සන්ධානය රැකගැනීමේ වගකීම ජනපතිත් අගමැතිත් සතුයි

කතාබහ
Typography

මහාචාර්ය ජයදේව උයන්ගොඩ

*මේ වෙලාවේ ලංකාවේ දේශපාලනයේ විවාදාම්පන්න තත්ත්වයක් තියෙන්නේ. රටේ නායකයා ලෙස ජනාධිපතිවරයා කුමක් කළයුතුයි කියලද ඔබ හිතන්නේ?

*හරි අමාරු ප‍්‍රශ්නයක්. දැන් දේශපාලනයේ වෙනස්වෙමින් යන ස්වභාවයක් තිබෙන බව පේනවා. ඒ වෙනස්වෙමින් යන ස්වභාවයේ ජනාධිපතිවරයාත් රංගධරයෙක්. දේශපාලන බලවේගවල බල තුලනයේ වෙනසක් සඳහා අවශ්‍ය පසුබිම සකස් වෙමින් යනවා. රනිල් වික‍්‍රමසිංහ - මෛත‍්‍රීපාල සන්ධාන ආණ්ඩුව සහ ඒකාබද්ධ විපක්ෂය අතර සම්බන්ධය අලූත් වෙමින් යන ලක්ෂණ දැනට තිබෙනවා. විශේෂයෙන් ළඟ එන පළාත් සභා මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වන මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාට මැතිවරණයේ දී පරාජය නොවීමට නම් ඒකාබද්ධ විපක්ෂය සමඟ සන්ධානයක් ඇති කරගත යුතු බව පේනවා.  ඒකාබද්ධ විපක්ෂය සමඟ සන්ධානයක් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා සිදු කරන බව වාර්තා වෙනවා. නමුත් එවිට සිදු වන්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ තිබෙන හවුල් ආණ්ඩු සම්බන්ධතාව දුර්වල වීමයි.

ජනාධිපතිවරයා නායකත්වය දෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂයත් අතර සන්ධානය සාර්ථක වෙයි කියන ලකුණු තවම නැහැ. මට පෙනෙන හැටියට ඒකාබද්ධ විපක්ෂය විසින් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පිළිගත නොහැකි කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර එතුමාව දුර්වල කර හැකි නම් සන්ධානයකට ගැනීමටයි උත්සාහ කරමින් සිටින්නේ. ඒකාබද්ධ විපක්ෂය අපිට මෛත‍්‍රීපාලගේ සහයෝගය අවශ්‍ය නැහැ. අපි වෙනම ගිහින් අපේ ශක්තිය පෙන්විය යුතුයි කියන තැන ඉන්න බවයි පේන්නේ. දැනට එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත‍්‍රයේ තිබෙන්නෙත් එයයි. මේ තත්ත්වය යටතේ මෛත‍්‍රීපාල මහතාට ඒකාබද්ධ විපක්ෂය සමඟ කේවල් කිරීමට සිදු වන්නේ ඉතාම දුර්වල තත්ත්වයක් යටතේ. මහින්ද රාජපක්ෂ මහතා එය දන්නවා. ඔය තත්ත්වය යටතේ  පළාත් සභා මැතිවරණය ආදේශ කරගෙන ලංකාවේ ප‍්‍රධාන දේශපාලන බලවේගවල සම්බන්ධතා අලූත් කිරීමේ ක‍්‍රියාවලියක් සිදු වෙමින් පවතින බව පේනවා. එය බොහෝවිට කුළුගැන්වෙන්නේ පළාත් සභා මැතිවරණයේ ප‍්‍රතිඵල පැමිණි පසුයි. එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ යන සියලූ දෙනා පළාත් සභා මැතිවරණයෙන් පසු තමන්ගේ බලය තක්සේරු කිරීමට බලයි. එවිට අලූත් ආකාරයේ දේශපාලන බලවේගවල යළි එකතුවීමක් අපිට දකින්න පුළුවන් වෙයි. එතකල් අපිට බලාගෙන සිටීමට සිදු වෙනවා. ඒ අතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය අත්හිටු වෙනවා. දැන් දේශපාලන න්‍යාය පත‍්‍රයේ ප‍්‍රමුඛතාවය එය නොවෙයි.

*සම්මුතිවාදී ආණ්ඩුවේ සාධනීය ලක්ෂණ රැකගන්නේ කොහොමද?

