කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන

කතාබහ
Typography

පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කිරීම ප්‍රමාද නිසා ඡන්දය කල්දාන්න වීම ඔබ දකින්නේ කොහොමද?

ඡන්දය කල් දානවා කියල ස්ථිර තීරණයක් නැහැ. අපි උත්සාහ ගනිමින් ඉන්නෙ හැකි තරම් ඉක්මනට මැතිවරණය පවත්වන්නයි. මේක අවුරුද්දක් කල් දාන්න කටයුතු කළේ පසුගිය ආණ්ඩුව කාලෙදියි. ඊට පස්සේ පැවති ප්‍රයෝගික ගැටලු නිසා, කොට්ඨාශ නිර්ණයේ දී ඇති වූ ගැටලු නිසා කාලය වැඩිපුර ගතවුණා. මේ යහපාලන ආණ්ඩුවට පුළුවන් වී තියෙනවා ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ පක්ෂ, ආගම්, කුල, මල බේදයකින් තොරව මෙම මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්න.

විශේෂයෙන් කොට්ඨාශයට වග කියන දේශපාලකයෙක් එම ප්‍රදේශයෙන් තෝරාගෙන එම ප්‍රදේශය සංවර්ධනයට යොදවාගන්න පුළුවන් ආකාරයේ සංශෝධන සිදුකර තිබෙනවා. ඒත් එක්කම කාන්තා නියෝජනය සියයට 20ක් ලබා දීම අනිවාර්ය කර තිබෙනවා. රටේ කාන්තාවන් රටේ උන්නතිය වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය ලබා දීමේ වැදගත්කම අපි දැක තිබෙනවා. කාන්තාවන් තමයි රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් ලබා දෙන්නේ. ඔවුන්ට තමන්ගේ ඡන්ද අයිතිය පමණක් නොවෙයි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අතරම එය අනිවාර්ය කිරීම හරහා එම යාන්ත්‍රණයට එකතු වීමට ඔවුන්ට තිබෙන අවස්ථාව ස්ථිර කරලා තියෙනවා. මේ සියල්ලම කරන්න කාලයක් ගතවුණා. නමුත් මේ වෙනකොට පාර්ලිමේන්තුවෙන් අනුමත කර මැතිවරණ කොමසාරිස්වරයට මැතිවරණය පවත්වන දිනය තීන්දු කරන්නට කල් ලබා දීලා තියෙනවා. කුඩා කුඩා ප්‍රශ්න මතුවීමට හේතුව මේ හඳුන්වා දීල තියෙන්නේ අලුත් මැතිවරණ ක්‍රමයක් වීම සහ අලුත් ක්‍රමවේදයක් වීමයි. ඉතින් මේකේ තියෙන සුළු අතපසුවීම් නිරවුල් කරගෙන ඉදිරියට යන වැඩපිළිවෙළ අපිට සකස් කරන්න වෙනවා. එතැන දී කාලය ගතවෙන්නට පුළුවන්. නමුත් ආණ්ඩුවක් ලෙස අප සිටින්නේ ඉතා ඉක්මනින් මැතිවරණ කොමසාරිස්වරයාගේ සහ මැතිවරණ කොමිසම හරහා දින නියම වෙයි කියන බලාපොරොත්තුවෙනුයි.

ගැසට් පත්‍රය ඉක්මන් කළ නොහැකි ඇයි?

Kavinda J02මැතිවරණ කොමසාරිස්වරයා පවසන ආකාරයට අලුතෙන් ඇතිකර තිබෙන මැතිවරණ ක්‍රමය සහ සංශෝධන අධීක්ෂණය කිරීමටත් ඒ එක්කම ඊට අදාළ නිලධාරීන් දැනුවත් කිරීමටත් දින හතළිහක් හෝ ඊට වඩා වැඩි කාලයක් ගතවේවි. දෙසැම්බර් වන විට මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් මත මැතිවරණය පැවැත්වීමට වැඩකටයුතු සකස් කරන්න පුළුවන් කියන මතයේ මැතිවරණ කොමසාරිස්වරයා සිටිනවා. නමුත් තවදුරටත් කල් ගියොත් ජනවාරි 13 සහ 14 මැතිවරණය පැවැත්විය හැකි බව එතුමා පවසා තිබෙනවා.

