12 සාග් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලාංකිකයන්ගෙන් වාර්තා පිට වාර්තා

ක්‍රීඩා
Typography

ඉතිහාසයේ ක්‍රීඩකයකු දිනාගත් වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව සියතට ගනිමින් මැතිව් අබේසිංහ, ගුවහාති පිහිනුම් තටාකයේදී අනසක පැතිරවීය. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 7ක් දිනා ගනිමින් මෙම වාර්තාව පිහිටු වීමට මැතිව් සමත් විය.

වසර 25ක පෙර පිහිටුවා තිබූ වාර්තාවක් අභිබවා යාමේ සුවිශේෂී මොහොතකි. එනම් 1991දී ජුලියන් බෝලිං විසින් රන් පදක්කම් 6ක් දිනා පිහිටුවා තිබූ වාර්තාව අභිබවා යමින් රන් පදක්කම් 7ක් සමග වාර්තාව සියතට ගැනීමට මැතිව් සමත් වීමයි.

එමෙන්ම දකුණු ආසියානු ක්‍රීඩා උලෙළක ක්‍රීඩිකාවක් දිනාගත් වැඩිම රන් පදක්කම් ප්‍රමාණය වාර්තා කළ මචිකෝ රහීම් රන් පදක්කම් 5ක් දිනාගත් අතර එය 2006 දී සිය වැඩිමහල් සොයුරිය මයූමි රහීම්ගේ රන් පදක්කම් 4 අභිබවා යෑමකි.

මීටර් 200 ඒකළ මෙඩ්ලී ඉසව්ව මිනිත්තු 2:09.63කින් ද මීටර් 100 නිදහස් ආර තරගය තත්පර 51.25කින් ද නිමාකරමින් මැතිව් අබේසිංහ ඊයේ (10) රන් පදක්කම් දිනා ගත්තේ ආසියානු තරග වාර්තා පොතට තවත් වාර්තා දෙකක් එක් කරමිනි. මීටර් 100 නිදහස් ආර තරගයේ රිදී පදක්කම දිනා ගැනීමට චෙරන්ත ද සිල්වා සමත් විය.

එසේම කිමිකෝ රහීම් මීටර් 100 නිදහස් ආර තරගය තත්පර 57.20කින් නිමකර රන් පදක්කමක් දිනා ගත් අතර එම ඉසව්වවේ රිදී පදක්කම මචිකෝ රහීම් තත්පර 59.64කින් සතු කරගත්තාය.

හිමාෂ හේෂාන්, මොහොමඩ් අෂ්රාෆූ, විනෝද් සුරංජය හා ෂෙහාන් අඹේපිටිය එක්ව 100x4 සහාය දිවීමේ තරගය තත්පර 39.96කින් නිමාකරමින් රන් පදක්කම ශ්‍රී ලංකාව ඉදිරියේ සටහන් කිරීමට සමත් විය.

එසේම කාන්තා 100x4 සහාය දිවීමේ තරගය තත්පර 45.50කින් නිමා කරමින් රන් ජයග්‍රහණය ලබා ගැනීමට ලක්ෂිකා සුගන්ධි, එන්.සී.ඩී. ප්‍රියදර්ශනී, ශාමිලා ශිවන්ති හා රුමේෂිකා රත්නායක ක්‍රිඩිකාවෝ සමත් විය.

මීටර් 800 විනාඩි 1:51.46කින් නිම කළ ඉදුනිල් හේරත් රන් පදක්කම දිනාගත් අතර පිරිමි රිටි පැනීමේ ඉසව්වෙන් ඉෂාර සඳරුවන් මීටර් 4.90ක නිමා කර රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

මේ වන විට ශ්‍රී ලංකාව රන් පදක්කම් 24 ක්, රිදී පදක්කම් 46 ක් සහ ලෝකඩ පදක්කම් 63 ක් සමගින් මේ වන විට ශ‍්‍රී ලංකාව දිනා සිටින සමස්ත පදක්කම් සංඛ්‍යාව 133 ක් ලබා ගනිමින් දෙවන ස්ථානය ලබා ගැනීමට සමත්ව සිටී.

Latest Posts

Face Book Setup 01