පසුගිය ආණ්ඩුව කළ තකතීරුකම් මේ ආණ්ඩුවත් කළ යුතු නැහැ - අධිකරණ සහ බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ

කතාබහ
Typography

හම්බන්තොට වරාය ගිවිසුමේ දෝෂ තිබෙන බව ඔබ කැබිනට් මණ්ඩලයේ දී චෝදනා එල්ල කර තිබෙනවා. ඒ මොනවද?

මම කැබිනට් මණ්ඩලයේ කියපුවා නෙමෙයි, මම නීතිඥයෙක් විදිහට සහ දේශපාලකයෙක් විදිහට දකින අඩුපාඩු ගැන ප්‍රසිද්ධියේ කියන්න කැමැතියි. ඒක මම පාර්ලිමේන්තුවෙදිත් කිව්වා. ඒක මම කිව්වේ මහජන නියෝජිතයන්ගේ යුතුකම ඉටුකිරීමක් විදිහට. හම්බන්තොට වරාය ගිවිසුම එක පැත්තකින් නීති විරෝධියි.

තව පැත්තකින් රටට අහිතකරයි. වරාය අධිකාරිය තියෙන්නේ වරාය පවත්වාගෙන යන්න. වරාය පවත්වාගෙන යාමට අවශ්‍ය ඉඩමක් වගේ දෙයක් බදු දෙන්න පුළුවන්. නමුත් වරාය දෙන්න බැහැ. එහෙම වුණත් මහා භාණ්ඩාගාරයට රජයේ ඉඩකඩම් විකුණන්න පවරන්න බලය තියෙනවා. නමුත් භාණ්ඩාගාරයට පුළුවන්ද මහා භාණ්ඩාගාරය විකුණන්න. ඒ නිසා විශාල නීති ප්‍රශ්නයක් තියෙනවා. දෙවැනි කාරණය තමයි ආර්ථික පාඩුව. හම්බන්තොට වරායේ අපිට ණය කැපෙන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 1.1යි. නමුත් අපේ ඇත්ත ණය බිලියන 78ක්. ඉතුරු 77 අපි මොනවද කරන්නේ. එහෙම සැලැස්මක් අපිට නැහැ. අනික වරාය හදන්න දීර්ඝ කාලයක් තිස්සේ ඇමරිකන් ඩොලර් මිලියන 1500ක් වියදම් වුණ එක ඇත්ත. නමුත් අද ඇත්ත වටිනාකම මිලියන 1500 ක් නෙමෙයිනේ. අද ඒ වගේ හතර ගුණයක්වත් වෙන්න එපැයි. අනික දකුණු කොළඹ වරාය හැදුවේ චීන්නු. ඒගොල්ලන්ගේ සල්ලිවලින් හදලා ඒගොල්ලෝ ආදායම අරගෙන ලාභ ලබලා අවුරුදු විසි පහෙන් අකුලගෙන යනවා. හැබැයි අපි ණය වෙලා හදාගත්ත වරාය ඒගොල්ලන්ට අවුරුදු 99ට ඒක දෙන්නේ. අර වගේ හතර ගුණයක්. අනිත් කාරණය කොළඹ වරායට අපේ රට විශාල ආයෝජනයක් කරනවා. ඇතුලත්මුදලි මැතිතුමාගේ දර්ශනයත් එක්ක ලෝකේ හොඳම වරායක් වුණා. හැබැයි