද්ධයේ දී මොකක්ද වුණේ, ඒක සොයා බලලා වැරැදිකරුවන්ට දඬුවම් කිරීමටත් වඩා සත්‍යය සොයල මේ වැරැදි සිද්ධ වුණේ ඇයි ඒවා යළි සිද්ධ නොවීමට පියවරක් ගන්නෙ කොහොමද කියන එක.

මම හිතන්නේ ඒ ක‍්‍රියාවලිය අවසානයකට ඇවිල්ලා නෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලිය ආරම්භ වෙලා තියෙනවා කියල පෙනෙන්ට තියෙනවා. ඒක මතවාදී තලයේ දී නීතිමය තලයේ දී නවත්වන්නත් අමාරුයි. ඒගොල්ලන්ට සංස්කෘතික තලයේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදය මර්දනය කළ හැකියි. තොරතුරු දැන ගැනීමේ පනත, නව ව්‍යවස්ථාව ඒ වගේ දේවල් වෙයි. නමුත් යුද්ධයේ දී වෙච්ච අපරාධ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ කරල සත්‍යය සොයා ගැනීම වෙන්න ඕනෙ. ඒත් ඒක ගොඩක් හෙමින් සිද්ධ වෙන්නේ. ඇත්තටම සිද්ධ වෙන්නේ නෑ වගේ. මම හිතනවා ඒ ගැන තවදුරටත් අපි වැඩ කිරීම අත්‍යවශ්‍යයි. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි එහෙම නැතුව මේ රටේ සංහිඳියාව ගොඩනගන්න බෑ. සංහිඳියාව ගොඩනගන්න නම් වුණේ මොකක්ද කියල හොයන්න ඕනේ.

ඒ වගේම වින්දිතයන්ට යම් කිසි විදිහහකට වන්දි ලබා ගැනීමට ක‍්‍රමයක් තිබිය යුතුයි. මම හිතනව ඒක හෙමිහිට හෝ වෙයි කියලා. නමුත් සමහර විට මේක නොවෙන්නත් ඉඩ තියෙනවා.

 

x නොවෙන්න තියෙන ඉඩ කඩ මොනවද?

ප‍්‍රධාන ප‍්‍රශ්නය මේ ආණ්ඩුව බලවේග දෙකක ඉන්න එක. මේ ආණ්ඩුවට තනි මොළයක් නෑ. මේක මෙහෙයවන ස්නායු කේන්ද්‍රස්ථානයක් නෑ. මෙතෙක් තිබුණ හැම ආණ්ඩුවකම මේ ස්නායු කේන්ද්‍රස්ථානය තිබුණා. එතනින් තමයි ඔක්කොම තීරණය වුණේ. ඔක්කොම වැඩ වුණේ එතැනින්. නමුත් මෙතන එහෙම එකක් නෑ. මේ නිසා පොඩි ප‍්‍රශ්නයක්වත් විසඳගන්න බෑ. දැන් බලන්න දේශපාලන සිරකරුවන්ගේ ප‍්‍රශ්නය, ඒක නිකම්ම විසඳන්න තිබුණා, කුමාර් ගුණරත්නම්ගෙ ප‍්‍රශ්නය නිකම්ම විසඳන්න තිබුණා. මේවා ලොකු ප‍්‍රශ්න නෙවෙයි. මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්න. ගුණරත්නම් නීති විරෝධීව ආපු එක වෙනම දෙයක්. මේවා දේශපාලන ප‍්‍රශ්න. ඉතින් මේවාට සංවේදී විය හැකි දේශපාලනමය ස්නායුමය කේන්ද්‍රයක් මේ ආණ්ඩුවට නෑ. මේ පොඩි ප‍්‍රශ්න දුර දිග යන්න කලින් පළමු පියවරේදීම විසඳගන්න මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා.