නව ක්‍රමයට අදාළව සභික සංඛ්‍යාව වැඩිවීම ජනතාවගේ පැත්තෙන් අසාධාරණයක් නෙමෙයිද?

අපි ඉන්නෙ එදා තිබුණු මැතිවරණ ක්‍රමයට වඩා මේ ඉදිරිපත් කර තිබෙන මැතිවරණ ක්‍රමය සුදුසුයි කියන ස්ථාවරයෙයි. ඒකට හේතුව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ගත් කළ ඉතාම සුබවාදී මැතිවරණ ක්‍රමයක්. එදා ප්‍රාදේශීය සභාවට නගර සභාවට මුදල් වැය කරලා බලය පාවිච්චි කරලා මනාප පොරයක් හරහා බලයට පැමිණීමේ අවස්ථාව අපේක්ෂකයන්ට තිබුණා. ඒකට හේතුව ඒ ආසනයේ හෝ ප්‍රාදේශීය සභාවේ හෝ නගර සභාවේ ඕනෑම ඡන්ද දායකයෙකුගෙන් ඔවුන්ට පළාත් පාලන ආයතනවලට ඇතුල් වීමේ අවස්ථාව තිබුණා. නමුත් ඒ පුද්ගලයාගේ දක්ෂතාවය, දේශපාලන පසුබිම, දේශපාලන හැකියාව මත පදනම් වූ ඡන්ද ක්‍රමයක් වුණේ නැහැ. මෙම මැතිවරණවලට ඉදිරිපත් වුණේ සභාපතිවරු, සමෘද්ධි නිලධාරීන් තමන්ගේ බලය අනිසි ලෙස පාවිච්චි කිරීමෙනුයි. ගිය මැතිවරණ සමයේ අපි ඒක දැක්කා. මේ මැතිවරණ ක්‍රමය සම්පුර්ණයෙන් වෙනස් කරන බවට අපි පොරොන්දුවක් දුන්නා. මේ මැතිවරණ ක්‍රමය හරහා ප්‍රදේශයට වගකිව හැකි දේශපාලකයෙක් බිහි කිරීමට අවස්ථාව තියෙනවා. එවිට ජන්ද දායකයට තමන්ගේ පක්ෂයවත්, ජාතියවත්, ආගමවත් ගැන කල්පනා නොකර ඒ ප්‍රදේශයේ උන්නතියට අවශ්‍ය කෙරෙන දේශපාලකයා සොයාගන්නේ කොහොමද ඔහුව තෝරාගන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධව පහැදිලිතාවයක් ලැබෙනවා. ඒත් එක්කම තවත් කෙනෙකුට සමානුපාතික ඡන්ද ක්‍රමයක් යටතේ තමන් කැමති අපේක්ෂකයා තෝරාගැනීමට ඡන්දය පාවිච්චි කිරීමටත් අවස්ථාව තිබෙනවා.

මුලින් සිමා නිර්ණය නිසා දැන් ගැසට් පත්‍රය නිසා මේ ආකාරයට ජන්දය කල්යාම හොඳ තත්ත්වයක් නෙමෙයි නේද?