මේකෙ දි සියයට 85 ක් විතර කෙරෙන්නේ ප්‍රතිඅපනයන. ඒ කියන්නේ මෙහෙට ගොඩබාන ඒවා නෙමෙයි. ඒ නැවෙන් තව නැවකට දාල වෙනත් රටකට යනවා. එතකොට ඔය පහසුකම හම්බන්තොටින් චීන්නු දෙනකොට අපිට එන නැව්වලින් සියයට 85ක් මෙහෙට එන්න ඕන නැහැනේ. හම්බන්තොටින් නාවික සැතපුම් 200ක් ඇවිත් 200ක් ආපහු යන්න ඕනද? කවුරුවත් එහෙම යන්නේ නැහැ. ඒ කියන්නේ හම්බන්තොටින් ඔක්කොම වැඩ ටික කරගෙන යයි. ඒ කියන්නේ ඒකෙන් එන සියලුම ලාභය චීන සමාගමටයි යන්නේ. කොළඹට කරපු ආයෝජනත් එක්ක නැව් ටික එන්නේ නැති වුණොත් අපි මොකද කරන්නේ. එතකොට කොළඹ වරාය පිහිණුම් තටාකයක් වෙන්න ඉඩ තියෙනවා. අනිත් පැත්තෙන් මේක චීනයට දෙනවට ඉන්දියාව තරහයි. මේක චීන්නුන්ට දෙන නිසා තමයි ඒගොල්ලෝ ත්‍රිකුණාමලය ඉල්ලන්නේ. එතකොට මේ දෙගොල්ලන්ගේ ගැටීමක් කවදාහරි ඇතිවෙන්න පුළුවන්. මේක ලෝක දේශපාලනයේ ප්‍රශ්නයක්. මේගොල්ලන්ගේ ගැටීමක් ආවොත් කවුද මේකෙන් විනාශ වෙන්නේ? අද ඉන්දියාවේ මතය එක්ක ඉන්නවා ජපානය, ඇමරිකාව සහ යුරෝපය. ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ අපට අවබෝධයක් තියෙන්න ඕනෑ. මේ වරාය ආර්ථිකයට විතරක් නෙමෙයි භූගෝලීය දේශපාලන පැවැත්මටත් බලපානවා. ඒක නිසා තමයි මම කිව්වේ ගිය ආණ්ඩුව වැරදි කළා. මෝඩකම්, තකතීරුකම් කළා. හැබැයි අඳුරට අවලාද කර කර හිටියා කියලා අපට සෙතක් වෙන්නේ නැහැ. මේකෙ දි අපි පක්ෂ, ජාති විදිහට බෙදිලා ඉන්න එක මහා විනාශයක්. පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා එකතැනකට ඇවිත් එකට කතා කරලා විසඳන්න ඕනෙ ප්‍රශ්නයක්. රටේ අවාසනාව අද ඒක වෙන්නේ නැහැ. මේක ජාතික ප්‍රශ්නයක් කියලා තේරුම් ගන්නේ නැහැ. කට්ටියක් හැදුව හින්ද අවලාද නගනවා. මහින්දගේ කට්ටිය අවලාද නගනවා දෙනවට. මහජනතාවට ලැබෙන්නේ විනාශය විතරයි. ඒක තේරුම් ගන්න බැරි දේශපාලන එකඟතාවක් නැති එක තමයි කරුමේ.

