T20 ලෝක කුසලාන වංශකතාව

ක්‍රීඩා
Typography

ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාව ලොව ජනප‍්‍රියත්වයේ හිනිපෙත්තක පැවති අවධියේම ‘ජර්සි ක‍්‍රිකට්’ ලෙසින් නම් ලබමින් සීමිත පන්දුවාර ක‍්‍රිකට් තරග සංකල්පය ලොවට පැමිණියාක් මෙන් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරග සංකල්පය ලොවට පැමිණෙන්නේ 2000 වර්ෂයේ දී පමණ එංගලන්තයේ ප‍්‍රාන්ත තරගාවලියේ නිර්මාණය වී තිබූ හිස්තැනකට පින්සිදු වන්නටය.

එදා ඒ හිඩැස පුරවන්නට ප‍්‍රාන්ත කණ්ඩායම් අතර එක් ඉනිමක් පන්දු වාර 20කට සීමා කරමින් බිහි වූ විස්සයි විස්ස තරග සංකල්පය එදා වෙනස්ම ආකාරයක අත්දැකීමක් විය. එංගලන්ත ක‍්‍රිකට් කවුන්සිලයට ස්ටුවර්ට් රොබට්සන් නමැති නිර්මාණශීලී අලෙවිකරණ අධ්‍යක්ෂවරයා කරන ලද යෝජනාවක් අනුව බිහි වුණු එම තරගාවලිය ලොව පුරා ක‍්‍රිකට් ලෝලීන් උමතු කරවන මට්ටමේ තරග ඉසව්වක් බවට පත්වෙනු ඇතැයි හෙතෙම කිසි විටකවත් නොසිතන්නට ඇත. එදා විස්සයි විස්ස තරග සංකල්පයට ඔවුන් ආදර්ශ කරගත්තේ පාපන්දු ක‍්‍රීඩාවයි. අද වන විට ලොව පුරා ක‍්‍රිකට් වේගයෙන් ප‍්‍රචලිත වීමට විස්සයි විස්ස සංකල්පය ගාමක කාර්යභාරයක් කරන බව නොරහසකි.

වර්ෂ 2005 පෙබරවාරි 17 දින ඕක්ලන්තයේ, ඊඞ්නි පාර්ක් පිටියේ දී පැරණි ක‍්‍රමයට ඇඳුම් ආයිත්තම්වලින් සහ පැරණි රැුවුල් කොණ්ඩා මෝස්තර ද සමඟ පිටියට බට ඕස්ටේ‍්‍රලියානු සහ නවසීලන්ත කණ්ඩායම් විසින් විස්සයි විස්ස ජාත්‍යන්තර ක‍්‍රීඩාවේ මංගල වෙඩි මුරය තබනු ලැබීය. එයින් ඇරඹුණු විස්සයි විස්ස වසර දහයක් ඇතුළත ඉතා දිගු ගමනක් පැමිණ ඇත. ප‍්‍රථම වතාවට පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වෙන්නේ 2007 වර්ෂයේ දකුණු අප‍්‍රිකාවේදීය. එහි දී පූර්ණ සාමාජිකත්වය දැරූ රටවල් 10 ක කණ්ඩායම් තරග වැදුණු අතර අවසන් තරගයේ දී මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම ෂොයිබ් මලික්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන කණ්ඩායම පරාජයට පත් කරමින් පළමු ලෝක කුසලානය ජයගන්නා ලදී. ඉන්පසුව 2009 වර්ෂයේ දී පාකිස්තානය, 2010 වර්ෂයේ දී එංගලන්තය, 2012 දී බටහිර ඉන්දීය කොදෙව් පිල ශූරතාවය දිනාගත්තේය. 2009 සහ 2012 දී අනුශූරයන් බවට පත් වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම ප‍්‍රථම වතාවට ලසිත් මාලිංගගේ නායකත්වයෙන් 2014 දී පන්දු වාර විස්ස ලෝක ශූරතාව හිමිකර ගත්තේ ප‍්‍රබල ඉන්දියානු කණ්ඩායම ඉන්දියාවේ දී පරාජයට පත් කරමින් දරුණු අතුල් පහරක් ද එල්ල කරමින්ය.

