ඇතැම් වාමාංශිකයෝ තවමත් මහින්ද ලෝලියෝ-පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

කතාබහ
Typography

 

x අවසානේ ව්‍යවස්ථා වෙනසක් සිදුවෙයිද? නැද්ද? කියන එක ගැන සැකය ජනතාවට ඇතිව තිබෙනවා?

මේ දවස්වල ඒ සම්බන්ධව පැවැත්වෙන විවාදය දිහා බැලූ වම මම බොහොම ධෛර්යමත් වී ඉන්නෙ. ඒකට එක හේතුවක් මේ විවාදය තමන්ගේ වාසියට හරවා ගන්න පොදු විපක්ෂයට බැරිවීම. අනිත් කාරණය එළියේ මොනතරම් අන්තවාදී ප‍්‍රකාශ සිද්ධ කරත් පාර්ලිමේන්තුව ඇතුළේ දී එවැනි ප‍්‍රකාශ කරන්න ඔවුන්ට හැකි වුණේ නැහැ. ආණ්ඩුව පැත්තෙන් සහ ආණ්ඩුවට සහාය දෙන පාර්ශ්ව පැත්තෙන් ගත්තොත් මතුවී ඇති ප‍්‍රශ්නවලට ඉතා හොඳින් උත්තර දුන්නා. ඩිලාන් පෙරේරා මන්ත‍්‍රීතුමාගේ කතාව ගත්තොත් ඉතාමත් ධනාත්මක කතාවක්. එතුමා කිව්වා මම 2000 ව්‍යවස්ථාවේ බලය බෙදා හැරීමට පවා පක්ෂ බව. තමන්ට අවශ්‍ය ව්‍යවස්ථාව නිර්මාණය වෙන්නේ නැහැ. සියලූ දෙනාගේ එකඟත්වයෙන් සම්මුතියකින් පසුව තමයි නිර්මාණය වෙන්නෙ. ඩිලාන් මන්ත‍්‍රීතුමත් උදාහරණයක් වශයෙන් කිව්වෙ විධායක ජනාධිපති ක‍්‍රමය ගැන කිව්වා. ඒවගේම එතුමා කිව්වා බඩ මැදින්ම මස් රාත්තල ඉල්ලන්නේ නැතුව මේක කරමු කියලා. මෙවැනි කතාවලින් අපි ධෛර්යමත් වුණා. මේ එකඟත්වයන් දකුණට හෝ උතුරට හෝ පමණක් වෙන එකඟත්ව වෙන්න බැහැ. එය උතුරේ මෙන්ම දකුණේ අයත් පිළිගන්න ක‍්‍රම වේදයක් විය යුතුයි. මේ විවාදය මෙතෙක් කල් ගිය ආකාරය අනුව බැලූවිට ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය වෙනුවෙන් පෙනී සිටින බලවේගවලට ධෛර්යක් ලැබුණු බවයි මගේ විශ්වාසය.

x නමුත් ජනාධිපතිවරයා කියා තිබුණා ව්‍යවස්ථා යෝජනා ගැන සාකච්ඡුා කරන්න සර්ව පාක්ෂික නායක සමුළුවක්, සර්ව ආගමික නායක සමුළුවක් සහ උගතුන්ගේ සමුළුවක් කැඳවන බව. ඒ කියන්නේ මේක නොකෙරෙන දෙයක් කියන එකද?

පාර්ලිමේන්තුවේ සිදු වන ක‍්‍රියාමාර්ගවලට පරිබාහිරව වෙනත් ක‍්‍රියාමාර්ග සිදුවෙන්න අවශ්‍යයි. ජනතාවත් එක්ක සාකච්ඡුා කරන්න විවිධ ක‍්‍රම සොයාගන්න වෙනවා. නොයෙකුත් පක්ෂ වෙන වෙනම දැනුවත් කිරීම සිදුකරනවා. මේ සාකච්ඡුා බාධාවක් ලෙස මම දකින්නේ නැහැ. නමුත් ව්‍යවස්ථාව සම්බන්ධව අවසන් තීන්දු ගන්නා අවසන් ස්ථානය මෙතැනයි. කොතරම් සාකච්ඡා තිබුණත් එය ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයට ශක්තියක් මිස බාධාවක් වෙන්නේ නැහැ.

x ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති දුරය අහෝසි කිරීමට විරුද්ධ බව ප‍්‍රකාශ කරා?