Wijedasa int02සමහර කෙනෙක් හිතන්න පුළුවන් මගේ ආත්ම වර්ණනාවක් කරගන්නවා කියලා. හැබැයි දැන් ඔය ගොඩක් දෙනෙක් දූෂණයට විරුද්ධව කතා කරනවනේ. මටත් චෝදනා කරනවා. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතිපති දෙපාර්තම්න්තුව නඩු දාන්නේ නැහැ කියලා හුඟක් අයට මම උත්තර දීලා තියෙනවා. හැබැයි ඒ කොච්චර කෑ ගැහුවත් රටේ ජනතාවට ඒ උදවිය මොකක්ද ලබා දීලා තියෙන්නේ? ජනතාවට අහිමිවෙච්ච දෙයක් ලබා දීල තියෙනවද? නැත්නම් වෙන්න ගිය දූෂණයක් වළක්වලා තියෙනවද. මම 2007 කෝප් කාරක සභාවේ හිටියා. බිලියන 300ක වංචා දූෂණ වෙච්ච ඒවා හෙළිදරව් කළා. බිලියන 125ක් වත්කම් ඇති රක්ෂණ සංස්ථාව බිලියන 6කට විකුණලා තිබුණා. වරාය ඉඩම් අක්කර 5ක් සත පහක් ගන්නේ නැතුව හිටපු ජනාධිපතිවත් රවට්ටලා ඔප්පුවකින් ලියා ගත්තා. මැරයින් සර්විස් සමාගමේ කොටස් සියයට 90 මිලියන 1200 ට විකුණලා කොටස් පැවරුවා. මුදල ඔප්පුවට ගිය විදිහට දාලා ඔප්පුවයි ඉඩමයි දෙකම තියාගත්තා. හැබැයි සතයක් ආණ්ඩුවට ගෙවලා නැහැ. මම කෝප් කාරක සභාවේ සභාපතිවරයා හැටියට කටයුතු කළේ ජීවිත තර්ජන තියෙද්දී. ඒකෙදි මට අනිත් මන්ත්‍රීවරුන්ගේ සහයෝගය යම් මට්ටමකට ලැබුණා. හැබැයි මට තනි තීන්දු තීරණ අරගෙනත් යම් යම් දේවල් කරන්න සිද්ධ වුණා. පළවෙනි වතාවට මේ රටේ මිනිස්සු දැනගත්තා කෝප් කමිටුව කියල එකක් තියෙනවා කියලා. ඒ වගේම ලංකා ඉතිහාසයේ පළමු වරට මගේ කෝප් කමිටු වාර්තා දෙක මුළු සභාව සම්මත කළා. ඒකේ තිබුණා සමහර ඇමැතිවරු මිලියන 5000 වගේ හොරකම් කළා කියලා. ඒ තියෙන කෙනෙක්වත් මේකට විරුද්ධව අත ඉස්සුවේ නැහැ. ඒ මට්ටමට කෝප් කාරක සභාවේ විශ්වසනීයත්වය මම හැදුවා. අන්තිමට ආණ්ඩුවට කිව්වම මේ දේපළ පවරගන්න කියලා. ආණ්ඩුව ඒක ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ අපි නඩු ගියා. ආණ්ඩුව අවුරුදු දෙකක් නඩු ගියා මොහාන් පීරිස් හරහා මෙය ප්‍රතික්ෂේප කරමින්. හැබැයි ඒ නඩුවලින් අපි රක්ෂණ සංස්ථාව ගත්තා. රක්ෂණ සංස්ථාව ගන්නකොට අපට එහි කොටස් හිමි ඇපලෝ රෝහල ආවා. ඒ වගේම රක්ෂණ සංස්ථාවේ මුදලින් චන්ද්‍රිකාගේ කාලේ පෞද්ගලිකකරණය කරලා තිබුණු ෂෙල් සමාගම ආපහු ගත්තා. සියලුම පෞද්ගලික බැංකුවල සියයට 5ක කොටස් රක්ෂණ සංස්ථාවට තිබුණා. ඒ ටික ආපහු ජනතාවට දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරායේ ඉඩම් අක්කර 8 1/2 ඔප්පුව අවලංගු කළා. එදා ඒ විදිහට ගත්ත වත්කම් ටික අද බිලියන හාර පන්සියය පැනලා තියෙනවා. 2003 මධ්‍යම, බස්නාහිර, සබරගමු පළාත්වල ලංගම වික්කා. රවී වෙත්තසිංහ මහත්තයාගේ සමාගම් දෙකකට රුපියල් මිලියන 865කට තමයි විකකෙ. ඒකට සේවක සංගම් ගිහින් නඩු කිව්වා වුණත් නඩු පරාද වුණා. අන්තිමට මේ ජාතික අපරාධය උහුලන්න බැරුව මම ශ්‍රේෂ්ඨාධිකරණයට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ඒ සම්පූර්ණ ගිවිසුමම අහෝසි කරන්න කටයුතු කළා. ලංගමට අයත් පිටකොටුවේ ඉඩම විතරක් කීයක් වටිනවද? එතකොට ඒ පළාත් තුනේ ලංගම බස් ටිකයි ඩිපෝ ටිකයි ඔක්කොම ඇතුළත්ව. ඒක අද බිලියන 1000ට ගන්න පුළු වන්ද? මම තනි සටනක් දීලා ඒක බේරාගත්තා. අපි දූෂණයට විරුද්ධව කෑ ගහලා නෙමෙයි වැඩ කරලා තියෙනවා. අපි දූෂණ සිදුවෙන්න ගිය ඒවා වළක්වලා තියෙනවා. ඉතින් අධිෂ්ඨානයක් තියෙනවා හම්බන්තොට වරායත් මොන තත්ත්වයක් යටතේ හරි නැවත ලබාගන්න ඕන කියන එක ගැන. ඒ ඉලක්කයට අපි යනවා.