*සාධනීය ලක්ෂණ රැකගන්න නම් ජනාධිපතිතුමත් අගමැතිවරයාත් නායකත්වය දෙන දේශපාලන බලවේග දෙක ඉදිරියට යා යුතුයි. යම් යම් හේතු උඩ එම සන්ධානය රැකගෙන දේශපාලන වශයෙන් ඉදිරියට යාමට සූදානම අඩු බව පේනවා. සම්මුතිවාදී සන්ධානය දැන් දුර්වල වී තිබෙනවා. එය ලංකාවේ දේශපාලන ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා යහපත් තත්වයකට වඩා අයහපත් තත්ත්වයක් නිර්මාණය කරන්නක්. එයින් වාසි ලබා ගන්නේ ඒකාබද්ධ විපක්ෂයයි. එය  ඕනෑම දේශපාලන බලවේගයක ස්වභාවය. එම නිසා ජනාධිපතිතුමත් අගමැතිවරයාත් යන දෙදෙනාම තමන්ගේ සන්ධානය ආරක්ෂා කර ගැනීමට මුල සිටම අවශ්‍ය තරම් පියවර නොගැනීම සම්බන්ධ වගකීම බාරගත යුතුයි.

*සම්මුතිවාදී දේශපාලනයේ සමාජ  සාධනීය ලක්ෂණ රැසක් තිබෙනවා.  උදාහරණයකට අලූත් ව්‍යවස්ථාවක් ගෙන ඒම. මේ මොහොතේ සාධනීය ලක්ෂණ රැකගැනීම කෙරෙහි පෙනී සිටින්නේ සුළු පිරිසයි.   එයට හේතුව ලෙස දකින්නේ කුමක්ද?

*පසුගිය කාලයේ අලූත් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ක‍්‍රියාවලියේ ඉදිරියෙන්ම සිටියේ එක්සත් ජාතික පක්ෂයයි. ජනාධිපතිතුමාගේ පාර්ශ්වයේ සහ අගමැතිතුමාගේ පාර්ශ්වයේ මත දෙකක් තිබුණා. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ශ්ව දැක්කේ ජනාධිපති ක‍්‍රමය වෙනස්කරන, බලය විමධ්‍යගත කිරීම ශක්තිමත් කරන, මැතිවරණ ප‍්‍රතිසංස්කරණ අඩංගු අලූත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන මතය. ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් කිව්වේ අලූත් ව්‍යවස්ථාවක් නොවෙයි ජනාධිපතික‍්‍රමය අහෝසි නොකරන ව්‍යවස්ථා සම්පාදනයක්. එතැන දී එතුමාගේ තර්කය වුණේ ජනමත විචාරණයක් අවශ්‍ය නොකරන ව්‍යවස්ථා සංශෝධනයක්. අගමැතිවරයාගේ තර්කය වුණේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් පමණක් මදි ජනමත විචාරණයකුත් අවශ්‍ය බවයි. එතැන දී මේ පාර්ශ්ව දෙකට එකමතිකත්වයකට පැමිණීමට බැරිව තිබෙනවා. සම්මුතිවාදී ආණ්ඩුවක පාර්ශ්ව අතර වෙනත් ස්ථාවර තිබුණත් ඔවුන් සාකච්ඡා කර යම්කිසි සම්මුතියක් ඇතිකර ගත යුතු බව තිබිය යුතු ලක්ෂණයක්. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කාර්යයේ දී දෙපාර්ශ්වයම සම්මුතිවාදී බව ප‍්‍රකාශ කළේ නැහැ.

පසුගිය කාලයේ අපි දැක්කා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අතුරු වාර්තාව පැමිණි මොහොතේ ඒ පිළිබඳ විශාල විරෝධයක් පළ වුණා. ඒ විරෝධය පළ වුණේ සිංහල බෞද්ධ ජාතිකවාදී බලවේග සහ ඒකාබද්ධ විපක්ෂයෙන්. නමුත් ඒ විරෝධය එතරම් සාර්ථක වුණේ නැහැ. ඒගොල්ලෝ විශාල මහජන විරෝධයක් ගොඩ නැගේවි කියලා බලාපොරොත්තු වුණත් එවැනි මහජන විරෝධයක් ගොඩ නැගුණේ නැහැ. එයට හේතුව භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් කල තර්කවල එතරම් හරයාත්මක තර්ක  නොතිබීම.  ඔවුන් එක්තරා ආකාරයක හැඟීම්බර සහ දේශපාලන අනාරක්ෂිත භාවය පිළිබඳ හැඟීම්වලින් කතා කළත් මහජනතාවට ඒත්තු ගැන්විය හැකි තර්ක ඒ තුළ තිබුණේ නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ විවේචනයෙත් එම දුර්වලතාව තිබුණා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මුල් අවධිය අවසන් වී  දෙවන අවධියට යාමට අවස්ථාව පැමිණ  තියෙනවා. ඒ කියන්නේ කොහොමද අලූත් ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය ඉදිරියට ගෙනයන්නේ, ජනතාවට  අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය ඇයි කියන එක ජනතාවට පෙන්නුම් කර දීම. ඊළඟට අතුරු වාර්තාවේ  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික තේමාවන් පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ දරන එක් එක් ස්ථාවර අන්තර්ගත වුණා. මේ අතුරු වාර්තාව දේශපාලන වශයෙන් හොඳ දෙයක්.  අතුරු වාර්තාවෙන් යෝජනා වුණේ එක එක දේශපාලන පක්ෂ අතර සංවාදය කේවල් කිරීම තුළින් අතරමඟ සමාදානවලට එළඹිය හැකියි කියලයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයේ දී   ඕනෑම රටක විවිධ දේශපාලන බලවේග යම් යම් ස්ථාවර පිළිබඳ සාකච්ඡ්ා කර අතරමැදි සම්මාදානවලට එළඹීමක් තමයි සිදුවන්නේ. පළාත් පාලන මැතිවරණය අවසන් වුණාට පසුව අඩුම වශයෙන්  ලංකාවේ දේශපාලන බලවේගවලට

