මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ, මූලධර්මවාදී ලිබරල් ක්‍රමයක්

කතාබහ
Typography
  • වත්මන් ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කළ බව කියනවා. නමුත් ජනතාව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කරන වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

ආණ්ඩුව කියනවා නම් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා කියලා එහි කිසිදු සත්‍යතාවයක් නැහැ. ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ රට පාලනය කිරීමේ අකාර්යක්ෂමතාව තුළින් පේනවා ඒ විදිහටම හෝ ඊටත් වඩා ආර්ථිකය කළමනාකරණය කිරීම පිළිබඳව ගැටලුවක් තිබෙන බව. 2015 ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු වසර දෙකහමාරක පමණ කාලය තුළ ආර්ථිකය සම්බන්ධ සෑම වැදගත් දර්ශකයක්ම පහත වැටී තිබෙනවා.

මීට ටික දිනකට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අංශයේ පීඨාධිපති මහාචාර්ය එස්.එම්. ජයරත්න පළ කළ ලිපියක ඔහු ලැයිස්තුවක් හදනවා ප්‍රධාන සාර්ව විචල්‍යයන් 30ක් පදනම් කරගනිමින්. එහි 2015 තිබූ තත්ත්වය සහ අද තත්ත්වය සංසන්දනය කිරීමෙන් පෙන්නුම් කරනවා ඒ දර්ශක 30න් 28කම මේ ආණ්ඩුව ආර්ථික හැසිරවීම සහ පරිපාලනය සම්බන්ධයෙන් අසමත් බව. එසේ නොවී යැයි පෙන්වන දර්ශක දෙක සම්බන්ධයෙනුත් යහපත් තත්ත්වයක් දැකීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මෙම දර්ශක 30ම සම්බන්ධයෙන් මේ ආණ්ඩුව පසුගිය

කාලය තුළ පෙන්නුම් කරන්නේ අයහපත් තත්ත්වයක්. ඒ වගේම මෑතක දී මධ්‍යම බැංකුව විසින් නිකුත් කරනු ලැබුවා ලංකාවේ නිර්යාත සහ ආයාත පිළිබඳ සහ වෙනත් විශ්ලේෂණ පිළිබඳ විස්තර. එහිදී තවදුරටත් පෙන්නුම් කරනවා ලංකාවේ නිර්යාත ආදායම සහ ආයාත වියදම් විශාල වශයෙන් වැඩි වී තිබෙන බව. එපමණක් නොවේ තවත් වැදගත් දර්ශක දෙකක් තිබෙනවා. පළමුවැන්න ලංකාවේ මැෂින් සහ නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා යන්ත්‍ර සූත්‍ර වැනි දේ ආයාත කිරීම අඩු වී තිබෙනවා. එය පැහැදිලිව පෙන්නුම් කරන්නේ  ලංකාවේ කාර්මික නිෂ්පාදන අංශයේ සංවර්ධනය ඉතා පැහැදිලි ලෙස ඇනහිට ඇති බවයි. ආයාත සමස්තයක් ලෙස ගත් විට වැඩි වී තිබෙනවා. නමුත් නිෂ්පාදනය වැඩිකිරීම සඳහා වෙන් කරන ආයාත අඩු වී තිබෙනවා. එම නිසා මෙම සංඛ්‍යා ලේඛන දෙස බැලීමෙන් ලංකාවේ ආර්ථිකය කුමන දිශාවකටද යන්නේ කියන එක පැහැදිලි වෙනවා.

  •  ආර්ථිකය මෙහෙයවන්නේ එජාපය. එජාපයේ ආර්ථික ප්රතිපත්ති ගැන ඔබ දරන මතය කුමක්ද?