මේක සන්ධාන ආණ්ඩුවකුත් නෙවෙයි හවුල් ආණ්ඩුවකුත් නෙවෙයි. ශ‍්‍රී ලංකා එක බලන් ඉන්නෙ ඒගොල්ලො බලයට එන්නෙ කොයි අවස්ථාවෙදි ද කියලා. යූඑන්පීය කල්පනා කරනවා ඒ අයට බලය තියාගන්නෙ කොහොමද කියලා. මේ බල දේශපාලන සංස්කෘතිය ඇතුළේ මේ යහපත් අපේක්ෂාවන් දෙවැනි තැනට යන්න පුළුවන්. මේ ප‍්‍රශ්නය විසඳුනොත් විසඳෙන්නේ අන්තර්ජාතික බලපෑම නිසා සහ දෙමළ ජනතාවගේ බලපෑම නිසා තමයි. ජනාධිපතිවරයා පහුගිය දාක කිව්ව මේ ප‍්‍රශ්නය විසඳන්න ප‍්‍රධාන විරුද්ධත්වය එන්නෙ දකුණෙන් කියලා. ඒක විසඳගන්න නම් දකුණේ මතවාදය හදන්න ඕනේ. මතයක් හදා ගන්න ආණ්ඩුවට බැරි නම් ඉස්සරහට යන්න තව අමාරු වෙයි.

 

x පසුගිය ජනාධිපතිවරණයට පෙර සිටම මේ කණ්ඩායම විශාල වශයෙන් කතා කළා දේශපාලන ප‍්‍රතිසංස්කරණයක අවශ්‍යතාව ගැන. මේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ වශයෙන් ආණ්ඩුව අදහස් කරන දේ ගැන ඔබට වැටහීමක් තියෙනවද?

මේක කරන්න ඕනෙ කියලා දේශපාලන හැඟීමක් ජනාධිපතිවරයාට තියෙනව. ඒක එයාගේ ඇතුළෙන් එන එකක්. අගමැතිවරයාට තියෙනව තර්කානුකූලව මේක කරන්න ඕනෙ කියන වුවමනාව. එයා බලන්නෙ ධනවාදී දෘෂ්ටි කෝණයකින්. රටක ධනවාදී ක‍්‍රමයක් පිහිටුවීමට නම් සංහිඳියාව මූලික වශයෙන් අවශ්‍යයි. ජනාධිපතිවරයා බලන්නෙ ඊට වඩා මානුෂික කෝණයකින්. මේ දෙකේ එකඟතාවක් ඇති කරන්න පුළුවන්. උතුරේ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් අවශ්‍යයි කියන මතයේ දෙන්නම ඉන්නවා. පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවේ හුඟක් අය ඒ අදහසේ ඉන්නවා කියල මම හිතනවා. නමුත් මේක ජනතාව අතරට අරගෙන යන්න ඕනේ. අද මේ සංවාදය නෑ. ප‍්‍රධානම ප‍්‍රශ්නය මේ ආණ්ඩුව ගොළු ආණ්ඩුවක්. මිනිස්සු එක්ක කතා කරන්නෙ නෑ. උදාහරණයක් විදිහට අද පොර්ට් සිටි ප‍්‍රශ්නය ගැන කතා කරන්නෙත් මේ ආණ්ඩුව බලයට ගෙනාපු මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ පෙත්සම බාරගන්න ජනාධිපතිවරයාට අගමැතිවරයාට කෙනෙක් එවන්න පැයක් හමාරක් යනවා. එතකම් මිනිස්සු පාරේ වාඩි වෙලා ඉන්නවා. අඩු ගානේ තමන්ගේ මිනිස්සු එක්ක කතා කරන්න ඕනෙ. සංවාදයක් කරන්න ඕනෙ. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕනෙ. සන්නිවේදනයක් නෑ මේ ආණ්ඩුවට. මේ අවුරුද්දක් යනකොට ආණ්ඩුව මහජනයාගෙන් හුදෙකලා වීමක් වෙලා තියෙනවා. ඒක මේ ආණ්ඩුවේ තියෙන ලොකුම දුර්වලකම. දේශපාලන විසඳුම ගැන ජනාධිපතිවරයා හොඳට කතා කරනවා. ඒත් කතාවක් කළාට මදිනේ. ඒක සංවිධාන යාන්ත‍්‍රණයක් තුළට යන්න ඕනෙ. මේක භාරව ඉන්න කෙනෙක්වත් නෑ. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය ඉන්න කාළේ දේශපාලන විසඳුම් ගැන කතා කරන්න ලොකු යාන්ත‍්‍රණයක් හැදුවා. ඒවා කරල තමයි එයා ඒක හැදුවේ. අද එහෙම කිසිම දෙයක් වෙන්නෙ නෑ. මේක ලොකු දුර්වලකමක්.