පහුගිය සමයේ සිදු වූ අඩුපාඩුත් හදාගෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය නැවත වරක් දේශපාලන න්‍යායපත‍්‍රයට ගෙන ආ යුතුයි. එය නැවත වරක් දේශපාලන න්‍යාය පත‍්‍රයට ගෙන ඒමට නම් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් සම්මුතිවාදී ලෙස වැඩකිරීම වැදගත් වෙනවා.

මේ ආණ්ඩුවේ ලක්ෂණයක් වන්නේ බල මධ්‍යස්ථාන දෙකක් පැවතීම. ඒක හොඳ දෙයක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් තුළ බල මධ්‍යස්ථාන දෙකක් තිබෙන විට එකක් අනෙකට සංවරණයක් ලෙස ක‍්‍රියා කරන්න පුළුවන්. පසුගිය කාලයේ එය බොහෝ දුරට ක‍්‍රියාත්මක වුණා. නමුත් දෙපාර්ශ්වයට එම සාධනීය ලක්ෂණය තමන්ගේ ආණ්ඩුවේ සාධනීය මූලධර්මය බවට පත්කර ගැනීමට බැරිව තිබෙනවා. 2015 ජනවාරි මාසයේ ජනතාවගෙන් වරමක් ලැබුණු ඒ ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කෙසේද ප‍්‍රශ්න විසඳාගෙන ඉදිරියට යන්නේ කියන එක ගැන පළාත් පාලන මැතිවරණයෙන් පසුව මේ දෙපාර්ශ්වය ටිකක් බැ?රුම්ව කලපනා කළ යුතුයි. 

*යහපාලන ආණ්ඩුවට ජාතිවාදී බලවේගවලට මුහුණ දීමට නොහැකි වී තිබෙනවා. එයට එරෙහිව යහපාලන පිළිබඳ අදහස  සමාජය තුළ ජනප‍්‍රිය කරවන්නේ කෙසේද?

*මේ ආණ්ඩුවේ යහපාලනය පිළිබඳ තිබූ වාර්තාව එතරම් ශක්තිමත් නැහැ. පසුගිය කාලයේ මහ  බැංකුවේ බැ`දුම්කර පිළිබඳ ප‍්‍රශ්නයේ දී එක්සත් ජාතික පක්ෂයෙ තිබු යහපාලන වාර්තාව ඉතාම දුර්වල වුණා. දේශපාලන බලවේග අතර එතරම් වෙනසක් නැති බව ඔවුන්ම ඔප්පු කළා. යහපාලනය පිළිබඳ මේ ආණ්ඩුවේ කියවීම්වල ඇති වූ පසුබෑම යළි ගොඩ නැංවීම පහසු නැහැ. මේ පසුබෑම නිසාම ලංකාවේ සාමාන්‍ය පුරවැසියාගේ ප‍්‍රතිශේධනාත්මක  ප‍්‍රතිචාර ඇති වී තිබෙනවා. ඒ කියන්නේ දූෂණය නැති කිරීමේ පොරොන්දුව මත බලයට පත්වෙන ආණ්ඩුවේ අයත්  දූෂණයේ යෙදෙනවා කියන මහා පරිමාණ විවේචනය දැඩි ලෙස සමාජයේ තියෙනවා. එම චෝදනාව ජනාධිපතිවරයා ප‍්‍රබල ලෙස එල්ල වෙලා නැහැ. නමුත් ජනාධිපතිවරයා වටේ සිටින යට ඒ බේරිල්ල ලැබී නැහැ. එතුමා එක්ක සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ට ගිය ආණ්ඩුව යටතේ දූෂණ චෝදනා තියෙනවා.  දූෂණය පිළිබඳ ප‍්‍රශ්නය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අතිශයින්ම බැ?රුම්  විසඳීමට දුෂ්කර සංකීර්ණ ප‍්‍රශ්නයක් වී තිබීම ලංකාවේ  විතරක් නොවෙයි ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය වැනි දකුණු ආසියාතික රටවලත් අනිකුත් රටවලත් තිබෙන ලක්ෂණයක්. එයට හේතුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයම එහෙම නැත්තම් දේශපාලනයම දූෂණයේ මාධ්‍යයක් බවට පත්වෙලා. දූෂණය සහ අයුතු ලෙස ධනය ඉපයීම සහ දේශපාලන බලය අතර  අලූත් සන්ධානයක් ඇතිවී තිබෙනවා. අපි පසුගිය කාලයේ සිතුවේ ආණ්ඩු කරන පිරිස වෙනස් කිරීම තුළින් එය වෙනස් කිරීමට  පුළුවන් බවයි.  නමුත් දැන් අපට පේනවා එලෙස ආණ්ඩු වෙනසකින් පමණක් විසඳිය හැකි දෙයක් නොවන බව.  එය විසඳිය හැක්කේ කෙසේද යන්න පිළිබඳ විකල්පයක් පෙනෙන්නෙත් නැහැ.