දැන් තිබෙන්නේ හවුල් ආණ්ඩුවක්. හවුල් ආණ්ඩුවේ ආර්ථිකය මෙහෙයවන්නේ එජාපය කියලා අත සෝදාගන්න ආණ්ඩුවේ අනෙක් කොටසට බැහැ. ජනාධිපතිවරයා ඉතා මෑතකදී ප්‍රකාශ කළා රටවල් හතරකින් සහල් ආනයනය කරන බව. එය ආර්ථික තීන්දුවක්. එම තීන්දුව ගන්නේ එක්සත් ජාතික පක්ෂය නොවේ ජනාධිපතිවරයා. එම නිසා මේ ආකාරයට බෙදීම එතරම් හොඳ නැහැ. එම නිසා  ආණ්ඩුව සමස්තයක් ලෙස ගැනීම වඩා හොඳයි. ආර්ථිකයේ මූලික අංශ හසුරුවන අමාත්‍යංශ සියල්ල එක්සත් ජාතික පක්ෂයට තිබෙන බව ඇත්තක්  වුවත් ඉන් කියවෙන්නේ නැහැ කැබිනට්  මණ්ඩලය ආර්ථිකය හැසිරවීම සම්බන්ධයෙන් වග කියන්නෙ නැහැ කියලා. නමුත් ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිපත්තියේ රාමුව සකස් කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය. 2015 ට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව ගෙන ගිය ආර්ථික ක්‍රියාමාර්ග සහ 2015න් පසුව අද ගෙනයන ආර්ථික ක්‍රියාමාර්ග දෙස බැලූ විට එම වෙනසෙන් අපට පෙන්වනවා මේ ආණ්ඩුව 1977 සිටම ලංකාවේ අනුගමනය කළේ නව ලිබරල්වාදී ආර්ථික රාමුවක් බව. නමුත් එම නව ලිබරල්වාදී ආර්ථික රාමුව තුළ පැවතුණු ආණ්ඩු විවිධ වෙනස්කම් සිදු කළා. නමුත් 2015න් පසු මෙම ආණ්ඩුව නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති ඉතාම මූලධර්මවාදී ලෙස අනුගමනය කරනවා. එය ආර්ථිකය පිරිහෙන්න ප්‍රධාන හේතුවක්. ඊට හේතුව මූලධර්මවාදී ලෙස නව ලිබරල්වාදය අනුගමනය කළ කිසිදු රටක් ආර්ථික වශයෙන් දියුණු වීමට සමත් වී නැහැ. එම නිසා එක්සත් ජාතික පක්ෂය ආර්ථික ප්‍රතිපත්ති තීරණය කිරීමේ බලගතු ප්‍රශ්නයක් ඇති බව කියන්න පුළුවන් නව ලිබරල්වාදයේ මූලිකාංග ඛණ්ඩනය කිරීම නිසා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ නොවන ජනාධිපතිවරයාගෙන් ඊට වෙනස් ආර්ථික ප්‍රතිපත්තියක් අපට පෙනෙන්නෙ නැහැ. එය ඉතාම පැහැදිලිව පෙනුණා සයිටම් අරගලය සම්බන්ධ කාරණාවේදී. සයිටම් ප්‍රශ්නය ආණ්ඩුවට ඉතා ලෙහෙසියන් කළමනාකරණය කළ හැකි ප්‍රශ්නයක්. නමුත් මේ ආණ්ඩුව එසේ නොකරන්නේ ඇයි කියන කාරණය ඉතා පැහැදිලිව පෙනෙනවා. ඒ පෞද්ගලික ව්‍යවසාය ක්‍රමය තවදුරටත් ඉදිරියට ගෙනයාම මේ ආණ්ඩුවේ මූලික ප්‍රතිපත්තිය නිසා. එය ඉතා පැහැදිලිව පෙනෙනවා එක්සත් ජාතික පක්ෂයේ සමහර අය විසින් පේරාදෙණිය සහ කොළඹ විශ්වවිද්‍යාල කිසියම් ප්‍රමාණයකට පෞද්ගලිකකරණය කිරීමේ දිශාවකට ගමන් කිරීමට කර තිබෙන යෝජනාවලිය නිසා. එපමණක් නෙවෙයි  ජනාධිපතිතුමා විසින් සයිටම් එක කොටස් වෙළඳපොළට ගැනීමට යෝජනා කරන්නේ ඒ හේතුව මත. සයිටම් එක කොටස් වෙළඳපොළට දැමීමෙන් පසු අනෙක් විශ්වවිද්‍යාලත් කොටස් වෙළඳපොළට දාන්න පුළුවන්. ඒ නිසා අපට මෙතනින් පෙනෙනවා ප්‍රතිපත්ති තීරණය කිරීමෙහිලා රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයට වැඩිමනත් බලපෑමක් කළ හැකි බව සත්‍යක් වුවත් ආර්ථික ප්‍රතිපත්තිය සැලකිය හැකි වන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් ලෙස. දැනට ආණ්ඩුවේ සිටින එක්සත් ජාතික පක්ෂය වුණත් එසේ නොවන කිහිපදෙනෙක් කරන ප්‍රකාශවලින් පැහැදිලිව පෙනෙනවා ඒ අය ඉන්නෙත් නව ලිබරල්වාදී ආර්ථික මූලධර්මවාදයේ කියන එක.