ඔවුන්ගේ නිල ස්ථාවරය ඒකයි. එය ලිඛිතව ප‍්‍රකාශ කර තිබෙනවා. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ ඩිලාන් පෙරේරා මන්ත‍්‍රීතුමා ප‍්‍රකාශ කරපු ස්ථාවරය එම පක්ෂයේ ස්ථාවරය විය යුතුයි කියලා. හැමදෙනෙක්ම තද ස්ථාවරවල හිටියොත් මෙය කෙරෙන්නේ නැහැ. එසේ නොකිරීම හරහා ඇති වෙන ප‍්‍රතිඵල දේශීය වශයෙන්, ජාත්‍යන්තරව වගේම දේශපාලනිකව බලපාන්න පුළුවන්. ඒ නිසා දැඩි ස්ථාවර ගන්න පක්ෂවලට සහ පුද්ගලයන්ට එහි පළ විපාක ලැබෙන බවත් අමතක කළ යුතු නැහැ. ඒ වගේම මේ වගේ මහඟු අවස්ථාවක් පැහැර හැරීම සම්බන්ධයෙන් කිසිම පක්ෂයකට සමාව ලබා දෙන එකක් නැහැ. මම කතා කරන්නෙ ව්‍යවස්ථාව ප‍්‍රතිසංස්කරණයට සම්පූර්ණයෙන් විරුද්ධව යන බලවේග ගැන නොවෙයි. විශේෂයෙන් අතීතයේ දී තමන්ගේ පක්ෂ ගත්ත ස්ථාවරයන් අනුව අද යහපත් පරතිචාරයක් බලාපොරොත්තු වන පක්ෂ තියෙනවා. ඒ යුතුකම බලාපොරොත්තු එවැනි පක්ෂ වෙතිනුයි. කථිකයෝ කිහිපදෙනෙක්ම අවධාරණය කරපු දෙයක් මෙය බොහෝ කාලයකට නැවත නොලැබෙන මහඟු අවස්ථාවක් බව. විවිධ පක්ෂවල දේශපාලන ග‍්‍රහ පිහිටීම නැවත පහසුවෙන් ඇති වෙන එකක් නැහැ. බණඩාරනායක චෙල්වනායගම් ගිවිසුමට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ වුණා. ඩඞ්ලි චෙල්වනායගම් ගිවිසුමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ වුණා. ඒ වගේ දිග ලැයිස්තුවක් තියෙනවා. නමුත් මෙවර ප‍්‍රධාන පක්ෂ දෙකම ආණ්ඩුවේ කොටස්කාරයෝ. ඒවගේම දෙමළ ජාතික සන්ධානය ඉතාමත් නම්‍යශීලි ස්ථාවරයකට පැමිණ සිටිනවා. ජනතා විමුක්ති පෙරෙමුණ 1987 පළාත් සභා ක‍්‍රමයට විරුද්ධ වුණා. නමුත් අද මේ දෙස ධනාත්මකව බලමින් ඉන්නවා. ජනාධිපති ධුරයේ විධායක ස්වරූපය අහෝසි වේ නම් නව මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වා දෙනවානම් බලය බෙදා හැරෙනවා නම් එක තනි රටක් තුළ මෙම ප‍්‍රශ්නය විසඳීමට ඔවුන් අද එකඟ වී තිබෙනවා. කොමියුනිස්ට් පක්ෂය සහයෝගය ලබාදෙමින් ඉන්නවා. ඉතින් මේ අවස්ථා පැහැර හැරීම ජනතාවට කරන විශාල අසාධාරණයක්.

x මේ මෑතකදීත් අමරපුර නිකායේ හිමිවරු ප‍්‍රකාශ කර තිබුණා නව ව්‍යවස්ථාවක් එපා, අවශ්‍යනම් දැනට තිබෙන ව්‍යවස්ථාව සංශෝධනය කරන්න කියලා. සංඝ සමාජයෙන් පැමිණෙන බලපෑම් ගැන මොකද හිතන්නේ?