* ජනාධිපතිවරයාට ඡන්දය ලබාදුන් හැට  දෙලක්ෂයේ ජනතාවට ඔහු විධායකයට පත් වුණාට පසු ජනාධිපතිවරයාගේ කටයුතුවලට බලපෑමක් ඇති කිරීමට නොහැකි වුණා. ඒ කියන්නේ සෑම  විටම විධායකය සමඟ සම්මුතියක් ඇති කරගැනීම අර්ථ විරහිත බවද?

*එය නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තිබෙන ගැටලූවක්. මේ ආණ්ඩුවේ තිබෙන එක ලක්ෂණයක් තමයි මේ ආණ්ඩුව ප‍්‍රජා  පිඩක මර්දනකාරී ආණ්ඩුවක් බවට පත්වීමට සූදානමක් හෝ හැකියාවක් නොමැතිවීම. මර්දනකාරී දේවල් පසුගිය කාලයේ කළා. නමුත් ඔවුන්ට තිබෙන ශක්‍යතාවය අඩුයි. මේ ආණ්ඩුව සාධනීය වශයෙන් ලබපු දේශපාලන ජයග‍්‍රහණ අඩුයි. මම නිතරම කියන දෙයක් මේ ආණ්ඩුවේ දේශපාලන ජයග‍්‍රහණ කියන්නේ නිෂේධනීය ජයග‍්‍රහණ. ඒ කියන්නේ යම් යම් දේවල් නොකර ඉඳීමෙන්  ලබන යහපත් දේවල්. ඒක මේ ආණ්ඩුවේ තිබෙන ප‍්‍රධාන දුර්වලකමක්. ඊළඟ පළාත් පාලන මැතිවරණයේ දී මෙය බලාගන්න පුළුවන්. ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී සන්ධානයට ලැබුණු තරුණ ඡන්ද මෙවර නොලැබෙන්න පුළුවන්. 2015 මැතිවරණයේ දී විශාල වශයෙන් අලූත් ඡන්ද දායකයෝ වෙනසක් සඳහා ඡන්දය ලබා දුන්නා. මේ මැතිවරණයේ දී මිලියනයක් පමණ අලූත් ඡුන්ද දායකයෝ සිටිනවා. තරුණ ඡන්ද දායකයෝ මිලියන තුනක් හතරක් රටේ ඉන්නවා. ඒ අය බොහෝ වේලාවට වෙනසක් බලාපොරොත්තු වෙනවා. මේ අයගෙන්  බලාපොරොත්තු වන වෙනස සිදු වෙන්නෙත් නැහැ. බලයේ ඉන්න පිරිසට අමතරව වෙනසක් සඳහා කවුරුවත් පොරොන්දු වෙන්නෙත් නැහැ. ඒකාබද්ධ විපක්ෂය වෙනසක් සහිත අය නොවෙයි. ඒකාබද්ධ විපක්ෂයේ තිබෙන ප‍්‍රධාන දේශපාලන දුර්වලතාව  ඔවුන් දේශපාලන වශයෙන් ප‍්‍රතිසංස්කරණය වී නොතිබීම. ඔවුන්ගේ ඊළඟ ආණ්ඩුවක් පසුගිය

ආණ්ඩුවට වඩා නරක ආණ්ඩුවක් වෙන ලක්ෂණ තිබෙනවා. ඔවුන්ට ස්ථාවර වුණු ජන්ද ප‍්‍රමාණයක් තිබෙනවා. නමුත් තරුණ පිරිස ඒකාබද්ධ විපක්ෂයටවත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයටවත් ඡන්දය ලබා දෙයි කියා හිතන්න අමාරුයි.

සිතාරා කුලරත්න

ඡායා - ගිතේන්ද්‍ර ලියනගේ

Latest Posts

විශේෂාංග

ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...
එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට 2018-04-25 - දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ දිවයිනේ ප්‍රධාන...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...