නමුත් මම තාමත් විශ්වාස කරනවා දේශපාලන විසඳුමක් වෙනුවෙන් මේ පක්ෂ දෙක එකතුවෙයි කියලා. නව ව්‍යවස්ථාවක් ඇති කරනකම් මේ අය එකට යයි. ඒ දේ කළොත් අපිට කියන්න පුළුවන් අපි බලාපොරොත්තු වූ දේවල්වලින් යම්කිසි ප‍්‍රමාණයක් ඉටු වුණා කියලා. එතැනින් පස්සෙ අපිට වේදිකාවක් තියෙනවා මේ අරගලය ඉදිරියට ගෙන යන්න.

 

x දේශපාලන විසඳුමක් කියලා ඔබ අදහස් කරන්නෙ කුමක්ද?

දේශපාලන විසඳුමක් කියන්නේ දෙමළ ජනතාවට තමන්ව තමන් විසින් පාලනය කර ගැනීමට ඉඩ දීම. ඇත්ත වශයෙන්ම 13 වන ව්‍යවස්ථා සංශෝධනය අඩුම තරමින් පොලිස් බලතල නැතුව හෝ අවංකව ක‍්‍රියාත්මක කිරීමට ඉඩ දුන්නා නම් ඒ අයට තේරෙනවා එයාලට බලතල තියෙනවා කියලා. ඉඩම් ප‍්‍රශ්නය, අධ්‍යාපන ප‍්‍රශ්නය සංස්කෘතික ප‍්‍රශ්න ආදිය එයාල විසඳ ගන්නවා. මේ සංශෝධනය අනුව බලතල ලැයිස්තු තුනක් තියෙනවා. මධ්‍යම ආණ්ඩුවට එකයි, පළාත් සභාවට එකයි, අතරමැද එකයි වශයෙන්. දැන් අතරමැද එක නෑ. ඒවා මධ්‍යම ආණ්ඩුව අරගෙන. ජාතික පාසල්, ජාතික රෝහල් පළාත් සභාවලට යන්න ඕනේ. මේ සංශෝධනය අවංකව ක‍්‍රියාත්මක කළා නම් දෙමළ ජනතාවට පැහැදිලිවම තමන්ට බලය තියෙනවා කියන එක දැනෙනවා. අපිට දැනුත් මේ දහ තුන්වන සංශෝධනය ක‍්‍රියාත්මක කරන්න පුළුවන්. එතැනින් ආරම්භ කරන්න පුළුවන්. මතභේදාත්මක නොවන ක්ෂේත‍්‍ර හරහා බලතල වැඩිපුර දිය යුතුයි. එහෙම කරල දෙමළ ජනතාවට තේරුම් කරවන්න පුළුවන් සිංහල බහුතර ජනතාව විසින් එයාලව පාලනය නොකරන බව. දැන් වෙන්නෙ හමුදාවෙන් ගිහිල්ල පන්සල් හදනව, ඉස්කෝලවල උත්සව කරනවා. හමුදාවෙන් ගිහිල්ල ෆුට් බෝල් මැච් ගහනවා. හමුදාව දකුණෙ කොහෙවත් ෆුට්බෝල් මැච් ගහන්නේ නෑනෙ.