සමහර සංඝයා වහන්සේලාට හොඳ දැනුමක් තියෙනවා. සමහර අයට එතරම් දැනුමක් නැහැ. දැනුමක් නොමැති අය නොමඟ යවන්න විවිධ බලවේග ක‍්‍රියාත්මක වෙනවා. ඒවගේම

ආණ්ඩුව පාර්ශ්වයෙන් සංඝ සමාජය දැනුවත් කිරීම ප‍්‍රමාණවත් ලෙස කෙරී නැහැ. ඒකට එක හේතුවක් වී තිබෙන්නේ ප‍්‍රධාන පක්ෂ දෙක අතර එකඟත්වයක් නොමැති වීම. එවැනි දැනුවත් කිරීමක් සිද්ධ වෙනවා නම් මේ ප‍්‍රශ්න මඟහරවා ගන්න පුළුවන්.

x ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන් විරුද්ධයි. සියලූ‍ ව්‍යවස්ථා විරෝධීන් දරන්නේ එක දේශපාලන මතයක්ද?

නැහැ එහෙම නැහැ. මම මගේ මවු පක්ෂය වන ලංකා සම සමාජ පක්ෂය ගත්තොත් ඔවුන් ඉන්නේ කාටවත් නොතේරෙන තැනක. එම පක්ෂයේ නායක තිස්ස විතාරණ මැතිතුමා සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සභාපති. බලය බෙදාහැරීම සම්බන්ධයෙන් එතුමා යෝජනා කරපු දේවල් තරම්වත් ඈතට මේ ව්‍යවස්ථාව යන්නේ නැහැ. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට වමේ නායකයෝ හැමවිටම පෙනී හිටියා. නමුත් එතුමා අද දෙලොවක් අතර හිරවී ඉන්නවා. එක පැත්තකින් ඔහුට මහින්ද ලෝලය තියෙනවා. අනිත් පැත්තෙන් එතුමා රනිල් වික‍්‍රමසිංහට විරුද්ධයි. ඊට අමතරව එතුමා මේක අධිරාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් වැනි දේ කියා සමාවට හේතු හොයාගන්නවා. අද සම සමාජ පක්ෂයට සිදු වී තිබෙන එක දෙයක් වන්නේ ඔවුන්ගේ ප‍්‍රාථමික අනන්‍යතාව සමසමාජ නොවෙයි. ඔවුන්ගේ ප‍්‍රාථමික අනන්‍යතාවය වී තිබෙන්නේ මහින්ද ලෝලයයි. සම සමාජය ද්විතික අනන්‍යතාවය බවට පත්වෙලා. එහි ප‍්‍රතිඵල ගිය සති දෙකේ අපි දැක්කා. ලංකා සම සමාජ පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් දෙදෙනෙක් කෙළින්ම පොහොට්ටුවට ගියා. එක්කෙනෙක් වයඹ පළාත් සභා මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත්. අනිත් කෙනා මෑතක් වන තුරු සබරගමු පළාත් සභාවේ මන්ත‍්‍රී ධුරයක් දැරූ අජිත් ශාන්ත. එය සිද්ධ වුණේ පසුගිය කාලයේ පක්ෂ නායකත්වය දැරූ මහින්ද ලෝලය, කිසිදු පදනමක් නොමැතිව ආණ්ඩුවේ සියල්ලට විරුද්ධ වීම නිසයි. තරුණ කාලේ අපි බොහොම ගරු කරපු වාසුදේව නානායක්කාර ගත්තොත් ඔහු කියනවා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරොත් ඒකෙ වාසිය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට හිමිවෙනවා. නමුත් අපි ප‍්‍රසිද්ධියේ සෑම තැනකම දෙයක් විධායක ජනාධිපති ක‍්‍රමය අවසන් වන්නේ වර්තමාන ජනාධිපතිවරයාගේ වර්තමාන ධුර කාලය අවසානයේ බව කිව්වා. අපි සියලූ දෙනාම ජනවාරි 8වන දට නායකත්වය දුන් සිරිසේන මැතිතුමාගේ 19 වන සංශෝධනයෙන් පසුව තිබෙන බලතල එසේම 2020 තෙක් පැවැතිය යුතුයි කියන කාරණයට එකඟයි. නමුත් වාසුදේව සහෝදරයා ඒ කිසිම එකක්