■ ඒත් මේ පිළිබඳ විවාදයකට ඉඩ නොදුන්නේ ඇයි?

ඔව් ඒකෙ නීති ප්‍රශ්න තියෙනවා. මොකද ඒක කැබිනට් එක අනුමත කළේ පාර්ලිමේන්තුවේ විවාදයෙන් පස්සේ මතුවන කරුණු සලකා බලලා අවශ්‍ය නම් සංශෝධනය කරන්න ඉඩ තියලා. නමුත් අපට විවාදයට නියම වෙලා තිබුණේ සිකුරාදා. ඒක කාගේ හෝ වරදින් කඩාකප්පල් වුණා. වරද කාගේද කියල දැන් හොයල වැඩක් නැහැ. අවසානයේ දී සෙනසුරාදා අත්සන් කළා. ඒ ගැන ගැටලුතියෙනවා.

■ ඛනිජ තෙල් වෘත්තීය සමිති මතු කළෙත් මේවා බදු නොදී ආණ්ඩුව විසින්ම පවත්වාගෙන යාමෙන් ලාභ ලැබිය යුතුයි කියලයි. වෘත්තීය සමිතිවල අදහස සම්බන්ධයෙන් මීට වඩා තුලනාත්මකව බලන්න ඇයි රජයට බැරි වුණේ?

ඛනිජ තෙල් වෘත්තීය සමිතිවල උනන්දුව තියෙන්නේ හම්බන්තොට වරායේ තෙල් ටැංකි සම්බන්ධයෙන්. නමුත් ඛනිජ තෙල් වෘත්තීය සමිතියකට විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි මේවා. මේක විසඳන්න තමයි පාර්ලිමේන්තුවක් තියෙන්නේ. ඔවුන්ගේ අදහස නෙමෙයි අපේ අදහස තුලනාත්මකව සලකා බැලිය යුතුයි. අපි මහජන මන්ත්‍රීවරු. ඒගොල්ලන්ගේ ඒවා සලකා බලන්න එපා කියනවා නෙමෙයි. ඒගොල්ලන්ගේ ඒවාට කලින් අපේ ඒවා සලකා බලන්න ඕනෑ.

■ ආණ්ඩුව හැම උද්ඝෝෂණයකටම ආණ්ඩු විරෝධී ලේබලය අලවනවා. හම්බන්තොට වරාය ලංකාණ්ඩුව විසින් කළමනාකරණය කර ගැනීමට නොසිතා චීනයට පැවරීමට එරෙහිව වෘත්තීය සමිති කටයුතු කිරීම අන්තවාදී දේශපාලන වුවමනාවක් වෙන්නේ කොහොමද?

උද්ඝෝෂණ කරන්නේ ආණ්ඩුවට විරුද්ධව තමයි. ආණ්ඩුවට පක්ෂව කවුරුවත් උද්ඝෝෂණ කරන්නේ නැහැනේ. ඒක ගැන ගැටලුවක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ උද්ඝෝෂණය කරන අය උද්ඝෝෂණය කරන්නේ ඇයි කියලා හොයලා බලන්න අපට යුතුකමක් තියෙනවා. ඒක සාධාරණ හේතුවක් මත සිද්ධ වෙනවනම් ඒකට විසඳුමක් ලබා දීමේ වගකීම ආණ්ඩුවකට පැවරෙන දෙයක්. හම්බන්තොට වරායේ දී තත්ත්වය ඊට වඩා තරමක් වෙනස්. රට බෙදිලා තියෙන්නේ. රට ගැන හිතන්න මිනිස්සු නැහැ. ඔය උද්ඝෝෂණයේත් කණ්ඩායම් දෙකක් ඉන්නවනේ. ඔය වරාය සේවක සංගමයේම කට්ටියක් කියනවා මේක දේශද්‍රෝහී කියලා. කට්ටියක් කියනවා දේශප්‍රේමී කියලා. මේ රටේ දේශපාලකයොත් එකයි මිනිස්සුත් එකයි. මේ රට විනාශ කරන්න තමයි පෙරමුණට එන්නේ. මේක භයානක තත්ත්වයක්.