ඇයි එහෙ කරන්නෙ? මේ ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනෙ. ඒවා තීරණය කිරීමේ අයිතිය එහෙ තියෙන පළාත් සභාවට පැවැරිය යුතුයි. හමුදාව ඒක කරනව නම් ඒක පළාත් සභාවත් එක්ක කතා කරලයි කළ යුත්තේ. දෙමළ ජනතාවගෙන් සියයට අසූවක් අනූවක් බලාපොරොත්තු වෙන්නේ එක්සත් රටක් ඇතුළේ තමන් විසින් තමන් පාලනය වන ක‍්‍රමයක්, වෙනම රටක් නෙවෙයි. එක්සත් රටක ඉඳීමයි අවශ්‍ය. ඒක ඇති කරන එක තමයි දේශපාලන විසඳුමකින් කරන්න ඕනේ.

 

x අපි මේ කතා කරන මාතෘකාව සම්බන්ධයෙන් ප‍්‍රමුඛ වුවමනාවක් තිබුණත් තව ප‍්‍රශ්න රැසක් තිබුණා විසඳගන්න. විශේෂයෙන්ම ආර්ථික ප‍්‍රශ්නය. නමුත් ඒ සම්බන්ධයෙන් හෝ තිබෙන්නේ විවේචන පමණයි?

මෙහෙම දෙයක් පැහැදිලියි. සමාජයේ අදහසක් තියෙනවා මොකුත් වෙන්නෑ කියලා. මම හිතන්නෙ නෑ මොකුත්ම වෙන්නෙ නෑ කියලා. සංවර්ධන ක‍්‍රියාවලි යම් යම් තැන්වල ආරම්භ වෙලා තියෙනවා. පසුගිය කාලයේ තිබූ ක‍්‍රියාවලිය පොඞ්ඩ පොඞ්ඩ හරි සිදු වෙමින් පවතිනවා. නමුත් හැඟීමක් මුල් බැහැගෙන තියෙනවා මොකුත් වෙන්නෑ කියලා, නැත්නම් කොහේ හරි හිර වෙලා තියෙනව කියලා. නමුත් මේ හැඟීමට ආමන්ත‍්‍රණය කරන්න මේ ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා. මම කලිනුත් කිව්වෙ ඒකයි මේ ආණ්ඩුව ගොළු ආණ්ඩුවක් කියලා. මේ අය කරන දේවල් වත් කවුරුත් දන්නෙ නෑ. සිංහල මිනිස්සුන්ටත් සන්නිවේදනය කරන්න ඕනේ, දෙමළ මිනිස්සුන්ටත් සන්නිවේදනය කරන්න ඕනේ. අන්තර්ජාතික ප‍්‍රජාවටත් සන්නිවේදනය කරන්න ඕනේ. දැන් බලන්න සාම්පූර්, නාවික හමුදා කඳවුරම අයින් කරලා ඒ ඉඩම් මුල් අයිතිකාරයන්ට දුන්නා. නමුත් මේක කවුරුවත් දන්නෙ නෑ.

ආණ්ඩුව මන්දගාමියි තමයි. ලොකු ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒක මේගොල්ලන්ගේ වැරැද්දක් නෙවෙයි, සියයට සියයක්ම. ඒක කලින් ආපු එකක්, නමුත් මේ අය ඒක දැනගෙන හිටියා. ඒක අද කියලා හරි යන්නෙ නෑ. ඒගොල්ල දැනගන්න ඕනෙ ඒක විසඳගන්න, මොකද එයාලා ආර්ථික විශේෂඥයන්. අනිත් එක ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා තමන් පිරිසිදුයි කියන එක ජනතාවට පෙන්වන්න. මේක අලූත් ආණ්ඩුවක් මේක පිරිසිදුයි, මේක නීතිගරුකයි. කියන එක පෙන්වන්න බැරි වෙලා තියෙනවා. මහ බැංකු බැඳුම්කරයේ ඉඳලා වත්තල ජොගින් ට‍්‍රැක් එක දක්වා මිනිසුන්ට සන්නිවේදනය වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව නීතිගරුක ආණ්ඩුවක් නෙවෙයි කියලා. කොහොම වුණත් මම කියන් නෑ මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අසාර්ථකයි කියලා. දිනා ගත්ත දේ විශාල ප‍්‍රමාණයක් තියෙනවා. නමුත් ඒවා අන්තර්ජාතිකව පෙන්වන්න පුළුවන් දේවල් පමණයි. රටේ මිනිසුන්ට අතට අහුවෙන දෙයක් පෙන්වන්න බැරිවෙලා තියෙනවා. ඒ නිසා මං හිතන්නෙ මොකුත් වෙන් නෑ කියන එක හැඟීමක් විතරයි. නමුත් මේ හැඟීම ගොඩක් භයානකයි. ඒක ආණ්ඩුවට කිසිසේත්ම වාසිදායක නෑ.