Kavinda J03ඔව් හොඳ දෙයක් නෙමෙයි. මම ඒ ස්ථාවරයේ දැඩිව ඉන්නවා. නමුත් එහෙම කියල අපිට නීතිවිරෝධී වැඩපිළිවෙළකට පිවිසෙන්න බැහැ. සමහරක් අය පළාත් පාලන මැතිවරණයට පුංචි ජන්දය කියනවා. මේක පුංචි ජන්දයක් වුණාට ගමට දැනෙන ඡන්දයක්. මෙයින් තේරී පත්වෙන දේශපාලකයා තමයි ගමේ සංවර්ධනය, උන්නතිය වෙනුවෙන් කටයුතු කරන්නේ. දෙවැනි කාරණය තමයි අපේ රටේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් වගේ විවිධ ජාතීන් විවිධ ආගම් සහිත බහු ආගමික බහු වාර්ගික රටක්. මේ කිසිම කෙනෙකුට අසාධරණයක් නොවන ආකාරයෙන් මැතිවරණය පැවැත්විය යුතුය කියන ස්ථාවරයේ එදා වගේම අදත් ඉන්නවා. එදා සීමා නිර්ණය කර තිබුණු ආකාරයත් එක්ක අපි මැතිවරණයකට ගියා නම් යම්කිසි අසාධාරණයක් මේ කණ්ඩායම්වලට සිදු වෙනවා. විශේෂයෙන් කුඩා පක්ෂවලට අසාධාරණයක් වෙනවා. මේ රටේ තියෙන විශාලම පක්ෂය හැටියට එක්සත් ජාතික පක්ෂයට ඕනෑම මැතිවරණයකට මුහුණ දීමේ හැකියාව තියෙනවා. හිටපු බැසිල් රාජපක්ෂ මැතිතුමා සීමා නිර්ණය සිදු කරේ තමන්ගේ පක්ෂයේ බලය ඒ ගම්වල බලය පවත්වා ගත හැකි ආකාරයටයි. ඒක ලොකු අසාධාරණයක්. මැතිවරණය කල් නොදා මැතිවරණය තිබ්බනම් ඒක ලොකු ගැටලුවක් වෙනවා. 83 විවිධ ගැටලු ඇතිවෙන්න හේතුව තමයි ගමට බලය ව්‍යාප්ත නොවීම. ගමේ ඉන්න නගරාධිපති ප්‍රාදේශීය සභා සභාපති හේතුවෙන් ගමට විධායක බලයක් ලැබෙනවා. ප්‍රදේශයේ මන්ත්‍රීවරයට වඩා බලයක් ඔවුන්ට ලැබෙනවා. අන්න ඒ කරණා ගත්තම මේ මැතිවරණය කල් යාමට වඩා වැදගත් සාධාරණීය වූත් අපක්ෂපාතී වූත් මැතිවරණයක් පැවැත්වීමයි. මේ මැතිවරණය කල් දැම්මේ අපි නෙමෙයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තමයි 2013 දී මේ මැතිවරණය කල් දැම්මේ. ඒ නිසා මේ නව මැතිවරණ ක්‍රමය ජනතාවගේ ජයග්‍රහණයක්. අනික මේ ක්‍රමවේදයට සියලුම පක්ෂ එකඟ වුණා. ඒ නිසා එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී මෙහි ප්‍රතිලාභ රටේ සියලු දෙනාට ලබා ගන්න පුළුවන්. ඡන්දය කල් ගියත් එය සිදුවෙන්න බලපාපු සාධක එක දවසින්, දෙකින් නිරාකරණය කරන්න නොහැකි වුණු දේවල්. සීමා නිර්ණය කියන්නේ කාලය ගතවෙන වැඩක්. ඒවා ගැසට් කරන විට ඒවාට ගතවන කාලය අවම කරන්න අමාරුයි. පළාත් පාලන ඇමතිවරයා සහ කාර්ය මණ්ඩලය මේ මැතිවරණය තැබීමට අවශ්‍ය කෙරෙන පිඹුරුපත් සැකසීමට දැවැන්ත වෙහෙසක් ගත්තා.

සිතාරා කුලරත්න

ඡායාරූපය - අජිත් සෙනෙවිරත්න

Latest Posts

කතාබහ

අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ-පොලිස්පති අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ-පොලිස්පති 2018-01-17 - ලංකාවේ කිසිදු ස්ථානයක තමන් දැනුවත්ව දුරකථන ටැප්...
අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි 2017-12-22 - ජාමියා නලීමියා උසස් අධ්‍යාපන ආයතනයේ හිටපු ජ්...
මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා 2017-12-20 - උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න&...

විශේෂාංග

අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය 2018-01-15 - ශ්‍රී ලංකාව තරම් ජීවත් වීමට සුදුසු  පරිසරයක් ...
උඩප්පුවෙන් නැගෙන පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය උඩප්පුවෙන් නැගෙන  පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය 2018-01-15 - පාඩුකාරයෝ ගල්පර රහිත නොගැඹුරු මුහුදත්, පළල් ...
සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ 2018-01-11 - ජනවාරි 9 දා ජනවාරි 08 පිළිබඳව ජනමාධ්‍ය වාර්තා කළ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

Face Book Setup 01