■ ආයෝජන මණ්ඩලය මුහුණ දී සිටින තත්ත්වය ගැනත් ඔබේ විවේචනය එල්ල වුණා. මොකක්ද එහි පැන නැඟී තිබුණු අර්බුදය?

අර්බුදයක් නෙමෙයි. ඒකේ විනාශයක් වෙලා තියෙන්නේ. ආයෝජන මණ්ඩලය ගෙන ආවේ බොහොම සුවිශේෂී ප්‍රයෝජනවත් ව්‍යපෘතියක් විදිහට. අපි හිටියේ සංවෘත ආර්ථිකයක. විවෘත ආර්ථිකයකට ගෙනාවහම එකපාරටම විශාල ආයෝජන ආවා. ඒ හරහා අපේ රටේ ආර්ථිකය ඇත්තටම දියුණු වුණා. මුල අවුරුදු 10 මේක හරි ලස්සනට කෙරුණා. විශාල ආයෝජකයෝ, විශාල වෙළෙඳ කලාප ආවා. නමුත් ඒක අවුරුදු දහයක් පහළොවක් යනකොට වෙනස් වෙන්න ඕනෑ. දැන් විවෘත ආර්ථිකය ස්ථාපිත වෙලා අවුරුදු 40ක් ගතවෙලා. විවෘත ආර්ථිකය කියන්නේ වෙනස් වේවි යන එකක්. අවුරුදු දහයක් පහළොවක් යනකොට ඒක අවසන් කරලා ඒ බදු සහන ඔක්කොම දේශීය ආයෝජකයන්ට ලබා දිය යුතුයි. එතකොට දේශීය ආයෝජකයා රැකියා පනහක් සියයක් දීලා හරි ඒ මිනිස්සු ඉහළට යනවා. ඒත් අද දේශීය ආයෝජකයාට මුකුත් නැති වෙලා තියෙනවා. විදේශීය ආයෝජකයන්ට සියලු බදු සහන දෙනවා. අද BOI අනුමැතිය දීලා තියෙන්නේ කරෝකේවලට, නයිට් ක්ලබ්වලට වගේ ඒවාට. කරෝකේ ක්ලබ් දාන්නද BOI එක හැදුවේ. අඩුගානේ රස්සා 1000ක් වත් දෙන සමාගමක්වත් වෙන්න අවශ්‍යයි. අද මේ හේතු නිසා දේශීය ව්‍යාපාරිකයෝ හුඟක් අය බංකොළොත් වෙලා ඉවරයි. මම උදාහරණයක් කියන්නම්. මෙරටට මාසෙකට නැවක් දෙකක් සත්ව ආහාර එනවා. ඔය තරම් සත්ව ආහාර කන්න ලංකාවේ කුකුල්ලු, ඌරො නැහැ. ඒවා තමයි සත්තුන්ට කියල අරගෙන මිනිස්සුන්ට විකුණන්නේ. මේක හැමෝම දන්නා රහසක්. අද මෙහෙ ඉදිකිරීම් කරන්න එනවා කියල එන සමාගම් ගෙවල් පන්සීයයකට අනුමැතිය අරගෙන අමුද්‍රව්‍ය ඔක්කොම ගේනවා. ගෙවල් 100ක් හදල. ඉතුරු අමුද්‍රව්‍ය ටික විකුණනවා. එතකොට ඒ මිනිස්සුත් එක්ක දේශීය ව්‍යාපාරිකයන්ට තරග කරන්න බැහැ. දේශීය ව්‍යාපාරිකයාට කුලිය, බදු, අර්ථසාධක මුදල්, පොලී ගෙවන්න ඕනා. ඉතින් විදේශීය ආයෝජකයා රුපියල් 35000ට බාත්රූම් උපාංග විකුණනකොට දේශීය ව්‍යාපාරිකයාට ඒක රුපියල් 75,000ක විතර විකුණන්න වෙනවා. එතකොට අන්තිමේ දී බැංකු පොලී ගෙවාගන්න බැරිව දේපළ වෙන්දේසි කරලා මිනිස්සුන්ට පාරට බහින්න වෙනවා. ඒවාට හේතුව BOI එක. අද ගම්මිරිස් ගොවියෝ උද්ඝෝෂණය කරනවා. BOI එක හරහා අවුරුද්දකට මෙටි්‍රක් ටොන් 500 වියට්නාමයෙන් ගම්මිරිස් එනවා. මේවා ගේන්නේ ප්‍රතිඅපනයනය කියලා. ගම්මිරිස්වල මොනවද අගය එකතු කිරීමක් කරන්න තියෙන්නේ. එකේ දී වෙන්නේ 100ක් විතර ප්‍රතිඅපනයනය කරලා 400ක් විතර වෙළෙඳපොළට දානවා. මේක මහා විනාශයක්. අද ඒකෙන් කිසිම ප්‍රතිලාභයක් නැතිවෙලා තියෙනවා. මේක සම්පූර්ණයෙන් අහෝසි කරන්න ඕනා. එහෙම කරලා දේශීය ආයෝජකයන්ට අවස්ථාව දෙන්න ඕනෑ. ඔය බහුජාතික සමාගම් ඇවිල්ලා මෙහෙ මිනිස්සුන්ගේ ශ්‍රමය හූරගෙන කාලා හැම සතයක්ම පිට රටට ගෙනියන එකයි කරන්නේ.