බාරගන්න සූදානම් නැහැ. සමහර අය ඉන්නවා මීට පෙර බලය බෙදාහැරීමට පක්ෂව සිටි අය. විශේෂයෙන් චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනියගේ සමයේ සුදු නෙළු ම් ව්‍යාපාරය මෙහෙයවපු අය. ඒ සමයේ බලය බෙදමු රට නොබෙදමු කියන සටන් පාඨය නිර්මාණය කරේ අද පොදු විපක්ෂයේ සිටින සමහර අයයි. ඔවුන් සිදු කළ කතා ගත්තම ඔවුන් එතරම් අන්තයට ගියේ නැති බව පේනවා. ඒ නිසා එක මතයක් කියන එක පෙන්නේ නැහැ.

x බහුතර සිංහල ජනතාවක් කැමති බව පේන්නේ ඒකීය රජයක් තුළ බලය බෙදීමටයි. මෙය කරන්න පුළුවන් දෙයක්ද?

සාමාන්‍ය ජනතාව ඒකීය රාජ්‍ය ලෙස හඳුන්වන්නේ නොබෙදුණු රටක බලය බෙදා ගැනීමටයි. අපි තව ටිකක් එහාට ගොස් එහි නෛතික පසුබිම බැලූ වොත් එහෙම 13 වන සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ දී කියවෙනවා ඒකීය රාජ්‍යය ක‍්‍රමය තුළ ක‍්‍රියාත්මක වන මූලිකම ලක්ෂණ වශයෙන් මධ්‍යම පාර්ලිමේන්තුවක් විසින් පරමාධිපත්‍ය දැරීම. එවැනි පාර්ලිමේන්තුවක් හැර ස්වාධිපත්‍ය බලය දරන අනු ආයතන නොමැතිවීම යන කාරණා දෙක. නමුත් ඔවුන් එතැනින් නවතින්නේ නැහැ. එතැනින් ඉදිරියට ගොස් ඊට පහළ මට්ටමේ ආයතන පැවතිය හැකි බව කියනවා. නමුත් ස්වාධිපත්‍ය ආයතන නොවෙයි. ඊළඟට කියනවා ඒකීය ක‍්‍රමයක් යන්නෙන් නීති සම්පාදනය කිරීමේ සක්‍යතාවය සහිත අනු ආයතන නොපවතින ක‍්‍රමයක් අදහස් කරන්නෙ නැහැ. ඒ වෙනුවට එවැනි අනු ආයතන පැවැත්ම පිළිගැනෙන අතරම ස්වාධිපත්‍ය දරන මධ්‍ය ඒකකයට අවශ්‍ය යැයි හැඟු ණු විට එවැනි ආයතනවල පැවැත්ම අහෝසි කිරීමට ද ඒකීය ක‍්‍රමය තුළ අවස්ථාව සැලසෙනවා. මෙවර ඒකීය කියනවා විතරක් නොවෙයි එය අර්ථ දක්වා තියෙනවා. මේ වාර්තා අනුව පළාත් සභා අවශ්‍ය නම් අහෝසි කරන්නත් පුළුවන්. දේශපාලන හේතු මත එය කරනවද නැද්ද කියන එක වෙන දෙයක්. නමුත් යෝජිත ක‍්‍රමයෙන් පුළුවන් පළාත් සභා ක‍්‍රමයම අහෝසි කරන්න. ඒ කියන්නේ පළාත් සභා ස්වාධිපත්‍ය ආයතන නොවෙයි. පළාත් සභාවලට ව්‍යවස්ථාදායක බලතල තියෙනවා. නමුත් ඒ ව්‍යවස්ථාදායක බලතල ක‍්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවට ද පුළුවන්. අවුරුදු 30ක බලය බෙදීමේ අත්දැකීම් අනුව ප‍්‍රායෝගික යෝජනා ඉදිරාපත් කෙරුවේ මහ ඇමැතිවරුය. බලය බෙදුණු විෂයන් පිළිබඳ ජාතික ප‍්‍රතිපත්ති හැදීමට ඔවුන් විරුද්ධ නැහැ. ඔවුන් ඉල්ලූ වේ එම ප‍්‍රතිපත්ති හදන එකට ඔවුන් සම්බන්ධ කරගන්න ලෙසයි. නමුත් ජාතික ප‍්‍රතිපත්ති සාදන මුවාවෙන් අපේ බලය ආපසු ලබා නොගන්නා ලෙස ඉල්ලූ වා.

x ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයේ දී සිද්ධ වෙන්නේ. රටේ මූලික නීතිය සකස් වීමයි. එතැන දී ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කෙරෙන පරිදි මේ නීති සකස්විය යුතුයි. මේ ගැන අවධානය යොමුකර තිබෙනවද?

ඔව් ජනවාරි 8වන දා පණිවුඩයත් ඒකයි. මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථා ව්‍යුහයක් හදන්න  ඕනා. මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී කිරීමට නම් අත්‍යවශයෙන්ම ව්‍යවස්ථාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී කළ යුතුයි. එහිදී පාර්ලිමේන්තුවට අසීමිත බලතල නොතිබිය යුතුයි. අද පර්ලිමේන්තුවේ පනතක් සම්මත වීමෙන් පසු එහි ව්‍යවස්ථානුකුලභාවය මතු කරන්න බැහැ. මූලික අයිතිවාසිකම්වලට විරුද්ධ වුණත් එය කරන්න බැහැ. ඉස්සර ජනාධිපතිවරයාට අසීමිත බලතල තිබුණා. අපි එය 19 වන සංශෝධනයෙන් වෙනස් කෙරුවා. ඊට පසු පාර්ලිමේන්තුවේ නියෝජනය වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී විය යුතුයි. අධිකරණයේ ස්වාධීනත්වය හදාගත යුතුයි. අනිත් එක තමයි මූලික අයිතිවාසිකම් සුරක්ෂිත වීම. මේ සාකච්ඡාවේදී අවධානය යොමු නොවූ එකක් එය. අපිට අද තියෙන්නේ සීමා සහිත අයිතිවාසිකම් ප‍්‍රමාණයක්. නමුත් ලෝකයේ අනිත් රටවල් ඒ පැත්තෙන් අපිට වඩා ගව්ගාණක් ඉදිරියෙන් ඉන්නවා. ඒ රටවල තිබෙන ප‍්‍රවණතාව සමාජ ආර්ථික සංස්කෘතික අයිතිවාසිකම් ආරක්ෂා වෙන පරිදි නීති සකස් කර තිබීම. සමාජ ආර්ථික අයිතිවාසිකම් යනු ජලය, සෞඛ්‍යට, ආහාර, අධ්‍යාපනය යන අයිති ලබා ගැනීමට ඇති හැකියා ශක්තිමත් කිරීමයි. ව්‍යවස්ථාව වඩාත් ආකර්ෂණීය වීමට නම් ඒ දේවලූ ත් ඇතුළත් විය යුතුයි.

සිතාරා කුලරත්න

ඡායා - අජිත් සෙනෙවිරත්න

Latest Posts

කතාබහ

අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ-පොලිස්පති අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ-පොලිස්පති 2018-01-17 - ලංකාවේ කිසිදු ස්ථානයක තමන් දැනුවත්ව දුරකථන ටැප්...
අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි 2017-12-22 - ජාමියා නලීමියා උසස් අධ්‍යාපන ආයතනයේ හිටපු ජ්...
මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා 2017-12-20 - උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න&...

විශේෂාංග

අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය 2018-01-15 - ශ්‍රී ලංකාව තරම් ජීවත් වීමට සුදුසු  පරිසරයක් ...
උඩප්පුවෙන් නැගෙන පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය උඩප්පුවෙන් නැගෙන  පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය 2018-01-15 - පාඩුකාරයෝ ගල්පර රහිත නොගැඹුරු මුහුදත්, පළල් ...
සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ 2018-01-11 - ජනවාරි 9 දා ජනවාරි 08 පිළිබඳව ජනමාධ්‍ය වාර්තා කළ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

Face Book Setup 01