  •  පෞද්ගලික ධන ආයෝජන මඟින් සියල්ල නිවැරදි කරගත හැකි බව අගමැතිවරයා විශ්වාස කරන බව පෙනෙන්නට තිබෙනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

අගමැතිවරයා එහෙම කියන එක වැරදියි. ලෝකයේ බොහොමයක් සංවර්ධනය වූ රටවල් පෞද්ගලික ව්‍යවසාය සහ ආර්ථිකය මත පමණක් පදනම් වෙමින් ආර්ථිකය සංවර්ධනය කර ගත්තේ නැහැ. එසේ කළා යැයි කියනවා නම් යම් ප්‍රමාණයකට දෙන්න පුළුවන් එකම උදාහරණය වන්නේ ස්විස්ටර්ලන්තය. අනෙකුත් සෑම  රටකම සංවර්ධන ක්‍රියාවලිය ගත්තම, විශේෂයෙන්ම මෑත කාලීනව සංවර්ධනය වූ නැගෙනහිර ආසියාවේ රටවල්වල ආර්ථිකයන් දියුණු වුණේ එක පැත්තකින් ආණ්ඩුව තදබල ලෙස ආර්ථික වර්ධන ක්‍රියාවලියට මැදිහත් වීමෙන් සහ පෞද්ගලික ව්‍යවසාය ඉදිරිපත් වන සෑම තැනකදීම රාජ්‍ය ව්‍යවසාය හඳුන්වාදීම සහ රාජ්‍ය හැසිරවීම හඳුන්වා දීම නිසා. උදාහරණ ලෙස දකුණු කොරියාව, තායිවානය, ජපානය ආදී රටවල් ගන්න පුළුවන්. ලංකාවේ ආණ්ඩුව අද කල්පනා කරනවා නම් සෑම දෙයක්ම පෞද්ගලිකකරණය කිරීම නිසා සාධාරණ දියුණු අර්ථ ක්‍රමයක් ඇති කරන්න පුළුවන් කියලා එය කිසිසේත්ම

ප්‍රායෝගිකව සාර්ථක වන දෙයක් නෙවෙයි. ඊට හේතු කිහිපයක් තිබෙනවා. වෙළෙඳපොළ සෑමවිටම තීරණ ගන්නෙ කෙටිකාලීනව සලකා මිස දිගුකාලීනව සලකා නොවේ. ඒ නිසා කෙටි කාලය දිහා බලාගෙන ක්‍රියාත්මක වන වෙළෙඳපොළකට ආර්ථික තීන්දු ගන්න පුළුවන් වුවත් ඉන් දිගුකාලීන සංවර්ධන ඉලක්කයන්, සංවර්ධන වුවමනාවන් සහ සංවර්ධනය කළ යුතු අංශ මොනවාද කියලා නිසි ලෙස තීරණය කරන්න බැහැ. උදාහරණයක් ලෙස ලංකාවේ වෙළෙඳපොළ අනුව ආයෝජන හැසිරවීමට හෝ ප්‍රාග්ධනය ගලාගෙන යාමට ඉඩදීමෙන් වැඩිවශයෙන් ප්‍රාග්ධන ආයෝජන ගලායාම සිදු වෙන්නේ කෙටිකාලීන වෙළෙඳපොළ තුළ වෙළෙඳාම, ඉඩම් වෙළෙඳාම, බැංකු ඇදී කටයුතු සඳහා. මෙවැනි අංශ කරා  ප්‍රාග්ධනය ආදී යාමෙන් සිදු වන්නේ රටක දිගුකාලීන සංවර්ධනය සඳහා අවශ්‍ය වන නිෂ්පාදන අංශ කෙරෙහි තිබෙන සැලකිල්ල අඩු වීම. එනිසා දකුණු කොරියාව වැනි රටවල්වල යකඩ සහ වානේ කර්මාන්ත රාජ්‍ය ව්‍යවසාය මඟින් ආරම්භ කරනවා. ඒ වගේම  රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යවසාය යන අංශ දෙකම කටයුතු කරන විට වෙළෙඳපොළ ගතිකයන් නිසා ආර්ථික සංවර්ධනය අඩපණ වීමට ඉඩකඩ වැඩියි. අනෙක් කාරණය ලංකාවේ ආර්ථිකය සහ සමාජයේ තිබුණු සාධාරණත්වය බෙදී ගියේ ආණ්ඩුව විසින් සමහර සේවාවන් සැපයීම මත. එම නිසා සෞඛ්‍ය, අධ්‍යාපනය ආදී අංශ පුද්ගලිකකරණයට පැවරුවොතින් එම දර්ශකයන් ඉදිරිකාලයේ දී පහළ වැටීමට තිබෙන ඇති ඉඩ වැඩි වෙනවා. එය  පැහැදිලිව පෙනෙනවා වර්තමානයේ ආණ්ඩුවට ඩෙංගු පරිපාලනය කරගැනීමට තිබෙන නොහැකියාව මත. මේවා පුද්ගලික අංශයට කළ හැකි දේවල් නොවේ. එනිසා වෙළෙඳපොළට සියල්ල පවරන්න යන ආර්ථික ක්‍රමයක් එක පැත්තකින් කාර්යක්ෂම නොවී සංවර්ධනයට අහිතකර වනවා පමණක් නොවේ සාධාරණ ආර්ථික ක්‍රමයක් ඇති කිරීමටද බාධාවක් වෙනවා. ඒ නිසා ආණ්ඩුව අනුගමනය කරන මේ ඉතාම මූලධර්මවාදී ආර්ථික වැඩපිළිවෙළ රට විනාශයකට ගෙනයමින් තිබෙනවා.