■ ආයෝජන එනවා, නමුත් ඒවා රඳවා ගන්න ක්‍රමයක් නැහැ කියල මතයක් තියෙනවා.

ඔව් ඒකත් සිද්ධ වෙනවා. ඒ වගේම දූෂණත් සිද්ධ වෙනවා. ඊට අමතරව අකාර්යක්ෂමතාවන්, කඩාකප්පල් කිරීම් තියෙනවා. වැදගත් ආයෝජකයෙක් ආවහම ඒ මනුස්සට ආයෝජන කරන්න දෙන්නේ නැහැ. අඩුගානේ සමාගමවත් ලියාපදිංචි කරගන්න බැරිව මිනිස්සු මාස ගණන් රස්තියාදු වෙලා ආපහු යනවා. එතරම් දූෂිතයි මේ ආයතනය. පහුගිය ආණ්ඩුව තියෙන කාලේ මම ගෙනාවා ආයෝජකයෝ. එතකොට එතැනින් කියනවා අහවල් දේශපාලකයා එක්ක කතා කරගෙන එන්න. එහෙම අවොත් තමා වැඬේ කෙරෙන්නේ කියලා. ඒ මිනිස්සු අපරාදේ මෙහෙට අවේ කියලා මටම ආපහු ඇවිල්ල කියල ගිහිල්ලා තියෙනවා.

■ 20 වන සංශෝධනය හරහා පළාත් සභා ඡන්දය එකවර පවත්වන්න හැකියාවක් තිබේද?

එකවර පවත්වන්න නම් තියෙන ඡන්ද ටික කල් දදා යන්න ඕනෑ. නීතිය හැදුවොත් කරන්න බැරි දෙයක් නැහැනෙ. අවශ්‍යතාවට අනුව නීති හදන්න ඕනෑ.

■ ජනතාව පළාත් සභා පත්කර තිබෙන්නේ වසර 5ට. මේ කාලය දිගු කිරීම ව්‍යවස්ථා විරෝධී නැද්ද?