 

x ඇතැම් සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ආණ්ඩුව හිරවෙලා ඉන්නව. විශේෂයෙන් පසුගිය ආණ්ඩු සමයේ දී ඇති කර ගත් අවාසිදායක ගිවිසුම් නිසා. උදාහරණයක් ලෙස පොර්ට් සිටිය. ඒක නවත්වන්න බෑ?

මම ඒක ගැන ලොකුවට හදාරලා නෑ. මාත් දන්නවා මේ ගිවිසුම් කඩ කරන්න බෑ ප‍්‍රශ්නයක් තියෙනවා කියලා. නමුත් ආණ්ඩුව බැඳිලා ඉන්නව පොර්ට් සිටියට විරුද්ධ මිනිසුන්ට වගඋත්තර බඳින්න. මම ඒ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නේ ආණ්ඩුව වගකීම මඟහරින නිසා. බලයට එන්න කලින් කිව්ව පොර්ට් සිටිය නවත්වනවා කියලා. බලයට ආවට පස්සේ තනතුරක් ලැබුණාම, ක‍්‍රියාකාරිකයාගෙයි තනතුරුධාරියාගෙයි ලොකු වෙනසක් වෙනවා. ඒක අපි දන්නවා. ඒක වෙනවාමයි. නමුත් මේක පවත්වාගෙන යන්න වෙනවා නම් ඇත්ත කියන්න ඕනේ. මේ මේ ප‍්‍රශ්න අපිට තියෙනවා. අපි මේ විධියට ධීවර ප‍්‍රශ්නය විසඳලා තියෙනවා. මේ ප‍්‍රශ්නය මේ විදියට විසඳ ගමු... අපි මේ ගැන කතා බහ කරමු... අපි කියන්න ලිච්ඡුවී ක‍්‍රමයනේ. සාමයෙන් රැස්වෙමු. සාමයෙන් කතා කරමු. සාමයෙන් විසිරෙමු.. එතකොට මොකුත් ප‍්‍රශ්න නෑනේ. නමුත් වෙන්නේ වතුර ගහන්න වතුර බවුසර් ගේන එක.

කොහොම නමුත් කිසිම රටක ආර්ථික සංවර්ධනය සියයට සියයක් හරි විදිහට, පිරිසිදුවට වෙලා නෑ. වැරැදි ක‍්‍රමවලට වෙන්නේ. මේක ධනේශ්වර ආර්ථිකයක් තියෙන රටක්. නව යටත්විජිත රාජ්‍යයක්. ප‍්‍රාග්ධනයට යටත් වෙලා ඉන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඔක්කොම කරන්න බෑ. අපිට සාම්පූර් ගල් අඟුරු බලාගාරය නවත්වන්න ඕනේ, පොර්ට් සිටිය නවත්වන්න ඕනේ, හයිවේ නවත්වන්න ඕනේ.. පරිසර ප‍්‍රශ්න නිසා අපි හයිවේවලට විරුද්ධ විශාල උද්ඝෝෂණ කළා. ගල් අඟුරු බලාගාරයට විරුද්ධ වුණේ පේ‍්‍රමදාස මහත්තයගේ කාලේ. ඒක එදා නැවැත්තුවා. දැන් ඒ ගල් අඟුරු බලාගාරය නැත්නම් අපිට ලයිට් නෑ. ලයිට් නැති වුණාම ආයෙත් උද්ඝෝෂණය කරනවා. අපිට වගේ නෙවෙයි පාලකයන්ට මේක අපිට ඕන විදිහට කරන්න අමාරුයි. නමුත් ආණ්ඩුවට වගකීමක් තියෙනවා මේක පැහැදිලි කරන්න. පොර්ට් සිටිය නිසා ධීවරයන්ට මාළු නැතිවෙනව නම් ඒකට වෙන විසඳුමක් ගැන සාකච්ඡුා කරන්න ඕනේ. මේ මිනිසුන්ගේ දුක්ගැනවිල්ලට ඇහුන්කම් දෙන්න ඕනේ. පරණ විදිහට බුල්ඩෝසරයක් හයි කරගෙන ඉස්සරහට ඇවිල්ල හරියන් නෑ.