 

  •  ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ දී එජාපයේ දක්ෂ ආර්ථික කළමනාකරුවන් සිටි බව පෙනුණා. දැන් නැද්ද?

1977 විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දෙනවිට ආර්ථිකය හැසිරවිය යුත්තේ කෙසේද කියන එක ගැන ඔවුන්ට අවබෝධයක් තිබුණා. ඒ වගේම එය කාර්යක්ෂමව කළ හැකි ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ආර්. ප්‍රේමදාස ආදී ඇමැතිවරු කිහිප දෙනෙක් සිටියා. ලංකාවේ මෙතෙක් සිටි කැබිනට් මණ්ඩල කණ්ඩායම් අතර ඒ පිරිස ඉතාම හොඳ කණ්ඩායමක්. ලංකාව ආර්ථිකව සංවර්ධනය කිරීමේ දී මූලික සංවර්ධන මාපකයන් වුණේ පෞද්ගලික ව්‍යවසාය පමණක් නෙවෙයි. මහවැලිය, නිවාස වැඩපිළිවෙළ ආදී විශාල ලෙස රාජ්‍යය මැදිහත් වෙමින් ආර්ථික ක්‍රියාමාර්ග ගත්තා. 1977 සිට 1989  කාලය දක්වා සියයට 7ක පමණ ආර්ථික සංවර්ධන වේගයක් පවත්වා ගත්තා. ඒ  නිසාම අදහසක් මතු වෙනවා එක්සත් ජාතික පක්ෂය ආර්ථික කළමනාකරණය අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා හොඳ තත්ත්වයක ඉන්නවා  කියන එක. එය තවත් තහවුරු වෙනවා ආර්ථිකය ඉතාම පහළ මට්ටමක සිට සියයට 5ක 6ක මට්ටම දක්වා ප්‍රේමදාස මහතාගේ කාලයේ දී ගෙන ආ නිසා. නමුත් අද එක්සත් ජාතික පක්ෂය පෙන්නුම් කරමින් සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් වඩා ආර්ථික කළමනාකරණය අතින් දුර්වල මට්ටමක සිටින බව. ඒ වගේම පසුගිය කාලය තුළ එක්සත් ජාතික පක්ෂය විශාල වෙනසකට ගමන් කළා. එදා සිටි කණ්ඩායම වෙනුවට අද ඉන්නෙ ඉතාමත් අත්දැකීම්වලින් තොර, කළමනාකරණ ශක්තියක් නැති කණ්ඩායමක්. ඒ කණ්ඩායමට දක්ෂකමක් තියෙනවා නම් ඒ දූෂණය කිරීමේ දක්ෂකම. ඒ නිසා අද සිටින එක්සත් ජාතික පක්ෂ  ආණ්ඩුව ආර්ථික කළමනාකරණ අතින් ඉතා දුර්වල තැනක සිටින බව ඉතාම පැහැදිලියි.

  •  2010 දී දේශපාලන බලය හිමිකර ගත හැක්කේ ආර්ථික බලය ඇති පාර්ශ්වයට යන මතය තිබෙනවා. ජනතාවට යම් ආර්ථික තල්ලුවක් දිය හැක්කේ ඔවුන්ට නිසා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