ව්‍යවස්ථා විරෝධී වෙන්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළොත්නේ. නීති වෙනස්කරගෙන නීත්‍යානුකූල කරගෙන කරන්න පුළුවන්නේ. මම හිතන්නේ ඒක නෙමෙයි ප්‍රශ්නය. මිනිස්සුන්ගේ සර්වජන ඡන්ද අයිතිය කල්දැමීම ගැනයි ප්‍රශ්නය. ඒක සුවදායක එකක් නෙමෙයි. ඕක ඉතිහාසයේ දී ගත්තොත් එහෙම සිරිමාවෝ මැතිනිය 72 ව්‍යවස්ථාවට මුවා වෙලා අවුරුදු දෙකක් මැතිවරණය කල් දැම්මා. ඒකේ ප්‍රතිඵලය වුණේ අවුරුදු දාහතක් යනකම් විපක්ෂයේ කඹුරන්න සිදුවීමයි. සිරිමාවෝ කරපු එකට Return එක දෙන්න ජේ. ආර්. අවුරුදු හයක් ඡන්දය කල් දැම්මා. අවුරුදු 20ක් කඹුරන්න වුණා. තාමත් බැරි වුණා අපිට ආණ්ඩුවක් හදාගන්න. ඡන්දය කල් දැම්මම මිනිස්සු දඬුවම් දෙනවා.

■ ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බව මැතිවරණ කොමසාරිස්වරයා පවසනවා.

ඔව් ඒක තමයි අපෙත් මතය. අපේ පෞද්ගලික මතය නෙමෙයි. රටේ තියෙන නීතිය ඒකයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගත්තත් ප්‍රශ්නයක් ඇති වෙයි. මොකද ශ්‍රේෂ්ඨාධිකරණය සර්වජන ඡන්ද බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන වගන්තියට මේක ගැටුමක් ඇතිවෙන නිසා ජනමත විචාරණයකට යන්න කියන එකට තමා සියයට 90ක් ප්‍රතිශතය තියෙන්නේ. ඒක අපිට එහෙමමයි කියල කියන්න බැහැ. නමුත් අපේ දැනුමේ හැටියට ශ්‍රේෂ්ඨාධිකරණයට විතරයි අවසානයේ ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන්න පුළුවන්.

■ ආණ්ඩුවට මේ වෙලාවේ ජනමත විචාරණයකින් ජයගන්න පුළුවන් වෙයිද?

ඊට කලින් අපි බලන්න ඕනෑ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අපිට ලැබෙයිද නැද්ද කියලා. ඊට පස්සේ තමයි අනිත් ඒවා ගැන හිතන්න ඕනෑ. පළවෙනි කඩුල්ල පැන්නොත් තමයි දෙවැනි එක පනින්න වෙන්නේ.

■ පළාත් සභා ආණ්ඩුකාරවරයා යටතට පත්කිරීමේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමට නියමිතද?

කාලය අවසන් වුණු පළාත් සභා එහෙම තමයි ඡන්දය පවත්වනකම් ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම තමයි ප්‍රතිපාදන තියෙන්නේ. ඒක කරන්න දෙනවද නැද්ද කියන ඒක අන්තිමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් එක්ක බලන්න ඕනෑ.

සාකච්ඡාව: සිතාරා කුළරත්න

ඡයා: අජිත් සෙනෙවිරත්න

Latest Posts

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...
ශ්‍රේෂ්ඨාධිකරණයටත් උඩින් ගිය පාසල් මාෆියාවේ හිරවුණු එකේ පැටව්! ශ්‍රේෂ්ඨාධිකරණයටත් උඩින් ගිය පාසල් මාෆියාවේ හිරවුණු එකේ පැටව්! 2017-08-31 - ජනප්‍රිය පාසල්වලට ළමුන් ඇතුළත් කර ගැනීමේ මාන...

කතුවැකිය

කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! 2017-09-25 - ශිල්පීය නිපුණත්වය සහිත ශ්‍රම බළකායක් නැතිකමෙහි...
කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය 2017-09-19 - ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය ...
කතුවැකිය: V 2025ට මිෂන් එකක් අවශ්‍යයි කතුවැකිය: V 2025ට මිෂන් එකක් අවශ්‍යයි 2017-09-11 - විෂන් 2025 නමින් යුත් රජයේ ඒකාබද්ධ ආර්ථික වැඩ සටහන...

Face Book Setup 01