 

x අපේ මාධ්‍ය සගයන් හතළිහකට වැඩි පිරිසක් පහුගිය කාලයේ ඝාතනයට ලක් වුණා. ප‍්‍රගීත්ගෙ සහ ලසන්ත ගැන පරීක්ෂණය හැර අනිත් සිදුවීම් ගැන පරීක්ෂණ කෙරෙන පාටක් නෑ?

ඔව් අපි කියන්නේ, දේශපාලන අධිෂ්ඨානයක් තියෙන්න ඕනේ ඕව කරන්න. තවම තියෙන්නේ පරණ හමුදාව ආණ්ඩුවට ඒක රැකගන්නත් වෙලා තියෙනවා. පක්ෂ දෙකක් ආණ්ඩුව කරන්නේ. මේක නිකම් හෙලවෙන දතක් වගේ. වැටෙන එකක් නෑ ඒත් හෙලවෙනවා. අමාරුකම් තියෙනවා. නමුත් ප‍්‍රගීත්ගෙ නඩුව ගත්තොත් විනිශ්චයකාරතුමා හමුදාවට තුන් වරක් කිව්වා අවශ්‍ය තොරතුරු දෙන්න කියලා. දුන්නෙ නෑ. ඉතින් ආණ්ඩුවට ඒක කරන්න බැරි නම් කොහොමද අනිත් ඒවා කරන්නේ. මේ නඩු විභාගය දෙස බැලූවාම අපට පේනවා අනිත් නඩු එකක්වත් එන්නෙ නෑ කියලා. ලසන්තගේ එක බැලූවොත් මේකට වඩා හමුදාව ඍජුවම සම්බන්ධයි. ප‍්‍රගීත්ගේ සිදුවීමට තියෙන්නෙ පොඩි සම්බන්ධයක්. නමුත් ලසන්තගේ ඝාතනය සැලසුම් කරලා දීපූ වැඩක්. ඒක කෙලින්ම ඉහළින්ම ආපු එකක්.

දෙමළ අය ගැන එක පරීක්ෂණයක්වත් නෑ. යාපනයේ සුබ‍්‍රමනියම් රාමචන්ද්‍රන් සිද්ධිය ගත්තොත් එයාව ගත්තු මුරපොළ දන්නවා. ඒ වෙලාව තියෙනවා. එම නිලධාරියාව හොයා ගන්න පුළුවන් ඔහුගෙන් ප‍්‍රශ්න කළා නම් සියල්ල හෙළිකර ගන්න පුළුවන්. හරිම ලේසියි. නමුත් ඒක කරන්නේ නෑ. එහෙම වුණාම දෙමළ මිනිස්සු ආණ්ඩුව විශ්වාස නොකරන තැනට යනවා.

මම ඇඟිල්ල දික්කරන්නෙ ආණ්ඩුවට විතරක් නෙවෙයි. සිවිල් සමාජයට, මාධ්‍ය ව්‍යාපාරවලට වගකීමක් තියෙනවා. අපිට තිබුණා අපේ පරීක්ෂණයක් කරන්න. අපිට අපේ කොමිෂන් එකක් දාන්න තිබුණා. මේවා සරල දේවල්. මේවට සල්ලි හොයාගන්න පුළුවන් ඕන තරම්. අපිට ලංකාවේ ප‍්‍රධාන පෙළේ නීතිඥයන් සම්බන්ධ කරගෙන මේක කරන්න පුළුවන්කම තිබුණා. විශ‍්‍රාමික ඉහළ පොලිස් නිලධාරීන්ගේ සහාය ගන්න තිබුණා. ඇත්තටම මාධ්‍යය හා සිවිල් සමාජය පැත්තෙන් බලපෑමක් වෙලාම නෑ මේ ජනමාධ්‍යවේදීන්ගේ ඝාතන සොයන්න කියල.

