මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා

කතාබහ
Typography

උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න 

ශ‍්‍රීලනිපය ඒකාබද්ධය සමඟ හවුල් නොවන බව පැහැදිලියි. එහෙත් ඒකාබද්ධය සමඟ සිටින පාක්ෂිකයන් ශී‍්‍රලනිපය දිනාගත යුතුයි. මේ සඳහා තිබෙන වැඩපිළිවෙළ කුමක්ද?

අපි පවතින යථාර්ථය කුමක්ද කියලා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ට පැහැදිලි කරලා දෙනවා. ඒ තුළ බොහොමයක් ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අප සමඟ එකතු වෙලා තිබෙනවා. නාම යෝජනා බාර දීමේදීත් එය පැහැදිලි වුණා. ජනප‍්‍රිය ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් කිසිම කෙනෙක් ඒකාබද්ධ විපක්ෂයේ නාමයෝජනාවල නැහැ. ඒ නිසා අද ඒකාබද්ධ විපක්ෂය සමඟ සිටීම පක්ෂය සහ මහජනතාවත් අර්බුදයට යන කාරණයක් බව ජනතාව තේරුම් අරගෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතු වෙලා තිබෙනවා. අනෙක් කාරණය ඉදිරි මාස දෙක තුළ දී  ප‍්‍රාදේශීය සභා මැතිවරණ ව්‍යාපාරය ක‍්‍රියාත්මක කරගෙන යන විට තවදුරටත් මේ කරුණු තහවුරු වෙනවා. ඉන් පස්සේ  සියයට සියයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතු වන බව අපි විශ්වාස කරනවා. අපි ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ලෙස අත ලකුණින් තරග වදිනවා. ඒ නිසා පැරණි ශ‍්‍රීලනිප පාක්ෂිකයන් අත ලකුණ සමඟ එකතු වෙන්න කැමැත්තක් තිබෙනවා. මේ නිසා අපි කරන කරණු පැහැදිලි කිරීම් තුළ පක්ෂයේ වැඩපිළිවෙල පැහැදිලි කිරීම තුළ සහ ඉදිරි ආණ්ඩුවක් ජයග‍්‍රහණය කිරීම සඳහා අවශ්‍ය වටපිටාව පැහැදිලි කිරීම සහ ඒකාබද්ධ විපක්ෂයේ සිටින අයට අනාගතයක් නැහැ කියන පැහැදිලි කිරීම තුළ ශ‍්‍රීලනිපයට අතිබහුතරය දිනා ගන්න පුළුවන්කම තිබෙනවා.

මෙම මැතිවරණයේ දී පළාත් සභාවලට තිබෙන වැඩ කොටස ඔබ තේරුම් ගෙන සිටින්නේ කොහොමද?

ඡන්දය වෙනුවෙන් පළාත් සභාවලට ලොකු වැඩක් කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. නමුත් පළාත් සභා නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන්ට මේ මැතිවරණය ජයග‍්‍රහණය කිරීම සඳහා විශාල වැඩකොටසක් කරන්න පුළුවන්.

තනිකර ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හෝ තනිකර එජාප ආණ්ඩුවක් රහිතව සම්මුතිවාදී දේශපාලනය යම් ප‍්‍රමාණවත් කාලයක් පවත්වා ගත යුතු බවට ජනාධිපතිවරණයේ දී  ඡුන්දය ලබා දුන් 62 ලක්ෂයේ අදහසයි. මේ ගැන දැන් ශ‍්‍රීලනිපය හිතන්නේ කුමක්ද?

62 ලක්ෂයේ ජනතාව ජන්දය දුන්නේ ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන කතාවට වඩා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය පරාජය කිරීම සඳහා. එහි දී එක්සත් ජාතික පක්ෂය ප‍්‍රධාන පාර්ශ්වකරුවෙක් වුණා. තවත් කුඩා කුඩා  දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන, පුරවැසි බලවේග ආදී කණ්ඩායම් විශාල ගණනක් මේ සඳහා එකතු වුණා. ඒ සඳහා සියලූ දෙනා පෙළ ගැහිලා ජනවාරි 08 වනදා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට සහයෝගය දුන්නා. එතනින් පසුව දේශපාලන පක්ෂ වෙන වෙනම ජන්දයට මුහුණ දුන්නා. නමුත් මහමැතිවරණයේ දී නියත ජයක් එක දේශපාලන පක්ෂයකට හෝ නොලැබුණු නිසා ජනාධිපතිතුමාට ආණ්ඩුවක් හදන්න සිදු වුණා ජනාධිපතිවරයා හැටියට.