2020 ගැන අපි කතා කරන්නේ පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණ මැතිවරණ පිළිබඳව කල්පනා කරලා. ඒ නිසා අපි හිතනවා මේ සියල්ල සිදු වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පමණක් බව. එය යම් ප්‍රමාණයකට ලංකාවේ යථාර්ථය ගත් විට සෑහෙන සාධාරණ විසඳුමක්. නමුත් ලංකාවේ බොහෝ වෙලාවට දේශපාලනය ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පමණක් නෙවෙයි. පාර්ලිමේන්තු මැතිවරණය කියලා කියන්නෙ සාම්ප්‍රදායිකව ලංකාවේ ක්‍රියාත්මක වන තත්ත්වය. නමුත් 2009 පසුව පෙනී  යන තත්ත්වයක් වෙන්නේ මේ කාලය තුළ ක්‍රමානුකූලව සංහතික දේශපාලනය ඉහළ තලයේ සක්‍රිය වෙලා තියෙන්නෙ. සයිටම් අරගලය, වැඩවර්ජනය ආදි ලෙස  අංශ ගණනාවකම සටන්කාරී තත්ත්වයක් මතු වී තිබෙනවා. ඒ නිසා 2020 සිදු වන්නේ කුමක්ද කියන එක තීන්දු වෙන්නේ ආර්ථිකය පමණක් නෙවේ මූලික වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන, සංස්ථාවලට මොකද වෙන්නේ කියන කාරණා මත. එම ආයතන ශක්තිමත් කිරීම සඳහා ඇති කළ ස්වාධීන කොමිෂන් සභා කිසි වැඩකට නැති ආයතන බවට පත්ව ඇති බව මහජනතාවට පැහැදිලි වී තිබෙනවා. ඒ නිසා 2020 වන විට ආර්ථිකය ශක්තිමත් කාරණය වනවා නම් මේ ආණ්ඩුවට මේ අවුරුදු දෙක තුළ විෂ්මකර්මයක් කරන්න පුළුවන කියලා මම හිතන්නෙ නැහැ. එලෙස ආර්ථික විෂ්මකර්මයක් කරන්න නම් විශාල ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කළ යුතුයි. නමුත් ඒ සඳහා රටේ පෞද්ගලික අංශ ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ වගේම අවුරුදු දෙකහමාරක් තුළ ඉතාම පැහැදිලිව පෙන්නුම් කළා විදේශ ප්‍රාග්ධනය විශේෂයෙන්ම ඇමෙරිකානු සහ යුරෝපීය විදේශ ප්‍රාග්ධනය මේ රටට ඒමේ ඉඩකඩ නැති බව. ඊට හේතුව ආර්ථික ප්‍රතිපත්ති සහ විදේශ ප්‍රතිපත්ති අතින් දැඩි ඇමෙරිකානු සහ යුරෝපීය විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළා. තවමත් විදේශ ආයෝජන ගැන යමක්  අපිට හිතන්න පුළුවන් වෙන්නේ ඉදිරි කාලය තුළ චීනය සම්බන්ධයෙන් පමණයි. ඒ නිසා 2017 සිට ඉදිරි කාලය තුළ අති විශාල විදේශ ප්‍රාග්ධන ආයෝජනයක් මඟින් මේ රටේ  ආර්ථික විෂ්මකර්මයක් කරන්න පුළුවන් කියලා මම හිතන්නෙ නැහැ. ඒ නිසා මගේ පුරෝකථනය අනුව ඉදිරි අවුරුදු දෙක තුළ ආර්ථික වර්ධන වේගය සියට 4-5ට වඩා ඉහළ අගයකට ගෙනයන්න පුළුවන්කමක් ලැබෙන්නෙ නැහැ. ආර්ථික වශයෙන් මතුපිට තලයේ දියුණු වුවත් ජනතාවගේ ජීවන තත්ත්වය පහළ වැටී තිබෙනවා. 2020 වන විට ඒ ජීවන තත්ත්වය ඉහළ නංවන්න පුළුවන් කියලා හිතන්න බැහැ. ඒ නිසා මේ ආණ්ඩුවට පවතින්න ප්‍රජාතන්ත්‍රවාදය විෂයටවත්, ආර්ථික විෂයටවත් සාධාරණයක් කරන්න හැකියාවක් ඇතිවෙයි කියලා හිතන්න බැහැ.

ප්‍රදීපා වීරසේකර

Latest Posts

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? 2017-10-09 - 1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්...
දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...

කතුවැකිය

බීරවාදය බීරවාදය 2017-11-20 - 2017-11-19 සමහරු ව්‍යවස්ථාව එපා කියන ආකාරයෙන්ම බීර මිල...
පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක් පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක් 2017-11-15 - 2017-11-12 අයවැයේ ප‍්‍රධාන අරමුණක් ලෙස 2025 වන විට ලංකාව...
සයිටම්:සටන අත්හලේ යෝධයාය සයිටම්:සටන අත්හලේ යෝධයාය 2017-11-07 - 2017-11-05 සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය දුන් පිළිතුර...

Face Book Setup 01