2016 ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේදීය. කණ්ඩායම් 16 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ තරගාවලිය ඉතා තීරණාත්මක අවස්ථාවක් වනුයේ තවත් වසර 4ක් යනතුරු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීම සිදු නොවන නිසාවෙන්ය.

විස්සයි විස්ස සංකල්පය තුළින් බිහි කළ සහ ලෝක ශූරතාවන්හි දී ඉතා ඉහළ දස්කම් දැක්වූ ක‍්‍රීඩකයන් අතර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග සහ ඉන්දියානු පිලේ පිට දඟ පන්දු යවන රවිචන්ද්‍රන් අශ්වින් සැලකිය හැකිය. එසේම කුමාර සංගක්කාර, බ්‍රෙන්ඩන් මැකලම්, ක‍්‍රිස් ගේල්, කෙරන් පොලාර්ඞ් වැනි පිතිකරුවන් සිහිපත් කළ හැකිය. එපමණක් නොව ෂකීබ් අල් හසන්, ස්ටුවර්ට් බ්‍රෝඞ්, ඬේවිඞ් වෝනර් වැනි ක‍්‍රීඩකයන් ද ලොව ප‍්‍රකට වූයේ විස්සයි විස්සේ විශේෂඥයන් ලෙසින්ය. කලක් තිස්සේ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ප‍්‍රථම ස්ථානයේ වැජඹී සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායමට දැන් හිමිව ඇත්තේ 6 වැනි ස්ථානයයි. ඉන්දියානු කණ්ඩායම ප‍්‍රථම ස්ථානයේ ස්ථායීව පසුවීම ඔවුන්ගේ විස්සයි විස්ස ඉතිහාසය පුරාවටම සාර්ථකත්වයේ හිනිපෙත්ත බවට පත් කරගෙන ඇත.

පළමු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ආසන්න වෙද්දී ලෝක ජනමාධ්‍ය එය හැඳින්වූයේ ‘පන්දු යවන්නන්ගේ නපුරු සිහිනය’ යනුවෙන්ය. එයට හේතු වන්නට ඇත්තේ දවස් ගණනක් තිස්සේ හෝ වරු ගණනක් තිස්සේ තට්ටු දමමින්, තේ බොමින් ක‍්‍රිකට් ගහනවා වෙනුවට පළමු පන්දුවේ සිට අත දිගහැර පන්දුවට රිදෙන්න පහර දෙන තරග ඉසව්වක් බවට උපකල්පනය කළ නිසා වන්නට ඇත. මුල් කාලයේ එය සත්‍යය විය. පන්දු යවන්නන්ට නොසෑහෙන්නට බැට කන්නට විය. නමුත් කාලයත් සමඟ පන්දුවාර 20 තුළ පන්දුවෙන් වඩාත් වැඩි යමක් කළ හැකි බව පන්දු යවන්නන් ඔප්පු කර ඇත. එසේම ටෙස්ට් ක‍්‍රීඩාව තුළින් ඉවසීම සහ දරාගැනීමේ ශක්තිය පරීක්ෂා කෙරෙද්දී, සීමිත පන්දුවාර තරගවල දී කාය ශක්තිය සහ තාක්ෂණය මැන බලද්දී පන්දු වාර විස්සයි විස්ස සංකල්පය මේ සියලූ උපමානයන් එක්වර පරීක්ෂා කරන ෆුල් චෙකප් එකක් බවට පත්ව තිබීම වඩාත් වැදගත්ය.

එළඹ ඇත්තේ එවන් වූ ලෝක කුසලාන තරගාවලියකි. මාර්තු 8 සිට පරීක්ෂා කරන්නට යන්නේ ලොව සුපිරිතම වේග ප‍්‍රහාරකකරුවන් සහ පන්දු ඉලක්කකරුවන් කවුද යන්නය. කෙටි කාල සීමාවක් තුළ ඉහළ තරගකාරිත්වයක් යටතේ සිදු කෙරෙන මෙම ඉසව්ව නිසාවෙන් අද ක‍්‍රිකට් ලෝකයේ වේගයෙන්ම ජනප‍්‍රිය වන ක‍්‍රීඩාව බවට ද පත්ව ඇත.

- රන්දි කිදෙල්පිටිය