ඒ නිසා 62 ලක්ෂයේ ජනතාවගේ අපේක්ෂාව වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන ක‍්‍රමය බිඳ දාලා ඊට වඩා බොහොම සාධාරණ වුණ විනිවිද පේන, ඒ වගේම අපි එදා ඉල්ලා සිටි ආකාරයේ ස්වාධීන කොමිෂන් සභා, සමාජය තුළ තිබෙන භයානක තත්ත්වයන් වෙනස් කිරීම ආදී කාරණා ජනතාවගේ ඉල්ලීම් මත බොහෝ දුරට ඉටු වී තිබෙනවා. එය කාටවත් නැහැ කියන්න බැහැ. ඒ වගේම විදේශීය රටවල අතපෙවීම් සහ බලපෑම්, මානව හිමිකම් සම්බන්ධයෙන් තිබූ ප‍්‍රශ්න මේ සියල්ල ඉවත් කර තිබෙනවා. රජයක් ලෙස ගත් විට ජනාධිපතිතුමා කණ්ඩායම් දෙකම එකතු කරගෙන ජනවාරි මාසේ 8 වනදා බලාපොරොත්තු වූ අපේක්ෂාවන් ඉටුකර තිබෙනවා. නමුත් ආර්ථිකමය වශයෙන් ගත් විට රජය කරගෙන යාමේදී මැති ඇමතිවරු සහ විවිධ කණ්ඩායම් කරගෙන යන වැඩපිළිවෙල පිළිබඳව සමාජය තුළත් සමාජයෙන් බැහැර දේශපාලන අධිකාරිය තුළත් විශාල විවේචනයක් තිබෙනවා. ඒ නිසා විවේචනයෙන් තොරව මීට වඩා පොදු සම්මුතිභාවයකින් මේ ආණ්ඩුව ඉස්සරහට ගෙනයනවා නම් මේ අවුරුදු 5 ම ගෙන යා යුතුයි. නමුත් එහෙම  වුවමනාවක් තියෙනවාද නැද්ද කියන කාරණය ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කරන කියන ක‍්‍රියාවලින් අපිට පැහැදිලි වෙන්නේ නැහැ. නමුත් තමන්ගේ පක්ෂය, තමන්ගේ ජනප‍්‍රියතාවය, තමන්ගේ ජයග‍්‍රහණය කියන කාරණා මත ඉන්නේ නැතුව පොදුවේ රට ඉස්සරහට ගෙනයන්න අවශ්‍යයි කියන කාරණය මත ඉඳලා වැඩකළොත් මම හිතනවා මීට වඩා හොඳ සම්මුතිවාදී තත්ත්වයක් තුළ ආණ්ඩුවට ඉස්සරහට යන්න පුළුවන් වෙයි. නමුත් එසේ නොවුණොත් ඉදිරි අවුරුදු දෙක ඒ එකඟතාවයෙන් යන්න බැරි වෙයි. හේතුව විශාල ජන විරෝධයන් එනවා. හැමදාම උද්ඝෝෂණ, වර්ජන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්ෂණ වුණාට ඒවා හැමදාම තියෙනවා කියන්නේ ඒ අයගේ ඉල්ලීම් ඉටු වෙන්නේ නැහැ කියන කාරණාව. ඒ නිසා ආණ්ඩුවට ප‍්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් තිබිය යුතුයි. නමුත් සමහර දේවල් පිළිබඳව කිසි අධ්‍යයනයක් නැහැ කියලා තමයි පෙනෙන්න තියෙන්නේ. රටට සාර්ව ආර්ථික වැඩපිළිවෙලක් තුළින් ස්ථාවර සමාජයක් ගොඩනැගිය යුතුයි.

ඒ නිසා අපි කියන්නේ මේ රජය පවත්වා ගෙන යනවා නම් ජනතාවගේ ප‍්‍රශ්නවලට විසඳුම් දෙමින් ඉදිරියට ගෙන යා යුතුයි. ඒ වගේම 2015 ජනවාරි 08 වෙනස කරන්න තරුණ කණ්ඩායම්වලින් විශාල සහයෝගයක් ලැබුණා. නමුත් අද ඒ තරුණයන්ගේ අපේක්ෂාව වෙනස් වෙලා තියෙනවා. තරුණයන් රැුකියාවක්, ආධාරයක් කියන තැනට වඩා තරුණයන් ඉතා යුක්තිසහගත සහ තාර්කික විදිහට හිතන කණ්ඩායමක්. තරුණ ජනමතය ආණ්ඩුවෙන් ඉවත් වෙන එකක් නැහැ, නමුත් ප‍්‍රශ්න තියෙනවා. ඒ නිසා මේ මැතිවරණයේ දී අපේ සටන් පාඨය වෙන්නේ මේ ප‍්‍රශ්නවලට උත්තර සොයාගෙන, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තිය තුළ ඉඳගෙන මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයන්න. 

සම්මුතිවාදී ආණ්ඩුවේ ප‍්‍රධාන පොරොන්දු කිහිපයක් ඉටු කිරීමට තිබෙනවා. නව ව්‍යවස්ථාව, පසුගිය රජයේ වංචා දූෂණ විමර්ශනය, ඝාතන පිළිබඳ පරීක්ෂණ සහ යහපාලනය අර්ථ පූර්ණ කිරීම ඒවා අතරින් කිහිපයක්. මේ ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් ඔබ දරන ආකල්පය කුමක්ද?