විශේෂයෙන්ම මාධ්‍ය සංවිධාන ඉස්සරහට එන්න ඕනේ. නමුත් ආණ්ඩු විසින් මේවා බහීන කරල තියෙන්නේ, ඒක ඇත්ත. අපි, අපි දිහාත් හැරිලා බලන්න ඕනේ. අපිට පේනවා අපිට සමාජය සක‍්‍රීය කරන්න කළ යුතු දේවල් තියෙනවා. මේ පරීක්ෂණ කටයුතු නොකිරීම ගැන ජනමාධ්‍යවේදීන් හැටියට අපි වැරැද්ද භාරගන්න ඕනෙ. කිසි මාධ්‍ය සංවිධානයක් මේවා ගැන වාර්තාවක්වත් නෑ. ඒත් අපිට තවම අවස්ථාව තියෙනවා මේක කරන්න. එහෙම ආණ්ඩුවට බලකිරීමක් කරන්න. අපිට පුළුවන්නේ ගිහින් හමුදාපතිගෙන් අහන්න, පොලිස්පතිගෙන් අහන්න. සුබ‍්‍රමනියම්ව ගත්තේ අහවල් දවසේ අහවල් වෙලාවට කවුද එතන හිටපු නිලධාරියා කියලා අහන්න පුළුවන්. අන්තර්ජාතික මැදිහත් කිරීමක් කරන්න පුළුවන්. අපේ සගයන් ගැන අපි මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. මේක ආණ්ඩුවෙන්ම වෙයි කියලා හිතන්න බෑ.

 

x නමුත් වර්තමානයේ මාධ්‍යවේදියා හා මාධ්‍ය සංවිධාන කියන ඒවා දැඩිව පිරිහිලා. ඒවට ඔය කියන ශක්තිය නෑ?

ඔව් ඒක යළි හදන්න වෙලා තියෙනව. අද මේ පිරිහීම ලෝකය පුරාම තියෙනවා. මොකද අද පත්තර අයිතිකාරයෝ තමයි පත්තර කර්තෘවරු වෙලා ඉන්නේ. හිමිකරු තමයි තීරණය ගන්නේ. මමත් හිතනව අපේ ගරුත්වය හදා ගන්න ඕනේ නම් අපිට එක්සත් වෙන්න වේදිකාවක් තියෙන්න ඕනේ. අපිට අද පත්තර අයිතිකාරයත් එක්ක සටනකට යන්න බෑ. නමුත් අපි කොයිතරම් දුරට ආචාර ධර්මානුකූලව වැඩ කරනවාද කියන එකත් එක්ක අපේ ස්වාධීනත්වය තියාගෙන ඒ අයත් එක්ක ගනුදෙනුවකට යන්නෙ කොහොමද කියන එක ගැන කතා කරන්න පුළුවන්. කොහොමත් කවදාවත් ස්වාධීන මාධ්‍ය කියල එකක් ලෝකයේ තිබුණෙ නෑ. සීමාවන් ගොඩකට යට වෙලා වැඩ කරන්න සිදුවෙලා තියෙනවා.

සමාජ මාධ්‍යය ගත්තාම ඒවාට පුළුවන් ලොකු දෙයක් කරන්න. නමුත් ඒක මූලික ධාරාවෙන් කැඩිලා තියෙන්නෙ. ඒකට ආදයම් නෑ. ඒත් මම හිතනවා මේ රටේ ජනමාධ්‍යවේදීන් වශයෙන් ආයෙත් එකතු වෙලා වැඩක් කරන පුළුවන් නම් ජනමාධ්‍යවේදීන්ගේ වෙබ් අඩවියක් පවත්වාගෙන යන්න. හැමෝටම නිව්ස් කෑල්ලක් දා ගන්න පුළුවන් එකක්. ඒක වැදගත්. අපි ඕන තරම් නොමිලේ වැඩ කරනවනේ. මේක කරන්න බැරිකමක් නෑ. ඉතින් අපිට මේ වගේ විකල්ප වැඩ ගැන හිතන්න වෙනවා.

අපේ ජීවිකාව වෙනුවෙන් මූලික මාධ්‍ය ක්ෂේත‍්‍රයේ වැඩ කරන ගමන් මේ විකල්ප මාධ්‍යයක් අපි කොහොමද ගොඩ නගන්නේ, වඩා ශක්තිමත් වඩා ආචාරධාර්මික මාධ්‍යයක් හදාගන්න ඕනේ, සීමා නැති. මේක කරන්නෙ කොහොමද කියන එක අලූතෙන්ම හිතන්න ඕන වෙනවා. විශේෂයෙන්ම අලූත් පරම්පරාවේ ජනමාධ්‍යව්දීන් මේ ගැන කල්පනා කළ යුතුයි. කිවයුතු ඇත්ත කෙලින් කියන්න පුළුවන් කාගෙවත් බැදීම්වලට යටත් නැති ආර්ථික වශයෙන් ගැති නොවී ආශාවෙන් තෘප්තියෙන් වැඩ කළ හැකි විකල්ප මාධ්‍යයක් සොයා ගැනීම නව පරපුරට තියෙන අභියෝගයක්.

- සුභාෂ් ජයවර්ධන
ඡායා - ගිතේන්ද්‍ර ලියනගේ

Latest Posts

කතාබහ

සියලු අවුල් ‘ඒකීය’ මනෝභාවය නිසා - පා. ම. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සියලු අවුල් ‘ඒකීය’ මනෝභාවය නිසා - පා. ම. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න 2017-07-19 - වසර දෙකකට විතර පසුවත් ව්‍යවස්ථා සම්පාදන ක්‍...
මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ, මූලධර්මවාදී ලිබරල් ක්‍රමයක් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ, මූලධර්මවාදී ලිබරල් ක්‍රමයක් 2017-07-19 - වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ...

විශේෂාංග

සිඳී ගොසිනි ඇළ දොළ ගංගා -දනෝ යදිති දිය බිඳු ඉල්ලා  සිඳී ගොසිනි ඇළ දොළ ගංගා -දනෝ යදිති දිය බිඳු ඉල්ලා 2017-08-16 - සූර්යයා සිය ආධිපත්‍ය පතුරවමින් නැවතත් මුළු ද...
පක්ෂය කඩා ජාතිවාදය වපුරන හැටි පක්ෂය කඩා ජාතිවාදය වපුරන හැටි 2017-08-14 - මහින්ද රාජපක්ෂ ශ්‍රීලනිපයට කොපමණ ආදරේද? ඔහු ...
ධම්මපදය හා තිරුක්කුරල් කියවූ මිනිසකුගේ ඉරණම  ධම්මපදය හා තිරුක්කුරල් කියවූ මිනිසකුගේ ඉරණම 2017-08-14 - අද තිබෙන්නේ මාක්ස් කියපුවා, කස්ත්‍රෝ කියපුවා...

කතුවැකිය

අගමැතිගේ අභියෝගය සහ ජනමාධ්‍ය අගමැතිගේ අභියෝගය සහ ජනමාධ්‍ය 2017-08-14 - “හම්බන්තොට වරායේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලු...
උතුරේ ගිනි නිවීමට දේශපාලන විසඳුම ඉක්මන් කළ යුතුයි උතුරේ ගිනි නිවීමට දේශපාලන විසඳුම ඉක්මන් කළ යුතුයි 2017-08-07 - යාපනයේ දී ළඟ ළඟම බරපතළ සිදුවීම් දෙකක් වූයේය. එකක්...
ද්වන්ධවයට මැදින් සිටගන්නට බලමු ද්වන්ධවයට මැදින් සිටගන්නට බලමු 2017-08-01 - ඉකුත් බදාදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය ...

Face Book Setup 01