අපි කියන්නේ ගමක පොඩි හොරකමක් වුණාම ලොකු විමර්ශනයක් කරනවා. පොලිස්පතිවරයා පවා පත් කළේ කවදාවත් නැතුව ජනාධිපතිවරයා නෙවෙයි, ව්‍යවස්ථාදායක සභාවේ ජන්දයෙන්. ඒ නිසා පොලිස්පතිවරයා අපක්ෂපාතීව, කාර්යක්ෂමව මේ තියන දේවල් සම්බන්ධයෙන් වහා වහාම අනිවාර්යයෙන්ම විමර්ශන කටයුතු අවසන් කළ යුතුම වෙනවා. ඒ විමර්ශන කටයුත්තෙන් බලාපොරොත්තු වෙන කාරණය අපි බලාපොරොත්තු වෙන දේ වෙන්නත් පුළුවන් නොවන්නත් පුළුවන්. නමුත් ඒ කටයුතු ඉවර කරනවා නම් මේ චෝදනාව එන්නේ නැහැ. ඒත්  ප‍්‍රමාද කිරීමේ ප‍්‍රශ්නයක් තියෙනවා.  ඒ ගැන අපි කණගාටු වෙනවා.

අද වන විට ආණ්ඩුවට තිබෙන ලොකුම අභියෝගය එල්ල වෙන්නේ ඒකාබද්ධ විපක්ෂයෙන් නෙවෙයි. ජාතිවාදයෙන්. එය ජයගත හැකි ප‍්‍රචාරණ යාන්ත‍්‍රණයක් ශ‍්‍රීලනිපයට තිබෙනවද?

 ජාතිවාදය, වර්ගවාදය, ආගම්වාදය ලංකාවේ දේශපාලනයට සුද්දාගේ කාලයේ සිටම ආව දෙයක්. හේතුව වුණේ ඉන්දියාව, ලංකාව කියන්නේ ආගම සහ භාෂාමය චින්තනයක් පදනම් කරගත්, සංස්කෘතියක් තිබෙන රටවල්. මේ රටවල තිබෙන සාමාන්‍ය ජනමූල ලක්ෂණය වෙන්නේ විවෘත, විචාරාත්මක ගතිය අඩු වීම. ඒ නිසා තිබෙන්නේ ආවෘත වුණ සමාජයක්. ඒ සමාජය තුළ කෙනෙක් තමන්ගේ ආගම, සමාජය, ප‍්‍රදේශය පාවිච්චි කරලා ලොකු හැඟීම් ඇවිස්සීමක් කරලා තමන්ගේ වාසියට පාවිච්චි කරනවා. අදටත් ඒක අරගෙන යනවා. එතන දී සිංහල ද, දෙමළ ද, මුස්ලිම් ද කියලා ප‍්‍රශ්නයක් නැහැ, ඒ හැමකෙනෙක්ම තමාගේ දේශපාලන ආයුධයක් හැටියට, මැතිවරණ ආයුධයක් හැටියට, ජන්ද පදනමේ ආයුධයක් හැටියට වර්ගවාදය අන්තවාදය පාවිච්චි කරනවා. ඒක වැළැක්වීම සඳහා මේ රජය අමාත්‍යාංශ ලබා දීමේ දී, සංවර්ධන කටයුතු කිරීමේදී, නිලතල ලබා දීමේදී විශේෂයෙන්ම ජනාධිපතිතුමා විසින් කරන සංචාරවල දී එතුමා ආගම ගැන, භාෂාව ගැන විශේෂත්වයක් කරලා කතා කරලා නැහැ. ඒක වචනයට සීමා වෙන්නේ නැතුව ඒ අවශ්‍ය වැඩකටයුතු කරගෙන යනවා. නමුත් එතුමා තමන්ගේ ඡුන්ද පදනම, දේශපාලන ප‍්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා ආගම, භාෂාව භාවිතා කරලා නැහැ. ඒ ආගම භාෂාව අවශ්‍යයි, මේ රජය අන්තවාදය පරාජය කිරීම සඳහා උපරිම උත්සහයක් අරගෙන තිබෙනවා. ඒ නිසා  විශාල සමාජමය වෙනසක් ඇති වී තිබෙනවා. මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ උත්තරයක් ජනතාව ලබා දෙයි.

පළාත් පාලන ඡන්දයට ගම නගා සිටුවන තේමාවක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා ශ‍්‍රීලනිපයට කෙබඳු වැඩ පිළිවෙළක්ද තිබෙන්නේ?

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කර තිබෙනවා. ඒ ගම හදන වැඩපිළිවෙල. ගමේ අපි ගම හදමු කියන තේමාවත් එක්ක අපි ඉදිරියට යනවා. මේ මැතිවරණයේ දී ගමේම කෙනෙක් නියෝජිතයා ලෙස පත් කර ගැනීමේ හැකියාව තිබෙනවා. දැනට ගම්වල වඩා ජනප‍්‍රිය, නඩු නැති චෝදනා නැති, හොරමැරකම්වලට සම්බන්ධ නැති ඉතාමත්ම හොඳ කණ්ඩායමක් අපි සමඟ එකතු වී තිබෙනවා.

ප‍්‍රදීපා වීරසේකර

Latest Posts

විශේෂාංග

ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...
එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට 2018-04-25 - දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ දිවයිනේ ප්‍රධාන...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...